Sri Lanka Brief
පුවත්විවරණසත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි

සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි

by

කාටූනය: RCPradeep @RcSullan.

18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ්‍රී ලංකාවට අවැඩක් මිස වැඩක් සිදුව නැත. දැන් තවත් ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිතව ඇති තත්වයක් තුළ සහ ඒ සඳහා ඔහු ද අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි කියන තත්වයක් තුළ, එසේත් නැතහොත්, ඔහු නෑවිත් කවර කෙනෙකුට ඔහුගේ සහාය පළ කෙරෙනු ඇත්දැයි සිතමින් තිබෙන තත්වයක් තුළ, ඔහුගේ මේ ප්‍රකාශය ලිහා බේරුම් කර ගැනීමත්, ජනාධිපතිවරයා රටට ඒත්තු ගන්වන්ට යන්නේ කුමක්ද යන්න දැන ගැනීමත් අපට වැඩදායක ය.

එක පුද්ගලයෙකුට ජනාධිපති විය හැක්කේ දෙවරක් පමණක් ය යන සීමාව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරනු ලැබීමත්, ඒ සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයාගේ බලතල අසීමිත සීමාවකට ගෙන යාමත්, නීති අංශවල සහ ආණ්ඩුකරණයට අදාළ අංශවල ක්‍රියාකාරීකයන්ගේ නිර්දය විවේචනයට ලක්ව තිබුණි. එක පුද්ගලයෙකු තුළ එසේ බලය ඒකරාශී වීමත්, ඒ හරහා දූෂණය, මර්දනය සහ අවකළමනාකරණය ඔඩුදිවීමත් රාජපක්ෂ පාලනයට එරෙහිව 2014 වන විට විශාල විරෝධයක් පොදුවේ රට පුරා ගොනුවීමට හේතුකාරක විය. ඒ විරෝධයේ කේන්ද්‍රීය අපේක්ෂාව වුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කර දැමීමයි. යහපාලනය යන්න සටන් පාඨයක් බවට පත්වුණේ ඒ පරිසරය තුළ ය. එම අපේක්ෂාවේ පොදු අපේක්ෂකයා වුණේ මෛත්‍රීපාල සිරිසේන ය.

එබැවින්, තිබුණු ‘ශක්තිමත් නායකත්වයක්’ දියාරු කිරීමට 19 වැනි සංශෝධනය හේතුකාරක විණැයි දැන් ජනාධිපතිවරයා කීම විගඩමකි. 19 වැනි සංශෝධනය ගෙනාවේම, ජනතාව විසින් ජනාධිපතිවරයා වෙත පවරනු ලබන බලය ජනාධිපතිවරයා විසින්ම අපයෝජනය කරනු ලැබීමේ හැකියාව දුර්වල කිරීමට සහ මෙල්ල කිරීමට ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සර්ව සම්පූර්ණ නොවිය හැකිය. විධායක බලතල කප්පාදු කිරීම සම්බන්ධයෙන් එය කොහෙත්ම පරිපූර්ණ නැති බව පැහැදිලි ය. ඒ බව, පසුගිය කාලයේ ඇති වු ව්‍යවස්ථා අර්බුදයෙන් මනාව පෙන්නුම් කෙරුණි. එසේ වෙතත්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන විශ්වාසය තබන සහ ශක්තිමත් ආයතන පද්ධතියක් පිළිබඳ විශ්වාසය තබන කවුරුත් පිළිගන්නා කාරණයක් වන්නේ, 19 වැනි සංශෝධනය යනු නිවැරදි මාවතක් වෙත තැබූ එක් පියවරක් වන බව ය.

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී මාදිලියේ අවාසනාව වන්නේ, ප්‍රබල ආයතන වෙනුවට ප්‍රබල පුද්ගලයන් මත අවධාරණය යෙදීමේ ප්‍රවණතාවයයි. යහපත් පාලනයක් ගෙන යා හැක්කේ ශක්තිමත් පුද්ගලයන් හරහා බව විශ්වාස කෙරේ. එය ඉතා නරක කල්පනාවකි. එහෙත් එය ඉතා ජනප්‍රිය කල්පනාවකි. ලංකාවේ පමණක් නොව, මුළු ලෝකයේම එය ජනප්‍රියත්වයට පත්ව තිබේ. රාජ්‍යයක් නිවැරදි මාවතට ගැනීමට, යුක්තිය පසිඳලීමට, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට සහ වගවීම සහතික කර ගැනීමට තනි පුද්ගලයෙකුගේ බලයකට හැකියාව ඇතැයි යන්න ආකර්ශණීය කල්පනාවක් වන මුත් එසේ බලය තනි අතක ඒකරාශී වීම, පාලනයේ දූෂණයට, බලය අවභාවිතයට, මර්දනයට සහ අතිමූලික මිනිස් අයිතීන් පවා උල්ලංඝණය කිරීමට පාදක වන්නේය යන්න මේ කල්පනාව තුළ මගහැරී යයි.

ආර්ථික වර්ධනය අසාමාන්‍ය සේ ගාටන රටක, සිල්ලර දේශපාලඥයන් සිටින රටක, දූෂණය ඔඩුදුවා ඇති රටක, ඒ සියල්ල මදිවාට, ත්‍රස්තවාදී ප්‍රහාරත් දියත් වන රටක ‘ශක්තිමත් නායකයෙකු’ පිළිබඳ කල්පනාව පෙර නොවූ විරූ ආකාරයෙන් ජනතා අවධානය දිනා ගැනීම පුදුම නැත. ඊළඟ මැතිවරණයකින් මේ සියල්ල හරිගස්සා ගත හැකි යැයි ද, ඒ සඳහා නිවැරදි පුද්ගලයාව බලයට පත්කළ යුතු යැයි ද, සාමයේ සහ සමෘද්ධියේ මාවත වැටී ඇත්තේ එවැනි පුද්ගලයෙකු හරහා යැයි ද විශ්වාස කිරීම ඉතා පහසු ය. ඉතා සරළ ය. ඒ නිසා, ඊළඟ මැතිවරණය, සියල්ල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් ගැනීමට, එක පෑන් පහරකින් නිවැරදි කළ හැකි කර්තව්‍යයක් වශයෙන් ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති. එහෙත් යථාර්ථය ඊට වඩා බෙහෙවින් සංකීර්ණ ය.

සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි. මධ්‍යස්ථවාදීන් අරගල කරනු ඇත්තේ තමන්ගේ අපේක්ෂා සාධනය සඳහා වන අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ය. රටේ ආයතනික පද්ධතිය ශක්තිමත් කිරීම තුළින් යහපාලනය සාක්ෂාත් කර ගැනීමේ ආධ්‍යාශය, ඒ අනුව, පැත්තකට වීසි වී තිබේ. ඒ වෙනුවට දැන් ඉස්මත්තට එන්නේ වෙනම අරගලයකි. මේ නව අරගලය තුළ, 2015 දී ඇති කළ තත්වය විසින් ඉල්ලා සිටි තීරණය ගැනීමට ගත් වෙහෙසට වැඩි වෙහෙසක් ඉදිරි තීරණය ගැනීමේදී දැරීමට සිදුවන බව නම් පැහැදිලි ය.
(2019 ජුනි 24 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Defining Boundaries of Power නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top