Sri Lanka Brief
පුවත්විවරණප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම

ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම

by

‘‘අඩු තරමින් අප ගත කරන දුක්ඛිත ජීවිතවලටවත් ඒවායේ ස්වභාවික අවසානය කරා ළගාවීමට අවසරයක් නොමැත. මා සම්බන්ධයෙන් ගතහොත් මම මැසිවිලි නොනගමි. මන්ද මා වාසනාවන්තයින්ගෙන් කෙනෙක් වන බැවිනි. සහෝදරවරුනි, අපගේ මේ ජීවිතයේ සියලූ දුෂ්ටත්වයන් පැන නගින්නේ මිනිස් වර්ගයාගේ කෲරත්වය තුළින් බව ඔබට පැහැදිලිව නොපෙනේද?’’

ජෝර්ජ් ඕවල් (ගොවිපොලේ පෙරළිය – 5 පිටුව)

මේ දේශය විසින් බිහි කළ විශිෂ්ටතම දේශපාලන කාටුන් ශිල්පියෙක් වන ප‍්‍රගීත් එක්නැලිගොඩ ඔහුගේ අසමසම දක්ෂතාවය සහ දේශපාලන දැක්ම නිසා ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. 2010 ජනාධිපතිවරණයට හරියටම දෙදිනකට පෙර, ජනවාරි 24 වැනිදා රාත‍්‍රියේ සිදු වූ ඔහුගේ අතුරුදහන්වීම නිසා දැන් අප ඔහුව සිහිපත් කරන්නෙමු. ඊට පෙර අවස්ථාවක, එනම් 2009 අගෝස්තු මාසයේදීද ප‍්‍රගීත් පැහැර ගැනීමට ලක්ව පසුව නිදහස් කරන ලද බවට වාර්තා පළ වී තිබුණි. සුදු වෑන් රථයකින් ඔහුව පැහැර ගනු ලැබූ එම අවස්ථාවේදී ඔහු තමා පැහැර ගත් පුද්ගලයින්ට ආයාචනා කොට තිබුණේ ස්වකීය බේත් වේල ගැනීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයෙන් පීඩා වින්දේය. බයිපාස් සැත්කමකටද ඔහු මුහුණදී තිබුණේය. මරණයට නියම වූ පුද්ගලයෙක්ට බේත් වේලක් ගැනීමෙන් ඇති වන සෙතක් නැති බව ඒ අවස්ථාවේ ඔහු පැහැර ගත් තැනැත්තන් ඔහුට පවසා තිබුණි. කෙසේ වුවද ඔවුහු ඔහු මුදා හැරියෝය. දෙවැනි අවස්ථාවේ කිසිදු සමාවක් නොවීය. සිය දරුවන් හා බිරිඳ දැකගැනීමට ඔහු නැවත කිසිදාක ආපසු පැමිණියේ නැත. වසර පහක් පුරා ඔවුහු ඔහු ආපසු නිවෙස බලා එන තුරු මග බලා සිටිති.

අපගේ ජීවිතයේ ඉතාම තීව‍්‍ර කාල පරිච්ජේඡ්දයකට අයත් 1986 වර්ෂයේදීය මම මුලින්ම ප‍්‍රගීත්ව හඳුනාගත්තේ. අප අතර මහත් ගැඹුරු සහෝදරත්වයක් දලූ ලා වැඩුණේය. එය වූ කලී අපගේ දේශපාලන අදහස් වෙත අප‍්‍රතිහත කැපවීමක් පෙන්නුම් කළ සියලූම දේශපාලන චරිත සහ ක‍්‍රියාධරයින් පරීක්ෂාවට ලක්වූ යුගයකි.

