Sri Lanka Brief
නිර්මාණපුවත්ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’

ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’

by

ඇලෙක්ස් ටීසොන් Alex Tizon විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය.

(නව යොවුන් වියේ සිට මහළු විය තෙක්ම ගෘහස්ත මෙහෙකාර සේවය පිනිස වහලියක් සේ තබා ගන්නා ලද පිලිපින ජාතික ස්ත්‍රියක සහ ඇගේ ජිවිතය පිළිබද මෙම සත්‍ය රචනාවෙහි කතෘ ඇමෙරිකානු – පිලිපීන ජාතික ඇලෙක්ස් ටීසොන් ය. පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදියකු වූ ඔහු Big Little Man: In Search of My Asian Self හි කර්තෘ ද වූ ඔහු 2017 මාර්තුවෙහිදී මිය ගියේය. මෙම දීර්ඝ ලිපිය මුල් වරට පළ වූයේ The Atlantic සඟරාවේ 2017 පූනි කලාපයේ ය. එය පළවීමට පෙර එම මාර්තු මාසයේ දී ඇලෙක්ස් ටයිසන් මිය ගියේ ය.)

———————————————————————————————————————————————–

අලු පිරුණු කලු ප්ලාස්ටික් පෙට්ටිය ටෝස්ටරයක් තරම් විය. එහි බර රාත්තල් තුනහමාරක් විය. මම එය කැන්වස් මල්ලක බහා පැසිෆික් සයුර හරහා මැනිලා බලා යන ගුවන් ගමන සඳහා මගේ සූට් කේසයෙහි තැන්පත් කර ගතිමි. අනතුරුව මම කාරයකින් ගම්බද ගම්මානයකට යන්නෙමි. එහි ගිය පසු මගේ පවුලේ නිවසෙහි වහලියක ලෙස වසර 56ක් ගත කල ස්ත්‍රියගේ ඉතිරිව ඇති සියල්ලම බාරදෙමි.

අප ඇයට කීවේ ලෝලා කියාය

ඇයගේ නම ඉඩොසියා තෝමස් පුලිදෝ විය. අප ඇයට කීවේ ලෝලා කියාය. අඩි හතරකුත් අඟල් 18ක් වූ කලු දුඹුරු සමක් සතු වූ ඇයගේ දුඹුරු දෑස් වලින් මා දෑස් දෙස බලා සිටිනු මට තවම පෙනේ. ඒ වනාහී ඇය පිලිබඳ මගේ ප්‍රථම මතකය විය. මගේ සීයා ඇය, මගේ මවට ත්යාගයක් ලෙස ලබා දෙන විට ඇයගේ වසය අවුරුදු 18ක් විය. අප ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන විට අපි ඇය ද අපි සමඟ රැගෙන ආවෙමු. වහලියක මිස වෙන කිසිදු වචනයකින් ඇය ගෙවූ ජිවිතය සංක්ෂිප්ත කළ නොහැක. අන් සියල්ලන් අවදිවීමට පෙර ආරම්භ වූ ඇගේ දවස අවසන්වූයේ අප ඇඳට ගිය පසු ය. ඇය දිනපතා කෑම වේල් තුනක් සකස් කළා ය. නිවෙස පිරිපහදු කළා ය. මගේ මාපියන්ට අවශ්‍ය දැ කර දුන්නා ය. මා සහ මගේ සහෝදර සහෝදරියන් බලා කියා ගත්තා ය. ඇයට කවරදාකවත් වැටුපක් ගෙවූයේ නැති මගේ මාපියෝ ඇයට නිරන්තරයෙන් ම බැණ වැදුණහ. ඇගේ දෙපා යදමින් විළංඟු ලා නොතිබුණ ද එසේ නොවී යැයි කීමට ද බැරිය. මා නාන කාමරයට යන බොහෝ රාත්‍රීන්හි දී, ඇය සෝදන ලද රෙදි ගොඩකට හේත්තු වී ඇය විසින් නම නමා තිබූ ඇඳුමක් ඇඟිළිවලට සිර වූ ගමන් නිදාවැටී සිටිනු මම දැක ඇත්තෙමි.

