Sri Lanka Brief
පුවත්විවරණමේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි

මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි

by

මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක් පාලනයේ සිටි ආණ්ඩුව වෙනස් කර වෙනස් ආණ්ඩුවක් පත්කිරීම වැනි සරල වෙනසක් ගැන ඇතිවූ උනන්දුවක් නොවෙති. එතුල ඇත්තේ සමාජයේ මෙතෙක් පැවති පිරිහුණු ක්‍රමය, නැතිනම් නිදහසින් පසු ලංකාවේ පැවති පාලකයින් වෙනස් කිරීමේ ක්‍රමයට එහා ගිය වෙනසක් මෙවර වෙනස තුල රටේ වැඩි ජන කොටසක් බලාපොරොත්තු වන බවකි. එමෙන්ම වෙනත් කිසි දිනෙක ඇති නොවූ ආකාරයක පුරවැසියන්ගේ අවදිවීමක්, ක්‍රියාත්මකව මැදිහත්වීමක් මෙවර බලය වෙනස් කිරීම සඳහා මුල්විය.

නිදහසින් පසු පාලන බලය වෙනස් කිරීමේදී සෑම විටම පාහේ සිදුවූයේ රටේ ඇති ප්‍රධාන පක්ෂ විසින් ඉදිරිපත් කරන රංගනයකට රටේ ජනතාවගෙන් වැඩි කොටස දෙන සහය නැතිනම් ඡන්දය දිනයෙහි දෙන කතිරය තුලින් වැඩි කතිර ප්‍රමාණය ලද පක්ෂයට බලය හිමි කිරීමයි. බලය හිමිවීමත් සමගම මේ පක්ෂ (මොන පක්ෂය බලයට ආවත්) කරනු ලැබුයේ තමන්ගේ පක්ෂයට සහ හිතවතුන්ට බලය ලබාදී අඩු වැඩි වශයෙන් තමන්ගේ සිතැගි පරිදි පාලනය කරගෙන යාමයි. එසේ බලය ලබාදීමත් සමගම මේ දේශපාලඥයන් වෙත මෙන්ම ඔවුන්ගේ ලඟම තැරුව්කරුවන් වෙතද යටහත් පහත්ව ගොස් තම උවමනාවන් ඉටුකර ගැනීමට (ලමයෙකු පාසලට දමා ගැනීමේ සිට රැකියාවක් ලබා ගැනීම, පොහොර හෝ එවැනි පර්මිට් එකක් ආදී) රටවැසියා හුරුව සිටිහය. මෙම පිලිවෙත එන්නේ රජෙකු සහ රඳල ආධිපත්‍ය තුල රටේ ජීවත්වන යටත් වැසියා තම උවමනාවන් ඉටුකර ගැනීමට කළයුතු ක්‍රමවේදයයි. රටවැසියා බලය පිදීමේ සහ ඔවුන් ඉදිරියේ යටහත් පහත් වීමේ ක්‍රියාදාමය පෙරදා රදල වැඩවසම් යුගයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් තුලත් පවත්වාගෙන යනු ලැබීය.

නමුත් මෙවර බලය මාරුව සඳහා ඇතිවන පෙලගැසීම මින් පෙර නොවී ප්‍රජාතන්ත්‍රවාදය තම ඡන්දය දීමට පමණක් සීමා කරගත් තේරුම් ගැනීමක් ලංකා සමාජය තුල පැවතුනේ ඇයි? යන්න අපි කෙටියෙන් විමසමු.

ලංකා සමාජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඇති ආයතන ක්‍රමය ලගා වන්නේ ලංකා සමාජය තුල ඇතිවූ සංවර්ධනයක නැතිනම් පුනරුදයක උවමනාවක් මත නොවේ. වසර 450 ක් පමන ලංකාව යටත් කර ගෙන සිටි යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ සමාජයන්හි විශේෂයෙන්ම එන්ගලන්ත සමාජය තුල ඇතිවන සමාජ සංවර්ධනයක් නිසා එතුලින් අපට ලැබෙන දායාදයක් ලෙසිනි. යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්නේ මධ්‍යතන අදුරුයුගය පෙරලා දමා ඇතිවන නිරන්තර ජනඅරගලයන්හි ප්‍රතිඵල ලෙසිනි. එතුලින් එහි අයිතීන්, නීති ක්‍රමය, පාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරනු ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු වන අයුරිනි.

