Sunday, April 11, 2021

නිකොලායි වැසිලීවිච් ගොගොල්: පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

නිකොලායි වැසිලීවිච් ගොගොල් රුසියානු යථාර්ථවාද සාහිත්‍යයේ ප්‍රමුඛ චරිතයක් විය. එසේම ඔහු නූතන රුසියානු කෙටිකතාවේ පුරෝගාමියෙකු ද විය. ගොගොල් රුසියානු සාහිත්‍යය තුළ යථාර්ථවාදයේ අඩිතාලම දැමීය. එම නිසා සාහිත්‍ය විචාරක බෙලින්ස්කි ගොගොල්ව පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා ලෙස නම් කලේය. සෝවියට් සංගමය තුළ ඔහු රුසියානු යථාර්ථවාදයේ පියා ලෙස සලකනු ලැබීය. බටහිර රටවල ඔහු රුසියානු චාල්ස් ඩිකන්ස් ලෙස සැලකේ.

අද්භූත වාමනයා 

නිකොලායි ගොගොල්, උපත ලැබුවේ 1809 වසරේ අප්‍රේල් 01 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා පළාතේ සොරොවින්ස්කි ග්‍රාමයේදීය. ඔහුගේ පියා යුක්‍රේන ජාතික වංශාධිපතියෙකු වූ අතර ඔහුගේ මව දැඩි ආගමික භක්තියෙන් යුතු කාන්තාවක් වූවාය. යුක්රේනය එවකට රුසියානු අධිරාජ්‍යයේ කොටසක් විය. ඔහුට යූක්‍රේන සම්භවයක් තිබූ අතර කුඩා කාලයේ සිටම ඔහු යූක්‍රේන මෙන්ම රුසියානු භාෂාවද කතා කළේය. ඔහු යූක්‍රේන ගම්බද ප්‍රදේශවල හැදී වැඩුණේ එහි කොසැක් සම්ප්‍රදායන් සහ ජනප්‍රවාද ඇසුරු කරමිනි. ගෘහ අධ්‍යාපනය ලැබීමෙන් පසු ගොගොල් 1820 දී නිෂින්හි පාසලකට ඇතුලත් විය. ගොගොල්ව පාසැල් අවධියේ සිටම ඔහුගේ සම වයසේ මිතුරන් විසින් අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙස විස්තර කොට “අද්භූත වාමනයෙකු ” ලෙස සෙසු සිසුන් විසින් ඔහුව නම් කරන ලදී. ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සතුටුදායක අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟා ගැනීමට හෝ පවත්වා ගැනීමට ගොගොල්ට නොහැකි විය. ඔහුගේ පෞද්ගලික පෙනුම ගැන ඍණාත්මක ස්වභාවයක් ඔහු තුල තිබූ අතර එය ඔහුට බෙහෙවින්ම බලපෑවේය.

පාසැල් අධ්‍යාපනයෙන් පසු 1828 දී ගොගොල් ශාන්ත පීටර්ස්බර්ග් වෙත පැමිණියේය. වයස අවුරුදු 20 දී ඔහු යුක්රේනයේ සිට ශාන්ත පීටර්ස්බර්ග් වෙත පදිංචියට යන විට ගොගොල් තම මව්බිම සහ එහි ජනප්‍රවාද ඔහු සමඟ රැගෙන ගියේය. පුෂ්කින්, ගොගොල්ගේ ප්‍රබලම සාහිත්‍ය ආශ්වාදයක් විය.

ගොගොල් තරුණ වියේ සිටම සිහින මැව්වේ රාජ්‍ය සේවාවේ ඉහළට යාමටය. ඔහු ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගියේ නීති විද්‍යාව සඳහා කැපවීමේ බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත්, නිලධාරිවාදී රාජ්‍යයේ වාතාවරණය නිසා ඔහුගේ අභිප්‍රාය අත්හැර දැමීමට ඔහුට සිදුවිය. ගොගොල් කිහිප වතාවක්ම රැකියා වෙනස් කළේය. ඔහු ඉතිහාසය ඉගැන්වීමට උත්සාහ කළ නමුත් ක්‍රමයෙන් සාහිත්‍ය ක්‍රියාකාරකම් ඔහුගේ අනෙකුත් සියලු වෘත්තීන්ගෙන් අභිබවා පෙරට ආවේය. ගොගොල් ඔහුගේ ජීවිතයේ අවුරුදු 43 න් සාන්ත පීටර්ස්බර්ග් හි ගත කළේ වසර 8 ක් පමණි (1828 – 1936). කෙසේ වෙතත්, “නගරයේ විකේන්ද්‍රීයභාවය සැබවින්ම වටහා ගැනීමට සහ ඉදිරිපත් කිරීමට” ඔහු සමත් විය. ඔහුගේ බොහෝ කෘති පුරාම නගරයේ ප්‍රතිරූපය දැකිය හැකිය, ඔහුගේ බොහෝ චරිත සාන්ත පීටර්ස්බර්ග්වාසීන් වෙති.

ඇලෙක්සැන්ඩර් පුෂ්කින්

1831 දී ගොගොල් සිය යුක්‍රේනියානු කථා වල පළමු වෙළුම (ඩිකන්කා අසල ගොවිපලක සන්ධ්‍යාව) එළිදැක්වූ අතර එය ක්ෂණිකව සාර්ථක විය. මෙම එකතුවෙහි ඇති කථා යුක්රේන ජන ජීවිතය හා විකාර සහ අද්භූත තොරතුරු වලින් යථාර්ථවාදී තොරතුරු සම්මිශ්‍රණයකි. මෙම කථා වලදී, ගොගොල් කොසැක් ගොවි ජනතාවගේ ලෝකය නිරූපණය කළේ ස්වභාවධර්මයේ හා මනං කල්පිතයේ ආකර්‍ෂණීය මිශ්‍රණයක් මගිනි. යුක්‍රේන ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ වීරෝදාර, මිථ්‍යා කථා. යුක්රේන ජනප්‍රවාද ඔහු ඩිකන්කා කතා තුල අන්තර් ගත කලේය. ගොගොල් හට යුක්‍රේනය කෙරෙහි ඇති ඇල්ම සහ බැඳීම මෙම කතා වලින් හෙළිවේ.

එවකට සිටි ප්‍රකට සාහිත්‍යකරුවන් වන ඇලෙක්සැන්ඩර් පුෂ්කින් සහ වාසිලි ෂුකොව්ස්කි හමුවීම ගොගොල් ගේ ලේඛක ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් විය. කෙටිකතා සඳහා ආභාෂය ලබා ගැනීමට යුක්‍රේනියානු ජනප්‍රවාද දෙස බලන ලෙස පුෂ්කින් ගොගොල්ට උපදෙස් දුන්නේය.

මිනිස් දුක් වේදනා හා ඛේදවාචක

ගොගොල් සමාජයේ පහළ පංතියේ ජීවිත විස්තර කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ඔහු උපහාසාත්මක සමාජ විචාරකයෙකු විය. ගොගොල් යථාර්ථවාදය, මනංකල්පිතය, හාස්‍යය සහ ඛේදවාචකය ඔහුගේ කෘතිවලට ඒකාබද්ධ කලේය. ගොගොල් මිනිස් ස්වභාවයේ විෂමතා පෙන්වන හාස්‍යජනක කථා ගණනාවක් ලිවීය. ඔහුගේ හාස්‍යට යටින් දුක නිබඳවම සටහන් වී තිබේ. ගොගොල්ගේ ලේඛනවල මිනිස් දුක් වේදනා හා ඛේදවාචකයන් තිබේ. සමහර විට ඔහු මිනිස් සංහතියේ අව්‍යාජ ස්වභාවය පෙන්නුම් කළේය.

