Sunday, April 18, 2021

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland.

මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප කිසිවෙක් නැවත පසුදා වනතුරු එළියට යන්නේ නැත. නාගරිකව සිටියද, ග්‍රාමීයව සිටියද එය වෙනසක් නොවීය. සියළු දෙනාම භයෙන් සන්ත්‍රාසයෙන් ඇළලී සිටි කාලයක් විය. සියළුම විදුලි පහන් නිවා දමන නිවැසියන්, රූපවාහිනිය ද නිවා දමයි. පසුව ගුවන් විදුලියට ළංවෙන ඔවුන් හීන් හඩකින් ඇසෙන ශබ්දයක් ඇතිව සවන් දුන්නේ බීබීසි සංදේශය වෙතටයි.

රජයේ නිල මතයට හා ප්‍රවෘත්ති වලට වඩා එහා ගිය ජනතාවගේ, බිම්වට්ටමේ ජනතාවට අවශ්‍ය අඛ්‍යානයකින් යුතු පුවත් නිසාම එය වෙනත් විකල්ප පුවත් හා මාධ්‍ය තොරතුරු නොතිබුණු කාලයක ඒ සඳහා නොවරදවාම ඒ වෙලාවට ඔවුන් එක්වන්නේ සංදේශය ගුවන් විදුලි වැඩසටහනටයි. ප්‍රවෘත්ති වලට අමතරව තව එහි වූ විශේෂාංග ද ජනතා සිත්සතන් දිනාගත්තේය. උතුරේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ද ඔවුන් අනුගමනය කළ තොරතුරු හෙළි කිරීමේ පදනම නිසා තවත් ජනතාව අතරට ගියේය.

එම සංදේශය පරම්පරාවේ විසල් රුකක් ඇඳ හැලුණේය. ගසක් බිම වැටිණු විට ගසෙහි රුව සමීපව දැක ගත හැකිය. මිනිස් ගති ස්වභාවය අනුවම මියගිය පසු ජීවත්ව සිටියාටත් වඩා ඒ ජීවය වැඩියෙන් දැනේ. විසල් රුක නම් ජේෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ යි.

ඔහු ගැන වඩාත් කරුණු දැනගන්නා විට අපට හැගෙන්නේ ඔහු බොහෝ පිරිසකට නිහඩවම සෙවන දුන් ගසක් මෙනි.

වසන්ත, ප්‍රසන්න, ප්‍රියත්

බොහෝ දෙනා දන්නේ සංදේශයේ ප්‍රියත් වුනත් ඊටත් වඩා ප්‍රියත්ගේ පැතිරුණු හෙවනැල්ල සාහිත්‍ය, සිනමාව හා නාට්‍ය ක්ෂේත්‍රයන් හරහා විහිද යන්නේ ය. ඒ අතර පුරා වසර 40 ක් තිස්සේ ගොඩනැගුණු සම්බන්ධතාවය ඇති ප්‍රවීන සිනමාවේදී ප්‍රසන්න විතානගේ ඔහුගේ සෙවනැලි අතරේ සිටින මුල් පුරුකකි. ප්‍රියත් ගැන අසන විට මේ වන විටත් බොහෝ තැන්වල ඔහු ගැන සඳහන් නොවූ බොහෝ දේ කියැවේ.

වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, ප්‍රියත් ලියනගේ අතර තිබූ සම්බන්ධතාවය ගුරු ගෝල සම්බන්ධතාවය ඉක්මවා යන්නකි. ඔවුන් එකිනෙකා හමුවූ විට සිදුකරන පරාසය සිනමාව, නාට්‍ය හා සාහිත්‍යයන්හී නිම් වළලු සරා යන්නේය. ප්‍රියත් බොහෝ විට වසන්ත ඔබේසේකරයන්ට ලන්ඩන්හී සිට දුරකතනයෙන් කතා කරයි. එය බොහෝ දිග දුරකතන ඇමතුමකි. ඒ අවස්ථා වලදී ඔහු බොහෝ හයියෙන් සිනාවෙයි. සමහර රහසිගත ප්‍රවෘත්ති වැනි දේ කිසිවෙකුට නොඇසෙන පරිදි සාකච්ඡා කරයි. ලංකාවට පැමිණෙන ප්‍රියත් වසන්ත ඔබේසේකර හමුවට එන්නේ එක්කෝ තනිවම නොමැති නම් ප්‍රසන්න විතානගේ ද කැටුවය. ඒ එන්නේ ද ඉස්තරම්ව වර්ගය පොතක්, මධුවිතක් රැගෙනය. එය ගැඹුරු සබඳතාවයක් විය.

