Thursday, June 24, 2021

කොළඹ වරාය නගරය: කොලනියක් ද? ප්‍රාන්තයක් ද? වෙනම විසා ඕනෑද ද?

වරාය කොළඹ වරාය නගරය නැවතත් ජනතාව අතර සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ඇත. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ මතුවනු ඇතැයි කියන තත්ත්ව සම්බන්ධ චෝදනා එල්ලවීමත් සමගය.

අදාළ පනත හරහා එම භූමී ප්‍රදේශය චීන කොලනියක් වන අතර එය රටේ කොටසක් ලෙස නොව වෙනමම කලාපයක් ලෙස නම් කිරීමක් ලෙසත් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ක්‍රියාත්මක වන, බදු සහන ලබාදෙමින් කළු සල්ලි සංසරණය වන ස්ථානයක් වනු ඇතැයි යන්න එසේ නැගෙන චෝදනාවලින් කියැවේ.

පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු පෙත්සම් 19 ක් සළකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නිර්දේශ කතානායකවරයා වෙත යොමු කළහ.

අදාළ පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා ඇතුළු පිරිසක් විසිනි.

එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළහ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පැවසු පෙත්සම්කරුවෝ, අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ එහි ඇති බලතල මොනවාද?

කොළඹ වරාය නගර භුමිය සහ අයිතිය

කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණි. නමුත් ඒ වටා ඉදිර කර ඇති දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 කි.

මෙකී සමස්ත භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත් කර ඇත.

වරාය නගරය

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

භූමි අවකාශයේ හෙක්ටයාර 269 න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර 178 ක එනම් අක්කර 439 ක පමණි. සෙසු හෙක්ටයාර 91 නැතහොත් අක්කර 224 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහාය. ගොඩනැගිලි ඉදිකළ හැකි හෙක්ටයාර 178 න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලැබෙනුයේ හෙක්ටයාර 116 ක් එනම් අක්කර 286 ක් පමණි. ඉතිරි හෙක්ටයාර 62 එනම් අක්කර 153 රජයට සෘජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට ප්‍රතිබදු දීමේ හැකියාව ඇත.

සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදල ප්‍රතිපූරණය කර ගැනීමේ සැලසුමෙන් ව්‍යාපෘති සමාගමට හිමි වන හෙක්ටයාර 116 ත් ඔවුන්ගේ පරිහරණයට වඩා ඉලක්ක ගත කෙරෙනුයේ තෙවෙනි පාර්ශවීය ආයෝජකයන් වෙත ප්‍රතිබදු ලබා දීමය.

ව්‍යාපෘතියේ සමස්ත භූමි අවකාශය වන අක්කර 1102 න් අදාළ චීන සමාගම වෙත තාවකාලිකව හෝ ලැබෙනුයේ අක්කර 286 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25% ක් බව රජය පවසයි.

වරාය නගරයේ පාලනය

වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට බලයට පැමිණියේ ‘දේශප්‍රේමී’ මුහුණුවරකින් හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට පොරොන්දු දෙමිනි. එහෙත් ජනාධිපතිවරයා විසින් කරනු ලබන කොමිෂන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බවට කොතනක හෝ සඳහන් නොවීම තුළින්, කොමිෂන සභාවේ සාමාජිකයින් විදේශිකයන් හෝ හුදෙක් චීන ජාතිකයින්ද යන්න පිළිබඳ සැක මතුවන බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

නිතීඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දෙන පරිදි වරාය නගරයේ පාලනය සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කරන පුද්ගලයින් 5ක් හෝ 7 කින් සමන්විත කොමිසමක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතේ විධිවිධාන සලසා ඇතත් එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුයැයි සදහනක් නොමැත.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රධාන විධායක නිලධාරී) ද ජනාධිපතිවරයා විසින් ම පත්කරනු ලබයි. එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීමේ අවශ්‍යතාවක් ද මෙහි සදහන් කර නොමැති බව නිතීඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටී.

එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනු ඇති බවට ද චෝදනා නැගේ. මේ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමට, ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී මිලින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය මෙබඳු විණි.

පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනි, එහෙත් වරාය නගරය පාලනය වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනි. එම කොමිෂන් සභාවේ සමාජිකයින් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව ද මිලින්ද රාජපක්ෂ කියා සිටියේය.

කොමිෂන් සභාවේ නියෝජිතයන්ට මෙම පනතට අදාළ කටයුතු සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි කිසිවක යෙදීම වෙනුවෙන් හෝ කාර්ය ඉටු නොකිරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙන බව ද කියැවේ.

“නමුත් එම මුක්තිය කවර ආකාරයේ අපරාද වරදක් හෝ මේ පනතේ කටයුතු හිතාමතා පැහැරහැරි අවස්ථාවන් වලදී හෝ රටේ පිළිගත් වෙනත් නීති උල්ලංඝණයකදී කිසිසේත්ම අදාළ නොවේ,” යැයි මිලින්ද රාජපක්ෂ පැවසීය.

කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ අදාළ වන්නා වූ, සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග පිළියෙල කිරීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව වගකිව යුතු ය යනුවෙන් පනත් කෙටුම් පතේ සඳහන් වේ.

කොමිෂන් සභාවේ අරමුණු සහ බලතල, කාර්ය සහ කර්තව්‍ය

  • කොළඹ වරාය නගරය, කලාපයේ ප්‍රමුඛ විශේෂ ආර්ථික කලාපයක් සහ ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ප්‍රවර්ධනය කිරීම රට තුළට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම, සුරක්ෂිත සහ හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව සඳහා පහසුකම් සැලසීම සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයට අදාළ ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය කලාපයේ වෙනත් ආකර්ෂණීය ආර්ථික කලාපවලට සමාන මට්ටමකින් පවත්වාගෙන යාමට වගබලා ගැනීම සඳහා ප්‍රයත්න දැරීම, ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා එහි ව්‍යාපාරික මෙහෙයුම් සහ පරිපාලනය කාර්යක්ෂම ලෙස, විශ්වසනීය ලෙස සහ පාරදෘශ්‍ය ලෙස සිදු කිරීමේ පහසුව සහතික කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම, නාවික ප්‍රවර්ධන මෙහෙයවීම්,
  • අක්වෙරළ බැංකු කටයුතු සහ මූල්‍ය සේවාවන්, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර ප්‍රභවයන්ට දීම, සංස්ථාපිත මූලස්ථානයේ මෙහෙයුම්, කලාපීය බෙදාහැරීමේ මෙහෙයුම්, සංචාරක කටයුතු සහ ඒ හා සම්බන්ධ වෙනත් සේවාවන් තුළ ගෝලීය සහ කලාපීය ආයෝජන සිදු කිරීම දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීම, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ වර්ධනය කිරීම, තීරු බදු රහිත සාප්පු , විනෝදාත්මක කටයුතු සහ ඒ හා සමාන වෙනත් පහසුකම් සැලසීම මගින් සංචාරක කටයුතු සහ ඒ හා සම්බන්ධ සේවාවන් ප්‍රවර්ධනය කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම, තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම; සහ කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ නේවාසික ප්‍රජාවක් පදිංචි කරවීම මඟින් නාගරික පහසුකම් පිළිබඳ මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම,
  • වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන් වුවද, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට සංවර්ධන කටයුතුවල නිරතවීම සඳහා ද ව්‍යාපාර, සාප්පු සවාරි, සූදු ක්‍රීඩා කටයුතු ඇතුළු විනෝදස්වාද ක්‍රියා සහ වෙනත් යම් පහසුකම් ක්‍රියාත්මක කිරීම සඳහා ද, වාණිජමය නේවාසික පහසුකම්වල භුක්තිය ලබා ගැනීම සඳහා ද අවශ්‍ය විය හැකි වෙනත් සියලු අවසරපත්‍ර, නිෂ්කාශන, වැඩ කිරීමේ අවසරපත්‍ර සහ වෙනත් යම් අනුමතයන් සැලසුම් කිරීම, නිකුත් කිරීම සහ ඊට අනුකූලව කටයුතු කර ඇත්ද යන්න අධීක්ෂණය කිරීම.

