Sri Lanka Brief
පුවත්මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු …

මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු …

by

(‘උගුලෙන් ගැලවෙමු‘ සිවිල් කණ්ඩායම් ගොඩ නගන දිර්ඝ කාලීන දැක්මකි.)

රංජිත් හේනායකආරච්චි විසිනි
රාජපක්ෂ කල්ලිය ලංකා දේශය තම අත්අඩංගුවට ගෙන එය තම පුද්ගලික දේපලක් ලෙස පරිහණය කිරීම පමණක් නොව එය අපයෝජනය ද කරමින් සිටි. රට තුල දේශපාලනයේ යෙදී සිටින සෑම පුද්ගලයෙක්ම පාහේ (දේශපාලන අඳ බාලයන් හැරුණු විට) ප්‍රගතිශීලී මත, වමේ මත ලිබරල් මත දරණ අය පමණක් නොව මහින්දලා සමග එකම කල්ලියට එක්වි රට විනාශයේ කොටස් කරුවන් වෙමින් ඔවුන් සමග සිටින දේශපාලඥයින්ද (මෙහිදී මා අදහස් කරන්නේ මහින්දලා සමග එක්ව සිටින මාෆියා සහ අපරාධ කල්ලි නොව) ඒ තත්වය හොඳින් දනී. මේ අතරින් මහින්දලා රටත් සමාජයත් වශයෙන් ලංකා දේශයට කරන හානිය එම සමාජය පතුලක් නොමැති අගාධයකට හෙලමින් සිටීම ගැන වසර ගණනාවක්ම දිගින් දිගටම ප්‍රගතිශීලී මතධාරීන්, බුද්ධිමතුන් සහ විවිධ දේශපාලන ක්‍රියාධරයන් විසින් අවධාරණය කරමින් පැවතුණි. ඒ හඬ නැගූ කොටස්වලට තර්ජන ගර්ජන වලට මුහුණ දීමට සිදුවූ අතර සමහරුනට තම ජීවිතවලින්ම වන්දි ගෙවීමට සිදුවීය. ලංකා සමාජය තුල ඉතා සුළු කණ්ඩායමක් වුවත් දිගින් දිගටම කරගෙන ගිය එම මතවාදී සටන ක්‍රමක්‍රමයෙන් අද වන විට බහුජන වුවමනාවක මට්ටමට පෙරලී ඇත. මහින්ද පැරදවීමට පොදු අපේක්ෂකයෙකු වෙත යොමුවන මට්ටමකට රටතුල බලවේග ගොනුවීම අරඹා තිබේ.

රාජපක්ෂ කල්ලිය පවත්වාගෙන යන රෙජීමයට විරුද්ධ මත දරණ අය එක පෙලකට ගොනුවී ඇතිවා පමනක් නොව මහින්දගේ ගොඩේ සිටින දේශපාලඥයන්ටද (දේශපාලඥයන් එහි සිටීනම්) දැන් කාලය පැමිණ ඇත. මහින්ද ළඟ සිටියාය කියා කිසිම දේශපාලඥයෙකුට රටේ ජාතික ධනය පුද්ගලිකව කඩවඩා ගැනීම හොඳ දෙයක් ලෙස අර්ථ ගැන්විය නොහැක. රට තුල නීතියේ ආධිපත්‍ය නැති කිරීම පමණක් නොව අවනීතිය රජකරවීම එසේත් නැතිනම් කැලේ නීතිය රටතුල රජකරවීම නිවැරදි යැයි කිව නොහැක. බලය ඇති එකාට සියල්ල තම සිතැඟි ලෙස කිරීමට ඉඩ හැරීම නිවැරදි යැයි දේශපාලඥයෙකුට නම් කිව නොහැක. එමෙන්ම රටේ සමාජ හරයන් විනාශ කර දැමීම හොඳ දෙයකැයිද ඔවුනට කිව නොහැක. රටේ මැති ඇමතිවරන්ගේ සිට සියළුම වැසියන් භියකින් ජීවත් වීම සමාජයකට හොඳ දෙයක් යැයි කිව හැක්කේ කාටද? බියෙන් ජීවත් වන කෙනෙකුගේ ආත්මය බිය විසින් කා දමනු ලබයි. එසේ නම් බියෙන් වෙලී පවතින සමාජයක සමාජ ආත්මය මේ බිය විසින් කා දමන බව වටහා ගත යුතුය.