වසන්ත ඔබේසේකරගේ තිරනාටක පාඨමාලාවේ ප්‍රසන්න හා ප්‍රියත් සිසුන්ය. ප්‍රසන්න විතානගේ කණ්ඩායම් දෙකක වුවත් ඔවුන් අතර දැඩි මිතුරු බවක් ඇති වේ. ඔවුන් නිතර බම්බලපිටිය ලෝරිස් පාරේ අංක 15 නිවසේ දී හමුවේ. ඒ 1978 – 1980 කාලයේ දීය. ප්‍රියත් දඩයම චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියා වෙයි. අදටත් හද කලඹවන දඩයම ඡායාරූප වල හිමිකරු ඔහු ය. ඒ දිනවල බොහෝ ජනප්‍රිය තරුණයා පුවත්පතේ නිශ්චල ඡායාරූප ශිල්පියයෙක් ලෙසද සේවය කළේය.

 

බොහෝ දෙනෙක් ප්‍රියත්ගේ ලියනගේ ව හඳුනන්නේ ඔහු ඉර මැදියමේ තිරනාටක රචක හැටියටයි. හොරු සමග හෙළුවෙන් නාට්‍යයේ සම පරිවර්තක ලෙසයි. ඒ අවස්ථා දෙකෙහිදිම ප්‍රසන්න හා ප්‍රියත් එම නිර්මාණයන් සඳහා එක්ව වැඩ කරයි.

සිනමාව සහ නාට්‍යය වෙලා ගත් අදිසි දැවැන්ත හෙවනැල්ල

ඔහු බොහෝ නිර්මාණකරුවන් නිර්මාණයන් සඳහා පොළඹවනු ලැබූ හා උත්තේජකයක් වූ මිනිසෙකි. එමෙන්ම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා දායකත්වය සැපයූ පුද්ගලයෙක් විය. ප්‍රියත් විශිෂ්ඨ ගනයේ රසිකයෙක් හා සමාජ ක්‍රියාකාරිකයෙක් විය. 1980 ගණන්වල ප්‍රියත් බොරැල්ල නිවාස සංකීර්ණයේ පදිංචි වෙලා හිටියේ ය. 1983 ජූලි කලබල වලදී බොරැල්ලේ සිදුවූ සිදුවීම් ඔහු සියැසින් දැක්කේය. ප්‍රියත් 80 ගණන්වල එංගලන්තයට යන ඔහු වෙනත් රැකියාවක් කරන අතරතුර ඔහු බීබීසී සිංහල සේවයට එක් වේ.

ඒ කාලය තුළ දී කවදා හෝ දිනෙක ලංකාවට පැමිණ නිර්මාණ ජීවිතය නැවත පටන් ගන්න සිහින මවයි. 80 නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාශිලී නාට්‍ය රසිකයෙක් වූ ප්‍රියත් සිහින සාප්පුව නාට්‍ය නිර්මාණය කිරීම සඳහා ඔවුන් පොළඹවන ප්‍රියත් ඊට විශාල දායකත්වයක් ලබා දෙනවා. 1984 දී පමණ පුත්‍ර සමාගම නාට්‍ය ප්‍රසන්න අතින් පරිවර්තනය වෙද්දී ප්‍රියත් ඉන්නේ එංගලන්තයේ. නමුත් ඔහු ලංකාවෙන් යන්න කලින් පුත්‍ර සමාගමේ සංක්ෂිප්ත පිටපතක් ප්‍රසන්නට හා ජයලත් මනෝරත්නටත් ලබා දී දෙනවා. පුත්‍ර සමාගම නාට්‍යය බිහිවීම පසුපසත් මූලිකවම ප්‍රියත් සිටිනවා.

