Sri Lanka Brief
පුවත්විවරණජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

ජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

by

මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු ලංකාවේ ආණ්ඩුකරණ න්‍යාය පත‍්‍රයේ ඇති ප‍්‍රධාන තේමාවක් වන්නේ, ආණ්ඩුකරණ ආයතන යළි ගොඩනැගීමයි. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාලවල සිට ගමේ ග‍්‍රාම නිලධාරී හා සමෘද්ධි කාර්යාල දක්වා ”ආයතන යළි ගොඩනැගීමේ” අභියෝගය විහිදී තිබේ. මෙම කරුණ ගැන ආණ්ඩුවේ කොටස් අතර අවබෝධයක් සහ වුවමනාවක් තිබෙන බව පෙණුනත්. එය කොතරම් ශක්තිමත් එකක් ද යන්න පැහැදිලි නැත. දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව කැප වී කටයුතු කරන සිවිල් සමාජයේ ව්‍යාපාර විසින් දිගින් දිගටම අවධානය යොමු කළ යුතු වන මෙම තේමාවේ වැදගත්කම පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ වේ.

    ශක්තිමත් දේශපාලන හා ආණ්ඩුක‍්‍රම ආයතන පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ නොනැසී පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියකි. එයට ප‍්‍රධාන හේතුව , ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනතන්ත‍්‍රයක් යනු ,”මිනිසුන්ගේ නොව නීතියේ පාලනයක්” (Rule by Law, not by Men) වන නිසාය. මිනිස්සු එනම් දේශපාලනඥයෝ, ආණ්ඩුකරන ක‍්‍රියාවලියට එති. යති.

එහෙත් ආණ්ඩුකරණය දිගටම ක‍්‍රියාවලියක් ලෙස පැවතීමට නම් දේශපාලයඥයින්ට වඩා යමක් ඒ සඳහා තිබිය යුතුය. ඒවා නම් ආණ්ඩුකරණ ආයතන, ඒවායේ පටිපාටි, නීති පද්ධතීන්, සම්ප‍්‍රදායයන් යන ඒ්වාය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ”රාජ්‍ය පරිපාලනය” යන්න ගොඩ නැගී තිබෙන්නේ මෙම මූලධර්මය පදනම් කොටගෙනය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයක් තුළ පවතින සමහර ආයතන, දේශපාලන ”මිනිසුන්ගෙන්”, එනම් දේශපාලන බලයට පත් වන පුද්ගලයන්ගෙන්, ස්වාධීන ඒවාය. අධිකරණය, මැතිවරණ කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිෂම යනාදිය මෙයට උදාහරණයි. තවත් සමහර ඒවා දේශපාලන නායකත්වයෙන් සාපේක්ෂක වශයෙන් ස්වාධීන ඒවාය. සන්නද්ධ හමුදා, මහ බැකුව, විශ්වවිද්‍යාල, පාසල් පද්ධතිය, නිලධාරි තන්ත‍්‍රය, පරිපාලන ව්‍යුහය යන මේවා ඒ සඳහා උදාහරණයි. තවත් ඒවා දේශපාලකයින්යෙන් සමන්විත වුවත්, ආයතනික වශයෙන් ශක්තිමත්, එමෙන්ම එකිනෙක අතර පවත්නා සම්බන්ධයේ මනා තුල්‍යතාවයක් පවත්වා ගත යුතු ආයතන වෙයි. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව යන ආයතන දෙක මෙවැනි ආයතන කුලකයකට නිදසුනකි.

මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය පැවති කාල පරිච්ඡෙදයේදී සිදු වූ දෙයක් නම්, ඉහත දැක් වූ තුන් ආකාරයේම ආයතනවල පැවැත්ම දුර්වල කිරීම හා ඒවායේ පැවැත්මේ පදනම් ඛාදනය කි්රීමයි.

”රාජපක්ෂ රෙජීමය” යන වචනය බොහො දෙනෙකු විසින් පසු ගිය කාලයේ පාවිච්චි කරන ලද්දේ, එක් අතකින්, මෙම නිශ්චිත අර්ථය ද ප‍්‍රකාශ කිරීමටය. රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂ ලක්ෂණයක් වශයෙන් අප රටේ බොහෝ දෙනා, අත්දැකීමෙන් හා දේශපාලන ඉවෙන් දැන සිටි මෙම කරුණ දේශපාලන න්‍යාය ආශ‍්‍රය කොට ගෙන තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මෙසේ විස්තර කළ හැකිය: ආණ්ඩුකරණ ආයතනවල ස්වාධීනත්වය, සාපේක්ෂක ස්වාධීනත්වය සහ ආයතනික පැවැත්ම දුර්වල හා ඛාදනය කිරීමත්, සමහරවිට විනාශ කිරීමත් රාජපක්ෂ රෙජීමයේ අධිකාරවාදී ව්‍යාපෘතියේ ප‍්‍රධාන නිර්ණායක ලක්ෂණයක් විය. මෙය ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ පළමු වන අදියර වූ 2005-2009 කාලයේදීය. එහි දෙවන අදියර වූ 2009-2014 අවධියේදී එම ක‍්‍රියාවලිය වඩාත් තීව‍්‍රව ඉදිරියට ගියේය. 2015 ජනවාරි මාසයේදී රාජපක්ෂ මහතාට තෙවැනි පාලන අදියරකුත් ලැබුණි නම්, ආයතන ”ඛාදනය කිරීමේ” ක‍්‍රියාවලිය, ආයතන ”විනාශ කිරීමේ” ක‍්‍රියාවලියක් බවට වර්ධනය විය හැකිව තිබිණි. ජනවාරි 09 දා ජනාධිපතිධුරයේ ඇති වූ වෙනස, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නොනැසී පැවැත්මට අතිශයින්ම තීරණාත්මක වන සිදුවීමක් වූයේ, රාජපක්ෂ රෙජීමයේ මෙම තෙවන අදියර ඒ මගින් අත්හිටවනු ලැබූ නිසාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක්, අධිකාරවාදී දේශපාලන ක‍්‍රමයක් බවට පත් වන පරිවර්තනයේදී සිදු වන එක් ක‍්‍රියාවලියක් වන්නේ, ආණ්ඩුකරණ ආයතනවල ”කොන්ද කැඞීමයි.”

