Sri Lanka Brief
පුවත්විවරණයෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද? – විජයානන්ද ජයවීර

යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳුවිය යුතුද? – විජයානන්ද ජයවීර

by

තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්. එහෙත් මේ රජය විසින් පැනවීමට අදහස් කරන තොරතුරු දැනැගැනීමේ පනත් කෙටුමුපත මොනවගේ එකක්ද කියන එක මහජනතාව තවම දන්නේ නැහැ. තොරතුරු දැකගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්ම්ත කිරීමට එය ධවල පත්‍රිකාවක් වශයෙන් නිකුතකොට ඒපිළිබඳ අදහස් පළ කිරීමට මහජන සංවිධාන වලට අවස්ථාව දිය යුතුයි. 2006 දී යුනෙස්කෝව විසින් කල සංගනනයට අනුව රටවල් 69ක තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීති ගත කර තිබුනා. එහෙත් ඒ හැම නීතියක්ම යහපත් යැයි කිව නොහැකියි. උදාහරණයක් වශයෙන් ගතහොත් සිම්බාබ්වේහි මුගාබේ රජය විසින් නීතිගතකල තොරතුරු ලබාගැනීමේ නීතියේ අරමුණ තොරතුරු සැපයීමට වඩා තොරතුරු වසං කිරීම බව කිව හැකියි. තොරතුරු අයිතිය පිළබඳ පනතක් හොඳද නරකද යන්න විමසීමට මූළධර්ම පහක් යොදාගන්න පුළුවන්. මේ ලිපියේ අදහස ඒ මූලධර්ම මොනවාද යන්න කෙටියෙන් සාකච්ඡා කිරීමයි.

මහජන ආයතන සතු තොරතුරු ලබා ගැනීම හා ඒවා පරිශීලනය කිරීමට මහජනතාවට ඇති අයිතිය සහතික කරන හා ක්‍රියාත්මක කරන නීති විධිවිධාන මුල්කාලයේදී හැදින්වුනේ තොරතුරු නිදහස පිළිබඳ නීති වශයෙන්. නමුත් Freedom of Information නැත්තම් තොරතුරු නිදහස යන යෙදුම 1946දී එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ප්‍ර‍ථම වරට පාවිච්චි වුනේ වඩා පුළුල් සංකල්පයක් වුන තොරතුරුවල නිදහස් ප්‍ර‍වාහය (Free Flow of Information) නැත්තම් මර්දනය කිරීමකින් තොරව තොරතුරු නිදහසේ වහනය වීමට ඉඩ දිය යුතුය යන අදහස හැඳින්වීමටයි. එකී පුළුල් අර්ථයෙන් ගත්විට තොරතුරු නිදහස පිළිබඳ නීතිය තොරතුරුවල නිදහස් ප්‍ර‍වාහය හා පාරදෘෂ්‍ය භාවය සහතික කිරීමේ එක් වැදගත් පියවරක් වශයෙන් සැලැකිය හැකියි. නමුත් එකල Freedom of Information නැත්තම් තොරතුරු නිදහස පිළිබඳ නීතිය යනුවෙන් හැඳින්වු මේ නීති වර්තමානයේ හඳුන්වන්නේ වඩාත් සෘජු හා සමීප යෙදුමක් වන (right to access information held by public bodies) මහජන ආයතන සතු තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමේ නීති වශයෙනි. Right to Know නැත්නම් දැන ගැනීමට ඇති අයිතිය වශයෙන්ද මේ අයිතිය හැඳින්වෙනවා.

1948 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්ම්ත කරගත් වර්තමානයේ customary international law නැත්නම් සිරිත්බැඳි අනතර්ජාතික නීතියේ කොටසක් වශයෙන් පිළිගැනෙන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශනයේ (Universal Declaration of Human Rights) 19වන වගන්තියේ මෙසේ සඳහන් වෙනව.

ස්වමතය දැරීම හා ප්‍රකාශ කිරීමේ නිදහස සෑම පුද්ගලයෙකු සතු අයිතියකි. බාධාවකින් තොරව සිය මතය දැරීමට ඇති නිදහසත්, දේශසීමාවන් නොතකා ඕනෑම මාධ්‍යයකින් තොරතුරු සොයාගැනීම, ලබා ගැනීම හා බෙදා හැරීමට ඇති නිදහසත් මේ අයිතියට ඇතුලත්ය.