1948 දී ඔවුන් ලංකාවට නිදහස ප්‍රධානය කිරීමෙන් පසු කාලය තුල ඇතිවන වකවානුව දෙස විමසීමෙන් බැලූ විට මෙය පැහැදිලිව දැක ගත හැක. ලංකා සමාජයට සුදු අධිරාජ්‍යවාදීන් තනාදෙන ව්‍යවස්ථාව තුල තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ අද වන විට අපේ ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සසදා බැලූ විට එදා ප්‍රජාතන්ත්‍ර අයිතීන් 80 ලෙස තිබුනානම් අද එය 10 දක්වා පහත බැස ඇති බවක් පෙනේ. නමුත් විය යුතුව තිබුනේ එදා 80 ක්ව තිබුන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නිදහසින් පසු වසර 67 තුල 100 ඉක්මවා වැඩි වීමක් සිදුවීමයි. නමුත් හැබෑ ලෙස සිදුවන්නේ සුදු අධිරාජ්‍යවාදීන් හදුන්වා දෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නිදහසින් පසු ලාංකීය පාලකයින් විසින් එකින් එක කප්පාදු කිරීමය.
මෙහිදී ඇතිවන ප්‍රශ්නය වන්නේ නිදහස ලැබුවායින් පසු අප පාලකයින් මෙසේ එකින් එක ජනතා අයිතීන් (ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්) කප්පාදු කරන්නේ ඇයි? අප සමාජය දැන සිටියේ රජුන් සිටි නිලමෙලා, විදානෙලා ගේ පාලනයක් ගෙන ගිය මොවුන්ගේ වචනය නීතිය බවට පත්ව තිබූ සමාජයක් ගැනයි. රටවැසියා දැන සිටියේ ඉනෙන් ඉහලට රෙදි කෑල්ලක් ඇදීමට අවසර නොදුන් රාජ්‍ය බලයකි. තම ගෙපැලට ගොම මැටි ගෑමට හුණු පිරියම් කිරීමට පවා අධිපතියාගෙන් අවසර ගත යුතු සමාජ ක්‍රමයකි. පුද්ගලයෙකු කළ වරදට ඔහුගේ පවුලට පමණක් නොව මුළු පරම්පරාවටම දඬුවම් දෙන දඬුවම් ක්‍රමයකි. ඇත්තෙන්ම ලංකා සමාජය එදා අධිරාජ්‍යවාදීන්ගේ සමාජය තුල ඇතිවන සංවර්ධනය නිසා ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදය වටහා ගන්නා සමාජ මානසික මට්ටමකට මෝරා නොතිබුණ සමාජයකි. සංවර්ධනය වූ සමාජයක් දිනා ගන්නා අයිතීන් සංවර්ධනය නොවූ පසුගාමී මනස් වලින් යුතු සමාජයකට දැමීම තුල සිදුවිය හැකි අනිවාර්ය සිදුවීම නිදහසින් පසුව ලංකාවට සිදුව පවතී.

සුදු අධිරාජ්‍යවාදීන් බලයෙන් ඉවත්ව යන විට බලය හිමිවන්නේ පැරණි රදල පෙලපත්වලට සහ අලුතින් මුදල් උපයාගත් කොන්ත්‍රාත්කාර ධනපතියන් වෙතටය. නමුත් මොවුන්ගේ මානසික මට්ටම් යුරෝපයේ පුනරුදයේ ඇතිවූ සංවර්ධනය ලබා නොතිබුණි. විශාල ඉඩම් සහ ඒවායේ ආවතේවකරුවන් පවත්වාගත් මොවුන් අලි ඇතුන් විශාල ප්‍රමාණයක් හිමිකර ගනු ලැබුවේ පැරණි රදල තේජස පවත්වා ගැනීමට ඇති කෑදර කමිනි. මෙම අලුත් පාලක කල්ලිය බලය පාවිච්චි වීම සහ කිරීම ගැන දැන සිටියේ, තේරුම් ගත්තේ ලංකාවට ආවේණික පැරණි යල්පැන ගිය ආකාරයෙන්මය. ඔවුනට නීතිය ලෙස හැඟුනේ තමන්ගේ වචනය මිස ව්‍යවස්ථවේ හෝ දණ්ඩ නීති සංග්‍රහයේ ලියා ඇති වගන්ති නොවේ. එයට හේතුව යුරෝපයේ පුනරුදය තුල ඇතිවන සමාජ සංවර්ධනය ඔවුන්ට නොවැටහීමයි.