අරමුදල් එක්රැස්කිරීමේ බලය

සාමාන්‍යයෙන් රාජ්‍ය ආදායම් එකතු වන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලට ය. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යවේ. එහෙත් මෙම කොමිෂන් සභාවට විශේෂ මුල්‍ය බලතල ලැබෙන බවත් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකි බවටත් චොදනා නැගේ. නමුත් රජය පවසන්නේ ඕනෑම රාජ්‍ය ආයතනයකට, කොමිසමකට ස්වකීය අරමුදල් පවත්වාගෙන යා හැකි ආකාරයටම වරාය නගර කොමිසමටත් අරමුදලක් පැවතීම සාමාන්‍ය දෙයක් යනුවෙනි.

“අනෙක් රාජ්‍යමය ආයතන මහජන බදු මුදලින් නැතහොත් පාර්ලිමේන්තු අවසරයෙන් මුදල් ලැබුවද වරාය නගර කොමිසම ස්වකීය අරමුදල් ප්‍රධාන කොටම විදෙස් ආයෝජන වලින් උපයා ගෙන එය රජය වෙත ලබා දීමේ වෙනස් ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වීමට නියමිත අතර කොමිසම රටේ ජනාධිපතිවරයාට සහ ඔහු නම් කරන අමාත්‍යවරයෙකුට වග කියන බැවින් අවසානයේ එය රටේ මහජනතාව වෙත සිදු වන වගවීමකි,” යනුවෙන් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

බදු සහන

සාමාන්‍යයෙන් රටේ බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණකි. නමුත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමිවී ඇති අතර එමගින් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමි බවට විශ්ලේෂකයන් චෝදනා නගයි.

පනතේ දෙවෙනි උපලේඛනයට අනුව ආයෝජකයින්ට නිශ්චිත නීති වලින් එනම් දේශීය ආදායම, වැට් බදු, සුරාබදු, රේගු, ඔට්ටු සහ සූදු බද්ද, විනිමය පාලනය, කැසිනෝ ව්‍යාපාර නියාමනය වැනි රටේ පවතින ඇතැම් පොදු බදු හා නිතීන් වලින් ආයෝජකයින් නිදහස් කළ හැකිය යනුවෙන් නිතීඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වාදෙයි.

එහෙත් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ පවසන පරිදි කොමිසම විසින් නිර්දේශ කර සකස් කරනු ලබන ඕනෑම බදු සහනයක් බලාත්මක වීමට නම් එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුවේ.

“විදෙස්ගතව විදේශ විනිමය ඉපයීම වෙනුවට මෙරට සිට උසස් වෘත්තීන්වල නිරත වෙමින් විදේශ විනිමය ඉපයීමේ යුගයක් බිහිවීමේ මූලික අදියර හැටියට මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙන අතර එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි,” බව ඔහු පැවසීය.

විගණනය හා වගවීම

රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වූවත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවට සමාජය තුළ මහත් කතාබහක් ඇති වී ඇත.

නිතීඥ සුරේන් ප්‍රනාන්දු පවසන්නේ කොමිෂන් සභාවේ ගිණුම්, සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කිරීම අවශ්‍ය වන නමුත් එම විගණනය විගණකාධිපති විසින් කළ යුතු බවට කිසිදු අවශ්‍යතාවක් නොමැති කම නිසා ඒ පිළිබඳව ඇති විනිවිදභාවය පිළිබඳව ගැටලු මතුවිය හැකි බවය.

එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ව්‍යවස්ථාවේ 154 වගන්තිය ප්‍රාකාරව විගණන කටයුතු ජාත්‍යන්තර විගණන අධීක්ෂණයක අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර අවසන් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවින් එය හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව මහජන නියෝජිතයින්ට ලැබෙන බවය.

සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (COPA) සහ කෝප් (COPE) කමිටු හමුවට කැඳවනු ලැබිය හැකිවූවත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකිය යන චෝදනාවට පිළිතුරු දෙමින් මිලින්ද රාජපක්ෂ පැවසුවේ එසේ කැඳවිය නොහැකි බවට අදාළ පනත් කෙටුම්පතේ සඳහනක් නොමැති බවය.

