Sri Lanka Brief
නිර්මාණපුවත්ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (2)

ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (2)

by

ඇලෙක්ස් ටීසොන් Alex Tizon  විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය.

අපි 1964 මැයි 12දා ලොස් ඇන්ජලීස් නුවරට ගොඩ බැස්සෙමු. අපේ සියළු දේ ලණුවලින් ගැට ගැසූ කාඩ්බෝඩ් පෙට්ටිවල පුරවා තිබුණි. ඒ වන විට ලෝලා අව්රුදු 21ක් මගේ මව සමඟ ජීවත්ව තිබුණා ය. බොහෝ අතින් ඇය මගේ මව හෝ පියාට වඩා මට මාපියකු වූවා ය. මා දවසේ මුලට ම දැක්කේ  ත් රැයෙහි අවසානයට දැක්කේ ත් ඇයගේ මුහුණ ය. බබෙකු ලෙස මා අම්මා සහ තාත්තා යැ  යි කීමට ඉගෙනීමට පෙර ලෝලාගේ නම කීවෙමි. පුංචි සන්දියෙ හි දී ලෝලා මා අල්ලා ගෙන නො සිටියේ හෝ අඩුම වශයෙන් ළග හෝ නො සිටියේ නම් මම නින්දට යෑම ප්‍රතික්ෂේප කළෙමි.

අප එක්සත් ජනපදයට පැමිණෙන විට  අපේ පවුලෙහි ලෝලාගේ තැන ප්‍රශ්ණ කිරීමට තරම් නොවූ මගේ වයස හතරක් විය. එසේ නමුත් මෙම අනෙක් වෙරළෙහි අප හැදී වැඩෙත් ම අපි ලෝක 6ය වෙනස්ව දකින්නට පුරුදු වූයෙමු. සාගරය හරහා වූ මේ පිම්ම විසින් මව සහ පියා දැකීමට අසමත් වූ හෝ අකමැති වූ හෝ සවිඥිනික පිම්මක් අප තුළ ඇති කළේය.

ලෝලාට, ඇයට පොරොන්දු වූ දීමනාව කිසිදාක ලැබුණේ නැත. අප ඇමෙරිකාවෙ හි ගත කළ මුලු වසර ගණනනාවෙ හි ම ඇය ඒ පිළිබඳව වට රවුමෙන් මා පියන් විමසූවා ය. ඇගේ මව රෝගාතුරව තිබුණි. (ඒ අතීසාරය බව මා දැන ගත්තේ කළකට පසුව ය.) ඇයගේ පවුලේ අයට අවශ්‍ය ඖෂධ ගැනීමට මුදල් තිබුණේ නැත. “ ප්වේද බා” යැයි ඇය මගේ මා පියන්ට කීවා ය. ඉන් ඇසුණේ “පුලුවන්ද?”  කියා ය. මව සුසුමක් පිට කළා පමණ ය. “ උඹ කොහොම ද එහෙම දෙයක් අහන්නේ?” යැයි පියා තගලොග් බසින් ප්‍රතිචාර දැක්වූවේ ය. “ උඹට පේන්නෙ නැත් ද අප ඉන්න අමාරුව? උඹට ලැජ්ජාවක් නැත් ද?”

මගේ මා පියන් අමෙරිකාවට එනු පිනිස මුදල් ණයට ගෙන තිබුූ අතර එරට රැදී සිටීම පිනිස තව තවත් ණය ගෙන තිබුණි.  මගේ පියා ලොස් ඇන්ජලීස් පිලිපීන කොන්සියුලර් ජෙනරල් කාර්යාලයේ සිට සියැටල් කරා මාරු කර තිබුණි. ඔහුට වසරකට ඩොලර් 5,600ක් ගෙවන ලදී. වාහන ට්‍රෙලර් පිරිසිදු කිරීමේ දෙවන රස්සාවක් ද ණය එක්කරන්නකු ලෙස තෙවන රස්සාවක් ද ඔහු බාර ගත්තේ ය. මවට ඖෂධ රසායනාගාර ගණනාවක තාක්ෂනික ශිල්පියකු ලෙස රස්සාවක් ලැබුණි. අප ඔවුන් දුටුවේ කළාතුරකිනි. එසේ දකින අවස්ථාවල දී ඔවුන් සිටියේ වෙහෙසට පත්ව හොස්ස දික්කරගත් ගමන් ය.