අපේ ඇමෙරිකානු අසල්වැසියන්ට අප ආදර්ශමත් සංක්‍රමණිකයින් සහ අනර්ඝ පවුලක් විය. ඔව්හු අපට එසේ කීහ. මගේ පියාට නීති උපාධියක් තිබූ අතර මගේ මව වෛද්‍යවරියක් සුදුසුකම් ලබමින් තිබුණි. මගේ සහෝදර සහෝදරියන්ට ද මට ද පාසළ හි දී හොඳ ළකුණූ ලැබූ අතර අප සෑම විටම ‘කරුණාකර ‘ සහ ‘ස්තුතියි’ කීවෙමු. අප කිසි විටෙක ලෝලා ගැන කතා කළේ නැත. අපේ එම රහස අප අනන්‍යතාවයන්හි සහ අඩුම වශයෙන් ළමයින් වූ අපගේ අනාගත අභිමතාර්ථයන් හි ඇතුලාන්තයටම කා වැදී තිබුණි.

ලියුකේමියා රෝගයෙන් මගේ මව මිය ගිය 1999යෙන් පසු ලෝලා කුඩා උතුරුකර නගරයක් වූ සියටල් හි මා සමඟ වාසය පිනිස ආවා ය. මට වෘත්තියක් ද නගරාසන්නයේ නිවෙසක් ද තිබුණි. ඒ වනාහී සැබෑ වූ ඇමෙරිකානු සිහිනය යි. අමතරව දැන් මට වහළියක් ද සිටියේ ය.

මැනිලා ගුවන්තොටෙහි ගමන්මලු බා ගන්නා තැන දී ලෝලාගේ අලු එළෙසම පවත්නා බව සහතික කරගනු පිනිස මා මගේ ගමන් මල්ල හැර බැලුවෙමි. ගුවන් තොටෙන් එළියට ආ මම සුපුරුදු සුවඳ උරා ගත්තෙමි: වාහන දුම් සහ අපද්‍රව්‍යන්හි ඝන මිශ්‍රණයක්, මුහුදු සුළං සමඟ මුසු වූ මිහිරි පළතුරු සහ දහඩිය සුවද.

පසුදා උදෑසන ම මම රියදුරකු සොයා ගතිමි. ඩූඩ්ස් යන නම පටබැඳි මැදි වයස් ප්‍රියමනාප අයකු වූ ඔහුගේ ට්‍රක් රථයේ නැගී වාහන තදබදය මැදින් අපි පාරට අවතීර්ණ වීමු. මෙම දර්ශනය සෑම විට ම මා මවිතයට පත් කළේ ය. ඒ වනාහී අනන්ත වූ කාර්, යතුරුපැදි සහ ජීප්රථ සංඛ්‍යාව මගිනි. ඒ අතර යනෙන මිනිස්සු, දුඹුරු පැහැගත් දැවැන්ත ගංගාවන් ඉවුරෙහි වූ පදික වේදිකා මත ඇවිද ගියෝ ය. පාවහන් නොපැළදි වීදි වෙළෙන්දෝ සිගරට්, කැස්ස පැනි සහ තැම්බූ රටකජු විකුණමින් වාහන අසලින් ගමන් කළෝ ය. ළමා යාචකයෝ සිය මුහුණු වාහන ජනෙල් වීදුරුවලට එබූහ.

ඩූඩ්ස් සහ මම යමින් සිටියේ උතුරු දිග මධ්‍යම තැනිතලාවන් හි, ලෝලාගේ කතාව පටන් ගත් ස්ථානය කරා ය. ඒ තාලැක් ප්‍රාන්තය විය. සහල් රටය. සුරුට්ටුව මුවෙහි රඳවා ගත් තොමස් අසුන්සියෝන් නම් හමුදා ලෙප්ටිනන්ට්වරයාගේ ගම ය. ඔහු මගේ සීයා විය. පවුලේ පුරාවෘත්තයන්ට අනුව ලෙප්ටිනන්ට් ටොම්, අසාමාන්‍ය පැවැතුම්වලින් යුත් නපුරු මනෝභාවයන් තිබූ දැවැන්ත පුද්ගලයකු විය. ඔහුට බොහෝ ඉඩ කඩම් තිබුණ ද මුදල් තිබුණේ නැත. ඔහු සිය ඇඹේනියන් සිය ඉඩම්හි වෙන් වෙන් නිවෙස්හි තබා ගෙන සිටියේ ය. ඔහුගේ බිරිඳ, ඔවුන්ගේ එකම දරුවාට උපත දෙමින් මියෑදුණි. ඒ මගේ මව ය. ඇය හදා වඩා ගන්නා ලද්දේ උටුසාන් යැයි හැදින්වුණු ‘අණ පිළිපදින අය’ විසිනි.

වහල් මෙහෙයේ දීර්ඝ ඉතිහාසය.

