Sunday, April 11, 2021

ජයතිලක කම්මැල්ලවීරගෙන් ලොකු තනි මම වෙනුවට පොඩි තිතක්- ලියනගේ අමරකීර්ති

කේ.ඩබ්ලිව්. ජයතිලක නමැත්තෙක් ඉතා පහළ පාන්තික පසුබිමකින් පැමිණ වමේ ව්‍යාපාරයට එක්ව ඒ ව්‍යාපාරයෙහි තෙවෙනි හෝ දෙවෙනි පෙළ ක්‍රියාධරයෙකුව සිටි අත්දැකීම් ගැන කතාව කියයි. වමේ ව්‍යාපාරයෙහි දෙවෙනි හෝ තෙවැනි පෙළ ක්‍රියාධරයන්ගේ ජීවිත කතා අපට කියවන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. වීරයන් වීම හෝ වීරයන් වීමට අසමත්වීමේ කතා බොහෝ කියන්නෝ වමේ පළමු පෙළ නායකයෝය. එහෙත් අනෙක් පක්ෂවලටත් වඩා වමේ පක්ෂවල නායකයන්ගේ ප්‍රතිරූප ගොඩනැගෙන්නේ කාටවත් නොපෙනෙන දහසක් දෙනාගේ ශ්‍රමය මතය. කේ.ඩබ්ලිව්. ජයතිලක එවැනි බෙහෙවින් නිර්නාමිකව වමේ නායකයන්ගේ ප්‍රතිරූප යට පවතින අඳුර තුළ නොපෙනී යන්නට ඉඩ තිබිණි. සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අන්දමේ මේ කතාව කේ. ඩබ්ලිව්. ජයතිලක නම් වාම ක්‍රියාධරයාට හැකියාව ලැබෙන්නේ අර ප්‍රතිරූපවල හෙවණැලි යට පවතින අපැහැදිලි අඳුරෙන් එළියට එන්නට ඔහුට හැකියාව ලැබුණ නිසාය.

ඒ හැකියාව ඔහුට ලැබෙන්නේද අර පීඩීත පසුබිම තුළට පිවිසෙන තර්කයෙන් විස්තර කිරීම අසීරු හැකියාවක් නිසාය. ඒ වූකලි ලේඛන හැකියාවයි. අපමණ දුක්ඛවේදනා විඳිමින්, ජීවිතයෙහි තුන්වන දශකය වනතෙක්ම පාහේ විරැකියාවෙන් පෙළෙමින් සිටි මේ තරුණයා දේශපාලනයෙහිදී කළ නොහැකි ආත්මප්‍රකාශනයක් සහ ජීවිත ගවේෂණයක් පිණිස සාහිත්‍ය තෝරාගනියි. කේ. ඩබ්ලිව්. ජයතිලක “ජයතිලක කම්මැල්ලවීර” වී විශිෂ්ට සාහිත්‍යකරුවෙකු බවට පත් වෙයි. ඒ නිසා ඔහු තමාගේ සාහිත්‍ය ජීවිතයත්, වමේ ජීවිතයත් අතර වෙනස කියන්නට හැකි කතාකරුවෙකු ලෙස ඉතිරී වෙයි; අර හෙවණැලි යට අන්ධකාරයෙන් එළියට එයි.

“සුළු තනිතිත” පොත ඒ කතාව අපට කියයි. ඔහු කියන්නේ ඒ කතාව පමණක් නොවේ.

