Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය

සීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය

by

වෙනස පටන් ගන්නේ තමන්ගෙනි. යහපත සඳහා වුවත් අයහපත සඳහා වුවත් වෙනස පටන් ගන්නේ එළෙස ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියන්නේ එනිසා ය. පළමු දලු දෙකෙන්ම පැලය හොඳද නරකදැයි කීමට ගොවියාට ගෙවිලියට හැකි ය. ගොවි පවුලකින් එන ජනාධිපති සිරිසේනටත් ඒ හැකියාව නොතිබෙන්නට හේතුවක් නැත.

රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය වූ පුළුල් පෙරමුණ සඳහා සිමෙන්තිය ද විශ්වසනීය නායකත්වය ද වූයේ‍ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු විසින් පෙන්වන ලද සහ ප්‍රකාශ කරන ලද චාම් දේශපාලන භාවිතය සහ දින වකවානු සහිත ප්‍රතිසංස්කරණ වැඩ සටහන මහජන ආකර්ශණය බවට පත් විය. එනමුත් ජයග්‍රහණයේ පදනම වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ බලවේගයන්ගේ කැපවීම සහ ශක්තිය බව අවිවාදිත ය‍. ඊට මෙරට දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ දේශපාලන පක්ෂ ද ඇතුළත් ය. එපමණක් නොව දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂ රෙජිමය සමඟ සටන් වැදුණූ බිම් මට්මමේ සමාජ සංවිධානයන් හි සිට වෘත්තීය සමිති හරහා විද්වත් සංවිධාන දක්වා වූ බොහෝ සිවිල් ව්‍යාපාර ද ඊට ඇතුළත් ය‍.

මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා ජයගැන්වීමට නම් ජනාධිපති සිරිසේන විසින් අමතක නොකළ යුතු තීරණාත්මක කාරණය එයයි. මෙම බලවේග බිඳී විසිරි නොයා එක අරමුණක් ඔස්සේ පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට ය.

වෙනස සඳහා ජන පදනම ද මතවාදය ද සැපයූ බලවේග අතහැර හෝ බිදෙන ලෙස ක්‍රියා කිරීම මගින් ඔහු සිය දෙපා යටින් වළක් කපා නොගත යුතු ය.

මෛත්‍රී පාලනයේ පළමු සතිය දැන් අවසාන ය. එම මුල් දිනයන්හි දී යහපත් වර්ධනයන් මෙන්ම අයහපත් වර්ධනයන් ද දක්නට ලැබුණි.

දීර්ඝ කාලයක් පුරා පුවත් වෙබ් අඩවි ගණනාවක් මත පනවා තිබූ තහනම ඉවත් කෙරුණි. මෙහිලා සඳහන් කළ යුතුම කරුනක් නම් දෙමළ සමාජයේ උග්‍ර ආන්තික

අදහස් නියෝජනය කරන්නා වූ දස වසරක් තරම් කාලයක් තහනම් කර තිබූ ටැමිල් නෙට් වෙබ් අඩවියේ තහනම ද ආදර්ශමත් ලෙස ඉවත් කිරීමයි.

සිය ගණනාවක් වෙනුවට කුඩා ඇමැති මණ්ඩලයක් පත් කෙරුණි. ආචාර්‍ය ජයන්ත ධනපාල වැනි ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ගෙන් යුතු රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ප්‍රවීණයකු විදෙස් කටයතු පිළිබඳ ජනාධිපති ජේෂඨ උපදේශක ලෙස පත් කෙරුණි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූත් සමසමාජවාදියකුවූත් ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ ව්‍යවස්ථා උපදේශක ලෙස පත් කර තිබේ. උතුරු පළාතට සිවිල් ආණ්ඩුකාරවරයකු ලෙස උගත් පාඩම් කොමිසමේ කොමසාරිස්වරයකු වූ පලිහක්කාර පත් කැරෙන බවට වාර්තා වී තිබේ. මහා පරිමාණ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් මුල් පියවරයන් තැබීමද ආරම්භ වී තිබේ.

