Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගදෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය

දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය

by

( පොදු විපක්ෂයේ රුස්වීමක්)

1971 අප්‍රේල් කැරුල්ලට සහභාගි වූ පිරිස් විසින් පවත්ා ගෙන යන ‘71 සහෝදරක්ව සංසදය“ එලඹෙන ජනාධිපතිවරණයෙහිදී  රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.  ඒ 1971 මහ නඩුවේ සැනකකරුවකු වූත් දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකුවූත් ප්‍රේමපාල හේවාභටගේ විසින් සංසදයවෙනුවෙන් ඉදිරිපත් කරන ලද ලියැවිල්ක් මගිනි.

එය මෙසේ කිය යි. ‘‘ මෙවන් දේශපාලන හා ආර්ථික සංවර්ධන ආශ්චර්යයක් මෙවන් ෆැසිස්ට් විනයක් තව දුරටත් මේ සමාජයට දරා සිටිය හැකි ද? දරා සිටිය යුතු ද? ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට පවා එය දරා සිටිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. රාජපක්ෂලාගේ විනය ගරුක සමාජයක් යනු නිදහස් පුරවැසි සමාජයක් නොව වහල් යටත්වැසි සමාජයකි. එයට දැන් හොඳටම ඇතැයි කිව යුතු කාලය එළඹ තිබේ. දැන් එම අත්තනෝමතික බලය ඉවතලීමේ මහඟු අවස්ථාව ජනතාවට ලැබී තිබේ.

රාජපක්ෂම එම අවස්ථාව ජනතාවට ලබා දී තිබේ. ජනතාව එම අවස්ථාව උපරිම වශයෙන් අල්ලා ගත යුතු ය. දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය.‘‘

සම්පූර්ණ ලියැවිල්ල පහත සඳහන් වේ:

71 අරගලයේ දී දිවි පිදුවන් ද අදටත් එහි පදනම් අරමුණ සමග ජීවත්වන්නවුන් ද වෙනුවෙන් පෙනී සිටින 71 සහෝදරත්වයේ සොයුරු සොයුරියන් වන අපි ලෙයින් වන්දි ගෙවා උරුම කරගත් දූෂිත, අත්තනෝමතික පාලනයන්ට එරෙහිව නැගී සිටිය යුතුය යන 71 ඒ උත්තුංග උරුමය රැක ගනුවස් 2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක් කිරීමට තීරණය කළෙමු.

71 සහෝදරත්ව සංසදයයේ සමරු උළෙලක්

71 සහෝදරත්ව සංසදයයේ සමරු උළෙලක්

71 උරුමය කුමක් සඳහා හෝ පාවා දෙනු ලබන කල්ලියකට හැර ඒ උරුමය වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට දූෂිත පාලක කල්ලියක දෙපා මුල වැටෙන්නට නොහැකි ය. 2015 ජනාධිපතිවරණය සැබවින්ම එම උරුමය වෙනුවෙන් කි‍්‍රයාකාරී විය යුතු අවස්ථාවකි.

මක් නිසා ද මෙම ජනාධිපතිවරණය පැසී මුහුකුරා යමින් තිබෙන දූෂිත, ආඥාදායක ප‍්‍රවනතාවකට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වූ තීරණාත්මක කඩඉමක් බවට පත්ව ඇති බැවිනි. නියමිත කාලයෙහි ජනාධිපතිවරණයට ගියහොත් සිය බලය ගිලිහී යන බව පසක් කරගත් වත්මන් පාලක කල්ලිය වසර දෙකක් තිබිය දී කුමන්ත‍්‍රණකාරීව ජනාධිපතිවරණය කැඳවුවත් එය ඔවුන් නොසිතූ විරූ ලෙස ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්ව තිබේ. එහෙත් එය පරාජය භාර ගැනීමට සූදානමක් නොමැති බව ප‍්‍රදර්ශනය කරමින් සිටී. මේ ඇඟවීමම මෙම පාලනය යටතේ රටත් ජනතාවත් පත්විය හැකි අනතුරේ ස්වභාවය පෙන්නුම් කරයි.