මෑතකදී වාම දේශපාලන සගයෙකු සමග සංවාදයක් කරමින් සිටිද්දී ඔහු මෙසේ කීවේය. “අසූ අසූ නමය ගැන ගෝර්කි වගේ ලියන ලේඛකයෙක් අපිට ඕනෙ. අම්ම වගේ පොතක් ලියන්න.” මා ඉතා ගරු කරන ඒ සගයා ඒ කතාව කියන විට මම වාදයට නොගියෙමි. එදා මා සිටියේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාවේ හරිමැදය. ඒ ඒ පොත කියවූ තුන්වෙනි අවස්ථාවයි. අවුරුදු තිහක පමණ කාලයක් තුළ එය මා තුන්වන වරටත් කියවන්නට මෙහෙය වූයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ ගිම්හානේ යන්න ගිහින් කෘතියයි. මැදිවියේදී ෂිවාගෝ යළි කියවද්දී මට සිතුණේ අපට අඩු ගෝර්කි වැනි ලේඛකයන් නොව පැස්ටර්නැක් වැනි ලේඛකයන් බවය. ඩොක්ටර් ෂිවාගෝ යනු අම්මාට වඩා බෙහෙවින් උසස් නවකතාවකි. පරිවර්තනීය අවස්ථාවක රුසියානු සමාජය ඇසුරේ වැඩෙන සංකීර්ණ ආදරකතාවක කියන ඒ නවකතාව ඉතිහාසයේ ප්‍රවාහය තුළට මැදිවුණු මනුෂ්‍ය ජීවිතයෙහි සංකීර්ණතා විචිත්‍රවත්ව හසු කර ගනියි. ඉතා ආකර්ෂණීය ස්ත්‍රියක වන ලාරා අවස්ථාවාදී ඉහළ මධ්‍යම පාන්තික නිලධාරියාගේත්, රුසියාව පරිවර්තනය කරන්නට තැත් කරන විප්ලවවාදියාගේත්, මේ දෙපාර්ශවයේම ඇති හිංසනයෙහි සහ දෘෂ්ටිවාදවල සීමා ගැන සවිඥානක පරමාදර්ශවාදී කවියාගේත් සිහින කුමරිය වන්නේ මන්ද යන ප්‍රශ්නය පැස්ටර්නාක් (පස්තර්නාක්) අසන සෙයකි.

ඉතා දුෂ්කර කොන්දේසී යටතේ ජීවත් වෙමින්, වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු ලෙස ජීවිතයෙහි වැඩි කාලයක් ගෙවූ කම්මැල්ලවීර යනු මගේ අර දේශපාලන සගයා ආසා කරන ගෝර්කි මෙන් ලියන්නට උචිත ජීවන පසුබිමක ජීවත් වූවෙකි. එහෙත් ඔහු ලියන්නේ පැස්ටර්නාක් මෙනි. පැස්ටර්නාක් ලියූවාක් වැනි දැවැන්ත නවකතාවක් කම්මැල්ලවීර ලියුවේ නැත. එවැන්නක් පැස්ටර්නාක් පවා නැවත ලියුවේ නැත. එහෙත් කම්මැල්වීරගෙන් නියෝජනය වන්නේ ටොල්ස්ටෝයි, චෙකොෆ් හෝ පැස්ටර්නාක් ආදීන්ගෙන් නියෝජනය වන සාහිත්‍ය රීතියයි. ඉතා ප්‍රචාරාත්මක ජනතාවාදයක් නියෝජනය කරමින් ලියන්නට හොඳටම ඉඩ තිබුණු ලේඛකයෙකු ඊට වඩා කලාත්මක වූද බරසාර වූද සාහිත්‍ය රීතියක් තෝරාගන්නේ ඇයි?

කළු සපත්තු කෙටිකතා සංග්‍රහයේ සිට

1985 වසරේ කළු සපත්තු කෙටිකතා සංග්‍රහය බිහිවූ තැන් සිට ලංකාවේ නිර්ධන පාන්තිකයන්ගේ සහ වාම ක්‍රියාධරයන්ගේ ජීවිතය එහි මනුෂ්‍ය ප්‍රාණය නොසිඳ සාහිත්‍යය වෙත ගෙනෙන කෙටිකතා මාලාවක් බිහි විය. එය ඒ. වී. සුරවීර, රන්ජිත් ධර්මකීර්ති හෝ මිණිවන් පී. තිලකරත්න මෙන් මධ්‍යම පාන්තික ඇසකින්, “පිටින් බලා” කරන නිරූපණයක් නොවන බව ඒ කතාවලින්ම පෙනිණි. අර අය ලියූ අනුස්මරණීය කතා ඇති බව ඇත්තකි. එහෙත් කම්මැල්ලවීර ගෙනා මේ අලුත් බව වහා පෙනිණි.

එකල නව සමසමාජයේ නායකයෙකු වූ ආචාර්ය නලින්ද සිල්වා කළු සපත්තු පොතේ අත්පිටපත කියන පළමු වැනියන් අතර කෙනෙකි. “සහෝදරය දක්ෂ ලේඛකයෙක් බව මේ කතා ටිකෙන්ම ඔප්පු වෙනවා. ” ආචාර්ය සිල්වා කීය. එහෙත් එය මුද්‍රණය කරන්නට කම්මැල්ලවීර අත මුදල් නැත. “මමත් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් දෙදාස් පන්සීයක් දෙන්නම්.” කී ආචාර්ය සිල්වා එවේලේම ඒ මුදල දුන්නේය.