එසේ නමුත් සිදුව ඇති අයහපත් දේ ද වෙයි. රුසියානු විප්ලවය හදුන්වන ලද්දේ ලොව හෙල්ලූ දස දවස කියා ය. මෛත්‍රී පාලනයේ සත් දවස විසින් නම් මේ වන විට රාජපක්ෂ රෙජීමය පමණක් නොව ඔහුට සහාය දුන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ අපේක්ෂාවන් ද හොල්ලා තිබේ. පසුගිය බදාදා සවස කිසිවකු නොවිමසා තනි කැමැත්තට පරාජිත අපේක්ෂක රාජපක්ෂ සමඟ ජනාධිපති සිරිසේන සාකච්ජාවක් පැවැත්වීම මගින් එම හෙලවීම තවත් උත්සන්න වී තිබේ.
ජනාධිපති සිරිසේනගේ ලේකම් වශයෙන් පත් කර ගන්නා ලද අබේකොන් ජනාධිපතිවරණය පැවැති පසුගිය 08 දින දක්වාම රාජපක්ෂ දිනවීමට උපාමාරු යෙදමින් සිටි පුද්ගලයෙකි. මැතිවරණ කාලයෙහි දිසා ලේකම්වරුන් හමුවීමට යමින් ජන්ද අල්ලස් ලෙස භාණ්ඩ බෙදා දීම සංවිධානය කළේ ඔහු ය. මෙම පුද්ගලයා පත් කර නොගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ජනාධිපති සිරිසේන නොසළකා හැරියේ ය. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ දී ද ඔහු ඇමැතිවරුන් නොසළකා කටයතු කරන බවට චෝදනා නැගී තිබේ. උදාහරණයක් නම් මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඇමැතිවරයා පත්වීමටත් පෙරම කරුණාරත්න පරණවිතාන පත් කිරීමයි. කරුණාරත්න පරණවිතාන වනාහි චන්ද්‍රිකා කුමාරතුංග සමයේ සිට දේශපාලන පත්වීම් ලබමින් රාජපක්ෂ සමය හරහා දැන් මෛත්‍රී යුගයේ ද කෙරුමකු බවට පත් වෘත්තිය පිමි පනින්නෙකි.

උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ නිර්දේශයක් අනුව යමින් රාජපක්ෂ රෙජීමය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලද පොලිස් දෙපාර්තමේන්තුව දැන් යළි ජනාධිපති සිරිසේන ආරක්ෂ අමාත්‍යංශයටම පවරා ගෙන තමා යටතට ගෙන තිබේ. ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ ලේකම් ලෙස පත් කරන ලද බස්නායක ද අබේකොන් සමඟ දිසා ලේකම්වරුන් හමුවට යමින් ජන්ද අල්ලස් භාන්ඩ බෙදා දුන් පුද්ගලයෙකි.
ලංකා ගුරු සංගමය පෙන්වා දී ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කිරීමට යන්නේ ද නීල කාස හොරෙක් යැයි කියනු ලැබේ.

සියල්ලටම වඩා ගද ගස්වමින් මෛත්‍රී පාලනය අවලස්සන කරමින් සිටින්නේ රාජ්‍ය ජනමාධ්‍ය යි.

මැතිවරණය අවසන් වූ දින සිට ආණ්ඩුවේ රූපවාහිනී සේවාවන්ද ගුවන් විදුලි සේවාවන්ද ලේක් හවුසියේ පත්තර කඩමාලු ගොන්නද රෙදි නැතිව ජනාධිපති සිරිසේනට කඩේ යයි. ඇත්තටම නම් මෙම ආයතනයන්ට රෙදි තිබුනේ නැත. අලුතෙන් ඇඳගන්නට උවමනාවක් ද නැති පාට ය. දිනමිණ හෝ ඩේලිනිව්ස් මුල් පිටු දෙස බලන විටත් රූපවාහිනිය හෝ අයිටිඑන් පුවත් බලන විටත් වමනය යන තරමටම ඇත්තේ අලුත් ආන්ඩුවේ සුපිරිසිදු ක්‍රියා පමණය. හරියට ලංකාවේ සිදුවන එකම දෙය ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව පමණක් වාගේ ය.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නේ මෙන්න මේ වාගේ පක්කලි වැඩවලට ය. ‍ ජනාධිපති සිරිසේන විමසිලිමත් නොවුන හොත් මේ බල්ටිකරුවන් විසින් ඔහුගේ සරම ඔහුටම නොදැනෙන්ට ගලවා නිරුතින් නටන තමන්ගේ ගොඩටම දා ගන්නවා නොඅනුමානය.

