Sri Lanka Brief
පුවත්විවරණමේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද?

මේ ජන්දයට උතුරු – නැගෙනහිර දෙමළ මිනිස්සු නැත්ද?

by

සුනන්ද දේශප්‍රිය –

ශ්‍රී ලකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මගින් කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන බව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වි තිබේ.මාධ්‍ය වාර්තා සත්‍ය නම් ඔහු කියා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්දයෙන් පියවර ගත හැක්කේ තමා බලයට පත් වී සිය දින ප්‍රතිසංස්කරන වැඩ සටහන ක්‍රියාත්මන කිරීමෙන් පසු පැවැත්වෙන මහා මැතිවරණයකින් පසු පමණක් බවය.

මෙරට ප්‍රධාන සුළුතර ප්‍රජාවන් වන දෙමළ සහ මුස්ලිම් ජනයා අතරින් අති බහුතරයක දායකත්වය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අත්‍යවශය බව අවිවාදිතය. පෙනෙන විදිහට පොදු විපක්ෂය මෙම ගණනය කිරීමෙන් බැහැර වී තිබේ. එම ජන පිරිස් වෙත කැරෙන සිත් කාවදින ආමන්ත්‍රණ පොදු විපක්ෂයෙන් ඇසෙන්නේ නැත.

පොදු විපක්ෂයේ මැතිවරණ ප්‍රකාශණය තවමත් ඉදිරිපත් කර නැති බැවින් එහි දින සියයේ ප්‍රතිසංස්කරනයන්ට අමතරව වෙනත් කුමන යෝජනා ඇතුළත් වනු ඇත්දැයි අප දන්නේ නැත.

රාජපක්ෂ පාලනය එලඹෙන ජනාධිපතිවරණයේ දී පරාජය කල යුතු බවට විවාදයක් නැත. එමෙන්ම පොදු විපක්ෂයේ මූලික යෝජනා එනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කර වඩා ප්‍රජාතන්‍ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීම, 17වන සංසෝධනය බලාත්මක කිරීම මගින් ස්වාධීන ආයතන යළි පිහිටුවීම අප සියළු දෙනාම විසින් සහාය දිය යුතු දිගුකාලීන වැදගත්කමකින් යුතු කරුණු ය. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අවශ්‍යතාවයත් පොදු විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති දින සියයේ යෝජනා මාලාවත් එකට සළකා බලන විට මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම අද දවසේ ශ්‍රී ලංකාවේ යහ පාලන ආණ්ඩු ක්‍රමයක් ද ශිෂ්ඨ සම්පන්න සමාජයක් ද ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ.

රාජපක්ෂ පාලනය පරාජය කළ යුතුය කියා ජනවාරි 08 දා ජන්දය දිය යුත්තේ කවරකුටදැයි නොකියා සිටීම සරළ තර්කයක් එහි අවසානය කරා ගෙන යන්නේ නැතිව අතරමැද නතර කිරීමකි.

සුදු කරපටි එළෙසින්ම තබා ගෙන දේශපාලනය කරන්නට බැරි ය. දෙන ලද අවස්ථාවක ප්‍රධාන ප්‍රතිවිරෝධය තෝරා ගැනීමත් එය විසදීම පිනිස විවිධ බලවේග සමඟ එක්වීමත් අත්‍යවශය ය‍.

 

ශ්‍රී ලංකාවේ මෙම අවස්ථාවේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවිරෝධය පවතින්නේ දූෂණය සහ භීෂනය මත රඳා පවත්නා රාජපක්ෂ අත්තනෝමතිකත්වය සමඟය.

එම ප්‍රතිවිරෝධයේ අනෙක් පාර්ශවයේ මෙම භීෂණයෙන් සහ දූෂණයෙන් බැට කන දේශපාලන සහ සිවිල් බලවේග වෙති. ස්වාධීන ආයතන පද්දතිය විනාශ

කිරීමෙන් පසු අධිකරණය පොලීසිය, සියළුම බුද්ධි සේවා, ජනමාධ්‍ය රාජ්‍ය සිවිල් සේවාවන් සිය යටතට ගැනීම මගින් සහ වංචාව සහ දූෂණය මගින් එක්

රුස්කර අතිමහත් ධන සම්භාරයක් මගින් දැවැන්ත ජන්ද මැෂිමක් පවත්වා ගෙන යන රාජපක්ෂ පවුල් පාලනය පරාජය කළ හැක්කේ ඉන් බැට කන සියළු

බලවේගයන්ගේ එකතුවකින් පමණි.