පූර්ණකාලීනව දේශපාලනයේ නියුතුවීම සඳහා මම ඒ වනවිටත් මාගේ විශ්වවිද්‍යාල රැකියාව අත් හැර තිබුණෙමි. මේ වූ කලී ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අඳුරු වූත් මිනීමරු වූත් පරිච්ජේදයක් සලකුණු කළ මුළු රටම වෙලා ගත් බිහිසුණු දේශපාලන ගැටුම් පෙළක් සඳහා පූර්විකාව සැපයූ යුගයකි. ඉක්බිති උදා වූ භීෂණකාරී යුගය, දෙමළ කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසුව පවා, අද දක්වාම අඛණ්ඩව ගලා විත් තිබේ. ජේ.ආර්. ජයවර්ධනගේ අධිකාරිවාදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ පසුව බලයට පත් ආර්.පේ‍්‍රමදාසගේ ආණ්ඩුව මුළු රටම ඝාතන භූමියක් බවට පත්කරමින් ඝාතක කල්ලි මුදා හැර තිබුණේය. නීති විරෝධී පැහැරගැනීම් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම දේශපාලන ක‍්‍රියාවලිය වෙත හඳුන්වා දෙනු ලැබ තිබුණි. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙත සහය දැක්වූ අප ඉලක්ක කොට ගෙන ජනතා විමුක්ති පෙරමුණද ඝාතන ක‍්‍රියාවලියක් දියත් කොට තිබුණේය. එය ආරම්භ වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මහත් පිළිගැනීමක් හිමි වී සිටි ශිෂ්‍ය නායකයෙක් වූ දයා පතිරණ පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කිරීමෙනි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට බලය බෙදා හැරීම සඳහා සහයෝගය ලබාදුන් අප ‘විකල්ප කණ්ඩායම’ නමැති සංවිධානය ගොඩනගා ගෙන සිටියෙමු. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ස්වකීය බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අතැතිව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා සමඟ තම යුද්ධය ආරම්භ කොට තිබුණි.

දඹුල්ල ප‍්‍රදේශයේ ඝන කැලෑ තුළින් අවදානම් සහගත වූත් අවිනිශ්චිත වූත් පා ගමනක ප‍්‍රගීත් සහ මා නිමග්නව සිටියේ ඉහත කී පසුබිම තුළය. හිමිදිරි උදෑසන සිට අප ගමනේ යෙදී සිටි අතර මධ්‍යහන වන විට අප සාගින්නෙන්, පිපාසාවෙන් පීඩිතව ශාරීරිකව විඩා වැටී සිටියෙමු. අඩි පාරේ හිඳ ගත් මම තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ප‍්‍රගීත්ට කීවෙමි. මා සමඟ අමනාපයට පත් ප‍්‍රගීත් දුෂ්කරතා ඉදිරියේ මෙලෙස ඇද වැටෙන්නේ නම් සෙසු අයට දේශපාලනය ගැන දේශනා කරන්නේ කෙසේ දැයි මගෙන් විමසා සිටියේය. ඔහු මාව ලැජ්ජාවට පත් කළේය. ආත්මාභිමානය ඒකරාශී කරගත් මම නැගිට නැවත ඇවිදින්නට වූයෙමි. අප වනාන්තරයේ පිහිටි ගොවිපොළකට පා ගමනින් ළගාවීමු. මම එහි කෘෂිකාර්මික කම්කරුවෙක් ලෙස වැඩ කරන්ට පටන් ගත්තෙමි. එලෙස මා ආරක්ෂක හමුදා වෙතින් සැඟව ගත්තෙමි. ඒ අතරතුර අප යටිබිම්ගත දේශපාලන සංවිධාන ගොඩනැගීම සහ සංවිධානය කිරීම දිගටම කරගෙන ගියෙමු.

මේ කාලයේ මා සැඟවී සිටි ස්ථානය වෙත ඒම ප‍්‍රගීත් පුරුද්දක් වශයෙන් කරගෙන ගියේය. මාස හයකටත් වඩා වැඩි කාලයක් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පැවැතියේ ඔහු මත සහ ඔහුගේ අවංකත්වය, ඔහුගේ අචපල ස්වභාවය සහ මා ඔහු මත තබා තිබූ විශ්වාසය මතය. ඔහු මහත් ධෛර්යය සම්පන්න පුද්ගලයෙකි යන කරුණෙන් එහාට ඒ කාලයේ ඔහු ගැන මා වැඩි දෙයක් දැන සිටියේ නැත. පවුල් පසුබිම, පුද්ගලික තොරතුරු හෝ පුද්ගලික පසුබිම යනාදී කිසිවක් ගැන අනාවරණය නොකොට අප අපගේ යටිබිම්ගත දේශපාලන ජීවිතය ගත කළේ ඒ ආකාරයෙනි. එකිනෙකාගේ ජීවිත ගැන සාමාන්‍ය තොරතුරු පිළිබඳ අදහසක් නොමැතිව අප ඒ කාලයේ සම්පූර්ණයෙන්ම පදනම්ව සිටියේ එකිනෙකාගේ පෞද්ගලික ගතිගුණ මතය.

