Sunday, April 11, 2021

ජනාධිපති කොමිෂමේ නිර්දේශ සහ රාජපක්ෂ හිරවිල්ල: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම කොමිසම සිය වාර්තාවට ලියා ඇති පසුබිම දේශපාලන පත්‍රිකාවකින් වෙනස් වන්නේ නැති තරම්ය. එය ගැන වෙනම ලිවිය යුතුය.

මෙම නඩු බොහොමයක් පවරන ලද්දේ වර්ථමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය නීතිපතිව සිටියදී ඔහු යටතේ පවැති නීතිපති දෙපාර්ථමේන්තුව විසිනි. එම නඩු පැවරිමේ අවසන් වගකීම පැවරෙන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවේ ප්‍රධානීන්ටය.

කැකිල්ලේ තීන්දු

කොමිසමේ නිර්දේශ ශ්‍රී ලංකාවේ මේතාක් නොවූවිරූ පරිදි නීතියේ අධිපත්‍යට තර්ජනයක් එල්ල කරයි. මන්ද යත් එය විසින් දැනට අධිකරණය හමුවෙහි ඇති නඩු 79ක් ඉවත් කරන සේ නිර්දේශ කර ඇති නිසාය. එපමණක් නොව මෙම නඩුවල චූදිතයින් නිදහස් කර වන්දි ගෙවීමට නිර්දේශ කරනවාට අමතරව එම නඩු පැවැරීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට නඩු පැවැරීමටද කොමිසම යෝජනා කර තිබේ.

මෙම සියළුම නඩු අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇත්තේ නීතිපති දෙපාර්ථමේන්තුව විසින් පොලිස් විමර්ශනයන් අධ්‍යනය කර සාධාරණ නඩු නිමිත්තක් ඇති නිසාය. දැන් උපාලි අබේරත්න කොමිෂම නිර්දේශ කරන්නේ එවැනි නඩු 79ක් ඉවත් කර ගැනීමටය. හරියට පිල්ලෙයාන්ට පවරා තිබූ නඩුව ඉවත් කරගත් ආකාරයටය. ඇත්ත වහයෙන්ම නම් එම නඩුවද ඉවත් කරගත යුතුයැයි එය නිර්දේශ කර තිබේ.

මෙම නඩු බොහොමයක් පවරන ලද්දේ වර්ථමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය නීතිපතිව සිටියදී ඔහු යටතේ පවැති නීතිපති දෙපාර්ථමේන්තුව විසිනි. එම නඩු පැවරිමේ අවසන් වගකීම පැවරෙන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවේ ප්‍රධානීන්ටය.

සමහර නඩු පිළිබද තීන්දු දීමට මෙම පළිගැනීම් කොමිසම උපයෝගී කරගෙන ඇත්තේ පුවත්පත් වාර්තාවන්ය. එම වාර්තා ලියා ඇත්තේ කිසිදු මාධ්‍ය ආචාර ධර්මයක් නොසළකා තුට්ටු දෙකේ ලියන්නන් විසිනි.

විපක්ෂ දේශපාලන පක්ෂ හයක නායකයින්ද ඇතුළුව දේශපාලනඥයින් සහ ජේෂ්ඨ නීතිවේදීන් 18දෙනෙකු කොමිසම විසින් වැරදිකරුවන් යැයි නිර්දේශ කර තිබේ. ඒ ඔවුන් දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙහි සාමජිකයින්ව සිටීම නිසාය. වරදකරුවන් කිරීමට ඉදිරිපත් කර ඇති හේතු ස්වාධීන අධිකරණයක් හමුවේ සානාථ කළ නොහැකි වනු ඇතැයි නීති අංශ පවසති.

එසේ නමුත් එම නිර්දේශ අනුව මෙම චෝදනා ඉදිරිපත් වන්නේ තවත් ජනාධිපති කොමිසමකට මිස ශ්‍රේෂ්ඨාධිකරණයට නොවේ. එළෙස පත් කැරෙන කොමිසමට ඕනෑම උපරිමාධිකරණයක එක් විනිසුරුවරයෙක්/වරියක් හෝ ගණනාවක් පත් කළ හැකිය. එම තනි විනිසුරුවරයා/වරිය පත් කැරෙන්නේ ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදිය.

