Thursday, June 24, 2021

වරාය නගර පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුළු රටම අලුත් අවුරුදු උළෙලට සූදානම් වන අවස්ථාවේය. පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කල යුතු සතියක කාලය තුල සති අන්තයක් සහ රජයේ නිවාඩු දින තුනක් තිබීම හේතුවෙන්, උසාවි නිවාඩු කාලය ගත කරමින් සිටි නීතිඥවරුන් සොයා ගෙන එසේ කිරීමට පුරවැසියන්ට තිබුනේ දින දෙකක් පමණි. මෙය සිතා මතා කල දෙයක් ද විය හැක. පනත් කෙටුම්පත අධ්‍යයනය කර එහි හොඳ නරක සාකච්ඡා කිරීමට නිසි කාලයක් නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද කනස්සල්ල පල කොට ඇත.

විශේෂ ආර්ථික කලාප ලොව පුරා බොහෝ දක්නට ලැබේ. ඒවා සාදා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන ගෙන්වා ගැනීමටය. ආයෝජකයන්ට නොයෙකුත් සහන ලැබෙන බැවින් ඔවුන්ගේ නිෂ්පාදන ලෝක වෙළඳ පොලේ ඉතා තරඟකාරී වේ. එසේම එවැනි කලාප වල අයහපත් ලක්ෂණද දක්නට ලැබේ. එහෙත් මෙම ලිපියේ අරමුණ වන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය සාකච්ඡා කිරීම පමණි.

අධි බලැති කොමිෂන් සභාවක්

කොළඹ වරාය නගරයේ පරිපාලනය, නියාමනය සහ එය තුල සහ එය තුල සිට පිටතට කෙරන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් වලට අදාළ සියලු කාරණා පාලනය කිරීම සඳහා අධි බලැති කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබේ. වරාය නගර ප්‍රදේශය තුල ඇති ඉඩම් බදු දීමට මෙන්ම එය තුල ඇති මහල් නිවාස පැවරීමටද එයට බලය ඇත. ‘තනි කවුළුවක්’ ලෙස ක්‍රියා කරමින් නගරය තුල ඒකීය ආයෝජන පහසුකම් සපයන්නා ලෙස එය කටයුතු කරයි. කොමිසම වෙනත් ඕනෑම පනතක් යටතේ ඇති නියාමන අධිකාරියක බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කරන අතර සෑම නියාමන අධිකාරියක්ම කොමිසම ඉල්ලා සිටින කාරණයන් හට ප්‍රමුඛත්වය දී ඒ පිලිබඳ තම එකඟත්වය දීම අනිවාර්ය වේ.

මේ අනුව එම නියාමන අධිකාරි වලට ඇති අභිමතයන් සහ බලතල ඉවත් වේ. එසේ කිරීම අත්තනෝමතික වන අතර ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ රැකවරණයේ සර්ව සාධාරණත්වය උල්ලංඝනය වේ.

නාගරික සංවර්ධන අධිකාරියෙහි පාලක සභාවේ සාමාජිකයින් මෙන් වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් පස් දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වීම අනිවාර්ය නැත. වෙනත් රටවලට බැඳීම් ඇති පුද්ගලයින්ට මෙතරම් සුපිරි බලතල දීම අපගේ ව්‍යවස්ථාවේ පළමුවන වගන්තියෙන් සහතික කර ඇති ශ්‍රී ලංකාවේ නිදහස, සෛවරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය නොවන්නේදැයි යන්න නැගෙන ප්‍රශ්නයකි. එසේම එයින් 2 හා 3 වගන්ති වලින් සහතික වන ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වේ.

