Sri Lanka Brief
පුවත් විශේෂාංගතොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි! – නාලක ගුණවර්ධන

තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි! – නාලක ගුණවර්ධන

by

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!

 

Back to Top