Sri Lanka Brief
පුවත්විවරණහදිසි නීතිය ඒකාධිපතිත්වයට ළගයි ප්‍රජාතන්ත්‍රවාදයට දුරයි – ධනුෂ්ක සිල්වා

හදිසි නීතිය ඒකාධිපතිත්වයට ළගයි ප්‍රජාතන්ත්‍රවාදයට දුරයි – ධනුෂ්ක සිල්වා

by

ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට හදිසි නීතිය බලපැවැත්විණි. පසුගිය 23 දින සිට අපට ජීවත් වීමට සිදුව තිබෙන රාජ්‍ය හදිසි නීතිය ගොරතර සෙවනැළි හොල්මන් කරන්නකි. හදිසි නීතිය වැනි යම් නිශ්චිත කාලයකට පමණක් බලාත්මක කෙරෙන නීතියක් මෙරට නීති පද්දතිය තුළත් සමාජ පරිමණ්ඩලය තුළත් සාමාන්‍යත්වයට පත්වීම :භදරප්කජහ* අප ගතකරමින් සිටින සිවිල් ජීවිතයට නොයෙක් ඉසව්වලින් බලපෑම් කරන කාරණයකි.

හදිසි නීතිය රෝමානු නීතියේ (Justitium ixl,amhවර්ධනීය අවස්ථාවකි. එමගින් ආණ්ඩුවකට සාමන්‍ය තත්වයන් යටතේ මැදිහත් නොවිය හැකි පුද්ගල ජීවිතයේ විවිධ කලාපවලට මැදිහත් වීමේ අවසරය ලබා දෙයි. එනම් රටක මූලික නීතියෙන් හා පොදු නීතියෙන් ආරක්ෂා කරන මූලික අයිතිවාසිකම් හා පෞද්ගලික නිදහස සීමාකිරීමයි ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන සම්මුතියේ (1966) වන වගන්තිය් යම් සීමිත කාලයකට සීමා කිරීමයි.

දේශීය වශයෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රදානය කරන ප්‍රකාශනය ඇතුළු භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමාගමයේ නිදහස සාමකාමීව රැස්වීමේ නිදහස වෘත්තීය සමිතියක් පිහිටුවාගැනීම එයට එක්වීමේ නිදහස හා යාම් ඒමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සීමා කිරීමයි. එහෙත් හදිසි නීති කඩතුරාවෙන් සිතීමේ නිදහස කෲර අමානුෂික වධබන්ධනයන්ගෙන් මිදීමේ නිදහස හා නිදහස් හා සාධාරණ නඩු විභාග පැවැත්වීමේ අයිතිවාසිකම් සීමා නොවේ.

ප්‍රකාශනයේ නිදහස

Barthold v. Federal Republic of Germany (1985)  නඩුතීන්දුවේදී ප්‍රකාශනයේ අයිතිය මහජන අයිතිවාසිකම් සුරකින මුරබල්ලෙකු ලෙස අර්ථනිරූපනය කෙරිණ.ි ප්‍රකශන මාධ්‍ය යටතට පොත්, පුවත්පත් කාටූන, පත්‍රිකා හා අදවන විට සමාජ මාධ්‍ය පත්වී හමාරය. හදිසි නීතිය පැනවීමටත් පෙර අප්‍රෙල් 22 දින සමාජ මාධ්‍ය වාරණය කෙරිණි. අප්‍රේල් 30 දින ද එයම සිදු විය. හදිසි නීතිය යටතේ ප්‍රකාශනයේ නිදහස දැඩිලෙස සීමාවන්ට යටත් වේ. අද වන විට ලෝකයේත් ලංකාවේත් විශ්වාසය තැබිය හැකිම තොරතුරු මූලාශ්‍රය වන පුවත්පත් ප්‍රකාශනයේදී යම් යම් සීමා රාමුවලට කොටුවන්නට ප්‍රකාශකයන්ට සිදුවේ.

පසුගිය 22වැනිදා හදිසි නීති රෙගුලාසි යටතේ යම් පුවත් පතක පළවන ලිපි අන්තර්ගතයන් අධීක්ෂණයට ‘නිසි බලධරයෙක්’ පත්කෙරේ. යම් පුවත් පතක පළ කරන ලිපියක අන්තර්ගතය ‘කැරලි කෝලහාල හා මහජන කැළඹිලිවලට’ තුඩු දිය හැකි කරුණු ‘පළ කරනු ලැබේ යැයි පළ කරනු ලැබුවේ යැයි හෝ පළ කරනු ලැබිය හැකි යැයි‘ නිසි බලධරයාට හැගී ගියහොත් එම පුවත්පත මුද්‍රණය වැළැක්වීම, බෙදාහැරීම වැළැක්වීම මුද්‍රණාලය රාජ සන්තකයට ගැනීමේ බලය නිසි බලධාරියාට ලැබේ.