මේ දූපත්හි වහල් මෙහෙයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ස්පාඥයින් පැමිණීමට පෙර මෙම දූපත්වාසීහු අනෙක් දූපත්වැසියන්, බොහෝ විට යුද සිරකරුවන්, අපරාධකරුවන් හෝ ණයකරුවන් ලෙස වහල්කමට ගත්හ. නීර්භීතභාවය මගින් නිදහස දිනාගැනීම අවසර තිබූ රණවිරුවන් වූ අයගේ සිට, දේපලක් ලෙස සැළකුණූ හුවමාරු කළ සහ විකිණිය හැකි මෙහෙකාර- මෙහෙකාරියෝ දක්වා වහල්ලු විවිධාකාර වූහ. ඉහළ තත්වයේ වහලුන්ට පහළ තත්වයේ වහලුන් හිමිකර ගත හැකි විය. පහළ තත්වයේ අයට ඉතාම පහළ තත්වයේ අය අයිතිකර ගත හැකි වූහ. අයෙක් හුදෙක් ජීවත්වීම පිනිස පමණක් ම දාසභාවය තෝරා ගත්හ. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවට කෑම ද, සෙවනක් සහ ආරක්ෂාව ද සළසන ලදී.

1500 වසරෙ හි පැමිණි ස්පාඥයින් ජාතිකයෝ දූපත්වාසීන් වහල්භාවයට ගෙන පසුව අප්‍රිකානු සහ ඉන්දියානු වහලුන් ද මෙහි රැගෙන ආහ. කලකට පසු ස්පාඥ රාජකීය පාලනය එරට සහ විජිතයන් හි වහල් සේවය අහෝසි කිරීමට පටන් ගත්තේ ය. එසේ වුව ද පිලිපීනයේ බොහෝ දුරබැහැර පලාත් සම්බන්ධයෙන් ඇස ගසා සිටීමට එයට නොහැකි විය. 1898දී එක්සත් ජනපදය එම දූපත් සිය භාරයට ගැනීමෙන් පසුව පවා විවිධ ස්වරූපයන්ගෙන් එකී සම්ප්රදායයන් දිගටම පැවැතුණි. අද පවා දුප්පත් අයට වුව උටුසන්ලා නැත්නම් කටුලොන්ග්ලා (එනම් උදව්කරුවන්) හෝ කසම්බෙහේස්ලා (මෙහෙකාරියන්) ලෙස තමන්ට වඩා දුප්පත් අය තබා ගත හැක. දූගීබවෙහි පතුල ගැඹුරු ය.

ලුතිනන් ටොම්ට ඔහුගේ ඉඩම් හි ජීවත් වූ උටුසන් පවුල් තුනක් ම සිටියෝ ය. 1943 වසන්තයේ දී දූපත් ජපනුන් යටතට පත් වූ කළ ඔහු ගම පහළ ජීවත් වූ කෙල්ලක ඔහු ගෙදරට ගෙන ආවේ ය. ඇය පවුලට දුරින් සම්බන්ධයක් තිබූ වී ගොවි පවුලක ඥාතියකු විය. ලුතිනන් ටොම් කපටියකු විය. කෙල්ල සතයත්වත් නැති, පාසැල් ගොස් නැති එනිසා ම රැවටිය හැකි අයකු බව දුටුවේ ය. ඇයගේ මා පියන්ට, ඇයමෙන් දෙගුණයක් වයසැති ඌරු ගොවියකුට ඇය විවාහ කර දීමට අවශ්‍ය විය. ඊට කිසිම කැමැත්තක් නොදැක් වූ නමුත් නමුත් කෙල්ලට කරකියා ගත හැකි දෙයක් තිබුණේ නැත. ටොම් ඇයට යෝජනාවක් කළේය. ඒ දොළොස් වියට ළඟා වී සිටි ඔහුගේ දියණිය බලා ගැනීමට එන්නේ නම් ඇයට කෑම ඇදීම සහ වාසයට තැනක් ලබා දීම ය.

ලෝලාගේ පැමිණීම

ලෝලා එකඟ විය. ඒ වනාහී ජීවිත කාලයම සඳහා ගනුදෙනුවක් බව නොදැන ය.

‘ ඇය මගෙන් ඔබට ලැබෙන තෑග්ග යි’ ලුතිනන් ටොම් මගේ මවට කීවේ ය.

‘මට ඇය අවශ්‍ය නැහැ ‘ යැයි මගේ මව කීයේ ඇයට වෙනත් තෝරා ගැනීමක් නැති බව නොදැන ය.