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් ලෙස සැලකීම

කෙටුම් පතේ 26 වන වගන්තිය යටතේ වරාය නගරය තුල ව්‍යාපාර කල හැක්කේ කොමිසමේ අවසර ලැබූ අයට පමණි. 27 වන වගන්තිය අනුව සියලු ආයෝජන විදේශ විනිමය වලින් පමණක් විය යුතුය. ඊටත් වඩා නරක වන්නේ ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කර ඇති විදේශ විනිමය පවා ආයෝජනය සඳහා පාවිච්චි කිරීමට නොහැකි වීමය. මේ අනුව ශ්‍රී ලාංකිකයින්ට රුපියල් පමණක් නොව නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව තුල ගිනුමක ඇති විදේශ විනිමය පවා වරාය නගරය තුල ආයෝජනය කල නොහැක. මෙම ප්‍රතිපාදන පැහැදිලි ලෙසම අත්තනෝමතික මෙන්ම ශ්‍රී ලාංකිකයින්ට වෙනස් ලෙස සලකන ඒවා බැවින් එමගින් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මකතාවය ඔවුනට නොලැබේ. එසේම 14(1)(උ) වගන්තියෙන් සහතික කර ඇති වෙළඳ ව්යාපාර සහ ව්‍යවසායක නියුක්තිවීමේ නිදහසද අහිමි වේ.

යෝජිත 35 වන වගන්තිය යටතේ වාසික හෝ නිර්වාසික තැනැත්තෙකු වරාය නගරයේ සේවයේ යෙදූ විට ඔහුට ගෙවීම් කල යුත්තේ ශ්‍රී ලංකා රුපියල් හැර වෙනත් නම් කරන ලද විදේශ මුදල් වලින් පමණි. එම ගෙවීම් ආදායම් බද්දෙන් නිදහස්ය. 36 වන වගන්තිය අනුව වරාය නගරය තුල ලබා ගන්නා ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල් වලට හැරවිය හැක. ශ්‍රී ලාංකිකයන්ට නගරය තුල භාණ්ඩ, සේවා සහ පහසුකම් සඳහා රුපියල් වලින් ගෙවීම් කල හැකි නමුත් මිලදී ගත් භාණ්ඩ වරාය නගරයෙන් පිටතට ගෙන යන විට බද්දක් ගෙවිය යුතු යයි 40 වන වගන්තියෙන් කියවේ. එනම් වෙනත් රටකට ගොස් එන විට ගෙන එන භාණ්ඩවලට ගෙවන රේගු බදු වැනිය! මෙම සීමා සාධාරණය කිරීමට, සමහර මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් ඉඩ දෙන “ජාතික ආර්ථිකය” යන්න මන්තරයක් මෙන් ජපකරනු පනත් කෙටුම් පත පුරා දක්නට ලැබේ. එසේ ජප කිරීමෙන් පමනක් එවැනි සීමා දැමිය නොහැක.

1978 දී 1972 ව්‍යවස්ථාව යටතේ මහ කොළඹ ආර්ථික කොමිසම් සභාව පිහිටුවීමට් අදාළ පනත් කෙටුම් පතේ යෝජනා කර සිටියේ විශේෂයෙන්ම කම්කරු පන්තියට ආරක්ෂාවන් සපයන අණ පනත් ගණනාවක් නිදහස් වෙළඳ කලාපය තුල ක්‍රියාත්මක නොවන බවය. එම පනත් කෙටුම්පතට විරුද්ධව ලංකා කම්කරු සම්මේලනය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පෙනී සිටියේය. මෙම ලියුම්කරුද පනත් කෙටුම් පත අභියෝගයට ලක් කළේය. එවකට තිබූ ව්‍යවස්ථා අධිකරණය තීරණය කලේ එසේ සමහර අණ පනත් අදාළ නොකිරීම සමානතා වගන්තියට පටහැනි බැවින් 2/3 වැඩි චන්දයකින් සම්මත කල යුතු බවය. තමන්ට 5/6ක බලයක් තිබුනද, ජේ. ආර්. ජයවර්ධන එදා එම අණ පනත් අදාල නොකරෙන වගන්ති පනතින් ඉවත් කළේය. 1972 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණ තිබුනේ නැත. එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වූ විට ජනතාවගේ පරමාධිපත්‍යය සහතික කරන 3 සහ 4 වගන්ති ද උල්ලංඝනය වන බැවින් ජනමත විචාරණයකදී අනුමැතිය ගත යුතුය. මේ බව 2002 වසරේ ප්‍රථම දහඅට වන සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ කාරණයේදී සත්-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ද මෑතදී විසි වන සංශෝධනය පිලිබඳ කාරණයේදී පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ද, තහවුරු කරන ලදී.

