Sri Lanka Brief
පුවත්විවරණහෙළිදරව්ව: මෙරට පැතිරෙන අරාබිකරණය

හෙළිදරව්ව: මෙරට පැතිරෙන අරාබිකරණය

by

පසුගිය දශකය තුළදී ශ්‍රී ලංකාවේ තුරාන් මදුසා සහ අරාබි විද්‍යාල හතු පිපෙන්නාක් මෙන් දහස් ගණනින් බිහිවී තිබේ මේ මගින් දකුණු ආසියා සම්ප්‍රදායට එරෙහිව යන බටහිර ආසියාවෙන් ආනයනය කරන “ශුද්ධ වූ ” ගණයේ ඉස්ලාම්ද දහමක් පතුරුවා හරමින් පවතී.

බංග්ලාදේශය ඇතුළු මෙම කලාපයේ අනෙකුත් ප්‍රදේශවලත් සෞදි අරාබියෙත් අරමුදල් යොදවා, අරාබි පන්නයේ මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ සහ අරාබි අධ්‍යාපන ආයතන ඇතිකිරීමේ ගල්ෆ් බලපෑම් පෘථුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

ඇමෙරිකානු ඩොලර් මිලියන 95 යොදවා මුස්ලිම් පල්ලියක්, ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්, සහ සම්මන්ත්‍රණ ශාලාවක් සහිත අංගසම්පූර්ණ තට්ටු හයේ ගොඩනැගිල්ලක් මාලදිවයිනට දෙන්නට සෞදි අරාබිය ප්‍රතිඥා දී තිබේ

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පහසුකම් සැලසීම යටතේ අරාබි විද්‍යාල සහ මද්‍රසා පාසල් ඉදිවීම වේගයෙන් වර්ධනයවී ඇතැයි පවතින සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ. ඒවා අහාදියා නැතහොත් දහම් පාසල් ලෙසද ලියාපදිංචි කර තිබේ. ඒ මගින් ආගමික මතවාද වඩාත් පෝෂණය කර ඇත.

මද්‍රසා සහ අරාබි පාසල්වල ඉගැන්වීම පිණිස විදේශීය පූජකවරුන් නිරතුරුවම පාහේ ගෙන්වා තිබේ. මේ අයට වීසා ප්‍රදානය කර ඇත්තේ නිසි නියාමනයකින් හෝ විධිමත් අධීක්‍ෂණයකින් හෝ තොරවය. එය දෙපාර්තමේන්තුවේ නියමය පරිදි සිදුවූවකි. මේවාට ඇතුළුවී බුරුතු පිටින් එළියට එන වැඩිහිටි සිසුහු රැකියා වෙළෙඳපොළට නුසුදුස්සෝ වෙති. ඔවුන්ට තෝරාගන්නට ඉතිරි වන්නේ ආගමික උපදේශකයන් ලෙස ගත කරන ජීවිතය පමණකි. මේ අය, ස්ථායි ජීවන පැවැත්මක් සකස් කරගත් අනෙකුත් ස්වදේශීය ජනයාට වඩා වෙනස් වූවෝ වෙති.

2017දී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අරාබි විද්‍යාල සඳහා, විභාග දෙපාර්තමේන්තුව යටතේ ඒකාබද්ධ පාඨමාලාවක් අනුව ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳ සොයා බලයි.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණද එම සැලසුම මල්ඵල ගැන්වුණේ නැත.

මේ වනවිට මද්‍රසා පාසල් 1669ක්ද අරාබි විද්‍යාල 317ක්ද පවතින බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය. මේවායේ උගන්වන්නේ ඉස්ලාමීය සම්ප්‍රදාය හා වත් පිළිවෙත්ය. කෙසේ වූවද මෑතකදී සිදුවූ පුපුරුවා හැරීම්වලට කුරාන මද්‍රසාවල සම්බන්ධයක් ඇති බව එහි වෙබ් අඩවියෙන් පෙනෙන්නට නැත.