කෙතරම් වෙනස් මත හා විචාරයන් තිබුණ ද 71 නැගිටීම සමාජ යුක්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ද වූ අරගලයකි. එහි සාධනීය දේ අදටත් හෙටටත් එක සේ වළංගු ය. එහෙයින් පටු අදමිටු දේශපාලන උවමනාවන් උදෙසා එම උරුමය මිලට ගැනීමට පවා පාලකයෝ මැලි නොවෙති. ඒ අතරම පටු පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා එම උරුමයේ ගරුත්වය පාලකයින්ට එක පයින්ම විකිණීමට සෑදී පැහැදීගත් තක්කඩියෝ ද සිටිති. එවැනි රංගනයන් දැනටමත් හොල්මන් කරන්නට තක්කඩියෝ ද සිටිති. එවැනි ලජ්ජා විරහිත රංගනයන් දැනටමත් හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. එවැනි රංගනයන්ට හවුල්වීම 71 අරගලයේ උරුමය සැබවින්ම අවමානයට ලක් කිරීමකි. එම උරුමයේ ගරුත්වය
ආරක්ෂා කරන්නවුන් මෙවැනි තීරණාත්මක කඩඉමක දී කළ යුත්තේ එහි සාධනීය උරුමයට හිමි තැන ලබා දීමයි.

71 සැබෑ පුරෝගාමීන්ගේ එක් අරමුණක් වූයේ එදා වූ ආඥාදායක නැඹුරුවට එරෙහිව ජනතාව පුුබුදුවාලීම මිස ඒ හමුවේ දණින් වැටීම නොවේ.

ආඥාදායක ප‍්‍රවනතාවය පරාජය කරමු!

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් සඳහා අත්නොහරින අරගලයක් තුළට එක්වෙමු! යි යනුවෙන් අප මෙම ප‍්‍රකාශය නිකුත් කරන්නේ ඒ නිසා ය. රාජපක්ෂ – සහචර හවුල සිය ප්‍රතිපත්ති හඳුන්වන්නේ යුද්ධයට ජයක්, සංවර්ධනයට නව මගක් සහ විනයගරුක සමාජයක් යනා දී වශයෙනි.

යුද්ධය ජය ගැනීම

සැබවින්ම යුද බිමේ ගිනි අවි නිහඬ වී ඇත. ලංකාවාසී සිංහල ජනතාවට බැලූ බැල්මට යම් අස්වැසිල්ලක් ලැබී ඇත. එහෙත් එවන් අස්වැසිල්ලක් හෝ අපේ සහෝදර ජනතාවන් වන දමිළ, මුස්ලිම් හා වෙනත් ජනතාවන්ට ලැබී තිබේ ද? නැත. දේශපාලනිකව යුද්ධයේ නිමාව හා ගිනි අවි නිහ`ඩ වීමෙන් ජන සමාජයේ කොටසකට පමණක් ලැබුණ අස්වැසිල්ල ප‍්‍රමාණවත් ද? ඊට අමතරව විසඳීමට තවත් කොතෙක් නම් ප‍්‍රශ්න ගොන්නක් තිබුණි ද?

පාලකයන් යුද්ධයට හා ජන ජීවිතයේ පැවැත්ම අනතුරට හෙළීමට හේතු කාරක වූ සමාජ දේශපාලන ආර්ථික යන ප‍්‍රශ්න කිසිවකට ආමන්ත‍්‍රණය කර තිබේ ද? නැත. නැතිවා පමණක් නොව කර ඇත්තේ වෙනස් මුහුණුවරක් ගනිමින් එකී ප‍්‍රශ්න ද වාර්ගික අර්බුදය ද මෝරවමින් කි‍්‍රයා කිරීම ය. උතුර තවමත් රාජපක්ෂ මිලිටරි පාලනය යටතේ ය.