ඒ අනුව තොරතුරු සොයාගැනීමට කෙනෙකුට ඇති අයිතිය මූලික මානව අයිතිවාසිකමික් වශයෙන් සහතික කර තිබේ. මෙකී අයිතිය මේ හා සමාන ආකාරයෙන්ම ලංකාවද අත්සන්කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ 19වන වගන්තියේ සඳහන් වෙනව.

අදහස් ප්‍ර‍කාශකිරීමේ අයිතිය සම්මුතිගත කල පුරෝගාමින් එම අයිතිය රාමුගත කිරීමේදී තොරතුරු බෙදාහැරිම පමණක් නොව තොරතුරු සොයාගැනීමත් ලබාගැනීමත් භාෂනයේ නැත්නම් අදහස් ප්‍ර‍කාශකිරීමේ නිදහසේ අනිවාර්ය අංගයක් බව නිර්ණයනය කලා. අදහස් ප්‍ර‍කාශ කරන හෝ තොරතුරු සපයන අය පමණක් නොව මේ අයිතිය යටතේ තොරතුරු ලබන්නන්ටත් තොරතුරු ලබාගැනීම සඳහා අයිතිය ඇති බව සහතික කර තිබෙනවා. මේ අර්ථයෙන් ගත්විට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශණයේ සඳහන් තොරතුරු ලබාගැනීමේ අයිතියට මහජන ආයතන සතු තොරතුරු ඉල්ලා සිටීමේ හා ලබා ගැනීමේ අයිතියද ඇතුලත් වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසමට එහි විශේෂ රපෝර්තු කරු විසින් 1997 දී ඉදිරිපත් කරනු ලැබ කොමිසම විසින් පිළිගනු ලැබූ වාර්තාවට අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශණයේ සඳහන් අදහස් ප්‍ර‍කාශ කිරීමේ අයිතියට රජය සතු තොරතුරු ලබා ගැනීමේ අයිතියද ඇතුලත් වන බව පැහැදිලිවම මෙසේ කියා තිබෙනව. මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍ර‍කාශණයේ දහනම වන වගන්තියේ සඳහන් “තොරතුරු සොයාගැනීම, ලබා ගැනීම හා බෙදාහැරීම පිළිබඳ අයිතිය සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් රජයකට පැවරෙන සාධනීය වගකීමක් නම් රජය සතු සියළුම ආකාරයේ තොරතුරු සංචිතයන් පරිහරණය කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම හා ක්‍රියාත්මක කිරීමයි.“

බොහෝ දියුනු රටවල මෙන්ම වඩා මෑතකදී තම ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවන් සම්පාදනය කරගත් බල්ගේරියාව, හංගේරියාව, ලිතුවේනියාව, මලාවි, මෙක්සිකෝව, පිලිපීනය, පෝලන්තය, රුමේනියාව, දකුණු අප්‍රිකාව සහ තායිලන්තය වැනි ඇතැම් රටවල ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාවන් මගින්ම තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කර තිබෙනව. ඒ හැර ඉන්දියාව, පකිස්ථානය නේපාලය වගේ අපේ අසල්වැසි රටවල් වලත් තොරතුරු සැපයීමේ අයිතිය තහවුරු කරන නීති ක්‍රියාත්මක වෙනව. මේ කාරනය පෙන්වා දෙමින් උගත් පාඩම් කොමිසමේ සාක්කි දුන් හිටපු විනිසුරු ජී.ජී. වීරමන්ත්‍රි මහත්තය කියල තියෙනව කලක් අපේ රට මේ කලාපයේ කාලානුරෑප නීති සම්පාදනය අතින් බොහොම ඉහලින් හිටපු රටක් වෙලත් ලංකාවට තාම තොරතුරු අයිතිය පිළිබඳ හොඳ නීතියක් සම්ම්ත කරගැනීමට නොහැකිවීම කණගාටුවට කාරනයක් කියල.

