Saturday, July 24, 2021

පාස්කු ප්‍රහාර පරීක්ෂනයේ අතුරුදහන් පුරුක: නිලන්ත ජයවර්ධන සහ රවිරාජ් ඝාතනය – සුනන්ද දේශප්‍රිය

පාස්කු ප්‍රහාරයෙන් වික්ෂිප්තියට සහ ශෝකයට පත්ව සිටි මෙරට ජනයා හමුවේ අවමඟුලට පැමිණි සුබ පැතුමක් මෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකත්වය ජයකෙහෙළි මැද නිවේදනය කළේය. ඒ වන විට එකී සමූළ ඝාතන අපරාධයට ගතව තිබුණේ දින කිහිපයක් පමණි.

පාස්කු ප්‍රහාරයට දින 09කට පෙර ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයෙන් දින හතරකට පසු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය දියත් කළේය.

තමා පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට නිසි දඩුවම් දෙන බවට ඔහුගේ පොරොන්දුවද ඒ සමඟම ආවේය. දැන් රාජපක්ෂගේ මහබලැති ජනාධිපති ධූරයටද වසර දෙකක්ම අවසන්ය. තවමත් පාස්කු ප්‍රහාරයේ සුළමුල සොයා ගෙන නැත.

දැන් කාර්දිනල් මැල්කම් රංජිත් පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා වරදකරුවන්ට එරෙහිව පියවර ගැනීමට මාසයක කාලයක් රාජපක්ෂට කල්දී තිබේ. එසේ නොවවුහොත් රට පුරා ඇවිල යන විරෝධතා රැළි මාලාවට තවත් රැල්ලක් එකතු වනු ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති සිරිසේන විසින් පත්කල කොමිසම ඔහුගේම මරුවැළ බවට පත්විය. සිරිසේනට පාස්කු ප්‍රහාරය නොසළකා හැරීම ගැන නඩු පැවරිය යුතු බවට එම කොමිසම නිර්දේශ කළේය. එමෙන්ම එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වූ දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිලන්ත ජයවර්ධනටද නඩු පැවරිය යුතු බව කොමිසම නිර්දේශ කළේය.

එම නිර්දේශ දෙකම රාජපක්ෂ විසින් නොසළකා හැර තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව කාර්දිනල් ඇතුලූ බොහෝ දෙනෙකුගේ ප්‍රවිශ්ඨය අන්ධයා සහ අලියා පිළිබඳ කතාව වැනිය. ඔව්හු ගස් මිස කැළය නොදකිති.

රාජපක්ෂවරුන් යළි රජ පුටුවට ගෙන ඒමට නීති විරෝධී කුමන්ත්‍රණයක් ක්‍රියාවට නැගූවේ සිරිසේනය. ඒ පාස්කු ප්‍රහාරයට මාස හයකට පෙර 2018 ඔක්තෝම්බරයේදීය. කුමන්ත්‍රණය පැරදුණි. නමුත් කුමන්ත්‍රණයෙන් පසු සිරිසේන රාජ්‍ය ආරක්ෂක කටයුතු කෙරෙන් එජාප නායක වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩු පක්ෂය ඉවත් කළේය. ඒ කොතෙක්ද යත් ප්‍රහාරය වන විට සිංගප්පූරුවේ සිරිසේන සැඟවී සිටි නිසා අගමැති වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩලය කැඳවූ විට
ආරක්ෂක ප්‍රධානීහු අරලිය ගහ මන්දිරයට පැමිණිම පවා ප්‍රතික්ෂේප කළෝය.

සිරිසේනගේ කුමන්ත්‍රණය පැවැති දින 52 පුරා රාජ්‍ය ආරක්ෂාව බාරව සිටියේ සිරිසේන සහ (මහින්ද) රාජපක්ෂය.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  සිරිසේනට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් රනිල් වික්‍රමසිිංහ ආණ්ඩ්ව ගත්තේ නැත.

සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවිමට පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවට නොයන ලෙස පරීක්ෂණ බාරව සිටි පොලිස් නිලධාරීන්ට නියෝග කළේය. ( පාස්කු කොමිසමට ශානි අබේසේකර විසින් දෙන ලද සාක්ෂිය)

ජනාධිපති (ගෝඨාභය) රාජපක්ෂට බාර දෙන ලද පාස්කු කොමිසමේ වාර්තාව තවම අභිරහසකි. එහිදී දෙන ලද සාක්ෂි වාර්තාව ලබා දී ඇත්තේ නීතිපතිවරයට පමණකි. කාර්දිනල් රංජිත්ට ලබා දෙන ලද්දේ පිට 500කින් යුත් කොමිසමේ නිරීක්ෂන සහ නිර්දේශ අඩංඟු පළමු පර්ච්ජේදය පමණකි. එම පර්ච්ජේදය බරපතල හිඩැස් සහ ලාමක නිර්දේශ වලින් ගහණය.

