Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (02)

ඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (02)

by

N නම් සෙබලා හා ‘‘දිවි ගලවා ගැනීමේ වරදකාරී හැඟීම’’(survival guilt )
සටනේ යෙදී සිටියදී තම මිතුරෙකු මිය යාම නිසා යුද අත්දැකීම් බහුල සෙබළුන් තුල විෂාදියට අදාළ වඩාත් ඉහල ප‍්‍රවණතාවයක් පවතී. දිවිරැුකගැනීමට අදාලව තමන් වරදකරුවෙකුයි සිතීම, විශේෂයෙන්ම අවධානයට යොමු වියයුතු රෝග ලක්ෂනයකි. සාමාන්‍යනේ අනෙකුත් යුද සාමාජිකයන් විශාල ලෙස බිලිගන්නා ආපදාවකින් වාසනාවන්ත ලෙස දිවිරැුකගන්නා පුද්ගලයින් විස්තර කිරීම සඳහා යොදා ගන්නා යෙදුමකි, ‘‘දිවි ගලවා ගැනිමට අදළ වරදකාරී හැඟීම’’ යන්න, අතාර්තික මට්ටමකින් මෙම පුද්ගලයින් මරණයේ හස්තයෙන් මිදීම දෙස වේදනාවෙන් බලයි.

N නම් රණවිරුවා යනු දිවිගලවා ගැනීම පිළිබඳව වරදකාරී හැගීමක් නිසා බොහෝ සේ කැළඹී සිටි පුද්ගලයෙකි. ඔහු 1992 දී යුධ හමුදාවට බැදී උතුරේ සේවය කළේය. ගැටුමේදී සටන්වැදී සිටින විට පුනානි දුම්රිය ස්ථානයදී ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ඔහුගේ සගයාට වෙඩි තබන ලදී. සගයා බිම ඇද වැටුනු අතර ඔහුට සිහසුන් නැතිවිය. තම සගයාට උදව් කිරීමට N ට අවශ්‍ය වූ නමුත් දරුණු වෙඩි හුවමාරුවීම් නිසා ඔහුට සගයා වෙත ලඟාවිය නොහැකි විය. අනෙකුත් සෙබලූන්ද සමග ඔහු සතුරාට පහරදී අන්තිමේදී සිය සගයා වෙත ලඟාවිය. එහෙත් එවිට එහු මියගොස් සිටියේය. මෙම සිද්ධිය නිමා ඔහු තදින් කම්පාවට පත්විය. තම සහයාට උපකාර කළ නොහැකි වීම පිළිබඳව ඔහුගේ සිතෙහි වරදකාරී බවක් හට ගත්තේය.

1997 වන විට ඔහු නිතර නිතර හිසරදයෙන් පෙලූනේය. ඔහුගේ මියගිය මිතුරාව ආවර්ජනය වීම හා සැලකිය යුතු විෂාදියක්ද පෙන්නුම් කළේය. ඔහු ඉක්මනින් කුපිත වීමේ ප‍්‍රතික‍්‍රියාවක් පෙන්නුම් කලේය. N නම් මෙම යුද සෙබලා හමුදා රාජකාරී සම්බන්ධව අසීරුවට පත්වු අතර හමුදාවට අදාල තත්ත්වයන් මගහැරිමට ඔහුට අවශ්‍ය විය. 2003 වසරේදී ඔහුව කොළඹ යුද හමුදා රෝහලට යොමු කරන ලද අතර Depression ආබාධය ඇති බවට හදුනා ගන්නා ලදී. මනොචිකිත්සක ප‍්‍රතිකාර සහ ඖෂධ ප‍්‍රතිකාර දුන් පසුව ඔහුගේ තත්ත්වය යහපත් අතර හැරිනි. 2005 වන විට බොහෝ Depression රෝග ලක්ෂණ වලින් ඔහු මිදුනි. සංජානනමය ප‍්‍රතිසැකසීමකින් පසුව ඔහුට සැඟවුනු සත්‍යය දැනගැනීමේ හැකියාව ලැබුනු අතර, ඔහුගේ සගයාගේ මරණයට තමා වගකිව නොයුතු බව N නම් රණවිරවා දැන් දනී.