පුස්තකාල සේවා මණ්ඩලයෙන් ලද ආධාරද ඇතිව ඉතා දුෂ්කර කොන්දේසි යටතේ පළවූ ඒ පොතත්, කම්මැල්ලවීරගේ දෙවෙනි පොතත් සිංහල කෙටිකතාවට නව පණක් දුන්නේය.

ඔහුගේ බොහෝ කෙටිකතා සහ නවකතාවල බොහෝ සිදුවීම් සැබෑ ජීවිතයෙන්ම පැනනැග එන බව මේ පොතෙන් පෙනෙයි. කිසිම නිශ්චිත සත්‍ය සිද්ධියක් වෙත යළි සම්බන්ධ කළ නොහැකි කතා ලියන ලේඛකයෙකු වන මට මෙය අදහාගත නොහැකි තරම් දෙයකි.

කම්මැල්ලවීර පූර්ණ කාලීන ලේඛක ජීවිතය ආරම්භ කරන්නේ ලංකාවේ වම විවිධ න්‍යායික සහ මතවාදී බෙදීම් මත එකිනෙකා මරාගන්නා තරම් භේදභින්න වී සිටි කාලයකය. 87-89 කාලයේදී ඔහු ඉන්දියාවට පැන යන්නේ දකුණෙන් බේරීමටත් වඩා වමෙන් බේරීමටය.

ගොර්කි සහ කම්මැල්ලවීර

කම්මැල්ලවීර ගෝර්කි මෙන් නොලියන්නේම එක් තනි වාම ධාරාවක් න්‍යායික පවිත්‍රතාව අදහමින් ඉන් පිට ජීවිතය නිරර්ථක කොට, නිෂ්ප්‍රයෝජන කොට, නොවටිනා කොට සලකන වාමවාද පිළිබඳ ඔහුගේ අමනාපය නිසා බව පෙනේ. ඒ අතින් ඔහු ගෝර්කි මෙන් නොලිවීම ගැන මට ඇත්තේ ගෞරවයකි. තවත් දෙයක් තිබේ. ගෝර්කි ලිව්වේ යැයි අපේ ඇතැම් වාම කණ්ඩායම් සිතාගෙන සිටි ආකාරයට ගෝර්කි ලිව්වේද නැත. අම්මා කෙසේ වෙතත් ඔහුගේ ඇතැම් ගැඹුරු කෙටිකතා නම් ළංවන්නේ පුෂ්කින්, ටොල්ස්ටෝයි, පැස්ටර්නාක් ලියූ සම්භාව්‍ය රුසියානු යථාර්ථවාදය කිට්ටු වන ලෙසිනි.

අද කම්මැල්ලවීර ජාතික ජනබලවේගයට අනුබද්ධ ජනනියමු කලකරුවන් යන සංවිධානයෙහි ක්‍රියාකාරිකයෙකි. ඒ සංවිධානයෙහි ඇතැම් ක්‍රියාධරයන් කම්මැල්ලවීරගේ කතා මාලාව කියවා ඒවායෙහි පැනෙන සාහිත්‍ය-කලා විඥානය වටහා ගැනීම ගෝර්කි ලිව්වේ යැයි තමන් සිතා සිටින විලාසය හඹායාමට වඩා වටියි.

සුළු තනි තිත ඉතා අවංක පොතකි. ගැටවර වයසේදී තමන් කළ ලිංගික අත්හදා බැලීම්ද, තමන් ලක්වූ ලිංගික අතවරද ගැන කම්මැල්ලවීර ලියන්නේ පුදුමාකාර අවංකකමකිනි. නිරන්තරයෙන් උත්කර්ෂණය කෙරෙන ලංකාවේ ගමෙහි වැසුණු ප්‍රදේශ, පන්සල් ආශ්‍රිත ලිංගික හිංසනය ආදිය පිළිබඳ මෙවන් චිත්‍රණයක් කළ හැක්කේ ජීවිතයෙහි එවන් අන්තයක සිට පොතක් ලියන්නට තරම් හැකියාවක් ලබන කෙනෙකුට පමණි. ඒ හැකියාව ලද කීර්තිමත් ලේඛකයෙකුත් එය නොලියා සිටීම වරදක් බව කම්මැල්ලවීර දනියි.

තමාගේ ජීවිතය ගලා ආයේ කවර නම් ඓතිහාසික ප්‍රවාහයක් සමගද යන්න මැදහත් සිතින් ලිවීම අතින් මේ පොත “ලොකු තනි මම” නොව සුවිසල් ජීවන චිත්‍රයෙහි “සුළු තනිතිත” සේ අපට පෙනේ.

Amrakeerthi Blogspot

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...