එම එකතුවට අවශ්‍ය කැරෙන්නේ හෙළ උරුමය පමණක් නොවේ. දෙමළ ජාතික සංධානය ද ඒ සඳහා අත්‍යවශය ය. මුස්ලිම් කොන්ග්‍රසය ද එතරමට නැතත් වැදගත් සාධකයකි.

මෙරට උතුරු නැගෙනහිර දෙමළ ජනයා මුහුණ දී සිටින ජනවාර්ගික පීඩනය හැරුණ විට රාජපක්ෂ පාලනයේ ඉහත කී දුර්දාන්ත පිළිවෙත මගින් මෙරට දෙමළ ජනයා ද බැට කති. දෙමළ දේශපාලන පක්ෂ ද බැට කති. දෙමළ ජනමාධ්‍ය ද බැට කති.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කිරීම දෙමළ දේශපාලන ක්‍රියාකාරිත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් ලබා දෙයි. 17 වන සංසෝධනය මගින් ස්වාධින ආයතන පද්දතියක් ඇති කිරිම දෙමළ ජනයාට සිය අයිතීන් ලබා ගැනීමට පුළුල් අවස්ථාවක් ලබා දෙයි.

ජනාධිපතිවරණය පවතින්නේ මෙම කරුණු දෙක මතම වුවත් දෙමළ දේශපාලන පක්ෂ රාජපක්ෂ පාලනය පැරදවීමට ක්‍රියාකාරීව සහභාගි නොවී සිටීමට හේතුවක් නැත. මන්ද යත් එමගින් සිය අයිතින් පිලිබඳ අරගලය සඳහා වැඩි අවකාශයක් ද දෙමළ ජනයාට වැඩි නිදහසක්ද හිමිවනු ඇති නිසා ය.

එසේ නමුත් පුදුමයකට මෙන් දෙමළ ජාතික සන්ධානය සහ අනෙක් දෙමළ දේශපාලන කණ්ඩායම් මෙන්ම ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනමාධ්‍ය ද තවමත් දක්වන්නේ නිහඩ පිළිවෙතකි.

දෙමළ ඩයස්පෝරාවේ කටකාර පිරිස් අනුගමනය කරන බව පෙනෙන්නේ 2005 වසරෙහි ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ස්වයං නාශක ජන්ද වර්ජනයේ පිළිවෙත ය‍. ප්‍රභාකරන් ජන්දය වර්ජනය කළේ මහින්ද රාජපක්ෂ බලයට පැමිණය හොත් සිය අරගලය ඉහළ තලයකට ගෙන යාමට හැකි වෙතැයි අපේක්ෂාවෙනි. අද දෙමළ ඩයස්පෝරාවේ එල්ටීටීඊ මතවාදී කටකාර පිරිස් කල්පනා කරන්නේ එලෙසම ය. ඔවුන්ට රාජපක්ෂ බලයේ සිටීම ඉල්ලමකි. රාජපක්ෂ වෙනුවට වෙනත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ශ්‍රී ලංකාවේ ඇති වුවහොත් ඔවුන්ගේ දේශපාලනය මහත් අකරතැබ්බයකට මුහුණ දෙයි.

ජනවාර්ගික ප්‍රශ්ණ මතම ‍ගොඩ නැගෙන ඩයස්පෝරා කණ්ඩායම් සිය පැවැත්ම උදෙසාම

අන්තවාදී ස්ථාවරයන් කරා ඇදී යාම ලොව බොහෝ පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇති කරුණකි.

