Thursday, June 24, 2021

නිවසේදී කොවිඩ් රෝගියෙකු රැකබලා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම්

මේ දිනවල ලංකාවේ කොවිඩ් සඳහා වෙන්කෙරුනු රෝහල් වල ධාරිතාවය ඉක්මවා රෝගීන් වාර්තා වන නිසා ඇතැම් රෝගීන් හට රෝහලක් සොයා ගන්නා තෙක් නිවසේම පසුවන ලෙසට උපදෙස් ලැබී තිබෙනවා. මෙය අප රටේ වගේම බොහෝ රටවල් වල දක්නට ලැබෙන තත්ත්වයක්.

එවැනි මොහොතක කොවිඩ් රෝගියෙකු රෝහලට ඇතුලු කරගන්නා තෙක් නිවසේදී රැක බලාගන්නා ආකාරය කිහිපදෙනෙකුම විමසා සිටිය නිසා හැමෝවම දැනුවත් කරන්න මේ ලිපිය ලියනවා.

පවුලේ කෙනෙකුට කොවිඩ් හැදිලා ගෙදර තියාගන්න කිව්වම ඔබ එකපාරටම ගොඩක් කලබල වෙන්න පුලුවන්. බය වෙන්න පුලුවන්. ඒත් පුලුවන් තරම් කලබල නොවී ඉන්න බලන්න. අපි හැකි ඉක්මනින්ම රෝගීන්ව රෝහලකට ඇතුලත් කරන්න බලනවා. මේ වෙලාවේ කාටවත්බැනලා දොස් කියලා වැඩක් නැහැ, ඒකෙනුත් වෙන්නේ තමන්ගේ ආතතිය වැඩි වෙන එක විතරමයි. ඒ නිසා ඔබ කලබල නොවී, සිහියෙන් සහ හැකි උපරිමයෙන් ඔබත් ආරක්ශා වෙලා රෝගියාවත් රැක බලාගන්න පහත උපදෙස් ඔබට උපකාරී වේවි.

1. පලමුවෙන්ම සිදුකල යුත්තේ රෝගියාව වෙනම කාමරයක තැබීමයි. එහෙම වෙන් කරන්න කාමර නැත්තං ගෙදර යම් නිශ්චිත ස්ථානයක් රෝගියා වෙනුවෙන් වෙන් කරන්න ඕනි. සාරි/සරම්/ ඇද ඇතිරිලි වගේ දේවල් පාවිච්චි කරලා මේ ස්ථානය වෙන් කරගන්න ඔබට පුලුවන්.

2. මේ වෙන් කරපු කාමරයට/ ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕනි. ඒ නිසා ජනේලයක් අරින්න පුලුවන් තැනක් එයාට වෙන්කරන එක වැදගත්. හැමතිස්සෙම මේ ජනෙල් ඇරලා කාමරය ඇතුලට හොඳට හුළං එන විදිහට සකස් කරන්න පුලුවන් නං ගොඩක් හොඳයි.

3. එතකොට මේ වෙන්කරපු කාමරයට හෝ ස්ථානයට යන්න පුලුවන් සහ රෝගියා සමඟ ගනුදෙනු කරන්න නිවසේ එක් සාමාජිකයෙකු තෝරගන්න. පවුලේ ඉන්න වැඩිහිටි, නිරෝගී (ඒ කියන්නේ නිදන්ගත රෝග නැති) කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් තමයි මේකට වඩාත්ම සුදුසු. ඒත් පවුලේ එහෙම කෙනෙක් නැත්තං ඉන්න අයගෙන් හොඳටම ඉන්න කෙනා තෝරාගන්න. එතකොට මේ පුද්ගලයා විතරයි රෝගියාට සාත්තු සප්පායම් කරන්නේ. ඔහුව/ඇයව ආශ්‍රය කරන්නේ.

4. ඒ වගේම රෝගියා කොයිතරම් සෞඛ්‍ය සම්පන්නව, කිසිම රෝග ලක්ෂණයක් නැතුව හිටියත් ඔහුට/ඇයට ගෙදර පුරා ඇවිදින්න තහනම්. බඩගිනි උන ගමන් කුස්සියට දුවන්නයි, ටීවී එකේ ආස වැඩසටහන් යනකොට සාලෙට දුවන්නයි බැහැ! එයා තමන්ට වෙන් කරපු කාමරේ/ ස්ථානයේ ඉන්නම ඕනි. ගෙදර ඇතුලේ තැන් තැන් අල්ලන එක කරන්න බැහැ. හැම වෙලාවෙම පවුලේ අනිත් අයගෙන් අවම වශයෙන් මීටරයක දුරක් තියාගන්න ඕනි. අමාරුයි තමයි. ඒත් පවුලේ අනිත් අයව බේරගන්න ඕනි නම් මේක කරන්නම වෙනවා.

5. එතකොට මේ රෝගියාට කෑම බීම ඇතුලු වෙනත් අවශ්‍ය දේවල් අරගෙන යන එක, එයාගේ සෞඛ්‍ය තත්ත්වය බලන එක (ඒ කොහොමද කියලා පහල තියනවා) අර අපි තෝරාගත් පවුලේ සාමාජිකයා විතරයි කරන්න ඕනි. රෝගියා හම්බවෙන්න යන හැම වෙලාවකම රෝගියා මෙන්ම සාත්තු කරන්නාද මුව ආවරණ නිසි පරිදි පැළඳ සිටීම අත්‍යාවශ්‍යයි!

