Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගවත්මන් තත්වය සහ අපේ වගකීම (2) – සුනන්ද දේශප්‍රිය

වත්මන් තත්වය සහ අපේ වගකීම (2) – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය: අප නැගි සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. කවර හෝ දේශපාලන පක්ෂයකට නොවේ. සිරිසේනගේ ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට විරුද්ධව එසවුණු විරෝධතා පුවරුවකි.

වත්මන් තත්වයේ අපේ වගකීම පැන නැගෙන්නේ පහත සඳහන් කරැණු මත .

1. පාලක එජාපය, සිරිසේනගේ ශ්‍රීලනිපය සහ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන ධාරා තුනෙන් කවරක් මත හෝ තව දුරටත් විශ්වාසයක් තැබිය නොහැක. වංචාව සහ දූෂණය මෙම පක්ෂ තුනෙහිම මුල් බැස ගෙන තිබේ. එමෙන්ම එකී පක්ෂ එකක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් මත ගොඩ නඟා නැත. ඒවා ඒකාධිපති පක්ෂ වෙති. මෙම පක්ෂ තුනටම ශිෂ්ඨාචාරවත්, ප්‍රජාතන්ත්‍රවාදී, සමාජ සාධාරණයට මුල් තැන දෙන සමෘධිමත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට නොහැක.

2. වත්මන් ශ්‍රී ලංකාව ජනවාර්ගික වශයෙන් පමණක් නොව ආගමික වශයෙන් ධ්‍රැවීකරණය වී තිබේ. අන්තවාදී සමාජ දේශපාලන ප්‍රවණතා සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාජයන්හි වර්ධනය වෙයි. පුරුෂ මූලික සිංහල ස්වෝත්තමවාදී දේශපාලනය විසින් මෙරට ජීවත්වන සියළුම සුලුතර ප්‍රජාවන්ද, ස්ත්‍රීන්ද, ලිංගික අනන්‍යතා ප්‍රජාවන් මත ඉහළ යන පිඩාවන් මුදා හරිනු ඇත.

3. ශ්‍රී ලාංකික සමාජය සහ දේශපාලනය, වාර්ගික සහ ආගමික සාධක මගින් අධිනිශ්චය වී ඇති බැවින් සමාජ සාධාරණත්ව, ස්ත්‍රී පුරැෂ සමාජභාවී සහ පාරිසරික අර්බූදය වැනි හරයාත්මක කාරණා පසුපසට තල්ලු කර දමා තිබේ.

4. යුද සමයෙහි සිදුවූ මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පිනිස ශ්‍රී ලංකාණ්ඩුව විසින් ක්‍රියාවට නැංවිය යුතු වූ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළිය සහමුලින්ම නැතත් බොහෝ දුරටම ඇන හිටීමට ඉඩ තිබේ. එමගින් මෙරට දෙමළ ජනයා සහ ආණ්ඩුව අතර විරසකය උත්සන්න වනු ඇත.

5. මෙවැනි අර්බූද අවස්ථාවක දී යම් ආලෝකයක් විහිදවිය හැකි (කොළඹ) සිවිල් සමාජය ප්‍රභූවාදී, පුරුෂ මූලික සහ රනිල් වික්‍රමසිංහවාදී අගතීන්ගෙන් පෙළේ.

6. මෙම අර්බූදකාරී තත්වයට නායකත්වය දිය හැකි විකල්ප ජාතික දේශපාලන ව්‍යාපාරයක් අද නොමැති අතර එවැනි අංකුරයක් හෝ දකින්නට නොහැක. මෙැවනි තත්වයන්ට මුහුණ දීමට ලොව පුරවැසි පිරිස් විසින් ගොඩ නඟා ගන්නා ලද වාමස්ත්‍රී පුරුෂ සමානාත්මතා සහ හරිත දේශපාලනයක් මෙරට තවම පිළිසිද ගෙන නැත.