ඇත්ත වශයෙන්ම නම් ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයා එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්ණ එල්ටීටීඊ මතවාදී ඩයස්පෝරාවට දැනෙන්නේ නැත. ඒ බව හොඳටම පැහැදිළි වූයේ තුන් ලක්ෂයක් දෙමළ ජනයා වව්නියාවේ කඳවුරු තුළ සිරගත කරන ලද අවස්ථාවයි. එල්ටීටීඊ යුද පිළිවෙතට සහාය දැක්වීමට දස දහස් ගනනින් පාරට කැඳවූ ඔව්හු කඳවුරු ගත කළ දෙමළ ජනයා ඉන් මුදා ගැනීමට උනන්දු වූයේ නැත.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරි යම් යම් දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ පිරිස් ඩයස්පොරාවේ කටකාර සහ එල්ටීටීඊ මතවාදී පිරිස්වල බලපැමට නතු ය. එම පිරිස් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම හෝ නිහඩ පිළිවෙතක් මගින් රාජපක්ෂ පාලනය දිගටම පවත්වා ගෙන යාමට උත්සාහ කරන්නට ද ඉඩ තිබේ. ජනාධිපතිවරණය ආසන්න වත්ම මෙම එල්ටිටීඊ මතවාදී ඩයස්පොරා කණ්ඩායම් රාජ්‍ය මාධ්‍යයන්හි සුරතලුන් වුව හොත් අප පුදුම විය යුතු නැත.

එසේ නමුත් ප්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලනය එවැනි ස්වයං නාශක තීරණයකට එළඹෙනු ඇතැයි සිතීම දුෂ්කර ය. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අවශ්‍යතාවය සිංහල දෙමළ මුස්ලිම් යන සෑම ජන ප්‍රජාවකටම පොදු අවශ්‍යතාවයකි.

එසේ නමුත් මේ තාක් දුරට පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් උත්සාහයක් දරා නැත. දෙමළ ප්‍රජාවෙහි සිවිල් සහ ව්‍යාපාරික පිරිස් සමඟ හෝ ඔහු සාකච්ජාවක් ආරම්භ කොට නැත. එවැනි සාධනීය ප්‍රවිශ්ඨක් නැති තත්වයක් තුළ ජන්ද වර්ජනය එල්ටීටීඊ පිළිවෙත වඩ වඩා ප්‍රමුඛත්වයකට පැමිණිය හැකි අතර 2005 දී මෙන් රාජපක්ෂ පාලනය මගින් එම ප්‍රවණතාවය වර්ධනය කරන්නට ද ඉඩ තිබේ. 2005 දී එල්ටීටීඊ ය රාජපක්ෂගෙන් මුදල් ලබා ගත්තේ ය යන්න අද තහවුරු වූ කරුණකි. එය යළි සිදු නොවනු ඇතැයි කිව හැක්කේ කාට ද?

ශ්‍රී ලංකාවෙහි අප අපේක්ෂා කරන සැමට සෑම සහ සමාන අයිතිවාසිකමක්ම ඇති සමාජයක් බිහි වීමට නම් දෙමළ ජනයා මුහුණ දෙන වාර්ගික පීඩාවන් ආමන්ත්‍රණය කිරීම අත්‍යවශය ය.

එම අභියෝගය ඇත්තේ සිංහල දේශපාලනයට පමණක් නොවේ. දෙමළ දේශපාලන සහ සිවිල් සමාජය ද එම අභියෝගයට මුහුන දිය යුතු ය. ශ්‍රී ලංකාව තීරණාත්මක දේශපාලන වෙනසක මොහොතකට ළඟා වෙමින් ඇති මෙම අවස්ථාවෙහි එම වෙනසට දෙමළ දේශපාලනය සහ ජනයා හවුල් කර ගැනීම පොදු විපක්ෂයේ අභියෝගය වන අතර එම වෙනසෙහි තීරණාත්මක දායකත්වයක් ලබා දෙමින් ස්වකීය අයිතිවාසිකම් න්‍යාය පත්‍රයෙහි ඉහළින් රඳවා ගැනීම දෙමළ දේශපාලනයෙහි සහ ජනයාගේ අභියෝගය වේ.

Back to Top