Sri Lanka Brief
පුවත්විවරණ2014: මානව හිමිකම් කෙළෙසීමේ රාජපක්ෂ වාර්තාව

2014: මානව හිමිකම් කෙළෙසීමේ රාජපක්ෂ වාර්තාව

by
(ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාධරයකු  වන රුකී ප්‍රනාන්දු,  දින තුනක් තිස්සේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලදී.)

හියුමන් රයිට්ස් වොට්ච් සංවිධානයෙහි  මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්  2014 වාර්ශික වාර්තාවෙහි  ලංකාව සම්බන්ද පර්ච්ජේදය පහත දැක්වේ.

යුද්ධය පැවති සමයේ සිදු වූ අපචාරයන් පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් ප්‍රගතියක් දක්වා නැත. 2013 මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනා සම්මතයට අනුකූලව කටයුතු කිරීමට රජය අසමත්වීම 2014 දී නව යෝජනා සම්මතයකට මග පෑදීය. යෝජනා සම්මතය මඟින්, ශ්‍රී ලංකාවේ 2009 වසරේ දී අවසන් වූ සිවිල් යුද්ධය පැවති කාලසීමාවේදී දෙපාර්ශ්වය විසින් සිදුකරන ලද අන්තර් ජාතික මානව හිමිකම් සහ මානවීය නීතිය උග්‍ර ලෙස කඩකිරීම් හා ඒ හා සම්බන්ධ අපරාධ පිළිබඳ විමර්ශනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් (OHCHR) ඉල්ලා සිටින ලදී.

ආණ්ඩුව තමන්ට එරෙහිව විවේචන සිදු කරන්නන් මර්දනය කිරීම දිගටම සිදු කරමින් සිටියි. 2014 මාර්තු මාසයේදී, දෙමළ ජාතික ක්‍රියාධරයෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සොයා බලමින් සිටි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පුද්ගලයන් දෙදෙනෙකු රැඳවුම් භාරයට ගන්නා ලදී. ඔවුන් දෙදෙනා පසුව නිදහස් කරනු ලැබූව ද, ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් දරුණු නීතිය යටතේ දෙමළ ජාතිකයන් ගණනාවක් අත් අඩංගුවට ගන්නා ලදී. ත්‍රස්තවාදය සඳහා මුදල් ලබාදෙන්නන් වශයෙන් විදේශීය දෙමළ සංවිධාන 16 ක් ආණ්ඩුව විසින් නම් කරනු ලැබුවේ එම කණ්ඩායම් විසින් සිදුකරන ලද නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය.

බොදු බල සේනා (BBS) නැමති බෞද්ධ අන්තවාදී සංවිධානය විසින් ජුනි මාසයේදී පවත්වන ලද රැලියක් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමෙන් මුස්ලිම් ජාතිකයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එහි දී අවම වශයෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් ද විනාශ විය.

විදේශ රටවල දේශපාලන රැකවරණය ප්‍රතික්ෂේපවීමෙන් පසු බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ආපසු හරවා එවනු ලබන දෙමළ ජාතිකයින්ට ආණ්ඩුව සලකන ආකාරය අවධානයට ලක්විය යුතු ගැටලුවකි. ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය පතා පැමිණි විදේශීය ජාතිකයින් බලහත්කාරයෙන් ආපසු යැවීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 2014 දී ආරම්භ කරන ලද අතර, මොවුන්ගෙන් බහුතරය පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ අවදානමට ලක් වූ ප්‍රජාවන් වල සාමාජිකයෝ වෙති.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශවල පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආණ්ඩුව විසින් අඛණ්ඩව සිදුකර ගෙන යයි. දිගු කලක සිට පොරොන්දුවක්ව තිබූ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත 2014 දී නීතිගත කරන ලදී.

වගවීම සහ ජාත්‍යන්තර විමර්ශනයන්

2012 සහ 2013 වසරවලදී, මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතය මගින් නිර්දේශ කර ඇති පරිදි, රජයේ හමුදා සහ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විසින් සිදු කළේ යැයි පැවසෙන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම සහ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අර්ථාන්විත පියවර ගැනීමට මහින්ද රාජපක්ෂ රජය විරෝධයක් දක්වන ලදී. ඒ වෙනුවට, අත් අඩංගුවේ පසුවන එල්ටීටීඊ සාමාජිකයින් යැයි සැකකෙරෙන පුද්ගලයන් සහ කොටි සංවිධානයේ ආධාරකරුවන්ට එරෙහිව ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් තිබෙන විශ්වාසනීය චෝදනාවන් පිළිබඳ විමර්ශනය කිරීම සහ නීති මගින් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමේ දිගු කාලීන පිළිවෙත රජය අඛණ්ඩව අනුගමනය කරමින් සිටියි.

