Thursday, June 24, 2021

හේම මාලා විජේසිංහ: 50වසරකට පෙර විප්ලවය උදෙසා කැලයෙන් කැලයට ගිය සිව් වසර සහ ස්ත්‍රී දේශපාලනය

මගෙ ගම කෑගල්ල. ඉගෙන ගත්තෙ කෑගල්ල බාලිකා මහා විද්‍යාලයෙ. මගේ නම හේමමාලා විජේසිංහ වුනත්, 71 දේශපාලන ව්‍යාපාරයේදි මා හැදින්වවෙ ජුලියට් කියල. මම ජවිපෙ  සම්බන්ධ වුණේ පාසල් අවදියෙදි. ඒ කිව්වෙ උසස්පෙළ ඉගෙන ගනිද්දි.

මගෙ පවුලෙ සහෝදර සහෝදරියො හත් දෙනෙක්. තාත්තා වතු ධිකාරිවරයෙක්. අම්මා ගෘහිණියක්. මම පවුලෙ පස් වැනියා. අයියල තුන් දෙනයි. අක්කයි. මල්ලිල දෙන්නයි.

පවුලෙ තුන් වැන්නා ඒ කිව්වෙ සරත් අයියා 1965 දි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වුණා. ඔහු දක්ෂ ශිෂ්‍යෙයක් මෙන්ම ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහු විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය සංවිධාන හැදුවා. ඒ ලංකා කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට බැදීමෙන් පසුවයි. එහෙත් පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත්වී වෙනම කණ්ඩායමක් වශයෙන් තරුණ තරුණියන් අතර මාක්ස්වාදී දැනුම ප්‍රචාරය කරමින් විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම අරමුණු කරගෙන විශ්ව විද්‍යාලය තුළත් කෑගල්ල ප්‍රදේශයේත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔහු සමත් වුණා. පසු කාලයකදී විජේවීර නායකත්වය දුන් (පසු කාලයේ ජවිපෙ ) කණ්ඩායම සමග එක්වී වැඩ කරන්නට පටන් ගත්තා.

ලොකු අයියා සරත්ට වෙඩි වැදී මියගිය බව මං දැන ගත්තේ දවස් ගානකට පස්සේ – හේමමාලා

මේ කාලෙ බොහෝ සාකච්ඡා, සංවාද අපේ ගෙදර පැවතුණා. අපටත් නිතර ඒවාට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණ. මාත් මගෙ අනික් අයියත් (ජස්ටින් ) මේ වැඩ වලට සම්බන්ධ වුණා. ගැහැණු ළමයින්ට පංති කරන්න මම ගියා. විජේවීරගෙ රැස්වීම් වලටත් ගියා.

කම්බි කටු, ටින්, වගේ දේවල් එකතු කරන්න අපට ඒවයෙදි උපදෙස් දුන්න. යුනිෆෝම් මහන්න කිව්ව. කෑගල්ලෙ අපි හොදට සංවිධානය ගොඩනැගුව. ගම් පිටින් අපට සහය දුන්න.

කලින් අපට උපදෙස් දීල තිබුණෙ අප්‍රේල් 4 වෙනිද පාන්දර පොලිසි වලට පහර දෙන්නයි. ඒ තීරණය වෙනස් කරල 5 වෙනිද රෑ 11.30 ට පහර දෙන්න කියල නැවත පණිවිඩ එව්ව. ඒත් වැල්ලවායට ඒ පණිවිඩේ ලැබුණෙ නැති නිසා වැල්ලවාය පොලිසියට 4 වෙනිද ගැහුව. ඉතිං පොලිසි වලට ගහන බව දැනගෙන පොලිසි හොදින් සුදානම් වී සිටියා. කෑගල්ලෙ හැම තැනම අපේ වුරු තිබුණ. ඒවට එක් එක් පොලිසි වලට ගහන්න පැවරුවා. එදා අපි හිටියෙ බලපත්තාවෙ. අපට තිබුණෙ කෑගල්ල පොලිසියට ගහන්න. තවත් කණ්ඩායමක් ගලිගමුව පැත්තෙන් ඇවිත් කෑගල්ල පොලිසියට ගහන්න නියමිතව තිබුණ.

කෑගල්ලේ සිට විල්පත්තූව දක්වා ( සැබෑ ගමන් මඟ නොවේ)

අපේ කණ්ඩායමේ මා, මගේ අයිය සරත් ,ලොකු අතුල, වසන්ත දිසානායක, කාගම, (උපසේන) .සී.පී සෙනෙවිරත්න, සුජාතා හදගම සහ තවත් අය හිටිය. පහර දීම ගැන කලින් දැන ගෙන සිටි පොලීසිය ගස් උඩ නැග අපේ කණ්ඩායමට වෙඩි තිබ්බ. අනෙක් කණ්ඩායමට කෑගල්ලට එන්නවත් ලැබුණෙ නැහැ. මගදි ඔවුන් හමුදා ප්‍රහාරයකට හසු වී තිබුණා. අප්‍රේල් 4 වෙනිද මාව ගෙදර එක්ක යන්න අම්ම ආව. අන්තිම කාලෙ අපි ගෙදර ගියේම නැති තරම්. මම ගෙදර යන්න අකමැති වුන නිසා අම්ම ආපසු ගියා. ඒ වෙද්දි අපි විප්ලවය වෙනුවෙන් ජීවිත කැප කරල තිබුණෙ.

