Sri Lanka Brief
පුවත්විවරණකාන්තා රාජ්‍ය සේවිකාවන්ගේ නිළ ඇඳුම් කතා වස්තුව නොහොත්  පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම 

කාන්තා රාජ්‍ය සේවිකාවන්ගේ නිළ ඇඳුම් කතා වස්තුව නොහොත්  පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම 

by

ඡායාරූපය: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තු කාරක සභාව හමුවෙහි.

කාන්තා නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්යෙන් රාජ්‍ය පරිපාලන ලේකම් පාර්ලිමේන්තු කාරක සභාවේදී ලබා දුන් සාක්ෂිය පිලිබඳ විමසුමක්.

ලාංකික සමාජයේ සිදුව ඇති ආකල්පමය, දෘෂ්ටිමය සහ විනය පිරිහීම පිළිබඳ කැඩපතක් ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන ලේකම් ලබා දුන් සාක්ෂිය සැලකිය හැක.

“රජයට අයත් කාර්යාල පරිශ්‍ර වල ආරක්ෂාව තහවුරු කිරීම” මැයෙන් මැයි මාසයේ 29 වන දින  ගේ අත්සනින් නිකුත් කරන ලද චක්‍රලේඛය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් කරන ලද විමර්ශනයේදී අමාත්‍යාංශ ලේකම් රත්නසිරි මහතා විසින් දෙනලද සාක්ෂිය සහ එහිදී ඔහුගේ හැසිරීම බොහෝ දෙනෙකුගේ මහත් චිත්ත ප්‍රීතියට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. දේශපාලනඥයින්ට කොන්ද ​නො​නමා සෘජුව නොබියව ඔවුන්ගේ ප්‍රශ්න වලට සිංහයකු ලෙස පිළිතුරු දීම සම්බන්ධයෙන් බොහෝදෙනා ​අමන්දානන්දයට පත්ව ඇති බව පෙනේ.

ප්‍රථමයෙන් රාජ්‍ය නිලධාරියකු පාර්ලිමේන්තුව ඉදිරියයේ පිළිතුරු දීමට ඉදිරිපත් විය යුත්තේ ඇයිදැයි විමසා බැලීම වටනේය. විධායකයේ කොටසක් වන රාජ්‍ය සේවය ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත සහ රජයේ මූල්‍ය පාලනයේ සම්පූර්ණ බලතල හිමි ව්‍යවස්ථාදායකයේ සුපරීක්ෂණයට යටත් වේ. මෙම පදනම මත රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, වැනි ස්ථිර කාරකසභා මෙන්ම කලින් කලට පිහිටුවන අනෙකුත් කාර​ක​ සභා ඉදිරියේ පෙනී සිටීමට සහ ඒවාට පිළිතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටී.

මීට පෙර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් විසින් රාජ්‍ය නිලධාරියකු ප්‍රශ්න කිරීම් සම්බන්ධව අපට ඇති ප්‍රසිද්ධ අවස්ථාව වන්නේ වන්නේ හිටපු අග අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝග විමර්ශන කමිටුවයි. එහිදී එකී කමිටුවේ සිටි කිසිදු අධ්‍යාපනයක් නොමැති තක්කඩි සහ තග් මන්ත්‍රීවරුන් විසින් ​ඇය අගවිනිසුරුවරියකට තබා කාන්තාවක් බවවත් නොසලකමින් ඉතා අශෝභන​, නින්දා සහගත​ සහ නොසරුප් අන්දමින් ‍ප්‍රශ්න කරන ලද ආකාරය මුළු රටටම නොරහසකි.

නමුත් ෆීල්ඩ් මාෂල්වරයකු, ජනාධිපති නීතිඥ වරයෙකු​ (හෝ දෙදෙනෙකු)​, වරලත් ගණකාධිකාරීවරයෙකු, ආචාර්ය උපාධි ලාභියකු, ආදීන්ගෙන් සමන්විත මෙකී කමිටුව ඉතාමත් විනීත සහය ආචාරශීලී අන්දමින් අපහසු එහෙත් පිළිතුරු අත්‍යාවශ්‍ය ප්‍රශ්න පැහැදිලි ලෙස ලේකම්වරයාට ඉදිරිපත්පත් කරනු දක්නට ලැබුණි.

