Sunday, April 11, 2021

රියදුරු බලපත් මුද්‍රණය හමුදාකරණයවීම තුලින් සංකේතවත්වන රාජ්‍ය සේවයේ අභ්‍යාගය- මංජුල ගජනායක

ශ්‍රී ලාකිකයන් නව වසරට පා තැබූ දුරුතු මස පළමු දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්නේතුවෙහි වේරහැර කාර්යාල පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් අස්සන් කෙරිණි. එය හුදෙක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් හා වැඩබලන මාණ්ඩලික හමුදා ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අතර ඇති වූ ආයතනික අවබෝධයක් පමණක් නොවේ. නූතන ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවය ඇරඹුණු ක්‍රි.. 1798 පටන්, නැඟීම් බැසීම් මත්තේ වුව අභිමානවත්ව පෙරට ආ මෙරටේ සිවිල් සේවයේ අවරෝහණය සංකේතවත් කල කණකොක් දසුනක් වන්නේය.
ලබ්බට තැබූ අත පුහුලටත් නොතබයිද?

පරිපාලකයා ද, හමුදා සොල්දාදුවා ද රාජ්‍ය සේවය නම්වූ රැහැණින් එකට බැඳී සිටින බව සැබවි. එනමුත් රටට සිරිකත කැන්දූ සුරබිදෙනක් වන් ආදායම් උල්පතක් නිසි ලෙස පාදා නොගෙන පර බරවායට පිටිකර බෙහෙත් බැඳි “අල්ජ්ජී” පරිපාලකයන් සමූහයක් අත කලක් තිස්සේ සමූහ දූෂණයට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මිලිටරීකරණය කිරීම අප වරනැඟිය යුත්තේ කවර ලෙසින්ද? ලබ්බට තැබූ අත පුහුලටත් නොතබයිද?

හමුදාව වැඩ!

සැබවින්ම අප රාජ්‍ය සේවය යැයි අබිමන් පෙරටුව පැවසුවේ වුව එහි මුඛ්‍යාර්ථය මහජන සේවය මිස අනෙකක් නොවේ. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ලත් අසහාය ජනවරමින් නිපන් වසර 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුනරුච්චාරණය කොට ඇති ජනරජයේ සේවකයන් වන්නෝ මෙරටේ මහජන සේවකයෝය. ඔවුන් නාමධාරී රාජ්‍ය සේවකයන් වුව සැබවින්ම ජනරජයේ මහජන භාරය බිලිපූජාවක් සේ සුරකින ජනතා සේවකයෝය. එවන් අනුහස් සහිත ජනතා සේවකයන් ගැන වරක් කොන්ස්ටන් වූ පැවසුවේ මෙලෙසිනි:

මහජන (රජයේ) සේවය යනු ඔබ නොකැමැති පිරිස් ද ඇතුළත් සැමට සේවය සැලසීමයි“.

මෙකී සේවකයෝ තම සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙත සැලකීම පසෙක තිබේවා! යටත් පිරිසෙන් තම මාහැඟි සේවාවට අනුරූපී ගැටළු සමුදාය හෝ විසඳා ගැනීමට සමත් වී තිබේද? මෙරටේ රාජ්‍ය සේවයේ සමස්ථාර්ථය කැටිකොට දක්වන්නේ නම් පැවසිය යුතුව ඇත්තේ කවරක්ද? මෙරටේ රාජ්‍ය සේවය කිසිදා ලිහා ගත නොහෙන පඹ ගාලක පැටලී ඇති බවයි.

එහි භයංකාරත්වය කෙතරම්ද යත් එක් එක් සේවාවන් සඳහා නිර්මිත බඳවා ගැනීමේ පරිපාටි දෙදහසකට වඩා ඇති රටෙහි එක් එක් සේවාවන් සඳහා නිමවා ඇති සේවා ව්‍යවස්ථා ද පනහකට වඩා අධික සංඛ්‍යාවක් පැටව් ගස්වා ඇත්තේය. සැබවින්ම සිදුවිය යුත්තේ කුමක්ද? වෙසෙස් පරිපාලන සංගායනාවක් කොට එක් සේවාවක් පෙන්වා අනෙක් සේවාවට වරප්‍රසාද ගන්නා කප්පම් පරිපාලනය බිඳ හෙලා එක් සමමිතික පරිපාලන රටාවක් හඳුන්වා දීම නොවේද?