අරාබි විද්‍යාල 317න් වැඩිහරියක් පිහිටා ඇත්තේ අම්පාර, පුත්තලම ත්‍රිකුණාමල මහනුවර, කොළඹ හා මඩකළපු දිස්ත්‍රික්කවලයි. මීට අමතරව අහාදියා නැතහොත් දහම් පාසල් යනුවෙන් හැඳින්වෙන ආයතන 277ක් වැඩි වශයෙන් අම්පාර, කොළඹ, කෑගල්ල, මහනුවර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටුවා තිබේ.

කුරාන් මද්‍රසා පිළිබඳ සංඛ්‍යාලේඛන හෝ ඒවා පිහිටි ස්ථාන පිළිබඳ හෝ වෙබ් අඩවිවල තොරතුරු ප්‍රසිද්ධ කර නැත. එසේ වූවද දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යඵල වාර්තාවේ (අරාබි විද්‍යාල, කුරාන් මද්‍රසා සහ අදාහියා පාසල් පිළිබඳ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අංශයේ) මේ ගැන තොරතුරු හෙළිදරව් වේ. එකී අංශයෙන් මේවාට අදාළ පාඨමාලා සකස් කිරීමත් ඒවායේ පරිපාලනය පිළිබඳ සොයා බැලීමත් සිදු කෙරේ.

එසේම ඊජිප්තුවේ අල්අස්හාර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව සඳහා අරාබි විද්‍යාලවලින් සිසුන් තෝරා ගැනීම කරන්නේද එම අංශයෙනි. එම විශ්වවිද්‍යාලය සුන්නි ඉස්ලාම් දහම ඉගැන්වීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකි.

2013 දී ඉල්ලුම් කළ සිසුන් 60කගෙන් ඉවාම්වරු (පූජකවරුන්) සිව් දෙනෙක් තුන් මස ශරියා අධ්‍යයන පාඨමාලාවක් සඳහා තෝරාගනු ලැබ සිටියහ. ඒ අතර අරාබි විද්‍යාලයේ මෞලවීවරුන් සත් දෙනෙක් අධ්‍යාපන උපාධි පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් ලෙස තෝරාගනු ලැබ සිටියහ. ඊට පසු අවුරුද්දේදී ශිෂ්‍යයන් 50ක් මේ සඳහා ඉල්ලුම් කරන ලදුව ඉවාම්වරුන් 5 දෙනකුත්, ඇතුළු සිසුන් 10 දෙනකු මේ සඳහා යවා ඇත. ඔවුන් ආපසු පැමිණියේ ආගමික ක්‍රියාකාරකම්වල නියැලීමටය. ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුර, මඩකළපුව, අම්පාර, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට ඔවුහු පත්කර යැවුණාහ.

2015න් මෙපිට කාර්යඵල වාර්තාවල විදේශ ශිෂ්‍යත්ව ලැබූ සිසු සංඛ්‍යා පිළිබඳ තොරතුරු සඳහන් නොවේ. රාම්සාන් උපවාස සමයේ ශුද්ධ වූ කුරාණය ගැන දේශනා කරන්නට, ඊජිප්තුවෙන් පැමිණි පූජකවරුන් පිළිබඳ සෑම වාර්ථාවකම කියැවේ. 2013 දී දිවයින පුරා මුස්ලිම් පල්ලි 35ක් අලුතෙන් ලියාපදිංචිවී ඇති බව වාර්තා වූවද ඉන් පසු අවුරුද්දේ එය 10 දක්වා අඩුවී තිබිණි.