එංගලන්තයේ සිටින ප්‍රියත් දිනක් ප්‍රසන්නට පොතක්, ප්‍රසන්නගේ සිනමා හා නාට්‍ය ජීවිතයට බෙහෙවින් බලපානු ලබනවා. ස්ටැනිස්ලවුස්කිගේ දායාදය (Stanislavski’s Legacy) ඒ පොතයි. ස්ටැන්ස්ලවුස්කි විසින් වරින් වර ප්‍රකාශ කරන ලද, නාට්‍ය හා රංගනය හා නිෂ්පාදනය ගැන වූ ලිපි රැසක් අඩංගු පොතක් වූ එහි ඔහු, ඔහුගේ අත්අකුරින් “ප්‍රසන්න, මම ලංකාවට එනතුරු නාට්‍ය කලාව තියාගන්න”. ලංකාවේ දී ඒ දිනවල මිළදී ගත නොහැකි තිරරචනා, චරිතාප්‍රදාන ද, වුඩී ඇලන්ගේ තිර රචනා, රෝමන් පොලාන්ස්කිගේ චරිතාප්‍රදානය වැනි බොහෝ පොත්පත් ද ප්‍රසන්නගේ අධ්‍යයනයට ලැබෙන්නේ ප්‍රියත් ගෙන්. ප්‍රසන්න විතානගේ නම් ප්‍රවීන සිනමා ශිල්පියා තුළ සෙවනැල්ලක් සේ ප්‍රියත් ද ඔහුගේ අවසන් හුස්ම හෙළීමට ප්‍රථම නොවැම්බරයේ දුන් අවසන් දුරකතන ඇමතුමේ ද ඒ ගුණය රැඳී තිබුණා.

සතියකට වතාවක් නිර්මාණ, දේශපාලන කරුණු කතා කරනු ප්‍රියත් ගේ දීර්ඝ දුරකතන ඇමතුම ලබන ඔහු එංගලන්තයට ගිය 1980 ගණන් වල සිට පසුගිය නොවැම්බර් මාසය දක්වා ප්‍රසන්නට ලැබුණා. ඔහු ලංකාවට පැමිණ සෑම අවස්ථාවකදීම දීර්ඝ සංවාද, හමුවීම්, චිත්‍රපට නැරඹීම් සිදුවෙනවා. ප්‍රියත් සිනමා කලාව සහ එහි ගැඹුරු ස්ථානයන් වෙත ගමන් කරන අතර එහිදී තමන් ගමන් සගයා ද මිතුරා ද ඒ වෙත රැගෙන යනවා. පොත කියවමින්, විශිෂ්ඨ සිනමා කෘති නරඹමින් තිරනාටක රචනා කලාවේ කෞශල්‍යය පිළිබඳ දීර්ඝ, ගැඹුරු අධ්‍ය්‍යනයක යෙදෙනවා.

ඉර මැදියමේ සොඳුරු හෙවනැල්ල

ප්‍රසන්න හා ප්‍රියත්ගේ තීරණාත්මක හමුවීමක් සිදුවන්නේ ලන්ඩනයේ “පුරහඳ කළුවර” සිනමා දර්ශනයෙන් පසුව. එහිදී ඉර මැදියම චිත්‍රපටයට පදනම වැටෙනවා. ප්‍රසන්න හා ප්‍රියත් අතර බොහෝ නිර්මාණයන් පිළිබඳ සාකච්ඡා පැවතියත්, විවිධ සිනමා නිර්මාණ පිළිබඳ සැලසුම් පැවතියත් දෙදෙනා විසින් අවසන් කළ එකම සිනමා නිර්මාණය ඉර මැදියමයි. එක කතාවක් ප්‍රියත්ගේ ම අත්දැකීමක් වූ අතර, අනෙක් කතාව සංදේශය නිෂ්පාදක චන්දන කීර්ති බණ්ඩාරගෙන් අහන්න ලැබුණු කතාවක් විය. ඉර මැදියම නිර්මාණය කිරීමට හැකිවන්නේ ලන්ඩන් නුවර ඒ සම්බන්ධයෙන් එක්ව වැඩකරන්න ලැබීම නිසයි. එහිදී මේ කතා තුනම වෙන වෙනම ගොනු කරනවාට වඩා සමාන්තරව පෙළ ගැස්සවීමෙන් වෙනත් අර්ථයක් මතු කර ගැනීමට වෙනත් ව්‍යූහයක් තුළ නිර්මාණය ඔවුන් තීරණය කරනු ලබනවා.