නිසි බලධාරියා යනුවෙන් පත් කරන නිළධාරියා ජනාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන සුරතලෙකු වුවහොත් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන මැදහත් විවේඡන පවා හදිසි අවස්ථා නියෝග යටතේ වාරණයට ලක්විය හැකියි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යට වඩා විකල්ප ධාරාවේ මාධ්‍යයට මින් එල්ල වන බලපෑම සාපේක්ෂව ප්‍රබල විය හැකියි.

එමෙන්ම ‘පුවත්පත්’ පුළුල් නිර්වචනයකට යටත් වන නිසා ‘යම් සංග්‍රහයක් සගරාවක් හෝ වෙනත් ප්‍රකාශනයක්’ වැනි පුවත් පත්වලට එහා යන ක්ෂේත්‍ර දක්වා ප්‍රකාශන නිදහස සීමාවීමේ සීමා රේඛා පළල් විය හැකියි. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශය බෙදා හැරීමට සකස් කළ පත්‍රිකා තොගයක් අතඩංගුවට පත්වන්නේ මේ ප්‍රතිපාදන යටතේය එම පත්‍රිකාවල අන්තර්ගතයෙන් ජනාධිපතිවරායා විවේඡනය කරන ඒවා බව මාධ්‍යයෙන් දැනගන්නට ලැබිණි ජනාධිපතිවරයා විවේඡනයට ලක්කිරීමට සාධාරණව හා ආචාරධාර්මිකව විවෙඡනයට :ත්‍්සර ) ඵදර්ක ක්‍රසඑසජසිප* ලක්නොකරන්නට අප වෙසෙන්නේ වැඩවසම් සමාජයක නොවේ. මේ සිදුවීමේ එකම ගැටලුව ලෙස ලියුම්කරුට පෙනෙන්නේ කැබිනට් ඇමතිවරයෙක් අමාත්‍ය මණ්ඩලයම අප්‍රෙල් 21 ප්‍රහාරයේ වගකීම භාරගතයුතුව තිබූ අවස්ථාවක ජානාධිපතිවරයා විවේඡනයට පත්‍රිකා සැකසීමෙන් කැබිනට් සාමූහිකත්වයට :ක්‍්ඉසබැඑ ක්‍දබසොැබජැ* කරන බලපෑමයි.

සමාජ සාමූහිකත්වය

සමාගමයට හෝ සමාජ සාමූහිකත්වයට ඇති අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) ඇ වගන්තියෙන් තහවුරු කර තිබේ. කෙසේවෙතත් සමාජ සාමූහිකත්වයට ඇති අයිතිය පරිපූර්ණ අයිතිවාසිකමක් නොවේ. වාර්ගික හා ආගමික සහයොගීතාවය තහවුරු කිරීම සදහා හෝ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සදහා නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාවන්ට යටත් වන අයිතිවාසිකමකි. ඒ අනුව 22 වැනි දින නිකුත් කළ ගැසට් පත්‍රයේ හදිසි නීති රෙගුලාසි යටතේ ‘ත්‍රස්තවාදී ක්‍රියා’ යන නිර්වචනය ’අත්‍යවශ්‍ය සේවාවන් හෝ සැපයීම්වලට බරපතල බාධා හෝ හානි සිදුකිරීම’ යටත් කර තිබේ. මෙවැනි ප්‍රතිපාදනයකින් 14 (1) (ඇ) වගන්තියෙන් එක් අතකින් සපයන සමාගමයේ මූලික අයිතිවාසිකම අනෙක් අතින් සීමාවන්ට ලක්වන බව පැහැදිළි වේ.
මෙහි අත්‍යවශ්‍ය සේවා ඉතා පුළුල් අර්ථකථනයක් සැපයිය හැකි වචන ඛන්ඩයකි. එනම් කම්කරු රැස්වීම් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හා පීඩිත ජනයා තම වරප්‍රසාද රැකගැනීමට දියත් කරන අරගල යන සියල්ල රාජ්‍ය විරෝධී මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නිර්වචනය කළ හැකිය. ඉකුත් 9 හා 10 දිනවල වැටුප් හා තවත් ඉල්ලීම් මූලික කරගෙන ගුරු විදුහල්පති වැඩවර්ජනය දින නියමයකින් තොරව කල් යන්නේද මේ තත්වය උඩය. එක් අතකින් රටේ පවතින ආරක්ෂක තත්වය යටතේ මෙවැනි වැඩවර්ජනයක් පැවැත්වීමෙන් ජීවිත අනතුරේ දමාගැනීමට අවශ්‍ය නැත. අනෙක් අතින් වැඩවර්නය පැවැත්වීමෙන් අත්‍යවශ්‍ය සේවා යටතට ගැනෙන ‘ත්‍රස්ත්වාදී ක්‍රියාවක’ නිරතවීම යටතට තාක්ෂණික වශයෙන් මෙවැනි ආකාරයේ වැඩවර්ජනයක් වුවත් ඇතුළත් විය හැකිය. මේ නිසා පසුගිය මාර්තු 2 වැනිදා දෙලක්ෂයකට ආසන්න ගුරුවරු යටතේ වර්ධනය වෙමින් පැවති ගුරු විරෝධය දුර්මුඛ වී තිබේ. ලංකා ගුරු සංගමය වැනි වෘත්තීය සමිති ව්‍යාපාරයේ සක්‍රීය සමිති පවා මේ ත්‍රස්තවාදී කඩතුරාවෙන් වැසීමේ අවධානම සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අඩපණ වීම කෙරෙහි බලපෑ හැකිය.