රටක ජාතික ආරක්ෂාවේ කේන්ද්‍රය ජාතික බුද්ධි සේවයයි. අන් සියළුම ආරක්ෂ උපාංග ක්‍රියාත්මක වන්නේ බුද්ධි තොරතුරු මතය. සියලූ බුද්ධි තොරතුරු ගලාගෙන එන සහ විශ්ළේෂනය කැරෙන ස්ථානය ජාතික බුද්ධි අංශයයි. එය හරියට ජාතික ආරක්ෂාවේ මොළය වැන්න. එහි ප්‍රධානියා පැය විසි හතරම පුරා අවධානයෙන් සිටින ඕනෑම අවස්ථාවක ජනාධිපති, අගමැති, ආරක්ෂ ඇමැති සම්බන්ධ කර ගත හැකි සුවිශේෂී තනතුරකි.

පුහුල් හොරා කරෙන් දැනීම: සාක්ෂිදීම අවසානයේ නිලන්ත ජයවර්ධන ” මම කාවවත් රකිනවා නෙමේ ස්වාමිනි ” යැයි කීවේය. එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රතිචාර දැක්වුවේ, “අපි ඔබ කිසිවෙක් රකිනවා යැයි ප්‍රකාශ කළේ නැහැනේ” කියායි. (thecolomboexpress.com)

සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවෙහිදීත් පාස්කු ප්‍රහාරය අවස්ථාවෙහිදීත් එම නිලය හොබවන ලද්දේ පෙර කී නිලන්ත ජයවර්ධන විසිනි. දැන් ඔහු මධ්‍යම පලාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

පාස්කු ප්‍රහාරය පිළිබද බුද්ධි තොරතුරු කල් තබා ලැබුණේ ඔහුටය. එනයින්ම සිිරිසේනගේ ක්‍රමන්ත්‍රණයද ඔහු දැන සිටින්නට ඇත. පාස්කු ප්‍රහාරය මෙන්ම ඔක්තොම්බර් කුමන්ත්‍රණය පිළිබද ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් ගන්නා ලද සියලුම පියවර සහ කරන ලද කතා සටහන්ව තිබූ එක් උපාංගයක් වූයේ ඔහුගේ ජංගම දුර කතනයයි. එය ඔහුගේ පුද්ගලික ජංගම දුරකතනය වුවද ඔහු එය රාජකාරි කටයුතුවලට පාචිච්චි කළේය. එබැවින් එම දුරකතනය රාජ්‍ය බුද්ධි සේවයේ උපංගයක් බවට පත්ව තිබුණි.

මෙවැනි ඉහළම බුද්ධි අංශ නිලයක් දරන පොලිස් නිලධාරියකු සිය රාජකාරි තොරතුරු අඩංගු දුරකතනය අවශ්‍ය ඕනැම අවස්ථාවකදි පරීක්ෂනයක් සදහා ලබා දිය යුතු බව නොදැන සිටිය නොහැක. නමුත් නිලන්ත ජයවර්ධන සිය දුරකථනයේ වූ සියලු තොරතුරු පාස්කු පරීක්ෂනය කෙරීගෙන යන අතර තුර මකා දැම්මේ යළි සොයා ගැනීමට නොහැකි වන ලෙසය.

කොමිසමේ වාර්තාව මේ ගැන පුදුමාකර ලෙස නිහඬය.!

නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසමට සාක්ෂි දෙමින් කීවේ ප්‍රහාරය පිළිබඳව තමා ලද තොරතුරු ජනාධිපති සිරිසේනට දැනුම් නොදුන් බවයි. එයම වුව අපරාධමය නොසැළකිල්ල යටතේ චෝදනා ඉදිරිපත් කළ හැකි වරදකි. ඊටත් වඩා  ප්‍රහාරය සම්බන්ධ බොහෝ වැදගත් තොරතුරු අඩංඟු වූ රාජකාරි කටයුකු කළ සිය ජංගම දුර කථනයේ තොරතුරු මකා දැමීමද අපරාධයක සාක්ෂි වසං කිරීම හා සමාන වේ.