ක‍‍‍ණගාටුවකට මෙන් රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කිරීම හෝ ස්වාධීන විකාශණ අධිකාරියක් පිහිටුවීම හෝ මෛත්‍රී පාලන වැඩ සටහනට අයත් නැත. රාජ්‍ය මාධ්‍ය ආයතන දැන් පක්ෂ විසින් බෙදා ගෙන ඇතැයි කියනු ලැබේ. ඒවාට ප්‍රධානින් පත් කැරෙන්නේ ඒ අනුව යැයි ද කියනු ලැබේ.

2015 ජනාධිපතිවරණ අවස්ථාව මෑත ඉතිහාසයෙහි මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා ලද දෙවන තීරණාත්මක පෙළ ගැසීමය. මෙයට පෙර ලද එම අවස්ථාව වූයේ 1994 පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වීමය. 2002 වසරෙහි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වීම තුළ ද එවැනි විභවයක් තිබූ නමුත් විධායක ජනාධිපතිධුරය දැරූ කුමාරතුංග සමඟ සහජිවී දේශපාලනයකට ඉඩක් නොලැබීමෙන් එම අවස්ථාව ඉක්මනින්ම නැතිව ගියේ ය.

1994හි දී ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ බලවේග එක් දිශානතියක් ඇතිව ගමන් ගත්තේ ය. බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව වෙනසක් සඳහා කැප වූ ප්‍රජාතන්ත්‍රීය බලවේග සමඟ එක්ව ගමන් කරමින් ප්‍රථම වසර තුළ එවැනි වෙනසකට ඇති සූදානම පෙන්නුම් කළේ ය. එය ආපසු ගමන් කරන්නට පටන් ගත්තේ යුද්ධය යළි ආරම්භවීම, ජනමාධ්‍ය සිය ඍජු පාලනයට ගැනීම සහ වයඹ ජන්ද කොල්ලය සමඟ ය. ඒ කෙසේ වෙතත් ඇයගේ පාලනය රාජපක්ෂ භීෂණය වැනි දුෂ්ඨ නපුරක් බවට කිසිසේත්ම පත් වුයේ නැත.

ජනාධිපති සිරිසේන ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඇතිව 2015 ජනාධිපතිවරණය කරා රළ වේගයක් බවට පත් වූයේ විවිධ බලවේග එකමුතුවකි. 1994 දී කුමාරතුංග, විධායක ජනාධිපතිධුරය සය මසක් ඇතුළත අහෝසි කරන බවට ලිඛිතව එකඟ වූ පොරොන්දුව ඉටු කිරීමට වසර 2000 වනතුරු බලා සිටියේ ය. එය අසාර්ථක විය.

ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව සතු ප්‍රතිසංස්කරණ විභවය 1994 දීට වඩා ශක්තිමත් ය. මන්ද යත් මෙම දේශපාලන සන්ධානය ද එයට සහා දුන් මහා ජනයා ද එකට බැඳ තබන හුය සහ බදාමය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වන නිසා ය. යළිත් වතාවක් ජනාධිපතිධුරයට තරඟ නොකරන බවටත් දින සියයේ ප්‍රතිසංස්කරන මාලාවෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහා මැතිවරණයක් පවත්වන බවටත් මෛත්‍රීපාල සිරිසේන විසින් දී ඇති පොරොන්දු ඉටු කිරීමට සහාය වීම අද අපේ යුතුකම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ‘ආයුබෝ වේවා දේවයන් වහන්ස! කියමින් අඩව් ඇල්ලීම නොවේ. සුපරීක්ෂාකාරීව සිටිමින් සාධනීය විවේචනයන් ඉදිරිපත් කරමින් එක්සත්කම රැකගනිමින් දැනුවත් පුරවැසියකු ගොඩ නැගෙන අධ්‍යපන ප්‍රචාරක ව්‍යාපාරයන් ගෙන යෑමයි.

පරණ පරපුරේ සිට අලුත් පරපුර දක්වාත් වීදියේ විරෝධයේ සිට උගුලෙන් ගැලවීම දක්වාත් එම අභියෝගය තවම ඉතිරිව පවතී. රාජපක්ෂ පරාජය වූ සැනින් සටන අවසන් නැත. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයක් ගොඩ නැගෙන්නේ එළෙස ය.

මේ වනාහී පහසුවේන් සිටීමේ මොහොතක් නොවේ. සීරුවේන් සිටීමේ මොහොතකි.

Back to Top