අපි පසු බැහැල ආසිදෙණිය පාසලේ කදවුරු බැද ගත්ත. ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සහාය වුණා. සමුපකාර වල ආහාර බෙදීම වගේ. අනික් අයට මොනවා වුනාදැයි අපි දැනගෙන හිටියෙ නැහැ. කණ්ඩායම බැරල් වල කෑම උයාගෙන කෑව. ඒ අතරෙ අපි ගොඩේ පාර වලින් කොහොඹදෙණියට ගියා තොරතුරු දැන ගන්න. වරකාපොල පොලීසියට පහර දීල අල්ල ගෙන තිබුණ.

නායකයින්ගෙන් උපදෙසක් නොලැබුණ නිසා මමත්, සුජාතත් අප්‍රේල් 9 දා කොළඹ යන්න පිටත් වුණා. කොළඹ බසයකින් ටී. ඩී. සිල්වගෙ ගෙදර යාමයි අපේ අරමුණ වුණේ. (විජේවීර සහ ලොකු අතුල නැවතී සිටි ගෙදර) කොළඹට එද්දි කිසිම වෙනසක් නැතිව සාමාන්‍ය විදියට මිනිස්සු වැඩ කරනව, ළමයි පාසල් යනව දැකල මට පුදුම හිතුන.

කැරැල්ල සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට වැටහුණා. ටී. ඩී. සිල්වගෙ ගෙදර වහල තිබුණ. අල්ලපු ගෙදර ගෑනු කෙනෙක් ඉදල අපිව ගේ ඇතුලට අරගෙන “ඇයි මේ කලබල කාලෙ මෙහෙම ආවෙකිව්ව. “ඉක්මනට ආපහු යන්න“ කිව්ව. ඒත් මට ඕන වුණේ තොරතුරක් දැන ගන්න.

මම නිමල් කියල තවත් කෙනෙකුගෙ ගෙදරට ගියා. සුජාත ආපහු ගෝනහේනට ගියා. නිමල්ල විප්ලවය අසාර්ථක වුණ නිසා අලකොළ ගොල්ලක හැංගී ඉන්න බවත් ගෙදරින් කෑම ගෙන ගොස් දෙන බවත් ගෙදරින් කිව්ව. නිමල්ගෙ ගෙදර දි මට ප්‍රවෘත්ති අහන්න ලැබුනා. ඒ ප්‍රවෘත්තියෙන් කියවුනේ පොලීසියට අහුවුණු නිමල් පාපොච්චාරණයක් කරන අයුරුයි.

පසු දින උදේ කෑගල්ලට එන්න බසයක නැගී දංඕවිටට එන විට පාරේ ඇණයක් සහ වයරයක් ඇති බව කියා වාහන පෝලිමක් නවතා තිබුණා. මා සිටි බසය නතර කරනවාත් සමගම හමුදාව පුරවා ගත් ට්‍රක් රථයක් බසය පසුපස නවතා බසයේ සිටි අය රැගෙන ආපසු ධාවනය කරන්න අණ දුන්න.

මම බසයෙන් බැස්ස. කුමක් කළ යුතුදැයි හිතා ගන්න කලින් මම අල්ගම පාරට හැරුණ. පාර දිගේ සැතපුම් ගණනාවක් යන විට ජ.වි.පෙ. පංති කරන්න මම ගිය ගෙදරක් මතක් වුණා. ඒ සෝමලතාගෙ ගෙදර. එයාගෙ ගෙදරට මම ගියා. ඒ ගෙදර අය කිව්ව ගෙදර ඉන්න එක හොද නෑ. පොලිසියෙන් හොයන නිසා අත්තනගල්ලෙ මාමලගෙ ගෙදරට දෙන්නම යන්න කියල.

අපි දෙන්න අත්තනගල්ලට යන්න පිටත් වුණා. ඒත් ඒ පැත්තට බස් නැහැ. වේයන්ගොඩ පැත්තට බසයක් ආව. අපි ඒකට නැග්ග. සෝමලතාගෙ තවත් මාම කෙනෙක් එහෙ ඉන්න නිසා එහෙ යමු කියා ඇය යෝජනා කළා. අපි ඒ ගෙදරට යද්දි රෑ 8.00 ට විතර ඇති. ඒ ගෙදර තිබුණෙ පාර අයිනෙ. පොල්අතු පැලළි අහුරල. අපට නිදා ගන්න පැදුරක් දුන්න.

හමුදාව පාර දිගේ ඇවිදින සපත්තු අඩි ශබ්ද ඇහුණ අතරෙ මිනිස්සු කට්ටියක් නිට්ටඹුව පොලිසියට ගහන්න ආ තරුණ කෙල්ලො කොල්ලො මරපු හැටි විස්තර කරනව අපි අහගෙන හිටිය. පසුදා 11 වෙනිදා උදේ මම බලපත්තාවට ආපසු ආවා. කොළඹ ගැන විස්තර අහල අනික් හැමෝම කම්පා වුණා.