2005 දී තොරතුරු දැනගැනීමේ අයිතිය ඉන්දියාවේ නීතිගත කිරීමට පෙර අධිකරණයේ විනිශ්චය කරුවන් මාරු කිරීම හා සේවයෙන් පහකිරීම සම්බ්න්දයෙන් තොරතුරු සැපයීම ඉන්දියානු ආණ්ඩුව ප්‍ර‍තික්ෂේප කිරීම සම්බන්ධව, 1982 දී නඩුවක් විභාග කල ඉන්දියාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය, ඉන්දියානු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 19 වන වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ හා ප්‍ර‍කාෂණයේ නිදහසට අනුව එම තොරතුරු අනාවරණය කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව තීරණය කරමින් මෙසේ ප්‍ර‍කාශ කලා.

“විවෘත්ත ආණ්ඩුවක් යන්න අපේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 19 වන වගන්තියෙන් සහතික කොට ඇති නිදහස් භාෂණය හා ප්‍රකාශණය පිළිබඳ අයිතියේ අනවරතයෙන්ම ගැබ්ව ඇතැයි සැලකිය හැකි තොරතුරු දැනගැනීමට ඇති අයිතියෙන් බිහිවූ සංකල්පයකි. එම නිසා හුදෙක් මහජන යහපත සඳහා රහස්‍යභාවය අත්‍යවශ්‍යවෙතැයි සාධාරණීකරණය කල හැකි අවස්ථාවන් වලදී හැර අන් හැම අවස්තාවකම ආණ්ඩුව කටයුතු කරණ ආකාරය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම රීතිය විය යුතුය. අධිකරණයේ කාර්ය විය ‍යුත්තේ තොරතුරු අනාවරණය කිරීම මහජන යහපත සඳහා අතිශයෙන් වැදගත් වන්නේය යන්න සැම විටම සිහියේ තබා ගනිමින් රහස්‍යභාවයේ පරාසය මහජන යහපත සඳහා අවශ්‍යවන පමණට පමණක් ප්‍ර‍මාණවත්වනසේ සීමා කිරීමයි.[1] “

ඉන්දියානු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේද තොරතුරු ලබා ගැනීමේ අයිතිය වෙසෙසින් සඳහන්ව නැති වුනත් ඉන්දියානු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව 19 වැන වගන්තියට සමානව අපේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේද 14 වන වගන්තියට අනුව සෑම රට වැසියෙකුටම භාෂණයේ හා ප්‍ර‍කාශ කිරීමේ නිදහස ඇති බව සහතික කර තිබෙනවා. දැන් අපි අපේ 14 වැනි වගන්තියේ සදහන් භාෂණයේ හා ප්‍ර‍කාශණයේ අයිතියට සහමුලින්ම සමාන ඉන්දියාණු ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තියට ඉන්දියානු ශේෂ්ඨාධිකරණය විසින් දී ඇති අර්ථ කථනය හා/හෝ සිරිත් බැඳි අන්තර්ජාතික නීතියට අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍ර‍කාශණයේ 19 වන වගන්තිය පිළිබඳ වර්තමාන අර්ථ කථනය පිළිගනු ලබන්නේ නම් අපේ ආන්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියේ සඳහන් භාෂණයේ හා ප්‍ර‍කාශ කිරීමේ නිදහසට මහජන ආයතන සතු තොරතුරු ඉල්ලා සිටීමේ හා ලබා ගැනීමේ අයිතියද ඇතුලත් වන බව අනවරතයෙන්ම පිළිගත යුතු වෙනව.

අනෙක් කාරණය ශ්‍රී ලංකාවද ඇතුළුව “දූෂණය පිටු දැකීම පිළිබඳ එක්සත්ජාතීන්ගේ සම්මුතිය“ අත්සන් කර ඇති සියළුම රටවල් රජය සතු තොරතුරු ලබා ගැනීමේ අයිතියට අඩංගු වන සුවිශේෂ කාර්යන් සඳහා විධිවිධාන යෙදීමට කටයුතු යෙදිය යුතුය. ඒ විදිවිධාන මගින් ඉටුකල යුතු කටයුතු අතරට රජයේ කටයුතුවල පාරදෘෂ්‍ය භාවය සහතික කිරීම, රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විවෘත භාවය සහතික කිරීම, ජන්ද අපේක්ෂකයන් ලබන අරමුදල් සම්බන්ධයෙන් විවෘත්ත භාවය තහවුරු කිරීම, රජයේ ප්‍ර‍තිසම්පාදනයන් හා අරමුදල් වියදම් කිරීමේ පාරදෘෂ්‍ය භාවය සහතික කිරීම ආදිය ඇතුලත් වෙනව.