ශ්‍රී ලංකාව වනාහී තමන් රාජ්‍ය නායකයින් බේරීමට හෝ ඔවුන් කැමැති පරිදි නඩු තීන්දු දුන් හෝ දීමට සූදානම්ව සිටි බව කියන අගවිනිසුරුවරුන් සිටින රටක් බව අප අමතක නොකළ යුතුය.

එවැනි කොමිෂමකින් යුක්තිය බලාපොරෙත්තු විය හැකිද නොහැකිද යන්න තේරුම් ගැනීම අමාරු නැත.

එවැනි විශේෂ ජනාධිපති කොමිසමක තීන්දු වෙනත් මෙරට වෙනත් කිසිදු අධිකරණයක අභියාචනයකට ලක්කළ නොහැකිය.

එවැනි විශේෂ ජනාධිපති කොමිසමට, සාක්ෂි ආඥා පනතේ හෝ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන කිසිවක් නොසළකා සිවිල් හෝ අපරාධ නඩු විභාගවලදී කවර හෝ අන් අධිකරණයක දී පිළිගත නොහැකි ලිඛිත හෝ වාචික හෝ සාක්‍ෂි පිළිගැනීමට අයිතිය තිබේ. එමෙන්ම එම සාක්ෂිකරුවන්ට මුක්තියක්ද හිමිය.

එවැනි කොමිෂමකින් යුක්තිය බලාපොරෙත්තු විය හැකිද නොහැකිද යන්න තේරුම් ගැනීම අමාරු නැත.

එවැනි කොමිෂමක් විසින් වැරදිකරුවන් බවට තීරණය කරන පුද්ගලයිනගේ ප්‍රජා අයිතිය, එනම් ජන්දය දීමේ අයිතියේ සිට කවර හෝ මැතිවරණයකට ඉදිරිපත්වීමේ අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ හැකිය. එම කාලය වසර හතක් බවත් එම තීරණය ක්‍රියාවට නැගිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්ද බලයෙන් බව 1978 ව්‍යවස්ථාවෙහි දැක්වේ.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිය සම්මත කරන ලද්දේ 1978 පෙබරවාරි 10දා එනම් ජේ.ආර්.ජයවර්ධනගේ ව්‍යවස්ථාව සම්මත කිරීමටත් මාස පහකට පෙරය. ඊට හේතුව වූයේ එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ.ආර්. ජයවර්ධනට තිබූ හදිසියයි.

ගෝටා ජෙ.ආර්. කරා හැරීම

එනයින් දැන් ගෝඨාභය රාජපක්ෂ හැරී ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන කරාය. ඔහු ඊටත් එහා යාමට සූදානමක් පෙන්වයි. මන්ද යත් රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්දන්, රවුප් හකීම්, අනුර කුමාර දිසානායක, පාටලී චම්පික රණවක, සරත් පොන්සේකා යන දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම ජයම්පතී වික්‍රමරත්න සහ ජේ.සී. වැළිඅමුන වැනි ජේෂඨ නීතිවේදීන්ද ශානි අබේසේකර වැනි අතිදක්ෂ පොලිස් නිලධාරීයකුද ඇතුලත් 18 දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මෙම කොමිසම මගින් කර ඇති නිර්දේශය ඔහු ඉදිරියට ගෙන යමින් සිටින නිසාය.

මෙම පියවර සාර්ථක කර ගැනීමට ඔහුට හැකිවුවහොත් එය මෙරට ‍ප්‍රජාතන්ත්‍රවාදය වළදමා නීතියක් නැති යුද්ධ ආණ්ඩුවක් පිහිටුවීම හා සමාන වනු ඇත. මන්ද යත් එය අතශය දුෂ්ඨ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් වනවා පමණක් නොව ඒවැනි දුර්දාන්ත පියවරකට එරෙහිව නැගී එනු ඇති මහජන විරෝධතා යටපත් කිරීමට දරැණු මර්දනයක් හැර අන් ක්‍රමයක් නැතිවිය හැකි නිසාත්ය.

අනෙත් අතට අද මෙරට නීතියේ ආධිපත්‍ය පිරිහී ඇති භයානක මට්ටම ගැන සළකා බලන විට ඒවැනි භයානක මර්දනයක් සිදුවීමට හොඳටම ඉඩ ඇති බව අප තේරුම්ගත යුතුය.