ප‍්‍රගීත්ගේ ආත්ම පරිත්‍යාගී කැපවීම සෑම විටම දීප්තිමත්ව බැබලූණේය. මුදල් ඉතිරි කරගැනීම සඳහා ඔහු පයින් ගමන් ගියේය. ආහාර වේල් මග හැරියේය. ඒවා ඉතා සුලභව සිදුවිය. මා බැලීමට පැමිණීමට පෙර තමා ආහාර ගෙන පැමිණි බව මට පෙන්වීමට ඔහු සෑම විටම උත්සාහ කළේය. ඉතාම දුෂ්කර අවස්ථාවලදී පවා ඔහු වෙතින් පලා නොගිය ඔහුගේ සිනහව මට සිහිපත් වේ. මට කළ උදවුවලට හිලවු වශයෙන් කිසිදු ප‍්‍රතිලාභයක් ඔහු කිසිදා බලාපොරොත්තු වූයේ නැත. ඒ වෙනුවට මාව බලන්ට පැමිණීමෙන් ඔහු තමාගේම ජීවිතය අවදානමකට ලක් කරගත්තේය. මා අද ජීවතුන් අතර සිටින්නේ ඔහු එදා මා ආරක්ෂා කළ බැවිනි. මා ඔහුට මුළුමනින්ම ණය ගැතිය.

දඹුල්ලේ සිට ආපසු කොළඹ පැමිණි පසු මට ඉක්බිති නැවත ප‍්‍රගීත් මුණ ගැසුණේ නැත. අප ජීවත් වූ යටිබිම්ගත දේශපාලන ජීවිතයේ රීතිවලට අනුව අත්‍යවශ්‍ය කරුණක් මත විනා ප‍්‍රගීත් සමග සම්බන්ධතා පවත්වා ගැනීම කළ හැක්කක් වූයේ නැත. එතැන් පටන් අප වරින් වර පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තෙමු. 1989 සැප්තැම්බරයේ දී මාගේ බිරිඳ රාජිණීව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළාට පසු මාගේ කුඩා දියණියන් දෙදෙනා සමග මම ශ‍්‍රී ලංකාවෙන් පලා ගියෙමි. ඔහුත් සියලූම අවදානම් ඉක්මවා ජීවිතය රැුකගැනීමට සමත් වු අතර අවසානයේ ස්වාමි පුරුෂයෙක් සහ දරු දෙදෙනෙක්ගේ පියෙක් බවට පත්වූයේය. ජීවත් වීමට අවශ්‍ය සියලූ හේතු ඔහු කෙරෙහි විය.

ප‍්‍රගීත් වැනි පුද්ගලයෙක් සලකුණකුදු නොතබා අතුරුදහන් කිරීම කළ හැක්කේ කෙසේද? ඊට පිළිතුර ගැබ් වී තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහි යුද්ධය තුළ ගොඩනගන ලද දේශපාලන සහ ආරක්ෂක යාන්ත‍්‍රණය තුළය. එය අප පුරවැසියන් ලෙස එතෙක් භුක්ති විඳි අවම දේශපාලන අයිතිවාසිකම් පවා අත්හිටුවීය. මෙම මර්දනකාරී යාන්ත‍්‍රණය සඳහා අවශ්‍ය ආවරණය සපයන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි රෙගුලාසි මගිනි. මෙය ‘රාජ්‍යයක් තුළ රාජ්‍යයක්’ පැන නැගීමෙහිලා පසුබිම සැපයූ අතර බොහෝ පැහැරගැනීම් සහ ඝාතන සිදුවූයේ මෙම පසුබිම තුළය. කිසිදු දඩුවම් ලැබීමකින් තොරව නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීම සහ දේශපාලනික වශයෙන් විසමුම්තික අදහස් මර්දනය කිරීම දෛනික ජීවිතයේ සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වූයේය. එමගින් ඇති වූ බියගැන්වීම ජනතාවගේ අභිලාෂයන් යටපත් කිරීමේ අවස්ථාව රාජ්‍යය වෙත සපයා දුන්නේය. දෙමළ කොටි සංවිධානයට එරෙහි තිස් අවුරුදු යුද්ධය කාලයේත් ඉක්බිති මෑතක පැවැත්වූ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ රෙජීමය මැතිවරණමය වශයෙන් පරාජය වන තුරුත් ඉහත කී වාතාවරණය කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව පැවතී ගෙන ආවේය.

