Sri Lanka Brief
පුවත්විවරණවෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

by

එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ  “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි.  දිවයිනේ පළවූ මේ පුවතේ දොස්තර කෙනෙතුගේ නමක් හෝ ප්‍රදේශයක් සඳහන් කර නැත. විමර්ශන කරන්නේ කොහේ පොලිසියකින්ද යන්නවත් නැත. කෙසේ වෙතත් එහි සඳහන් කර ඇත්තේ “පොලිසිය කියයි” යනුවෙනි.

නමක් ගමක් නැතුව පලවූ මේ පුවතින් පසු අන් හැමෝටම වඩා කලබල වූයේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසකි. ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපනය කර ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරක ලෙස ඉල්ලා සිටියහ.  මේ කියන වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය සාෆිය. සාෆි 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැද ඡන්ද 54000ක් ලබාගෙන තිබිණි.

වෛද්‍ය සාෆිට එරෙහිව ඇති චෝදනා වන්නේ අයථා වත්කම් සහ සිසේරියන් සැත්කම් කරද්දි සංහල බෞද්ධ මව්වරුන් වඳබාවයට පත්කළාය කියන කතාවයි. මේ චෝදනා ඇත්තද? මේ ඒ ගැන සොයා බැලීමකි.

සාෆි සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැකිය.

කුරුණෑගල නගරයේ රියෝ බාර් නම්වූ ගොඩනැගිල්ල තිබූ ඉඩම විකිණීමට දමන්නේ 2015දී පමණය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ ඥාතියකුට අයත්ව තිබූ එම ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 130ක් හෙවත් කෝටි 13කි.   වෛද්‍ය සාෆි, මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ තවත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් එක්ව එම ඉඩම මිලදී ගැනීමට කතිකා කර ගත්හ.කෝටි 13ක් එකවර ගෙවීමට අසීරුවූයෙන් මුලින් රුපියල් කෝටි හයක අත්තිකාරමක් ගෙවා ඉතිරි කෝටි හය ලීස් මගින් මාස හයකදී ගෙවීමට ඔවුහු ඉඩමේ හිමිකරු සමඟ ගිවිසුමක් අත්සන් කළහ. ඒ අනුව අත්තිකාරම සැකසුනේ එය මිලදී ගන්නා හතර දෙනාගෙන් එක් අයකුගෙන් රුපියල් එක්කෝටි පනස් ලක්ෂය බැගිනි. වෛද්‍ය සාෆි යෙදූ මුදල ද එක්කෝටි පනස් ලක්ෂයකි.

අත්තිකාරම ගෙවූ පසු එක්තරා වෙළඳ සංගමයකින් එම ගොඩනැගිල්ල තමාට ලබා දෙන ලෙස ඉල්ලා තිබුණු අතර ඉඩමේ හිමිකරු සාෆිගේ  පාර්ශ්වයට යෝජනා කර තිබුණේ ගෙවූ කෝටි හයට අමතරව තවත් වැඩිපුර කෝටියක් ලබා දී ගිවිසුම අවලංගු කිරීමටයි. සාෆිගේ පාර්ශ්වය ඊට එකඟ නොවූ අතර පෙර කතා කරගත් පරිදිම ගනුදෙනුව සිදු විය.

ඒ පළමු කතාවෙයි. දෙවැනි කතාව පටන් ගන්නේ 2017 වසරේදී පමණය. එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කළේ දැන් රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ ලෙස වැඩ කරන පුද්ගලයාමය.  2017 දී මෙම රෝහලේ රාජකාරි කළ වෛද්‍යවරියක සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් වඳ කතාවක් තවත් කෙනකු සමඟ කියා තිබිණි. එම කතාවෙන් තමාට අපහාසයක් සිදුවූ බැවින් වහාම විමර්ශනයක් කරන ලෙස වෛද්‍ය සාෆි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණු අතර එම විමර්ශනය සිදු නොවිනි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙන්ම අදාල වෛද්‍යවරිය ද පසුව ස්ථාන මාරු ලැබ ගියහ.