“මහජන මුදල් වලින් නොයැපෙන ආයතනයක් ලෙස ගොඩනැංවීමට අපේක්ෂිත ආයතනයක් බැවින් පාර්ලිමේන්තුවට වඩා සෘජු වගවීම ඇත්තේ ජනාධිපතිවරයා වෙත හෝ නම් කරන ලද අමාත්‍යවරයෙකුට,” යනුවන් ඔහු පැවසීය.

ශ්‍රී ලාංකිකයන්ට මෙහි ආයෝජන කළ නොහැකිද?

මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ට පමණක් බවට පැවසෙන අතර වරාය නගරය තුළ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙන බවත් එමගින් මෙය ‘වෙනම ප්‍රාන්තයක්’ වීමක් බවට චෝදනා එල්ලවී ඇත.

“වරාය නගරය තුළ ව්‍යාපාර කළ හැක්කේ ‘බලයලත් පුද්ගලයෙකුට’ පමණි. එසේ බලය පවරනු ලබන්නේ කාටද යන්න කොමිසම විසින් තීරණය කරනු ඇති. වරාය නගරයෙන් පිටත පදිංචිකරුවෙකු සමඟ ව්‍යාපාරයක යෙදීමට බලයලත් පුද්ගලයෙකුට කොමිසමට අවසර ලබා දිය හැකිය,” යනුවෙන් නිතීඥ සුරේන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ අයදුම්පත් මගින් කරනු ලබන විදේශ සෘජු ආයෝජන සඳහන් කළ යුතු අතර දේශීය බැංකුවල විදේශ මුදල් තැන්පතු මේ සඳහා භාවිත කළ නොහැකිය යනුවෙනි.

එහෙත් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ මිලින්ද රාජපක්ෂ පවසන්නේ දේශීය හෝ විදේශීය ඕනෑම ආකාරයකින් අරමුදල් සම්පාදනය කරගත හැකියාව ඇති මෙරට ව්‍යාපාරිකයින් සේම මෙරට සිට ක්‍රියාත්මක විදෙස් ව්‍යාපාරිකයින් පවා මෙරට තුළ ඇති මුදල් සංචිත විදෙස් මුදල් වලට මාරු කර හෝ තම විදෙස් ව්‍යාවහාර මුදල් වලින් මෙරට බැංකු තුළ පවත්වාගෙන යන මුදල් ඉතා සීඝ්‍ර ලෙස වරාය නගරය වෙත සම්ප්‍රේෂණය කිරීමට ඉඩ ලබාදී ඇති බවය.

“නමුත් මෙම කොන්දේසිය මගින් දේශීය හෝ විදේශීය ඕනෑම ව්‍යාපාරිකයෙකු විදෙස් සංචිත අනිවාර්යයෙන්ම විදේශ රටක සිට රැගෙන ආ යුතුය. එමගින් නියත ලෙසම විදෙස් ආයෝජන මෙරටට ලැබීමේ ප්‍රවණතාව ඇති වේ. මේ වන විටත් ඇතැම් දේශීය සමාගම් තමන් සතු විදේශ මුදල් මෙරටට නොගෙන්වා සිංගප්පූරුව, හොංකොං හෝ ඩුබායි වැනි නගර වල මෙම යෝජිත පහසුකම් ඇති බැංකු තුළ තැන්පත් කර පවත්වාගෙන යමින් සිටී. වරාය නගර කොමිසම බිහිවීමෙන් පළමු කොටම ප්‍රතිලාභ ලැබෙනුයේ එසේ විදෙස් සංචිත රටින් පිට තැන්පත් කර සිටින දේශීය ව්‍යාපාරිකයින් වෙතයි,” යනුවෙන් ඔහු පැවසීය.

වරාය නගරය තුළ භාවිත කෙරෙන්නේ චීනයේ ‘යුවාන්’ ද?

වරාය නගර කලාපය තුළ සේවය කරන පුද්ගලයින්ට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව පැවසෙන අතර එය චීන ‘යුවාන්’ විය හැකි බවට මතයක් පවතී. එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ලෝකය පිළිගත් ඕනෑම ව්‍යවහාරික මුදල් ඒකකයකින් වැටුප් පමණක් නොව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් සැපයීමටත් දීමටත් වරාය නගරය තුළ හැකි වනු ඇති අතර එය ශ්‍රී ලංකා හෝ ඉන්දීය රුපියල් පමණක් නොව යුරෝ, පවුම්, ඩොලර්, යෙන්, ඩිනාර්, රූබල් ඕනෑම ඒකකයක් විය හැකි බවය.