එහි ප්‍රතිඵලයක් ලෙස, මානව හිමිකම් කවුන්සිලය මඟින් පෙරට වඩා ශක්තිමත් යෝජනා සම්මතයක් 2014 මාර්තු මාසයේදී අනුමත කරන ලද අතර ඉන් “මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය හා අපයෝජනය කිරීම් සහ ඒ හා බැඳුණු අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්” සිදුකිරීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දුනි. එම වාර්තාව 2015 දී එලිදැක්වීමට නියමිතය.

එමෙන්ම එම යෝජනා සම්මතයෙන්, ක්‍රියාධරයන් ඉලක්ක කර ගැනීම සහ මුස්ලිම්වරුන්ට පහරදීම ඇතුළුව, ආණ්ඩුව විසින් මේ වන විටත් සිදුකරගෙන යන නීති කඩකිරීම් පිළිබඳ විමර්ශනය කරන මෙන් ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයට සමගාමීව යුක්තිය සහ වගවීම ලබා දෙන ලෙස රජයට සිදුකරන ලද පසුගිය දැනුම්දීම් ද එමගින් යළි සිහිපත් කර තිබේ.

එයට ප්‍රතිචාර ලෙස, ජාත්‍යන්තර විමර්ශනයට සහයෝගය ලබා නොදෙන බවත්, රටට ඇතුළුවීම සඳහා විමර්ශන කණ්ඩායම්වල සාමාජිකයන්හට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ විමර්ශනය සඳහා තොරතුරු ලබාදෙන ශ්‍රී ලාංකිකයින් ජාතිද්‍රෝහීන් වශයෙන් සලකනු ලබන බව රජයේ සාමාජිකයින් විසින් අනතුරු අඟවන ලදී. “විවේචකයන් ලබා දෙන තොරතුරු මත පදනම්ව (ඔවුන්ට එරෙහිව) සුදුසු ක්‍රියාමාර්ග”රජය විසින් ගන්නා බවට එක් කැබිනට් මණ්ඩල සාමාජිකයෙක් තර්ජනය කරන ලදී.

ජූලි මාසයේදී, රජය විසින් ස්වකීය “අතුරුදහන්වූවන්”පිළිබඳ කොමිසමට සහයවීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් පත්කිරීම ප්‍රකාශයට පත් කළ අතර එම කොමිසමට යුද්ධ කිරීමේ නීති කඩකිරීම් සහ බලහත්කාරයෙන් සිදුකළ අතුරුදහන් කිරීම් පිළිබඳ විමර්ශනය කිරීමට ද බලය පවරන ලදී.

සිවිල් සමාජය සහ විවේචකයන් මර්දනය කිරීම

වගවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලාංකික ක්‍රියාධරයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම 2014 වර්ෂය තුළ ද දිගටම සිදුවිය. ස්වාධීන ජන මාධ්‍යයට සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව සිදුකරන මර්දනය රජය විසින් පුළුල් කරන ලදී.

මාර්තු මාසයේදී, ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාධරයකු  වන, කොළඹ පදනම් කරගත් ඉන්ෆෝම්හි (INFORM) රුකී ප්‍රනාන්දු, සහ කතෝලික පූජකවරයෙක් වන, ප්‍රවීන් මහේසන් පියතුමා දින තුනක් තිස්සේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලදී. බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාධාරිනියක වන බාලේන්ද්‍රන් ජයකුමාරී අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, පරිවාස භාරයේ තැබීමට නියෝග කරන ලද ඇගේ දියණිය වන 13 වියැති බාලේන්ද්‍රන් විතුෂානීගේ සුභසාධනය සහතික කිරීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිට ඇත. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් වන නාමල් රාජපක්ෂ, මංජුල පතිරාජ, සහ ලක්ෂාන් ඩයස් යන අයට හඳුනානොගත් පුද්ගලයන් විසින් තර්ජනය කර ඇත

වාර්තාකීරීම පිළිබඳ සීමාකිරීම්වලට අඛණ්ඩව මුහුණදීමට මාධ්‍යවලට සිදුව ඇත. විශේෂයෙන් උතුරේ දෙමළ ජනයා බහුතරයක් සිටින ප්‍රදේශවල මාධ්‍යවලට මෙය බලපා තිබේ. 2014 වසරේදී, උතුරේ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා දකුණේ සංවිධානය කරන ලද වැඩමුළු ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් නතර කර එයට සහභාගිවූවන්ට ආපසු නිවෙස් කරා යන ලෙස නියෝග කරන ලදී.