දූෂණය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කල රටවල් මහජන පරිපාලනයේ පාරදෘෂ්‍ය භාවය වැඩි දියුණු කිරීම සඳහා පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමද සලකමින් රටක පරිපාලනයේ සංවිධානය, එය ක්‍රියාත්මකවීම හා එහි තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා ගැනීමේ අයිතිය සුදුසු පරිදි සාක්ෂාත් කරදීමට විධිවිධාන යෙදිය යුතු බව එම සම්මුතියේ වෙසෙසෙසින් සඳහන් වෙනව. මෙකී පසුබිම තුල තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය පිළිබඳ දැනුවත් කතිකාවක් ඇතිවීම වැදගත් කාරණයක්. තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරණ නීතියක යහපත් ලක්ෂණ වශයෙන් සලකනු ලබන්නේ මොන මුලධර්මයන් දැයි කෙටියෙන් විස්තර කිරීම මේ කතිකාවට වැදගත්විය හැකියි.

පළමුවැනි මූළ ධර්මයය

පළමුවැනි මූළ ධර්මය නීතිය මගින් maximum disclosure හෙවත් උපරිම තොරතුරු අනාවරණය සඳහා විධි විධාන සැලසීමයි.මෙහිදී එක් අතකින් පරමාර්ථය විය යුත්තේ නීතිය මගින් ආවරණය කෙරෙන තොරතුරු සංචිතයන්ගේ පුළුල් පරාසය තහවුරු කිරීම හා එම තොරතුරු සතු ආයතන උපරිම ප්‍ර‍මාණයක් මෙම නීතිය යටතට ගෙන ඒමයි.

ඒ අනුව සියළුම රජයේ ආයතන – ව්‍යවස්ථාපිත මහජන නියෝජිත සභාවන්, පලාත් පාලන ආයතන, සංස්ථාපිත ආයතන, අධිකරණ ආයතන, රජය මගින් ස්ථාපිත ස්වතන්ත්‍ර‍ ආයතන, රජයේ අරමුදල් යොදන ආයතන, මෙන්ම මහජන සේවාවන් පවත්වාගෙන යන පෞද්ගලික ආයතන (අධ්‍යාපනය, ප්‍ර‍වාහන සේවා ආදී)ද මේ නීතිය මගින් ආවරණය විය යුතුයි. අධ්‍යාපනය, සනීපාරක්ෂාව හා පරිසරය සුරැකීම වැනි මහජන යහපත සම්බන්ධ විෂයන් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එම කෙෂත්‍ර‍න් හි නියැලෙන පෞද්ගලික ආයතන වලින් පවා ලබා ගැනීමට නීතිය මගින් විධි විධාන සපයා තිබිය යුතුය. උදාහරනයක් වශයෙන් ගත් විට දකුනු අප්‍රිකානු තොරතුරු ලබා ගැනීමේ නීතියට අනුව ව්‍යවස්ථාව මගින් සහතික කොට ඇති මානව අයිතිවාසිකම් විෂයට අයත්වන ඕනෑම තොරතුරක් ඉල්ලා සිටි විට සැපයීමට එරට පෞද්ගලික ආයතන පවා බැදී සිටී. සාමාන්‍යයෙන් රජය මගින් සැපයෙන මහජන සේවාවන් පෞද්ගලික අංශයට පැවරෙන මෙවැනි යුගයක තොරතුරු ලබාගැනීමේ නීතිය සුදුසු පරිදි පෞද්ගලික ආයතන වලට අදාලවීමද වැදගත්වේ. මේ හැර මහජන සේවා විෂයේ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානද මේ නීතිය අනුව තොරතුරු සැපයීමට බැදී සිටිය යුතුයි.මේ මූල ධර්මය යටතට ගැනෙන අනෙක් වැදගත් සාධකය තොරතුරු සංචිතකිරීම කුමන තාක්ෂණයකින් හෝ ආකාරයකින් කලත් එය තොරතුර අනාවරණය නොකිරීමට හේතුවක් නොවිය යුතු බවයි. මේ අනුව මහජන ආයතන මගින් සකස් කරන තොරතුරු හා ඒවාට ලැබෙන තොරතුරුද එම තොරතුරු රඳවා තබාගෙන ඇති විධික්‍ර‍මය ලිඛිත, ශ්‍ර‍ව්‍ය දෘෂ්‍ය හෝ අන්‍යාකාරයක (මයික්‍රො ෆිල්ම් වැනි) වුවද ඒවායේ සදහන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඉල්ලුම් කරුවන්ට ඇති බව සලකා එම ආයතන ක්‍රියාශීලී ලෙස තොරතුරු උපරිම මට්ට්මින් අනාවරණය කල යුතුයි.