සිය දුරකථනයේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් සමාවට කරුණක් සේ නිලන්ත ජයවර්ධන සඳහන් කළේ කමා එම දුරකථනය සිය බිරිදට දුන් බවත් එබැවින් දත්ත මකා දැමූ බවත්ය. ඉහළ පෙළේ බුද්ධි නිලධාරියකු වශයෙන් ඔහු කළ යුතු වුයේ එම දත්ත මතා දැමිමට පෙර ඒවා වෙනත් බාහිර දත්ත ගබඩාවකට බා ගත කිරීමයි. (මෙවැනි ඉහළ වැටුප් සහිත නිලධාරියකු සිය බිරිඳට නව දුරකථනයක් වෙනුවට පාවිච්චි කළ දුරකථනයක් ලබා දෙන්නේ ද යන්න වෙනම ප්‍රශ්ණයකි)

පාස්කු කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් මෙසේ ඇසුවේය:

“රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ කොමිසම හමුවේ සාක්ෂි දුන්නා, ඔහු මේ ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධි තොරතුරු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දුන්නේ නැහැ කියලා. ඔබ එය පිළිගන්නවාද?”

ශානි අබේසේකර ඊට දුන් පිළිතුර ඉතා වැදගත්ය.

“ස්වාමිනි, මම දන්නේ නැහැ නිලන්ත ජයවර්ධන මේ තොරතුරු හරියටම දැනුම් දුන්නද නැද්ද කියලා. හැබැයි එහෙමයි කියලා ඔහු මේ තොරතුරු දැනුම් දුන්නේ නැහැයිම කියන එක පිළිගන්න බැහැ. මොකද මම පැහැදිලිව දන්නවා රාජ්‍ය ආරක්ෂාව, දේශපාලනය, මහජන උද්ඝෝෂණ වගේ ඕනෑම දෙයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරනවා. ලද මුල් තොරතුරමයි ජනාධිපතිට යන්නේ. රටේ සියළු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්‍ය බුද්ධි සේවය හරහා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැන සිටියා වෙන්නට බැහැ.”

ශානි අබේසේකර තවදුරටත් මෙසේ කීවේය:

ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂිදෙන්න එපා කියන්න ජනාධිපති අපිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ රැස්වීමකට කැදෙව්වා. එහිදී මාව (ප්‍රහාරය පිළිබඳව) දැනුවත් කළේ නැහැ කියන එක කිව්වා. හැබැයි කිසිම අවස්ථාවක ඇයි මට කිව්වේ නැත්තේ කියලා (ජනාධිපති සිරිසේන) නිලන්තගෙන් ඇහුවේ නැහැ.” (උපුටා ගැනීම: https://www.facebook.com/SriANetwork/posts/580129462901341/ වෙතිනි)

ජනාධිපති සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව දැක්වූ උනන්දුව එයින්ම පෙනේ.

දැන් පාර්ලිමේන්තු මංත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවට යමු.

දෙස් විදෙස්හි දෝංකාර දුන් තවත් මනුෂ්‍ය ඝාතනයකදී ද නිලන්ත ජයවර්ධන සාක්ෂි දුන්නේය. ඒ පාර්ලිමේන්තු මංත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයයි.

එවකට ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි. නමුත් පුදුමයකට නම් ඔහු සාක්ෂි දුන්නේ එම මිනීමැරුම ගැන නඩුව පවරන ලද නීතිපති දෙපාර්ථමේන්තුවට විරුද්ධව වීමය. ඔහු සාක්ෂි දුන්නේ සැකකාර මිනීමරුවන්ගේ විත්ති පාර්ශවය වෙනුවෙනි.

රවිරාජ් ඝාතන නඩුව මෙහෙයවන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය විසිනි. එහි ප්‍රධාන සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් මනම්පේරි නමැති පොලිස් නිලධාරියා මේ ඝාතනයට සක්‍රීයව දායක වූ අපරාධ සහායකයකු විය. නීතිපතිවරයා විසින් ඔහු හට ලබාදුන් කොන්දේසි සහිත සමාව මත ඔහු එම නඩුවේ පළමු සාක්කිකරු ලෙස නම් කර තිබුණි.

ප්‍රීති විරාජ් මනම්පේරි රවිරාජ් ඝාතකයා සමඟ යතුරු පැදිය පදවාගෙන ගිය පුද්ගලයා වුවත් වෙනත් ඇසින් දුටු සාක්කිකරුවන් නොමැති හෙයින් ඔහු හට කොන්දේසි සහන පොදු සමාව ලබාදීමට නීතිපතිවරයා තීරණය කර තිබුණි. එම නඩුව බෙහෝ සෙයින් රදා පැවැතියේ එම සාක්ෂිය මතය.