2015 දී අලුතෙන් ලියාපදිංචිවී ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව 190කි. කුරාන් මද්‍රසා ආයතන 1600ක් ලියාපදිංචිව තිබේ. 2015 දී පමණක් ඊට 30ක් අලුතෙන් එකතු වී ඇති බව වාර්තා වේ. 2016 දී අලුත් මුස්ලිම් පල්ලි 50කි. අවසන් වාර්තාවලට අනුව දැනට පවතින කුරාන් මද්‍රසා පාසල් සංඛ්‍යාව 1675කි. 2017 දී අලුත් කුරාන් මද්‍රසා 12ක් ලියාපදිංචිවී ඇති අතර මුස්ලිම් පල්ලි 80ක් අලුතෙන් ලියාපදිංචිවී ඇති බව වාර්තාවල සඳහන්ය.

මේවාට අමතරව තව්හීද් ජමාත් සංවිධානය සතුවද යාඥා මධ්‍යස්ථාන පවතී. ඒවා ජුම්මා මුස්ලිම් පල්ලි නොවන අතර විවිධ නිකායවලට අයත්ය. ඒවා පවතින්නේ සාමාන්‍ය ගොඩනැගිලි ලෙසයි.

මෙරට ඉස්ලාමීය ආගමික ආයතනවල ඉගැන්වීම සඳහා පැමිණෙන ගුරුවරුන්ට සහ පූජකයන්ට, පදිංචිවීමට වීසා සඳහා නිර්දේශිත ලිපි නිකුත් කරනුයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාංශයෙන් හා දෙපාර්තමේන්තුවෙනි. 2016 දී 1409ක් සඳහා එසේ අනුමැතිය දී තිබේ. 2017දී පදිංචිය සඳහා වීසා 405කටද රටට පිවිසීම සඳහා වීසා 356 කට ද අනුමැතිය දී ඇත.

මද්‍රසා පාසල් පවත්වාගෙන යන්නේ විවිධ ඉස්ලාමීය නිකායන් වන අතර ඒ හැම එකක්ම තරුණ සහයෝගය ඇද ගැනීමට උනන්දුවෙයි. උදාහරණයක් ලෙසින් ඉදිහාඞ් අහ්ලි සුන්නාදි මල් ජම්මා ආති නම් කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි සංවිධාන මූලස්ථානයෙන්, ගාල්ලේ, එරාවුර්, කල්මුණේ, මාතර, හම්බන්තොට සහ වැලිගම පිහිටි සුන්නත් ජමාත් මද්‍රසා සඳහා උපකාර ලැබේ.

සුන්නත් ජමාත් යනු පාකිස්ථානයේ බාරෙල්වි සංවිධානය නියෝජනය කරන්නකි. එය සුන්නි හනාෆි ගුරුකුලයේ නීති දර්ශනයට අනුග්‍රහය දක්වන අතර බොහෝ ‘සුෆී’ පිළිවෙත් අනුගමනය කරයි

ග්‍රෙගරි පාරේ කණ්ඩායමේ ආරම්භකයා වන තලාත් ඉස්මයිල් සිය වෙබ් අඩවියේ පරිවේවන ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ‘ශ්‍රීලංකීය මුස්ලිම් සමාජයෙන් සම්ප්‍රදායික ඉස්ලාමීය ධර්මතා වේගයෙන් ගිලිහී යමින් තිබෙන බවයි. වේගයෙන් පැතිරී යන තාබ්ලික් ජමාත් සහ වහාබ් සංවිධානවල මතවාද නිසා මෙසේවී ඇති බවද එහි සඳහන්වේ. බටහිර ආසියාවේ රැකියාවලට ගොස් එන තරුණයන් එම නව මතවාද රැගෙන ඒම පිළිබඳ ඔහු දොස් කියයි.

එක්ඔඞ්ඩාම්වාඩියේ පදිංචිකරුවෙක් තම පුතා පිළිබඳව මෙසේ කීවේය හරිහැටි ඉස්කෝලෙ වැඩක් කළේ නෑ. තැනින් තැන රස්තියාදු ගගහ හිටියා.” එම නිසා ඔහුගේ බිරිය හොඳ මද්‍රසා පාසලකට බැඳී කුරාණය ගැනත් ආගම ගැනත් ඉගෙන ගන්නා ලෙස පුතාට කියා තිබේ.

