Sri Lanka Brief
පුවත්විවරණමාධ්‍යත් නොමඟ යවා, පාර්ලිමේන්තු සේවකයා මරාගෙන මැරෙන ත්‍රස්තයෙකු කළ බොරුවේ තරම හෙළි වේ.- ගයාන් කුමාර වීරසිංහ

මාධ්‍යත් නොමඟ යවා, පාර්ලිමේන්තු සේවකයා මරාගෙන මැරෙන ත්‍රස්තයෙකු කළ බොරුවේ තරම හෙළි වේ.- ගයාන් කුමාර වීරසිංහ

by

වයඹ සහ උතුරු මැද පළාත් පොලිස් ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධනය. ඉකුත් දිනක ඔහුට තොරතුරක් ලැබෙන්නේ කුරුණෑගල අලකොලදෙණියේ පොල්වත්තක පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ගැනය. අක්කර 27 ක් පුරා විහිදුණු එම පොල්වත්තේ හිමිකරු රතු මුදලාලි නැමැති අයෙකි. ඔහු මුස්ලිම් වැසියෙකි. පදිංචිව සිටියේද අලකොලදෙණියේය.

එම තොරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන විසින් දැනුම් දෙන්නේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ටය. ඒ දැනුම්දීමෙන් කියැවුණේ සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසය. කිත්සිරි ජයලත් එම කටයුත්ත කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී දිසානායක හරහා පවරන්නේ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්ටය.

අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සමඟ එකී තොරතුර සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කළ ඔහු රතු මුදලාලි අත්අඩංගුවට ගත්තේය. ඒ සහරාන්ගේ පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල කරමිනි. ඒ සැබෑ ලෙසම එම පොල්වත්තේ පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් තිබුණු නිසාය. එහි පුහුණුව ලබා ඇත්තේද මුස්ලිම් තරුණයෝය. ඒ කුරුණෑගල සහ ඒ අවට පදිංචිව සිටි අයය.

පොල්වත්තේ පුහුණු කඳවුරේ ඇත්ත

රතු මුදලාලිගේ තොරතුරු මත පොලිසිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඉන් එක් අයෙක් පුහුණු කඳවුරේ වැඩසටහන් සම්බන්ධීකාරකය. ඔහු අඹකොටේ තල්ගස්දෙණියේ පදිංචිකරුවෙකි. දෙවැන්නා පුහුණු කඳවුරේ දේශකයෙකි. ඔහු තිහාරියේය. එම අත්අඩංගුවට ගැනීම් ත්‍රිත්වයම සිදු වන්නේ ඉකුත් 09 වැනිදාය.

ඒ තිදෙනාගේ තොරතුරු මත තවත් දෙදෙනෙකු ඊට දින දෙකකට පසු අත්අඩංගුවට ගත්තේය. ඒ එම කඳවුර පවත්වාගෙන යෑමට මූල්‍ය සම්පත් ලබාදීම සම්බන්ධයෙනි. ඒ එක් අයෙක් අඹකොටේ හාලිඇල්ල පැත්තේ පදිංචිකරුවෙකි. ඔහු අබ්දුල් වාහිඩ්ය. පොලිසිය පවසන්නේ ඔහු සතුව චෙක්පත් කිහිපයක් තිබුණු බවය. එම චෙක්පත් ඔහුට ලබාදී තිබුණේ කුරුණෑගල රෝහලේ ඊ.සී.ජී.අංශයේ සේවකයෙකි. නමින් ඔහු මොහොමඩ් සහජාන් ය. එදින අත්අඩංගුවට ගත් දෙවැන්නා ඔහුය.

පොලිසිය පවසන ආකාරයට අනුව ඔහුද අඹකොටේ පදිංචිකරුවෙකි. පොලිසිය ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නේ පළමු සැකකරු සතුව තිබී සොයාගත් චෙත්පත් ඔස්සේය. එහිදී පොලිසියට පෙනී යන්නේ එකී බැංකු ගිණුමට විටින් විට මුදල් විශාල වශයෙන් බැර වී ඇති බවය. ඒ සියලු මුදල් බැරවීමක්ම සිදු වී ඇත්තේ මෙරට බැංකු ඔස්සේය. එසේ නැතිව විදේශිය වශයෙන් කිසිදු මුදලක් බැර වී නොතිබිණි.

පාර්ලිමේන්තු සේවකයා අත් අඩංඟුවට ගත් හැටි

එකී මුදල් ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි රෝහල් සේවකයා තවත් පුද්ගලයෙක් ගැන තොරතුරු හෙළි කළේය. ඒ පුද්ගලයා පාර්ලිමේන්තු සේවකයෙකි. ඒ නිකම්ම නිකම් සේවකයෙක් නම් නොවේ. හැන්සාඩ් අංශයේ සුචිගත කිරීමේ නිලධාරියෙකි. වසර 14 ක්ම පාර්ලිමේන්තුවේ සේවයේ නිරත ඔහු නමින් ජමල්ඩීන් නෞෂාඩ්ය. දෙදරු පියෙකු වන නෞෂාඩ් අලවතුගොඩ මාවතුපොළ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන්නේ ඔහු අලවතුගොඩ නිවසට යන්නේ සති අන්තයේ බවය. සතියේ දිනවල ඔහු නවාතැන් ගෙන සිටින්නේ රාජගිරිය ඕබේසේකර පුර නිවසකය. එය මෑතකදී රුපියල් ලක්ෂ 30ක මුදලකට ගත්තකි.

