Sri Lanka Brief
පුවත්විවරණමරණ දඬුවම ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් සිරිසේනට සාමයෙන් නිදන්ට බැරිවනු ඇත. – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

මරණ දඬුවම ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් සිරිසේනට සාමයෙන් නිදන්ට බැරිවනු ඇත. – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

by

Cartoon by Jeffrey.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂ එම තීරණයට විරෝධය දක්වයි. පුරවැසි සංවිධාන එය හෙළාදැක තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙන්ම බොහෝ රටවල් ද, ජනාධිපතිවරයාගේ එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටී. මරණ දඬුවම යළි පැනවීම නිසා, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදයට එරෙහිව දියත්ව ඇති සටන සඳහා වන ජාත්‍යන්තර සහයෝගයට බාධා පැමිණිමටත් අවකාශ ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් සමග තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ උදර්පණය කිරීමේ කටයුතු තහනම් කෙරෙන නීතී ඇති රටවල් ද බොහොමයක් තිබේ. ජනාධිපතිවරයාගේ තීරණයට දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් විරෝධය දක්වා තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන ඕනෑම කටයුත්තකට වෛද්‍යවරයෙකු සම්බන්ධ වීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව එම සංගමය පෙන්වා දෙයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධ වීම හිතුවක්කාරී ය. ව්‍යවස්ථා විරෝධී ය.

මරණ දඬුවම අවසාන වශයෙන් අහෝසි කර දැමීම දක්වා වන එක පියවරක් වශයෙන්, මරණයට පත්කිරීම් විලම්බනය කිරීමට (මරණයට පත්කිරීම් ක්‍රියාවට නැගීම නතර කරගෙන සිටීමට) පක්ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙනා යෝජනාවන්ට සිය එකඟත්වය පළ කරමින්, 2007 වසරේ සිට ශ්‍රී ලංකාව එක දිගටම ඡන්දය පාවිච්චි කොට තිබේ. 2007 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කර ගත් යෝජනාව තුළ මෙසේ කියැවෙයි: “මරණ දඬුවම මනුෂ්‍ය ගරුත්වයට නිගාවකි. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම කෙරෙහි මරණ දඬුවම විලම්බනය කිරීම (මරණයට පත්කිරීම් ක්‍රියාවට නැගීම නතර කරගෙන සිටීම) උපකාරී වන බව මේ සභාව ඒත්තු ගෙන සිටී. මරණ දඬුවම නිසා අපරාධ මර්දනය කෙරෙන බවට ඒකාන්ත සාක්ෂි ඇත්තේ නැත. එසේම, මරණ දඬුවමක් ක්‍රියාත්මක කිරීමේදී ඇති වීමට ඉඩ ඇති යුක්ති ධර්මයේ අත්වැරැද්දක් ආපසු හැරවීමට හෝ පිරිමසාලීමට හෝ පුළුවන් කමක් ඇත්තේ නැත.” මේ ජාත්‍යන්තර ස්ථාවරය එයින් පසුව නැවත නැවතත් සනාථ කොට ස්ථාවර කොට ඇති අතර, 2018 දෙසැම්බර් තරම් වන මෑත කාලයකදී පවා මරණ දඬුවම නතර කරගෙන සිටීමේ කාර්යයට (විලම්බනය කිරීමට) පක්ෂව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිය ඡන්දය පාවිච්චි කොට ඇත.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක්

නීතිය පිළිබඳ කාරණයක් වශයෙන් ගත් විට, ඉහත කී ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව අනුගමනය කොට ඇති පැහැදිලි ස්ථාවරය ප්‍රකාරව සහ 1976 සිට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නගා නැති තත්වය තුළ, ජනාධිපතිවරයා මෙසේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට දැන් තීරණය කිරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් වශයෙන් මම දකිමි. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (1) යටතේ, ජනරජ ආණ්ඩුවේ මෙහෙයවීම සහ පාලනය පැවරෙන්නේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයටයි. එබැවින්, ආණ්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව යාමට ජනාධිපතිවරයාට පුළුවන් කමක් නැති බව මෙහිදී සඳහන් කළ යුතුය. ඊටත් වඩා, පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂත් මරණ දඬුවමට එකඟ නොවන බව සිහිපත් කර ගැනීම වටී. පාර්ලිමේන්තුවේ මතය විමසා සිටීමට ජනාධිපතිවරයා වගකීමෙන් බැඳී සිටී. එම තත්වය තුළ, මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අතාර්කික ය. අසාධාරණ ය. අත්තනෝමතික ය. එය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය උල්ලංඝණය කිරීමකි.

