Thursday, June 24, 2021

1971 අප්‍රේල් කැරැල්ල දෙස ආපසු හැරී බැලීමක් – සෝමපාල ගරුසිංහ

ඡායාරූපය: සොමපාල ගරුසිංහ 2016 අප්‍රෙල් 05දා පැවැති සමරු රැස්වීමකදී.

අදින් වසර 50 කට පෙර, 1971 අප්‍රේල් 05 වන දින නිල්පාට නිල ඇඳුමකින් සහ රතු තරුව මැසූ බෙරේ තොප්පියකින් සැරසී, සාක්කුවල අත් බෝම්බ පුරවාගෙන, සැබෑ ජවිපෙ සටන් කරුවන් ලෙස මමත්, අප 40ක පමණ සහෝදර පිරිසක් රටේ අනාගතය, අපගේ පීඩිත පන්තියේ නිදහස හා විමුක්තිය සඳහා, යුක්තිය සාධාරණත්වය රජයන සමාජයක් උදෙසා අනුරාධපුරයේ පානියන්කඩවල විට අරගලයට එක්වුනා මට අද වගේ මතකයි.

අප්‍රේල් 5

අපි පානියන්කඩවල සිට අනුරාධපුරය දෙසට ගොස්, සුනාත විශ්‍රාම ශාලාවේ රැදීසිටි හමුදා කණ්ඩායමට පහර දීමට සූදානම් වුවත්, අපගේ ප්‍රහාරය අසාර්ථක වුණා.

පසුදින උදෑසන තිසාවැව ඉස්මත්තට රැස්වූ අප පෙර දින සිදුවූයේ කුමක්දැයි සොයා බැලුවා, බස්, දුම් රිය වැඩකරනවා, ගුවන් විදුලිය වැඩකරනවා, මොකක් හෝ බරපතල වැරැද්දක් සිදුවී තිබෙන බව අපට හැඟීගියා. තිසාවැව ඉස්මත්තේදී අපේ කණ්ඩායම විසිර ගියා.

පානියන්කඩවල කණ්ඩායම විසිර ගියත්, අපගේ ප්‍රහාරය අසාර්ථක වුවත්, රටපුරා අපේ අනිත් සහෝදරවරු සාර්ථක විය හැකියි. ඒ නිසා, අප විසින් අරගලය අතහැර දැමිය යුතු නොවේ, එබැවින් නැවත එක්වී මේ සටන ඉදිරියට ගෙනයා යුතුයි, යන අධිඨනින් මම, ගුණසිරි සහෝදරයා සමඟ උණගස්වැව, අපගේ සහෝදරයින් පිරිසක් රැදීසිටි තැනට පැමිණියා.

උණගස්වැව, 30 ක 40 ක පමණ සහෝදර පිරිසක් සිටියත් ඔවුන් සටන් කිරීමට ඉදිරිපත්වීමේ පසුබට බවක් තිබුණා.

උණගස්වැවදී මම, නාච්චාදූවේ අපගේ සහෝදර කණ්ඩායමක් එකතුවී සිටින බව දැනගත්තා. උණගස්වැවින් පිටත්ව, තිරප්පනේ ගුණපාල සහෝදරයා සමඟ කිලෝමීටර් 10 පමණ දුරක් පයින්ම මම නාච්චදූවට පැමිණියා.

නාච්චදූවේ ආරක්ෂක අංශ සමඟ සටන

මම නාච්චදූවට එනවිට එහිසිටි අපේ සහෝදරයින් විසිරී ගොසින්. ඉන්පසු, 100 ක පමණ තුවක්කුවලින් සන්නද්ධ කණ්ඩායමක් මා විසින් නැවත නාච්චදූවේදී එක් රැස්කර ගත්තා. අප ඉතාම ශක්තිමත් සටන් කණ්ඩායමක් ලෙස කළුවිල පාසලේ කඳවුරු බැඳගත්තා. අප්‍රේල් 12, 13 දින වල නාච්චදූවට පැමිණි හමුදාව සමඟ අපි ගැටුණා.