සැබෑ සිස්ටම් චේන්ජ් එකක් යනු එය මිස බත් සලරුවක් වැඩි වූ කල ඊට ආනුපාන සේ ව්‍යංජන බෙදා ගැනීම නොවේ.

සොරකම හා දූෂණය වැඩි රාජ්‍ය ආයතන ක්‍රමක්‍රමයෙන් මිලිටරීකරණය කිරීම යනු එක් පසෙකින් මෙරටේ සිවිල් පරිපාලකයන් තම සියැසින් දකින දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමකි. ඔවුනගේ අසමත් බවට සොල්දාදුවන් ආදේශ වීම කවරනම් සරදමක්ද? අනෙක් පසින් අවිද්‍යාව හා අනුහස් සහිත යැයි සිතන නායකයන් පිලිබඳ බොළඳ මමායනයෙන් නිදිසුව විඳින මුග්ධ ශ්‍රී ලාංකේය පුරවැසියා වෙත පිදෙන ප්‍රයෝගකාරී තිළිණයකි එය.

සැබවින්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ සංතෑසිය කුමක්ද? මෙරටේ තාක්‍ෂණය හා පුහුණු ශ්‍රමිකයන් හිඟ නුදුරු අතීතයේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය පැවරුණු ආයතනය මෙට්‍රෝපොලිටන් සමාගමයි. එය මුළුමනින්ම පෞද්ගලික ව්‍යවසායකයකි. අදාළ ආයතනය හා දෙපාර්තමේන්තුව අතර පැවති අවබෝධය වූයේ ගිවිසුම් කාල සමය ඉකුත් වන කල දෙපාර්තමේන්තුගත කාර්යසාධනය ඉහළ නංවා ගැනීමයි. ඊට අනුරූපීව මානව සම්පතද, තාක්ෂණයද මෙකී දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගත යුතුව පැවතිණි. අවාසනාවට මෙකී දෙපාර්තමේන්තුවට එකී ඉලක්කය සපුරා ගැනීමට ශක්තිය පැවතිය ද අධිෂ්ඨානයක් නොපැවතිණි.

වත්මන් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගේ පූර්වගාමීන් මෙකී දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ එකම අගය මුදල් ඩැහැ ගන්නා කපුටු පාරාදීසයක්ය අපර නාමය පමණි.

පරිපාලකයන්ගෙන් දිස්වූ එකී දුබලතාවට වත්මන් රජය යෝජිත ප්‍රතිකර්මය වූයේ කෝකටත් තෛලය ආදේශ කිරීමයි. එනම් යුධ හමුදා තොරතුරු තාක්‍ෂණ ඒකකය වෙත රියැදුරු බලපත්‍රයේ මුද්‍රණ වගකීම පැවරීමයි. මෙකී බල හුවමාරුව නිසා ගිනිකන වැටුණු ඇත්තෝ වටහා ගත යුත්තේ හමුදාවේ වගකීම බලපත්‍ර මුද්‍රණය පමණක් බවත් අනෙක් සියලු අවශේෂ කාර්යයන්හි වගකීම තවමත් ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට බවත්ය.

එළවලු විකිණීමෙන් ඇරඹුණු මෙරටේ නව හමුදා පාලන පර්යාය රියැදුරු බලපත්‍රයෙන් නොනැවතී දිස්ත්‍රික් හා අමාත්‍යංශ ලේකම්හිධුරද ආක්‍රමණය කොට ඇති බව මෙරටේ ස්ථාපිත ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මෙතෙක් දැක නැත්තේය. යහපාලන ආණ්ඩු සමයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අසුන්ගත් සාමාජිකයන් වෙත ද තර්ජනාංගුලිය හෙලූ පරිපාලන ලේකම් ජේ. ජේ. ආර්. පවා මුවින් නොබැන දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම කවරනම් ආශ්චර්යමත් නිළධාරී ප්‍රවේශයක්ද?

සැබවින්ම හමුදාවේ වගවීම ඇත්තේ රටෙහි ස්ථාපිත පාලනාධිකාරය වෙතය. පරිපාලකයන්ගේ වගකීම වියයුත්තේ තම අසමත්බව වලකා ගත හැකි නව මං සෙවීමයි. සුමිත් අලහකෝන් යනු මෝටර් රථ දෙපාර්තමේන්තුවට සම්පතකි. ඔහු වේරහැරට හා නාරාහේන්පිටට ආවේනික අල්ලස පතා එකී ධූරයේ අසුන් ගත්තෙක් නොවේ. අවාසනාවට සොරෙක් නොවීම ම රාජ්‍ය ආයතනයක් මෙහෙයවීමේ එකම සුදුසුකම ද නොවේ.