ප්‍රීති විරාජ් මනම්පේරි ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ රියැදුරකු ද විය.

නඩුවේ එක් චුදිතයෙක් මියගොස් තිබුණි. කරුණා පාර්ශ්වය නියෝජනය කළ චුදිතයන් දෙදෙනා සැඟව සිටියේය. ඉතිරි විත්තිකරුවන් තිදෙනා නාවික හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ අය විය.

නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබුණේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊට කලින් දැනුම් දී තිබුණි. එය එල්ටීටීඊය සමඟ යුද්ධය පිනිස කරුණා පාර්ශවයට ලබා දෙන ලද ගිනිඅවි දහසකින් එකක් බව අංකය අනුව සොයා ගන්නා ලදී.

ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය ද අත් අඩංගුවට ගන්නා ලදී.

කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් හා එක්ව මේ රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් කළ ඇති අපරාධය ඉතා බරපතළ බව නියෝජ්‍ය නීතිපතිවරයා නඩු විභාගයෙහිදී සඳහන් කළේය.

රවිරාජ් ඝාතනයේ චූදිතයින් නිදහස් වූයේ නිලන්ත ජයවර්ධක විසින් විත්තිය වෙනුවෙන් දෙන ලද සාක්ෂියද නිසාය.

රවිරාජ් ඝාතනය කරන ලද්දේ 2006 වසරේ වුවද එහි පරීක්ෂණ කටයුතු අවසන් වූයේ 2016 දීය. ඉතා සංකීර්ණ වූ පරීක්ෂණ ජාලයකින් පසු වසර දහයක් පුරාවට සිදුකළ පරීක්ෂණ සඳහා රහස් පොලිසිය වරෙක ජත්‍යන්තර පොලිසියේ ද සහාය ලබා ගෙන තිබුණි.

ඝාතකයා සිය ගිනි අවිය ගෙන ආ  බෑගයෙහි තිබූ ඉදිකටුවක ගෑවී තිබූ ලේ බිදුවක් සහ වෙඩි තැබූ බවට චෝදනා ලද බුද්ධි අංශ නොස්තාපල් සෙනවිරත්නගේ ලේ සාම්පලයක් ඩීඑන්ඒ පරීක්ෂන සඳහා එංගලන්තයට යවන ලද නමුත් ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක වන බැවින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සාක්ෂි විය හැකි එම ඩීඑන්ඒ පරීක්ෂන දත්ත ලංකාවට ලබා දීම එම ආයතනය ප්‍රතික්ෂේප කළේය.

මෙයට අමතරව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බවයි. මෙම මුදල ලබා දුන්නේ බුද්ධි අංශයේ වසන්ත නම් අයකු බවද ඔහු කීවේය.(මූලාශ්‍රය 2016.02.27 දිනමිණ වාර්තාව)

ගෝඨාභය රාජපක්ෂට ප්‍රථම වරට ඒවකට කරුණා අම්මාන්ගේ  දෙවැනියා වූ පිල්ලෙයාන් හදුන්වා    දෙන ලද්දේද ද ඩබ්ලිව්. වසන්ත නම් අයකු බව ‘ගෝටාගේ යුද්ධය” පොතෙහි සී.ඒ. චන්ද්‍රප්‍රේම සඳහන් කරයි.

මෙම වසන්තලා දෙදෙනොම එක් අයකු විය හැකිය.

නිලන්ත ජයවර්ධන විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙමින් නඩුවෙහි පළමු සහ වැදගත්ම සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් පිළිගත නොහැකි බොරුකාරයකු බව කීවේය. රවිරාජ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සහ පා.ම. සුමන්දිරන් තමන්ට විනාඩි 05ක් ප්‍රශ්ණ ඇසීමට දෙන්නේ නම් නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය බිදදමන බව ප්‍රකාශ කළමුත් අධිකරණය ඔහුට ඉඩ දුන්නේ නැත.