නගරයේ අබලන්වූ සිය නිවසෙහි මව ලෝලා සමඟ දමා ලුතිනන් ටොම් ජපනුන් සමඟ යුද්ධ කිරීමට පිටත්ව ගියේ ය. මගේ මවට කවා පොවා හදාවඩා ඇදුම් ඇන්දවීමත් ලෝලාට බාර විය. ඔවුන් මාර්කැට්ටුවට යන විට මගේ මව හිරු රැසින් ආවරණය කරනු වස් ලෝලා, ඇයට ඉහළින් කුඩයක් ඉහලාගෙන ගියේ ය.

රැයෙහි දී ඇයගේ වැඩ අහවර වූ විට එනම් බල්ලන්ට කෑම දී, ගෙබිම පිරිසිදු කර, කැමිලින් ගඟට ගෙන ගොස් ඇය විසින් ම අතින් සොදා වේලාගත් ඇදුම් නවා තැබූ පසු මගේ මවගේ ඇඳ කොණෙහි වාඩිවී ඇයට නින්ද යනු වස් පවන් සැලුවා ය.

ඡායාරෑපය: ලෝලා පුලිදෝ ( ජායාරූපයේ වම්පස වයස 18දී) පැමිණියේ පිලිපීනයේ ගැමි පෙදෙසෙකිනි. කතෘගේ සීයා ඇය ඔහුගේ දියණියට තැග්ගක් ලෙස ‘දුන්නේය’.

යුද්ධය අතරතුර දිනක් නිවෙසට ආ ලුතිනන් ටොම්ට, මගේ මව බොරුවක් කියා හසුවිය. ඒ ඇය කතා බව නොකළ යුතු වූ පිරිමි ළමයකු ගැන ය. කේන්තියෙන් පිපුරා ගිය ටොම් ‘මේසය අද්දරට වරෙන්’ යැයි ඇයට අණ කළා ය. මව ලෝලාට මුවා වී මුළුගැන්වුනා ය. අනතුරුව වේවලන ස්වරයෙන් යුතුව ලෝලා මා වෙනුවෙන් දඩුවම විඳිනු ඇතැයි ඇය පියාට කීවා ය. ආයාචනාත්මක බැල්මකින් මව දෙස බැලූ ලෝලා වචනයක්වත් නොකියා කෑම මේසය අසළට ගොස් එහි අද්දර අල්ලා ගත්තා ය. ටොම් ඔහුගේ බඳ පටිය ඔසවා කස පහර 12ක් ඇයට ගැසුවා ය. ඒ සෑම පහරක් සමඟම ටොම් මේසේ මොරදුන්නාය. ‘උඹ. මට. බොරු. කියන්නේ. නැහැ; උඹ. මට. බොරු. කියන්නේ. නැහැ.’ ලෝලා කිසිදු හඬක් නැඟුවේ නැත.

ඇගේ ජීවිතයේ පසු කාලයෙහි දී එම සිදුවීම ආවර්ජනා කරමින් මගේ මව සිදුවීමෙ හි දුෂ්ඨකම ගැන උද්දාමයට පත්වූවා ය. ඇයගේ ස්වරයෙන් ඇසුණේ මා එය කළ බව ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? වැන්නකි. මා ඒ ගැන ලෝලාගෙන් ඇසූ විට ඇය කීයේ මගේ මවගේ අදහස අහමු කියා ය. දෑස් බිමට යොමාගෙන අවධානයෙන් අසා සිටි ඇය අවසානයේ දී දුක්බර ලෙස මා දෙස බලා මෙසේ කීවා ය. ” හරි, ඒක වුණේ ඒ විදිහට.”