එමෙන්ම ප්‍රසන්න විතානගේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ දී සමන් ගුණවර්ධනගේ හැසිරීම, ලන්ඩනයේ සිට ලංකාවට එන ජනමාධ්‍යවේදීයාගේ චරිත ලක්ෂණ තුළ ප්‍රියත් ගේ ස්වරූපය ද ඇතුළත් කරනු ලබනවා. තිරරචනයේ දී ද ප්‍රියත් ද එය සිදු කරනු ලැබුවේ තමන්ට අවංකව තමන් දෙස ද බැලීමට උත්සාහ කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසයි. ජනමාධ්‍යවේදී සමන් ගුණවර්ධන තමන් හමුවට එන මේ කාන්තාවගේ අත්දැකීම ගැන සංවේදීතාවයට පත්වෙනවා. මේ කාන්තාවට කලින් මුණ ගැසුණු මිනිසුන් ඇයට විවිධ බලාපොරොන්තු දීලා, ඒ බලාපොරොත්තු අහිමි කරලා තිබෙන බව සමන් දැනගන්නවා. මිනිසුන් අතින් ඒ කාන්තාව අපයෝජනයන්ට ලක්වූ අවස්ථා ද තිබෙන්නට ඇති. සමන් උත්සාහ කරනවා ඒ බලාපොරොත්තු සඵල කරන්න. ඒත් ඔහු ද සාර්ථක වෙන්නේ නැහැ.

ප්‍රියත් එය ලියද්දී නිර්භීත වුනේ අපේ වීරකම් ගැනම නොලියා අපේ නොහැකියාවන් ගැනත් ලියන්න. සමන් ගුණවර්ධනට දිනා ගන්න බැරිවුනු දේවල් තිබුණා කියන තත්ත්වය ගැන ප්‍රියත් ගැටළුවක් කරගත්තේ නැත. ඔහු ඔහුට අවංක විය. තමන්ට තමන් හෙළිදරව් නොකර නිර්මාණ කිරීමට නොහැකි බව ප්‍රියත් සක්සුදක් සේ දැන සිටියා.

දාරියෝ ෆෝගේ හෙවනැල්ල

ප්‍රියත් දාරිෆෝගේ නාට්‍ය ද්විත්වයක් වූ හොරු සමඟ හෙළුවෙන් ප්‍රසන්නට ලබා දෙන අතර ඔහු එය පර්වර්තනය කරනු ලබනවා. දෙදෙනාම එක්ව එය පරිවර්තනය නැවත නැවත සකස් කරමින්, ගොඩනගනු ලබනවා. හොරු සමඟ හෙළුවෙන් නාට්‍ය විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් වෙත ගමන් කරනවා. ඒ ගැන ඔහු විශාල සතුටක් ලබනවා.

ප්‍රියත්ගේ ජීවිතයේ එළිදැක්වූ දේට වඩා නොදැක්වූ දේවල් වැඩි බව ඔහුට ලංකාවේ දී වඩාත් සමීප මිතුරා සහ නිර්මාණ ශිල්පියාගේ අදහසයි.

මචං හෙවනැල්ල

මචං චිත්‍රපටය සඳහා ඔහුගේ දායකත්වය බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. උබර්තෝ පැසලෝනි නම් ඉතාලි සිනමාකරුවාට ලංකාවේ පිරිසක් හෑන්ඞ් බෝල් ක්‍රිඩාව කරමින් ජර්මනියට පලායෑම සම්බන්ධ ලිපිය කියවලා වුවමනාවක් ඇති වෙනවා එය සිනමාවට නගන්න. රුවන්ති ඩී චිකේරා සමග තිරනාටකය ලියා එය නිෂ්පාදනය සඳහා ප්‍රසන්න විතානගේ ව උබර්තෝ පැසලෝනිට යෝජනා කරන්නේ ප්‍රියත්. ඉර මැදියම නරඹා තිබුණු පැසලෝනි ඒ අවස්ථාව ප්‍රසන්නට ලබා දෙනු ලබනවා. ඒ නිසා මචං නිර්මාණය සඳහා ද මූලික කාර්යය සිදු කරනු ලබන්නේ ප්‍රියත්.