උදාහරණයක් ලෙස අපට නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් හෝ අග්‍රවිනිශ්චයකාරවරයා වන මොහාන් පීරිස් ගත හැක. රටේ නීතිය පිළිබඳ ඉහළම දැණුමක් සහ තානාන්තර දැරූ මොවුන් රටේ දේශපාලඥයින් ඉදිරියේ හැසිරෙන්නේ අඳබාල වන්දිභට්ටයන් ලෙසිනි. ඉන්පසු ඔවුන් රටවැසියා ඉදිරියේ හැසිරෙන්නේ අධිපතීන් ලෙසිනි. ඔවුනට නීති වගන්ති සියල්ල කටපාඩම් තිබිය හැක. ඒවාට අර්ථකථන දිය හැකිවා විය හැක. නමුත් මෙම වගන්තිවල ඇති මූලික හරය ඔවුනගේ මනසට කිසි දිනෙක ඇතුල් වී නොමැත. මෙය ඔවුනට පමණක් සීමා වී නැති පොදු ලක්ෂණයකි. එනිසා නීතිය ඉගන ගත්තා වුවත් මහාචාර්ය හෝ ආචාර්ය පදවි ලැබුවා වුවත් ලාංකික උගතුන් වැඩි දෙනෙකු කර ඇත්තේ වගන්ති සහ පොත් කටපාඩම් කිරීමයි. මෙම වගන්ති, නීති සහ අධ්‍යාපනය තුල ඇති හැබෑ හරය තේරුම් ගෙන ඇත්තේ ඔවුන් අතරින් ඉතා ටික දෙනෙකි. (මෙය දීර්ඝව විග්‍රහකළ යුතු සමාජ ප්‍රශ්නයකි. මෙවැනි කෙටි ලිපියක් එයට ප්‍රමාණවත් නොවේ.)

කෙසේ වුවත් මෙවර බලය පෙරලීම, සිදුවන ආකාරය වෙන දා සිදුවූ දෙයම යැයි සිතීම නිවැරදි නොවේ. වෙනදා බලය පෙරලීමේ දී මුල් වන්නේ එක් හෝ අනෙක් පක්ෂයයි. ජනයා තම කතිරය ලබා දෙති. නමුත් මෙදා සිදුවූයේ ඊට වෙනස් දෙයකි. මේ පසුගිය වසර තුන හතරක කාලයක් තිස්සේ සමාජය තුල, ආරම්භයේදී ඉතා සුළු කණ්ඩායමක්, ආරම්භ කරන අයිතීන් උදෙසා වන උද්ඝෝෂණයක ප්‍රතිඵලයි. මෙයට අන්තර්ජාලය විශාල ලෙස ඉවහල් විය. බ්ලොග්, වෙබ්, මුහුණු පොත්, ආදියේ විවිධ පුද්ගලයන් වෙතින් ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, කුඩා ජන කණ්ඩායම්වල අයිතීන් ආදී ලෙස දිගින් දිගට ඇතිකරන උද්ඝෝෂණයක වැඩි දියුණුවීම අද ඇතිවී ඇති මේ වෙනසට මූලික වේ. රාජපක්ෂ කල්ලිය මේවාට ප්‍රතිඋත්තර ලෙස කරනුයේ තව තවත් බලය අපයෝජනය කිරීම, තව තවත් දූෂණය වැඩිකිරීම, තව තවත් බලහත්කාරය යෙදවීම මෙන්ම මේ සියල්ල මත තව තවත් ප්‍රචන්ඩත්වය දියත් කිරීමයි. එය ඔවුන් කොතරම් මනුෂ්‍යත්වට නිගා දෙන ආකාරයකින් කලේද යත් රාජපක්ෂ කල්ලිය විසින් දියත් කළ මර්ධනය ඉමක් කොණක් නැති ආකාරයෙන් මිනිසුන්ගේ බුද්ධියට පවා නිගා දෙනු ලැබීය. එය ඉවසා සිටීමට නොහැකි මිනිසුන් තව තවත් මේ බලවේගයන් සමග අතිනත ගනු ලැබුනි. මෙහිදී මේ අය අතරින් කොටසකට රට අතෑර යාමට සිදුවූ අතර තව කොටසකට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය. නමුත් අයිතීන් සඳහා ඇති වන අරගලය තව තවත් වැඩි දියුණු විය. එය අවසාන ප්‍රතිඵලය ලෙස මෙම දූෂ්‍ය ඒකාධිපති, අර්ධ වැඩවසම්, අර්ධ ෆැසිස්ට් පාලක කල්ලිය පලවා හැරීමට පොදු අපේක්ෂකයා සෙවීම දක්වා ‍මෙම සමාජ බලවෙගයන් යොමු වනු ලැබුනි. එම බලවේගයනට විරුද්ධ පක්ෂ එක්වන අතර අවසානයේදී මෛත්‍රීපාල ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව බිඳගෙන විත් එයට එක්වෙමින් මේ ජයග්‍රහණය ලබාගනු ලැබුනි. මෙම ජයග්‍රහණයට උතුර සහ නැගෙනහිර ජනයා තම දායකත්වය ලබා දෙන්නේ දකුණේ පියවර ගණනක් ඉදිරියෙන් සිටිමිනි. එනිසා මේ ජයග්‍රහණය ජනතාවගේ උවමනාව සඳහා ජනතාවගේ වැඩපිළිවෙලකට දේශපාලඥයන් එක්වීම මිස දේශපාලඥයන්ගේ වැඩ පිලිවෙලකට ජනයා කතිරය ගැසීමක් නිසා ඇතිවූ එකක් නොවෙති. මේ අද අප රට තුල ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලංකා සමාජය තුල ඇතිවන ප්‍රථම අරගලයයි.