ලුතිනන් ‌ටොම් යක්ෂයින්ට බිලිවීම

හත් වසරකට පසු මගේ මව, මගේ පියා කරකාර බැඳ ගෙන ලෝලාද කැටිව මැනිලා නගරයෙ හි පදංචියට ආවා ය. යක්ෂයින් විසින් දඩයම් කරනු ලදුව ඊට කළකට පෙර 1951 දී ලුතිනන් ටොම් කැලිබර් .32 පිස්තෝලයක් නළල් තලයට ඔබාගෙන නිහඬ වී තිබුණි. මව කිසිදාක ඒ මරණය ගැන කතා කළේ නැත. ඇයට ඔහුගේ මනෝභාවය එනම් තරහ ගන්නා, කුළවත්, සහ ඇතුළතින් බිදෙනසුළු ගති උරුම වී තිබුණි. ඇය ඔහුගේ පාඩම් ඇඟට ම උරා ගෙන තිබුණි. තමා යටතේ වුවනට නියමානුකූළව අණ දෙන්නියක වීම ද ඒ අතර විය. ඒ අධිකාරය සැම විටම ඇය තමා තුළ තබා ගත්තේ ය. ඒ යටත් වැසියන්ගේ සහ නිවසෙහි යහපත පිනිස ය. ඔවුන් කෑ ගසා හඩනු ඇති නමුත් ඔවුන්ගේ ආත්මය ඔබට ස්තුතිවන්ත වනවා ඇත. දෙවියන් විසින් නියම කරනු ලැබූ කාරිය ඉටු කිරීමට සහය වීම වෙනුවෙන් ඔවුන් ඔබට ආදරය කරනවා ඇත.

ජායාරූපය: ලෝලා විසිහත්වන වියේදී කතෘගේ වැඩිමහල් සහෝදරයා වන ආතර් සමඟ, එක්සත් ජනපදයට ඒමට පෙර.

මගේ සහෝදරයා ආතර් ඉපදුනේ 1951දී ය. ඉන්පසුව පැමිණියේ මා ය. මට පසුව සීග්රගාමීව තවත් සොයුරු සොයුරියන් තිදෙනෙකු බිහිවිය. ලෝලා මගේ දෙමාපියන්ට දැක්වූ කැපවීම ම දරුවන් වූ අපට ද දැක්විය යුතු යැයි ඔව්හු අපේක්ෂා කළහ. ඇය අප බලාගන්නා අතරවාරයේ වැඩිදුර ඉගෙනීමට ගිය මගේ දෙමාපියෝ ඉහළ උපාධි ලබා ගෙන අපූරු ඩිප්ලෝමා ඇතත් රැකියා නැති ශ්රේණින්ට එක් වූහ. අනතුරුව මහා වෙනස සිදුවිය. මගේ පියාට වානිජ විශ්ලේෂකයකු ලෙස විදේශ අමාත්යාංශය හි රැකියාවක් ලැබුණි. වැටුප කුඩා වූ නමුත් රැකියාව තිබුණේ ඇමෙරිකාවේ ය. මගේ මවත් පියාත් හැදී වැඩී තිබුණේ, ඔවුන්ගේ සියළු සිතැඟි සාක්ෂාත් කරනු ඇති එරට සිහිනය කර ගනිමිනි.

පියාට ඔහුගේ පවුල ද එක් ගෘහ සේවකයකු ද රැගෙන ඒමට අවසර ලැබුණි. තමන් දෙදෙනාට ම වැඩ කිරීමට සිදුවනු ඇති බව තේරුම් ගත් මාපියෝ ලෝලා විසින් දරුවන් සහ නිවෙස බලා කියා ගත යුතු යැ යි තීරණය කළහ. ඒ බව දැන්වූ විට මගේ මව කේන්ති ගස්වමින් ලෝලා ඊට එකඟ වූයේ නැත. වසර ගණනාවකට පසු ලෝලා මට කීවේ ඇය මහත් බියට පත්වූ බව යි. ” හුඟාක් දුරක්. ඔබේ වම සහ පියා මට ගෙදර ඒමට ඉඩ නොදෙනු ඇතැ යි බය හිතුණා” යැ යි ඇය කීවේ ය.

අවසානයේදී ලෝලා එත්තු ගැන්වීමට සමත්වූයේ ආමරිකාවෙහි දී ඇයගේ තත්වය වෙනස්වනු ඇතැ යි මගේ පියා දුන් පොරොන්දුව යි. තමා සහ මගේ මව එරට පොලවේ පය ගසාගත් වහාම ලෝලාට ‘ දීමනාවක් ’ ගෙවන බව ඔහු ඇයට කී‌වෝ ය. එවිට ලෝලාට සිය මා පියන්ට ද ගමේ සිටින සියළු නෑයින්ට ද මුදල් යැවීමට හැකි වනවා ඇත. ඇයගේ මාපියන් ජීවත්වූයේ මඩ ගෙබිමක් සහිත මඩුවක ය. ඔවුන්ට කොන්ක්රීට් නිවසක් සාදා දීමට ත් ඔවුන්ගේ ජීවිත සදාකාලය ම වෙනස් කිරීමට ත් ලෝලාට හැකිවනවා ඇත. කොතරම් අපූරුද?

දෙවැනි ‌කොටස  ලබන සදුදා.

Back to Top