Sri Lanka Brief
පුවත්විවරණරනිල් වික්‍රමසිංහ 2004 කරා ආපස්සට යෑමට පෙර – සුනන්ද දේශප්‍රිය

රනිල් වික්‍රමසිංහ 2004 කරා ආපස්සට යෑමට පෙර – සුනන්ද දේශප්‍රිය

by

(නුගේගොඩ රුස්වීමෙන් පෙනුනුම් කෙරුනේ රාජපක්ෂවාදීන්ට නැතිව ගිය දේශපාලන ගැම්මක් යළි අල්ලා ගැනීමට දැන් හැකිව තිබෙන බවයි)

දේශපාලනය යනු උපාමාරු දැමීමක් මිස මහ ජනතාව සමඟ සහභාගිවන ක්‍රියා දාමයක්යැයි කල්පනා නොකරන රනිල් වික්‍රමසිංහ ඒ නිසාම යළි 2004 කරා ආපස්සට යෑම ආරම්භ කර ඇත්දැයි සැක කිරීමට හේතු පහළ වෙමින් තිබේ.
මෙම වර්ධනය ඉතා තීරණාත්මක වන්නේ පසුගිය 18වනදා නුගේගොඩ පැවැති රාජපක්ෂවාදී මහජන රුළියට පනිවිඩයක් එවමින් තමා යළි දේශපාලනයට එන බවට රාජපක්ෂ විසින් කියා සිටීමේ තත්වය තුළය. රාජපක්ෂවාදින්ට බලයට මහ ජන්දයකින් බලයට ඒමට පෙනෙන තෙක් මානයක ඉඩක් නැති නමුත් නුගේගොඩ රැළිය එවනි දේශපාලන වර්ධනයක මිරිඟුවක් බවට පත්ව රාජපක්ෂවාදීන්ට අවසානයක් නැති දිව යාමක් සඳහා හුස්මක් බවට පත්විය හැකි ය.

නුගේගොඩ රුස්වීමෙන් පෙනුනුම් කෙරුනේ රාජපක්ෂවාදීන්ට නැතිව ගිය දේශපාලන ගැම්මක් යළි අල්ලා ගැනීමට දැන් හැකිව තිබෙන බවයි. එවැනි දේශපාලන අවකාශයක් නිරමාණය වූයේ පසුගිය ජනවාරි 08 දා පැවැති ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය වඩා පුළුල් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට රනිල් – මෛත්‍රී එකතුව අසමත් වීම  නිසාය.

රාජපක්ෂවාදී වාසුදේව- විරවංශ දෙබැයන්ගේ මැරවරයෝ නුගේගොඩ රුස්වීම දා උදෑසන රාපක්ෂට ප්‍රශ්ණ දහයක් යන මැයෙන් පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ව්‍යාපාරයේ සිවිල් ක්‍රියාධර පිරිසකට පහර දී එම පත්‍රිකා උදුරා ගත්හ. පොලීසිය කළේ එළෙස පහර දුන් පිරිස නිදහස් කර යැවිම ය. මේ අතරවාරයේම රාජපක්ෂවාදී ජාවාරම්කරුවකු වන අසංග සෙනවිරත්න විසින් රාජපක්ෂවරුන්නට එරෙහිව ලිපි පළ නොකරන ලෙස එහි කතුවරිය වූ සකුන්තලා පෙරේරාට කරන ලද බලපෑම් නිසා ඇයට ඉල්ලා අස්වීමට සිදුව ඇති බව ද වාර්තා වේ. රාජපක්ෂ පාලනයේ දුෂ්ඨ ළකුණක් වූ අදහස් මර්දනය දැන් යළිත් ආරම්භ වී ඇත්තේ වාසු- වීරවංශ සැළැස්මට සමාන්තරවය.

ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන දේශපාලන ප්‍රති විරෝධය තවමත් පවතින්නේ භීෂණකාරී රාජපක්ෂවාදී බලවේග සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ බලවේග අතර බව නුගේගොඩ රුළියෙන්ද

ඒ හා සමාන්තරව දියත් වී ඇති අදහස් මර්ධනයේ ක්‍රියා දාමයෙන් ද යළි තහවුරු වෙයි. මෙම සත්‍යය අමතක කිරීම ප්‍රතිස්සංස්කරණවාදී බලවේගයන්ට මාරක අනතුරක් වනවා ඇත.