20 ගණන් විතර වෙද්දි කණ්ඩායම් පසු බහින්න තීරණය කළා. කුරුණෑගල දිස්ත්‍රික් නායක බෝල සමරෙ සහෝදරයා ඇවිත් පසු බසින තීරණය දැනුම් දුන් අතර අප්‍රේල් 29 දා අප කණ්ඩායම් වශයෙන් විල්පත්තුව කරා පිටත්වීමට පිටත් වුණා.

පස් වැනිදාට පසුව නැවත පහරදීමක් සදහා කණ්ඩායම් සුදානම් කෙරෙමින් තිබු අවස්ථාවක මගේ අයියාට (සරත්) වෙඩි වැදී මගේ මල්ලිගේ (ඥානෙ) උකුල උඩ මිය ගිය බව මා දැන ගත්තේ. ඔහු මියගොස් දින ගණනාවකට පස්සෙ.

මා ඇතුලු ලීලා, ධර්මා, පුෂ්පා, දම්මිකා, සුජාතා, පියසීලි යන කාන්තාවන් හත් දෙනාත් ප්‍රථමාධාර පෙට්ටි, පිටේ දමා ගෙන යන්න පිටත් වුනා. මගේ අනික් අයිය ජස්ටින් හිටිය කණ්ඩායම බලපත්තාවට ඇවිත් තිබුණෙ නහැ. ඒ අයට පණිවිඩ තියා අප මාම්පිට පන්සල දක්වා පයින් ගමන් කළා.

අපට කෑමක් තිබුණෙ නැහැ. උදේ එලි වෙද්දිම හමුදාව වෙඩි තබමින් කඩා පැන්න. අපේ අයත් වෙඩි තබමින් “ බෝම්බ සීයක් ගසනු “ යයි එක් සහෝදරයෙක් කෑ ගසා කිව්වා. ඊට බයේ හමුදාව සී සී කඩ දුව ගොස් තිබුණේ හෙල්මට් සහ තුවක්කුවක්ද මඟ දමමින්.

එතැනින් ඉවත්ව අපේ කණ්ඩායම අලව්වෙ අශෝකාරාමයට පිටත් වුනා. අපේ කණ්ඩායම 129 ක් හිටිය. මෙහිදී තුල්හිරියේ ආරි සහෝදරිය ඇතුලු තවත් පිරිසක් අපට එකතු වුණා. එහි දින පහක් පමණ ගත කළා. දින ගණනාවක් පැවති තිබූ වැස්සෙන් පිරී ඉතිරී ගිය මා ඔය තරණය කර නුවර කොළඹ පාර පැන කදු ගැටයකට නැගී ඒ ඔස්සේ තවත් ආරණ්‍ය සේනාසනයකට පිවිසුණා.

එතැනට අපේ අනික් කණ්ඩායම කලින් දින ඇවිත් තිබුණ නිසා හාමුදුරුවරු පන්සල හැර දමා ගොස් තිබුණ. ඒ මගේ පොඩි අයියා සහ මල්ලී සිටි කණ්ඩායමයි. ඊට පෙර ඔවුන් අපට මුණ ගැසී තිබුණේ නැහැ. අප එහිදී හොදින් කෑම කා විවේක ගත්තා.

පසුව අලව්ව මහරච්චිමුල්ල හරහා දම්පෑලැස්සටත් එතැනින් විශාල තේක්ක කැලයකටත් ගියා. අතරමගදී අපට විශාල පොල් වත්තක් හමුවුණා. අප ඇති තරම් කුරුම්බා කෑවා. දහවල් තේක්ක කැලයේ ගත කර රාත්‍රි වන විට රුවන්ගිරි කන්දට යාමට සුදානම් වුණා. එහි හේන් යායක් වැනි තැනකට එන කොටම විටම වෙඩි වරුසාවක් එල්ල වුණා. සුජාතත් පුෂ්පාත් වැසිකිළි යාමට කණ්ඩායමෙන් මදක් ඈතට ගොස් සිටි. ඔවුන් දෙදෙනාට වෙඩි වැදුණා. ඔක්කොම හතර දෙනෙකුට වෙඩි වැදී තිබු. එයින් බරපතල වුයේ සුජාතාට විතරයි.

සුජාත කණ්ඩායමට කිව්ව ඇය එතැන දමා යන දිගටම පසුබසින ලෙස. ඒත් පිරිස මැස්සක් තනා ඇය එහි තබා ගෙන තවත් කැලෑවකට ගියා, පසුදා පාන්දර වෙද්දී සුජාතා අවසන් හුස්ම හෙලුවා.