දෙවැනි මුලධර්මය
දෙවැනි මුලධර්මය රාජ්‍ය ආයතන වල තොරතුරු ක්‍රියාශීලී ලෙස ප්‍ර‍සිද්ධ කිරීමට එම ආයතන නීතිය මගින් බැදීසිටීම තහවුරු කිරීමයි.මෙයින් අදහස් කරන්නේ හුදෙක් ඉල්ලුම් කරුවන් විසින් ඉල්ලා සිටින තොරතුරැ සැපයීම පමණක් නොව රාජ්‍ය ආයතන තම කටයුතු ගැන තොරතුරු මහජනතාවගේ දැන ගැනීම පිණිස නිරන්තරයෙන් අනාවරණය කිරීමට කටයුතු යෙදීමයි. එම ආයතන වලට පැවරී ඇති කටයුතු සවිස්තරව ප්‍ර‍කාශ කිරීම, ඒ සදහා ආයතනය සංවිධානය වී ඇති ආකාරය, ප්‍ර‍තිපත්ති තීරණ, මුදල් වෙන් කර ඇති ආකාරය, ආයතනයෙන් සේවා සැපයම් ලබා ගැනීමේ ක්‍ර‍වේදය ආදි තොරතුරු මෙසේ ප්‍ර‍සිද්ධ කල යුතු දෑ අතරට ගැනේ. මුල් අවධියෙදී මේ සදහා අවශ්‍යය සම්පත් නොමැතියැයි ඇතැම් ආයතන වගපල කීම නොවැලැක්විය හැකි නමුදු සෑම ආයතනයක්ම ක්‍රියාශීලී ලෙස තොරතුරු ප්‍ර‍සිද්ධ කිරීමට ප්‍රායෝගික සැලැස්ම්ක් සකස් කොට නිශ්චිත කාලයක් තුල ප්‍ර‍ගාමී ලෙස එම කටයුත්ත ඉටු කල යුතුය. ආයතනය සතු තොරතුරු සැපයීමේ රාජකාරිය නිල වශයෙන් පැවරුණු තොරතුරු නිලධාරියෙකු සෑම රාජ්‍ය ආයතනයක සිටිය යුතුවේ. ඔහුගේ මූලික වගකීම ආයතනයට යොමුවෙන තොරතුරු ඉල්ලීම් ඉටුකිරීමයි.

තුන්වැනි මුලධර්මය

තුන්වැනි මුලධර්මය තොරතුරු සැපයීමේ නීතිය “විවෘත ආණ්ඩුවක්“ යන සංකල්පය ප්‍ර‍වර්ධණය කිරීම අරමුණු කොට නීතිගත විය යුතුයි. ඒ නීතියට අනුව සියළුම මහජන ආයතන විවෘත්ත ආණ්ඩුවක් සඳහා කැපවිය යුතුයි.මෙය ඉතා වැදගත් වන්නේ සාමාන්‍යයයෙන් ආණ්ඩු කටයුතු කරන්නේ රහස්‍යභාවය පරිපාලන සංස්කෘතියේ කොටසක් වශයෙන් සලකමින් වන බැවිනි. මේ ආකල්පය යටත් විජිත පාලන ත්‍ර‍න්ත්‍රයේ උරුමයක් වශයෙන් සැලකිය හැකියි. තොරතුරු සැපයීමේ නීතිය මේ සංස්කෘතිය වෙනස්කිරීම සදහා ක්‍රියාශිලි ලෙස යොදාගත යුතුයි. විවෘත්තභාවය හුදෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් පමණක් නොව යහ පාලනය සඳහා අත්‍යවශ්‍ය මානව අයිතියක් බවත් පරිපාලකයන් ඉතසිතින් වටහා ගත යුතුයි. මේ අනුව රහස්‍යභාවය පිළිබද සංස්කෘතිය පිටු දැකීම සදහාත් තොරතුරුලබා ගැනීමේ අයිතිය හා එහි ඵල ප්‍රයෝජන ගැනත් මහජනතාව දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලක් තොරතුරු දැනගැනීමේ නීතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය. රහස්‍යභාවය පිටු දැකීමේ එක් ක්‍ර‍මයක් නම් දැනුවත්ව තොරතුරු වසංකිරීම, තොරතුරු ලබා ගැනීමට අවහිර කිරීම, තොරතුරු වාර්තා විනාශ කිරීම ආදිය සම්බන්ධයෙන් නීතිය මගින් දඩුවම් නියම කිරීමයි. විවෘත්තභාවය ප්‍ර‍වර්ධනය කිරීම පිණිස තොරතුරු වාර්තා නිසිලෙස කළමනාකරණය කිරීම හා මහජනතාවට ප්‍රවේශවිය හැකි හෝ භාවිත කල හැකි තොරතුරු සංචිතයන් පත්වාගෙන යාමද රාජ්‍ය ආයතන වල වගකීම විය යුතුය. අරමුණ රහස්‍ය භාවය වෙනුවට විවෘත්තභාවය පිළිබද සංස්කෘතියක් ඇතිකිරීමයි.