වරාය නගරයෙන් පිටවන විට බදු ගෙවිය යුතු ‘වෙනම රටක් ද?’

ශ්‍රී ලංකා පුරවැසියන්ට කොළඹ වරාය නගරයේ දී භාණ්ඩ හා සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් නගරයෙන් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු බවට ද චෝදනාවක් එල්ල වේ. රජය පාර්ශ්වයෙන් පවසන පරිදි බදු සහන හිමිවන්නේ සංචාරකයින්ට හෝ තාවකාලික පදිංචි වීසා ඇති පුද්ගලයන්ට වරාය නගරය තුළ පරිහරණය හෝ පරිභෝජන කිරීම සඳහා පමණි.

“රටේ සමස්ත භාණ්ඩ හා සේවා අලෙවිය ආරක්ෂා කරගනිමින් සංචාරකයින් සඳහා වඩා උසස් හා තරඟකාරි භාණ්ඩ හා සේවා ලබා දීමට මෙමගින් හැකි වෙයි. මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය නිරවුල් කරගත හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ජාතික ආර්ථිකය පිළිබඳ මතයක් ඉදිරිපත් කළද රටේ අන පනත් අහෝසි කරමින් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැරසෙන්නේය යන්න තවත් චෝදනාවකි. එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ලෝකයේ බොහෝ රටවල විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල අති දක්ෂ ශ්‍රී ලාංකිකයින් සේවය කරන පුවත් නිතර අසන්නට ලැබෙන අතර එවැනි රටෙන් අහිමිව ගිය විශිෂ්ඨ බුද්ධිමතුන් යළි මව් රටට ගෙන්වා ගැනීමට හැකි අනගි අවස්ථාවක් මෙමගින් උදාවන බවය.

“වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳාගත යුත්තේ ජ්‍යාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජ්‍යාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු විය. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙන බවත් එවැනි බේරුම්කරණ මධ්‍යස්ථාන බිහිවීමෙන් පෙන්නුම් කරනුයේ දියුණු ජ්‍යාත්‍යන්තර තලයේ නගරයක් බවට කොළඹ වරාය නගරය පත්වීමේ මුල් පියවර,” යනුවෙන් මිලින්ද රාජපක්ෂ පැවසීය.

වරාය නගරය තුළ පවතින්නේ වෙනම නීතියක්ද?

මේ අතර දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම කළාපය තුළ ක්‍රියාත්මක නොවන ඇතැම් විහාරකයෝ පෙන්වා දෙති.

ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත වැනි වැදගත් පනත් කළාපය තුළ ක්‍රියාත්මක නොවන බව බව එම චෝදනාවල දැක්වේ.

“සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා යි” යැයි මිලින්ද රාජපක්ෂ පැහැදිලි කළේය.

“එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය ඇති රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාළ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, තමන්ට රිසි පරිදි සමාගම්වලට සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාළ අයිතිවාසිකම් ආරක්ෂාවන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා.” යනුවෙන් විශ්ලේෂකයින් පැවසීය.

සැලසුම් සකස් කෙරෙමින් තිබෙන්නේ වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටය යනුවෙන් බව පවසන ඇතැම් විශ්ලේෂකයින් හා නීති විශාරදයෝ, චීනයට හොංකොං පිළිබඳ ඇති සැලසුමට සමාන සැලසුමක් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ඇති බව පවසති. පවතින භූ දේශපනනික ආනතීන් නිසා බොහෝ දුරට චීනයට නැඹුරු ආයෝජන පමණක් මේ වෙත ලැබීමේ ප්‍රවණතාවක් ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ඊට ප්‍රතිචාර දක්වමින් මිලින්ද රාජපක්ෂ කියා සිටින්නේ, “හොංකොං යනු ඓතිහාසික සාධක අනුව පුරාණ චීන අධිරාජ්‍යයේම කොටසක්. එය 1842 වසරේදී බ්‍රි‍තාන්‍යයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගන්නා ලදුව පසුව විවිධ උපක්‍රම මගින් අබිං යුධ සමයේදී කූට ලෙස පාලනය කොට පසුව 1898 වසරේදී 99 අවුරුද්දක් සඳහා චීන අධිරාජ්‍යයාගෙන් බදු පදනම මත ගන්නා ලද අර්ධදීප භුමියක්,” යනුවෙනි.