භීෂණයේ සහ දූෂණයේ බලවේගයන්ට වැට බැදීමට අවශ්‍ය සාධකය වූ තෙමසකින් එළඹෙන මහා මැතිවරණය සඳහා දේශපාලන ගතිකත්වයක් ගොඩ නැගීමට ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ හෝ එජාපය හෝ කිසිදු මූලෝපායික සැලැස්මක් ක්‍රියාවට නැගා නැත. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ භීෂණය සහ දූෂණය පැරදවීමට නොබා ක්‍රියා කළ සිවිල් සමාජ පිරිස් සමඟ මේ තාක් කතා බහක හෝ යෙදී හෝ නැත. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළකිරීම් ඇත්තේ සිවිල් සමාජ කන්ඩායම්හි පමණක් නොවේ. මැති ඇමැතිවරුන් දක්වා එවැනි කළකිරීම් සති හයක් වැනි කෙටි කාලයක් තුළ වර්ධනය වී තිබේ. නමුත් අගමැති වික්‍රමසිංහට මේ කිසිවක් නොඇසෙන්නේ ඔහු සවන් දෙන්නේ ස්වකීය ස්ත්‍රෝත්‍ර (තරුණ) ගායක කන්ඩායමට පමණක් නිසා ය.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපය බලයට පැමිණි එකම අවස්ථාව වූ 2002න් පසු ඔහුගේ චර්යාව ද මෙවැනිම විය. සටන් විරාම ගිවිසුම අත්සන් කරන ලද්දේ ජනාධිපතිනියට දන්වන්නේවත් නැතිව ය. දූෂණ සම්බන්ධයෙන් බොහෝ ඝෝෂා කළ නමුත් කිසිදු පියවරක් ගත්තේ නැත. අවුල් ඇතිවන විට ඒවා ලිහීමට පියවර ගත්තේ ද නැත. 2004 මුල් භාගයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ හ ආන්ඩුවෙන් ඇමැතිධූර තුනක් ආපසු ගැනීම මගින් එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග අගමැති රනිල් වික්‍රමසිංහ කරා එවූ දේශපාලන පණිවිඩය පවා ඔහු බරපතල ලෙස ගණන් ගත්තේ නැත. එමෙන්ම චන්ද්‍රිකා රනිල් එක්ව සහජීවී ආන්ඩුවක් ගොඩ නැගිය යුතු බවට රටපුරා තිබූ හඬට ඔහු සවන් දුන්නේ ද නැත. ඔහු කල්පනා කරමින් සිටින බව පෙනෙන්නට තිබුනේ චන්ද්‍රිකා ආන්ඩුව විසුරුවා හැරිය ද ඊළඟ මැතිවරණයෙන් ජය තමන්ට නිසැක බවය. අවසානයේ දී බෙන්තර හෝටලයක නිවාඩු ගනිමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහට ජන මාධ්‍යවේදියකු විසින් ආන්ඩුව විසුරුවා හැර ඇතැයි දුර කථනයෙන් දැනුම් දුන් විට ඔහුගේ ක්ෂනික ප්‍රතිචාරය වූයේ ‘ ඒක වෙන්න බෑ, ආන්ඩුව විසුරුවන්නේ නැති බවට ජත්‍යන්තරයට පොරොන්දු වෙලයි තියෙන්නේ’ කියා ය.

අවසානයේ දී සිදු වූයේ නොවී විරූ මර්දනකාරී පාලනයක් ශ්‍රී ලංකාවට උරුම කර දුන් රාජපක්ෂ පාලනය බිහිවීමයි. ඉන් රනිල් පමණක් නොව චන්ද්‍රිකා ද බැට කෑවේ ය. නිකමට හෝ යළි එවැනි තත්වයක් ඇතිවනු ඇතැයි අප උපකල්පනය කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හැරනවිට වික්‍රමසිංහ පමණක් නොව සිරිසේන ද ඉන් බැට කනු ඇත. නමුත් මෛත්‍රීපාල සිරිසේන වසර හයකට ජනාධිපති වන නමුත් රනිල් වික්‍රමසිංහගේ අගමැතිධුරය මස තුනක එකක් බව සිහි තබාගැනීම වැදගත් ය.

පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවෙහිදී මෛත්‍රීපාල සිරිසේන නොවන්නට රනිල් වික්‍රමසිංහ තවමත් විපක්ෂයේ ය. සමහර විට පක්ෂ නායකත්වයත් නැතිව සාමාන්‍ය විපක්ෂ මංත්‍රීවරයකු වන්නට ද ඉඩ තිබුණි. පොදු පෙරමුණෙන් ඉවත් නොවූයේ නම් සමහර විට මෛත්‍රීපාල සිරිසේනට රාජපක්ෂ ආන්ඩුවේ අගමැති පදවිය ලබා ගන්නට ඉඩ තිබුණි. අද පවා තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය රනිල් වික්‍රමසිංහගේ සුලුතර අගමැති පදවියට විරුද්ධ ය. නමුත් පෙනෙන විදිහට වික්‍රමසිංහ වැඩ කරන්නේ මේ කිසිවක් නොදන්නා පරිදි ය. හරියට 2002- 2004 යුගයේ ජනාධිපතිනි චන්ද්‍රිකා අමතක කළ පරිදිය.