අපගේ කඳවුරේ ශක්තිමත් බව නිසා අප හා කෙලින් නොගැටුණු හමුදාව, ගමේ ගෙවල් ගිනි තබමින්, පාරවල් දෙපසට කිසිදු විපරමකින් තොරව වෙඩි තබමින් මුර සංචාරයේ යෙදන්නට පටන්ගත්තා. ගමේ මිනිසුන්ට හමුදාව මඟින් සිදුවන මේ ඉතාම අසාධාරණ ප්‍රහාරයන් නැවැත්වීමට අප තීරණය කරා.

නාච්චදුවේ සිට තුරුවිල දෙසට ගමන්කරන මාර්ගයේ අප විසින් බොරුවලක් කපා එය වසාදමා, ඒ බොරුවල අසල හුබහකට මුවාවී මා බෝම්බක් රැඟෙන සූදානමින් සිටියා. අපගේ අනෙක් සහෝදරයෝ පාර දෙපස තුවක්කු සහිතව පහරදීමට සැඟවී සිටියා.

හමුදා ජීප් රථය පෙර ලෙසම පාර දෙපසට වෙඩි තබමින් පැමිණියා, ජීප් රථය බොරුවලට ලං වන විටම මා විසින් ජීප් රථය දෙසට බෝම්බයකින් දමා ගැසුවා. බෝම්බය ජීප් රථයේ බොනට්ටුව මත වැදී පුපුරාගියා. ජීප් රථයේ රියදුරු බෝම්බය පුපුරණ විටම ජීප් රථයේ තිරිංග තදකර ගත්තා, ජීප් රථය බොරුවලට නොවැටී නැවතුනා. ඒ සමඟම මාවෙත ජීප් රථයේ සිටි මැෂින් තුවක්කු කරුවන් තුවක්කු එල්ල කරනවා මා දුටුවා, එකෙනෙහිම මම ඒ පාර අයිනේ තිබූ හුබහට මුවාවුණා.

මා වෙත වෙඩි වරුසාවක් එල්ලවුණා, මට ඒ මොහොතේ හිතුනේ “මම දැන් මැරෙනවා, මොනවා හරි හොඳ දෙයක් හිතන්න ඕන” කියලා විතරයි. වෙඩි මූනිස්සම් මා ලඟින් යනවා වගේ දැණුනා, ඒ හුබහට මාව යටවුනා. ඒ එක්කම අපේ සහෝදරවරු හමුදා ජීප් රථය දෙසට වෙඩි තබන්නට වුනා, ඔවුන්ගේ ප්‍රහාරය නිසා හමුදාව පසු බැස ගියා.

හමුදාව පසුබැස ගියපසු අපේ සහෝදරවරු පැමිණ ඒ පස් ඉවත්කර මාව ගොඩ ගත්තා. ඊට පසු තිරප්පනේ කුමාර සහෝදරයා මගේ සිරුරේ කොතනකට හෝ වෙඩිපාරක් වැදී තිබිය යුතුයි පරික්ෂා කලා, ඒත් පුදුමයකට එතරම් වෙඩු ප්‍රහාර එල්ල වුවත් මට එක උණ්ඩ පාරක්වත් වැදී තිබුණේ නෑ.

පසුදින අපේ සහෝදරයිගේ තුවාල අමාරු හොඳවෙන්න කියලා, ගමේ මිනිස්සු අපේ කඳවුරට වෙනිවැල්ගැට හට්ටි තම්බගෙන ආවා.

අපේ මේ ප්‍රහාරය නිසා හමුදාව නාච්චදුවේ, මෙසේ වෙඩි තබමින් කරන මුර සංචාර නවතා දැමුවා.

