Sri Lanka Brief
පුවත්විවරණමෙරට ඇවිලෙමින් තිබූ මුස්ලිම්-විරෝධය පසුපස ඇති කරුණු කාරණා සොයා බැලීමක් (1) ආචාර්ය අමීර් අලි

මෙරට ඇවිලෙමින් තිබූ මුස්ලිම්-විරෝධය පසුපස ඇති කරුණු කාරණා සොයා බැලීමක් (1) ආචාර්ය අමීර් අලි

by

ජායාරූපය: මැයි මාසයේ ඇවිල ගිය මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා දුප්පත් මිනිසාට එරෙහිවද එල්ල විය.

උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින් සිටින අවස්ථාවක, මුස්ලිම් දේවස්ථාන සහ දහම් පාසල් කෙලසමින්, මුස්ලිම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කොල්ලකමින් සහ ගිනිබත් කරමින් ඒ ජන ප්‍රජාවට දඬුවම් කිරීමේ රාජකාරිය මාධ්‍යයේ යම් කොටසකගේ පිටුබලය ලැබූ මැර කල්ලි විසින්, කසාවත් හිංසකයන්, ජාතිවාදී ආරක්ෂක අංශ කොටස් සහ බල ලෝභී දේශපාලඥයන් විසින් තමන් අතට ගෙන සිටින අවස්ථාවක, පාස්කු ඉරිදා නීච ක්‍රියාවට බොහෝ කලකට පෙර සිට මෙරටේ ඇවිලෙමින් තිබූ මුස්ලිම්විරෝධය පසුපස ඇති කරුණු කාරණා සොයා බැලීම කාලෝචිත ය.

ඒ ගැන සාකච්ඡාවට මත්තෙන්, පාස්කු ඉරිදා ම්ලේච්ඡත්වයට අදාළව මුස්ලිම් ප්‍රජාව ඇතුළු විවිධ අංශ වෙතින් ලැබුණු තොරතුරු ප්‍රකාරව ක්ෂණික සහ ආරක්ෂාකාරී පියවර ගැනීමට අසමත් වූ ඉහළ පුටු හොබවන ලොකු ලොක්කන්ගේ අකාර්යක්ෂමතාව ගැන මේ වන විට කරුණු අනාවරණය වෙමින් තිබෙන බවත් කිව යුතුය. ඒ මිනිසුන් ඔය පුටුවලින් හැකි තාක් ඉක්මණින් බැස යතොත් එය රටටත්, ජනතාවටත් ඉමහත් සේවයක් වනු ඇත.

පහත සඳහන් සාකච්ඡාව, මුස්ලිම් ජනතාවගේ අනාගතය වෙනුවෙන් මෙන්ම රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ද සලකා බැලිය යුතුව තිබුණු මුත් දීර්ඝ කාලයක් තිස්සේ නොතකා හැරුණු මාතෘකාවක් වන්නේය.

න්‍යායික පසුබිම

අයි.එස්.අයි.එස්. ව්‍යපාරය විනාශකාරීව ලෝක කරළියට එන්නේ 2013 දී ය. එහි නායක අබුබකර් අල්බග්ඩාඩි, ‘කැලිෆේට්’ නමින් හැඳින්වෙන, ‘මහම්මත්තුමාගේ රාජධානියක්’ ප්‍රකාශයට පත්කරමින්, සාමය සහ සමෘද්ධිය රජයන තමාගේ ඒ මනෝරාජික මිහිමත සුරපුරයට සංක්‍රමණය වන්නැයි ලෝක මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. එය, පැරණි ප්‍රශ්නයක් යළි ඉස්මත්තට ගෙන ආ අවස්ථාවකි. එනම්, ඉස්ලාමීය ඇදහිල්ල සහ එසේ අදහන ප්‍රජාව යම් රටකට අයත් වීම පිළිබඳ ප්‍රශ්නයයි. මෙය වඩාත් තියුණු ප්‍රශ්නයක් බවට පත්වුණේ, මුස්ලිම් නොවන රටවල සුළුතර ප්‍රජාවන් වශයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාවට ය.