ලොකුම ප්‍රශ්නය තමා කොයි මද්‍රසා එකද තෝරාගන්නේ කියන එක” ඔහු කිවේය. – නිකායවල් හුඟක් තියෙනවා. හැම නිකායෙම අය කියන්නෙ අනිත් ඒවා වැරැදියි කියලයි. මගේ ශියා යාළුවො කීප දෙනෙක් ඉන්නවා” ඔඞ්ඩාම්වාඩියේ ශියා නිකාය අදහන කුඩා ජනකායක් ඉන්නා පෙදෙසක් පෙන්වා ඔහු කීවේය

එයාලට ඕනෑ මගේ පුතා එයාලගෙ මද්‍රසා එකට දාගන්නයි. මං පුතාට එතෙන්ට දාන්න හදනකොට අනික් අය අහනවා. මට පිස්සුද කියල. මං තව්හිද් ජමාත් මද්‍රසා එකට පුතා දාන්න යනකොට තවත් කට්ටියක් අහනවා මට පිස්සුද කියල. අන්තිමේ මං එයාව තව්හීද් තාබ්ලික් ඉස්කෝලෙට දැම්මා.”

එහි ජමාත් ඉස්ලාම් නිකායක්ද තිබෙන අතර දියෝබැන්ඩිස්වරුන්ට ද තමන්ගේ උපදේශන මධ්‍යස්ථාන පවතී.

දකුණු ආසියාවේ මද්‍රසා සඳහා විශේෂයෙන් සෞදි අරාබිය ඇතුළු විදේශ රටවලින් අරමුදල් ලැබෙන බව ප්‍රකට රහසකි. මුස්ලිම් පල්ලිවලට ද සෞදි අරාබියෙන් මුදල් ගලා එන බව වාර්තා වේ. 2014 කාත්තන්කුඩියේ සින්නා කබුරාදි පාරේ 58 වැනි මුස්ලිම් පල්ලිය විවෘත කරන විට සන්ඬේ ටයිම්ස් පුවත්පත ඒ ගැන වාර්තා කළේය.

සෞදි කුමාරයන් තමන් අතර රැඳී ඉන්නා බව එහිදී රැස්ව සිටි පිරිමින්හට කියා තිබිණි. මෙහිදී ප්‍රදේශවාසියෙක් කියා සිටියේ ඉස්සර පල්ලි හදද්දී අපට ගමේ අයගෙන් සල්ලි එකතු කරන්න සිද්ධ වුණා. දැන් ඉතින් අපට සෞදි අරාබියේ උපකාර ලැබෙනවා.” මද්‍රසා ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාලයක් තනන්නට මුදල් සෞදි අරාබියෙන් දෙන්නට පොරොන්දු වූ බව නිවේදනය කළවිට ඔල්වර හඬ නැගුණේය.

මානව සංවර්ධනය උදෙසා වූ අන්තර්ජාතික කොමිසම නම් සෞදි අරාබීය ආයතනයෙන් මුදල් යොදවා ශ්‍රී ලංකාවේ හයිරා පදනමෙන් එම පල්ලිය ගොඩ නැගුවේය. ඒ සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්..එම් හිස්බුල්ලා වෙතින්ද අනුග්‍රහය ලැබුණේය. අද වනවිට කාන්තන්කුඩියේ මුස්ලිම් පල්ලි 63කි. මද්‍රසා 6කි (ඉන් 3ක් කාන්තාවන් සඳහාය) 47125ක මුස්ලිම් ජනගහණයක් වෙනුවෙනි.
සෞදි අමුත්තන් පසෙකින් සිටියදී සමරු ඵලකය ඉදිරියේ ගැනුණ ඡායාරුපයකට හිස්බුල්ලා මහතා පෙනී සිටියේය. සැකයට භාජනය වූ කාරණය වන්නේ ඔහුගේ පදනම පිහිටුවා ඇත්තේ ඊට පසු වසරේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ “කාන්තා හා ළමා අයිතිවාසිකම් සියල්ල ආරක්‍ෂා කිරීම සහ සංවර්ධනය කිරීම” සඳහා වූ පනතක් මගින් බව පිටට පෙන්වීමයි.