 

නෙරූඩාගේ හෙවනැල්ල

මේ සම්බන්ධය නිසාම උබර්තෝ විසින් ප්‍රියත් තිරනාටකයක් සඳහා අවස්ථාව ලබාදෙනවා. ඒ එක්දහස් නවසිය විසි ගණන් වල ලංකාවේ සිටි පැබ්ලෝ නේරූඩා ගැන. නෙරූඩා ලංකාවේ චිලියේ කොන්සාල්වරයා ලෙස කටයුතු කරනු ලබනවා. ඔහු වැල්ලවත්තේ 42 වෙනි පටුමගේ ජීවත් වෙනවා. “මගේ කළු කත“ නමින් නෙරුඩා ඒ කාලයේ කවියක් ලියා තිබෙනවා. නෙරූඩා ඇයව හඳුන්වන්නේ හින්දු දෙවඟනක් ලෙසයි.

ඇය තමයි ඔහුගේ වැසිකිලි බඳුන් ඉවත් කරන ස්ත්‍රිය. ඔහු හා තරුණිය සමග සම්බන්ධතාවයක් ඇති වෙනවා.

පසුව නෙරූඩා ට බුරුමයේ කොන්සල්වරයා ලෙස යාමට සිදුවෙනවා. මේ කාන්තාව නෙරූඩා නිසා ගැබ්ගත් බව සඳහන් වෙනවා. මේ සිදුවීම ප්‍රියත් හා ප්‍රසන්න දකින්නේ අපයෝජනයක් ලෙසයි. ඔවුන්ට ඒ ගැන වෙනස් විදිකට දකින්න අවශ්‍ය වෙනවා. මෙතරම් ප්‍රගතිශිලී මානව වාදී කලාකරුවෙක් විසින් තමන්ගේ වස්තු විෂය වන කාන්තාව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් තුළ විසංවාදයක් ඇතිවෙනවා.

තමන්ගේ වස්තු විෂයන් භක්ෂණය කිරීම ගැන අර්බුදයක් මතුවෙනවා. වසර 10 ක පමණ කාලයක් ඔවුන් එම තිරරචනය ලියන්න උත්සාහ කරයි. නමුත් දෙදෙනාම තෘත්තිමත් වන ආකාරයෙන් ගොඩනැගීමට අපහසුවෙයි. ඔවුන් තුළ ඒ කතාව කෙරෙහි විශ්වාසයක් ගොඩනැගුණේ නැති නිසා එය උපන්ගෙය තුළම මියගියා. උබර්තෝ පැසලෝනි කෙතරම් උත්සාහ කළත් එය සාර්ථක වුයේ නොවෙයි.

නොනවතින කතා හෙවනැල්ල

ප්‍රසන්න හා ප්‍රියත් අතර නිර්මාණකරණය සම්බන්ධ සංවාදය දිගටම සිදුවෙනවා. ප්‍රසන්නගේ සෑම නිර්මාණයක් ගැනම ඔහු බොහෝ දේ දැන සිටියේය. නිතර ඒ ගැන විමසීම් හා සංවාදයන් ඇති විය. ප්‍රියත් තුළ සැම විටම නිර්මාණයක් සඳහා කතා කළලයක් විය. ඒ තුළින් ප්‍රසන්න හා තවත් නිර්මාණ ශිල්පීන් අවදි කිරීමටත් ඔහුට හැකි විය. ඔහු එසේ කතා කළ ද පසුව ඔහු නිහඩ වෙයි. නැවත ඔහු හා කතා කිරීමේ දී ඔහු ඒ ගැන උදාසීන වන අතර වෙනත් කළලයක් සොයාගෙන තිබුණි. ඔහුගේ රෝගී තත්ත්වයේ මූලික අවස්ථාවන්හිදී සිට ඔහුගේ ඒකාග්‍රතාවය වෙනස්වී තිබීම නිසා ඔහු එක් නිර්මාණ අවේශයක් තුළ සිටීමට නොහැකි විය. නමුත් ඔහු ඒ වෙනුවෙන් සටන් කළේය.

ඒ තුළත් ඔහු ජීවිතය, නිර්මාණ සහ සමාජ සාධාරණත්ව කෙරෙහි තිබූ තිබූ ළාලසාව නිම නොවීය. එය නොනැසී අවසන් මොහොත තෙක් රැඳී තිබුණේය. ඔහු ප්‍රසන්නට තෑගි කරන සෑම පොතකම යමක් ලියා තිබේ.