හමුදාව සමඟ ගරිල්ලා සටන්

එදා සිට 1976 නොවැම්බර් පොලීසියට කොටුවන දිනය දක්වාම, නිරතුරුව ආරක්ෂක අංශ සමඟ සටන් සිදුකරමින් අවුරුදු 5 මාස 8 ක පමණ කාලයක් යටත්වීම හා බාරවීම ප්‍රතිශේප කල මා ඇතුළු අප 40 පමණ කණ්ඩායමක් රාජ්‍ය මර්ධනයට එරෙහිව ගරිල්ලා සටන් වල යෙදුනා. ඒ කාලය තුල දිවිපිදූ සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ගේ නම් මගේ හිතේ නිතර රැදී තිබෙනවා.

යුක්තිය, සාධාරණත්වය රජයන සමාජයක් ඇති කිරීම වෙනුවෙන් දිවිදුන් ඒ සහෝදරයන් මෙන්ම, මා එක්ක කැලයේ සිටි මුළු කාලය තුලම සටන් සගයන් වූ මාටින් අයියා (ගැටලාවේ සමරකෝන්) හා පොඩි සිරා (ගෝමරන්කල්ලේ චන්ද්‍රදාස ) අද අප ලඟ නැති අඩුව, අද දවසේ මට තදින් දැනෙනවා. මා වැඩිපුර අවුරුදු 50 ක් ජීවත්ව ඇති බවයි මට දැනෙන්නේ.

1976 අවසන් වනවිට මමත්, මාගේ කණඩායමේ සිටි ඒකනායක සහෝදරයාත් ආණ්ඩුවට වඩාත්ම අවශ්‍ය පුද්ගලයින් දෙදෙනා ලෙස, දුටුතැන ඇල්ලීමට, එතෙක් ලංකාවේ නම්කල ඉහලම ත්‍යාග මුදලට ගැසට් කර තිබුණි.

පොලීසියට කොටුවීම

1976 නොවැම්බර් මස පොලීසියට කොටුවීමෙන් පසුව, මාසයක පමණ කාලයක් අනුරාධපුර පොලීසියේ රඳවාගෙන සිටි මා ඉන්පසු මැගසින් බන්ධනාගාරයේ සිරකර මා හට බරපතල චෝදනා 5 ක් යටතේ නඩු පැවරණු ලැබුවා.

1. රැජිනගේ ආණ්ඩුවට විරුද්දව කුමන්ත්‍රණය කිරීම
2. රැජිනගේ ආණ්ඩුව බියපත් කිරීම
3. රැජිනට විරුද්ධව යුද්ධ කිරීම
4. මිනීමැරීම් චෝදනා
5. ජනතා විමුක්ති පෙරමුණ නැවත සංවිධානය කිරීම

1977 ආණ්ඩු මාරුවෙන් පසු, මා හට විරුද්ධව තිබූ චෝදනා රජය විසින් ඉල්ලා අස්කරගත් අතර, ඒ අනුව මා අධිකරණයෙන් නිදොස්කොට නිදහස් කරන ලදි. මේ නිසා, 1977 නොවැම්බර් මස මා මැගසින් බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.

නැවත සමාජ ගතවීම

1971 අප්‍රේල් අරගලය, තම ජීවිතය පූජාවෙන්, පීඩනයට, පීඩාවට පත් සියළු සමාජ කොටස්වලට යුක්තිය ඉටුවන, සමාජ සාධාරණත්වය රජයන, සමාජවාදී විප්ලවයක් සිදු කිරීමේ උතුම් පරමාර්ථ පෙරදැඩි කරගෙන, ඉදිරිපත් වූ තරුණ පිරිසකගේ අවංක උත්සාහයකි.

මෙතරම් උතුම් පරමාර්ථ සහිතව සිදුකල අරගලය අසාර්ථක වූයේ ඇයි?