ඔහුගේ නවකතාවන් වන මියොර්තවී දුෂි -මළ මිනිස්සු (1842) සහ ඔහුගේ කෙටිකතාව වන “ෂිනෙල් – හිම කබාය (1842) 19 වන සියවසේ රුසියානු යථාර්ථවාදයේ පදනම් ලෙස සැලකේ. හිම කබාය ගොගොල්ගේ සාහිත්‍ය බුද්ධිය සංකේතවත් කරයි. වසර ගණනාවකට පසු, ෆියෝඩර් දොස්තයෙව්ස්කි, සියලු රුසියානු යථාර්ථවාදීන් පැමිණියේ “ගොගොල්ගේ හිම කබාය තුලින් බව කීවේය.

සියලු රුසියානු යථාර්ථවාදීන් පැමිණියේ “ගොගොල්ගේ හිම කබාය තුලිිනි

හිම කබාය මගින් ගොගොල් 19 වන සියවසේ මැද භාගයේ අතිශය සමාජීය වශයෙන් ස්ථරීකරණය වූ අධිරාජ්‍ය රුසියාවේ දුප්පත් ලිපිකරුවන් ගේ ජීවිත ඉතා නිවැරදිව නිරූපණය කරයි. දුප්පත් නිලධාරීන්ගේ දුෂ්කර ජීවිතය ගැන ඔහු දැන සිටියේය. එහි “කුඩා මිනිසා” පිළිබඳ ගැටළුව තියුණු ලෙස මතු වේ. එම සමාජයේ අවනීතිය කුඩා මිනිසුන්ගේ ජීවිත, ඉරණම පාලනය කළේය. බෙලින්ස්කි මෙම කෘතිය “ගොගොල්ගේ ගැඹුරුතම නිර්මාණයක්” ලෙස සැලකීය. වියලි හාස්‍යය සමග මෙම කෙටි කතාව හරහා ගෝගල් උදාසීන විශ්වයක මානව වර්ගයාගේ අධ්‍යාත්මික පාළුව පෙන්නුම් කරයි. හිම කබාය තුල ගොගොල්ගේ යථාර්ථවාදය හා උපහාසාත්මක මිශ්‍රණය තියුණුය.

ශාන්ත පීටර්ස්බර්ග්හි “එක්තරා දෙපාර්තමේන්තුවක” ලිපිකරුවෙකු වන වන අකාකි අකාකිවිච් බෂ්මාච්කින් සිතාගත නොහැකි තරම් දුප්පත්කමට ගොදුරු වූ අයෙකු වන අතර ඔහුට ජීවතුන් අතර සිටීමට තරම් වත්කමක් නැත. අකාකි යනු කොට, තට්ටය සහිත මැදි වයෙසේ මිනිසෙකි, ඔහුගේ උසස් නිලධාරීන් විසින් ඔහුට ලබා දී ඇති විවිධාකාර සුළු ලිපි ලේඛන පිටපත් කිරීමේ වෙහෙසකර හා හුදකලා රැකියාව කරමින් ඔහු තනිව ජීවත් වෙයි. ඔහු දුර්වල හා අනාරක්‍ෂිත බැවින් ඔහුගේ සගයන් විසින් ඔහුට සරදම් කරති. ඔහුගේ හිම කබාය පරණ සහ ඉරි ඇත. මේ නිසා ඔහු අසීරුවෙන් මුදල් එකතු කොට අළුත් හිම කබායක් ගනියි. අකාකි අකාකිවිච් තම අළුත් හිම කබාය දෙස බලන්නේ ආගමික පුද්ගලයෙකු දෙවියන් දෙස බලන ආකාරයෙනි. අළුත් හිම කබාය නිසා මිනිසුන් ඔහුට ගරුත්වයෙන් යුතුව සලකති. එහෙත් අකාකි අකාකිවිච් ගේ අළුත් හිම කබාය සොරකම් කිරීම නිසා ඔහු දුකට මෙන්ම වික්‍ෂිප්ත භාවයට පත් වෙයි. ඉන් ඔහුගේ පෞරුෂය බිඳී යයි. ඔහු පොලිසියට ගියද ඔහුට සහනයක් නොලැබේ. අකාකිවිච් උණ රෝගයට ගොදුරු වී ඔහු තුල මායාවන් ඇති වීමට පටන් ගත්තේය. මෙම අසනීප තත්ත්වයත් සමඟ අකාකි අකාකිවිච් ප්‍රචණ්ඩකාරී වූ අතර “ඉතාම භයානක භාෂාව උච්චාරණය කළේය. අවසානයේදී අකාකි අකාකිවිච් අසනීපව මිය යයි. අකාකි අකාකිවිච්ට ජීවය ගෙන ආ කබාය ඔහුව මරා දැමුවේය. මිය ගිය පසු ඔහුගේ අවතාරය නගරයේ හොල්මන් කරයි. අස්වාභාවික හේතූන් නිසා මියගිය අකාකි අකාකිවිච්, මළ සිරුරක් ලෙස ආපසු පැමිණියේ ශාන්ත වීදිවල ඇවිද ගිය මිනිසුන්ගේ කබා සොරකම් කිරීමට ය. ජීවත් වූ නොවැදගත් අකාකි අකාකිවිච්ට වඩා මිය ගිය අකාකි අකාකිවිච් සුවිශේෂ චරිතයක් බවට පත් වෙයි.

විකට හා බිහිසුණුය

ගොගොල්ගේ කතාව විකට හා බිහිසුණුය. එය සමාජ උපහාසයක්, සදාචාරාත්මක ප්‍රබන්ධයක් සහ මනෝ විද්‍යාත්මක අධ්‍යයනයකි. ස්ලාවික් ජන විශ්වාසයන්ට කේන්ද්‍රීය වූයේ “අපවිත්‍ර ආත්මයන්” සහ යක්ෂයා ය. මෙම ජනප්‍රවාද ගොගොල් හිම කබාය කතාවේදී ඉස්මතු කලේය. එ සමයේදී මිනිසුන් අපිරිසිදු ආත්මයන්, පුද්ගලයෙකුගේ ආත්මය අත්පත් කර ගැනීමේ හැකියාව ගැන බිය වූහ.

අකාකි අකාකිවිච් කිසිවෙකු හෝ කිසිවක් කෙරෙහි චිත්තවේගයක් නොපෙන්වයි. ඒ වෙනුවට, ඔහුගේ ජීවිතය ඔහුගේ අනවශ්‍ය වැඩ වටා පරිභ්‍රමණ වෙයි. දුප්පත් අකාකි අකාකිවිච්ගේ ජීවිතය කම්මැලි සහ වර්ණ රහිත ය. ඔහුගේ ජීවිතය කිසිදු හෝඩුවාවක් නොමැතිව ගෙවී ගිය අතර එය කිසිදු වටිනාකමක් නියෝජනය කළේ නැත. අකාකි අකාකිවිච්ගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම අළුත් හිම කබායක් මිලදී ගැනීමය. එහෙත් අකාකි අකාකිවිච්ගේ සතුට වැඩි කල් පැවතුනේ නැත. ඔහුගේ අළුත් හිම කබාය රාත්‍රියකදී සොරකම් කරන ලදි. කබාය අහිමි වීමත් සමගම අකාකි අකාකිවිච්ට ජීවිතයේ එකම ප්‍රීතිය අහිමි වේ. ඔහුගේ ජීවිතය නැවතත් දුක්ඛිත හා තනිකමක් බවට පත්වේ. කබාය අහිමි වීමෙන් සහ වගකිව යුත්තන් ගේ උපකාර අහිමි වීමෙන් ශෝකයෙන් පරිපීඩිතව ඔහු මිය යයි. අකාකි අකාකිවිච් යනු නිලධාරිවාදී සමාජයක බලහත්කාරයෙන් යටපත් වූ දුප්පත්, මොළොක් ආත්මයයි.