අරුමයකට මෙන් මෙම පැමිණිල්ල ද සාක්ෂියද ඉදිරිපත් කරන ලද්දේ එවකට එකී දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමේ තීන්දුව ගත් අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරයකු වූ විජයදාස රාජපක්ෂ විසිනි. එම තීරණය ගනු ලැබුණේ ජනාධිපති සිරිසේන නායකත්වය ඉසුලූ ඇමැති මණ්ඩල රුස්වීමකදීය. මෙම යාන්ත්‍රණය පිහිටුවීම වරදක් නම් ඊට අත ස්සූ විජයදාස රාජපක්ෂ ඊට වැරදිකරුවක් නොවන්නේද?

එපමණක් නොව විජයදාස රාජපක්ෂ 2018 ඔක්තෝම්බර් මාසයේ දී සිරිසේන විසින් කරන ලද ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ සහායකයකු බවට පත්වි ඇමැතිකමක්ද ලබා ගත්තේය. කුමන්ත්‍රණයෙන් පසු පිහිටුවන ලද ආණ්ඩුවද ඇමැති මණ්ඩළය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කළේය. එවැනි නීති විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුවක ඇමැතිවරයකු වශයෙන් සේවය කිරීමත් මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීමත් සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ වැරදිකරුවකු නොවන්නේද?

අද ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන්නේ වාසිදායක සාධක වලට නොව එන්න එන්නම දරුණු වන අවාසිදායක සාධක වලටය.

ජේ.ආර්. කළ විනාශය

ජේ.ආර්. ජයවර්ධනගේ් පළිගැනීමේ දේශපාලන සම්ප්‍රදාය ශ්‍රී ලංකාව විනාශ මුඛයට ඇද දැම්මේය. 1980 වැඩ වර්ජනය මර්දන කර ලක්ෂයක් කම්කරු ජනයාගේ රැකියා උදුරා ගත්තේය. 1982 කළගෙඩි ලාම්පු ජනමත විචාරණය මගින් 1977 බලයට පත් පාර්ලිමේන්තුව තවත් වසර පහකට දීර්ඝ කර ගැනීම මගින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට වසා දැම්මේය.

1983 දී දෙමළ විරෝධී කලු ජූලියට ඉඩ දී දෙමළ තරුණ පරම්පරාවක්ම ආයුධ අතට ගන්නා තැනට පෙළබෙව්වේය. කලු ජූලියට සම්බන්ධයැයි බොරු චෝදනා කොට තහනම් කිරීම මගින් ප්‍රජාතන්ත්‍ර‍වාදී දේශපාලන ප්‍රවාහයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණ යටිබිම් දේශපාලනයකට තල්ලු කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන දැනුවත්වමය.

යම් දිනෙක රාජපක්ෂ නොවන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ලැබී මෙම පළිගැනීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වෙත 2018 ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ සහායකයින් වූ සිරිසේනගේ සිට විජයදාස රාජපක්ෂලා දක්වා කැදවුවහොත් කුමක් සිදුවනු ඇතිද? මේ සන්තෑසියමය.

1977 දී ජේ.ආර්. ජයවර්ධනට වාසිදායක සාධක ගණනාවක්ද තිබුණි. ඔහුට පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් තිබුණි. විපක්ෂය ඉතා දුර්වල විය. අන්තර් ජාතික මානව හිමිකම් ව්‍යාපාරයක් නොතිබූ තරම්ය. ඔහු රට ආර්ථික වශයෙන් විවෟත කර බටහිර බලවේග සමග හාද විය. ඔහු බලයට පැමිණයේම ආර්ථක වශයෙන් විවෟත කිරීමටය.

අද ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙන්නේ වාසිදායක සාධක වලට නොව එන්න එන්නම දරුණු වන අවාසිදායක සාධක වලටය.

කොවිඩ් වසංගතයේ විපාක සමාජීය මෙන්ම ආර්ථික වශයෙන්ද බිය ජනකය. දේශපාලන ක්ෂේත්‍රයෙහි ඔහු විසින් බලයට ඒම පිනිස අවුලවා ශක්තිමත් කළ අන්තවාදී බෙෘද්ධ බලවේග ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොසිනි. කොලඹ වරායේ නැගෙනහිර ජැටිය ගෝඨාභයගේ බලය පිළිබද ගල උඩ සටනක් බවට පත්වෙමින් තිබේ.