මා ඔහුව පණපිටින් මිහිදන් කලේද?
ස්නයිපර් වෙඩි පහරකින් තම සෙබල සගයා මරණයට පත්වනු දුටු D 26 සෙබලාට දැඩි අනුකම්පාවක් පහල විය. ඔහුගේ සිරුර ආපසු ගෙනඒමේ කිසිම ක‍්‍රමයක් භට කණ්ඩායමට නොවීය. සෙබලාගේ මරණය සහතික වු පසුව ඔහුව වළලා දමන ලෙසට D 26 ට අණ ලැබින. තම මිතුරාගේ සිරුර ස්පර්ශ කළ ඔහුට, මියගිය මිතුරාගේ සිරුර උණුසුම් බවක් දැනුනි. සමහරවිට උතුරේ පවත්නා දැඩි උෂ්ණත්වය නිසා වන්නට ඇත. දුක, ශෝකය මැද්දේම D 26 ක් වලක් කපා තම මිතුරාගේ දේහය මිහිදන් කළේය. පසුව ඔවුහු ඕමන්තේ බලා ගමන් කළහ. දින කිහියකට පසුව තම මිතුරාව පණපිටින් මිහිදන් කළේය යන ආතර්තික හා වරදකාරී හැගීමක් D 26 ට ඇති විය. ඔහු මෙම වේදනාත්මක හැගීම බොහෝ කල් යනතෙක් යටපත් කොටගෙන සිටියේය. ක‍්‍රමයෙන් එය අසහනකාරී සිතුවිල්ලක් බවට පත්ව, තවදුරටත් ඔහුට දරාගත නොහැකි විය. 2003 වසරේදී දිවිරැුක ගැනීමෙ ්වරදකාරී හැඟිමකුත් සමගම දැඩි විෂාදී ප‍්‍රතික‍්‍රියා දැක්විය. මිත‍්‍රශිලි හා චිකිත්සක මැදිහත්වීමක් සහිතව තර්කානුකුල නොවූ හා සාධාරන නොවූ අදහස් එකට මුණගස්වන ලද තාර්කික සංවේදි චිකිත්සාව Rational Emotive Therapy ඔහුට ලබා දෙන ලදී. චිකිත්සාවට මුහුණ දීමෙන් පසුව D 26සෙබලා දිගු කාලයක් දරාගෙන සිටි කලකිරිම් සහිත මානසික බරෙන් නිදහස් වූයේය.

‘මගේ සාජන්ට් මගේ දෑත් මතම මියගියේය’’ TF නම් සාමාන්‍ය සෙබලා පවසයි.

මා උපන්නේ පොළොන්නරුවෙ ප‍්‍රදේශයේ කුඩා ගමක වන අතර අපගේ ගම නිරන්තරයෙන් කොටි ඉලක්කයක් බවට පත්ව තිබින. පිරිමින්, කාන්තාවන් හා කුඩා ළමුන්ද මරා දමමින් කොටි කිහිපවරක්ම අපේ ගමට පහර දුන්නේය. පහරදීම් වලින් අනතුරුව සමූහ අවමගුල් උත්සව පවත්වන ලද අතර ගම්වැසියන්ගෙන් බොහෝ දෙනෙකු මුලූමනින්ම කඩාවැටි ඉතාම අනාරක්ෂිත බවට පත්වූහ. කුඩා දරුවෙකු ලෙසින් මෙම අතිශය භයානක සිදුවිම් මා වටා සිදුවනු මට දැකගත හැකි විය. රාත‍්‍රී කාලයේදී ආරක්ෂක හේතූන් මත අප නිදාගත්තේ නිවෙස් තුල නොව කැලෑ ඇතුලේය. මෙම භයංකාර ගැටලූ විසදීම සඳහා යුද හමුදාවට බැදෙනු මිස අන් මගක් එකල මම නොදුටිමි. එබැවින් හමුදාවට බැදීමේ දැඩි තීරණයට එල්බ සිටියෙමි.