“මළ මිනිස්සු” රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් පමණක් නොව ගැඹුරු කාලානුරූපී සමාජ උපහාසයක් ද වේ.

ඩෙඩ් සෝල්ස් නොහොත් මළ මිනිස්සු ලිවීමට ගොගොල් වසර 6 ක් පමණ ගත කළ අතර බොහෝ ලිවීම් විදේශයන්හි කළේය. ඔහු වාරණයන් සමඟ දුෂ්කරතා අත්විඳින නමුත් පොත අවසාන වශයෙන් 1842 මැයි 21 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කෘතිය විශ්මය ජනක සම්භවයක් ඇති අතර රුසියාව ගැන සංචාරය කරන චිචිකොව් නම් වූ මිනිසෙකු ගැන සඳහන් කරයි. චිචිකොව්ගේ ගමන රුසියානු යථාර්ථයේ විකට නිරයට බැස යාමකි. චිචිකොව් සිය ගමනේදී මුණගැසෙන ආකාරයේ මානව වර්ගයාගේ සාමාන්‍ය හා සාමාන්‍ය අසාර්ථකත්වයන් අන්තර්ගත වේ. සාහිත්‍ය විචාරක බෙලින්ස්කි මළ මිනිස්සු නවකතාව හැඳින්වූයේ “ගැඹුරු බුද්ධිමය, සමාජීය හා ඓතිහාසික කෘතියක්” ලෙසිනි. ඩෙඩ් සෝල්ස් රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක් පමණක් නොව ගැඹුරු කාලානුරූපී සමාජ උපහාසයක් ද වේ.
මහා රුසියානු නවකතාවලින් පළමුවැන්න සහ ලෝක සාහිත්‍යයේ අවිවාදිත කලා කෘතිවලින් එකක් වන ඩෙඩ් සෝල්ස් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ ගෞරවය සිරිල් සී පෙරේරා මහතාට හිමි වෙයි.

මෙම විකට නවකතාව වැඩවසම් රුසියාව පිළිබිඹු කරයි. නවකතාවේ වීරයා වන පවෙල් ඉවානොවිච් චිචිකොව් වංචාකාරයෙකි, ඔහුට ඉක්මනින් ධනවත් වීමට අවශ්‍යය. ඔහුගේ අදහස මිය ගිය ප්‍රවේණි දාසයන් රජයට උකස් තබා මුදල් ඉපයීමටය. මේ සඳහා ඔහු මිය ගිය ප්‍රවේණි දාසයන් සොයමින් රුසියාව පුරා යයි. ආණ්ඩුකාරවරයාගේ පිළිගැනීමේ උත්සවයේදී ඔහු බොහෝ ඉඩම් හිමියන් සමඟ පෞද්ගලිකව දැන හඳුනා ගනී. ඉඩම් හිමියන් වන සොබාකෙවිච් සහ මැනිලොව් ඔහුට ආරාධනා කරති. චිකොව් ගුබර්නියාවේ අගනුවර අවට ජීවත් වන ඉඩම් හිමියන්ගේ වතුවලට යන්නේ ඔවුන් ගේ ප්‍රවේණි දාසයන් මිළට ගැනීමටය

එකල මිනිසෙකුගේ ධනවත්කම හා සමාජ ස්ථාවරය බොහෝ විට විනිශ්චය කරනු ලැබුවේ ඔහු සතුව සිටි ප්‍රවේණි දාසයන් ගේ සංඛ්‍යාව මතය. ඉඩම් හිමියෙකු බවට පත්වීම සඳහා ඔහුට ප්‍රවේණි දාසයන් අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඔහුට මුදල් නොමැත. තමා ධනවත් යැයි මිත්‍යාව නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍යය. මේ නිසා ඔහු කරන්නේ මිය ගිය ප්‍රවේණි දාසයන් සුළු මුදලකට මිලදී ගැනීමයි. කෙසේ වෙතත්, ඉඩම් හිමියන්ගේ අඛණ්ඩ කෑදරකම, සැකය සහ පොදු අවිශ්වාසය හේතුවෙන් මිය ගිය ප්‍රවේණි දාසයන් එක්රැස් කිරීමේ කාර්යය දුෂ්කර බව ඔප්පු වේ. කෙසේ නමුත් ඔහු මිය ගිය ප්‍රවේණි දාසයන් 400 පමණ මිලදී ගැනීමට සමත් වෙයි. මෙම නවකතාව පුරාවටම චිචිකොව්ගේ ක්‍රියාවන් විකාරරූපී බවක් විදහා දක්වයි. ඔහුගේ චාරිකාවේ අභිප්‍රාය වන්නේ යථාර්ථයේ පවා නොපවතින, කඩදාසි මත පමණක් පවතින වතුයායක් ලබා ගැනීමයි.

යළි නගරයට පැමිණි චිචිකොව්ව සුළු නිලධාරීන් අතර කුමාරයෙකු ලෙස සැලකීමට ලක් වන අතර ඔහුටගෞරවයක් වශයෙන් උත්සවයක් පවත්වනු ලැබේ. කෙසේවෙතත්, හදිසියේම ඔහු ආණ්ඩුකාරවරයාගේ දියණිය සමඟ පැන යාමට සැලසුම් කර ඇති බවත් කටකතා පැතිරෙයි. ඇති වන ව්‍යාකූලතාවයේ දී, අතාර්කික, ඕපාදූප මගින් නගර වැසියන්ගේ පසුගාමී බව වඩාත් සියුම් ලෙස ප්‍රකාශ කෙරේ. චිචිකොව් වෙස්වළාගෙන නැපෝලියන් විය හැකි බව හෝ කුප්‍රකට සුපරීක්‍ෂාකාරී ‘කැප්ටන් කපෝත්කින් වැනි බවට මෝඩ අදහස් ද මතුවේ. අපකීර්තියට පත් ආගන්තුකයා ඔහු භුක්ති විඳි සමාගමෙන් වහාම නෙරපා හරිනු ලබන අතර නගරයෙන් පලා යාම හැර වෙනත් විකල්පයක් ඔහුට නොමැත.

නවකතාවේ මීලඟ කොටසේ, චිචිකොව් රුසියාවේ තවත් කොටසකට පලා ගොස් සිය ව්‍යාපාරය කරගෙන යාමට උත්සාහ කරයි. ඔහු නිෂ්ක්‍රීය ඉඩම් හිමිකරු වන ටෙන්ටෙට්නිකොව්ට ජෙනරාල් බෙට්‍රිෂෙව්ගේ අනුග්‍රහය ලබා ගැනීමට උදව් කිරීමට උත්සාහ කරයි. එවිට ටෙන්ටෙට්නිකොව් ජෙනරාල්ගේ දියණිය වන උලින්කා සමඟ ඔහුට විවාහ විය හැකිය. මෙය සිදු කිරීම සඳහා, චිචිකොව් කර්නල් කොෂ්කරියෝව්ගෙන් පටන් ගෙන බෙට්‍රිෂෙව්ගේ ඥාතීන් බොහෝ දෙනෙකු බැලීමට එකඟ වේ. එතැන් සිට චිචිකොව් නැවතත් විවිධ ඉඩම් හිමියන් වෙත යාමට පටන් ගනී. යළිත් වරක් ඔහුට විකාරරූපී චරිත මුණගැසෙයි. අවසානයේදී චිචිකොව් අසරණ වූ ක්ලෝබුයෙව්ගෙන් වතුයායක් මිලදී ගන්නා නමුත් ක්ලෝබුයෙව්ගේ ධනවත් නැන්දාගේ කැමැත්ත ව්‍යාජ ලෙස සකස් කිරීමට උත්සාහ කරන විට ඔහු අත්අඩංගුවට ගනු ලැබේ. කාරුණික මොරසොව්ගේ මැදිහත්වීම නිසා ඔහුට සමාව ලැබුණද චිචිකොව්ට පලා යාමට බල කෙරෙයි.