බලහත්කාර අදාහන පිළිවෙත විසින් මුස්ලිම් සමාජයම උග්‍ර වේදනාවකට සහ කණස්සල්ලකට පත්ව සිටී. මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ දේශපාලන පක්ෂ යුද සමයේ සිදුකරන ලද අයිතීන් කෙළසීම් වලට එරෙහිව එක් පෙරමුණකට පැමිණ සිටිති. දෙමළ අනුස්මරණයන් මර්දනය කිරීම මගින් දෙමළ ජන ආත්මය යළි තුවාල කර තිබේ.

අද සමාජයේ නොනැවත දේශපාලන හාස්‍යට ලක්වන වරිතයක් බවට “හිට්ලර්” කබාය අන්දවන ලද ගෝඨාභය රාජපක්ෂ පත්ව තිබීමත්, “ස’ පේල්” යන පාඨය ජනගතව තිබීමත් මේ සියලු අර්බුද සංකේතවත් කරයි.

එපමණක්ම ද නොවේ. පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව මුහුණ දෙන එක්සත් ජතීන්ගේ සංවිධානයේ බරපතලතම වාර්ථාවටද ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටී. මානව හිමිකම් සහ කොමසාරිස්වරිය යෝජනා කරන්නේ යුද සමයේ කරන ලැදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂනයක් හැර අන් මඟක් නැති බවයි. එම වාර්තාව විසින් රාජපක්ෂවරු කොතෙක් සසළ කර ඇත්ද යත් ඊට එරෙහිව වෙඩිමුර සහ වීරවංශ පෙළපාලි සංවිධානය කරනු වෙනුවට මේ තාක් කියමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සහ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබද ක්‍රියාකාරී කණ්ඩායමේ සමදායකත්වයෙන් එළඹෙන 46වන සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැනය!

සමහර විට රාජපක්ෂවරු අපේක්ෂා කරනු ඇත්තේ මහ කොමසාරිස්වරියගේ යෝජනා කල්දැමිය හැකි යෝජනාවක් ගෙන ඒමට විය හැකිය. එය සිදුවීමට ඉඩක් නැත. පසුගිය මාර්තුවෙහිදී මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ගෙන් ඉවත් වී රතිඥා දැමූ ගෝඨාභය ආණ්ඩුවට රෙදි ඇදගෙන නව යෝජනාවකට එකඟ විය නොහැක.

තවද ඉන්දියාව 13වන සංස‌ෝධනය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අවසාන නිවේදනයක් දී ඇති අතර පළාත් සභා අහෝසි කළ යුතු බවට ඔහුගේ මහාජන ආරක්ෂක ඇමැති ප්‍රමුඛ අන්තවාදී බලවේග අවසාන නිවේදනයක් දී තිබේ.

මේ සියලු සාධක පෙන්වන්නේ ගෝඨාභය රාජපක්ෂ හිරවී සිටින හිරවිල්ලය. එවැනි සමාජ දේශපාලන ආර්ථික තත්වයක් යටතේ විපක්ෂ දේශපාලන පක්ෂ හයක නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම කරා රාපක්ෂවරු ගමන් කරන්නේ නම් එය සිදු විය හැක්කේ ශ්‍රී ලංකාව දරුණු සමාජ දේශපාලන අගාධයකට ඇද දමමින් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වළපල්ලට යවමින් බව තේරුම් ගැනීම අමාරු නැත.

ඒකාධිපතියකුට පැවැතිය හැක්කේ මර්දනය උග්‍ර කිරීමෙන් පමණි. මර්දනය ලිහිල් කිරීමට පටන් ගන්නා විට ඒකාධිපතියාගේ අවසානය අහසේද පොළවේද ලියැවෙන්නට පටන් ගනී.

ඇස් ඇර ගෙන ඉන්න. හෙණ පුපුරන්න පුලුවන්!

(පසුගිය සතියේ ලියූ පරිදි 20වන සංසෝධනය අනුව මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට කරන ලද පත්වීම් ගැන ඉදිරි සතියක ලියමි)

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...