යම් යම් හේතූන් නිසා එය ලේ ගංඟා මතින් සිදුවීම වැලකුනා වුවත් ප්‍රතිගාමී බලවේගයන් තාමත් මෙම ප්‍රවණතාවය පරාදය කිරීමට විවිධ අයුරින් අර අදිති. පිඹුරුපත් බලති. අරගලය 50% ක් ජයග්‍රහණය කළා වුවත් එහි සැබෑ ජයග්‍රහණයන් දිනා ගැනීමට සැබෑවටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවට දිනා ගැනීමට තව දීර්ඝ ගමනක් යා යුතුව පවතී. එය ජයග්‍රහණය වෙත ගෙන යා හැක්කේ දිගින් දිගටම පුරවැසියන් අවදිමත්ව, විමසිල්ලෙන්, නොනවත්වා එම අරගලය ඉදිරියට ගෙනයාම තුලින් පමනි. එතෙක් දේශපාලඥයන්ට හුරු වී ඇති තමන්ගේ හිතු මතයට වැඩ කිරීමෙන් ඔවුන් මුදවා ඔවුන් යායුතු කොහිද යන්න ජන බලවේගයන් විසින් ඔවුනට පෙන්වා දිය යුතුය. දේශපාලනය එදෙසට මෙහෙය විය යුතුය.

බොහේ වේලාවට අනුශාසකයින් සහ උපදේශකයින් පාලකයින් අවංකව වැඩ කළ යුතුය කියා සිතීමෙන් සහ අනුශාසනාවලින් ලද ජය ඉදිරියට ගෙන යා නොහැක. කළ යුතුව ඇත්තේ නීතියට අනුව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් සහ ආයතන ක්‍රම පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමයි. විනිවිධභාවයකින් යුතු. බලය සහ බලවතුන් නිරන්තර අධීක්ෂණයකට ලක්වන වැඩ පිලිවෙලක් සකස් කිරීම තුලින් දේශපාලන වැඩ පිලිවෙල ඉදිරියට ගෙන යාමයි. එවිට වැඩ කරන පුද්ගලයා වැදගත් නොවේ. ඔහු හෝ ඇය කවුරුන් වුවත් හිතුමතේ ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම දීර්ඝ කාලීන භාවිතාවක් තුල සිදු වන ක්‍රමවේදයකි. ඒ සඳහා පුරවැසියාගේ නිරන්තර නිරීක්ෂණය සහ සහභාගීත්වය අත්‍යවශ්‍යය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගන්නා තුරු එක්ව ගමන් කරමු!

රාජිත් හේනායකආරච්චි

Ranjith Hennayakearachi

 

 

 

 

රංජිත් හේනායකආරච්චි

Back to Top