දේවධර්මානුකූලව සහ ආගමික න්‍යායානුකූලව ගත් විට, ඉස්ලාම් ආගම අදහන සියල්ලන් අයත් වන්නේ ජාතික සීමාවන් ඉක්මවූ, පාරජාතීය උත්තරීතර ප්‍රජාවකටයි. එය මුස්ලිම් ‘උම්මා’ වශයෙන් හැඳින්වෙයි. එනම්, භූමි ප්‍රදේශයක් වශයෙන් නොව, ජන ප්‍රජාවක් වශයෙන් සලකා ජාතියක් නිර්ණය කිරීමයි. ඒ හේතුවෙන්, ‘ජාතික රාජ්‍යය’ නැමැති සංකල්පය ඉස්ලාමීය න්‍යායටත්, භාවිතයටත් නොපෑහෙන සංකල්පයක් විය. මහම්මත්තුමාගේ කාලයේ පටන්ම මුස්ලිම්වරුන්ගේ පක්ෂපාතීත්වය තිබුණේ ස්වකීය ආගමිකයන් වෙත ය. ඔවුන්ව පාලනය කරන අරාබි පාලකයෙකු වෙත ය.

අඩු වශයෙන් කුරාණයේ තැන් තුනක මෙය අවධාරණය කෙරේ. “(ඉස්ලාම්) ආගම අදහන්නන් සියල්ලෝ එක සහෝදරත්වයකට අයත් වෙත්” (21.92, 23.52, 49.10- කුරාණය). මහම්මත්තුමාගේ සමුගැනීමේ දේශනාවේදීත් මේ අදහස තහවුරු කොට තිබේ. “සෑම මුස්ලිම්වරයෙකුම අනිත් සෑම මුස්ලිම්වරයෙකුගේම සහෝදරයෙකු වන බව, මුස්ලිම්වරු සියල්ලෝම එක සහෝදරත්වයක් වන බව දැන ගනු. කිසි අරාබි ජාතිකයෙක් තවත් අරාබි ජාතිකයෙකුට වඩා උසස් නැත. කිසි සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙකුට වඩා උසස් නැත.” මේ අනුව, ආගමික න්‍යායානුකූලව ගත් විට, පාරජාතීය ‘උම්මා’ දේශයකට අයත් වීම, භූමි ප්‍රදේශයකින් සීමා කෙරුණු රටකට අයත් වීමට වඩා වැදගත් ය.

‘සාමයේ වාසස්ථානය’

මෙකී කුරාණ ඉගැන්වීම මත පදනම් වෙමින් මධ්‍යතන යුගයේ දේවධර්මාචාර්යවරුන් ලෝකය දෙස බැලුවේ එකී දෙබෙදුම ඔස්සේ ය. එනම්, ‘දරුල් ඉස්ලාම්’ හෙවත් ‘සාමයේ වාසස්ථානය’ සහ ‘දරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානය’ වශයෙන් ලෝකය වෙන්ව ගනිමිනි. ප්‍රායෝගික අර්ථයකින් ගත් විට, එකී දෙබෙදුම තුළ ලෝකය කොටස් දෙකකට බෙදා වෙන් කරගනු ලැබේ. එකක් වන්නේ, මුස්ලිම්වරුන්ගේ පාලනය යටතේ දැනටමත් පවතින දේශයයි. අනෙක වන්නේ, මුස්ලිම් පාලනය යටතට ඉදිරියේදී දිනා ගත යුතුව ඇති දේශයයි. මේ ධර්මාචාර්යවරු තවත් පියවරයක් ඉදිරියට ගියහ. එහිදී, අඩු වශයෙන් සෙසු දේශයන් මුස්ලිම් පාලනය යටතට දිනා ගන්නා තෙක්වත්, ‘දරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානය’ අත්හැර ‘දරුල් ඉස්ලාම්’ හෙවත් ‘සාමයේ වාසස්ථානයට’ තාවකාලිකව එන ලෙස ඔවුහූ සෙසු මුස්ලිම් ජනතාවට අනුබල දුන්හ.