නැවතත් වෙඩි වරැසාවක් ඇසුණා. ඇගේ දේහය වළ දැමීමට අපට ඉඩක් ලැබුණේ නැහැ. වෙඩි වරුසාව මැද හිස් හැරුණ අතේ කණ්ඩායම දිව්ව. නැවතත් කණ්ඩායම එකතු කරගෙන නතර වුනේ කවත් කදු ගැටයකයි. එහා කන්දෙ එනම් රුවන් ගිරි කන්දෙ අපේ අනෙක් කණ්ඩායම ඉන්න බව ආරංචි වුවත් අපට ඒ කරා යාමට බැරි වුණා. ඒ වෙන විට හමුදාව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කර තිබුණා. මගේ පොඩි අයියා ද එහිදී ජීවිතක්ෂයට පත් වී තිබුණ. අතර මල්ලී ගසකට නැග දිවි බේරා ගෙන තිබුණත් එයා අත්අඩංගුවට පත් වුනා.

ඒ වන විට අපේ කණ්ඩායම 65 ක් පමන දක්වා අඩු වෙයි තිබුණෙ. කන්ද පාමුල ගෙදරකට ගිහින් කෑම ඉල්ලුව. ඒ ගෙදර හාල් සේරු තුනක් තිබුණ. ඒක උයල දෙන්න කියල සම්බෝල එක්ක බත් ටික ටික කෑව. තමයි කුරුම්බ කෑමෙන් ලැබුණ කෑම. අපි එතැනින් නාතගනේ කන්දට ආව. පසුවදාම හමුදාව කන්දට මෝටාර් ගහන්න පටන් ගත්ත.

එදා රෑම එතැනින් පිටත් වෙලා තුන් දෙනා බැගින් වෙල්යාය දිගේ ඇවිත් යද්දෙස්සාගලටත්, එතැනින් වැල්ලව කුඹුක්ගැටේ හා කිඹුල්වානාඔය ජනපදයටත්, එතැනින් මඩහපොලටත් යාමට දින ගණනාවකට පසු හැකි වුනා.

අපට එහි දී කෑම වලින් අඩුවක් තිබුණෙ නැහැ. තව කණ්ඩායම් මඩහපොලට ඇවිත් තිබුණ. අපි එහි නිදහසේ සතියක් විතර ගත කළා. එතැනින් පල්ලෙකැලේටත් ඉන් පසු විල්පත්තුවටත් යාමයි කණ්ඩායමේ අරමුණ වුනේ. මඩහපොලින් ගියේ බඹරගලටයි.

මේ හැම තැනදිම වාගේ හමුදාව හෙලිකොප්ටර් වලින් ඇවිත් බෝම්බ දැම්ම.ඒත් සමග බාර වෙන්න කියල දැන්වීම් දැම්ම. බෝම්බ වලින් කණ්ඩායමට වැඩි හානියක් නොවුනේ අපි ගල් ගුහා වල හැංගී සිටි නිසයි. බඹරගලදි කණ්ඩායම් වලට බෙදුන. මැල්සිරිපුර කඩ වලින් ඇති තරම් කෑම වර්ග කොල්ලකාගෙන ආව. ත් දෙවෙනි දවසෙ හමුදා ප්‍රහාරයක් එල්ල වුනා. අපේ අයට වෙඩි වැදුණා. සමහරු අත්අඩංගුවට පත් වුණා. එදා රෑ අපි එතැනින් යන්න පිටත් වුණා.

එ අතරෙ ලීලා සහෝදරියට මැලේරියා උණ හැදුණ. එයා එක්ක මට ගල්ගිරියාගම වෙනත් කණ්ඩායමක් සමග නතර වෙන්න සිදු වුනා. ඇයට සනීප වෙන තුරු බෙහෙත් ලබා දී අප එතැන නතර වුනා. මාසයක් පමණ එහි නතර වී සිටි අතර ලීලා සහෝදරිය සුව අතට හැරුණා. අප දෙදෙනා එක්ක යන්න පස් දෙනෙක් ආව.

එතනින් අපි විල්පත්තුවට යන්න පිටත් වුනා. දැන් අපේ කණ්ඩායමේ හිටියෙ 40 ක් විතරයි. මීඔය දී යළිත් හමුදා ප්‍රහාරයක් එල්ල වුණා. මින්නේරිය වැව් පිටියෙන් යද්දි පොඩි පොඩි කදු වගේ අලි හිටිය. අපි අලින්ගෙ අස්සෙන් ගමන් කරමින් විල්පත්තුවට ළගා වුනා. අතරමගදි හමු වුන ගම් වැසියන් සමහරු අපට උදව් කළා. විල්පත්තුවට යද්දි අපේ කණ්ඩායමේ ඉතිරි වුණේ 35 ක් විතරයි. පොඩි අයියලාගෙ කණ්ඩායමේ ඉතිරි වුනේ 16 දෙනෙක් විතරයි.

විල්පත්තුවෙ තැන් තැන් වල කණ්ඩායම් නැවතී සිටිය. කණ්ඩායම් එකතු කරල සම්මේලනයක් පැවැත්වුවා. එයට 70 දෙනෙක් පමණ සහභාගි වුනා. නන්දන මාරසිංහ සහෝදරය එයට සහභාගි වුනා. ඒක ඉඩොර කාලයක්. විල්පත්තුවෙ වතුර බිදක් නෑ. සිතියමේ බලල උල්පතක් ළගට ගිහින් වතුර බුලියක් ගෙනත් මූඩියෙන් එකක් වතුර දුන්න අපට. උදේට පමණක් ඉව්ව. ඒත් උයන්න දේවල් තිබුණෙ නැහැ.