ඔහුගේ අසමත්කම විදහාපෑ එක් සනිදර්ශනයක් වන්නේ අදාළ දෙපාර්තමේන්තුවේ 600 ක් දෙනා පිටතට යැවීමට ගත් තීරණයයි. සිස්ටම් චේන්ජ් යනු සොරුන් යැයි ලේබල් කොට තම පළපුරුදු නිළධරයන් පරිපාලකයන් අතර අවමානයට ලක් කිරීම නොවේ. ඔවුනට වුව නොදැනෙන සේ පවත්නා පරිපාලන රටාව දැඩි වෙනසකට ලක් කිරීමයි.

ලොව අනෙක් රටවල් හා සංසන්දනාත්මකව දක්වන කල මෙරටේ රියැදුරු බලපතක් දීමේ ක්‍රමවේදය අතිශය ප්‍රාථමික එකකි.

බලපත්‍රයට අවැසි වෛද්‍ය සහතිකය පිරිනමන ප්‍රවාහන වෛද්‍ය ආයතනය රියදුරු බලපත්‍ර අපේක්‍ෂකයන්ගේ වටිනා කාලය භක්‍ෂණය කරන තවත් එක් බහිරව ආයතනයක් වන අතර අවාසනාවට එකී රස්තියාදුවේ වරද ද පැටවෙන්නේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතය. මෙම දෙපාර්තමේන්තුව මේසා ව්‍යවසනයකට ලක් වූයේ එහි අසුන්ගත් නිළධරයන් පමණක් නිසාම නොවන බව හුදී ජන පහන් සංවේගය පිණිස ලියා තැබිය යුතුය.

නිදසුනක් දක්වන්නේ නම් අදාළ මෙට්‍රොපොලිටන් ආයතනයේ සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නිළධරයන් කවර නිර්දේශ එක්කලද ඔවුන් තම සේවා සපයන්නා ලෙස තෝරාගත්තේ මෙරටේ මෙතෙක් පැවති කැබිනට් මණ්ඩලයයි. ජාතික හැඳුනුම්පත, ගුවන් බලපත්‍රය රියැදුරු බලපත්‍රය ද තම පරම්පරා සුඛිත මුදිත කරනා ප්‍රේමනිය දායාද බව නොදන්නා කැබිනට් මණ්ඩල සාමාජිකයන් මෙරටේ සිටීද? පාර්ලිමේන්තුව දෙවනත් වන සේ මෙකී දෙපාර්තමේන්තුවේ වැරදි පිලිබඳ හඬ නැගූ අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොදන්නා සත්‍යය වන්නේ එකී වරද උදෙසා එකදු නිලධරයෙක් වෙත හෝ අධිභාර පනවා නැති බවයි.

නිධරයන් එපමණ හොරුනම් අධිභාර පනවා නැත්තේ මන්දැයි සෙවීමද පාර්ලිමේන්තුව සතු වගකීමකි.

සොරෙක් නොවූ අවංක ආධ්‍යාශයෙන් සේවයට කැපවූ වත්මන් කොමසාරිස්වරයා හට තවමත් මෙකී කුප්‍රකට දෙපාර්තමේන්තුව නිවැරදි මඟට ගැනීමේ ශක්‍යතාව පවතින බව අපගේ විශ්වාසයයි. එහිලා ඔහු කල යුත්තේ හමුදාව හා අභිනවයෙන් ඇරඹුණු දීගයෙන් උදම් නොවී සමස්ත දෙපාර්තමේන්තුවේ විභවතා හා දුර්වලතා පිලිබඳ අවංක හා නිවැරදි විගණනයක් කිරීමයි. ඉන් එළඹෙන යෝජනා හා නිර්දේශ වත්මන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමයි.

එසේ නොවුණහොත් සිදුවිය හැකි ආසන්නතම සංසිද්ධිය වන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පැලවත්ත යුධ හමුදා සංකීර්ණයේ ස්ථාපිත වීම විය හැකිය. ලාවලු කෑ රිලවුන් වන් අපේ ජනතාව සිහි කරනු ඇත්තේ සොරකම් නොකරන අව්‍යාජ නිලධරයාගේ ඇවතුම් පැවතුම් නොව තුට්ටු දෙකක් අත මිට මොලවා ලබන ක්‍ෂණික සේවය බව කොමසාරිස් ජෙනරාල්වරයා නිරතුරු සිහිකිරීම වටිනේය.