ඉන් පසු කාලයක, ස්වෛරී ජාතික රාජ්‍යයන් වශයෙන් දේශසීමා වෙන් කොට ස්ථාපිත කර ගැනීමෙන් පසුව, මේ කියන සංක්‍රමණය දුෂ්කර කටයුත්තක් විය. එහිදී ඉහත කී දෙබෙදුම, තෙබෙදුමකට වර්ධනය විය. එනම්, ‘දරුල්මානා’ හෙවත් මුස්ලිම් ආගමිකයන් දැනට සිටින තැන්වලම සාමයෙන් සහ ආගම භක්තියට අනුරූපව ජීවත් විය හැකි බවයි. ශ්‍රී ලංකාව අයත් වුනේ එකී කොටසට ය.

කෙසේ වෙතත්, එම වර්ගීකරණය අද වන විට බොහෝ සෙයින් අවලංගු වී තිබේ. 2001 සැප්තැම්බරයෙන් පසු, (ඇමරිකාවට ත්‍රස්තවාදීන් එල්ල කළ මහා ප්‍රහාරයන් පසු) එම තත්වය විස්තර කරන අක්බාර් අහමඞ් මෙසේ ලියා තිබේ: “ලෝකය පුරා සිටින මුස්ලිම් ආගමිකයන් හතරවටින් තමන්ව වට කරනු ලැබීමේ හැඟීමකට මුහුණදී සිටී. කිසි තැනක් ආරක්ෂිත නැත.. ප්‍රචණ්ඩත්වය දෛනික කාරණයක් වී ඇත. මුළු ලෝකයම ‘දාරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී වාසස්ථානයක්’ බවට පත්ව ඇත.” දෙබෙදුම සහ තෙබෙදුම පමණක් නොව, ඔටෝමන් අධිරාජ්‍යය කඩා වැටීමෙන් පසු මුස්ලිම් රටවල්මත් වෙන් වෙන් ජාතික රාජ්‍යයන් වශයෙන් බිහි වී ඇති සන්දර්භය තුළ, මුස්ලිම් ‘උම්මා’ නැමැති පාරජාතීය උත්තරීතර රාජ්‍යයේ අදාළත්වයත් මේ වන විට නැති වී ගොස් තිබේ. එතැන් පටන්, මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල නායකයන් සහ ආණ්ඩු විසින් ගන්නා ක්‍රියාමාර්ග නිශ්චය කිරීමේ ප්‍රධාන සාධකය වී ඇත්තේ, ඇදහිල්ලක් මත පදනම් වන ‘උම්මා’ නැමැති පාරජාතීය උත්තරීතර රාජ්‍යයක් පිළිබඳ අවශ්‍යතාවට වඩා, ලෞකික ජාතිකවාදයෙන් සන්නද්ධ ජාතිකරාජ්‍යය පිළිබඳ අවශ්‍යතාවන් ය. එවැනි තත්වයක් තුළ, ‘දාරුල් හාබ්’ හෙවත් ‘ආරාවුල් සහ ගැටුම්කාරී දේශයන්හි’ වෙසෙන සුළුතර මුස්ලිම් ප්‍රජාවන්ට, අලුතින් බිහි වූ ලෞකික ලෝක පරිසරය තුළ තම තමන් ගැන තනියෙන් බලාකියා ගැනීමට තල්ලු කරනු ලැබුණි

‘මහම්මත්තුමාගේ රාජ්‍යයක්’