නිලන්ත ජයවර්ධනගේ මෙම සාක්ෂිය ගැන පාස්කු කොමිසමෙහි ශානි අබේසේකර සඳහන් කිරීමෙන් පසු නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය “ ඔබ එහිදී නිලන්ත ජයවර්ධන දුන් සාක්ෂිය ගැන දැනුවත්දැයි” විමසීය. ශානි අබේසේකර “නැත” යැයි පිළිතුරු දුන් විට ඇය කියා සිටියේ “එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ සිද්ධියකට අදාළව එදින නිලන්ත ජයවර්ධන මහතා එම සාක්ෂිය ලබා දුන් බවය”(මූලාශ්‍රය https://medialk.com/archives/3353)

ඇය එමගින් අඟවා සිටියේ එම සාක්ෂිය නීතිපති දෙපාර්ථමේන්තුවේ අනුදැනුම නොමැතිව නමුත් දෙන ලද්දේ ගොඨාභය රාජපක්ෂ වෙනුවෙන් බවයි!

මෙම නඩුවට පෙනී සිටි කාර්දිනල්වරයාගේ නීතිඥයා මේ අවස්ථාවෙහි ප්‍රශ්ණ කිරීමක් කර නැත. පිටු 174කින් සමන්විත සහ සෑම පිටුවකම ඔහු විසින් අත්සන යොදන ලද ශානි අබේසේකරගේ සාක්ෂියද ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රසිද්ධ කර නැත. එසේ නමුත් දැනුවත් අංශ සඳහන් කරන්නේ නිලන්ත ජයවර්ධන නීතිපති දෙපාර්ථමේන්තුවට විරුද්ධව විත්තිය වෙනුවෙන් සාක්ෂි දුන්නේ වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට බව එම නීතිඥවරිය යෝජනා කළ බවයි.

මේ වන විට විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි ආරක්ෂ අංශ නිලධාරීන් සිරගත නොකරන බවට ජනාධිපති සිරිසේනද ප්‍රකාශයක් කර තිබුණි. එම අවහ්‍යතා දෙකෙහිම ගැලපීමක් තිබේ.

ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ඔහුට දෝෂාරෝපණය නොකළේදැයි කොමිසම විමසූ අවස්ථාවේ නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ “ඔයා දැනගෙන සිටියේ නැද්ද ” යනුවෙන් පමණක් ජනාධිපතිවරයා තමාගෙන් විමසු බවය.! පුදුම නමුත් ඇත්තය.

අවසානයේදී රාත්‍රී මැදියම් රැය දක්වා විවාද කළ සිංහල කතා කරන ජූරි සභාව රවිරාජ් ඝාතන නඩුවෙහි චූදිතයින් නිදහස් කිරීමට තීරණය කළේය.

එම නඩු තීන්දුවත් සමඟ වසන්ත හරහා ගෝඨාභය රාජපක්ෂ කෝටි 05ක් කරුණා පාර්ශවයේ මිනීමරුවන්ට දුන් කතාවද යට ගියේය.

ඒ සඳහා නිලන්ත ජයවර්ධනද දායක විය.

මීනිමරුවන් තවමත් නිදැල්ලේය. ශ්‍රේෂඨාධිකරණය විසින් මරණ දඩුවම අනුමත කරන ලද මිනීමරුවන් පවා මහජන මුදලින් වැටුප් ලබන සභාපතිකම් දරණ රාජපක්ෂ ආණ්ඩුවෙහි රවිරාජ්ගේ මිනීමරුවන්ද ඉහළ තනතුරු දරන්නේ නම් අප පුදුම විය යුතු නැත.

පාස්කු ප්‍රහාරයේ සෑබෑ අපරාධකරුවන් අතර සිටි අයෙක් යුද හමුදාව “ අපේ ප්‍රෙජෙක්ට්” එකක් යැයි කියා රැගෙන ගිය බවද ජනමාධ්‍ය වාර්තා කළේය. එම පුද්ගලයා සොයා ගන්නා ලද ජේෂ්ඨ රහස් පරීක්ෂකවරයා අද පොලිස් සේවයේවත් නැත.

එසේ නමුත් එම රහස් පරීක්ෂකයා විසින්ම සොයා ගත්  “ සොනික් සොනික්” හෝ “ටොනික් ටොනික්” යනු කවරෙක්දැයි දැන් ප්‍රථම වරට අනාවරණය වී කිබේ. ඒ් ජේෂ්ඨ ජනමාධ්‍යවේදියකු වන සනත් බාලසූරිය විසින් සමාජ මාධ්‍ය හරහා කරන ලද හෙළිදරව්වකිනි.