මුදල් රැස්කිරීමේ අරමුණෙන් පදනම් පිහිටුවීම සාමාන්‍ය දෙයක් වන අතර එය මුස්ලිම් ප්‍රජාවට පමණක් සීමා වූවක් නොවේ. ඒවා හරහා හිතකර නොවන විදේශ ආධාර ගලා ඒමද බොහෝ කල් පටන් පවතින ගැටලුවකි.

බටහිර ආසියානු පිළිවෙත් මුලින්ම අනුගමනය කිරීමට පෙළඹුණේ නැගෙනහිර ප්‍රදේශයේ අයයි. කළු නිකාබය, මුළු මුහුණම වැසෙන බුර්කා මුලින්ම අඳින්නට ගත්තෝ එම ප්‍රදේශයේ කාන්තාවෝය. දිගු රැවුල් වවමින් සුදුපාට ජුම්බාව පිරිමින් මුලින්ම අඳින්නට ගත්තේ එහිය. ඉන් පසු ඒවා අනෙක් ප්‍රදේශවලට ද පැතිරිණි.

දකුණු ආසියානු ප්‍රදේශවල මෙම වෙනස්කම් සිදුවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ විදේශ රැකියා සඳහා යාමයි. ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා දත්තවලට අනුව විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% රැකියා කළේ ගල්ෆ් ප්‍රදේශවලයි. සංක්‍රමණික සේවකයන්ගෙන් 79%ක් ඇදගනු ලැබුවේ රැකියා වෙළෙඳපොළ 4කිනි. ඒවා නම් කටාර්, සෞදි අරාබිය, කුවේට් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

රැකියා සඳහා විදේශ ගත වූවන්ගෙන් 13%ක් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11%කි. මහනුවරින් 9.2%කි. මඩකළපු දිස්ත්‍රික්කයෙන් 7.2% පිටත්ව ගොස් තිබේ. මෙම සේවකයන්ගෙන් බහුතරය ගොස් ඇත්තේ සෞදි අරාබියටය.

මුස්ලිම් විද්වතුන් කියන පරිදි රැකියා සඳහා ගොස් ආපසු පැමිණෙන පිරිස ශ්‍රී ලංකාව තුළ වහාබ් වාදයත් තව්හීඞ් සංවිධාන මත පතුරුවා හරින්නටත් දායකවී තිබේ. “සැබෑ” හෝ ශුද්ධ යනුවෙන් හඳුන්වන නිකායවලට අයත් වූවෝ සුෆී වාදින් දකුණු ආසියානු සම්ප්‍රදායට අයත් ගූඞ්වාදීන් හා සර්වදේවවාදය අදහන්නන් බව කියමින් ඒවා විවේචනය කරති. මෙම මතය 2009 සහ 2013 දී ඇතුළුව වාර ගණනාවක් සුෆීවරුනට එරෙහිව සහාසිකත්වය මුදා හරින්නට හේතුවිය. මේ වසරේ අප්‍රේල් 21 වැනිදා එය උච්ච අවස්ථාවට පත්වූයේය. පාස්කු ඉරිදා ලංකාවේ ක්‍රිස්තියානි පිරිස ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි. 

2019 මැයි 5 වැනිදා The Sunday Times පුවත් පතේ පළවූ  නාමිනි විජේදාස ලියූ Unravelling Growing Arabistation)  ලිපියේ පරිවර්තනයකි. (Sunday Times INSIGHT) 

පරිවර්තනය – සමන් පුෂ්පලියනගේ

උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙනි.

Back to Top