දැනටමත් සති හයක් පමණක් වන රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ එක් ඇමැතිවරයකු, එනම් පයිසර් මුස්තාපා ඉල්ලා අස්වී තිබේ. එජාප ඇමැති කබිර් හෂීම් සහ ශ්‍රීලනිප ඇමැති රාජීව විජේසිංහ අතර ගැටුම කළ එළියේම රඟ දැක්වෙයි. ජෝන් අමරතුංගගේ ඇමැති ධූරය ජොන්බාස්ට යෑමට අතළග යැයි කියනු ලැබේ. පසුගිය සතියේ වක්‍ර ලේඛනයක් යවමින් පොලිස්පති කියා සිටියේ තමාගේ අවසරයකින් තොර (ජොන් අමරතුංගගේ) අභ්‍යන්තර කටයුතු බාර අමාත්‍යාංශයට උසස් පොලිස් නිලධාරීන් නොයා යුතු බවය. ජෝන් අමරතුංග කුඩු ජාවාරම්කාරයින්ට විරුද්ධව පියවර ගැනීමෙන් පොලීසිය වළකා ඇතැයි චෝදනා මතු වි තිබේ. මහා පරිමාණ දූෂකයිනට එරෙහිව පියවර ගැනීම පමා වී ඇති බව ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධියේ කීවේ ඇමැති ජෝන් ගැනය. රනිල් වික්‍රමසිංහගේ බැනා වන ආරක්ෂ නියෝජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනගේ තටු ජනාධිපති සිරිසේන විසින් කප්පාදු කරන ලද්දේ තෙසතියකට පෙර ය. රුවන් විජේවර්ධන තමා ජනාධිපති රාජපක්ෂටත් වඩා දේශප්‍රේමියකු බව පෙන්වීමට ගොස් අනවශ්‍ය අවුලක් ඇති කළේ ය. උතුරෙහි රඳවා සිටින හමුදා පිරිස් ක්‍රමාණුකූලව අඩු කරන බවට රාජපක්ෂ ආන්ඩුව විසින් පවා පොරොන්දු දී තිබිය දී නියෝජ්‍ය අමාත්‍ය විජේවර්ධන කිවේ තමා එක හමුදා කඳවුරක් හෝ එක් සෙබළකු හෝ ඉවත් නොකරන බවය. ජෙනරල් පොන්සේකා සමඟ වික්‍රමසිංහ සදා ගෙන ඇති ආරෝව නිසා යුද හමුදාවෙහි කරන ලද ඉහළ පෙළේ පත්වීම් කරන ලද්දේ ජෙනරල් පොන්සේකා සහ ජනාධිපති සිරිසේන අතර පමණක් වූ එකඟතාවය උඩ යැයි කියනු ලැබේ.

මෙම ගැටුම්කාරි තත්වයන් සමනය කිරීමට අගමැති වික්‍රමසිංහ අසමත් වී තිබේ. නැත්නම් ඔහු මෙම අවාසිදායක වර්ධනයන් ගණනකට ගන්නේ නැත. අනෙත් අතට ජනාධිපතිවරණය විසින් පුබුදුකළ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් බවට පෙරළීමට වික්‍රමසිංහ හෝ සිරිසේන හෝ උනන්දුවක් නොදක්වයි.

අනෙක් අතට මෙම තත්වයට පිළියම් යෙදීම හුදෙක් අගමැති වික්‍රමසිංහගේ පමණක් වගකීමක් නොවේ. ප්‍රතිසංස්කරණවාදී පෙරළියේ අනෙක් හවුල්කරුවන් වන ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපතිනි කුමාරතුංගගේ ද වගකීමකි.

එමෙන්ම, මෙම අර්බූදකාරී තත්වය සමහන් කොට ප්‍රතිසංස්කරනවාදී බලවේගයන්ගේ සමගිය සහ ජයග්‍රහණය සහතික කිරීම රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ න්‍යාය පත්‍රයෙහි මූලික අංකයක් බවට පත් කර ගැනීම අද දවසේ කාර්ය භාරය වේ.

Back to Top