දකුණේ ද මිලිටරිකරණය කෙමෙන් කෙමෙන් වර්ධනය කරමින් තිබේ. ජාතීන් අතර සංහිඳියාව, ආගම් අතර සංහිඳියාව අන්තවාදී කල්ලි පෝෂණය කරමින් විනාශ කරමින් තිබේ. බොදු බල සේනා, රාවණා බලය වැනි පටු ජාතිවාදී හා ආගම්වාදී කල්ලි රාජපක්ෂ රෙජිමයේම නිර්මාණයන් ය. නිදහස වෙනුවට මිලිටරිකරණය, ජාතික හා ආගමික සමගිය වෙනුවට අසමගිය හා වෛරය රාජපක්ෂ රෙජිමයේ විසඳුම් මාර්ග ඒවා ය. යුද්ධය නිමා කළේ ය යන්න උත්කර්ෂයට නැගීම සැබවින්ම මිථ්‍යාවක් වන්නේ මේවා නිසා ය.

මුලදී සියල්ල යුද්ධය වෙනුවෙන් කැප කර විඳදරා ගෙන සිටින ලෙස කරන ලද ආයචනයට සිංහල ජන බහුතරය පමණක් නොව මුස්ලිම් හා දමිළ ජනයාගෙන් සැලකිය යුතු කොටසක් ද අවනත වූ බව රහසක් නොවේ. යුද්ධය සඳහා වැය කළ මහා ධනස්කන්ධය දැල් වුන බලාපොරොත්තුව කෙතරම් සුවිශාල ද?

පාලකයන් ඒ බලාපොරොත්තුව තව තවත් දල්වා ලූයේ පංච බල කේන්ද්‍ර සංවර්ධන උපාය මාර්ගයක් ඉදිරිපත් කරමිනි. එය ලංකාව ආසියාව පමණක් නොව ලෝකයම ජය ගන්නා ආශ්චර්යයක් ලෙස හඳුන්වා දෙන ලදී. එහෙත් ඒ පංච බල කේන්ද්‍ර සංවර්ධන උපාය මාර්ගය පවා පසෙක ලා එය දැන් පෙනී සිටින්නේ සංචාරක කර්මාන්තය හා ඒ ආශ‍්‍රිත ධනෝපායන මාර්ග දියුණු කිරීම කේන්ද්‍රීය කර ගත් හුදු සේවා ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් වෙනුවෙනි.

සංවර්ධනය ලෙස පෙන්වනුයේ අධිවේගී මාර්ග, නගර අලංකරණය, සංචාරක නිකේතන ව්‍යාප්ත කිරීම, වරාය හා ගුවන් තොටුපොළ ඉදි කිරීම ආදිය ය. දැන් ඊට රාති‍්‍ර ආර්ථිකයක් සංවිධානය කිරීම ද එක් කර ඇත. ඒ සඳහා කැසිනෝ සූදුව ආර්ථිකයේ ප‍්‍රධාන අංගයක් කිරීමට මං සෙව්වේ කැබිනට් පති‍්‍රකා පවා විකෘති කර පාර්ලිමේන්තුවේ පනත් සම්මත කර ගැනීමෙනි. රාති‍්‍ර මෝටර් රථ තරග ද ඒ සඳහා බදු රහිත වාහන ගෙන ඒමට පවුල් හවුලේ පුත‍්‍රයින්ට වරදාන දීම ද චිර ප‍්‍රසිද්ධ කාරණා ය.

සංචාරක කර්මාන්තය අංක එකට දෙකට ගත් විට ඊට අවශ්‍ය පහසුකම් ලෙස මත් ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය, සූදුව ආදියට ඉඩ සැලසිය යුතු ය. මේ අන් කිසිවක් නොව ළමා ගණිකා වෘත්තියට පවා බලපත‍්‍ර දුන් තායිලන්ත, පිලිපීන වර්ගයේ සංවර්ධන උපාය මාර්ගයකි.

දේශීය කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ප‍්‍රමුඛ ආහාර නිෂ්පාදන අංශයට කුමක් වී දැයි ප‍්‍රශ්න කරන්නෙක් හෝ නැත. එම අංශය වළලා දමමින් තිබේ. මෑත කාලයේ සම්මත කර ගැනීමට වෙර දැරූ (තවමත් වෙර දරමින් සිටින) ”බීජ පනත” මේ සංවර්ධන උපාය මාර්ගය විදහා දක්වන උදාහරණ අතර තවත් එකක් පමණි. එය දැන් ජනතා විරෝධය හමුවේ තාවකාලිකව ස`ගවා ගෙන සිටිති. යුද්ධයෙන් මිය යනු වෙනුවට කුස ගින්නෙන් මිය යාමේ සංවර්ධන මොඩලයක් යනුවෙන් මේ මොඩලය හැඳින් වූවාට වරදක් නැත.