දඹුල්ල ප‍්‍රදේශයේ ඝන කැලෑ තුළින් අවදානම් සහගත වූත් අවිනිශ්චිත වූත් පා ගමනක ප‍්‍රගීත් සහ මා නිමග්නව සිටියේ ඉහත කී පසුබිම තුළය. හිමිදිරි උදෑසන සිට අප ගමනේ යෙදී සිටි අතර මධ්‍යහන වන විට අප සාගින්නෙන්, පිපාසාවෙන් පීඩිතව ශාරීරිකව විඩා වැටී සිටියෙමු. අඩි පාරේ හිඳ ගත් මම තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ප‍්‍රගීත්ට කීවෙමි. මා සමඟ අමනාපයට පත් ප‍්‍රගීත් දුෂ්කරතා ඉදිරියේ මෙලෙස ඇද වැටෙන්නේ නම් සෙසු අයට දේශපාලනය ගැන දේශනා කරන්නේ කෙසේ දැයි මගෙන් විමසා සිටියේය.

විකල්ප අදහස් පෝෂණය කිරීමේ හා පවතින තත්ත්වය ප‍්‍රශ්න කිරීමේ හැකියාවෙන් හෙබි කුසලතා පූර්ණ පුද්ගලයින් ඉලක්ක කිරීම සහ ඔවුන් මුලූනුපුටා දැමීම ‘රාජ්‍යය තුළ රාජ්‍යය’ විසින් සිදු කරනු ලබයි. මහ දවාලේ සිදු වූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය මගින් පෙන්නුම් කෙරෙන්නේ එම යාන්ත‍්‍රණ්‍ය එබඳු සාපරාධී ක‍්‍රියාවන් කිරීමෙහිලා මොන තරම් සමර්ථතාවයක් දක්වන්නේද යන්නයි. මාධ්‍යවේදියෙක් ලෙස ප‍්‍රගීත් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව සිය සහය පළ කලේය. මේ සහයෝගය ඔහු ලබා දුන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට නොවේ. ප‍්‍රගීත්ගේ අතුරුදහන් වීමට හේතු වූවා යැයි සිතිය හැකි හේතු තුනක් තිබේ. පළමුව ප‍්‍රගීත් දේශපාලන කාටූන්කරුවෙක් විය. දෙවනුව 2010 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කළ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආධාරකරුවෙක් ලෙස ප‍්‍රගීත් ක‍්‍රියා කළේය. තෙවනුව පැවැති ආණ්ඩුව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය සහ දෙමළ කොටි සංවිධානයේ වෙනම දෙමළ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින අය අතර වෙනසක් දැකීමට නොහැකි වීමේ උපායමාර්ගික දෝෂයෙන් සෑම විටම ගිලන් වී සිටියේය. මේ හේතු අතරින් ඔහුගේ අතුරුදහන්වීමට වඩාත්ම තීරණාත්මක වූ සාධකය කුමක්දැයි අපට පැවැසිය හැක්කේ ඔහුගේ පැහැර ගෙන යාමට අණ දුන් පුද්ගලයින්ටම පමණි.

අතිශය ඵලදායී ප‍්‍රතිඵල ලැබෙන නිසා මර්දනකාරී ආණ්ඩු ඉතා සුලභව හිංසනය වෙත යොමුවන්නේය. එහෙත් කෙටි කාලයේදී ඵලදායී යැයි පෙනී යා හැකි දෙය දිගුකාලීනව බිය ගෙන දෙන නපුරු සිහිනයක් බවට පරිවර්තනය විය හැක. ඒ අතුරුදහන් කළ පුද්ගලයාගේ පවුලේ අය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කරන අධිකාරිවාදී ආණ්ඩුවක සාපරාධීභාවය පිළිබඳ ජීවමාන සංකේතයක් බවට එම අතුරුදහන් කිරීම පත්වන විටකදීය. ප‍්‍රගීත්ගේ සිද්ධියේදී සිදුවූයේ එයයි. පැවැති ආණ්ඩුව ඔහුගේ අතුරුදහන් වීම ගැන පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව ස්වකීය දේශපාලන සාපරාධීත්වය වසා ගැනීම සඳහා මුසා බස් ද තැනීය. එහෙත් සන්ධ්‍යයා සහ ඇගේ දරුවෝ ප‍්‍රගීත් පිළිබඳ මතකය වියැකී යෑමට ඉඩ දුන්නේ නැත. එසේම අතුරුදහන්වීමට ලක් වූ ඔහුගේ තවමත් හෙලිදරවු නොවූ ඉරණම පිළිබඳ ප‍්‍රශ්නය පැවැති ආණ්ඩුවේ දේශපාලන අපරාධවලට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර තලයේ දියත් වූ ක‍්‍රියාකාරීත්වය තුළ රැුඳවීමට ඔවුහු සමත් වූහ. සන්ධ්‍යයාගේ නොපසුබට ධෛර්යය සහ සත්‍යය හා යුක්තිය සාක්ෂාත් කරගනු වස් ඇය ගෙන යන සටන අප සියලූ දෙනාට ආදර්ශයකි. බියගැන්වීම් සහ අවලාද කීම් ඉදිරියේ දණ නැවීම ප‍්‍රතික්ෂේප කළ ඇය ස්වකීය ස්වාමි පුරුෂයා කෙරෙහි වූ අපේක්ෂාව නමැති ගිනිසිලූව නොනිමී ජීවමානව පවත්වා ගැනීමට මේ දක්වා සමත් වී සිටින්නීය.