දවසක් කුලුමීමෙක් මරල මසුයි බතුයි ඉව්ව. හමුදාව හෙලිකොප්ටර් වලින් පත්‍රිකා දැම්ම. අපි වතුර ගන්න උල්පත හමුදාවෙන් පරීක්ෂා කළා. වතුර ප්‍රශ්නය නිසා අපට උල්පත ආසන්නයේ ඉන්න සිදු වුනා. උල්පත ළගට ආ හමුදාව අපට වෙඩි තිබ්බ. අපට වතුර ගෙනා විජේනායක සහෝදරයට වෙඩි වැදී ඔහු මිය ගියා. ඉන් පසුව කැලේ කෑමක් නැතුව දින දෙකක් පමණ හිටිය.

ඊට ස්සේ කුඩා කණ්ඩායම් පහක් බෙදා තම තමන් කෑම සොයා ගත යුතු බව තීරණය කළා.

එක් කණ්ඩායමක් පුත්තලමටත්, තව කණ්ඩායමක් ගල්ගිරියාගමටත් වෙන් වී ගියා. අපේ කණ්ඩායම ආනමඩුවට ගියා. ඒ යන අතරෙදි සමහරු අත්අඩංගුවට පත් වුණා. ආනමඩුවෙ කැලය සිසිලයි. ඇලවල් වල වතුර තිබුණ. හේන් වල සිටි ගොවියො සමහරු අපට උදව් කළා. එක දවසක් අපව හොයාගෙන සහෝදරවරු කණ්ඩායමක් ආනමඩුව කැලයට ආව. ඔවුන් ආහාර ගෙනාව. ඒ ගෙයක් මංකොල්ල කාල.

ඒක නිසා දැන් එහෙ ඉන්න අමාරු වුණා. ළිදරව් වෙන නිසා නැවත ගෑනු ළමයි තුන් දෙනා සමග තවත් කීප දෙනෙක් විල්පත්තුවට යන්න තීරණය වුනා. ඒ කණ්ඩායමේ 15 දෙනෙක් විතර හිටිය. අපි අතේ හාල් හුණ්ඩු තුනක් තිබුණ.

ආහාර අහේනියත්, බලාපොරොත්තු සුන් වීමත්, සැතපුම් ගණනාවක් ඇවිදීමෙන් ඇති වු විඩාවත්, වියෝගයත් නිසා පීඩිතව සිටි මට ක්ලාන්ත ගතියක් දැනුණි. අපි හේන් යායක කෙළවර නතර වුනා. වැස්ස නිසා හාල් හුණ්ඩු තුන ලිපේ තියා ගන්න විදියක් නැහැ.

අපි අතේ තිබුණ ටෙන්ට් එක හේන අයිනෙ සවි කළා. ඒක රතු පාටයි. කෙහොම හරි බත් එක උයා ගත්ත. අපේ දෙන්නෙක් එලියට ගිහින් පොල් බෑයක්, ගස්ලබු ගෙඩියක්, සීනි ටිකක්, කුරුම්බ ගෙඩි දෙකක් ගෙනාව. මට හොදටම උණ. අපි ඒව කාල පිටත් වෙන්න ලෑස්ති වෙද්දිම හමුදාව වෙඩි තිබ්බ. මම හිටියෙ නිදාගෙන. අනික් අය කැලේට පැනල දිව්ව.

ටෙන්ට් එකේ ඉතුරු වුන මගේ කකුල් දෙකටත්, කොන්දටත් වෙඩි වැදුණ. නැගිටින්න උත්සාහ කළත් මම වැටුණ. ඒත් මම ටික වෙලාවකින් නැගිටල ඇවිදගෙන ඔහේ ගියා. ටික දුරක් යද්දි අපේ කණ්ඩායමේ සරත් අතුකෝරල අයිය හමු වුනා. ඔහු මාව දැකල තිගැස්සුණා. මගෙ ඇග පුරාම ලේ පැල්ලම්. ඒත් අපි ඇවිදගෙන ගියා. අනික් හැමෝම ඇරුණා. කුඹුරු යායක් දිගේ යද්දි කඩුල්ලක් හමු වුණා. මට කඩුල්ල පනින්න අමාරුයි. කකුල උස්සන්නම බැහැ. බෙහෙත් ගේන්න කියල සරත් අයිය මාව එතන ඉන්දල ගියා. ඔහු නැවත ආපසු ඇවිත් නැවතත් අපි ඇවිදගෙන යන්න පටන් ගත්ත.

හේන් යායක වැඩ කරමින් සිටි මිනිස්සු ටිකක් හමු වුනා. අපි ඇවිත් තිබෙන්නේ වෙඩි තිබ්බ තැනටම බව අපට තේරුණා. අපි විල්පත්තුවට යන පාර අහගෙන ඒ පැත්තට යන්න ගියා. ඒ යන අතරෙ වඩු මඩුවක් හමු වුණා. මා එතන වාඩි වුණා. එතන සිටි කෙනෙකුගෙන් අපි බෙහෙත් ඉල්ලුවෙ තුවාලයට දාන්න. ඔහු බෙහෙත් කුඩු ස්වල්පයක්ද බැන්ඩේජ් එකක් ගෙනැවිත් දුන්න. තව ටික දුරක් යද්දි රෑ වුනා.