පවෙල් චිචිකොව් රුසියාව පුරා යන්නේ ට්‍රොයිකා කරත්තයකිනි. ට්‍රොයිකා යනු අශ්වයන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදින සාම්ප්‍රදායික රුසියානු කරත්තයකි. ට්‍රොයිකා ප්‍රතිරූපය ගොගොල්ගේ නවකතාවේ වඩාත් ප්‍රචලිත රූපය වන අතර එය රුසියාව වටහා ගැනීමට උපකාර වන මෙවලමයි.

ගෝගොල් ගේ මළ මිනිස්සු නවකතාව දොන් ක්වික්සෝට් හා පික්වික් පේපර්ස් සමඟ සංසන්දනය කොට තිබේ. මෙම නවකතාවට සර්වන්ටෙස් සහ ඩිකන්ස්ගේ බලපෑම් සැලකිය යුතු මට්ටමක තිබූ බවට උපකල්පනය කල හැක. එයට ආසන්නතම ඉංග්‍රීසි කෘතිය වන්නේ ජෙෆ්රි චෝසර්ගේ කැන්ටබරි ටේල්ස්ය.

මෙම නවකතාව 19 වන සියවසේ රුසියානු සාහිත්‍යයේ ආදර්ශයක් ලෙස සැලකේ. මළ මිනිස්සු හරහා අසාර්ථක ප්‍රංශ ආක්‍රමණයෙන් පසු රුසියාවේ රෝගී වූ සමාජ ක්‍රමය පිළිබඳ විස්තරයක් ගොගොල් සිය පාඨකයන්ට හෙළි කරයි. එසේම එය රුසියානු වංශවතුන් හා සමාජය පිළිබඳ උපහාසාත්මක පරීක්ෂණයකි. කතුවරයා සමාජ විවේචනය මූලික වශයෙන් සන්නිවේදනය කරනු ලබන්නේ හාස්‍යජනක උපහාසයන් මගිනි. මෙම නවකතාව මගින් ගෝගොල් ආහාරයට කෑදර සොබාකෙවිච්, මැනිලොව් ,මෝඩ වැන්දඹුවක වන කොරොබොච්කා, ලෝභ පුලස්කින් , විකාරකාරී නොස්ඩ්‍රියෝව් යන චරිත පාඨකයාට හඳුන්වා දෙයි. මේ චරිත හරහා ගොගොල් ඛේදවාචකයේ සටහනක් තබයි. එසේම ප්‍රවේණි දාසයන් මරණයෙන් පසුවද වහල්භාවයේ සිටින බව ව්‍යංගයෙන් පවසයි.

මළ මිනිස්සු රුසියානු ගද්‍ය කවියක්

ගෝගොල් ගේ මළ මිනිස්සු රුසියානු ගද්‍ය කවියක් ලෙස ද සැලකේ. රුසියානු සමාජයේ හදවතේ ඇති දූෂණය පිළිබඳව ගොගොල් කතා කරයි. චිචිකොව්ගේ ජීවිතය ඉවසීම, බුද්ධිමත්භාවය සහ ව්‍යසනය මගින් සලකුණු වේ. වැඩවසම් සමාජයේ දිරාපත්වීම සහ එහි අධ්‍යාත්මික දරිද්‍රතාවය පෙන්වීමට පළමු පරිච්ඡේදය අවශ්‍ය බව ගොගොල් විශ්වාස කළේය. 1842 දී ප්‍රකාශයට පත් කරන ලද පළමු පරිච්ඡේදය පමණක් වසර හයක් තිස්සේ ඔහු ලියා ඇත ගෝගොල් ගේ සැලැස්මට අනුව මළ මිනිස්සු සාහිත්‍ය කෘතිය වෙළුම් තුනකින් සමන්විත විය. ආගමික පසුතැවීම, අහිතකර විවේචන කෙරෙහි කෝපවීම සහ පරිපූර්ණත්වයට නොපැමිණීම පිළිබඳ බලාපොරොත්තු සුන්වීම නිසා ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ලේඛකයා දෙවන වෙළුමේ අත් පිටපත පුළුස්සා දැමීය.

1836 දී ගොගොල් විසින් “නාසය” උපහාසාත්මක කෙටිකතාව ප්‍රකාශයට පත් කරන ලදී. නාසය ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ලක්‍ෂණ වලින් යුක්ත කතාවක් මත පදනම් විය. එය සමාජයේ ඉහළට යාමට නිරන්තරයෙන් උත්සාහ කරන ශාන්ත පීටර්ස්බර්ග්හි පහත් පෙළේ නිලධාරියෙකු වන කොවලෙව්ගේ කතාව පවසයි. කොවලොව් යනු බොහෝ නොගැලපීම් හා ප්‍රතිවිරෝධතා ඇති පුද්ගලයෙකි. කොවලොව් තමා දෙස බලන ආකාරය සහ බාහිර ලෝකය ඔහුව දකින ආකාරය පිළිබඳ සැලකිය යුතු අසමතුලිතතාවයක් පවතී. ඔහුගේ අභ්‍යන්තර පෙනුම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ඔහුගේ සියලු ශක්තිය හා සිතුවිලි ඔහුගේ බාහිර පෙනුම පවත්වා ගැනීමට යොමු කරයි.

කොවලෙව්ගේ නාසය ඔහුගේ මුහුණ අතහැර දමා තමන්ගේම ජීවිතයක් ගොඩනඟා ගත් අයුරු මෙම කෙටි කතාවෙන් පවසයි. කතාව ආරම්භ වන්නේ ‘මේ ලෝකයේ අතිශය විකාර දේවල් සිදුවන’ බවට ප්‍රකාශ කිරීමෙනි. සමහර විට ඒවා තුළ කිසිදු රිද්මයක් හෝ හේතුවක් නොමැත. නාසය මුලින් කඩා වැටුණේ ඇයි, එයට කතා කළ හැක්කේ ඇයි, එය නැවත සම්බන්ධ වූයේ ඇයිද යන්න කිසි විටෙකත් පැහැදිලි කර නැත. කතාව ආරම්භ වන්නේ බේබදු බාබර් අයිවන් යකොව්ලෙවිච් ඔහුගේ උදෑසන ආහාරය තුළ නාසයක් අනපේක්ෂිත ලෙස සොයා ගැනීමත් සමඟය. එය ඔහුගේ සේවාදායකයකු වන කෝවලෙව්ට අයත් බව ඔහු වහාම හඳුනා ගනී. නීතිමය කරදරවලට බියෙන් අයිවන් යකොව්ලෙවිච් කඩිමුඩියේ නාසය ගඟට දමයි. එය පොලිස් නිලධාරියෙකු දකියි.