පසුගිය කාලයේ යුද්ධය පැවති උතුරු සහ නැගෙනහිර පළාත් තුළ විවිධ සංවර්ධන, නැවත පදිංචිකිරීම් සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබුණත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලන බවට රජය ලබා දී තිබු ප්‍රතිඥා බොහෝ දුරට ඉටු කර නොමැත. දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ මියගිය අය වෙනුවෙන් අනුස්මරණ උත්සව පැවැත්වීම හෝ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වැනි සරල ක්‍රියාකාරකමක් සිදුකිරීමට පවා රජය ඉඩ ලබා දී නොමැත.

එල්ටීටීඊ සංවිධානයේ සිට අවිහිංසාවාදී දෙමළ සංවිධාන දක්වා ලොව පුරා පිහිටි දෙමළ සංවිධානවල වත්කම් සහ මූල්‍ය සම්පත් තහනම් කිරීමේ නියෝගයක් රජය විසින් සම්මත කරන ලදී. මෙම නියෝගය සඳහා පිළිගතහැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත. තහනම් කරන ලද කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීති මගින් කටයුතු කරන බව හමුදා ප්‍රකාශක විසින් පවසන ලදී. මෙමගින් දේශීය ක්‍රියාධරයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරය කරන තහනම් කරන ලද කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස සැලකෙන පුද්ගලයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතී.

සුළු ආගමික ජනකොටස්වලට එරෙහිව සිදුකරන පහරදීම්

කොළඹට කිලෝමීටර් 60 ක් පමණ දකුණින් පිහිටි අළුත්ගම ප්‍රදේශයේ ආගමික කණ්ඩායම් අතර පැවති කලහකාරී තත්වය පසුගිය ජුනි මාසයේදී ප්‍රචණ්ඩත්වයේ උපරිමයට පැමිනුණි. ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූයේ බෞද්ධ භික්ෂුවක් රැගෙන යන වාහනයක රියදුරු සහ මුස්ලිම් තරුණ පිරිසක් අතර සුළු මාර්ග අවහිරතාවයක් නිසා හටගත් සිදුවීමක් මුල්කොටගෙන ය. ඉහත සිදුවීමට පසුදින ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බව පවසමින් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ රැලියක් පවත්වන ලදී. රැලියෙන් පසු, පොලු සහ මුගුරු රැගත් කල්ලි මුස්ලිම්වරුන්ට පහරදෙමින් මහත් කලබලයක් සිදුකරන ලදී. රජය විසින් ඇඳිරි නීතීය පැනවීමෙන් පසුව ද, අවට ප්‍රදේශවල මුස්ලිම් නිවාස සහ දේපල ඉලක්ක කරගෙන සිදු කළ පහරදීම්වලින් අවම වශයෙන් මුස්ලිම්වරු හතර දෙනෙකු මියගොස් තවත් 80 දෙනෙකුට පමණ තුවාල සිදුවිය. අළුත්ගම නගරයේ සහ අවට ප්‍රදේශවල බොහෝ නිවාස සහ ව්‍යාපාර ස්ථාන ද විනාශ කරන ලදී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හිංසාකාරී ක්‍රියා හෙලාදකිමින් ප්‍රකාශයන් සිදුකරන ලදී. ආණ්ඩුව පුද්ගලයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රකාශ කළ ද, මෙය ලියන අවස්ථාව වන විටත් කිසිදු සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කොට නැත.

සරණාගතයන්

විදේශ රටවල දේශපාලන රැකවරණය ලබා ගැනීමට නොහැකිවීම නිසා බලහත්කාරයෙන් එම රටවලින් ආපසු හරවා එවන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන තත්වය සම්බන්ධයෙන් තවමත් බරපතල ගැටළු පවතී. බලහත්කාරයෙන් සිදුකරන ලද පිටුවහල් කිරීම් බොහොමයක් සිදුවූයේ 2014 මාර්තු මාසයේ සිට රජය විසින් ආරක්ෂක මෙහෙයුම් වැඩි කිරීමට පියවර ගන්නා අතරතුරදී ය. මුහුදේ පැවති අවදානම් තත්වය හේතුවෙන් එම කාලයේදී අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් මෙන්ම මරණයට පත් වීම් කිහිපයක්ද වාර්තා විය. එක්සත් රාජධානියේ සහ වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට අපොහොසත්වී ආපසු පැමිණි පුද්ගලයන් ඇතුළු, එල්ටීටීඊ යට සම්බන්ධයක් ඇති බවට සැකකරන ලද පුද්ගලයන්ට එරෙහිව බලධාරීන් විසින් වධහිංසා පැමිණවීම පිළිබඳව හියුමන් රයිට්ස් වොච් සහ වෙනත් අය විසින් ලේඛනගත කර තිබේ.