“99 අවුරුදු බද්ද අවසන් වූ 1997 වසරේදී අකමැත්තෙන් වුවද යළි චීනය වෙත හොංකොං කලාපය ලබා දීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වූයේ ඔවුන් ලෝකය හමුවේ බැටළුහම් පොරවාගත් වෘකයින් සේ වසර 150ට අධික කාලයක් ඒ කලාපයේ ධනය හා ස්වභාවික සම්පත් සූරාකා තිබූ පසුබිමකය. නමුත් වසර 150 ක් තිස්සේ බ්‍රිතාන්‍යයන් හොංකොං තුළ ක්‍රියාත්මක කළ පාලන ක්‍රමය එක රැයින් වෙනස් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේ නැහැ.”

“එය එක රටක ක්‍රම දෙකක් යන සංකල්පය ඔස්සේ සිදු කිරීමට ඔවුන් කටයුතු කළත් අදටත් බ්‍රිතාන්‍යයන් විසින් බිහිකරන ලද බටහිර ලැදි නූතන හොංකොං පරම්පරාව නිරන්තරව උසි ගන්වමින් හොංකොං කලාපය අස්ථාවර කිරීමේ සාහසික ක්‍රියාවේ බ්‍රිතාන්‍යයන් නිරත වේ.”

“නූතන සමාජවාදයේ සුපිරි ආදර්ශය වන චීනය පසෙකලා අන්ත ධනේෂ්වර බ්‍රිතාන්‍යයේ ක්‍රියාකලාපයට ආවැඩීම විමතිය දනවන කරුණකි,” යනුවෙන් ද මිලින්ද රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොලීසිය වරාය නගරයේ නිතීය බලාත්මක කරන අතර එහි නඩු කටයුතු ශ්‍රි ලංකා අධිකරණ තුළ විභාග කෙරේ. නමුත් එම නඩු ඉතා ඉක්මනිනි අවසන් කිරිමට කටයුතු කරනු ඇති බව ද මිලින්ද රාජපක්ෂ කියා සිටියේය.

මේ අතර ‘වෙරටි’ පර්යේෂණ ආයතනයේ සුභාෂිනි අභයසිංහ මේ පිළිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ “තියෙන සිස්ටම් දේශීය ව්‍යාපාරිකයන්ට, අලුත් සිස්ටම් විදේශ ව්‍යාපාරිකයන්ට, අලුත් එක තියෙන එකට වඩා හොඳලු. තියෙන එකත් එක්ක ගෝලීය තරඟකාරී ව්‍යාපාර කරන්න බැරිලු. දෙස් විදෙස් හැමෝටම ගෝලීය තරඟකාරී ව්‍යාපාර කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න බැරි වීම, සංවර්ධනයට එදත් අදත් තිබෙන ලොකුම බාධාවක්.” යනුවෙනි.

කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ නොවන පනත්

1. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත

2. (252 වන අධිකාරය වූ) මහනගර සභා ආඥාපනත

3. 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත

4. (269 වන අධිකාරය වූ) නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත

5. 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත

6. 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත

7. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනත

නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කරනු ලැබිය හැකි පනත්

1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

3. 2002 අංක 11 දරන මුදල් පනත

4. 2005 අංක 5 දරන මුදල් පනත

5. 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත

6. 2002 අංක 16 දරන හරබදු පනත

7. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත

8. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත

9. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත

10. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සූදු බදු පනත

11. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

12. (267 වන අධිකාරය වූ) විනෝද බදු පනත

13. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත

14. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත

  • රංග සිරිලාල් /බීබීසී සිංහල වෙතිනි

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...