Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය

ගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය

by

ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු ගැන පසුගිය සතියේ දී වාර්තා විය. එම සිදුවීම හෙළා දකිමින් මෙවැනි ක්‍රියා මගින් අපේ දරුවන්ගේ සිත් දූෂ්‍ය කරන්නට ඉඩ නොදිය යුතු බවට ප්‍රකාශයක් කරන ලද්දේ අමාත්‍ය හර්ෂ ද සිල්වා පමණි. අධ්‍යාපන ඇමැති අකිල කාරියවසම් කට ඇරියේවත් නැත.

මේ අතර මුස්ලිම් විරෝධී වෛර ප්‍රචාර පතුරුවමින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය දිගටම ගෙන ගිය හොත් එය මෙරට සංචාරක ව්‍යාපාරය කෙරෙහි ඉතා නරක ලෙස බලපාන්නට ඉඩඇති බව ද පසුගිය සතියේ ම පෙන්වා දී තිබුණි. ඒ සංචාරක හෝටල් සංගමය විසිනි. මෙවැනි තත්වයක් දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට බාධාවක් බවට පත්වනු ඇති බවත් එවැනි රටකට පැමිණීමට සංචාරකයින් අකමැති බවත් එම ප්‍රකාශය පෙන්වා දී තිබුණි. එම ප්‍රකාශය අවධාරණය කර තිබුණේ සංචාරක කර්මාන්තය දුර්වලවීමෙන් ඊට සම්බන්ධ ලක්ෂ 20ක් ජනයාට අහිතකර බලපෑමක් සිදුවනු ඇති බවයි.

නමුත් මෙම ප්‍රකාශ පවතින්නේ කොළඹ ඉංග්‍රිසි කතා කරන සමාජයේ පමණි. ජාතිවාදී පදනමකින් වෛර ප්‍රකාශ කිරීම හෝ සුලුතර ජන ප්‍රජාවන්ට හිරිහැර පැමිණවීම හෝ ව්‍යාපාර වර්ජනය හෝ හෙළා දකින ප්‍රකාශ ඇහෙන්නේ බොහෝ විට කොළඹ ඉංග්‍රිසි කතා කරන සමාජයට පමණය. වාර්ගික අසමානතාවයන් වර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවට වියහැකි අභ්‍යාග්‍ය ගැන සතිපතා ඉංග්‍රිසි බසින් ලිපි ලියන බොහෝ පිරිස් ද වෙති. කොළඹ පවත්නා ප්‍රභූ රාජ්‍ය නොවන සංවිධාන සිය මත ප්‍රකාශ කරන්නේ ද රැජිනගේ භාෂාවෙන් පමණි.

එසේ නමුත් ඔවුන්ගේ දෙපා යටින් ශ්‍රී ලාංකික සමාජය ගිලා බසිමින් තිබෙන්නේ සමහර විට ආපසු හැරවිය නොහැකි තරමේ වාර්ගික අවිශ්වාසයන් සහ බෙදීමක් කරාය.

මෑත දී කුලියාපිටිය අසළ සිංහල මුස්ලිම් ගම්මාන ගණනාවක සමීක්ෂනයකට එක් වූ මිතුරියක මට මෙසේ කීවේ ය. ‘ කොළඹ තියෙන කතාවයි, ගමේ සිද්ධවෙන දේ අතරයි තියෙන්නේ මහ වෙනසක්. අප ගිය එක ගමක මරණාධාර සමිතියෙන් පඩි දීල තරුණයෙක් දාල තිබුණ මුස්ලිම් කඩවලින් බඩු ගන්න සිංහල ගම්වැසියන් ගැන වාර්තා කරන්න. එහෙම මුස්ලිම් කඩේකින් බඩු ගත්තොත් රුපියල් 500ක දඩයක් ගෙවන්න වෙනවා.’

මරණාධාර සමිතිය යනු ග්‍රාමීය සමාජයේ ජන ජීවිතයට අතවශ්‍ය සහයෝගිතා ජාලයකි. නිවෙසක මරණයක් සිදු වූ විට රුපියල් 25,000ක තරම් මුල්‍යාධාරයක් ද අවමඟුල් ගෙදරට අවශ්‍ය කූඩාරම් සහ පුටු නොමිලයේ සැපයෙන්නේ ද ඒ මගිනි. එබැවින් එහි නියෝග පිළිගැනීමට අදාළ ගමේ ජනයාට සිදුවෙයි.

වයඹ පලාතෙහි මුස්ලිම් කඩවලින් බඩු ගත් සිංහලයින් දෙදෙනෙකුට එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයන් ඇසින් දුටුවෝ සිටිති. කොළඹට නුදුරුව මා ජීවත්වන පෙදෙසෙහි මුස්ලිම් ව්‍යාපාරිකයකු මට කීවේ සිය ආදායම බාගයකින් තරම් අඩුවී ඇති බවයි.