මෙම සංවර්ධන මොඩලය නව ලිබරල් ධනේශ්වර සංවර්ධන මොඩලයටත් වඩා හානිකර වූවකි.

මන මෝහනීය වදන් අස්සේ සඟවන ලද එය ඉතා රළු, වැඩවසම්වාදී, ගෝත‍්‍රවාදී, ගසා කෑමේ ප‍්‍රයත්නයකට වැඩි දෙයක් නොවේ. එය ජනතාවගේ නම් නොව පිලීපීනයේ මාකෝස්ලාගේ මෙන්, ඉන්දුනීසියාවේ සුහර්තෝලාගේ මෙන්, ටියුනීසියාවේ බෙන් අලිලාගේ මෙන් රාජපක්ෂලාගේ හා සහචර කල්ලියක ආශ්චර්යය උදා කිරීමේ සංවර්ධන උපාය මාර්ගයකි. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොලවල්, වරායවල් ඉදි කිරීම වැනි මෙගා ව්‍යාපෘති එම සංවර්ධන උපාය මාර්ගයේ නොවෙන් කළ හැකි අන්තර්ගතයන් ය.

මේ කල්ලිය සිය ආශ්චර්යය සාක්ෂාත් කරගෙන ඇත්තේ එක් අතකින් කෝටි ප‍්‍රකෝටි දහස් ගණනින් රටත් ජනතාවත් ලෝක බැංකුවට, ජත්‍යන්තර මූල්‍ය අරමුදලට, ඇමෙරිකන්, ඉන්දීය හා චීන සමාගම්වලට හා විශේෂයෙන් චීන බැංකු හා ව්‍යාපාරික සමාගම්වලට උකස් තැබීමෙන් ගන්නා ණය කන්දරාවෙන් කොමිස් ගසමිනි. දැන් දැන් හෙළිදරව් වෙමින් තිබෙන අන්දමට මේ කොමිස් ගැහිල්ල සිදුව ඇත්තේ සුප‍්‍රකට ”ටෙන්පර්සන්ට්” වලින් නොවේ. ”තවුසන්ඞ් පර්සන්ට්” වලිනි.

අනෙක් අතින් ජනතාව මත ඉසිලිය නොහැකිසේ බදු බර පටවා රුපියල් බිලියන ගණනින් කොල්ල කමිනි. එසේම කුඩු හා එතනෝල් ආදී ජාවාරම් කාරයින්ගෙන් ලැබෙනවා යයි සිතිය හැකි කොටස් මුදල්වලිනි.

අප කාටත් ඇස් පනා පිට පෙනෙන මේ ආශ්චර්යයේ නිරුවත වසා තිබෙන සීතාම්බර පට වස්තරය විනිවිද දැකීමෙන් ජනතාව වලකනු වස් මේ පාලකයන් කරන්නේ යුද ජයග‍්‍රහණයෙන් කුළු ගන්වන ලද උත්කර්ෂයම තොර තෝංචියක් නැතිව වමාරා කෑම ය,

වන්දි භට්ටයන් ලවා යුද ජයග‍්‍රහණයේ ස්තෝත‍්‍ර ගායනා කරවීම ය. මෙන්න මාව හේග් නුවර විදුලි පුටුවට ගෙන යන්න හදනවෝ යි උගුර පුප්පමින් කෑමොර දීම ය. තම සෙවනේ නැලවෙන කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් මගින් ඉත්තන් යොදවාගෙන විරුද්ධ පක්ෂය දිනූ පසු තමන්ව හේග් නුවරට යුද අපරාධකරුවෙකු වශයෙන් ගෙන යන බව කියවා ගැනීම ය. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ඝෘජුව හා වක‍්‍රව සිය සේවයේ යොදවා ගන්නා අනෙකුත් මාධ්‍යයන් හරහා දිවා ? නැතිව ඒවා ප‍්‍රචාරය කිරීම ය. සැබෑ සිංහල බෞද්ධ ජාතිකත්වය පවා නිගාවට හා අවමානයට පත් කරන වර්ගවාදී මතවාදයන් සමාජ ගත කරවමින් වැජඹීමට මං සෙවීම ය. ව්‍යාජ සංවර්ධන ඇස් බැන්දුම්වලින් ද ජනතාව මනමෝහනීය නිද්‍රාවක සැතප්ප වීම ය.