ප්‍රියත් 1999 දී ලබාදෙන ලද පියරේ පාලෝ පැසලෝනිගේ ජීවිතය සම්බන්ධ පොතකට ඔහු අපූරු වැකියක් එක් කර තිබිණි.

“පැසලෝනිගේ සිනමාව ළාලසාවෙන් හා ආත්මීය වේදනාවෙන් ප්‍රමුදිත වූවා. අපිට ඉන් සියයට 10 වත් ළගා කරගත හැකි නම් කොපමණ හොඳද කියලා”

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවේ නිර්මාණයේ කොටස්කරුවෙකු වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන් විසින් වරක් ප්‍රකාශ කරන ලද කියමනක් සම්බන්ධයෙන් ඔවුන් තුළ විශාල උත්ප්‍රාසයක් අවසන් කාලයේ දී ඇති වුනා. “බොහෝ මිනිසුන් අවුරුදු 25 දී මියයනවා. නමුත් ඔහුව වළදමන්නේ අවුරුදු 75 දීයි කියා” ඔවුන් අතර උත්ප්‍රාසාත්මක සංවාදයක් ඇති වෙන්නේ වැළලී සිටීමට පෙර මිය නොයා සිටින්නේ කෙසේද කියායි.

අවසන් නොවැම්බර් හෙවනැලි

පසුකාලයේ දී ඔහුගේ අදහසක් තිබුණා ඇන්ටන් චෙකෝෆ්ගේ බල්ලා කැටුව යන කාන්තාව ඇසුරෙන් තිරනාටකයක් ලියන්න උත්සාහ කළා. ඒ වගේම අවසාන කාලයේදී ඔහු එක්තරා සංගීත කණ්ඩයක් ඇසීමෙන් විශාල ආශ්වාදයක් ප්‍රමෝදයක් ලබා තිබුණා. ප්‍රංශ සංගීතඥයෙක් වන ඔලිවියේ මෙසෑන් 1940 දී නිර්මාණය කළ සංගීත ඛණ්ඩයක්. එය නමින් “කාලයේ අවසානයයි.” (End Of Time ).

මෙසියෑන් ප්‍රංශ ජාතිකයෙක්. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කරනු ලබන අවස්ථාවේ දී මෙසැන්ව අත් අඩංගුවට ගනු ලබනවා. ඔහුව වධකඳවුරකට ගෙන යනු ලබනවා. මෙසෑන් වධකඳවුරේ එවකට ගාල් කර සිටින චෙලෝ, වයලීන, ක්ලැරිනට් වාදකයන් සමග එක්ව කාලය අවසානයයි නමින් සංගීත කණ්ඩයක් වාදනය කරනු ලබනවා. එම සංගීත රචනාව 1941 දී සිරකරුවන් 1000 ක් සහ මුරකරුවන් නිලධාරීන් ඉදිරියේ මෙය වාදනය කරනවා. සංගීත රචනාව සඳහා අවශ්‍ය කොළ ලබාදී තිබෙන්නේ ගාඞ්වරුන් සහ ජේලර්වරුන් විසින්.

අද එය විශිෂ්ඨ සංගීත රචනාවක් ලෙස සැලකෙනවා. ඒ වාදන භාණ්ඩ තුනෙන් වැයෙන වාද්‍ය කණ්ඩයක් ප්‍රියත් පරිකල්පනය කරමින්, එය ශ්‍රී ලංකාවට අනුවර්තනය කළා. එය ශ්‍රී ලංකාවේ සිදුවන අත්දැකීමක් ලෙස ගොඩනැගීමට උත්සාහයක් ගත්තා. එහි පළමුවෙනි කතා සාරාංශය ප්‍රසන්නට ඔහු එවනු ලැබූවා. එය විශිෂ්ට අදහසක්. එහි පසුබිම් කතාව අමතක කරලා සංගීතය ශ්‍රවණය කරන විට ඕනෑම සන්දර්භයක් තුළ එය සිදුවෙන්න පුළුවන්. එය හදවතට එක එල්ලේ ආමන්ත්‍රණය කරන ස්වර මාලාව නිශ්චිත රූප ලබාදීම ගැන ප්‍රසන්න ප්‍රියත් එක්ක සාකච්ඡා කරයි. ඔවුන් සිදුවීම් පෙළක් ලෙස ගොනු කිරීමට කතා කරයි.