ලෝලාට දුන් වද

නිවසට එන අම්මා ගෙය හොඳින් පිරිසිදු කර නැතැ යි හෝ ලියුම් රැගෙන විත් නැතැ යි ඇයට බැණ වැදුණා ය. “ මම කියළ තියෙනව නේද මං ගෙදර එන කොට ලියුම් මෙතැන තියෙන්න ඕන කියළා? ” යැයි ඇය තගලොග් බසින්  නපුරු හඩින් කියන්නට පුරුදුව සිටියා ය.

“ ඕක එච්චර අමාරු දෙයක් ද? ඕන ගොන් තඩියකුට තේරුම් ගන්න පුලුවන්”අනතුරුව මගේ පියා පැමිණ ඔහුගේ වාරය පටන් ගනී. පියා  කෑ ගසන විට නිවසෙහි සියලු දෙනා මුළුගැන් වෙයි. යම් අවස්ථාවල දී මගේ පියා සහ මව එක්වී ලෝලා හඬා වැටෙන තුරු කෑ ගසයි. හරියට එය ඔවුන්ගේ උවමනාව වූවා වැනි විය.

මේ තත්වය විසින් මා තුළ අවුලක් ඇති කළේ ය. මගේ මා පියන් මට සහ මගේ සහෝදර සහෝදරියනට හොදින් සැළකුහ. අපි ඔවුන්ට ආදරය කළෙමු. එ තත්වය හරිහැටි දකින්නට පටන් ගන්නා විට මට වසය 11 හෝ 12ක් විය. ඒ වන විට මට වඩා අව්රුදු අටක් වැඩිමහල් වූ ආතර් දිගු කළක් කේන්තියෙන් පසුවී තිබුණි. ලෝලා පිළිබඳ මගේ තේරුම්   ගැනීමට වහලියක  යන වචනය මට හදුන්වා දුන්නේ ඔහු ය. ඔහු එය කීමට පෙර මා ඇය ගැන සිතා සිටියේ අපේ නිවෙසෙහි සිටින අවාසනාවන්ත සාමාජිකාවක යැයි කියා ය. මගේ මා පියන් ඇයට බැණ වදිනු දැකීම මට එපා වී තිබුණි. එසේ නමුත් ඔවුන් ද ඇතුළත් සමස්ත සැළැස්ම ම අදමිටුකමක් බව මට වැටහී තිබුණේ නැත.

 

ඡායාරූපය: වම්පස ජායාරූපය:  ලෝලා මෙම කතෘ ද ඔහුගේ සහෝදර සහෝදරියන්ද ලොකු මහත් කළේ විටෙක දින ගණනාවක් පුරා නිවසේ සිටි ඒකම වැඩිහිටියා ද ලෙස ය. දකුණු පස: කතෘ (වම් පස සිට දෙවැන්නා) ඔහුගේ මාපියන්, සහෝදර සහෝදරියන් සහ ලෝලා සමග ඒකසත් ජනපදයට පැමිණීමෙන් පස් වසරකට පසු.

“ ඇය වාගේ ගැරහුම් ලබන වෙන කව්රු හරි දන්නවා දැ යි”  ආතර් මගෙන් ඇසුවේ ය. “ඇය වාගේ විඳවන වෙන කෙනෙක් ඉන්නවා ද? ” ඔහු ලෝලා පිළිබඳ යථාර්තය මෙසේ කැටි කළේය: වැටුපක් නොලැබේ. හැම දිනක ම වෙහෙසී වැඩ කරයි. වැඩි වේලාවක් වාඩි වී සිටියොත් හෝ ඉක්මණින් නින්දට ගියොත් බැණුම් අසයි. එකටෙක කීවොත් ගුටි ලැබේ. අඳින්නේ වැරහැළිය. කන්නේ ඉතිරිවූ කෑම තනිවම ය. කුස්සියේ සිට ය. නිවෙසින් පිටට යන්නේ නැති තරම් ය. පවුලෙන් පිට යහළුවන් හෝ විනොදාංශ නැත. විසීමට තමනගේ ම කාමරයක් නැත. ( අප ජීවත් වූ සෑම නිවසක ම ඇයට නිදා ගැනීමට ලැබුනේ ඉඩක් තිබු තැනක ය. විටෙක බංකුවකි. විටෙක ගබඩා කාමරය යි. විටෙක මගේ නංගීගේ කාමයේ මුල්ලක ය. බෙහෝ විට ඇය නිදා ගත්තේ සේදීමට ඇති රෙදි උඩ ය.)