සිව්වෙනි මූලධර්මය
සිව්වෙනි මූලධර්මය තොරතුරු ලබාගැනීමේ අයිතියට අඩංගුනොවන තොරතුරු මොනවාදැයි ඉතා නිශ්චිත ලෙස හුවාදැක්වීම හා එම සීමාවන් “හානිදායක තොරතුරු“ හා “මහජන යහපත සදහා“ යන ද්විවාර්ගික පරීක්ෂා මගින සාධාරණීකරණය කිරීමයි. මෙහිදී වැදගත් කරුණ රජය අපහසුවට පත්වේය යන හේතුව මත අනිසි පාලනය වහංගු කිරීම සදහා ආණ්ඩුවට රිසි පරිදි “හානිදායක තොරතුරු“ ලේබලය යටතේ තොරතුරු අනාවරණය නොකිරීමට ඉඩ නොතබා අනාවරණය කළ නොහැකි තොරතුරු මොනවාදැයි ඉතා සීමා සහිත ලෙස නීතිය මගින් නිර්වචනය කිරීමයි.

    සාමාන්‍යයයෙන් අනාවරණය නොකෙරෙන තොරතුරු පහත සදහන් වර්ගවලට අයත්ය.
    1. කල් තියා අනාවරණය කිරීම නිසා හානිසිදුවේයැයි සැලකිය හැකි රාජ්‍යආරක්ෂාව හා මහජන ආරක්ෂාව පිළිබඳ තොරතුරු
    2. විදේශ රටවල් හා ජාත්‍යාන්තර සංවිධාන මගින් රහස්‍යභාවය පදනම් කොට සපයන තොරතුරු
    3. අපරාධ වැලැක්වීම, අපරාධ පිලිබද පරීක්ෂණ පැවැත්වීම හා චෝදනා සැකසීම පිලිබද අනාවරණය කල නොහැකි තොරතුරු
    4. රහස්‍ය පුද්ගලික තොරතුරු
    5. වාණිජ්‍ය කටයුතු සදහා අත්‍යවශ්‍යයැයි සාධාරණීකරණය කල හැකි ව්‍යාපාරික තොරතුරු
    6. අධිකරණය ඉදිරියේ විසදීමට ඇති නඩුවලට සම්බන්ධ තොරතුරු
    7. පුවත්පත් කලාවේදීන්, වෛද්‍යවරුන් හා නීතීඥයන් වැනි වෘත්තිකයන්ගේ වෘත්තිය රහස්‍යභාවය යටතට ගැනෙන තොරතුරු
    8. කල් තියා අනාවරණය කිරීම නිසා හානිසිදුවේයැයි සාධාරණීකරණය කලහැකි පරීක්ෂණ හා විමර්ශන පිළිබද තොරතුරු
    9. කල් තියා අනාවරණය කිරීම නිසා හානිසිදුවේයැයි සාධාරණීකරණය කල හැකි විනිමය, මූල්‍ය හා ආර්ථික තීරණ පිලිබඳ තොරතුරු .