රජය විසින් මෑත වර්ෂයන් තුළ, විශේෂයෙන් 2014 මුල්කාලයේ සිට, සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලයේ ලියාපදිංචි සමහර පුද්ගලයින් ඇතුළුව, ශ්‍රී ලංකාව තුළ දේශපාලන රැකවරණය පතන වෙනත් රටවල පුද්ගලයින් බලහත්කාරයෙන් ආපසු යැවීම ආරම්භ කර ඇත. එසේ බලහත්කාරයෙන් ආපසු යවන ලද වැඩි පිරිස පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල හිංසාවට සහ පීඩාවට ලක්වන, සුළු ආගමික කණ්ඩායම්වල සාමාජිකයෝ වෙති. රැඳවුම් භාරයට ගන්නා ලද දේශපාලන රැකවරණය පතන්නන්ට රටින් පිටුවහල් කිරීමට පෙර සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ගේ නියෝජිතයන්ට මුණ ගැසීමට ඉඩ දී නැති අතර, එසේ පිටුවහල් කරන ලද ඇතැම් පුද්ගලයන් සරණාගතයන් ලෙස කලින් පිළිගෙන තිබුණි.

විදේශ රැකියාවල නියුතුවූවන්

මිලියනයකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රටවල සේවය කරන අතර, ඉන් බොහොමයකට බඳවාගැනීමේ සිට සේවය සඳහා ගෙනයාම, නැවත සියරටට යැවීම සහ යළි සමාජගත කිරීම දක්වා වන සංක්‍රමණික චක්‍රයේ සෑම අවස්ථාවකදීම අපයෝජනයට ලක්වීමේ අවදානම පවතී. රැකියා සඳහා බඳවාගන්නන් සහ විධිමත් නොවන උප නියෝජිතයින් විසින් සංක්‍රමණිකයින් ණයකාරයන් බවට පත්කරමින් ඔවුන්ගෙන් අධික ගාස්තු අයකරන අතර විදේශයකදී ලබාදෙන බවට පොරොන්දු වන රැකියාව සම්බන්ධයෙන් සපයන තොරතුරු ද බොහෝවිට නිවැරදි නැත.

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගෙන් සියයට 90 කට වැඩි පිරිසක් දැනට මැද පෙරදිග සේවය කරන්නේ ‘කෆාලා’ (Kafala) ක්‍රමය නමැති සේවකයා සේව්‍යයාට බැඳ තබන සීමාකාරී ක්‍රමයක් යටතේය. ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයින්ගෙන් තුනෙන් එකකට වඩා ගෘහ සේවිකාවන් වන අතර ඔවුන් සියලු දෙනාම පාහේ කාන්තාවන්ය. විදේශ රටවලදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පියවර කිහිපයක් රජය විසින් ගෙන තිබුනද, සුළු විවේකයක් සමඟින් දිගු වේලාවක් වැඩ කිරීම, වැටුප් නොගෙවීම හෝ ප්‍රමාදවීම, සේවා ස්ථාන තුළ සිරකර තැබීම, වාචික, කායික සහ ලිංගික හිංසා ආදී කරදර වලට ඔවුන්ට අඛණ්ඩව මුහුණුදීමට සිදුවේ.

ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රියාකාරීන්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී සිදුවූ යුද අපරාධ සහ වෙනත් බරපතල අපයෝජන පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස එකල සිටි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ කළ නිර්දේශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිගන්නා ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින ලදී.

කලාපයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු වන ඉන්දියාව, සංහිඳියාව ඇතිකරන ලෙසට සහ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට දිගටම බල කරන නමුත් මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්දය දීමෙන් වැලකී සිටියේය. ප්‍රධාන පෙළේ ආධාර ලබාදෙන්නෙකු වන, ජපානය ද ඡන්දය දීමෙන් වැලකී සිටි අතර වෙනත් ප්‍රකාශනයන් මගින් පශ්චාත් යුද කාලීන සංවර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක් කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දී ඇති මූල්‍යමය සහ දේශපාලන සහයෝගය පෙන්නුම් කරමින් චීන අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැත.

ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන පුද්ගලයන් ආපසු ශ්‍රී ලංකාවට හරවා එවන බවට හෝ ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට එකඟතාවක් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව විසින් ඇති කරගෙන තිබේ. ඕස්ට්‍රේලියාව විසින් මුහුදේ දී කළ තොරතුරු සොයාබැලීම්වලින් පසු දේශපාලන රැකවරණ පතන්නන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවට ආපසු හරවා එවන ලදී. පිළිගත හැකි කරුණු ඉදිරිපත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ වෙනත් රටවලදීය. මානව අයිතිවාසිකම් දැනට වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට අපොහොසත් වූ ඕස්ට්‍රේලියාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයට එරෙහිව ද අදහස් පළ කරන ලදී. ඕස්ට්‍රේලියාව එසේ කරන ලද්දේ සංක්‍රමණිකයන් සහ දේශපාලන රැකවරණය පතන්නන් ඕස්ට්‍රේලියාවට පැමිණීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වූ නිසයි.

Back to Top