ශ්‍රී ලාංකික අධිකරණ මග හැරීම

පනත් කෙටුම් පතේ 62 වගන්තිය් අනුව කොමිසම සම්බන්ධ සියලු ආරවුල් බේරුම් කිරීම් මගින් විසඳා ගැනීම අනිවාර්යය. ශ්‍රී ලාංකික අධිකරණ මේ අනුව මග හැරේ. නගරය තුලින් පැන නැගෙන, කොමිසම සම්බන්ධ නොවන, වෙනත් ඕනෑම සිවිල් හෝ වාණිජ නඩු යම් අධිකරණයක ඇති විට එම නඩු වලට ප්‍රමුඛතාවයදී දිනපතා නඩු විභාග පැවැත්විය යුතුය. අසනීප වැනි පුද්ගලික හේතු මත පවා නීතිඥ වරයෙකු අධිකරණයට පැමිණීමට නොහැකි වීම නඩුව කල් දැමීමට හේතු නොවේ. මෙම ප්‍රතිපාදන අත්තනෝමතික වන අතර ඒවායින් ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය උල්ලංඝනය වේ.

ව්‍යවස්ථාදායක බලය හැල්ලු කිරීම

කෙටුම් පතේ තුන්වන උප-ලේඛනයේ ඇති පනත් ගණනාවක් වරාය නගරය තල බල නොපැවැත්වෙනු ඇත. ඊට නාගරික සංවර්ධන අධිකාරිය පනත, මහා නගර සභා පනත සහ නගර සහ ග්‍රාම නිර්මාණ ආඥාපනත ඇතුලත්ය. මෙසේ කිරීම අත්තනෝමතික වන අතර ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට පටහැනිය.

52 සහ 53 වගන්ති යටතේ ආදායම් බදු, විදේශ විනිමය, රේගු, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු වැනි පනත් ගණනාවකින් නිදහස් කිරීම් කිරීමට කොමිසමට බලය ලැබේ. මෙයින් ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක්වන අතර එමගින් ව්‍යවස්ථාවේ 3 සහ 4 වන වගන්ති වලට පටහැනිය.

බලය බෙදා හැරීමටද විරුද්ධයි

පනත් කෙටුම්පත යටතට ගැනෙන කාරණා කීපයක්ම පළාත් සභා විෂය ලැයිස්තුවට වැටේ. පළාත් පාලනය, භෞතික සැලසුම්කරණය, ඔට්ටු ඇල්ලීම සහ සූදු ඊට ඇතුලත්ය. ව්‍යවස්ථාවේ 154ග (3) වගන්තිය අනුව එවැනි කෙටුම් පතක් පළාත් සභා වල අදහස් විමසීම සඳහා ඒවාට යොමු කල යුතුය. මේ දිනවල පළාත් සභා නොමැති බැවින් ඒවායේ කැමැත්ත නොලැබුනසේ සලකා 2/3 වැඩි චන්දයකින් සම්මත කල යුතුය.

වරාය නගරය මහා නගර සභා පනතින් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධීය. මහ කොළඹ ආර්ථික කොමිසමේ ප්‍රදේශය තුල පළාත් පාලන ආයතන නොමැති විය යුතු බව අත්තනෝමතික නොවන බව 1978 වසරේ ව්‍යවස්ථා අධිකරණය ප්‍රකාශ කළේය. ඒ 1972 ව්‍යවස්ථාව යටතේය. එහෙත් දැන් 1978 ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය යටතේ පළාත් පාලනය ව්‍යවස්ථාවෙන් පිළිගෙන පළාත් සභා යටතට ගෙන ඇත. එහෙයින් වරාය නගරය මහා නගර සභා පනතින් නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධීය.

ඉහත දක්වා ඇති තත්වයන් යටතේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම් පත 2/3 දෙකක චන්දයෙන් සම්මත කර ජනමත විචාරනයකදී අනුමත කර ගත යුතුය යන්න මෙම ලියුම්කරුගේ මතයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කාරණා කෙසේ වෙතත් මෙවැනි වැදගත් පනත් කෙටුම් පතක් පුළුල් ලෙස සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යය. මේ සඳහා එය පාර්ලිමේන්තු කමිටුවකට යොමුකර ජනතාව මෙන්ම පුරවැසි සංවිධානවල සහ විශේෂඥයන්ගේද අදහස් විමසීම වඩා උචිතය.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...