එම නිවසද පොලිස් පරීක්ෂාවට ලක් විණි. සැකකටයුතු යැයි කියා කිසිවක් එහි තිබී සොයාගන්නට නොවීය. අලවතුගොඩ ඔහුගේ බිරිය සහ දරුවන් සිටින නිවසද පොලිස් පරීක්ෂාවට ලක් විණි. එහිද සැකකටයුතු කිසිවක් නොවීය. අවසානයේදී පොලිසිය කථානායක මෙන්ම පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ නිසි අවසරයෙන් පාර්ලිමේන්තුවේ ඔහු සේවයේ නිරතව සිටි අංශයේ පරීක්ෂාවක් කරන්නේ ඉකුත් 21 වැනිදාය. ඒ ඊට දින තුනකට පෙර කථානායකගේ අවසරයද ගෙන අත්අඩංගුවට ගත් නෞෂාඩ් ද මාංචු පිටින් පාර්ලිමේන්තුවට රැගෙන එමිනි. නෞෂාඩ් පරිහරණය කළ මේස ලාච්චු, කබඩ් සහ පරිගණකයද එහිදී පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක්වූවත් එහිද සැකයට තුඩුදෙන කිසිවක් නොවීය.

ලක්ෂ 30කට රාජගිරියෙන් මිලට ගත් නිවසේ කතාව

ඒ කතාව පොලිසිය පැත්තෙන් මාධ්‍යට ලැබෙන්නේ ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීපව සම්බන්ධකම් පවත්වමින් එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමට දායකත්වය ලබාදුන් පාර්ලිමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවටය. පාස්කු ඉරිදා මරාගෙන මැරුණු සහරාන් සමඟද ඔහු සමීප සම්බන්ධකම් පවත්වා ඇතැයිද පොලිසිය මාධ්‍යට කියන්නට වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේ සේවයට පවා නිසි ලෙස වාර්තා කර නැති බව සඳහන් කරමින් ඔහු ගැන ඇති සැකය වඩාත් තීව්‍ර කරමිනි. රාජගිරියෙන් ඔහු රුපියල් ලක්ෂ 30කට නිවසක් මිලදී ගෙන ඇති බවත් තමන් දන්නා හඳුනන දේශපාලනඥයන් මඟින් අකුරණ පැත්තේ ඇති පොලිස් මාර්ගබාධක ඉවත් කිරීමට කටයුතු කළ බව සිය ගෝලබාලයන්ට පවසා ඇති බවත් එකී තොරතුරුවල කියැවිණි. තවත් බෝහෝ කරුණු කාරණා මාධ්‍යට පවසා තිබුණේ නෞෂාඩ් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව තහවුරු වන ආකාරයටය.

පොලිසිය පවසන ආකාරයට අලකොළදෙණිය පුහුණු කඳවුරෙන් විශාල පිරිසක් ඒ වන විටත් පුහුණුව ලබා සිටිති. ඒ අය ගැන තොරතුරු දන්නේ එම පුහුණු කඳවුරේ සම්බන්ධිකාරකයාය. එබැවින් ඔහු රඳවාගෙන පුහුණුව ලැබූවන් හඳුනාගත යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීය. පොලිසිය ඔහුත් පොල්වත්තේ හිමිකරුත් දේශකයාත් දිනක් දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර ගත කළේය. නමුත් පාර්ලිමේන්තු සේවකයා ඇතුළු තිදෙනා දින 90ක් රඳවාගැනීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් රඳවා ගැනීමේ නියෝගයක් ලබාගත්තේය. ඒ වැඩිදුර විමර්ශන සදහාය.

කුරුණෑගල පොලිසිය සොයාගත්තේ යැයි කියන්නේ සහරාන්ගේ පුහුණු කඳවුරකි. සහරාන්ගේ සමීපතම වැඩකරුවන් රොත්තක්ම මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. ඒ කිසිවෙකුත් සහරාන්ට අයත් අලකොලදෙණියේ ඇති පුහුණු කඳවුරක් ගැන දන්නේ නැත. සහරාන්ගේ කල්ලියට අයත්ව කුරුණැගල තිබුණේ පුහුණු මධ්‍යස්ථාන දෙකක් පමණි. ඒ දෙකම තිබුණේ කැකුණුගොල්ලේය. ඒ එක් පුහුණු මධ්‍යස්ථානයක් සහරාන් විසින් මිලදී ගනු ලැබූ නිවසක පවත්වාගෙන ගියේය. අනෙක් පුහුණු මධ්‍යස්ථානය තිබුණේ එම නිවසට කිට්ටුවය. එම පුහුණු මධ්‍යස්ථාන දෙකම දැන් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. මෙතෙක් සොයාගැනීමට ඇත්තේ සහරාන්ගේ එක් පුහුණු කදවුරක් පමණි. ඒ හම්බන්තොට ඇතැයි කියනු ලබන පුහුණු කඳවුරය. එසේ නොවන්නට කුරුණෑගල පැත්තේ වෙනත් කඳවුරක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවා දන්නේ නැත.

පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනීම නිසාම මෙම වැටලීම ගැන රාජ්‍ය බුද්ධි සේවය ප්‍රමුඛ බුද්ධි අංශවල විශේෂ අවධානයක් යොමු විණි. මේ වන විටත් එම බුද්ධි අංශ සිය විමර්ශන වාර්තා අවශ්‍ය තැන්වලට යොමුකර හමාරය. ඒ අනුව පාර්ලිමේන්තු සේවකයා ඇතුළු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සැබෑ ලෙසම සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධකම් ඇති අයදැයි ඇත්තේ ගැටලුවකි.

පොල්වත්තේ පැවැතියේ නායකත්ව පුහුණු කඳවුරක්

බුද්ධි අංශවල හෙළි කිරීම්වලට අනුව අලකොලදෙණිය පොල්වත්තේ පවත්වාගෙන ගොස් ඇත්තේ නායකත්ව පුහුණු වැඩමුළු මාලාවකි. එම වැඩමුළු සංවිධානය වී ඇත්තේ රබාන් සංස්කෘතික මධ්‍යස්ථානය නම් වූ ආයතනයක් මුල් කරගෙනය. ඊට මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇත්තේ රෝහල් සේවකයාගෙනි. ඒ ඔහුට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් ඔස්සේය. පාර්ලිමේන්තු සේවකයාද එම රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිකයෙකි.

“තක්වා පදනම“ නම් වූ එය ලියාපදිංචි නොකළ ආයතනයකි. එම ආයතනය 2016 වසරේ පිහිටුවා ගන්නේ උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනෙකු එක්වය. ඒ දුප්පත් පාසල් සිසුන්ට අධ්‍යාපන කටයුතු සදහා අධාර ලබාදෙන්නටය. එසේම සැමියා මිය ගිය මුස්ලිම් පවුල්වලට උදව් උපකාර කරන්නටය. ඉකුත් වසරේදී දිගන සිදු වුණු කලහාකාරී සිදු වීමෙන් පසු හානි වූ පවුල්වල තක්වා පදනමෙන් හාල් පොල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබිණි. සැමියා නැති පවුල්වල ආර්ථිකය නඟා සිටුවීමට මහන මැෂින් පවා තක්වා පදනමෙන් ලබාදී තිබිණි.ඒ සියලු කටයුතු සඳහා ඔවුන්ට මූල්‍ය ශක්තිය ගොඩනැඟෙන්නේ දේශීය පරිත්‍යාගශීලින්ගෙනි. ඒ අය අතර මුස්ලිම් ව්‍යාපාරිකයෝ රැසකි. ඒ බොහෝ පිරිසක් “තක්වා පදනම“ ගොඩ නැඟූ ටියුෂන් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලද සිසුහුය. සිසුන්ගේ ධනවත් මවුපියෝය. මේ හැරුණු කොට ඔවුන්ට අරමුදල් ලැබෙන වෙනත් මාර්ග තිබේදැයි බුද්ධි අංශ දැන් සිටින්නේ අවධානයකිනි.

දේශීය මුදල් ආධාරවලින් කළ සහන සේවා

බුද්ධි අංශ විසින් බලධාරීන් දැනුවත් කර ඇති ආකාරයට අනුව එකි පදනමට මුදල් ලැබෙන්නේ ලංකා බැංකුවේත්, නේෂන් ට්‍රස්ට් බැංකුවේත්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේත්, සම්පත් බැංකුවේත් ඇති ගිණුම් ඔස්සේය. පාර්ලිමේන්තු සේවකයා සතියේ දිනවල ගත කිරීමට මිලදී ගත්තේ යැයි සඳහන් වූ නිවස පවා තක්වා පදනමේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලය. එය මිලදී ගෙන ඇත්තේද ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 21ක ණය මුදලක් ලබාගනිමිනි. බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට එය පාර්ලිමේන්තු සේවකයාගේ බූදලයක් නොව, තක්වා පදනමේ වත්කමකි. එම පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරයෙකු වන ඒ.එස්.නලිමුදීන් නැමැත්තෙකි. උප සභාපතිවරයා වන්නේ පන්විල පැත්තේ පාසල් ගුරුවරයෙකු වන රසීන් නැමැති අයෙකි.

පාර්ලිමේන්තු සේවකයා එම කණ්ඩායමට එකතු වන්නේ ඔහු පාර්ලිමේන්තුවේ රැකියාවට යන්නට පෙර මේ කණ්ඩායම සමඟ උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබුණු බැවිනි.

මේ ආකාරයට බුද්ධි අංශ විමර්ශන මඟින් සැබෑව හෙළි වන විට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කරන්නේ ඉදිරි පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවරන්නටය. ඒ තවදුරටත් එහි ඇත්ත නැත්ත කුමක්දැයි පැහැදිලිවම හෙළි කරගන්නටය.

සිළුමිණ

Back to Top