ඉන්ද්‍රජාලික බලය

කොවලෙව්ගේ නාසය තව දුරටත් ඔහුට අයිති අවයවයක් නොවේ. එය ස්වාධීන අථකයක් බවට පත්වී ඇත. කොවලෙව් තමන් ගේ නාසය ලබා ගැනීමට උත්සහ දරන විට නාසය කෝපයෙන් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරන්නේ ඔහු තමාගේම පුද්ගලයෙක් මිස කෝවලෙව්ගේ නාසය නොවන බවයි. කොවලෙව්ගේ නාසය නැති වූ විට, ලෝකය කෙරෙහි ඔහුගේ සමස්ත හැසිරීම වෙනස් වේ. නාසය කෝවලෙව්ට වඩා ඉහළ තලයේ මහත්වරයකු ලෙස දැක්වෙයි. නාසය පිළිබඳ කටකතා නගරය පුරා පැතිර යන අතර නාසයේ කතාව අවසානයේ නගරය පුරා මිථ්‍යාවක් බවට පත්වේ. ඔහුගේ නාසය ඔහුගේ ආඩම්බරයේ උල්පත ලෙස ක්‍රියා කරන අතර අනෙක් සියල්ලන්ම පහත් කොට සැලකීමට ඔහුට ඉඩ සලසයි. ඔහුගේ නාසය නැතිවීම ඔහුගේ අනන්‍යතාවය නැතිවීම නියෝජනය කරයි. “නාසය” ශාන්ත පීටර්ස්බර්ග් හි සමාජයේ විකාර සහ හිස්බව ඉස්මතු කිරීමට මෙම ගමන ගොගොල්ට අවස්ථාව ලබා දෙයි. ඩී.එස්. මිර්ස්කි මෙසේ ලිවීය: “නාසය යනු විකාර සහගත නාට්‍යයකි. වෙනත් ඕනෑම තැනකට වඩා ගොගොල් විශිෂ්ට විකට චිත්‍ර නිර්මාණය කිරීමේ අතිවිශිෂ්ට ඉන්ද්‍රජාලික බලය ප්‍රදර්ශනය කරයි.

ගොගොල්ගේ කාලය තුළ කෙනෙකුගේ ජීවිතය තීරණය කිරීමේදී සමාජය සහ පංතිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. මහා පීටර් රජු විසින් ශ්‍රේණිගත කිරීමේ වගුව හඳුන්වාදීමත් සමඟ, ජනගහනයෙන් නව කොටසකට ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කළහොත් සමාජීය වශයෙන් ඉහළට යාමට හැකි විය. තත්වය පිළිබඳ උමතුවෙන් සිටි සමාජයක, මිනිසුන්ට සෑම විටම ඔවුන්ගේ හොඳම පෙනුම දෙස බැලිය යුතු අතර ඔවුන්ගේ බාහිර පෙනුමට ප්‍රමුඛත්වය දිය යුතුය. කොවලොව් තමාට වඩා උසස් තත්වයක සිටින තම නාසය දැක කැලඹීමට පත් වෙයි.

ඇත්ත වශයෙන්ම “නාසය” උපහාසාත්මක කෙටිකතාවේ කොවලෙව්ට අහිමි වන්නේ නාසය නොව ඔහුගේ පුරුෂ ලිංගය බව උපකල්පනය කල හැකිය. සදාචාරාත්මක වාරණයන් නිසා ගෝගොල් හට කොවලෙව් ගේ අහිමි වූ අවයවය ඔහුගේ පුරුෂ ලිංගය බව කීමට නොහැකි විය. කොවලෙව් ගෙන් ඉවත් වූ ඔහුගේ පුරුෂ ලිංගය වෙනම අනන්‍යතාවක් ගොඩ නගාගෙන ඔහුටත් වඩා උසස් අයෙකු බවට පත් වෙයි. මනෝ විද්‍යාත්මක වශයෙන් බලන කල මෙම කෙටිකතාව තුලින් ගෝගොල් තම පුරුෂරූපී අනන්‍යතාව අහිමි වූ බෙලහීනයෙකු ගැන පවසයි.

නාසය යනු ගොගොල්ට අධි සංවේදී වූ අවයවයකි. ගොගොල්ගේ විශාල තියුණු නාසය දිගින් හා සංචලතාවයෙන් යුක්ත විය. ගොගොල් තමාගේම දිගු නාසය ගැන ඉතා සංවේදී වූ අතර ඔහු බොහෝ විට තම මිතුරන්ට ලිපි ලියන විට ඒ ගැන ස්වයං-අවලස්සන විහිළු කළේය. නාසය ආරම්භයේ සිටම ඔහුගේ මනසට විහිළුවක් විය.

ගොගොල් ඔහුගේ පසුකාලීන ලිවීම් මගින් රුසියානු අධිරාජ්‍යයේ දේශපාලන දූෂණය උපහාසයට ලක් කළේය. ඔහුගේ නාට්‍යමය කෘතිය වන රෙවිසියොර් (රජයේ පරීක්ෂක ) මේ සඳහා උදාහරණයකි. රෙවිසියොර් එකල රාජාණ්ඩුව යටතේ පැවති නිලධාරිවාදය විවේචනය කරයි. ගොගොල් 1835 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රෙවිසියොර් රචනා කළ අතර ගොගොල්ට පුෂ්කින් වෙතින් නාට්‍යය පිළිබඳ අදහස ලැබී ඇති බව පෙනේ. නාගරික කටයුතු තක්සේරු කිරීම සඳහා රජයේ පරීක්‍ෂකවරයකු වෙස් වෙලාගෙන පැමිණෙනු ඇතැයි යන ප්‍රවෘත්තියට පළාත් නගරයක ප්‍රමුඛ පුද්ගලයින් දක්වන ප්‍රතිචාර ගෝගොල් සඳහන් කරයි. රජයේ පරීක්‍ෂක පැමිණීමට පෙර නගරය පිරිසිදු කිරීමට ඔවුන් උත්සුක වෙති. අල්ලස් ලබා ගැනීම සහ වෙනත් අකටයුතුකම් පිළිබඳ සාක්ෂි සැඟවීමට ප්‍රාදේශීය නිලධාරීන් වෙහෙසෙති. අපේක්‍ෂිත නිලධාරියා ලෙස වරදවා වටහාගෙන ක්ලේස්ටකොව් නම් දුප්පත් සංචාරකයෙකුට නිලධාරීන් බුහුමන් දක්වති. ක්ලේස්ටකොව්ට සූදුවේදී තමන් සන්තකයේ තිබූ සියලු මුදල් අහිමි වී ඇති අතර නවාතැන් හා ආහාර සඳහා හෝ ගමනාන්තයට යන මාර්ගය සඳහා ගෙවීමට කිසිවක් නැත. ආණ්ඩුකාරවරයා ක්ලේස්ටකොව්ට තම නිවසට ආරාධනා කර, ඔහුගේ ගෞරවය වෙනුවෙන් සියලු පළාත් පාලන ආයතන සමඟ සුඛෝපභෝගී පිළිගැනීමක් ලබා දෙයි. උසස් නිලධාරීන් ඔහුට අල්ලස් දී තමන් පිලිබඳව යහපත් වාර්තාවක් රජයට දෙන්නට කියා කියති. නගරාධිපති ඔහුව තම බෑණා කර ගැනීමට මාන බලයි. මේ අතර ක්ලේස්ටකොව් රජයේ පරීක්‍ෂක තනතුරට අනුගත වෙයි. ඔහු නගරවාසීන් ඔවුන්ගේ වැරැද්ද දැන ගැනීමටත්, සැබෑ රජයේ පරීක්‍ෂකගේ පැමිණීමටත් ටික කලකට පෙර පිටත් වේ. ක්ලේස්ටකොව්ගේ නික්ම යාමෙන් පසු සැබෑ පරීක්‍ෂක නගරයට පැමිනෙයි.

නාට්‍යමය යථාර්ථවාදයේ මූලධර්ම

රෙවිසියොර් 1836 දී මොස්කව්හිදී වේදිකා ගත කරන ලදී. මෙම නාට්‍යය මගින් ගොගොල් රජයේ නිලධාරීන්ගේ නොහැකියාව හා දූෂණය සමච්චලයට ලක් කලේය. ” රෙවිසියොර් හරහා මම රුසියාවේ නරක සියල්ල එක ගොඩකට රැස් කිරීමට උත්සාහ කළෙමි ” කියා ගොගොල් කීවේය. මානව දූෂණය පිළිබඳ විශ්වීය තේමාවන් සහ ස්වයං රැවටීමේ මෝඩකම රුසියානු ජීවිතයේ මෙම නාට්‍යය තුළින් ගවේෂණය කෙරේ. ගොගොල් ගේ රෙවිසියොර් මගින් නාට්‍යමය යථාර්ථවාදයේ මූලධර්ම රුසියානු වේදිකාවට හඳුන්වා දෙන ලදී.