හැනා ඇරෙන්ඞ්ට් ‘දේශපාලනය පිළිබඳ පොරොන්දුව (2005)’ (The Promise of Politics) කෘතියේ මෙසේ ලියයි.

‘‘ නීති විරහිත තත්ත්වයක් යනු සංවිධානාත්මකව වැඩ කරන පුද්ගලයින් විසින් ජනනය කරන බලය තවදුරටත් යථාර්ථයක් වූ තත්ත්වයක් පමණක් නොව නිෂ්ක‍්‍රීයභාවයද කෘතිම ලෙස ගොඩනංවන ලද තත්ත්වයකි. මෙම පොදු බල විරහිත තත්ත්වය මතින් බිය පැන නගී. මෙම බිය තුළින් හට ගන්නේ ආධිපත්‍යය පිළිගැනීම සඳහා ස්වකීය යටත් විෂයන් ගොදුරු කරගැනීමට ප‍්‍රජාපීඩකයා තුළ පවතින උවමනාවයි’’ ( 69 පිටුව )

ප්‍රගීත් එක්නැළිගොඩ

ප්‍රගීත් එක්නැළිගොඩ

තමා විසින් සිදුකළ අපරාධවලට විරුද්ධ වන පුද්ගලයින්ට එරෙහි බියගැන්වීම් දියත් කරමින් එබඳු පරිසරයක් නිර්මාණය කිරීමට පැවැති ආණ්ඩුව සමත් වූයේය. නීතියේ ආධිපත්‍යය බිඳ දැමූ අධිකාරීවාදී රෙජීමයක් නිර්මාණය කිරීමේදී පැවැති ආණ්ඩුව විසින් දැක්වූ රාක්ෂස හැසිරීම අප සියලූදෙනාගේ ජීවිත අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමා ඇත. දේශද්‍රෝහීන් යැයි සලකන ලද පිරිස් කිසිදු ඇසිල්ලක් බැලිල්ලකින් තොරව දණ්ඩනයට ලක්වීමේ සුදුස්සන් බවට පත්කරන ලදී. ඔවුන්ට නෛතික රැකවරණ ලබාගැනීම සඳහා කිසිදු ඉඩක් නොවීය. ආණ්ඩුවේ දෙපතුල් ලෙවකෑම ප‍්‍රතික්ෂේප කළ මාධ්‍යවේදීන් රාක්ෂසකරණය කිරීම සඳහා රජය නොවත්වාම ස්වකීය මාධ්‍ය ආයතන සහ වෙනත් ආයතන පාවිච්චි කළේය. රාජකාරි ස්ථානය බලා යාමේදී හෝ වැඩ අවසන්ව නිවෙස බලා යාමේදී ඇතැම් මාධ්‍යවේදීන් ශාරීරික පහරදීම්වලට ගොදුරු වූහ. අපරාධකරුවන් සොයාගැනීම සඳහා පොලීසිය ඇතුලූ බලධාරීන් දකවන ලද්දේ අල්ප ආයාසයකි. පැවැති රජය දකුණු ලංකාව තුළ ජීවත් වීමේ අයිතිය මුලින්ම අත්හිටුවීම් ආරම්භ කළේ පාතාල ලෝකයේ ‘අපරාධකරුවන්ගෙන්ය’. උතුරේදී දහස් ගණනක් සැකයට පාත‍්‍ර වූ ‘ත‍්‍රස්තවාදීන්’ පැහැර ගැනීමටත් අතුරුදහන් කිරීමටත් ලක්වූහ. අපරාධ සැකකරුවන් මරා දැමීමෙන් පසු ඒ සම්බන්ධ විවිධ ‘පැහැදිලි කිරීම්’ පොලීසිය විසින් ඉදිරිපත් කරන්නට විය. ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආයුධ සන්නද්ධව විරෝධය පළ කළ නිසා වෙඩි තබන්නට සිදු වූවා හෝ අපරාධකරුවන් අත්අඩංගුවෙන් පැන යාමට උත්සාහ කිරීමේදී වෙඩි තැබුවා ආදී වශයෙනි. ඊනියා ‘අපරාධකරුවන්’ අරභයා අධිකරණ පටිපාටියක් අනුගමනය කළේ නැත. විනිශ්චයකාරවරයා මෙන්ම අලූගෝසුවාද වූයේ පොලීසියයි. මේවා ගැන