මේ සතිය මුලදී මෙම තත්වය මම අත්දුටුවෙමි. සමීප සහෝදරයකුගේ සහ සහෝදරියකුගේ මවගේ අවසන් කටයුතු පිනිස දුර බැහැර ගමකට යාමට ලද අවස්ථාවෙහි දී ය. එගම පන්සලෙහි කැපී පෙනන පරිදි දැන්වීමක් එල්ලා තිබේ. එහි සඳහන් වන්නේ සිංහල බෞද්ධයින් විසින් බඩු භාන්ඩ මිලදී ගත යුතු බවට නිර්දේශ කෙරන සිංහල වෙළද සැල්වල නම්ය. එම දැන්වීමෙන් කියැවෙන්නේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කෙරෙන් සිංහල බෞද්ධයින් කිසිම දෙයක් මිලට නොගත යුතු බවයි.

එම ගමේ පාසැළට පැමිණ දේශණයක් පැවැත් වූ අධ්‍යාපන අධ්‍යෂකවරයකු කියා තිබුණේ සිංහලයින්ගේ එකමුතුකම මගින් සුලුතර ප්‍රජාවන් මර්දනය කළ යුතු බවයි. මේ අධ්‍යෂකවරයා කලක් ‘විප්ලවාදී’ දේශපාලනයක නිරතව සිටි අයෙකි. දැන් ඔහු සිය අධ්‍යාපන අධ්‍යෂක ධූරය පාවිච්චි කරන්නේ පාසලින් පාසලට යමින් ජාතිවාදය වැපිරවීමට ය. එවැනිම ඉතිහාසයක් ඇති තවත් අධ්‍යාපන අධ්‍යෂකවරයකු මුස්ලිම් කඩ වර්ජන ව්‍යාපාරය ප්‍රසිද්ධියේ ගෙන යනවාට අමතරව අසල්වැසි මුස්ලිම් ජනයා සමඟ දබර කර ගන්නා බවත් මට දැන ගන්නට ලැබුණි.

මා කලින් කී ගමෙහි පාසලට පසුගිය දා බෞද්ධ භික්ෂුවක් පැමිණ දේශණයක් දී තිබේ. එම දේශණය සහමුලින්ම මෙරට ජීවත්වන ප්‍රජාවන් අතර සමගිය සහ සහජීවනයට විරුද්ධ තනි සිංහල ආණ්ඩුවක් සඳහා වන ව්‍යාපාරයේ එකකි. එම භික්ෂුවට පාසලට පැමිණිමට කිසිදු නිල අවසරයක් තිබී නැත. අවසානයේ දී මෙම භික්ෂුව ප්‍රකාශ කර ඇත්තේ තමන් 13 වනදා අහවල් ස්ථානයේ ප්‍රසිද්ධ රුස්වීමක් පවත්වන බවත් සියලු සිසු සිසුවියන් ඊට සහභාගි කරවිය යුතු බවත් ය.

මා සහභාගි වූ ඉහත කී අවමඟුල් උත්සවයෙහි ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ටත් කතාවක් තිබුණි. ඔහුගේ කතාව යොමූ වූයේ මරණය සහ ජීවිතය පිළිබඳ බෞද්ධ ආවර්ජනාවකට නොව මෙරට ජීවත්වන සුලුතර ජනයාට විරුද්ධ වෛර දේශණාවක් ලෙස ය. මුස්ලිම් වෛද්‍යවරුන් සිංහල මව්වරුන්ගේ දරුවන් විනාශ කරන බවත් දැනටම එළෙස දහස් ගණනාවක් විනාශ කර ඇති බවත් ඔහු කීවේ ය. වැඩිවැඩියෙන් දරුවන් බිහිකරන සේ සිංහල බෞද්ධ මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව කී ඔහු නුදුරු අනාගතයේදීම මෙරට බහුතර ජනගහණය සුලුතර ජාතීන් වනු ඇතැයි අනතුරු හැඟවීමක් ද කළේ ය. තමන් දැන් සංවිධානය වී සිටින බැවින් ශ්‍රී ලංකාව   තනි සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීම කිසිවකුට වැළැක්විය නොහැකි බවට තර්ජනයක් ද එම දේශණයට ඇතුළත් විය.