අයි.එස්.අයි.එස්. සංවිධානය අභියෝගයට ලක්කෙළේ, බටහිර ලෝකයා විසින් සැලසුම් කොට නිර්මාණය කරන ලද ලෞකික ජාතිකරාජ්‍යය පද්ධතියට යට වෙමින්, ආගමික ඇදහීමක් මත පදනම් කෙරෙන පාරජාතීය උත්තරීතර රාජ්‍ය (‘උම්මා’) ව්‍යායාමය (මුස්ලිම් රටවල් විසින්) අතහැර දමා තිබීම යන කාරණයයි. පළමු ලෝක යුද්ධය අතරතුරදී ඇති කර ගත් රහස් ගිවිසුමක් තුළ, ඔටෝමන් අධිරාජ්‍යය පරාජයට පත්කිරීමෙන් පසුව ඒ අධිරාජ්‍යය යටතේ එතෙක් පැවති ප්‍රදේශ ජයග්‍රාහකයන් විසින් බෙදා ගැනීමේ රහස් සැලැස්මක් තිබුණි. , බි්‍රතාන්‍යය සහ ප්‍රංශය අතර ය. යුද්ධයෙන් පසුව, එනම් ඔටෝමන් අධිරාජ්‍යය පරාජය කිරීමෙන් පසුව, ජාතික අරාබි නිජබිමක් ගොඩනගා දීමට මේ මහ බලවතුන් පොරොන්දු වී තිබුණි. මෙය හැඳින්වෙන්නේ, ‘සයික්ස්පිකෝ’ ගිවිසුම වශයෙනි. එහෙත් යුද්ධය ජය ගැනීමෙන් පසු ඒ ගිවිසුම ප්‍රකාර පොරොන්දුව ඉටු නොකෙරුණි. එය මතක් කර දෙමින් අයි.එස්.අයි.එස්. සංවිධානය එකී ගිවිසුම අවසන් කොට, ‘කැලිෆේට්’ හෙවත් ‘මහම්මත්තුමාගේ රාජ්‍යයක්’ ප්‍රකාශයට පත්කෙළේය. එයින් ඔවුන් ලෝකයට දුන් පණවිඩය පැහැදිලි ය. අයි.එස්.අයි.එස්. සංවිධානය ප්‍රකාශයට පත්කළ ‘මහම්මත්තුමාගේ රාජ්‍යය’ (කැලිෆේට්) යනු, මුස්ලිම් ඇදහිල්ල සහ රටකට ඇති අයිතිය පිළිබඳ කාරණා දෙක යළි ඒකාග්‍ර කිරීමකි. මේ ‘කැලිෆේට්’ රාජ්‍යය, දැනට මුස්ලිම් රටවල ජීවත් වන සහ එම රාජ්‍යයන් පිළිබඳ අසහනයට සහ කළකිරීමට පත් මුස්ලිම් තරුණ තරුණියන්ගේ ආකර්ශනීය කේන්ද්‍රයක් බවටත්, නව ලෝක රාජ්‍ය පද්ධතිය තුළ උගුලට හසුව තිබූ පාරජාතීය උත්තරීතර රාජ්‍යය (උම්මා) සඳහා වන ආකර්ශනයක් බවටත් එක රැයකින් පත්විය.

නබිතුමාගේ ආදර්ශය අනුව යමින්, මේ තරුණ තරුණියෝ, අයි.එස්.අයි.එස්. සංවිධානයේ එකී රාම රාජ්‍යයේ වාසය කිරීම සඳහා සංක්‍රමණය වූහ. පොදුවේ සියලු මුස්ලිම් ආගමිකයන්ටත්, විශේෂයෙන් සුළු ජන ප්‍රජාවන් වශයෙන් වෙසෙන මුස්ලිම් ආගමිකයන්ටත්, එහිදී මේ කියන ආගම සහ රටකට අයත් වීම යන කාරණය බරපතල උභතෝකෝටිකයක් බවට පත්විය.