මෙරට ශිෂ්ඨාචාරවත් මානව ගරුත්වය සහිත ඉදිරිගාමී දේශපාලනයක් අපේක්ෂා කරන පිරිස් හමුවෙහි ඇති අභියෝග පැන නගින්නේ, මා සිතන අන්දමට, ඉහත කී සාධක කෙරෙනි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදායක් සහ ශිෂ්ඨාචාරවත් සමාජ භාවිතයක් අප සතුව තිබුණේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට මෙන්ම ඉන් පසුව මුදා හරින ලද මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයන්ට විරුද්ධව කල්ලි ගැසුණු විරෝධතා වෙනුවට එක දැවැන්ත විරෝධතාවයක් සංවිධානය වන්නට ඉඩ තිබුණි. ත්‍රස්ත ප්‍රහාරයන්ට මෙන්ම වාර්ගික ප්‍රචණ්ඩත්වයන්ට දිය හැකිව තිබූ ප්‍රබලතම පිළිතුර එයයි. එවැනි දැවැන්ත විරෝධතාවයකට ජවිපෙ ඇතුළු අනෙක් වාම කණ්ඩායම් සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධානයන් , සමහරවිට එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේ පිරිස් , දෙමළ සන්ධානයේ සහ මුස්ලිම් කොන්ග්‍රසයේ කොටස් එක් කර ගත යුතුව තිබුණි. මන්ද යත් එවැනි උද්ඝෝෂනයක අරමුණ වන්නේ ත්‍රස්ත ප්‍රහාරයන්ට මෙන්ම වාර්ගික ප්‍රචන්ඩත්වයන්ට විරෝධය දැක්වීම මිස ජනාධිපතිවරණයේ දී වැටෙන ජන්ද ගණන් කිරීම නොවන නිසා . කවර ලෙසකින් හෝ එවැනි අවස්ථාවක් එළඹුණේ නම් පක්ෂ නායකයින්ගේ ප්‍රචාරක ටී ෂර්ට්කරැවන්ගෙන් එය පිරි යන්නට ද තිබුණි.

අයිසිස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රංශයෙහි වේවා බෙල්ජියමෙහි වේවා ජර්මනියෙහි වේවා කරන ලද මනුශ්‍ය ඝාතනයන්ට එරෙහිව දස දහස් ගණනින් ජනයා වීදි අරක් ගත්තේ එවැනි කල්ලිවාදි නොවූ දේශපාලන නායකත්වයන් මතුවූ නිසා .

පසුගිය 11දා ඇගමැතිවරයා සහ සිවිල් සංවිධාන ගණනාවක නියෝජිතයින් පිිරිසක් සමඟ කරන ලද සාකච්ජාව මෙරට සිවිල් සමාජයේ කල්ලිවාදී පුරැෂ මූලික සහ ප්‍රභූවාදී ස්වභාවයට අපූරු නිදසුනකි. එම රැස්වීමේ ජායාරෑපයක් අගමැති කාර්යාලය විසින්ම ප්‍රසිද්ධ කරන ලදී. එහි පෙනෙන්නට සිටින විසි පහක් පමණ වන සිවිල සංවිධාන නියෝජිතයින් අතර එකදු ස්ත්‍රියක හෝ නැත.

ස්ත්‍රිී පුරුෂ නියෝජනය සහතික වන පරිදි මෙරට සිවිල් ක්‍රියාකාරිත්වයෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන ස්ත්‍රීන් අතුරින් කිසිවකු අගමැතිවරයා පැවැත් වූ මෙම සාකච්ජාවට නොපැනීම එය සංවිධානය කළ කිසිවකුට හෝ ඊට සහභාගි වූ කවරකුට හෝ ප්‍රශ්ණයක් වූ බව නොපෙනුණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් වැඩිපුර මිය ගියේ ස්ත්‍රීන් . එනමුත් පාස්කු ඉරිදා ප්‍රහාර සහ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා ගැන කොළඹ සිවිල් සමාජය පැවැත් වූ සියලු රැස්වීම් වල කතා කළේ පිරිමින් .

එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසු මුස්ලිම් ස්ත්‍රීන්ගේ ඇදුමට සීමා පැනවූ ආණ්ඩුව පසුව රටෙහි සියළු ස්ත්‍රීන්ගේ ඇදුමට සීමා පැනවීමට අසාර්ථක උත්සාහයක් ගත්තේ . රජයේ සියළු සේවිකාවන් සාරිය හා ඔසරිය හැඳ පැමණිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැන වූ නියෝගයට විරුද්ධව වචනයක් හෝ කියූ පිරිමි මූලික හෝ ස්ත්‍රී මූලික සිවිල් සමාජ සංවිධානයක් නොදුටුවෙමි.

අනෙක් අතට අනන්‍යතා දේශපාලනයෙහි යෙදි සිටින ස්ත්‍රීවාදී සංවිධාන ජාතික දේශපාලන ප්‍රශ්ණ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.

මෙරට පරිසර සංවිධානවල තත්වයද එවැනි . එම සංවිධාන නියෝජිතයින් මෙැවැනි හමුවීම් වලට නොකැදවෙන අතර ඔවුන්ද ජාතික දේශපාලන ප්‍රශ්ණ වලින් බැහැරව සිටිති. ගෝලීය පරිසර අර්බූදයෙහි ප්‍රතිවිපාකයන්ට නිසැකවම මුුහුණ දෙන්නට සිදුවන රටක් වන නමුත් අපේ එක් පාසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෝඅනාගතය සදහා සිකුරාදා’ උද්ඝෝෂනයක් පවත්වා නැත. ලොව පුරා පාසල් සහ සරසවි ශිෂ්‍ය ප්‍රජාවන් අතර මහෝඝයක් සේ හමා යන පරිසර අර්බූදයට විරෝධය පෑම වෙනුවට අපි නවත වදයේ හෝ අනෙකාට එරෙහිවීමේ වාර්ගික දේශපාලනයන්හි එරී සිටිමු.

තවද කොළඹ ප්‍රභූවාදී සිවිල් සංවිධාන සිතා ඉන්නේ මෙරට ඇති තීරනාත්මක ප්‍රශ්ණ සම්බන්ධයෙන් දැනුවත් කල යුත්තේ ඉංග්‍රිසි කතා කරන මහත්වරැන් සහ මහත්මියන් පමණක් බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන් ගැන වේවා, හදිසි නීතිය ගැන වේවා, වාර්ගික ප්‍රචන්ඩත්වයන් ගැන වේවා ඔවුන් ලියන්නේ ඉංගිරිසියෙන් පමණය.  සමාජ ජාලයන්හි සිංහලයෙන් පැතිර යන බොරු ප්‍රචාර ගැන පවා මහත් බැරෑරුම් ලෙස ඔවුන් කතා කරන්නේ ඉංග්‍රිසියෙනි!

අනෙක් අතට සිංහල කතා කරන සිවිල් සමාජ ප්‍රධානීහු බෙහෝ දෙනෙක් කණගාටුදායක ලෙස ආණ්ඩුවේ දැනුවත් හෝ නොදැනුවත් අතකොළු බවට පැමිණුණි. ඔව්හු පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභාව නතර නොකරන්නැයි ඉල්ලා සිටින නමුත් වසර ගණනාවක් කල් දමා ඇති පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින්නේ නැත. එම මැතිවරණ ඉල්ලා අධිකරණයට යන්නේ නැත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හෝ මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් හෝ පුළුල් මහජන විරෝධතාවයක් කැඳවිය හැකි සිවිල් නායකත්වයක් අද මෙරට නැත්තේ නිසා . බහු ආංශික ප්‍රවිශ්ඨයකින් සහ පුළුල් ජාලගතවීමකින් තොරව එවැනි නායකත්වයක් ගොඩ නැගෙන්නේ නැත. පක්ෂ දේශපාලනයෙන් ස්වාධීනවීම මානව හිමිකම් මත පදනම් වූ වාම සහ පරිසර හිතකාමී දේශපාලනයක් ගොඩ නැගීම ඊට අත්‍යවශ්‍ය .