ඒ වෙලාවෙ අපි දැක්ක හේනක පැලක් තියනව. වැස්ස නිසා මේ පැලේ ඉන්න පුලුවන් වෙයි කියල හිතල අපි පැලට ගියා. මා දැන් වෙව්ලනව. අපි පැලේ නතර වුනත් පැල හොදටම තෙතයි. මම හාන්සි වුන අතර සරත් අයියා සීනි තේ කොල පැලෙන් සොයාගෙන තේ හදල අපි බිබ්ව. හමුදාව එයි කියන බය අපට තිබුණ. රෑ ටොච් එලියක් අරන් මිනිස්සු දෙන්නෙක් ආව. සරත් අයිය ඉදිරියට ගිහින් ලෙඩෙක් ඉන්නව කිව්ව. මම සරත් අයියට කිව්ව මාව කැලේ දාල යන්න කියල. පසුදා උදේ වැස්ස පටන් ගත්ත. තුවාල වලින් ලේ ගලනව. මම කොර ගසමින් යන්න පටන් ගත්ත. සවස් වෙද්දි කරත්ත පාරක් දිගේ යන විට ම ඳන් වැටුණ. නැවතත් මම සරත් අයියට යන්න කිව්ව. ඔහු මාව උස්සගෙන පැයක් පමන ඉදිරියට ගියා. මාව ගහක් යට තියල යන්න කියල සරත් අයියට නැවත කිව්ව.

එතන ක් තිබුණ. සරත් අයිය ගහට නැගල වට පිට බලද්දි විහාරයක් තියන බව දැක්ක. මුලින් සරත් අයිය පන්සලට ගියා. තරුණ හාමුදුරුනමක් ඉන්නව දැකල ලගට ගිහින් කන්න මොනව හරි දෙන්න කියල ඉල්ලුවා. මෙහෙ ඉන්න එපා මෙහෙ හමුදාව ඉන්නව කිව්ව ගමන් ඔහු ආපසු ආවා. ඒත් හාමුදුරුවො පස්සෙ කල්පනා කරල දානෙ ඉතුරු කෑම භාජනයකට දාගෙන නැවත ආවොත් දෙන්න සුදානම් වී සිටියා. සරත් අයිය පලමු වතාවෙ ලෙඩා ගැන කිසිම දෙයක් කතා නොකළ නිසා ඒ ගැන අහන්න ආපසු පන්සලට ගියා. ඒ වතාවෙත් කෑම එක අරන් ඉක්මනින් මා ළගට ඇවිත් මට බත් කැව්ව. එයත් කාල භාජනය දෙන්න නැවතත් පන්සලට ගියා. එවර හාමුදුරුවන්ට මා ගැන විස්තරය කියළ තිබුණ.

පන්සල අසල කැලෑවට මාව එක්ක එන්න කියල හාමුදුරුවො කිව්ව. සරත් අයිය මාව උස්සගෙන කැලයට ගිහින් ගසක් යට හේත්තු කළා. හාමුදුරුවො බත් අඹරල තලපයක් හදල තුවාලය වහල සිව්රු ඉරල ඒ පටි වලින් එතුව. ගෝනියක් එලල මාව ඒක උඩ තිබ්බ. මාව වෙව්ලන්න ගත් නිසා සරත් අයියගෙ එක කමිසයක් මට ඇන්දුව. මට වෙඩි වැදිල දෙවෙනි දවසෙ රෑ වෙන තුරු සරත් අයිය ඉදල පසුදා උදේම යන්න ගියේ මාව සනීප වුන පසුව එක්ක යන්න එන බවට පොරොන්දු වෙමින්.

ඒ උදෑසන හාමුදුරුවො මා වෙත ආවෙ පාන් ගෙඩියක් සහ වතුර රැගෙනයි. හාමුදුරුවො මට කතා කරල පාන් සහ වතුර භාජනය එහි තබා පන්සලට දුවන්න පටන් ගත්ත. මම නැගිට්න්න උත්සාහ කළත් බිමට වැටුණ. එදා රෑ වෙන තුරුම හාමුදුරුවො ආවෙ නැහැ. පන්සලට හමුදාවෙන් ඇවිත්.

සතුන්ගේ හඩවල් ඈතිනුත් ළගිනුත් ඇහෙද්දිම රාත්‍රිය ගත වුණා. පසු දිනත් කිසිවෙක් මා ළගට ආවේ නැහැ, මගේ දෙනෙත් අදුරු වෙන බව දැනුණා. තුවාල වල බැන්ද බත් වලට සත්තු පිරී ඇති බව මට දැනුණ. හැන්දෑවක අවට ගස් වලට කොටුවකින් ගහන ශබ්දයක් ඇසී මා ඇස් ඇර බලන විට නායක හාමුදුරුවන් සහ අනික් හාමුදුරුවන් ඇවිත් තිබුණේ උදැල්ලක් අතැතිව සිටි ඇබිත්තයාද සමග. ඒ මා මිය ගොස් ඇතැයි සිතා වළ දමන්න.