‘ලෝලා තමයි පොම්පේ; පොම්පේ තමයි ලෝලා’

රූපවාහිනියෙහි සහ චිත්‍රපටවල හැර ලෝලාට සමානතර චරිතයක් දැක ගැනීමට අපට නොහැකි විය. ‘ලිබර්ටි වලන්ස්’ නම් බටහිර චිත්‍රපටයක් මා නරඹා තිබුණි. එහි තුවක්කු වන වනා යන ගව ගොවිපල හිමියකු වූ ටොම් ඩෙනිපොන්ගේ චරිතය රඟපෑවෙි ජෝන් වේන් ය. ඔහු ‘කොළුවා යැයි ඇමැතූ පොම්පේ නම් ඔහුගේ සේවකයාට කෑගසමින් අණ දෙයි. ‘පොම්පේ, පොම්පේ ගිහින් දෝස්තර සොයාගෙන වරෙන්!  ආයෙ වැඩ පටන් ගනින් පොම්පේ!’ කීකරු සහ හීලෑ පොම්පේ ඔහුගේ ස්වාමියාට අමතන්නේ  මිස්ත ටොම් කියා ය. ඔවුන් දෙදෙනා අතර සංකීර්ණ සබඳතාවයක් තිබුණි. පොම්පේට පාසල් යාම තහනම් කළ ටොම් එනමුත් සුදු මිනිසුන්ට පමණක් වෙන් වූ අවන් හළක බොන්නට ඉඩ ලබා දුන්නේ ය. චිත්‍රපටයේ අවසානය ලඟාවෙත් ම පොම්පේ සිය ස්වාමියා ගින්නකින් බේරා ගනී. පොම්පේ ටොම්ට බිය වන අතර ම ඔහුට ආදරය ද කරන බව පැහැදිළි වෙයි. ටොම් මිය ගිය කළ පොම්පේ දුක් වෙයි. මේ සියල්ල ප්‍රධාන කතාව වන ටොම් දුෂ්ඨයා වන ලිබර්ටි වලන්ස් සමඟ කරන සටනට පරිබාහිර ය. එනමුත් මට පොම්පේ කෙරෙන් මගේ ඇස් ඉවතට ගත නොහැකි විය. ‘ලෝලා තමයි පොම්පේ; පොම්පේ තමයි ලෝලා’ යැ යි මා සිතනු මට මතකය.

අප ඇමෙරිකාවෙ හි මුල් වසර ගත කළේ ඊට හැඩ ගැසීමට පුරුදු වෙමිනි. වහලියක සිටීම ඊට ගැලපුනේ නැත. වහලියක සිටින අප කවර අන්දමක මිනිස්සු දැ යි ද  අප ආවේ කවරාකර තැනක සිට දැ යි මට දරුණූ සැක සංකා පහළ විය.

 

මගේ මාපියෝ හැරී මා දෙස බැලූහ. ඔවුන් සළිත වූවා මෙන් විය. කඳුලු ඒමට පෙර මුහුණේ ඇතිවන හැකිලීම මට දැනුණි. නමුත් මා හැඬිමට සූදානම් නොවීමි. අම්මාගේ දෑස් හි මා ඊට පෙර  දැක නොතිබූ සෙවනැල්ලක් වැටී තිබුණි. ඉරිසියාවද?

‘උඹ ලෝලා ආරක්ෂා කරනවද? පියා ඇසී ය. ඒක ද උඹ කරන්නේ?

‘ලින්ග් කිව්වා ඇයට බඩගිනි නැහැයි කියලා’ මම යලී කීවෙමි, කෙදිරිල්ලක හඩින්.