හදිසි නීතිය යටතේ හදුනාගන්නා ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්නන් 26 වගන්තියට අනුව වසර පහකට නොඅඩු සහ දහයකට නොවැඩි සිර දඩුවමකට යටත් කළ හැකිය. අත්‍යවශ්‍ය සේවාවලට අදාළ කටයුතුවල නොයෙදීම පැහැරහැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම වැඩවර්ජනයකට හෝ වෙනත් සංවිධානාත්මක ක්‍රියාවකට අනුබල දීමෙන් වරදකරුවන් වන තැනැත්තන්ට වුවද එකනෙහිම තම සේවය අවසන් කළ යුතු බව හෝ සෙවයෙන් ඉවත් වූ බව සළකනු ලබයි.

44 (3) වගන්තියට අනුව වෙනත් වෙනත් අයෙකුට එම සේවය ඉටුකිරීමට බාධා පැමිණ වීමද වරදක් ලෙස සැළකේ. කිසියම් තැනැත්තෙක් එම වරදට වරදකරු වන බව ජනාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඔහු සම්බන්ධ සංවිධානය තහනම් කරනු ලැබිය හැකිය. තවද දේශපාලන පක්ෂයකින් හෝ වෘත්තීය සමිතියකින් ඉල්ලා අස්වන ලෙසට හෝ ධූරයකින් ඉල්ලා අස්වන ලෙසට හෝ යම් දේශපාලන පක්ෂයකට බැදෙන් ලෙස යමෙකු පෙළඹවීම හෝ රජයේ නිළධාරියෙකු හෝ යම් අත්‍යවශ්‍ය සේවයක යෙදී සිටින තැනැත්තෙකු ඉන් වැළක්වීම වරදක් වේ නඩු විභාගයකින් එකී වරද ඔප්පු වුවහෝත් වරදට දඩුවම මරණය දක්වා ඉහළට ගෙන ආ හැකිය. එමෙන්ම එවන් පෙළඹීමක් කළ බවට සනාථ කළ හැකි යම් ලියවිල්ලක් චූදිතයා සන්තකයෙහි තිබී හමුවුවහොත් එය එවැනි ක්‍රියාවක් බැලූ බැල්මට ඔප්පු වන සාක්ෂියක් (Prima Facie Evidence) ලෙස සළකයි. ඒ අනුව වැඩවර්ජන හා උද්ඝෝෂණ ආදියට අදාළව බෙදාහරින යම් පත්‍රිකාවක් යම් තැනැත්තෙකු සන්තකයේ තිබීම ත්‍රස්තවාදී ක්‍රියාවක යෙදුණ බවට සාක්ෂියකි.

සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයන් අතඩංගුවට ගැනීමේ බලය පොලීසිය සතුය. එහෙත් හදිසි නීති රෙගුලාසි නිර්වචනය කරන ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් අතඩංගුවට ගැනීමේ බලය හමුදාවටද අධිකරණයටද ලැබේ. ත්‍රස්ත ක්‍රියාවන් මර්දනය කිරීමේදී පොලීසිය හා ත්‍රිවිධ හමුදාව විසින් කරනු ලබන සියලු ක්‍රියා සම්බන්ධ වගකීමෙන් ඔවුන් නිදහස් වේ. ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නන් සාමාන්‍ය නඩු කාර්ය පටිපාටිය යටතේ උසාවියකට ඉදිරිපත් නොකර ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව දින 90ක් රදවා ගැනීමට හැකිය.