ඉහත කී තොරතුරු අනාවරණය නොකිරීම පහත කියැවෙන තෙකරුනු මත තීරණය විය යුතුය
·අනාවරණය නොකල යුතුයැයි තොරතුරු අයිතිය පිළිබඳ නීතිය මගින් නිශ්චිතව නිගමණය කර ඇති පටු සීමාව තුලට ඉල්ලා ඇති තොරතුර සෘජුව අයත් වේද?

· එකී පටු සීමාව තුල ඉල්ලා ඇති තොරතුර අනාවරණය කිරීමෙන් සැලකිය යුතු හානියක් උද්ගතවේයැයි සාධාරණීකරණය කල හැකිද?

·එම පටු සීමාවට තුල හානියක් ඇතිවීමේ හැකියාව අභිබවා ඉල්ලා ඇති තොරතුර අනාවරණය කිරීම මහජන යහපත සදහා අත්‍යවශ්‍ය වන්නේයැයි සාධාරණීකරණය කල හැකිද?

මෙසේ කිරීමේදී හානිදායකයැයි සැලකෙන තොරතුරු පවා “මහජන යහපත සදහා“ අනාවරණය කිරීම අවශ්‍යයැයි සද්භාවයෙන් හැගෙන අවස්ථාවල ඒ සදහා ඉඩකඩ තිබිය යුතුය.

මේ හැර අවශ්‍ය තොරතුර ආයතනික තොරතුරු සංචිතය තුල ‍නොමැති විට එය අළුතින්ම සැපයීමේදී එකී ආයතනයේ සම්පත් අසාධාරණ ලෙස වෙනතකට යොමුකිරීමට සිදුවේයැයි සාධාරණීකරණය කල හැකි අවස්ථාවකදී ද ස්වාධීන තොරතුරු කොමිසමක විනිශ්චයකට යටත්ව තොරතුර අනාවරණය නොකර සිටීමට ආයතනයකට හැකිවේ.

පස්වැනි මුලධර්මය‍
පස්වැනි මුලධර්මය‍ නම් මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම පිණිස තොරතුරු සතු අදාල ආයතන මගින් කඩිනම් හා කාර්යකෂම ක්‍රියා පටිපාටියක් ඇතිකිරීම හා තොරතුරු සැපයීම ප්‍ර‍තික්ෂේප වන අවස්ථාවන් වලදී ඉල්ලුම්කරුට අධිකරණ බල සහිත ස්වාධීන කොමිසමකට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.

තොරතුරක් ඉල්ලා සිටි විට එම තොරතුර සැපයීම සාමාන්‍යයෙන් දින 30ක් තුල ඉටුකල යුතුවේ. තොරතුරු අවශ්‍ය වන්නේ ජීවිතයත් මරණයත් අතර කටයුත්තක් සම්බන්ධයෙන් නම් එම තොරතුර සාමාන්‍යයෙන් පැය 48 කට අඩුකාලයක් තුල සැපයීමට විධිවිදාන තිබිය යුතුය. තොරතුරු ඉල්ලිමක් එම තොරතුරු සතුයැයි සැලකෙන ඕනෑම ආයතනයකට යොමුකල හැකි විය යුතුය. එම තොරතුර තම ආයතනය සතුව නැත්නම් එය සතියක් ඇතුලත තොරතුර ඉල්ලූ තැනැත්තාට දැන්විය යුතු අතර නිසි පරිදි එම තොරතුර ලබා ගත හැකි ආයතනය පිළිබද ඔහු දැනුවත් කිරීමද ඒ හා සමග කල යුතුය. තොරතුරු සැපයීමේ ක්‍රියාපටිපාටිය අනවශ්‍ය ලෙස සංකීර්ණ නොවිය යුතු අතර ඒ සදහා කිසියම් ගාස්තුව්ක් අය කෙරෙන්නේනම් එය සාමාන්‍ය මහජනයාට දැරිය හැකි සාධාරණ ගාස්තුවක් විය යුතුය. මේ ගාස්තු සාමාන්‍යයෙන් නියම කෙරෙන්නේ සැපයෙන තොරතුර අඩංගු ලේඛනයේ පිටු සංඛ්‍යාව අනුවයි. එමෙන්ම තොරතුරක් ඉල්ලාසිටින විට එම තොරතුර ඉල්ලන්නේ කුමන හේතුවක් නිසාදැයි අයදුම්කරු විසින් සදහන් කිරීම අවශ්‍යය නොවේ.