ඔවුන් මා අසලට පැමිණි විට මා කතා කළ නිසා මාව ඉන්දවන්නැයි ලොකු හාමුදුරුවො ඉල්ලා සිටියා. මාව මැස්සක තියා ගෙන පන්සලට රැගෙන ගියා. මාව තිබ්බෙ ලොකු හාමුදුරුවන්ගෙ ඇද යට. හාමුදුරුවො වතුර උණු කරල දොරවල් වහල තුවාලෙ සුද්ධ කරල හෝදල ලේ තැවරුණ මගේ ඇදුම් පුච්චල මට ඇද ඇතිරිල්ලක් ඇන්දුව. කැරලි ගැසී තිබුණ මගේ දිග කොණ්ඩය සුද්ධ කරල පීරුව. මා සතියක් පමණ ඇද යට ගත කළා. උදේට හමුදාව පන්සල වටේම සෝදිසි කර කැලේ දෙසට වෙඩි තියනවා මට ඇහුණා.

ඒ ඉන්න අතරතුර අපේ අරමුණ වුනේ මොකක්ද කියා මා හාමුදුරුවන්ට කිව්ව.

දිසාපති හරහා හමුදාවට බාර දෙන්න හාමුදුරුවො යෝජනා කළත් මා එයට අකමැති වුණා. මගේ අදහස වුණේ නැවත කණ්ඩායමට එකතු වීම සදහා විල්පත්තුවට යාම. දිනක් උදේ පාන්දර මා විල්පත්තුවට යන අදහසින් නැගිට දොර අරින විටම හාමුදුරුවන්ට ඇහැරුණා. මා නැවත කැලයට යාම ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ හාමුදුරුවෝ එහි හමුදාව ඉන්න බැවින් මාව වෙනත් පන්සලකට යැවීමට එකග වුණා. එදා හාමුදුරුවො පිරිත් කියා මගේ හිත සනසන්න වෑයම් කළා.

ඊලගට මාව මුල්ලේගම පන්සලටයි යැව්වෙ. උදේ කරත්තයක් ගෙන්නුව. මට සිව්රක් අන්දල තව සිව්රකින් ඔලුව වැහුව. මුල්ලේගම පන්සලේ කස්සප හාමුදුරුවො එතනට ආව. මා සිටි පන්සලේ හාමුදුරු දෙනමත්, ඒ හාමුදුරුවොත් මගෙ වටේ කරත්තෙ ඉද ගත්ත. එක තැනක කරත්තය නවත්වල මට බනිස් ගෙඩියක් අරන් දුන්න. එක තැනකදි හැමෝම කරත්තෙන් බැස්ස. බොහොම දුකෙන් නැවත ආව. ඒ අපේ කණ්ඩායමේ තුන් දෙනෙක් පුච්චපු තැනක් බව මා පසුව දැන ගත්ත. එතැනට ගම්මු මල් දාල තිබුණ. පුලියන්කුලම සිට සැතපුම් 16 ක් පමණ දුර ගෙවා මුල්ලේගම පන්සල වෙත අපි කරත්තෙන් ගියා.

හාමුදුරුවන්ගෙ කාමරේ මාව ඉන්දෙව්ව. ඒ පන්සල හරිම දුප්පත්. හාමුදුරුවො උයාගෙනයි දානෙ ගන්නෙ. තුවාල වලට දාන්න බෙහෙත් තිබුණෙ නැහැ. කස්සප හාමුදුරුවො පුත්තලම සිරම්බිඅඩිය පන්සලේ හාමුදුරුවන්ට පණිවිඩ යවල බෙහෙත් ගෙන්නුව. වන්නිමිරිස් අඹරල තලතෙලෙන් කකාරල තුවාල වලට එලුවා. ඒවට තුවාල ඉක්මනින් සුව වුණා. මම තාමත් හිටියේ ඇද ඇතිරිල්ල පිටින්.

ඇදුමක් මහ ගන්න තිර රෙදි කෑල්ලක්, කතුරක්, ඉදිකටු නූල් හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන ඇදුමක් මහල ඇද ගත්ත. ඉන් පස්සෙ දවසක හාමුදුරුවො ගවුම් දෙකකට රෙදියි, නූල් සහ බොත්තම් එවල තිබුණ. ඒ පන්සලේ විහාරය තියෙන්නෙ ගල් කන්දක් උඩ. මට ටිකක් නැගිටින්න පුලුවන් වුන පසුව වල් වැදුණ මඩුවක මාව තියන්න කිව්ව. එතැනත් කව්රු හෝ දකියි කියා සිතුණ නිසා විහාරය පිහිටි ගල් කන්දේ ගල් ගුහාවක මාව තිබ්බ. හාමුදුරුවො කෑම ගෙනත් දුන්න. මට ඇවිදගන්න පුලුවන් වුණා. මම ගල් වලවල් වල තිබුණ වතුරෙන් ඇදුම් හෝද ගත්ත. දිනක් ලී කපන්න ආ පිරිමි දෙදෙනෙක් මාව දැක්ක. ඔවුන් හාමුදුරුවන්ට මා ගැන කියා තිබුන නිසා හාමුදුරුවන්ගෙ අම්ම ළගට මාව යවන්න හාමුදුරුවො තීරණය කළා. මේ වෙද්දි 71 අවුරුද්ද අවසන් වී 72 ජනවාරි එළඹී තිබුණෙ.