විමර්ශන සිදුවූයේ නැත. පාතාල ලෝකයේ අය මරා දැමීම ගැන රූපවාහිනී වැඩසටහන්වලදී පම්පෝරි ගසන්නට වූයේ කැබිනට් ඇමතිවරුන්ය. තමන්ගේ ස්වාධීන අදහස් ප‍්‍රකාශ කළ බොහෝ මාධ්‍යවේදීන්ට ජීවිතය බේරා ගැනීම පිණිස රට අත හැර යාමට සිදුවිය. ආණ්ඩුවේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයට තර්ජනයක් එල්ල කළ නිසා යුද ජයග‍්‍රහණයටත් පෙර ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර දමන ලදී. ප‍්‍රගීත් යුරෝපයට පලා ගොස් එහි ජීවත් වන බවට පසුගිය වසරේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලංකා ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ බොරු කී අතර එය පසුව ආණ්ඩුව දැඩි ලෙස අපහසුතාවයට ලක්කරන සිද්ධියක් බවට පත්විය. රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් ප‍්‍රගීත්ව තමා ප‍්‍රංශයේදී දුටු බවට නියෝජ්‍ය ඇමතිවරයෙක් පවා ප‍්‍රකාශ කොට තිබුණේය. මෙම බොරු පතළ කිරීමට පෙර සිටම ඇතැම් පාර්ශ්වික මාධ්‍යවේදීන් ප‍්‍රගීත්ගේ අවංකකම ගැන සැක සිතෙන දෑ ලියමින් ප‍්‍රගීත් පැහැර ගැනීමට ලක්වී නැති බවට හැගවෙන තර්ක ගොඩනගන විවිධ ලිපි ලිවීමෙහි නියුක්තව සිටියේය. ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකොට ඔහුගේ පවුලේ අයට ඔහුට සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගන්නට සැලැස්වීම වතමන් ආණ්ඩුවේ වගකීමකි. එය සිදුවන තුරු ඔහුගේ දරුවන්ගේ සහ බිරිඳගේ ජීවිත අන්ධකාරය තුළම ගෙවී යනු ඇත.

අප සැඟවී සිටි ආරක්ෂිත ස්ථානය වෙත ගමන් කරන අතරතුර මැක්සිම් ගෝර්කි ගේ ‘මගේ ගමන් සගයා’ නමැති කෙටිකථාව පිළිබඳ මා සමග ප‍්‍රගීත් දොඩමලූ වූ ආකාරය මට තවමත් මතකය. මා ඒ වනවිට එම කථාව කියවා තිබුණේ නැත. ගෝර්කිගේ කෙටි කථාවේ උපුටනයකින් මෙම ලිපිය අවසන් කිරීම ප‍්‍රගීත් පිළිබඳ මාගේ මතකය පිදෙන උපහාරයක් යැයි මම සිතමි.

‘‘ මාස හතරක් පුරාවට මාගේ ගමන් සගයා වූ එම පුද්ගලයාව මට නැවත කවදාවත් මුණ ගැසුණේ නැත. එහෙත් හාස්‍යය පිරි හැගීමකින් සහ ප‍්‍රීතිමත් සිනහවකින් යුක්තව මම ඔහුව නිතර සිහිපත් කරමි. බුද්ධිමත් දාර්ශනිකයන්ගේ ඝන කෘති එකතුවල අඩංගු දෑට වඩා බොහෝ දෑ ඔහු මට ඉගැන්වීය. ජීවිතය විසින් ලබාදෙන ප‍්‍රඥාව සෑමවිටම තනි තනි මිනිසුන්ගේ ප‍්‍රඥාවට වඩා ගැඹුරුය. පුළුල්ය’’

(ඉංග්‍රිසි ලිපියේ පරිවර්ථනය samabima වෙතිනි)

Back to Top