අද යුගයේ යුතුකම

ඒ එසේ නම් ලංකා දේශපාලනය තුල අද වන විට දේශපාලනය කරමින් සිටින සෑම අයෙකුටම මේ වන විට ඉහත කාරණයන් වැටහිය යුතුය. ඔවුනට විකල්පයක් නොමැති අවධියේ ඔවුන් හිරවී සිටියා නම් අද ඔවුනට විකල්පයක් මතුව තිබේ. එය ගොඩ නැගෙමින් පවතී. අද ලංකාව තුල දේශපාලය කරමින් සිටින මොනයම් දේශපාලඥයෙකුගේ වුවද යුගයේ යුතුකම (ඔහු හෝ ඇය දේශපාලකයෙකු නම්; කුඩු වෙළඳුන් ජාවාරම්කරුවන් ආදී අපරාධකරුවන් ආදී බලය අපයෝජනයට රොක් වී ඇති අදේශපාලනික කල්ලිය නොව) වන්නේ මෙම අධම පසුගාමී ඒකාධිපති කල්ලියෙන් රට මුදවා ගැනීමට පොදු බලවේගයේ අපේක්ෂක දිනවීමයි. මෙම මොහොතේ මෛත්‍රී යනු පොදු අපේක්ෂාවේ සංකේතයයි. එය ජයග්‍රහණය කරවීම දේශපාලනය කරන අයගේ යුගයේ කාර්යයි.

දේශපාලනයේදී   සෑම දේශපාලඥයෙකුටම පුද්ගලික සහ පොදු වුවමනාවක් තිබේ. රටක් විනාශ කරමින් කරගෙන යන දේශපාලනය නොදකින්නේ නම් ඔහු තුල ඇත්තේ පුද්ගලික ලාභ ගැන සිතිවිල්ල මිස පොදු දේශපාලන අදහසක් නොවේ. ඒ නිසා දේශපාලඥයන් කළ යුත්තේ රට සහ සමාජය ගැන සිතා වැරැද්දට එරෙහිව නැගී ඇති බලවේගයන්හි කොටස්කරුවෙකු වෙමින් ඇතිවිය හැකි විනාශය අවම කර ගැනීමට පෙල ගැසීමයි. එසේ නොමැති නම් ඔවුන් කරනුයේ තම පුද්ගලික ලාභ සඳහා රට විනාශ කිරීමේ කොටස්කරුවන් වීම පමනි.

මේ අතරම තවත් කොටසක්   ප්‍රචලිත කරන ජනප්‍රිය මතය වන්නේ ‘මේ කොයිකා ආවත් එකයි’ ඇත්තෙන්ම මෙය අපි මොහොතකට විමසා බලමු. මේ කොයිකා ආවත් සිදුවන්නේ එකම දෙයද?  මගේ මතය අනුව රාජපක්ෂ කල්ලිය සැදී ඇත්තේ අර්ධ වැඩවසම් (රදල රාජාණ්ඩු මානසික මට්ටමක අධිපතිවාදයෙන් හිස් පුරවා ගත්) සහ අර්ධ ෆැසිස්ට් ( තම මතයට එරෙහි සියල්ල නිෂේධකිරීම. සිංහල බෞද්ධ අධිපතිත්වය පෙරදැරිකරගෙන අනෙකුත් ආගමික සහ ජන කණ්ඩායම් පාගා දැමීම) කණ්ඩායමකිනි. ඒ අතරම එම බලවේගය තුල නන්නත්තාර ධනපති (කුඩු වෙළඳුන්, කප්පම් කාරයින් සහ අපරාධකාරී කල්ලි) කණ්ඩායමද හරි හරියට බලයේ කොටස් කරුවන් වී සිටිති.  මෙම කණ්ඩායම් තුනේ ආධිපත්‍ය අපි මහින්ද කල්ලිය යැයි එසේ නැතිනම් රාජපක්ෂ කල්ලිය යැයි හදුන්වමු.