ගොගොල් ගේ තාරාස් බුල්බා බොහෝ විට “කොසැක් ඉලියඩ්” ලෙස හඳුන්වනු ලැබේ. එය පැරණි සැපෝරෝෂියානු කොසැක්, ටාරස් බල්බා සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන ඇන්ඩ්‍රි සහ ඔස්ටැප්ගේ ජීවිත විස්තර කරයි. මෙම නවකතාවේ ප්‍රධාන වීරයා වන තාරාස් බුල්බාගේ චරිතය ඓතිහාසික පුද්ගලයන් කිහිප දෙනෙකුගේ එකතුවකි. කොසැක් අධිපති තාරාස් බුල්බා ඕතඩොක්ස්වාදයේ ආරක්‍ෂකයාය.

තාරාස් බුල්බා දහසයවන සහ දහහත්වන සියවස්වල කොසැක්-පෝලන්ත යුද්ධ නිරූපණය කරන බැරෑරුම් ඓතිහාසික නවකතාවකි. එය කොසැක් රණශූරයන්ගේ ජීවිත පිළිබඳ වීර කාව්‍යයකි. එසේම එය දහසයවන සියවසේ ඩිනිපර් ගඟ අසල ජීවත් වූ යුක්‍රේන කොසැක්වරුන්ගේ ජීවිතය නිරූපණය කරයි. යුක්‍රේන කොසැක්වරුන්ට රුසියාවේ සහ පෝලන්තයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පාලනයෙන් බැහැර නිදහස් හා සමාන ප්‍රජාවන් බිහිකිරීමේ අභිලාෂයක් තිබුණි. ගොගොල් කොසැක්වරුන්ගේ ක්‍රියා වීරෝදාර ලෙස නිරූපණය කරයි. තාරාස් බුල්බා ජීවිතයට වඩා විශාල වීරයෙකි, පරමාදර්ශී කොසැක් රණශූරයෙකි. යුක්‍රේන වැසියන් (කොසැක්) විදේශීය ආක්‍රමණිකයන් (පෝලන්ත ජාතිකයන්) සමඟ සටන් කරති. ස්වයං නිර්ණය සඳහා යුක්රේනයේ අරගලය ගොගොල්ගේ කෘතිවලින්, විශේෂයෙන් තාරාස් බුල්බාගෙන්, ආදර හැඟීම් සහිත ජාතිකවාදයට අනුබල දුන්නේය.

අයිවන් ඉවානොවිච් , අයිවන් නිකිෆොරොවිච් සමඟ රණ්ඩු වූ අයුරු” වඩාත් හාස්‍යජනක කතාවක් ලෙස සැලකේ. අයිවන්ලා දෙදෙනා ඉඩම් හිමියන්, අසල්වැසියන් සහ හොඳ මිතුරන් වෙති. කථාව ආරම්භ වන්නේ ඔවුන් එකිනෙකා සමඟ පරිපූර්ණ සමගියෙන් ජීවත් වන ආකාරය සහ ගම පුරා හොඳම මිතුරන් ලෙස ප්‍රසිද්ධියට පත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමෙනි. රුසියානු අක්ෂරවල කථා, සුළු තර්කයක් හේතුවෙන් දිගු මිත්‍රත්වයේ අවසානය විස්තර කරයි. මෙයින් පසු, ඔවුන් එකිනෙකාට වෛර කිරීමට පටන් ගනී. අයිවන් ඉවානොවිච් සහ අයිවන් නිකිෆොරොවිච් යන මෝඩ චරිත දෙක රණ්ඩු වන ආකාරය පිළිබඳව ගෝගොල් හාස්‍ය මුසු ඇසකින් බලයි.

කොල්යාස්කා හෙවත් කරත්තය

කොල්යාස්කා හෙවත් කරත්තය යනු 1836 දී නිකොලායි ගොගොල් විසින් රචිත කෙටිකතාවකි. එය කුඩා රුසියානු නගරයක් අසල ජීවත් වූ අශ්වාරෝහක නිලධාරියෙකුගේ සහ ඉඩම් හිමියෙකුගේ ජීවිතය පිළිබඳ කේන්ද්‍රගත වේ. කතුවරයා කුඩා වාක්‍ය මඟින් කතාවේ චරිත සහ ඒවායේ සාමාන්‍ය පරිසරය පිළිබඳ විශාල තොරතුරු සපයයි. ලියෝ තොල්ස්තෝයි ගෝගොල් ගේ “කරත්තය” කෙටිකතාව ඉතා ඉහලින් අගය කලේය. එසේම ඇන්ටන් චෙකොව් ද මෙම කෙටි කතාව පිලිබඳව තම ප්‍රසාදය පළ කලේය.

ගොගොල් 1834 දී ඔහුගේ Diary of a Madman’ (උමතු මිනිසාගේ දිනපොත ) නම් උපහාසාත්මක කතාව ප්‍රකාශයට පත් කළ අතර එහිදී ඔහු ඇක්සෙන්ටි පොප්රිෂ්චින් නම් පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික ගැටුම විස්තර කළේය. මෙම කෙටිකතාවේ භින්නෝන්මාදය පිළිබඳ පැරණිතම විස්තරයක් අඩංගු යැයි අනුමාන කෙරේ. භින්නෝන්මාදය පිලිබඳව විශේසඥයන් වූ එමිලි ක්‍රෙපෙලින් හෝ ඉයුජින් බියුලර්ට පෙර නිකොලායි ගොගෝල් භින්නෝන්මාද රෝගියෙකුගේ අභ්‍යන්තර ලෝකය නිරූපණය කළේ ඔහුගේ Diary of a Madman නම් කෙටිකතාවෙනි. උමතු මිනිසාගේ දිනපොත යනු මිනිසෙකුගේ අභ්‍යන්තර කැලඹීමකි. කථාව දිනපොතකට ඇතුළත් කිරීමේ ආකෘතියකින් අනුගමනය කරන අතර මෙම ඇතුළත් කිරීම් වලින් හෙළි වන්නේ පොප්රිෂ්චින් ක්‍රමානුකූලව උමතුවට ඇද වැටෙන බවයි. එය මනෝ ව්‍යාධි විද්‍යාවේ අසාමාන්‍ය සටහනකි.

ගොගොල්ගේ කෙටිකතාවේ විස්තර කර ඇති පරිදි පොප්රිෂ්චින් ඔහුගේ 40 ගණන්වල සිවිල් සේවකයෙකි. පොප්රිෂ්චින් ඔහුගේ ජීවිතයේ සෑම අංශයක් ගැනම නොසතුටින් සිටින අතර තමාට වඩා හොඳ යැයි තමා විශ්වාස කරන ඕනෑම කෙනෙකුට ඊර්ෂ්‍යා කරයි. තමා අවට දකින නමුත් කිසි විටෙකත් දැනෙන්නේ නැති ගෞරවය සහ අධිකාරය සාක්ෂාත් කර ගැනීමට ඔහු තුළ ඇති ආශාව අභිප්‍රේරණයට වඩා කලකිරීමක් ඇති කරයි. ඔහුගේ අභිප්‍රේරණය නොමැතිකම යථාර්ථයේ දී මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාකාරීව උත්සාහ කරනවා වෙනුවට පොප්රිෂ්චින්ට බලය සහ ධනය ප්‍රාර්ථනා කරයි. පොප්රිෂ්චින් ඔහුගේ කලකිරීම් හා නින්දාවන් දින පොතේ සටහන් කරයි.