එසේ වුවත් එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමීමේදී සමස්ත රාජ්‍ය සේවයම පාලනය කිරීමේ කොඳුනාරටිය ලෙස සැලකෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් විසින් කමිටුවට එම විනීතභාවය සහ ආචාරශීලීභාවය පෙරළා ලබා දුන්නේ ද සහ අසන ලද ප්‍රශ්නවලට නිරවුල් සහ විචක්ෂණ පිළිතුරු ලබා දුන්නේ ද යන්න ප්‍රශ්න සහගතය.

මුස්ලිම් කාන්තාවන් සිත්හි තබාගෙන ඔවුන් පැහැදිලි ව ඉලක්ක වීම නොහඟවන්නට සියලු කාන්තාවන්ට පොදු කරණය වන පරිදි සාරිය සහ ඔසරිය නිල ඇඳුම් ලෙස සලකන අතර පුරුෂයින්ට කිසිදු වෙනසක් ​සිදු ​නොවන පරිදි නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇති අතාර්තික භාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කොටගෙන සිදුකරන ලද වෙනස්කම් කිරීමේ පදනම සලකන කල්හි මෙය කවර අයුරකින් හෝ යුක්තියුක්ත කිරීමට නොහැකිය. මෙම චක්‍රලේඛය නිකුත් කරන ලද දිනම මා විසින් මේ පිළිබඳ ප්‍රශ්න කරමින් සටහනක් වත්පොතේ තබන ලද්දේ එබැවිනි.

ලේකම්වරයාගේ සමස්ත පිළිතුර සලකා බැලීමේදී කමිටුව විසින් අසන ලද ​බොහෝ ප්‍රශ්න වලට එක එල්ලේ නිවැරදි පිළිතු​රු​ ඔහු විසින් ලබා නොදුන් බව පැහැදිළිව නිරීක්ෂණය විය. බෝම්බ ප්‍රහාර සිදුකළ ත්‍රස්තවාදීන් හැඳසිටි ඇඳුම් ඇඳුම් නොදන්නා බවට කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි; මෙය කුඩා දරුවකු වුවත් දන්නා කරුණකි. එය නො නොදන්නා බව පැවසූයේ පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමේ ඔහුගේ ක්‍රියාමාර්ගයේ අතාර්කික බව හෙළිදරව් වන බැවිනි.

දෙමළ ජාතික මන්ත්‍රීවරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට සිංහලෙන් පිළිතුරු දීම සිංහල නොවන ජාතිකයන් කෙරෙහි ඔහුගේ ඇති නොසලකාහැරීම සහ ආචාරශීලි නොවන බව පෙන්නුම් කරන අතරම ඔහුම නිතරම මතක් කරන ​ලද ​ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට ද පටහැනි වීමකි. රජයේ ලිපි ගනු ගනුදෙනු කිරීම සම්බන්ධ ආයතන සංග්‍රහය පරිච්ඡේදයේ දැක්වෙන්නේ ලද ලිපියකට එම භාෂාවෙන් ම පිළිතුරු යැවිය යුතු බවයි. ඔහුගේ අවඥාසහගත අංග චලන සහ හිස වනා පිළිතුරු දීම කමිටුව කෙරෙහි ඔහුගේ පවත්නා අකමැත්ත සහ නොපිළිගැනීම් පෙන්නුම් කරන අතරම එය උසස් ම රජයේ නිලධාරියෙකුගෙන් තබා පාසල් සිසුවෙකුගෙන් වත් අනපේක්ෂිත චර්යාවකි.​ ​
චක්‍රලේඛයකින් නිලධාරියෙකුට අසාධාරණයක් වන්නේ නම් ඒ පිළිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානියාට දැන්විය යුතු බවටත් අනතුරුව අමාත්‍යාංශ ලේකම්ට සහ රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි කළ හැකි බවටත් රත්නසිරි මහතා කරන ප්‍රකාශය රාජ්‍ය සේවයේ ප්‍රායෝගික යතාර්ථයෙන් බැහැර වන අතර මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සම්බන්ධව ඔහුගේ ඇති නොමනාපය මානව හිමිකම් සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන්ගේ ඇති සෘණාත්මක ආකල්පය පැහැදිලිව පෙන්වයි. චක්‍රලේඛ විධිවිධාන සම්බන්ධව ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පලක් නැති බව රාජ්‍ය සේවයේ සාමාන්‍ය සේවක සේවිකාවන් හොඳින් දන්නා කරුණකි.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුව මෙම චක්‍රලේඛය නිකුත්කිරීම සිදුකළ බව පැවසීම ඉතාමත් ​හාස්‍යජනක ය. සියලු ජාති හා ආගම් වලට අයත් නිලධාරීන් ලක්ෂ ගණනකින් සමන්විත රාජ්‍ය සේවය සඳහා කරන වෙනස්කමක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිල්ධාරීන්​ගේ​ ඉල්ලීමක් පමණක් පදනම් කරගෙන සිදු කිරි කිරීම කෙතරම් අතාර්කික ද? මෙම තීරණය ගැනීමට ප්‍රථම මෙය සෘජුවම බලපාන කාන්තාවන් සහ විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් කෙතරම් ගණනක් සමග මේ පිළිබඳ අදහස් විමසුවේ දැයි කමිටුව විසින් රත්නසිරි මහතාගෙන් නොවිමසීම කණගාටුවට කරුණකි.

රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය ඉදිරියේ සෘජුව සිටීම අත්‍යවශ්‍යය; එවැනි නිලධාරීන් ප්‍රශංසා කට කටයුතුය. නමුත් සෘජු බව යනු අවඥා සහගත චර්යාවක් ද නොවන බව ද සැලකිය යුතුය. දේශපාලනඥයින් ඉදිරිපිට සෘජුව සිටීමට ඉඩ ලැබෙන්නේ තම රාජකාරි සහ කර්තව්‍යයන් නිවැරදිව, අපක්ෂපාතීව සහ යුක්ති සහගත අන්දමින් ඉටුකර තිබේ නම් පමණි. එසේම රාජ්‍ය නිලධාරීන් තම කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති වගවීමත් සහ පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව සුපරීක්ෂණයට ඇති අයිතියක් පිළිබඳව අවබෝධයක් සහිතව ක්‍රියා කළ යුතුය. රාජ්‍ය නිලධාරියකු ප්‍රබුද්ධ රාජ්‍ය නිලධාරියකු බවට පත් වන්නේ එම අවබෝධය නිසාවෙනි.

ජනාධිපති බවට පත්වූ ග්‍රාමසේවක මහතා ඔහුගේ නිලධාරීන්ට කාරක සභාව හමුවට නොයන ලෙස කළ දැන්වීමත්, පොලිස්පතිවරයාට තානාපති අල්ලසක් ලබා දී වරද ඔහු වෙත පවරා පොලිස්පති ධූරයෙන් ඉවත් කර තම වගකීමෙන් නිදහස් වීමට දැරූ උත්සාහයත් සලකා බලන කල රත්නසිරි මහතාගේ මෙම චර්යාවට පසුබිම අනුමාන කළ හැක.

සමස්ත රාජ්‍ය සේව​යේම​ විනය පාලනය කිරීමේ වගකීමත් දරන රත්නසිරි මහතා ගෙන් කමිටුව හමුවේදී එම විනය සහ ආචාරශීලී බව පිළිබිඹුවී ද? රත්නසිරි මහතා ඉදිරියේ රාජ්‍ය සේවකයෙක් හෝ නිලධරයෙක් මේ ආකාරයෙන් හැසුරුණේ නම් ඔහුට අත්වන්නේ කවර ඉරණමක්ද?

ගැලරියට හුරේ දමන කණ්ඩායම් වලට ඔහුගේ හැසිරීම ආශ්වාදයකට හේතු වූවත් ඉන් පැහැදිලි ලෙසම කැපී පෙනෙන්නේ සමස්ත සමාජ පද්ධතියේ ම සිදුවී ඇති පරිහානියෙන් රාජ්‍ය සේවයට පමණක් ගැලවෙන්නට නොහැකි බව නොවේද?

(මානව හිමිකම් කොමිසම විසින් ලේකම් වරයා වෙත යවන ලද ලිපිය පහත අමුණා ඇත)

සාක්ෂි විමසීම: https://www.youtube.com/watch?v=_o-wD6KO38Y&feature=youtu.be

ඕස්ට්‍රේලියාවේ සෙනෙට් කමිටු විමසුමක්: https://www.youtube.com/watch?v=mbsmztI46vY

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටුවක් විසින් News Corp ප්‍රධානි රුපර්ට් මර්ඩොක් (පුද්ගලික අංශයේ) ප්‍රශ්න කරන අන්දම: https://www.youtube.com/watch?v=uj2OOu_Odi4

ඇ.එ.ජ. ඇටෝර්නි ජනරාල් (අධිකරණ ඇමති ලංකාවේ හැටියට) කොන්ග්‍රස් කමිටුව ඉදිරියේ:
https://youtu.be/Y9vgfSYTK2w?t=491

Anuruddha Pebotuwa මුහුණූ පොතෙනි.

Back to Top