අනෙක් පසින් පෙළ ගැසී ඇති බලවේග යනු මොනවදා? ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය යනු ලංකා සමාජයට සාපේක්ෂකව ලිබරල් ධනවාදී මතය නියෝජනය කරන කණ්ඩායමයි. මෛත්‍රී, චන්ද්‍රිකා වැනි අයගෙන් සැදුම් ලත් කණ්ඩායම යම් යම් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහ මධ්‍ය පාන්තික සුචරිතවාදී මතයන් පිළිබඳ සංවේදී බවක් ඇති කණ්ඩායමකි. ඒ අතරම ජාතිවාදය හා පසුගාමී මතයක් දරණ   හෙළ උරුමය වැනි කණ්ඩායම් ද සිටී. එමෙන්ම ප්‍රගතිශීලී මත දරණ දීර්ඝ කාලීනව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින සිවිල් සහ බුද්ධිමතුන් කණ්ඩායම මෙන්ම දේශපාලන ප්‍රගතිශීලී ක්‍රියාධරයන්ද එක්ව සිටී. තවත් මෙම කණ්ඩායම තුල විවිධ බුද්ධිමතුන් සහ කලාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් වෙනුවෙන් පෙනී සිටී. මෙහි ඇති එකම හිඟය දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය වැනි කණ්ඩායම් වලට තාමත් එහි සැබෑ කොටස් කරුවන් වීමට ඉඩ සලසා නොමැති කමයි. නමුත් ඒ සඳහා ඔවුන් මෙම බලවේගයට එක්කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතු අතර ඇතිවන බලපෙරළිය තුල සුළු ජන කණ්ඩායම්වල සහ ආගම්වල අයිතීන් තහවුරු කරන බව සහතික කළයුතුව ඇත. එය ශක්තිමත් බලයක් බවට පත්කිරීම ඒවායින් කිසිවක් නොවේය කියා ප්‍රතිගාමීත්වට ඉඩහැර බලා සිටීම කිසි අයුරකින් ප්‍රගතිශීලී දේශපාලනයක් නොවේ. දැන් මම ගෙනහැර පෑවේ මේ බලවේග 2 ක එක හා සමාන නැති බවයි. මේ බලවේග 2 ක පැහැදිලිව වෙනස් කණ්ඩායම් 2 කි.
බලය අත ඇත්තේ පසුගාමී වැඩවසම්, ෆැසිස්ට් අපරාධකරුවන්ගේ එකතුවකට වන අතර එයට එරෙහිව ඇත්තේ ලිබරල්, ප්‍රගතිශීලී මෙන්ම පසුගාමී බලවේගයන් වලද එකතුවකි. බලය ඇති අයගේ ගාමක බලවේගය ප්‍රතිගාමී වන අතර විරුද්ධ බලවේගයේ ගාමක බලවේගය ලිබරල් ප්‍රගතිශීලී එකකි.

මකරා විනාශ කළ යුතුයි

වමේ සමහරුන්ගේ විග්‍රහයට අනුව මහින්ද යනු පුද්ගලයෙකි. එනිසා විරුද්ධ බලවේගයද මෛත්‍රී මුල්කරගෙන ඇති හෙයින් පුද්ගලයෙකු මුල් කරගෙන ඇති දේශපාලනයක් යැයි ඔවුන් විග්‍රහ කරති. මේ කියමනෙන් ඔවුන් පෙන්වන්නේ ඔවුන්ගේ දේශපාලනයේ නොමේරූ බවයි. යම්කිසිවකු දේශපාලනයේදී හිට්ලර් ගැන කතා කරයි නම් ඒ කතාව තුල ගැබ් කරනුයේ නාට්සි දේශපාලනයයි. යම් අයෙකු මුසෝලීනී හෝ පිනෝචෙට් ගැන සඳහන් කරන්නේ මේ පුද්ගලයා ගැන කතා කිරීමට නොව ඔවුන් නියෝජනය කරන ෆැසිස්ට් වාදය සංකේතවත් කිරීමටය. එනිසා දේශපානයේදී පුද්ගලයෙකු නම් කිරීම තුල හැදින්වෙන්නේ ඔවුන් තුල ඇති දේශපාලන ක්‍රියාදාමයක් මිස මේ නාමික පුද්ගලයා නොවේ. අප මහින්ද කල්ලිය ලෙස හදුන්වන්නේ මා ඉහතින් සඳහන් කළ ප්‍රතිගාමී දේශපාලනයයි. ඒවාගේම මෛත්‍රී මේ මොහොතේ සංකේතවත් වෙන්නේ එයට එරෙහි ප්‍රගතිශීලී දේශපාලනයයි.