මරණ දඬුවම අරභයා සිදුවීමට ඉඩ ඇති යුක්ති ධර්මයේ අවගමනයක් ආපසු හැරවිය නොහේ

1956 දී කොල්වින් ආර්. ද සිල්වා පාර්ලිමේන්තුවේදී මෙසේ කීය: “රාජ්‍යය විසින් මිනිසාගෙන් පැහැර ගත හැකි බොහෝ දේවල්වලින් එක දෙයක්, පැහැර ගත් පසු ආපසු ලබා දීමට පමණක් නොව, ඒ සඳහා වන්දි ගෙවීමකින් හානිපූරණය කිරීමටවත් නොහැකි එක දෙයක් තිබේ. ඒ, ජීවිතයයි”

යුක්තියේ අවගමනයක් හේතුවෙන් මිනිසුන් මරණ දණ්ඩනයට පමුණුවා ඇති අවස්ථා ඉතිහාසයේ අනන්තවත් තිබේ. ඒ සඳහා වන උදාහරණ දෙකක් මෙසේ ය: එංගලන්තයේ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1950 මාර්තු 5 වැනි දා තිමොති එවන්ස් නැමැත්තාව මරණ දණ්ඩනයට පමුණුවන ලදි. ඊට වසර තුනට පසුව, කාන්තාවන් හය දෙනෙකු ඝාතනය කිරීමේ වගකීම ජෝන් ක්‍රිස්ටි නැමැති වෙනත් පුද්ගලයෙක් භාරගත්තේය. ඊට කලින් තිමොති එවන්ස් ඝාතනය කෙළේ යැයි කී කාන්තාවත් මේ හය දෙනා අතර විය. රුසියාවේ බලධාරීහූ මිනිසුන් 52 ක් ඝාතනය කළ කුප්‍රකට මිනීමරුවාව 1994 පෙබරවාරියේ එල්ලා මැරුහ. ඒ අය අතරින් එක ඝාතනයකට වැරදිකරු කොට, ඇලෙක්සැන්ඩර් ක්‍රව්චෙන්කෝ නැමැති ‘වැරදි පුද්ගලයෙකුව’ ඊට කලින් තමන් විසින් එල්ලා මරණ ලද බව බලධාරීහු පිළිගත්හ. තමන් එසේ කෙළේ, එක දිගට සිදුවන ‘ඝාතන රැල්ල ඉක්මණින් නතර කර ගැනීමේ’ දැඩි උවමනාව නිසා බව ඔවුහූ කියා සිටියහ.

මරණ දඬුවම යනු අපරාධ අධෛර්යමත් කරන නිවර්තකයක් නොවේ.

‘ප්‍රචණ්ඩකාරී අපරාධ අඩු කර ගැනීම සඳහා වඩාත් වැදගත් වන සාධක’ අතරින් මරණ දඬුවම වැටෙන්නේ පහළම ඝනයට බව, ‘ආර්. ටී. ස්ට්‍රැටජීස් ඔෆ් වොෂින්ටන් ඩී.සී.’ ආයතනය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රධානීන් 500 දෙනෙකුගෙන් කරන ලද මත විමසුමකින් හෙළි විය. එවැනි අපරාධ අඩු කර ගැනීම සඳහා මරණ දඬුවමට වඩා වැදගත් කොට ඔවුන් සලකනු ලැබුවේ, පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැගීම යන කරුණු ය.

මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යවල දක්නට ලැබෙන බරපතල අපරාධ අනුපාතිකය, මරණ දඬුවම නැති ප්‍රාන්ත රාජ්‍යයන්හි දක්නට ලැබෙන බරපතල අපරාධ අනුපාතිකයට වඩා අඩු නොවන බව කවුරුත් දනිති.

කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් එල්. රඩෙලෙට්, “මිනිස් ඝාතන අනුපාතිකයන් මරණ දඬුවම් මගින් අඩු කරගත හැක්කේ ද? ප්‍රමුඛ පෙළේ අපරාධවේද විශේෂඥයන්ගේ අදහස්” මැයෙන් 2009 දී ‘අපරාධ නීතිය සහ අපරාධවේදය’ නැමැති සඟරාවට සැපයූ ලිපියක මෙසේ ලියා තිබේ:

“මරණ දඬුවම නිසා අපරාධ අධෛර්යමත් කෙරෙන්නේය යන උපකල්පනය මිථ්‍යාවක් බව අනුභූතික පර්යේෂණ මගින් සනාථ වී ඇති බවට, ලෝකයේ ප්‍රමුඛ පෙළේ අපරාධවේද විශේෂඥයන් බහුතරයක් විශ්වාස කරන බව අපේ සමීක්ෂණයෙන් හෙළි වෙයි.. අදහස් විමසන ලද අපරාධවේද විශේෂඥයන් සියයට 88.2 ක් දරණ මතය වන්නේ, මරණ දඬුවම අපරාධ අධෛර්යමත් කරන සාධකයක් නොවන බවයි. ‘මරණ දඬුවම නිසා සෑහෙන දුරට අපරාධ සංඛ්‍යාව අඩු වන්නේය’ යන ප්‍රකාශය නිවැරදි බව කියා සිටියේ සියයට 9.2 කි. සමස්තයක් වශයෙන් ගත් විට, දීර්ඝ කාලීන සිර දඬුවමට වඩා මරණ දඬුවම මගින් අපරාධ අධෛර්යමත් කෙරෙන බව විශ්වාස කරන්නේ, ඒ අංශයේ විශේෂඥයන්ගෙන් සියයට 10 කට අඩු ප්‍රමාණයක් බව මෙයින් පැහැදිලි ය.. දීර්ඝ කාලීන සිර දඬුවමට වඩා මරණ දඬුවම සුළු වශයෙන් අපරාධ අධෛර්යමත් කරන බවට පැවසෙන මෑතකාලීන ආර්ථික අධ්‍යයනයන් ඉතා සීමිත සහ දෝෂ සහගත වන නිසා, පිළිගත් පොදු මතය නිෂේධ කිරීමට ඒවා සමත්ව නැත.

කෙටියෙන් කිවහොත්, අපරාධවේද විශේෂඥයන් අතරේ පොදු පිළිගැනීම වන්නේ, දීර්ඝ කාලීන සිර දඬුවම් මගින් ඇති කෙරෙන අපරාධ අධෛර්යමත් කිරීමට වඩා වැඩි කිසි ප්‍රේරකයක් මරණ දඬුවම මාර්ගයෙන් නොසැපයෙන බව ය.”

මීට පෙර කිසි ජනාධිපතිවරයෙකු මරණ දඬුවම අනුමත කොට නැත.

ලංකාවේ නීති පොතේ මරණ දඬුවම තිබුණත්, එය කඩදාසියට පමණක් සීමා වන නීතියක් වශයෙන් තිබුණා විනා කිසි ජනාධිපතිවරයෙකු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එම දඬුවම ක්‍රියාත්මක කොට නැත.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට මරණ දඬුවම නියම කෙරුණු අවස්ථාවේ එම දඬුවම ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු බවට විශාල ඉල්ලීමක් මතු විය. එම ඉල්ලීමට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අවනත වෙතැයි බිය වූ කිහිප දෙනෙක් ඒ ගැන ඇය සමග සාකච්ඡා කරන ලෙස මගෙන් ඉල්ලා සිටියහ. විනිසුරු සරත් අඹේපිටිය නීති විද්‍යාලයේ මගේ වසරේ සගයෙකු වුවත්, මරණ දඬුවමේ අසාර්ථකත්වයට අදාළව ලොව පුරා ඇති නොයෙක් තොරතුරු සහ දත්තවලින් සන්නද්ධව මම ජනාධිපතිනිය මුණගැසුනෙමි. මා ඒ ගැන කියන්නට සැරසුණා පමණි. ඈ මගේ කතාව නතර කළාය. “මිනිස්සු මොකක් කිව්වත් මමයි මරණ දඬුවමට අත්සන් කරන්නේ. මං ඒක කවදාවත් කරන්නේ නැහැ.” යි ඈ කීවාය. ඈ සමග සිදුව ඇති මගේ කෙටිම සාකච්ඡාව එය විය. ඇගේ කතාව මගේ හිතේ තදින් කැවැදුණි. මන්ද යත්, එවැනි කතාවක් කීවේ, ඝාතනයට ලක්වූ පියෙකුගේ දියණියක්, ඝාතනයට ලක්වූ සැමියෙකුගේ බිරියක් පමණක් නොව, තමාවමත් ඝාතනය කිරීමට ගත් ප්‍රයත්නයකදී ඇසක් ද අහිමි කර ගත් කාන්තාවක් වූ බැවිනි.