මේ සංවර්ධන මූලෝපාය ඉදිරියට දුවවන ප‍්‍රවර්තක බලය වන්නේ වංචාව හා දූෂණය යි. මුදල් අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් හා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියවන අයවැය කඩදාසි සකස් කරන ප‍්‍රධාන නිලධරයා වන්නේ විමල් වීරවංශට අනුව ආර්ථික ඝාතකයා වන පී. බී. ජයසුන්දර නමැත්තා ය. ඔහු එම තනතුර තබා රජයේ කිසිදු වගකීමක් දැරීමට නුසුදුස්සෙකැයි අධිකරණය ඉදිරියේ පවා පිළිගත් හොරකම හා වංචාවට දඩ ගැසුම් ලද පුද්ගලයෙකි. මහින්ද රාජපක්ෂ ඔහුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කර ගත්තේ තම කැබිනට්ටුවේ ප‍්‍රධාන ඇමතිවරුන් කීප දෙනෙක් ද විවෘතව විරෝධය පාද්දී ය.

රාජපක්ෂ පවුල් හවුල හා දූෂිත සහචරයන් කල්ලි ගැසෙන්නේ එලෙස ය. දුප්පත්කමේ සාපේක්ෂ අඩුවක් ගැන තර්ක හදන්නේ ඔවුන් ය. දළ දේශීය නිෂ්පාදිතයේ, ඒක පුද්ගල ආදායමේ, ජීවන වියදම් දර්ශකයේ හා ආර්ථික වර්ධනයේ ඉලක්කම් හදන්නේ ද ඔවුන් වැන්නෝ ය. එහෙත් රටේ ජනතාවගේ දුප්පත් කමේ අඩුවීම කෙසේ වුව ද මේ පවුල් සහචර කල්ලියේ පොහොසත් කමේ වැඩිවීම නම් ආශ්චර්යයක්ම ය! ඒ කෙසේ ද යත් සුපිරි බ‍්‍රැන්ඩි බෝතලයකට රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය කළ හැකි අය සිටින, ලැම්බෝගිනි කාර් පදින, කොළඹ සිට උදේට ගුවනින් නුවරඑළි ගොස් රාජකීය අශ්වයන් පැද හවසට ගුවනින්ම කොළඹට පැමිණ සුඛවිහරණයෙහි යෙදිය හැකි අය සිටින කේතුමතියකි අපේ මේ සිරි ලංකාව.

යුද්ධය ජයගත්, සංවර්ධන ආශ්චර්යයෙන් අගතැන්පත් සිරි ලංකාවට දැන් පිවිසෙන්නේ චින්තනයේ තුන්වන අවධියට ය. එය ලෝකය ජය ගන්නට විනය පිටුවීමේ අවධිය යි. ජනාධිපති ධූර තුන්වන වාරයක් අවශ්‍ය වන්නේ එකී විනය ස්ථාපිත කිරීමට ය.

යුද්ධය ජයගත්තා වූ ද අධිවේගී මාර්ග, ගුවන් තොටුපොලවල්, කුඩු, එතනෝල්, කැසිනෝ සංවර්ධන ආශ්චර්යයෙන් විභූෂිත වූ ද මේ සිරි ලංකාව දැන් පිවිසෙන්නේ ලෝකය ජය ගැනීමේ නැතහොත් මහින්ද රාජපක්ෂ චක‍්‍රවර්ති රජෙක් වීමේ අවධියට ය. මෙයට ඊර්ෂ්‍යා කරන්නන් බොහෝ ය. මුදුන් පමුණුවා ඇති යෝධ සංවර්ධනයට ඊර්ෂ්‍යා කරන්නන් බොහෝ ය.