ප්‍රියත්ගේ මේසය මත ඔහු අවසන් නොකළ සටහන තිබේ. ප්‍රියත් එහි නැත. නමුත් ඔබ එහි සිටියි.

ප්‍රියත්ට එහිදී මානුෂීක සබඳතාවල අතිශය දීර්ඝ අඳුරු කෝවිඞ් සමයක්, අඳුරු හේමන්තයක් බවත්, නමුත් කෝවිඞ් හේමන්තය අවසන් වෙන කාලයක් අපිට කිව නොහැකියි. මුල් සංගීතවේදි මෙසියෑන් මෙන්ම ජීවිතය අභියෝග වලට ලක්වෙද්දිත්, මානුෂික සබඳතා අභියෝගයට ලක්වෙද්දිත් බලාපොරොත්තු සහගතව සිටීමට පහනක් දැල්වීමට ප්‍රියත්ට අවශ්‍ය වුනා.

අවසාන දුරකතන ඇමතුම් වලින් කියවුනේ එය කරගෙන යන බවයි.

ප්‍රසන්නට පමණක් නොව තවත් බොහෝ නිර්මාණකරුවන්ට ප්‍රියත් ලියනගේ සම්බන්ධව ඇති අත්දැකීම මේ හා සමාන විය හැකියි.

ප්‍රියත්ගේ මේසය මත ඔහු අවසන් නොකළ සටහන තිබේ.

ප්‍රියත් එහි නැත.

නමුත් ඔබ එහි සිටියි.

 

Archive

Latest news

වරාය නගර පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුළු රටම අලුත් අවුරුදු උළෙලට සූදානම් වන අවස්ථාවේය. පනත්...

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41 දෙනෙක් දින නියමයක් නැතිව සවුදි රැදවුම් කඳවුරක – ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල්

ඡායාරූපය: සංක්‍රමණික ගෘහ සේවිකාවන් සේවායෝජයාට බැඳ තබන කෆාලා ක්‍රමයට එරෙහි උද්ඝෝෂණයක්. බහුතරය සංක්‍රමණික ගෘහ සේවිකාවන් වන අවම වශයෙන් මෙරට කාන්තාවන් 41 දෙනෙකු, ශ්‍රී ලංකාවට  ගෙන්වා...

හිට්ලර් ආරූඩය: ජනාධිපති කළ වාග් ප්‍රහාරයෙන් විජේදාස රාජපක්ෂ ජීවිතයට බියෙන්!

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් පාලක පක්ෂයේ මංත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ තමාට අසැබි වචනයෙන් බැන වැදුනේයයි ජනාධිපති රාජපක්ෂට චෝදනා කරයි.  ගෝඨාභය රාජපක්ෂ  එකළ ආරක්ෂක අමාත්‍යාංශයේ...

වරාය නගර නීතියට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් උසාවිය යයි.

වරාය නගරයෙහි පරිපාලන කටයුකු සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද තීරණය...

Related news

වරාය නගර පනත් කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත 2021 අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මුළු රටම අලුත් අවුරුදු උළෙලට සූදානම් වන අවස්ථාවේය. පනත්...

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41 දෙනෙක් දින නියමයක් නැතිව සවුදි රැදවුම් කඳවුරක – ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල්

ඡායාරූපය: සංක්‍රමණික ගෘහ සේවිකාවන් සේවායෝජයාට බැඳ තබන කෆාලා ක්‍රමයට එරෙහි උද්ඝෝෂණයක්. බහුතරය සංක්‍රමණික ගෘහ සේවිකාවන් වන අවම වශයෙන් මෙරට කාන්තාවන් 41 දෙනෙකු, ශ්‍රී ලංකාවට  ගෙන්වා...

හිට්ලර් ආරූඩය: ජනාධිපති කළ වාග් ප්‍රහාරයෙන් විජේදාස රාජපක්ෂ ජීවිතයට බියෙන්!

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් පාලක පක්ෂයේ මංත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ තමාට අසැබි වචනයෙන් බැන වැදුනේයයි ජනාධිපති රාජපක්ෂට චෝදනා කරයි.  ගෝඨාභය රාජපක්ෂ  එකළ ආරක්ෂක අමාත්‍යාංශයේ...

වරාය නගර නීතියට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් උසාවිය යයි.

වරාය නගරයෙහි පරිපාලන කටයුකු සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද තීරණය...