වෛද්‍ය සාෆිගේ  බිරිඳ රාජකාරි කළේ ද මේ රෝහලේමය. ඇයට ස්ථාන මාරුවක් ලැබුණු පසු ඇය සහ සාෆි වෛද්‍යවරයා එම ස්ථාන මාරුවට විරෝධය පළ කළේය. වෛද්‍යවරියට වඩා වැඩි කාලයක සිටින වෛද්‍යවරුන් තවත් සිටියදී ඇය ස්ථාන මාරු කිරීම වැරදි බව කියා ඇති ඔවුහු එක එක්කෙනාට එක එක හැඳිවලින් බෙදීමට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කළහ. එම කතාවත් සමඟ එවකට නියොජ්‍ය අධ්‍යක්ෂවරයා සහ සාෆි අතර අමනාපයක් හට ගත්තේය.කෙසේ වෙතත් වෛද්‍යවරිය ස්ථාන මාරු ලැබ ගියාය. ඊට පසු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද ස්ථාන මාරු ලැබ ගියේය.

මේ අතර අප්‍රේල් 21 වැනි දා මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු ලංකාව පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. වෛද්‍යවරයාගේ නිවසට අනිත් පැත්තේ නිවස කුලියට දී ඇත්තේ නගරයේ වැඩ කරන සේවකයන් පිරිසකටය. අප්‍රේල් මස අවසානයේ එම කුලී නිවාසය පොලිසිය විසින් සෝදිසියට ලක් කරනු ලැබ තිබුණු අතර සැකකටයුතු කිසිවක් හමුවූයේ නැත.

කුරුණෑගල රෝහල අසල ඇති සය මහල් ගොඩනැගිල්ලක මහල් දෙකක් සාෆි වෛද්‍යවරයාගේ පවුලේ උදවිය කුලියට ගෙන තිබිණි. ඒ මැදපෙරදිග රටවලට යද්දී දෙන වෛද්‍ය සහතිකය නිකුත් කරන ආයතනයක් සඳහාය. එය ලියාපදිංචි කර ඇත්තේ සාෆි වෛද්‍යවරයාගේ මාමණ්ඩියගේ නමටය.මැයි තුන් වැනිදා හෝ මැයි හතර වැනි දා පොලිසියේ දෙදෙනකු සාෆිගේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණියහ. ඔවුන් එය පරීක්ෂා කර බලා සාෆිගේ වත්කම් ගැන විමසීමක් කළහ. ‘අපිට වත්කම් ගැන පැමිණිලි ගොඩක් එනවා‘ යනුවෙන් පවසා ඔවුහු පිටව ගියහ.

මේ අතරතුර වෛද්‍යවරයාට එරෙහිව වෙනම වැඩසටහනක් යන බවක් පෙනෙන්නට තිබිණි. වෛද්‍යවරයා ළමයෙක් මාරු කළැයි කියමින් රෝහලේ පරිපාලනයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය. හෙදියකගේ සැත්කමකදී ඇගේ මුත්‍රාශයට හානි වුණැයි කියමින් තවත් පරීක්ෂණයක් මේ දිනවලට ආරම්භ විය. කෙසේ වෙතත් එම පරීක්ෂණ ගැන සාෆි දැනුම්වත් කර නොතිබුණු බව වාර්තාවේ.  හෙදියගේ මුත්‍රාශයට හානි වී තිබුණේ මේ වෛද්‍යවරයා අතින් නොව විශේෂඥ වෛද්‍යවරයකු අතින් බව ද වාර්තා විය.

කරුණු මෙසේ වෙද්දී වත්කම් ගැන තොරතුරු සෙව්වත් ඔහු කොටු කර ගැනීමට තරම් අයථා වත්කමක් ගැන තොරතුරු හෙලිදරව් වූයේ නැත. ඊළඟට වෛද්‍යවරයා කොටුකර ගැනීමේ ඊළඟ මෙහෙයුම දියත් විය. ඒ වඳ සැත්කම් කතාවක් මැවීමයි. පොලිසියෙන් මුලින්ම සමාජයේ මතයක් ඇති කිරීම සඳහා එය මාධ්‍යවේදියකුට ලබා දුන්නේය.  “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුලුල් පරීක්ෂණ” මැයෙන් 23 වැනි දා දිවයින පුවත්පතේ පළ වූයේ එම ප්‍රවෘත්තියයි. දිවයින පුවත පළවන විටත් පොලිසියට කිසිම පැමිණිල්ලක් ලැබී තිබුණේ නැත. එකදු හෝ පැමිණිල්ලක් නැතිව වඳ සැත්කම් 4000ක් කළ බව සාක්කි සහිතව තහවුරු විණැයි පුවත්පතට දුන්නේ කෙසේද? මෙය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව එයින්ම තහවුරු වෙයි.