පසුගිය දා හදිසියේ මරණයට පත් සිය ජීවිතයේ අවසානය දක්වාම මෙරට සියළුම ජනයාට සමාන අයිතීන් ලබා දිය යුතුය යන මතයේ පිහිටා කටයුතු කල ප්‍රේමපාල හේවාබටගේ සහෝදරයාගේ අවමගුල් උත්සවයද එවැනිම ජාතිවාදී බණ දේශණාවකින් කිළිටු වූ බව එහි සිටි අයකු කීවේ ය. ඉන් පෙනී යන්නේ මරණයට පත් වූ මිනිසාගේ අදහස්වලට පවා ගෞරව නොකරන ජාතිවාදී භික්ෂූ දේශපාලනයක හැටිය. මෙම භික්ෂුන් දෙදෙනාම දේශනා කළේ බුදු දහම නොව ජාතිවාදය යි. අද සිංහල ගම්මාන පුරා සිදුවන්නේ මෙයයි.

මට මහියංගනයේදී අසන්නට ලැබුණේ මුස්ලිම් කඩවලින් බඩු මිලදී ගන්නා පවුල් පන්සලෙන් ඉවත් කරන බවට අනතුරු හැඟවීම් කර ඇති බවත්  නගරයේ සෑම බස් නැවතුමකම වාගේ මුස්ලිම් වෙළදුන් වර්ජනය කරන ලෙස දැන්වීම් අලවා ඇති බවත් ය. ගහරය ආසන්යේ මුස්ලිම් ජනයා ජීවත්වන ගමකට තර්ජන ගර්ජන එල්ලවී ඇති බවත් ය.

මා අවමගුල් උත්සවයට සභභාගි වූ ගමෙහි කළකට පෙර ජනතා විමුක්ති පෙරමුණට බලයක් තිබුණි. අද දක්වාම ජවිපෙ දේශපාලනයට ලැදියාවක් දක්වන සහෝදරියකගෙන් ‘දැන් ජවිපෙ වැඩ නැත්දැයි’ ඇසීමි. සිය ගමෙහි අලුතින් එක් අයකු හෝ ගොඩ නඟා ගැනීමට ජවිපෙ සමත් වී නැති බවත් ජවිපෙ කියා දේශපාලනයක් ගමේ නැති බවත් ඇය කීවා ය. දැන් ජවිපෙ ගමට එන්නේ ජන්දයට පමණි. වසර ගණනාවකට පෙර මා දැන සිටි ජවිපෙහි ගාමක බලය වුයේ දේශපාලන සාකච්චා මගින් ජනයා දිනා ගැනීමේ හැකියාවයි. අද එවැනි ක්‍රියාවළියක් ඇත්තේම නැත.

එජාපයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය සභිකයින් සිටිය ද ඔවුන් දන්නා හෝ කරන දේශපාලනයක් ගමෙහි නැත. එජාපයේ ගමේ දේශපාලන වීරයා යැයි කියන සජිත් ප්‍රේමදාස මෙරට ගිල ගනිමින් පවත්නා ජාතිවාදී දේශපාලනය ගැන කටක් අරින්නේ නැත.

රාජපක්ෂවරුන් ගෙන ගිය පන්සල් දේශපාලනය ද ඇණහිටි ඇති බවක් පෙනේ. මා අත්දකින තරමින් අද මෙරට ග්‍රාමීය ප්‍රජාව අතර කැරෙන එකම දේශපාලනය භික්ෂූන් පෙරට කර ගත් ජාතිවාදී දේශපාලනය පමණි. එසේ නමුත් බොහෝ අය කල්පනා කරන්නේ  ජාතිවාදී භික්ෂූන්ගේ දේශපාලනය පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරයක් බවයි.

මෙරට සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජය තුළ මෙතරම් දරුණු ලෙස සුලුතර ප්‍රජා විරෝධී අදහස් ප්‍රචාරය කිරීමක් මෙරට පෙර කිසිදාක සිදුව නැත. සමහර විට මුස්ලිම් සමාජය තුළද මෙවැනි ප්‍රවණතාවයන් මතු වීමට ඉඩ තිබේ. දෙමළ සමාජය තුළ සිංහල බහුතර ආණ්ඩුව කෙරෙහි මෙන්ම සිංහලයා කෙරෙහි අවිශ්වාසය පසුගිය සිව් වසර තුළ ඉහළ ගොස් තිබේ.

සති ගණනාවක් තුළ දී දිග හැරීමට නියමිත ජනාධිපතිවරණ සටන විසින් රටෙහි නව දේශපාලන උනන්දුවක් ඇති කරනු නිසැකය. ශ්‍රී ලංකාවේ අනාගතය රදා පවතිනු ඇත්තේ එකී දේශපාලන උනන්දුව ජාතිවාදය කරා නොව ජාතීන් අතර සමානාත්මතාවය කරා යොමු කිරීමට අප සමත් වන්නේ නම් පමණි. එම වගකීම සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සතු ය. ශ්‍රී ලංකාව ජාතිවාදයේ තෝතැන්නක් බවට පත් වන්නේ ද නැත්ද යන්න තීරණය වනු ඇත්තේ ජනාධිපතිවරණ දේශපාලන සටන් බිම තුළය.

Back to Top