එවැනි සිවිල් සහ දේශපාලනයක කළලයන් විය හැකිව තිබූ මුල් පියවරයන් කිහිපයක්ම ගැන මා සම්බන්ධ වූ අත්දැකීම් කිහිපයක්ම තිබේ. ඉන් එකක් නම් යුක්තිය පුවත්පත විසින් නායකත්වය දුන්, ජනාධිපති ප්‍රේමදාසගේ අර්ධ අඥාදායකත්වයට අභියෝග කළ රිචඩ් රාජිනී සමරුවෙන් ඇරඹිබියෙන් අත් මිදෙමු’ ව්‍යාපාරයය යි. ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා වූ ව්‍යාපාරය විසින් නායකත්වය දුන්යුද තර්ජිත ගම්මාන වැසියන් සදහා වූ කොමිසම සහ ඊට අදාළ මහජන ව්‍යාපාරය’ සහ රාජපක්ෂ පාලනය දියත් කල ජනමාධ්‍ය මර්දනයට මුහුණ දීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් දියත් වූජනමාධ්‍ය සංවිධාන එකතුව’ තවත් නිදසුන් දෙකකි. මෙම සෑම ක්‍රියාදාමයක්ම ජනතා විශ්වාසය දිනා ගැනීමට සමත් විය. ඒවා රඳා පැවැතියේ ආණ්ඩුවේ රෑපවාහිනී තිරය මත කරන ලද වාද විවාද මත නොවේ.

මේ සියල්ලටම ඉහළින් පසු කළක ඉස්මත්තට පැමිණීයේ මාදුළුවාවේ සෝභිත හිමි සමාජමය නායකත්වය දුන්සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යි’.

මා සිතන අන්දමට නම් අද අප හමුවේ ඇති ප්‍රධානතම වගකීම වන්නේ රාජපක්ෂ පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහට හෝයියා කීම හෝ එජාපය පරාජය කිරිමට රාජපක්ෂට හෝයියා කීම හෝ නොවෙි. මෙම පක්ෂ දෙකෙහිම දේශපාලනයට එරෙහිව ශිෂ්ඨාචාරවත් සමාජ දේශපාලන මතවාදයක් ගොඩ නැගීමයි. අතර වාරයේම අපේම වූ ස්වාධීන ව්‍යාපාර සහ සංවිධාන ගොඩ නැගීමත් ඒවා තමන්ගේම වූ ගොළුබෙළි කටු තුල සිර නොකර දේශී්‍ය මෙන්ම ගෝලීය ශිෂ්ඨාාචාරවත් දේශපාලන මතවාදී ව්‍යාපාරයක කොටස්කරුවන් බවට පත් කිරිමයි.

එවැනි ව්‍යායාමයන් විවිධ මූලයන්ගෙන් පැන නැගිය හැකි . ඒවා ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය, සමාජ සාධාරණය, ස්ත්‍රී අයිතිවාසිකම්, සුලුතර අයිතිවාසිකම්, පරිසර අර්බූදට විසදුම් සෙවිම, ආචාර ධාර්මික මාධ්‍ය භාවිතය, පුරවැසි ආරක්ෂාව, අන්තවාදීන් පැරදවීම යනාදි ලෙස විවිධාකාරය. එසේ නමුත් අතු ගංගා එක්ව සැදෙන මහා ගංගාවක් බවට පත්විය හැකි පුළුල් විභවයක් ඒවාට ලබා දීම අත්‍යවශ්‍ය .

කියනවාට වඩා කිරීම අමාරුය. අඩුම වශයෙන දැනට මේ අදහස් බෝ කරමු. අනාගතය ගැන සාධනීය අදහසක් නැතිව ගිය හොත් අප විදින මළමිනී බවට පත්වනු ඇත. ඊට ඉඩ නොතැබීම සදහා එක් පහනක් හෝ දැල්වීම සිවිල් පුරවැසියන් ලෙස අපේ වගකීම වේ.

Back to Top