දේශපාලනය කරන අපි බලවේගයන් හදුනාගත යුතුවා මෙන්ම ප්‍රධාන සහ අප්‍රධාන ප්‍රතිවිරෝධයන් හදුනා ගැනීමටද වගබලාගත යුත්තෙමු. ඒ අනුව මෙම ප්‍රතිවිරෝධයන්ට ප්‍රතික්‍රියා දැක්විය යුතුය. රාජපක්ෂලා පෙරළිම තුලින් සියල්ල සුන්දර වේය යන සිහිනයක ගිලෙන්නේ නම් එය දේශපාලන අඳබාල කමකි. මහින්දලා පෙරලා දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යන දීර්ඝ කාර්යයේ ආරම්භය පමණක් සිදුවීම අපට බලාපොරොත්තු විය හැක. ප්‍රජාතන්ත්‍රවාදය යනු දීර්ඝ කාලීන සමාජ ක්‍රියාධාමයක් තුල දිනාගත යුතු අයිතීන් කොටසක් වන අතර නොකඩවා කෙරෙන අරගලයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සමාජයක් තුල පවත්වා ගැනීමකට හැකි වන අතර මේ මොහොතේ ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ක්ෂණික කාර්ය වන්නේ මේ ෆැසිස්ට් පසුගාමී බලවේගය පෙරළා දැමීමයි. එතුලින් ඇති කර ගන්නා ඉඩකඩ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඇතිකරගත හැකි දීර්ඝ සමාජ අරගලයට මග පාදනු ලබයි.

වම යැයි කියා ගන්නා පෙරටුගාමීන් වැනි කොටස් පවසන්නේ මෛත්‍රීලා වැනි අය මහින්දලා වැනිම කොටසක් නිසා මහින්දලා පැරදවීමේ  කාර්යේ කොටස්කරුවන් වීම ඔවුන්ට තරම් නොවන බවකි. පෙරටුගාමීන්ට අමතක වන කරුණ ඔවුන්ද එදා මහින්දලා කළ ඝාතනයන් සඳහා දෑතම එසවූ බවත් බල්ලා නාවන්න ඇදන් ගිය කණ්ඩායමේම ඔවුන්ද කොටසක්ව සිටි බවයි. නමුත් අද ඔවුන්ම කියන ආකාරයට විවාදයකින් තොරව මහින්ද පැරදවිය යුතු බව පවසන අතරම අනෙක් අයද මහින්දලා සමගම සිටි අය නිසාවෙන් ඔවුන්ට අපි සහාය නොදෙන බවයි. ‘එනිසා අප තනිව සටන් කරමු’  කියමින් ඔවුන් කරන්නේ කුමක්ද ඇසීමට අපට සිදුවනු ඇත.

මකරා විනාශ කළ යුතුව ඇත. ඔවුන්ද එය පිළිගනී. ඒත් එහි හැබෑ කොටස්කරුවන් වීමට ඔවුන් මැළිය. සොයුරනි සිතා බලන්න. වම, වම නම් කළයුතුව ඇත්තේ පොදු

සතුරා පැරදවීමට පොදු බලවේගය සමග එක්වී එම බලවේගය තුල ප්‍රගතිශීලී හඬ ශක්තිමත් කිරීමයි. එතුලින් වඩාත් ප්‍රගතිශීලී වැඩ පිළිවෙලක් දෙසට මෙම පොදු එකතුව

තුල බලවේග ගොනුකර ගැනීමයි. එසේ නැතිව තමාගේ පුද්ගලික සංතෘප්තිය සඳහා ‘අපි තමයි නියම මිනිස්සු’ කියා සිතා අගාධයකට ඉඩහැර ප්‍රතිගාමී බලවේග තවදුරටත්

බලයේ සිටීමට ඉඩ හැරීම නොවේ.

අප සිහින නොදකින්නෙමු. ලංකාව පවතින්නේ කුමන තැනකද? එය තුල අවමය දිනා ගත හැක්කේ කුමන අයුරකින්ද? කියා අපට නම් පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම සඳහා කරන අරගලයේ මූලික කාර්ය මගහැර යෑමට අප සූදානම් නැත. අවසානයේ ලෙනින්ගේ වදනක් ද මතක් කරමි. ‘විශ්වාසය හොඳ දෙයකි. නමුත් වඩාත් හොඳ වන්නේ සුපරීක්ෂාකාරීත්වයයි’ අපි පොදු අපේක්ෂකයා මෛත්‍රී මත විශ්වාසය තබමු. නමුත් අපේ සුපරීක්ෂාකාරිත්වය දිගින් දිගටම පවත්වා ගන්නට අපි වගබලා ගනිමු.

Back to Top