මේ අතර විල්පත්තුවට ගිය කණ්ඩායමේ කෙනෙක් වෙඩි වැදී පන්සලේ ඉන්න බව විල්පත්තුවේ සිටි අයට ආරංචි වී තිබුණා. ඔවුන් දෙදෙනෙක් මාව සොයාගෙන මා කලින් සිටි පුලියන්කුලම පන්සලට ගොස් තිබුණ. හාමුදුරුවන් ගෙන් අහගෙන මුල්ලේගම පන්සලට ඔවුන් ඇවිත් මා බාර ගෙන නැවත අපි විල්පත්තුව ගියා.

අපි කෙසේ හෝ හමුදා පොලිසි මග හරිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැරිසරමින් කණ්ඩායම පස් දෙනා දක්වා ඉතුරු වන තුරු එනම් 1974 දක්වා සැගවී සිටියා. වෙඩි පහරට මගේ කකුලේ ඇටයක් කැඩී එලියට පැමිණ තිබු අතර එන්න එන්නම ඇවිදීමට අපහසු වුණා. ඊට ශල්‍ය කර්මයක් කිරීම සදහා ප්‍රේමපාල හේවාබටගේ සහෝදරයා සමග කොළඹට පැමිණ මා කොළඹ එක්ක ගියා. ඔහු මා රෝහල්ගත කළා. මහාචාර්ය කාලෝ පොන්සේකා මහතාට ප්‍රේමපාල සහෝදරයා මා ගැන කියා තිබුණා. මගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර බලා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළ ඔහුයි.

කකුලේ සැත්කමක් කළාට පස්සෙ කකුල සනීප වුනා. ඉන් පසු ලොකු අයිය මාව බාරගෙන රැකියාවකට යොමු කරන්න උත්සාහ කළා. මම රැකියාවක් සදහා ගියේ කටාර් වලට . එහේ අවුරුදු දෙකක් ඉදල ආපහු ආව. මම හිතුව රැකියාවක් කරල විතරක් සෑහීමට පත් වෙන්න ඕන නැහැ කියල. නැවත දේශපාලනයට පිවිසෙන්න මගේ අදහසක් තිබුණ. .වි.පෙ. නැවත සංවිධානය වුනත් ඒ ගැන අපට විවේචන තිබුණ. .වි.පෙ. ට විරුද්ධ අදහස් දරන කණ්ඩායම් එක්ක සම්බන්ධකම් හදාගෙන වැඩ කළා.

කැලෙන් එළියට එද්දි කුමාරි ජයවර්ධන වැනි අය අපට සහාය වුනා. ඒ අය අදුන ගැනීම නිසා කාන්තා වැඩ වලටත් සම්බන්ධ වුනා. ඒත් ඒ අය හුගක් වැඩ කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. කාන්තා හඩ සංවිධානය පිහිටුවීම සදහා පැවති සාකච්ඡා වලටත් මම සහභාගි වුනා.

මේ ඉන්න අතරෙ තමයි මට කුරුණෑගල ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ගැන අහන්න ලැබෙන්නෙ.

මානෙල් රත්නායක අපේ පිලියන්දල ගෙදර හොයාගෙන ඇවිත් මාව කුරුණෑගල දේවසරණට එක්ක ගියා. මම තීරණයක් ගත්ත ගම් වල දුක් විදින කාන්තාවන් සමග වැඩ කරන්න. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ වැඩ කළ ගම් වලට මම ගියා. ඒවායේ කාන්තාවන් සමග සාකච්ඡා කළා.

ජවිපෙන් වෙන් වු සහෝදරවරු ගණනාවක් මට එහිදී මුණගැහුණා. ඔවුන් ජනතා සංගමට වටා එක් රොක් වී සිටියා. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණේ නායකත්වයේ සිටි සහෝදරියන් පිරිසක්ද ජනතා සංගමය තුළ ක්‍රියාත්මක වුනා. මට යළි වසන්ත දිසානායක මුණ ගැහුණේත් එහිදී. අපි පස්සේ විවාහ වුණා. කුරුණෑගල විවධ ප්‍රදේශ වලත්, මොණරාගල, සහ කොළඹ ප්‍රදේශ වලත් විවිධ කාන්තා කණ්ඩායම් සමග මම වැඩ කළා. විශේෂයෙන් කොළඹ කාන්තා ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් විවිධ වැඩ සටහන්, කාන්තා දින, උද්ඝෝෂණ ආදියට සම්බන්ධ වුනා. තවදුරටත් මගේ අභිප්‍රාය දුක් විදින කාන්තාවන් වෙනුවෙන් වැඩ කිරීම සහ යහපත් සමාජයක් ගොඩනැගීම සදහා දායක වීමයි.

සටහන – මැණික් / උපුටා ගැනීම කාන්තා සංවර්ධන පදනමෙහි අත්වැල පිටුවෙනි.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...