විප්ලවයකට අවශ්‍ය මතවාදී බලගැන්වීමකට සමාජය ගොනු කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිව, එක් රැයක ක්ෂණික සටනකින් විප්ලවය ජය ගැනීමේ බොළඳ සටනකට විජේවීර සිය පාක්ෂික සහෝදරයින් තල්ලු කරේය.

අප කොතරම් දුර්වලද යනබව වැටහුනේ, සාම්ප්‍රදායික කොමිනිස්ට් රටවල් වූ චීනය, රුසියාව, ජනතා විමුක්ති පෙරමුණේ අපට එරෙහිව, රජයට, අපගේ කැරැල්ල මැඩපැවැත්වීමට උදව් දීමට ඉදිරිපත් වූ විටයි.

විජේවීර තමුන් සිදුකල මේ ඓතිහාසික වරද පිළිනොගත්තේය, 1971 මහ නඩුවේදී විජේවීර තම ගැලවීම සඳහා ප්‍රකාශ කලේ, 1971 අප්‍රේල් කැරැල්ලට ඔහු සූදානම් නොවූ බවත්, පහරදීමට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

නැවත මෙම වරද සිදු නොවීමට, අපි 1971 ගැන ස්වයං විවේචනයක් සිදුකල යුතුයි. අපේ ලේ හලා, අපේ සහෝදරයින්ගේ ජීවිත වලින් වන්දි ගෙවා, ඉගෙනගත් පාඩම් සමාජ ගත් කල යුතුය. 1971 විප්ලවය තුල විනාශ වූයේ අපේ පරපුරේ, උගත්, බුද්ධිමත්, මේ සමාජයට වැඩක් කලහැකි තරුණ පිරිසයි.

1987 – 89 කැරැල්ලේදී විජේවීර, 1971 කරන ලද වැරැද්ද නැවතත් ඒ ලෙසම සිදුකලේය. සිදුවූ විනාශය 1971 වඩා බොහෝ බරපතල විය. මේ නිසා අපේ පැලැන්තියේ ශක්තිමත්, බුද්ධිමත් තවත් තරුණ පරම්පරාවක්, රාජ්‍ය මර්ධනයේ දං ගෙඩියට බිලි කලේය.

1971 අප්‍රේල් 5 කැරැල්ලට අවුරුදු 50 ක් පිරෙන මේ මොහොතේ

අප්‍රේල් කැරැල්ලේ, අපිත් එක්ක මේ උතුම් චේතනාව වෙනුවෙන් සටන් වැදුනු සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් දැන් අප අතර නැත. 1971 අප්‍රේල් 5 අකුරැස්සේදී සටනට නායකත්වය දුන්, මගේ මල්ලී ආරියවංශ ගරුසිංහ, ජීවිතය පූජාකර අදට හරියටම අවුරුදු 50. ඔහු 71 අප්‍රේල් 5 මිය යනවිට යන්තම් අවුරුදු 19 යි.

සටන්වල ජීවිතය පිදූ සහෝදර සහෝදරියන්ගේ අත්මයන් වෙනුවෙන්, සහ අප අතර අද නැති, 1971 අරගලයේ සටන් සගයන් වෙනුවෙන්, මේ මතකයන් රැක ගන්නත්, ඒ ඔවුන්ගේ කැපකිරීම් වලට නිසි ගෞරවය ලබා දීමට, මට පැහැර නොහැරිය යුතු වගකීමක් ඇත.

මාගේ ජීවිතය තියනතුරු 1971 උගත් පාඩම් සමාජ ගත කිරීමටත්, අපගේ තරුණ පරපුරට එවන් විපතක් නැවත සිදු නොවීමටත් හේතුවන ලෙස, ජීවත් වීමටත් වැඩ කිරීමටත් මම අධිඨන් කරගෙන සිටිමි.