දිවයිනේ එම පුවතින් පසු කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට පවසන්නේ තම රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි. කෙසේ වෙතත් දිවයිනේ වඳ කතාවේ රෝහලක් හෝ වෛද්‍යවරයකුගේ නමක් සඳහන් කර නොතිබිණි. රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය පරිපාලනමය කටයුත්තක් වුවත් නමක් ගමක් නැති ප්‍රවෘත්තිය පාදක කරගෙන වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි ඉල්ලන්නට ඔහු පෙරමුණ ගත්තේය. කුමන්ත්‍රණයේ තරම දැන් පැහැදිලිය.

එහෙත් පළමු දින දෙකේදිම පැමිණිලි නැත. මේ අතර දිවයිනේ පුවත ගැන විමර්ශන රහස් පොලිසියට භාර දුන් අතර 25 වැනි දා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දිවයිනේ එම පුවත දුන් මාධ්‍යවේදියාට දැනුම් දුන්නේය. වැඩේ වරදින බව පොලිසිය දැන ගත්තේය. පොලිසිය ක්‍රියාත්මක විය.  24 වැනි දා වෛද්‍යවරයාගේ නිවසට පොලිසියේ දෙදෙනෙක් පැමිණියේය. පැමිණ පල්ලියේ සිටි වෛද්‍යවරයා නිවසට ගෙන්වා ගත්තේය. ගෙන්වාගෙන වෛද්‍යවරයාගේ පාර්ශ්වයේම වාහනයකින් ප්‍රකාශයක් ගැනීමට යැයි කියමින් පොලිසියට කැඳවාගෙන ගියේය. අතරමඟදී පොලිසියේ වෙනත් ජීප් රියක් හරස් කර වෛද්‍යවරයා ඊට නංවාගත්තේය.

වෛද්‍යවරයා රැගෙන පොලිසිය ඔහුගේ නිවසට ආවේ ඊට පැයකට දෙකකට පමණ පසුවය. පැමිණි ගමන් පොලිසිය මුලින්ම කළේ සීසීටීවී වීඩියෝ පටිගතවන ඩීවීආර් උපකරණය ගලවා ගැනීමයි. ඉන් පසු පොලිසියේ තවත් පිරිසක් පැමිණ මුළු නිවසම පරීක්ෂා කළහ. සැකකටයුතු කිසිවක් හමුනොවීය. ඉන් පසු වෛද්‍යවරයාගේ ගිනුම් සම්බන්ධ ලියැකියැවිලි සියලු දේ ඔවුන් බාරයට ගත්හ. වෛද්‍යවරයාගේ බිරියගේ චෙක් පොත පවා පොලිස් බාරයට ගත්තේය. ඒ වන විටත් පොලිසියේ අය ‘සැක මොනවත් නැහැනේ‘ යැයි උසස් නිලධාරීන්ට කියනු ඇසුණු බව නිවැසියෝ කීහ.

ඔහු අත්අඩංගුවට ගත් ආරංචියට උසස් පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට කතා කර හේතු විමසීය. පොලිසිය කීවේ වත්කම් ගැන ලැබුණු තොරතුරකට අත්අඩංගුවට ගත් බවයි. වත්කම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඇති හැකියාව ගැන විමසද්දී පොලිසිය කීවේ ඔහුට අයථා මුදල් ලැබුණු බවකි. ඒ අනුව මුදල් විශුද්ධිකරන පනත යටතේ ඔහු රහස් පොලිසියට බාර දෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් උපදෙස් දී තිබුණු බව විශ්වාස කටයුතු ආරංචිවලින් පැවසේ.

එනම් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා මොහොත වන විටත් වෛද්‍යවරයාට එල්ල කළහැකි චෝදනාවක් පොලිසියට නොවිනි. වත්කම් ගැන පැමිණිල්ලක් පවා පොලිසියට ලැබී තිබුණෙ නැත. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවයි. නීතිය අනුව එසේ කළ නොහැකිය.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම ඊළඟ කටයුත්තයි. එම අවස්ථාවේ ‘ඔන් කෝල්‘ වෛද්‍යවරු දෙදෙනෙක් රාජකාරි කළහ. ඒ දෙදෙනාම මග හැර ‘ඔන් කෝල්‘ නොසිටි වෙනත් වෛද්‍යවරයකු ගෙන්වාගෙන වෛද්‍ය සාෆි ඔහු වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට බැහැරව යමිනි.

වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැනීමට වඳ කතාවක් ගාවමින් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද කුරුණෑගල රෝහලේම වෛද්‍ය වරියකි. කිස්තිරි ජයලත් මහතා මාධ්‍යයට ලබා දුන් ප්‍රකාශ ගැන 25 වැනි දා සෙනසුරාදා වාර්තාවක් ලැබිණි. ඒ ගැන විමර්ශනය කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට යොමු කළ බව දැනගන්නට තිබේ. ඒ සමඟ කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට වාර්තාවක් ලබා දෙමින් පැවසුවේ වඳ කතාව ගැන කිසිම පැමිණිල්ලක් ලැබී නැති බවයි.

25 වැනි දා මෙම වෛද්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය.  වෛද්‍යවරයා රහස් පොලිසියට බාර දී දින 5ක් පමණ ඇතුළත බැංකු තුනක වෛද්‍යවරයාගේ ගිනුම් පිරික්සා තිබිණි. ඒවායේ ශේෂය වී තිබුණේ රුපියල් හත් ලක්ෂ ගණනකි. වෛද්‍යරයාගේ මුලු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 90ක් හෙවත් කෝටි නවයක් බව රහස් පොලිසිය සනාථ කරගෙන තිබිණි. පසුගිය ජුනි 3 වැනි දා වන විටත් අයථා වත්කමක් ගැන තොරතුරක් අනාවරණය වී තිබුණේ නැත.

දැන් මෙම සිද්ධියත් සමඟ පැන නැඟෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. එනම් කිසිම පැමිණිලක් හෝ විමර්ශනයක් නැතුව සිංහල බෞද්ධ මව්වරුන් 4000කට වඳ සැත්කම් කළ බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යයට දුන්නේ කෙසේද යන්නයි. දෙවැන්න නම් නමක් ගමක් නැතිව පළ වූ එම මාධ්‍ය වාර්තාව පමණක් පදනම් කරගෙන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා තම කාර්ය මණ්ඩලයේ වෛද්‍ය සාෆිට විරුද්ධව පැමිණිලි ඉල්ලීමයි.කිසිම පැමිණිල්ලක් නැතුව තොරතුරක් මත පමණක් වත්කම් පරීක්ෂා කිරීමකින් හෝ තොරව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමයි. ඊළඟ බරපතලම ප්‍රශ්නය නම් මේ වන විට කාන්තාවන් 400කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල රෝහලට පැමිණිලි කර තිබිය දී එම කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් නොකිරීමයි. මෙම පැමිණිලිවලින් බහුතරයක් ඇත්තේ වඳ වූ බව නොව වෙනත් ආසාත්මිකතා ගැනය.

මේ සියලු කරුණුවලින් තහවුරු වන එක සත්‍යයක් ඇත. එනම් වෛද්‍ය සාෆිට එරෙහිව යම් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව සහ වෛද්‍ය සාෆි වඳ සැත්කම් කළ බවට ජන මතයක් ඇති කිරීමට යම් කුමන්ත්‍රණයක් දැනටත් දියත් වන බවයි. පරීක්ෂණ නොකර පැමිණිලි පමණක් ගෙන්වා ගන්නේ ඒ නිසාය. නීතිය වෛද්‍යවරයකුට මෙසේ නැමෙනවා නම් සාමාන්‍ය මිනිහෙකු විෂයෙහි කෙසේ නමාවිදැයි සාමාන්‍ය වැසියන් ප්‍රශ්න කළ යුතුය. නැති නම් වෛද්‍ය සාෆිට අත්වූ ඉරණම අනික් අයටද අත්විය හැකිය. සාෆි වරදක් කර ඇත්නම් ඊට නීතියේ රාමුව ඇතුළේ කටයුතු කළ යුතුය. එසේ නැතිව නීතිය නවමින් මෙසේ කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැත.

සමිත් මල්ලවආරච්චි/ Media.lk

Back to Top