ඔවුහු මේ සංවර්ධන විරුද්ධ වෙති. එහෙයින් ඔවුහු ඊට විරෝධය පාති. තව දුරටත් ඉදිරියට ගෙන යන්නට ඉඩ නොදෙති. උද්ඝෝෂණ කරති.

පෙළපාලි යති. වැඩ වර්ජන කරති. නැගී සිටිති. මේවා මගින් මේ කේතුමතියේ විනය බිඳ දමනු ලබති. එහෙයින් දැන් විනය පිහිටුවීම, ස්ථාවරභාවය

තහවුරු කිරීම අවශ්‍ය ය. තුන්වන වාරයක් අවශ්‍ය වන්නේ ඒ සඳහා ය.

ආසියාවේ ”නව සංවර්ධන මාවතට” පිවිසෙමින් ධර්මිෂ්ඨ සමාජයක් උදෙසා ජේ. ආර් ද දේශනා කළේ විනයේ හා ස්ථාවරභාවයේ අවශ්‍යතාව ය. එවන් දේශපාලන ස්ථාවරභාවයන් තහවුරු කළ වීරයින් වූයේ ඔහුට අනුව ”සුර්තෝතුමා, මාර්කෝස්තුමා” වැන්නවුන් ය. මෙතුමන්ලා සිය රටවල විනය, ස්ථාවරභාවය ඇති කළේ කෙසේ ද යන්න රහසක් නොවේ. ඒ සඳහා ජේ. ආර් 78 ඒකාධිපති ව්‍යවස්ථාව ගෙනාවේ ය. රාජපක්ෂ 18 වන සංශෝධනය ගෙන එමින් එය තව දුරටත් පූර්ණත්වයට පත් කළේ ය. එතුමාට අවශ්‍යව ඇත්තේ එය තව තවත් උච්චස්ථානය කරා ගෙන යාම ය. එය උපරිම වශයෙන් කි‍්‍රයාවට යොදවමින් මේ වර්ධනය කර තිබෙන පවුල්-සහචර ආර්ථික-දේශපාලන ක‍්‍රමය තව දුරටත් අංග සම්පූර්ණ කරමින් පෙරට ගෙන යාම ය.

ඉතින් මෙය පෙරට ගෙන යන්නට නම් ”විනයක්” අවශ්‍ය ය. මේ සංවර්ධන මාවතට එරෙහිව විරෝධය පාන්නන්, නැගීසිටින්නන් පමණක් නොව විවේචනය කරන්නවුන් පවා මැඩලා විනය යටතට ගෙන ආ යුතු ය.

විපක්ෂයට එරෙහි රාජපක්ෂ ප්‍රචණ්ඩත්වය

විපක්ෂයට එරෙහි රාජපක්ෂ ප්‍රචණ්ඩත්වය

එසේ නොකර මේ ආශ්චර්යය එහි මුදුන් කූඨය කරා ගෙන යන්නේ කෙසේ ද? ඉතින් තුන්වන වාරයක් අවස්ථාව ලබා ගන්නේ නොමැතිව මේ ශුද්ධ වූ කර්තව්‍යය ඉටු කරන්නේ කෙසේ ද? රාජපක්ෂ පවුල් සහචර පාලනයේ ඉදිරි අට වසර සඳහා න්‍යාය පත‍්‍රයේ අංක එක එයයි. විනය, විනය, තවදුරටත් විනය…යි!

මෙවන් දේශපාලන හා ආර්ථික සංවර්ධන ආශ්චර්යයක් මෙවන් ෆැසිස්ට් විනයක් තව දුරටත් මේ සමාජයට දරා සිටිය හැකි ද? දරා සිටිය යුතු ද? ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට පවා එය දරා සිටිය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. රාජපක්ෂලාගේ විනය ගරුක සමාජයක් යනු නිදහස් පුරවැසි සමාජයක් නොව වහල් යටත්වැසි සමාජයකි. එයට දැන් හොඳටම ඇතැයි කිව යුතු කාලය එළඹ තිබේ. දැන් එම අත්තනෝමතික බලය ඉවතලීමේ මහඟු අවස්ථාව ජනතාවට ලැබී තිබේ.