ඒ මෙසේය: “ප්‍රහාරයෙන් පසු පොඩි සහරාන් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු හා මේ අබිරහස් ‘සොනික් සොනික්’ අතර සබඳතාව හෙළිවේ. පොඩි සහරාන්ගේ දුරකතන දත්තවලින් (අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව) සොයාගන්නා අන්දමට ‘සොනික් සොනික්’ගේ දුරකථනය රාජ්‍ය බුද්ධි සේවාවට අයත් එකක් වන අතර, එය පාවිච්චි කරමින් සිට ඇත්තේ මේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යි.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ද SI බණ්ඩාර සාක්කි දීම සඳහා කැඳවන ලද නමුත් එය රහසිගත සාක්කි විමසීමක් විය. ඔහු ජනාධිපති කොමිසමට ද පවසා තිබෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කී අන්දමට ම මෙය ”ජාතික ආරක්ෂාවට තදින් බලපාන සංවේදී තොරතුරු සමග බැඳීඇති බැවින් වැඩි යමක් හෙළිකළ නොහැකිය’’ යන්නයි‍.” (මූලාශ්‍රය: https://www.facebook.com/sanath.balasooriya.7)

මෙම තොරතුර නිවැරදි බව අදාළ රහස් පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

එස් අයි බණ්ඩාර අතිශය වැදගත් රාජ්‍ය බුද්ධි තොරතුරු දන්නා බැවින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට දිය නොමැකි යැයි නිලන්ත ජයවර්ධන අපරාධ පරික්ෂන ‌දෙපාර්ථමෙන්තුවට දන්වා තිබේ. පොඩි සහරාන්ද පාස්තු කොමිසම හමුවට කැදවූයේ  නැත.

සනත් බාලසූරිය සිය හෙළිදරව්ව සමඟ නිගමනයක්ද ඉදිරිපත් කළේය. එනම් “පාස්කු ප්‍රහාරය යනු රටේ දේශපාලන බලය මාරුකිරීමේ අරමුණ ඇතිව, රාජ්‍ය ඔත්තු සේවාවන් ද යොදාගනිමින් සිදුකළ කුමන්ත්රණකාරී ප්‍රහාරයක්ය යන්න අභියෝග කළ නොහැකි ලෙස තහවුරු වන සාක්ෂි හා සාධක රැසක් සමස්ත සිදුවීම තුළත්, එහි ඉතාම සැකසහිත විමර්ශන ක්රියාවලිය හා ජනාධිපති කොමිසන් ක්‍රියාවලිය තුළත් සැඟවී ඇතිබව පැහැදිළිව පෙනෙන්නට තිබේ.” යනුය

පාස්කු ප්‍රහාරය, සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ අරමුණ සාර්ථක කළේය. එනම් රාජපක්ෂවරුන්ට යළි මෙරට බලය ලබා දීමයි. ඒය එක් අතකට සිරිසේනගේ කුමන්ත්‍රණයේ දෙවැනි අදියරයි.

රාජපක්ෂවරු සිරිසේනට හෝ නිලන්ත ජයවර්ධනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත නොතබනු ඇත්තේ ඒ නිසාය. ළුත්මන් ශ්‍රී ලංකාවෙහි නීතියට උඩින් ඇත්තේ දේශපාලනයයි.

මේ අතර 2019 පාස්කු ප්‍රහාරයට අදාළව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුවී තිබෙන බව, පසුගිය මැයි මාසයේ විශ්‍රාම ගිය හිටපු නීතිපති දප්පුල ද ලිවේරා  පසුගිය මැයි 17වැනිදා සිරස රෑපවාහිනියට  කිවේය.  රවිරාජ් ඝාතන නඩුව අවස්ථාවෙහි නීතිපති දෙපාර්ථමේන්තුවෙහි මනුෂය ඝාතන සම්බන්ධ අංශයේ ප්‍රධානියා වූයේ දප්පුල ලිවේරාය. එම නඩුව සහ නිලන්ත ජයවර්ධනගේ  භූමිකාව ගැන ඔහු ‌හොදින් දනී. හිටපු නීතිපතිවරුන් කෙලින්ම අගවිනිසුරු බවට පත් කැරෙන රටක ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් හෝ ලැබුණේ නැත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත රවිරාජ් ඝාතනයේ ඇත්ත මෙන්ම කිසි දිනෙක හෙළිදරව් නොවීමට ඉඩ තිබේ. එම තත්වය වෙනස්වනු ඇත්තේ දේශපාලන ආධිපත්‍ය වෙනුවට නීතියේ ආධිපත්‍ය මෙරට තහවුරු වූ දිනක පමනි.

Archive

Latest news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...

Related news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...