6. රෝගී සාත්තුවෙන් පසුව එලියට ගිය වහාම කලින් කියලා දීලා තියනවා වගේ සෞඛ්‍යාරක්ෂිතව මුව ආවරණය ඉස්සරහින් අල්ලන්නේ නැතුව නූල් දෙකෙන් අල්ලලා ගලවලා වෙනම කසල බඳුනකට දාන්න. ඊට පස්සේ වෙන කිසිම දෙයක් අල්ලන්න කලින් අත් දෙක හොඳින් සබන් දාලා තත්පර විස්සක් කියලා දීලා තියන විදිහට සෝදගන්න. වෙන වැඩ කරන්නේ ඊට පස්සේ.

7. රෝගියාගේ භාවිතයට වෙනම පිඟන්, කෝප්ප, තුවා, ඇඳ ඇතිරිලි වෙන් කරන්න. ඒවා පාවිච්චි කරන හැම වාරයකදීම හොඳින් සබන් දාලා සෝදන්න. ඒ වගේම රෝගියාගේ කාමරය, නාන කාමරය වගේ තැන් ඔහු පාවිච්චි කරාට පස්සේ විෂබීජනාශකයක් දාලා හොඳින් සෝදන්න. නාන කාමරය රෝගියා මෙන්ම නිවසේ අනිත් අයත් පොදුවේ භාවිතා කරන වෙලාවක මේක විශේෂයෙන්ම වැදගත්. ඒ වගේ වෙලාවක රෝගියාට කලින් ගෙදර අය නාන කාමරය පාවිච්චි කරලා, අන්තිමට රෝගියා පාවිච්චි කරාට පස්සේ වහාම විෂබීජනාශකයක් දාලා සෝදන්න.

8. රෝගියා වගේම නිවසේ අනිත් අය භාවිතා කරන මුව ආවරණ තැන තැන දමන්නේ නැතුව පරිස්සමින් කසල බඳුනකට එකතු කරලා පසුව පිලිස්සීම හෝ ගැඹුරට හෑරූ වලකට දමන්න පුලුවන්. රෝගියා භාවිතා කර ඉවතලන අනෙකුත් දේවල් ද එහෙමයි.

9. රෝගියාව රෝහලකට ඇතුලු කරන තෙක් ඔහුගේ/ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබට නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න වෙනවා. මේකට පොතක් තියාගත්තා නම් අපි හැමෝටම ලේසියි. හැමදාම උදේට දිනේ දාලා රෝගියාගේ උණ පරීක්ෂා කරලා පොතේ ලියන්න. උණ බලන්නේ අතින් නෙමෙයි හොඳේ ?! ඊට අමතරව රෝගියා හට මොනයම් හෝ රෝග ලක්ෂණයක් / අමාරුවක් තියනවා නම් ඒකත් සටහන් කරගන්න අදාල දිනයට යටින්. ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ලක්ෂණ ලෙස දක්වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, ආයාසයකින් හුස්ම ගැනීම, පපුවේ වේදනාව, ක්ලාන්ත ගතිය, හිසේ කැරකිල්ල සහ විජලන ලක්ෂණයන් ය. රෝගියා දරුවෙකු නම්, ආහාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ශේප කිරීම, වෙනදා දක්වන හැසිරීමට වඩා වෙනස් වීම, confused (සිංහල වචනයක් මතක් වුනේ නැහැ) වී සිටීම, විජලනය ලක්ෂණ ගැන ඔබ උනන්දු විය යුතුයි. මේ කිසියම් හෝ රෝග ලක්ෂණයක් හරි නැත්තං වෙනත් ආකාරයක අමාරුවක් හරි රෝගියාට තියනවානම්, වහාම ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට හෝ වෛද්‍යවරයෙකුට දැනුම් දෙන්න. ඉන්පසු ඔවුන් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න.

10. මෙම කාලය ඇතුලත රෝගියා හට හැකි තරම් පෝෂ්‍යදායක ආහාර, වතුර සහ නින්ද අත්‍යාවශ්‍යයි. එය ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමට උදව් කිරීම හරහා රෝගයට එරෙහිව සටන් කරන්න උදව් කරනවා. ඒ වගේම වැදගත් දෙයක් තමයි රෝගියා මොනයම් හෝ ලෙඩකට දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්නා කෙනෙක් නම්, ඒ බෙහෙත් නොකඩවා රෝගියාට ලබාදීම. විශේෂයෙන්ම අධික රුධිර පීඩනය (ප්‍රෙශර් එක), දියවැඩියාව (සීනි) සහ හාට් අමාරුකම් වලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් නියමිත පරිදි රෝගියාට ලබා දෙන්න. ඔබට හැකිනම් ඒ සායන හෝ වෛද්‍යවරුන් අමතා රෝගියාගේ තත්ත්වය විස්තර කරලා බෙහෙත් දෙන විදිහ අහගන්න.

11. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕනි මේ කාල සීමාව තුල නිවසට පිටින් පුද්ගලයන් ඇතුලු වීම සපුරා තහනම්! නිවසේ අයත් පලමුපෙළ ආශ්‍රිතයන් වෙන නිසා රැකියා ස්ථාන වලට ඒ බව දැනුම් දීලා නිවසේම රැඳෙන්න ඕනි.


මේ හැමෝටම අමාරු කාලයක්. නමුත් පරිස්සම් උනොත් ගෙවාගන්න පුලුවන් කාලයක්. ඒ නිසා හොඳටම පරිස්සම් වෙන්න.
උපුටා ගැනිම-ප්‍රකමිපන පිටුවෙනි/ Nayana Sanjeewa FB

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...