සැබවින්ම මෙරටේ බහුතරයක් ජනයා හට සංඛ්‍යා හා දත්ත මෙන්ම යම් කරුණක නිරවද්‍යතාව අදාළ නැත්තේමය.

කවර ප්‍රතිවිරෝධීතා පැවතියද මෙකී දෙපාර්තමේන්තුවේ බහුතරයක් දෙනා අපේක්‍ෂිත සේවයටත් වඩා වැඩි කලක් දවසේ කාර්යක්‍ෂමතාවක් දක්වන විශිෂ්ඨ සේවකයෝය. අනෙක් නිද්‍රාශීලි දෙපාර්තමේන්තු අතර සංසන්දනාත්මකව ගත්කල ඔවුන් මෙරටේ ආර්ථිකයට එක්කරන ආදායම සුළුපටු එකක් නොවේ. (එය වර්තමානයේ හරි අඩකින් අඩුවී ඇත) එබැවින් සිදුවිය යුත්තේ අදාළ සේවකයන් හට කොමසාරිස් ජෙනරාල්වරයා ‘Mentor’ කෙනෙක්ව සොඳුරු අදියුරුවෙක් වීම විනා ජනප්‍රිය තීරණ ගැනීම නොවේ.

ආදර්ශයක් අවැසිනම් සුමිත් අලහකෝන් මහතා සර් තෝමස් මේට්ලන්ඩ ආණ්ඩුකාරවරයා ගැන කියවිය යුතුව ඇත්තේය. වසර 1804 දී ජෝන් ලුසිංග්නන් නම් 19 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතිකයෙක් යාපනයේ ආදායම් පාලකවරයා ලෙසින් පත්කරන ලද අතර පරිපාලන වැය අධික වීම නිසා අදාළ පරිපාලකයන් වෙත ලැබුණේද සොච්චම් වැටුපකි. එබැවින් ඔවුන්හට පෞද්ගලික ව්‍යාපාරවල නිරත වීමේ අවස්ථාවද ලැබිණි. මින් දිරිලත් ලුසිංග්නන් රෙදිපිළි වෙළෙඳාමට පිවිසි අතර ඊට අදාළ සහායක බලඇණිය බවට පත්කර ගත්තේ ප්‍රදේශයේ ගම්මුලාදෑනි වරුන්ය.

මෙය අනෙක් පරිපාලකයන් අතරද පැතිරී බලවත් හානියක් සිදුවියහැකි යැයි සැකහැර දත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා කළේ කුමක්ද? 600 ක් පිටතට යවා ආණ්ඩුවේ හා භාවාතිෂය පුරවැසි ප්‍රජාවේ ක්ෂණික අවධානය ලැබීමට තැත් දැරූ අප කොමිෂනර් ජෙනරාල්තුමා සේ පෙරකී ආදායම් පාලකවරයා ගෙදර යැවීම හෝ යාපනයෙන් පුත්තලමට මාරු කිරීම නොවේ. සිවිල් සේවකයන් සඳහා පරිපාලන රීති මාලාවක් සැකසීමයි. එය එවකට එවන් ආකාරයේ රීති සංග්‍රහයක් සැකසු පළමු අවස්ථාව වූයේය.

අදවන විට එවන් නීති හා රීති සිවිල් සේවකයන් උසට බිහි කොට ඇත්තේය. එහෙත් අවැසි මුලපිරීම වන්නේ වෙන අන් කවරක් හෝ නොවේ. තම ආයතනය පිලිබඳ නිවැරදි තක්සේරුවක් කොට කෙටිකාලීන සැලැස්මක් සඳහා නිසි පියවර ගැනීමයි. එසේ නොවුණහොත් අනාගතයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉතිරි විය හැක්කේ සුමිත් චන්දන කුමාර අලහකෝන් මහත්මා පමණි. ඔහු සතුව ඇත්තේ විකල්ප දෙකකි. එකක් තම පුර්වගාමී ඒ.එච්.කේ.ජේ.චන්ද්‍රසිරි අවසන් කල තැනින්ම අවසන් කොට ඉතිහාසයෙන් මැකී යෑමයි. නැතහොත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා අවසන් කල තැනින් නැවත අරඹා ඉතිහාසගතවීමයි.

Manjula Gajanayake FB

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...