අවශ්‍ය අවස්ථාවකදී උසාවියට ඉදිරිපත් කර චෝදනා ඇතිව හෝ නැතිව වසරක කාලයක් දක්වා රදවා තබාගැනීමට හැකිය. මේ නීතියම භාවිත කර ත්‍රස්තවාදී නොවන මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඛන්ජිපානි ඉම් රාන් නැමැත්තාවද රැදවුම් භාරයේ තබාගෙන සිටී. මෙම තැනැත්තා සම්බන්ධ වී සිටින අපරාධයේ ස්වභාවය අනුව අපරාධය සුල මුල සොයාගැනීමට දින 90 ක කාලයක් රදවා ගැනීම සාධාරණීකරණය කළ හැක. එහෙත් ත්‍රස්තවාදී කඩතුරාවෙන් වසා ඔහු රදවාගෙන සාධාරණීකරණය කළ හැකිද? යම් අපරාධයක වරදකරුවකු වූ පමණින් ඔහු කළ වරදට හදිසි නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් කිරීම සාධාරණීකරණය කළ නොහැක.

නිදහස හා ආරක්ෂාව

ජර්මන් නීති න්‍යාචාර්යවරයෙකු වූ කාර්ල් ස්ටෙමිට් හදිසි නීතිය රාජ්‍ය ස්වාධිපත්‍යයේම වැදගත් අංගයක් යැයි තර්ක කළේය. එමනිසා හදිසි නීතියෙන් මූලික අයිතිවාසිකම් හා පුද්ගලික නිදහස අතර තුලිතතාව නැතිවීම සාධාරණීකරණය කළ හැකියැයි ඔහු තර්ක කළේය. එහෙත් පසුකාලීන නීති ව්ද්‍යා ක්ෂේත්‍රය තුළ ස්ටෙමිට්ගේ තර්කය බරපතල ලෙස විවේඡනයට ලක්විය. හදිසි නීතිය යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ සාධාරණීකරණය කිරීමට නම් එම නීතිය නීතිය යෙදවීමට පෙර රටේ රටේ අස්ථාවර තත්වය ස්ථායී කිරීමේ අරමුණ සදහාම පමණක් යෙදවිය යුතුය. හදිසි නීති කඩතුරාවට මුවා වෙමින් වර්ධනය වන සිවිල් ජන විරෝධය, කම්කරු ඉල්ලීම් ශිෂ්‍ය ව්‍යාපාරය හා මාධ්‍ය නිදහස මර්දනය කිරීමට තරම් රාජ්‍ය කෲර නොවිය යුතුය. ඒ පිළිබද විශ්වාසය රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශනවලින් ඔබ්බට ගොස් භාවිතයෙන් ඔප්පු කර පෙන්විය යුතුවේ.

22 වැනි දින හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට නියොග දුන් ජනාධිපතිවරයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සදහාම හදිසි නීතිය යොදවන බව මහජනයාට සඵත කළේය. හදිසි නීතිය ඒකාධිපති රාජ්‍යයක පිවිසුම් දොර යැයි ජනාධිපතිවරයා කල්පනා කළා විය හැකිය. සැබවින්ම ජනාධිපතිවරයාගේ කල්පනාව එය නම් එය නිවැරදිය. හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ බැමි ශක්තිමත් කිරීමට පටහැනි වෙනත් අරමුණකට යොදන්නේ නම් සැබැවින්ම හදිසි නීතිය යනු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළින්ම ඒකාධිපතීත්වයේ පොලිස් රාජ්‍යකට පිවිසීමේ කෙටිම මගයි. පසුගිය 25 වැනිදා ජනාධිපතිවරයා කැදවූ සර්ව පාක්ෂික සමළුවේදීද හදිසි නීතිය පැනවීමෙන් පුද්ගල නිදහස හා ජාතික ආරක්ෂාව අතර තුලිතතාවය පවත්වාගැනීමේ අවශ්‍යතාවය පුළුල්ව සාකච්ඡාවට ලක්කෙරිණි.

ඒ අනුව හදිසි නීතිය ඒකාධිත්වයට ළං කර ප්‍රජාතන්ත්‍රවාදයෙන් දුරස් කිරීම හෝ ප්‍රජාතන්ත්‍රවාදට ළංකර ඒකාධිපතිත්වයෙන් දුරස් කිරීම යන දෙකෙන් කුමන අරමුණ සදහා රාජ්‍ය මෙහෙයවන්නේද යන්න වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඔස්සේ ඉතා නුදුරේදීම අපට දැනගත හැකිය.

Back to Top