මට වයස 13ක් විය. මා රැක බලා ගැනීමට සිය ජීවිතය ගත කරන ගැහැණිය වෙනුවෙන් නැගී සිටීමට මා ගත් ප්‍රථම උත්සාහය එය විය. මා නිදි ගන්වනු පිනිස නලවන්නට තගලොග් තනු සිහින් හඩින් ගැයූ  ගැහැණිය ඇය යි. ඉන්පසු මා ලොකු වූ කළ මා අන්දවා කවා පොවා පාසළට කැටුව ගිය සහ පාසළින් මා රුගෙන ආ ගැහැණිය ඇය යි. වරක් කන්නට බැරි තරමට මා අසනීප වී දුර්වලව සිටි විටෙක මා වෙනුවෙන් කෑම විකා මගේ කටට පොඩි පොඩි කෑලි කැවූ ගැහැණිය ඇය යි.

මගේ පාද දෙකෙහි ම පැලැස්තර දමා තිබූ (මගේ හන්දිවල අවුලක් විය)  එක් ග්‍රීෂ්ම ඍතුවක ඇය මා තෙත රෙදි කඩකින් නැහැවූවා ය. මහ රුයෙහි මට බෙහෙත් ගෙනැවිත් දුන්නා ය. මාස ගණනාවක් ගත වූ සුවපත් වීමේ කාලය පුරා මට උදව් කළා ය. මම ඒ කාලය ම පුරා  සිටියේ නුහුරට ය. ඇය කිසි විටෙක නොක්කාඩු කීවේ හෝ කිසි විටෙක ඉවසීම නැති කර ගත්තේ නැත.

දැන් ඇය වේදනාවෙන් ළතෝනි තබනු ඇසෙන විට මට පිස්සු වැටුනා වැනි විය.

කුස්සියේ සිටින කුඩා කාන්තාව කව්ද?

අපේ මුල් රටෙ හි දී තමන් ලෝලාට සළකන සැටි වසන් කිරීමට මගේ දෙමාපියන්ට අවශ්‍ය නොවීය. නමුත් ඇමෙරිකාවෙහි දී අමුත්තන් පැමිණ විට මගේ දෙමාපියන් ඇය නැතිවාක් මෙන් සිටියේ ය. නැත්නම් ඒ ගැන ඇසූ හොත් බොරු කියා වහාම කතාව වෙනතකට හැරවූයේ ය. උතුරු සියැටල් හි පස් වසරක් ම අප වාසය කළ නිවස තිබූ වීදියෙන් ඉදිරිපස  අට දෙනෙකුගෙන් යුත් පුරාජේරුකාර මිසෙලර්වරුන්ගේ පවුල වාසය කළෝ ය. අබ පාවිච්චිය, සැල්මන් මසුන් ඇල්ලීම සහ මිදුලෙහි තණකොළ කැපීම, රූපවාහිනියෙහි පා පන්දු තරඟ නැරඹීම, තරඟ අතර තුර කෑ ගැසීම වැනි දේ අපට හුරු කළේ ඔවුන් ය.  එම තරඟ අතරතුර බීම සහ කටගැස්ම පිළිගැන්වීමට ලෝලා පැමිණ විට ඇය ක්ෂණයකින් අතුරුදහන්වීමට පෙර මගේ මා පියෝ ඇයට ස්තුති කළහ. ‘ ඔබ කුස්සියේ තබා ගෙන සිටින කුඩා කාන්තාව කව්ද? ‘ යැයි දිනක්  මිසෙලර්වරුන්ගේ මහ මිනිසා වූ ලොකු ජිම් දිනක් ඇසුවේ ය. ‘ අපේ රටෙන් ආපු ඥාතියෙක්’ යැයි පියා කීවේ, මහත් ලැජ්ජාවෙනි.