ශ්‍රී ලාංකීය රංගභූමිය

8 වැනි සියවසේදී වෙළෙන්දන්, වන්දනාකරුවන්, යෝගීන් සහ නැවියන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ආගමිකයෝ එය සිය නිත්‍ය වාසය කරගත්තෝය. ඉපැරණි බෞද්ධ රජවරුන් විසින් මේ අලුත් ප්‍රජාව කෙරෙහි දක්වන ලද ත්‍යාගශීලී භාවය, ආගන්තුක සත්කාරය සහ ඉවසීම, දකුණු ආසියා ඉතිහාසයේ වෙනත් තැනකින් සොයා ගැනීමට නොලැබෙන දෙයකි. ආචාර්ය ලෝර්නා දේවරාජා තමන්ගේ “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු: 900-1915 දක්වා වසර දහසක වාර්ගික සමගිය” නැමැති කෘතියේ ඉදිරිපත් කරන තොරතුරු, ප්‍රජාවන් දෙකක සහ ශිෂ්ඨාචාර දෙකක ඉස්ලාම් සහ බෞද්ධප්‍රීතිමත් සහ ආදර්ශමත් මිශ්‍රණය පිළිබඳ කතාවේ එක කොටසක් පමණි. කතාවේ ඉතිරි කොටස ඉදිරියේදී ලියැවීමට තිබේ.

ඒ ඓතිහාසික සම්මිශ්‍රණය කඩා ඉහිරවන්නට සියවස් හතරකටත් වැඩි කාලයක් තිස්සේ පැවති යටත්විජිත පාලනයටවත් නොහැකි විය. ආගමක් ඇදහීම සහ රටකට අයත් වීම යන කාරණා දෙක ගැටුමකට ගිය, ප්‍රාග්නිදහස් ලංකා ඉතිහාසයේ එකම හෝ අවස්ථාවක් වෙතොත්, 1915 දී පමණි. එහිදී සිදුවුණේ, 19 වැනි සියවසේදී ලංකාවට පැමිණි ඉන්දියානු මුස්ලිම් හෙවත් මරක්කල ජාතිකයන්ගේ ආර්ථික සහ වාණිජමය සූරාකෑමේ චර්යාවන්ට එරෙහිව බෞද්ධ ජාතිකවාදීන් පහර දීමයි.

ඒ ආශ්‍රයෙන් හටගත් ගැටුම් තුළදී දේශීය මුස්ලිම්වරුන් පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කෙළේ සිය විදේශික සහෝදර මරක්කල ජනතාව වෙත ය. , ‘උම්මා’ හැඟීම් පෙරදැරිවයි. බෞද්ධ කෝපය එවිට ඔවුන්ටත් විරුද්ධව මතුවුණි. කෙසේ වෙතත්, ඒ අමිහිරි සිද්ධිය ඉක්මණින් අමතක කර දැමිය හැකි විය. කලින් සිටි තත්වයට ජාතීන් යළි අවතීර්ණ විය. දේශීය මුසලිම් ප්‍රජාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රී ලංකාවේ මුල්බැස ගත්හ. ඔවුන්ට, තමන් අදහන ආගම සහ තමන් අයත් රට පිළිබඳ මොනම ප්‍රශ්නයක්වත් තිබුණේ නැත. ඔවුන්ගේ ඉස්ලාම් දහම තුළ තිබුණේ ශ්‍රී ලාංකීය ප්‍රතිරූපයකි.

කෙසේ වෙතත්, නිදහස ලැබීමෙන් පසු, බාහිරින් ගොඩනැගුණු ඇතැම් ආගමික සහ සංස්කෘතික බලවේග නිසා ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ ආගමික ඇදහීම සහ රටකට අයත් වීම අතරේ පැල්මක් නිර්මාණය කෙරුණි. දේශීය අනන්‍යතාවට උඩින් ඉන්පසු කෙමෙන් පැටවුණේ ඒ ‘උම්මා’ අනන්‍යතාවයයි.

(ඉතිරි කොටස ඉදිරියට)

2019 ජුනි 13 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Believing & Belonging: A Muslim Dilemma (1) නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.

Back to Top