2021 අප්‍රේල් 5

පසු සටහන

71 කැරැල්ලේ වගකීම විජේවීර පිලිගත්තේ නැත. එය විජේවීරගේ විරුද්ධවාදීන් යැයි ඔහු විසින් හැදින්වූ ලොකු අතුල සහ සනත් ගේ කුමන්ත්රණයක් ලෙස හෙලා දුටුවේය.
විජේවීරගේ ඉල්ලීම මත යාපනයේ හිර ගෙදරින් ඔහු මුදා ගැනීමට ගොස් හිරගෙදර තාප්පය මතදී වෙඩිකා මියගිය සහෝදරවරුන් දෙදෙනාට තමා මරා දැමීමට පැමිණි අය ලෙස නින්දා කලේය.
71 අප්රේල් කැරැල්ලේදී සටන් කරුවන්ගේ අරමුණ වූයේ රාජ්ය බලය අල්ලා සමාජවාදී විප්ලවය කිරීම නොවන බවත් එය මර්දනයට මුහුණ දීමක් පමණක් යැයි එය හෑල්ලුවට ලක් කලේය.
විජේවීරගේ එම බොරුව මතම යැපෙන JVP ය හා පෙරටුගාමී පක්ෂය දැන් 71 කැරැල්ල සමරයි. ඔවුන්ද එම බොරුව නැවත නැවත වමාරමින් සිටී.
විජේවීරගේ පුතා ද තාත්තාගේ අවතාරයට පණ දෙමින් ඉහලට යෑමටාර අදිමින් සිටී.
ඔහු වෙත සහයෝගය පලකිරීමට 1971 කැරැල්ලට සහභාගිවී තවමත් නොමැරී සිටින අය පෙලගස්වා රැගෙන යාම 71 කැරැල්ල වෙනුවෙන් දිවිපිදූ සහෝදර සහෝදරියන්ට කරන නින්දාවකි.
තමාට ලැබෙන පොඩි ලාභ සත්කාර වෙනුවෙන් එවැනි බාල බොළද වැඩ නොකලයුතු යැයි සිතමි.
71 ජීවිත දහස් ගණනක් බිලිදී ඉගෙනගත් පාඩම් ගෙන නොසලකා හැරිය විජේවීර නැවතත් එම වැරැද්දම සිදුකරමින් 1980- 1989 කාලයේ දී තවත් කැරැල්ලක් දියත් කර අතිවිශාල මිනිස් ඝාතනයක් සිදු කලේය.
විජේවීරගේ මගපෙන්වීම ඔස්සේ ගොස් උගත්, බුද්ධිමත් තරුණ පරම්පරා දෙකක් විනාශ වූ බවත්, රටට සමාජයට වැඩකල හැකිව තිබූ විශාල පිරිසක් අකලයේ මරා දැමූ බවත් අමතක නොකල යුතුය.
බියපත් කිරීම, බල කිරීම,බලහත්කාරය, මිනිස් ඝාතනය ඔහුගේ සටන් ක්රමය විය. ඔහු ප්රජාතන්ත්රවාදයට හා මිනිස් අයිතිවාසිකම් වලට ගරුකලේ නැත.
දේශපාලන සටන් ක්රමයක් ලෙස ත්රස්තවාදය ක්රියවට නැගූ දකුණේ පලමුවැන්නා විජේවීරය. දෙවැන්නා උතුරේ ප්රභාකරන් ය. දෙදෙනාගේ එකම වෙනස කතා කල භාෂාව වෙනස් වීම පමණි.
පින්තාරු කරන ලද විජේවීරගේ මුහුණ් පසුපස හෝ ඔහුගේ අවතාර පසුපස ඇවිද යාමෙන් රටට හා සමාජයට වැඩක් සිදු නොවේ.
අද දවසේ 71 කැරලි කරුවන් ජීවමාන කලහැකි වන්නේ
සත්යය සදහා
මිනිස් අයිතිවාසිකම් සදහා
පරිසරය රැක ගැනීම සදහා
ප්රජාතන්ත්රවාදය සදහා අරගල කරන්නෙකු වීමෙනි.
මුහුණු පොතිනි.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...