එහෙත් යම් තොරතුරක් සැපයීම ප්‍ර‍තික්ෂේප කරන විට අදාල ආයතනය එයට හේතුව පැහැදිලිව සහ තොරතුරු සැපයීමේ නීතියේ විදිවිධාන වලට අනුව සදහන් කල යුතුය. ඒ හැර අයදුම්කරු ගේ අභිමතයට අනුව තොරතුරු සැපයිය යුතුවේ.මෙයින් අදහස්වන්නේ එකීතොරතුර ලිඛිතව හෝ තොරතුරු අඩංගු ලේඛනයේ හෝ ද්‍ර‍ව්‍යයේ පිටපතක් හෝ නොඑසේනම් තොරතුරු අඩංගු ලේඛන අයදුම්කරුට පරීක්ෂා කිරීමට ඉඩදීමෙන් හෝ අයදුම්කරුගේ අභිමතය පරිදි එය ඉටුකිරීමයි.

ඉල්ලීම්ක ප්‍ර‍තික්ෂේප වුවිට සාමාන්‍යයයෙන් එම ආයතනයේම ප්‍රධාන නිලධාරියාට නිශ්චිත කාලයක් තුල අභියාචනයක් ඉදිරිපත් කිරිමත් නිශ්චිත කාලයක් තුල එම අභියාචනයට පිළිතුරු සැපයීමත් බොහෝ තොරතුරු සැපයීමේ නීති විදිවිධාන වල අඩංගුවේ. කෙසේ වුවද එවැනි ඕනෑම මට්ටමක ප්‍ර‍ික්සේපකිරීමක් තොරතුරු සැපයීමේ නීතිය යටතේ පිහිටුවන ස්වාධින කොමිසමක හෝ කෙමසාරිස්වරයෙකුට අභියාචනය සදහා ඉදරිපත්කිරීමට විදි විධාන යෙදිය යුතුය. එම ස්වාධීන කොමිසමට හෝ කොමසාරිස්වරයාට සාක්ෂි කැදවිමද ඇතුළුව තීන්දුව දීම සදහා අවශ්‍ය අධිකරණමය බලතල තිබිය යුතුය.

මේ මුලධර්මයට අයිති අනෙක් වැදගත් කරුණ නම් ඉල්ලුම්කරුවෙකුගේ ඉල්ලීමකින් තොරව වුවද ආයතනයක අනිසි කටයුතු හා දුෂණ මහජන යහපත සදහා ස්වේච්ඡාවෙන් හෙලිදරව්කිරිමට පියවරගන්නා රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සදහා කොමිසම විසින් පියවර ගත යුතුය. එවැනි රාජ්‍යසේවකයන්ට තම ආරක්ෂාව සඳහා කොමිසමේ රැකවරණය ලැබීමට අවශ්‍ය විධිවිධාන නීතිගත කොට තිබිය යුතුය.

එක් එක් ආයතනය තමන් විසින් පිළිතුරු සැපයු තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව – ඉටුකළ හා ප්‍ර‍තික්ෂෙපකල තොරතුරු සංඛ්‍යාව ප්‍ර‍තික්ෂෙප කිරීමේ හේතුද සහිතව තොරතුරු සැපයීම පිළිබද ස්වාධින කොමිසමට වාර්ෂිකව සැපයිය යුතුය. එකී වාර්තා පදනම් කරමින් කොමිසමේ තීරණ හා රාජ්‍ය ආයතන විසින්තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවි ඇති ආකාරය පිලිබද විවරණයක්ද සහිත වාර්ෂික වාර්තාවක් තොරතුරු සැපයිමේ කොමිසම විසින් ප්‍ර‍සිද්ධකල යුතුවේ.

තොරතුරු සැපයීමේ කොමිසම තොරතුරු සැපයීමේ නීතිය ක්‍රියාත්මක කරවන මුලික ආයතනය වන අතර එයට ඒ කටයුත්ත ඉටුකිරීමට අවශ්‍ය ප්‍ර‍තිපාදන සැපයිය යුතුවේ. නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණ කටයුතු වලට අතිරේකව මහජනතාව හා ආයතන දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කොට පවත්වාගෙන යාමද ස්වාධීන කොමිසමේ විෂය පථයට ගැනෙන කාර්යයෝය.

[1] .P. Gupta v. President of India, note 109, p. 234

Back to Top