රාජපක්ෂම එම අවස්ථාව ජනතාවට ලබා දී තිබේ. ජනතාව එම අවස්ථාව උපරිම වශයෙන් අල්ලා ගත යුතු ය. දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය.

මේ පාලනය දූෂිත ය, අත්තනෝමතික ය, ඒ සියල්ල ඇත්ත ය. එහෙත් මෙය පරාජය වුවහොත් අරාජකත්වයක් මතුවන්නේ නැති ද මේ අරාජකත්වය දඩ මීමා කර ගෙන විදෙස් අධිරාජ්‍යවාදී බලවේග ඵහසුවෙන් අපව ගොදුරු බවට පත් කර ගන්නේ නැති ද යනා දී වශයෙන් අපේ ඇතැම් සගයෝ කියති. එහෙත් ඇස් පනා පිට සිදු වන දෙය වන්නේ මේ පාලනයේ අමනෝඥ කි‍්‍රයාකාරිත්වයෙන් ඒ සඳහා මේ වන විටත් දොරටු විවෘත කර තිබීම නොවේ ද? ඇත්ත තත්ත්වය නම් විදේශ මැදිහත් වීම් වළකා ගන්නටත් මේ පාලනය ඉවත් කර දැමිය යුතුව තිබෙනවාය යන්න ය. අනෙක් අතට අරාජකත්වය යනු අත්තනෝමතික පාලනයේම නිවුන් සොයුරා ය. එහෙයින් රට අරාජකත්වය කරා තල්ලූ කර ගෙන යන්නේ ද අන් කවරෙකුවත් නොව මේ දූෂිත අත්තනෝමතික පාලනයම මිස අන් කවරක්වත් නොවේ.
එලෙස රට අරාජකත්වය කරා යාමෙන් වළක්වා ගැනීමට ද මේ පාලනය ගෙදර යැවිය යුතුම ය.

අත්තනෝමතික පාලක කල්ලිය කුමක් කරාවි ද? මෙම අත්තනෝමතික පාලනය ඉවත් කරදැමීමට පෙළ ගැසෙමින් සිටින බලවේගයන් පුළුල්ව වැඞී යන අන්දමක් පෙනෙන්නට තිබේ. මෙය දරා ගත නොහැකි පාලකයා වියරුවෙන් මොර දෙයි. ජය හෝ පරාජය කුමක් වුව ද බලය අත්හැරීමට තමා සූදානම් නැති බව ඔහුගේ මේ හැසිරීම පමණක් වුව ද පෙන්නුම් කරයි. කර තිබෙන දේවල හැටියට කෙසේ නම් බලය අත්හැර යන්න ද? තමන්ගේ ෆයිල් එළියට ඇදුනොත් කුමකින් කුමක් වෙයි ද?

රාජපක්ෂලාට මාකෝස්ලාගේ අවසානය, සුහර්තෝලාගේ අවසානය, ගඩාපිලාගේ අවසානය එක පෙළට සිහියට ගලා ඒම පුදුමයක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, සාමකාමීව බලය අත්හැරයාමට හිත හදා ගැනීමට තරම් සිය දෑත් පිරිසිදු නැති බව අන් සියල්ලටමත් වඩා හොඳට දන්නේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ සහචරයන්ම ය. එමනිසා අවසන් ප‍්‍රතිඵලය කුමක් වේවා බලය බලහත්කාරයෙන් තබා ගැනීමට මේ පාලක කල්ලිය කි‍්‍රයා කිරීමට ඕනෑ තරම් ඉඩ අවකාශ තිබේ.

විරුද්ධවාදීන්ගෙන් පළි ගන්නේ නැතැයි මොර දෙන මෙම පාලකයා 2010 දී ”18 ලක්ෂයකින්” ජය ලබාත් පරාජිත අපේක්ෂකයා හමුදාව මෙහෙයවා අත් අඩංගුවට ගනිමින් විරුද්ධ පාර්ශවය මැඩලීමට කටයුතු කළ අන්දම රහසක් නොවේ. ඒ ජයගත් පසුත් බලය සුරක්ෂිත කර ගැනීම සඳහා ය. ඉතින් පරදින තත්ත්වයක් ඇති වුවහොත් මේ පාලක කල්ලිය කෙසේ කි‍්‍රයා කරනු ඇද්ද?