ඔක්තෝම්බර් 3 දිනැති පළමු ප්‍රවේශයේ දී පොප්රිෂ්චින් තම සේවා පරිසරය විස්තර කරන අතර ඔහු සමඟ වැඩ කරන සිවිල් සේවකයින් කෙරෙහි කලකිරීම ප්‍රකාශ කරයි. ගණකාධිකාරීවරයා කිසි විටෙකත් ඔහුට වැටුප් අත්තිකාරම් ලබා නොදෙන බවට පොප්රිෂ්චින් චෝදනා කරයි. ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ තාර්කික බුද්ධිය යටපත් වෙයි. පොප්රිෂ්චින් , බල්ලන් දෙදෙනෙකු රුසියන් බසින් සංවාදයක යෙදෙනවා දකියි. තවත් සටහනකට අනුව පොප්රිෂ්චින් සිතන්නේ ඔහු ස්පාඤ්ඤයේ හත්වන ෆර්ඩිනන්ඩ් රජු බවයි. මෙම කෙටිකතාවේ සුළු නිලධාරියෙකුගේ මානසික බිඳවැටීම නිරූපණය වේ.

පොප්රිෂ්චින්ගේ කතාව හාස්‍යය, දුක සහ ඛේදවාචකය සමඟ මිශ්‍ර වී ක්‍රමයෙන් පෞරුෂත්වයේ පිරිහීම සහ ඔහුගේ බිඳී යන මනෝභාවය සමඟ ඔහු අරගල කරන ආකාරය පැහැදිලි කරයි. උමතු මිනිසාගේ දිනපොත යනු මිනිසාගේ හැඟීම්වල ගැටුමක් ඇති අභ්‍යන්තර කැලඹීමකි. පොප්රිෂ්චින්ගේ කතාව හාස්‍යය, දුක සහ ඛේදවාචකය සමඟ මිශ්‍ර වී ක්‍රමයෙන් පෞරුෂත්වයේ පිරිහීම සහ ඔහුගේ බිඳී යන මනෝභාවය සමඟ ඔහු අරගල කරන ආකාරය පැහැදිලි කරයි. ගොගොල් පොප්රිෂ්චින්ගේ මනසට කිමිදෙන අතර ඔහු අත්විඳින ලද විකාර සිදුවීම් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරයි.

උත්ප‍්‍රාසාත්මක ලෙස ගොගොල් ද ඔහුගේ ජීවිතයේ පසුකාලීනව භින්නෝන්මාද රෝග ලක්ෂණ අත්විඳියේය. බොහෝ විට ගොගොල් මෙම කෙටිකතාව ලියන අවස්ථාවේ භින්නෝන්මාදයට පෙර රෝග ලක්ෂණ අත්විඳින්නට ඇත. මනෝ විද්‍යාවේ හෝ වෛද්‍ය විද්‍යාවේ කිසිදු පසුබිමක් නොමැතිව නිකොලායි ගොගෝල් භින්නෝන්මාද රෝගියෙකුගේ අභ්‍යන්තර ලෝකය සිය කෙටිකතාව හරහා විචිත්‍රවත් ලෙස විස්තර කළේය. එබැවින් ගොගොල්ගේ කෙටිකතාවට සාහිත්‍යමය මෙන්ම සායනික වැදගත්කමක් ද ඇත.

ගොගොල් ගේ “The Portrait” (1835) කෙටි කතාව වඩාත් සාම්ප්‍රදායික රටාවක් අනුගමනය කරයි. එය ශාන්ත පීටර්ස්බර්ග්හි සාප්පුවක අද්භූත චිත්‍රයක් මිලට ගන්නා චාර්ට්කොව් නම් තරුණ කලාකරුවෙකුගේ කතාවකි. කෙටිකතාවේ ප්‍රධාන තේමාව වන්නේ කලාවට මුදල්වල දූෂිත බලපෑම ප්‍රකාශ කිරීමයි.

පුෂ්කින්ගේ මරණය ගොගොල් කෙරෙහි ප්‍රබල හැඟීමක් ඇති කළේය. පුෂ්කින්ගේ ඛේදනීය මරණයෙන් පසු ගොගොල් රුසියානු සාහිත්‍යයේ ප්‍රමුඛයා ලෙස සලකනු ලැබීය. ගොගොල්ගේ නිර්මාණ රුසියානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ සහ යථාර්ථවාදයේ ප්‍රභේද අතර පාලමක් ලෙස හැඳිිිිිිින්විය හැක. ඔහුගේ කාලයේ ප්‍රගතිශීලී විවේචකයෝ ගොගොල්ගේ ගද්‍ය ප්‍රබන්ධ සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතයට පදනම් කර ගැනීම ගැන ප්‍රශංසා කළ අතර ඔවුහු ඔහුව නව “ස්වාභාවික” සෞන්දර්යයේ පුරෝගාමියෙකු ලෙස ප්‍රකාශ කළහ. ගොගොල්ගේ ලිවීමේ ප්‍රධාන ලක්ෂණය වන්නේ යථාර්ථය සහ මිනිසුන් පිළිබඳ ඔහුගේ ‘හැඟීම්බර’ දැක්මයි. ගොගොල්ගේ විශ්වය යුක්‍රේනයට හා රුසියාවට වඩා විශාල විය. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ ලෝක දෘෂ්ටිය වඩ වඩාත් ගෝලීයවාදී විය. ගොගොල්ගේ චරිත වංක ය, නමුත් මුළුමනින්ම නපුරු නොවේ, ගොගොල් පවසන පරිදි: “මගේ වීරයන් පූර්ණ දුෂ්ටයන් නොවෙති “.

ගොගොල්ගේ කෘති දළ වශයෙන් කොටස් තුනකට අයත් වන අතර, එය ඔහුගේ නිර්මාණ ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද තුනකට අනුරූප වේ. පළමු කාල පරිච්ඡේදය තනිකරම නිරූපණය කරන්නේ යුක්රේනයෙන් සශ්‍රීක දේශීය වර්ණයක් පෙන්වන කෙටිකතා සහ ගොගොල් විසින්ම යක්ෂයන් හා සරල ගැමියන් මිශ්‍ර කිරීමයි. ගොගොල්ගේ සාහිත්‍ය ජීවිතයේ දෙවන ප්‍රධාන කාල පරිච්ඡේදය ක්‍රියාත්මක වන්නේ රුසියාවේ අධිරාජ්‍ය කේන්ද්‍රයේ පිහිටි ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි ස්ථානයක් හෝ අධිරාජ්‍යයේ පළාත්වල නිලධරයන් හා සුලු නිලධාරීන් වටා ය. අවසාන කාල පරිච්ඡේදයට ප්‍රකාශ කළ හැක්කේ ප්‍රකාශිත එක් කෘතියක් පමණි, මිතුරන් සමඟ ලිපි හුවමාරුවෙන් තෝරාගත් ඡේද, එය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ ගොගොල්ගේ නිර්මාණාත්මක සංවර්ධනයේ ආපසු හැරීමක් ලෙස ය.

සමහර විචාරකයින් ගොගොල්ගේ ලේඛනවල යුදෙව් විරෝධය කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔවුන් ගොගොල් ගේ ඇතැම් කෘති වල යූක්‍රේන යුදෙව් ප්‍රජාවේ නිෂේධාත්මක ප්‍රතිරූපය දක්නට ඇතැයි පවසති. ඔහුගේ තාරාස් බුල්බා නවකතාවේ, යුදෙව්වෙකු වන යැන්කෙල් විශ්වාස කළ නොහැකි හා පිළිකුල් සහගත පුද්ගලයෙකු ලෙස නිරූපණය කරන ලදී.