එනම් ඒවා, දේශපාලන නායකයින්ගේ පුද්ගලික බල ව්‍යාපෘතිවලට සම්පූර්ණ ලෙස යටත් කිරීමයි, පුරවැසියා හා රාජ්‍යය අතර සම්බන්ධය මාධ්‍යයනය කරන අ-පුද්ගල ආයතන හා ව්‍යුහයන් පුද්ගලික දේශපාලනකරණයයි. වර්තමාන කාලයේ තුර්කිය සහ මැලේසියාව මෙම අධිකාරවාදී පරිවර්තනයේ උදාහරණ දෙකකි. පසු ගිය ජනවාරි 09 දා වැලකුණේ, මේ සඳහා තුන්වැනි ආදර්ශයක් බවට ලංකාව පත් වීමයි.

දැනට ලංකාවේ පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපනය කිරීමේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන තේමාවක් බවට පත් වී ඇති මෙම කාරණය දේශපාලන වශයෙන් සවිඥානික සහ ක‍්‍රියාකාරී කොටස් විසින් විශේෂ උනන්දුව යොමු කරනු ලැබිය යුත්තකි. ආයතන යළි ගොඩ නැගීමේ කාර්යය ඉහළින් පමණක් කළ හැකි දෙයක් නොව, ආයතන තුළින්ද මතු විය යුතු ක‍්‍රියාවලියකි. උදාහරණයක් දක්වතොත්, අධිකරණය දේශපාලන නායකත්වයෙන් හා විධායකයෙන් ස්වාධීන විය යුතුයයිද, එම ස්වාධීනත්වය යළි ගොඩනැගිය යුතුයයිද යන විශ්වාසයෙන් යුතු සියලූ විනිශ්චයකාරයින්ද ක‍්‍රියාත්මක විය යුතු වෙයි. විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුය යන්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේද උපකුලපතිවරුන්ගේද ප‍්‍රතිපාදන කොමිසමේද විශ්වාස පද්ධතියට එක් විය යුතුය. පරිපාලන ක්ෂේත‍්‍රය දේශපාලන නායකත්වයෙන් සාපේක්ෂ වශයෙන් ස්වාධීන විය යුතුය යන විශ්වාසය, ග‍්‍රාම නිලධාරියාගේ සිට අමාත්‍යංහ ලේකම්වරයා දක්වා වන නිලධාරී තන්ත‍්‍රයේ විඥානයට යළි එකතු කළ යුතුය. රාජ්‍යය හා පුරවැසියා ආරක්ෂා කිරීම මිස නගර සංවර්ධනය හා භාණ්ඩාගාරයට විදේශවිනිමය සොයා දීම සන්නද්ධ හමුදාවල කාර්යය නොවන බව හමුදාපතිගේ සිට සාමාන්‍ය සෙබළුන් දක්වා ඇති හමුදා ආයතනික විඥානයට යළි එකතු කළ යුතුය.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ආයතන ඛාදනය කිරිමේ ක‍්‍රියාවලිය පටන් ගත්තේ 1977 දි බලයට පැමිණි එජාප ආණ්ඩුවේ ජනාධිපති වූ ජේ ආර් ජයවර්දනය. ඔහුගේ ප‍්‍රහාරයට ලක් වූ ප‍්‍රධානම ආයතන වූයේ කැබිනට් මන්ඩලය. පාර්ලිමේන්තුව, අධිකරණය හා රාජ්‍ය සේවයයි. එහෙත් ආයතන විනාශ කිරීම, ජයවර්දනගේ අරමුණ නොවීය. ඔහුගේ බල ව්‍යාපෘතියට අවශ්‍ය වූයේ ආයතන ”කීකරු” කිරීමයි.

ජනාධිපති පේ‍්‍රමදාස, ජනාධිපති ජයවර්දනගේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස්, ආයතන ”විනාශ කිරිමේ” අදහස තම බල ව්‍යාපෘතියට හඳුන්වා දුන්නේය. එහෙත් එම අදහස සම්පූර්ණ ලෙස ක‍්‍රියාත්මක කිරිමට තරම් කාලයක් බලයේ සිටීමට ඔහුට නොහැකි විය. ඉන් පසුව 1995-2003 කාලය තුළ ආයතන යළි ගොඩ නැගීම දේශපාලන න්‍යායපත‍්‍රයට එකතු විය. එහෙත් එය ශක්තිමත්ව ඉදිරියට ගියේ නැත. 2005- 2014 අතර දස වසර, ලංකාවේ ආයතනික පසු බැස්ම ඉතා තියුණු ලෙස සිදු වූ කාල පරිච්ඡෙදයයි.

2015 වසර ඉතිහාසයට එක් විය යුත්තේ, ලංකාවේ ආණ්ඩුකරණ ආයතන යළි ගොඩනැගීමේ නව අදියරක ආරම්භය සලකුණු කිරීමක් වශයෙනි.

– ඉදිරිය පෙබරවාරි 08 කලාපයෙනි

Back to Top