මගේ පවුලට බොහෝ මූල්‍යමය අපහසුතාවන්ටද මුහුණ දිමට සිදුවූ අතර එය මගේ අධ්‍යාපනයටද බලපෑවේය. මට තවදුරටත් අධ්‍යපනයේ යෙදිය නොහැකි වූ අතර, මම යුද හමුදාවට බැදුනෙමි.
1997 වසරේදී මා ‘‘ජයසිකුරු’’ ක්‍රියාන්විතයට සහභාගි වූ අතර මාන්කුලම් මාර්ගය අත්පත් කරගන්නා ලෙස අපට අණ ලැබුනි. අපි සතුරා සමග මුහුණට මුහුණලා සටන් කළෙමු. වෙඩිහුවමාරුව පැය 3 ක පමණ කාලයක් පැවතින. කමාන්ඩෝ ඒකකයක් අපගේ සහායට පැමිණි අතර තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට අපට හැකිවිය. මගේ අධිකාරී නොලත් නිලධාරියා හා මගේ ගුරුවරයා වූ සාජන්ට් KK මා පිටුපසින් විය. බොහෝ සටන් ශිල්ප ක‍්‍රම මට කියාදුන්නේ ඔහුය. අප සැමවිටම සතුරා සමග සටන් කලේ එකටමය. මා ඔහුව ආරක්ෂා කළ අතර ඔහු මාව ආරක්ෂා කලේය. වසර කීපයක් තිස්සේ දෙදෙනාම වාසනාවන්තයින් විය. කෙසේ වෙතත් මාන්කුලම්වලදී ඔහුට වෙඩි වදින ලදී. වැදුනු මුනිස්සම හේතුවෙන් ඔහුගේ තුවාලයෙන් බෙහෙවින් ලේ ගලමිනි තිබින. ඔහුව ඉවත්කිරීමට මම උපකාරී වූයෙමි. ඔහු ජිවිතය ලැබෙන ලෙස යාඥා කරමින් මම ඔහු ඔසවාගෙන ගියෙමි. ඔහුගේ හුස්ම වැටීම කෙටි වන්නට පටන් ගති. මට මධ්‍යස්ථානයට යාගත නොහැකි විය. අතරමගදී ඔහු මගේ දෑත් මතම මිය ගියේය.

ඔහුගේ මරණයෙන් පසුව ඔහු බේරා නොගන්නා ලද්දේයැයි මගේ හෘද සාක්‍ෂිය මට දොස් කියන්නට පටන් ගති. මට ඉතාම වරදකාරී හැඟිමක් ඇති විය. ඔහුව නියමිත වේලාවට වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙනයාමට මට පුළුවන් වූයේ නම් මට ඔහුගේ ජිවිතය බේරා ගැනීමට තිබුනි. එහෙත් මා ප‍්‍රමාද වූවා වැඩිය සාජන්ට්KK මියගියේය. මෙම වරදකාරී හැගීමෙන් හා සටන් ආශ‍්‍රිත බියකරු සිහින දැැකිම හා විවිධ අමිහිරි මතකයන් සිතට බලෙන් ඇතුලුවිම ආදි දෙයින් මා කරදයට පත්විය. මගේ ජිවිතය එක තැන නැචතූනාක්් මෙන් දැනින. මා ගැටුම්කාරි සිද්ධ්වලට අදාල දුක්මුසු හා ජුගුෂ්සාජනක හැඟීම්චලින් පිරිගියේය.මෙම ප‍්‍රශ්න සියල්ල හේතු කොට මා දැඩි කලකිරිමකට පත්ව, වෙඩිතබාගෙන දිවි හානිකොට මෙම පීඩාව දුරු කිරිමට සිතුවෙමි.කිසියම් කෙනෙකු හෝ කිසියම් බලවේගයක් විසින් මා බේරගන්නා ලද අතර ජීවිතය දෙසට පාර පෙන්වා දුනි.නැවත මම ආලෝකය දිටිමි.
(TF නම් සෙබලාට විෂාදියට අදාල තත්ත්වය ඇති බව සොයා ගන්නා ලදි. ප‍්‍රතිකාර වලින් පසුව ඔහුට සුවය ලබා ගැනීමට හැකිවිය. දිගු කාලයක් තිස්සේ ඔහුට වදදුන් වරදකාරී හැඟීමෙක් ඔහු නිදහස් විය. දැන් ඔහු අවි ආයුධ නොමැතිව ඔහුගේ ඛණ්ඩයේ සැහැල්ලූ වැඩරාජකාරී වල යෙදී සිටී.)

(වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද War Trauma Experienced by the Sri Lankan Combatants ලිපිය ඇසුරෙනි. පරිවර්තනය S. A.  වික‍්‍රමසිංහ)

Back to Top