ගොගොල්ගේ ලිංගිකත්වය පිලිබඳව බොහෝ මත ප්‍රකාශවී තිබේ. සයිමන් කාර්ලින්ස්කි තර්ක කරන්නේ විවාහ නොවූ හෝ බැරෑරුම් පෙම්වතියක් හෝ පෙම්වතියක් නොසිටි ගොගොල් සමලිංගිකයෙකු බවය. බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්ලාවික් භාෂා හා සාහිත්‍ය පිළිබඳ මහාචාර්‍යවරයකු වන කාර්ලින්ස්කි තර්ක කරන්නේ ගොගොල්ගේ “තමා තුළ පිළිගැනීමට හෝ සමාව දීමට” නොහැකි වූ ලිංගික දිශානතිය ඔහුගේ සාහිත්‍යය තුළින් එළියට එන බවයි. ගොගොල්ගේ යටපත් කළ සමලිංගිකත්වය ඔහුගේ නිර්මාණාත්මක පරිහානිය සහ ස්වයං විනාශය බව කාර්ලින්ස්කි පැහැදිලි කරයි. කාර්ලින්ස්කිගේ මතය අනුව, චිචිකොව් “කිසිදු ලිංගික සහජ බුද්ධියක් නැති” වන අතර, ගොගොල්ගේ සියලු ප්‍රධාන චරිත මෙන්, ඔහුට නවකතාව පුරාම සැබෑ ප්‍රේමයක් හෝ රාගයක් හෝ උනන්දුවක් නැත. ඔහුගේ වේදනාකාරී සවිස්තරාත්මක යථාර්ථවාදය ඔහුගේ කෘති වලින් හෙළිවේ.

ගොගොල් සංචාරය කිරීමට ප්‍රිය කළ අතර සංචාරය ඔහුගේ සෞඛ්‍යයට හිතකර බව ඒත්තු ගියේය. ඔහුගේ ජීවිතයේ අවසාන අවුරුදු 16 තුළ ඔහු රුසියාවේ ගත කළ කාලයට වඩා වැඩි කාලයක් විදේශ ගත කළේය. ඔහු විශේෂයෙන් රෝමයට ඇළුම් කලේය. ගොගොල් හට විදේශ ගත වීමට සිදු වන්නේ වාරණයත් සමගය. සාර් නිකලස්ගේ පාලන සමයේදී රුසියානු ලේඛකයින් සියළුම ලිඛිත තොරතුරු දැඩි ලෙස වාරණයට ලක් විය. ගොගොල්ට මෙතරම් කාලයක් රුසියාවෙන් පිටව යාමට පෙලඹවූයේ සාර්හි ඒකාධිපති වාරණයන් ද නැතහොත් රුසියානු විසම්මුතියේ බුද්ධිමතුන්ගේ ධ්‍රැවීකරණය වූ ප්‍රජාව ද යන්න කීමට අපහසු ය. ඇත්ත වශයෙන්ම, ගොගොල්ගේ දරුණුතම විවේචකයා ගොගොල් විය හැකිය. රුසියාවෙන් අවුරුදු දොළහක වහල්භාවයෙන් අඩක් ගෙවී ගිය ඔහු සිය ජීවිතයේ ඉතිරි වසර දහය පුරා පැවතිය හැකි දැඩි ස්වයං සැකයක් හා අධ්‍යාත්මික අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් ආරම්භ කරමින් සිටියේය

අවසාන කාලයේදී ගෝගොල් දැඩි මානසික අවපීඩනයට පත්විය. 1851 දී ඔහුව බැලීමට ගිය ලේඛක ඉවාන් තුර්ගේනිව් සිතුවේ ගෝගල් යම් ව්‍යාකූල කාංසාවකින්’ පෙළෙන බවය. ඔහු මොස්කව්හි පදිංචි වූ අතර එහිදී ඔහු උමතු පූජකයෙකු වූ මැට්වි කොන්ස්ටන්ටිනොව්ස්කි පියතුමාගේ බලපෑමට යටත් විය. නවකතා , කවි ලිවීම සහජයෙන්ම පව්කාර ක්‍රියාවක් බව උමතු පූජකයා ගෝගල්ට පැවසීය. ඔහු අන්තවාදී ආගමික මතවාදයක සිරකරුවෙකු බවට පත්විය. ඔහු සිය සාහිත්‍ය ජීවිතය අත්හැරියේය. 1852 පෙබරවාරි 24 වන දින රාත්‍රියේදී ඔහු සිය අත්පිටපත් කිහිපයක් පුළුස්සා දැමූ අතර එහි ඩෙඩ් සෝල්ස් දෙවන කොටස අඩංගු විය. ඔහු විසින් නිර්මාණය කරන ලද ඇක්සෙන්ටි පොප්රිෂ්චින් චරිතය මෙන් ගොගොල් ද ඔහුගේ භින්නෝන්මාද රෝග ලක්ෂණ අත්විඳියේය. ඔහුගේ වෛද්‍ය වාර්තා අපැහැදිලි වුවත් ඒවායින් බොහොමයක් නොතිබුණද ගොගොල් භින්නෝන්මාදයෙන් පීඩා වින්දා යැයි සිතීම සාධාරණ ය. ඔහු ව්‍යාකූලත්වයට පත් වූ අතර ආහාර ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ සාහිත්‍ය උරුමය නොතකා 1852 මාර්තු 4 වන දින මොස්කව්හිදී ගොගොල් මිය ගියේය. මිය යන විට ගෝගොල් ගේ වයස අවුරුදු 42 ක් විය. ඔහු මිය ගියේ ඔහුගේ මහා සාහිත්‍ය උරුමය හෙලා දකිමිනි. නබෝකොව් විස්තර කළ පරිදි ඔහුගේ මරණය බියකරු සිහිනයක් විය. ලේඛකයාගේ දේහය ඩැනිලොව් ආරාමයේ තැන්පත් කරන ලද නමුත් ඔහුගේ දේහය සෝවියට් සමයේදී ඉවත් කර නොවොඩෙවිචි සුසාන භූමියට ගෙන යන ලදි.

රුසියානු සාහිත්‍යයේ විවේචනාත්මක යථාර්ථවාදයේ නිර්මාතෘ ගොගොල් ය. ඔහුගේ බලපෑම නබෝකොව් සහ දොස්තයෙව්ස්කි හට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. නිකොලායි ගොගොල් යනු රුසියානු හා යුක්රේන සංස්කෘතියේ චමත්කාරජනක පැතිවලට දොර විවර කළ ලේඛකයෙකි.ගෝගල් ෆියෝඩර් දොස්තයෙව්ස්කිගේ සිට මිහායිල් බල්ගාකොව් දක්වා රුසියානු ලේඛකයින්ගේ පරම්පරාවන්ගේ ලේඛනවලට බලපෑම් කිරීමට සමත් විය. බටහිර විචාරකයෝ ඔහුව මිගෙල් ඩි සර්වන්ටෙස්, ලෝරන්ස් ස්ටර්න් , එඩ්ගර් ඇලන් පෝ සහ ජේම්ස් ජොයිස් සමඟ සංසන්දනය කරති. තම කෘතීන් මගින් ගෝගොල් අන්තර්ජාතික සාහිත්‍ය ලෝකයේ අවධානය දිනා ගත්තේය.

Works Cited

Altschuler, E.L. (2001). One of the oldest cases of schizophrenia in Gogol’s Diary of a Madman. BMJ ; 323: 1475–1477.
Fanger, D. (1979). The Creation of Nikolai Gogol. Cambridge, Mass.: Belknap Press of Harvard University Press.
Shapiro, G. (1993).Nikola Gogol and the Baroque Cultural Heritage .University Park, Pennsylvania.
Troyat,H.(1974). Gogol: the biography of a divided soul, London: Allen and Unwin.

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...