මහින්ද රාජපක්ෂගේ විරෝධය සතුටට කරුණකි.

අඹේපිටිය ඝාතන සිද්ධියේ සැකකරුගේ අභියාචනය 2006 දී නිෂ්ප්‍රභා කෙරුණු අවස්ථාවේ නැවතත්, අඩු වශයෙන් ප්‍රධාන වැරදිකරුවාව හෝ මරණ දඬුවමට ලක්කළ යුතු බවට බලවත් ඉල්ලීම් පැනනැගුනි. එහෙත් එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙළේය. මහින්ද රාජපක්ෂත්, විනිසුරු සරත් අඹේපිටියගේ පැරණි නීති විද්‍යාල සගයෙකි. මරණ දඬුවම කෙරෙහි වන තමාගේ විරෝධය ගිය සතියේත් ඔහු ප්‍රකාශ කොට සිටීම ගැන මම සතුටු වෙමි.

ජනාධිපති සිරිසේන තමාගේ තීරණය ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් ඔහුට සාමයෙන් නිදන්ට කිසි විටක හැකි වන එකක් නැත. එල්ලා මැරීමට නියමිත හතර දෙනාගේ අවතාර සදහට ඔහු තුළ හොල්මන් කරනු ඇත.

තමා දුන් ප්‍රතිඥාවලට සහ කැපවීම්වලට ජනාධිපති සිරිසේන පස්ස හරවා ඇත්තේ එක වරක් නොවේ. එවැනි ආසන්නතම සිද්ධිය වන්නේ, තමාම ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් වශයෙන් දැන් ඔහු දැකීමයි. එබැවින්, මරණ දඬුවමත් ක්‍රියාත්මක කිරීම තමා අතින් සිදු වූ වරදක් බව වසර ගණනක් ඇවෑමෙන් ඔහු කීවොත් මම පුදුම නොවෙමි.

‘මක්වන්යේන්’ නැමැති ප්‍රමුඛ පෙළේ නඩුව අරභයා දකුණු අප්‍රිකානු ව්‍යවස්ථා අධිකරණය දෙන ලද තීන්දුවේ කොටසක් උපුටා දැක්වීමෙන් මේ ලිපිය අවසන් කිරීම වටී. එහිදී, මරණ දඬුවමෙන් මිනිසෙකුගේ ජිවිතයට ඇති අයිතිය උල්ලංඝණය කෙරෙන බව පෙන්වා දෙමින් අධිකරණය ඒකමතිකව මෙසේ කියා සිටියේය: “අපරාධ අධෛර්යමත් කිරීමේ හොඳම ක්‍රමය වන්නේ, වැරදිකරුවන් අල්ලා ගැනීමට, අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් සේ තීන්දු කිරීමට සහ දඬුවම් කිරීමට ඇති හැකියාවයි. අපේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අද නැත්තේ ද එයයි.” (1995- 3. එස්.ඒ. 391 (122) සී.සී.).

ජනාධිපති සිරිසේන ඇස් ඇර බැලිය යුතුව තිබේ. ලංකාවේ නීති පද්ධතිය තුළත් අද නැත්තේ එය බව ඔහු අවබෝධ කර ගත යුතුව තිබේ.

2019 ජුනි 30 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ On Resuming Implementation of Death Penalty නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි .

Back to Top