මගේ හොඳම යහළුවා වූ බිලී මිසෙලර් ඒ කතාව පිළිගත්තේ නැත. අපේ පවුලේ රහස සොයා ගැනීම පිනිස ඔහු අපේ නිවසෙහි බොහෝ වේලාවන්, විටෙක සති අන්තයන් පවා ඔහු ගත කළේ ය. වරක් මගේ මව මුලුතැන්ගෙයි කෑ ගසනු ඔහුට ඇසී  ඒ සොයා බලනු පිනිස එබී බලන විට මව රතුවූ මුහුණින් යුතුව මුලුගැන්වී සිටි ලෝලාට රවාගෙන සිටිනු දැක තිබුණි. මම තත්පර ගණනාවක් තුළ එතැනට ගියෙමි. බිලිගේ මුහුණෙ හි වූයේ දුෂ්කරතාවයක සහ විමතියක ළකුණු ය. ‘ඇයි මේ?’ එය අමතක කර දමන්නැ’යි කියා මම ඔහු වෙනතක ගෙන ගියෙමි.

බිලිට ලෝලා ගැන දුක සිතුන බව මට දැනුණි. ඇයගේ ඉවුම්පිහුම් ගැන නැටුම් නැටීමත් මා කවරදාකවත් නෙැදැක තිබූපරිදි ඇය සිනහ ගැන්වීමට ඔහුට හැකි විය.බිලී අප නිවසෙහි නිදාගන්නට ආ දිනවල ඇය ඇයගේ ප්‍රියතම බොජුන වූ සුදු බත් මත හරක් මස් තබා හැදුවාය.  ලෝලාගේ එකම නිපුණතාවය වූයේ ඉවීම යි. ඇය පිළිගැන්වූ ආහාරය අනුව ඇය හුදෙක් කෑම දෙනවා ද නැත්නම් ඇයගේ ආදරය ප්‍රකාශ කරනවා ද යන්න කීමට මට හැකි විය.

බිලී ගේ ප්‍රශ්ණ

මා වරක් ලෝලා අපේ දුර නැන්දනියක යැයි කී විටෙක, මා ඔහු හමුවූ මුල් අවස්ථාවෙහි ඇය මගේ ආච්චී යැ යි මා කී බව බිලී මතක් කළේ ය.

‘ ඔව්, එක විදිහකට ඇය ඒ දෙන්නා ම තමා ‘ මම ගුප්තාකාරයෙන් කීමි.

‘ ඇයි ඇය හැම තිස්සේ ම වැඩ කරන්නේ?’

‘ඇය වැඩ කරන්න කැමැති යි’ මම කීමි.

‘ ඇයි ඔබේ තාත්ත යි අම්ම යි ඇයට කෑ ගහන්නේ?’

‘ඇයට හරියට ඇහෙන්නේ නැහැ…’

ඇත්ත පිළිගැනීම අප සියළු දෙනා ම අනාවරණය කර ගැනීමක් වන්නට තිබුණි.

මෙම රට විසින් පිළිගැනීමට තරම් අප යෝග්‍ය ද? මම මේ සියල්ල ගැන, මගේ ඊට ඇති වගකීම ද ඇතුළුව, මම ලැජ්ජාවට පත්වීමි. ඇය විසින් පිසින ලද ආහාර මා නොකෑවේ ද? ඇය විසින් සොදා, මැද, ඇදුම් අල්මාරියේ එල්ලන ලද ඇදුම් මම නොපැළලන්දේ ද? නමුත් ඇය නැතිව යාම අප වැනසීයාමක් බදු විය.

මේ රහසිගත භාවයට තවත් හේතුවක් විය. අප එක්සත් ජනපදයට පැමිණ පසු වසරකට පසු, 1969 දී ලෝලාගේ ගමන් බලපත්‍රය  කල් ඉකුත්ව තිබුණි. ඇය පැමිණ තිබුණේ මගේ පියාගේ රැකියාවට සම්බන්ධ විශේෂ ගමන් බල පත්‍රයකිනි. සිය උසස් නිලධාරීන් සමඟ ආරවුල් ගණනාවකින් පසු තානාපති කාර්යාල රැකියාවෙක් ඉල්ලා අස්වූ මා පියා එක්සත් ජනපදයේ දිගට ම රැදී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළේ ය. ඔහු පවුලේ සැමට නිත්‍ය නේවාසික තත්වය ලබා ගත්තේ ය. නමුත් ලෝලා ඊට සුදුසුකම් ලබා තිබුණේ නැත. ඔහු විසින් ඇය ආපසු යැවිය යුතු විය.

 

තෙවන කොටස 12 වන බ්‍රහස්පතින්දා පළවේ.

Back to Top