එලෙස වත්මන් තත්ත්වයේ එක් තර්කානුකූල ප‍්‍රතිපලයක් විය හැක්කේ අත්තනෝමතික පාලනය ඉවත් කිරීමට ඡන්දය දීමෙන් ඔබ්බට ගිය ජන බල කි‍්‍රයාකාරිත්වයක අවශ්‍යතාවක් බරපතලව පැන නැගීම ය.

ආඥාදායකත්වයන් බිහි වූ හැම තැනකම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස උදෙසා මහජන බලයන් මුළු දීම රීතියක් වන්නේ ය. මෙය අපි චිලියේ දී දුටුවෙමු. ඉන්දුනීසියාවේ දී දුටුවෙමු. පිලිපීනයේ දී දුටුවෙමු. හයිටියේ දී දුටුවෙමු. මෑත ඉතිහාසයේ ටියුනීසියාව, ලිබියාව ආදී රටවල දී දුටුවෙමු. මෙම රටවල ජනතාව තමන්ට එරෙහිව මෙහෙයවා ගත්තේ මේ රටවල පාලකයන්ම ය. මෙම රටවල් අරාජකත්වයට ඇද දැමුවේ ඔවුන්ම ය. රාජපක්ෂලා ද යන්නට හදන්නේ ඒ පාලකයන් ගිය මාවතේම ය. එසේ නම් ජනතාවට මෙම පාලනය ජන බලයෙන් පළවා හැරීම හැර අන් විකල්පයක් ඉතිරි වේ ද? ඒ විකල්පය භාර ගැනීමට අකැමැති නම් කළ යුත්තේ ඡුන්දය සාධාරණව පවත්වා පරාජයට පත්වුවහොත් ජනමතයට හිස නමා මහාත්ම ලෙස පාලන බලයෙන් ඉවත්ව යාම ය. ඔවුන් සබුද්ධික නම් දැන් ඔවුන්ට තෝරා ගැනීමට තිබෙන එකම විකල්පය වනුයේ එය යි. එහෙත් එයට ඔවුන් සූදානම් ද? ඔවුන් ඒ සඳහා සූදානම් නොමැති බව ජනාධිපතිවරණයක් කැඳවීම මෙන්ම සඳහා වපුරමින් ධනස්කන්ධයෙන්ම, මුදා හරිමින් තිබෙන ප‍්‍රචණ්ඩත්වයෙන්ම, පාලනයකින් තොර වියරු හැසිරීමෙන්ම පෙනේ. එහෙයින් මේ තත්ත්වයට මුහුණ දීමට මෙම වියරු අත්තනෝමතිකත්වයට එරෙහි සියලූ ජන බලවේග අවදියෙන් සිටීම අත්‍යවශ්‍ය ය.

මේ පාලකයන් පළවා හැරීමට පමණක් නොව අලූතෙන් එන පාලකයන් පීල්ලෙන් පැන වෙනත් මාවතක යන්නට ප‍්‍රයත්ත දැරුවහොත් ඊට එරෙහිව නැගී සිටීමට ද ජන බලවේග දැනුවත් වීම ද සූදානම් වීම ද අවශ්‍ය ය. ජනාධිපතිවරණයේ දී ජනතා බලවේග කි‍්‍රයා කළ යුත්තේ හුදෙක් පවතින හා තව දුරටත් බලයේ සිටීමට හැම උත්සාහයක්ම දරණ වත්මන් පාලකයින් පලවා හැරීමට පමණක් නොවේ, එයින් නොනැවතී ප‍්‍රගතියේ මාවතක් ඔස්සේ සවිඥානකව මැදිහත් වෙමින් ඉදිරිය බලා ගමන් කරන්නට ය.

ආඥාදායක ප‍්‍රවනතාවය පරාජය කරමු!
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් සඳහා
අත්නොහරින අරගලයක් තුළට එක්වෙමු!

ප්‍රේමපාල හේවාභටගේ

71 සහෝදරත්ව සංසදය වෙනුවෙන්
2014 දෙසැම්බර්

Back to Top