Sri Lanka Brief
පුවත්විවරණ‘බොහෝ දෙනාට’ එරෙහි ‘කිහිප දෙනෙකුගේ’ රුදුරු ත්‍රස්තවාදය – කිෂාලි පින්තෝ ජයවර්ධන

‘බොහෝ දෙනාට’ එරෙහි ‘කිහිප දෙනෙකුගේ’ රුදුරු ත්‍රස්තවාදය – කිෂාලි පින්තෝ ජයවර්ධන

by

පසුගිය මාසයේ පාස්කු ඉරිදා මහා විනාශයෙන් පසු ඉස්ලාම් ජිහාඞ්වාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා, පැයෙන් පැයට නොවේ නම් දිනපතාමවත් ශ්‍රී ලාංකිකයන් වන අප වෙත සන්නිවේදනයේ කෙරෙමින් තිබෙන මොහොතක, කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ නාමයට කැළලක් වීමට ඉඩ නොදිය යුතු බව අප වටහා ගැනීම ඉතා වැදගත් ය. කණගාටුවට කාරණය වන්නේ, මේ තුච්ඡ ප්‍රහාරයන් පිළිබඳව සිංහල සහ දෙමළ අසල්වැසියන් තරමටම කම්පාවට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට එරෙහිව, නොදැනුවත්කවම නිසා හෝ ජාතිවාදය නිසා අවුස්සවනු ලබන ප්‍රහාරයන්ට එම ජනතාව ලක්විය හැකි බවයි. එය, කොන්දේසි විරහිතව එකහෙලා හෙළාදැකිය යුතු තත්ත්වයකි.

නීතිය ‘ප්‍රමාණවත් නොවීම’ පිළිබඳ රැවටිලිකාරී තර්කය

මෙවර අප මුහුණදෙමින් සිටින ප්‍රශ්නය වන්නේ, මීට පෙර දශක ගණනාවක් තිස්සේ භූමිය සහ බලය උදෙසා ඇති වූ ගැටුමට වෙනස්ව, ආගමික දෘෂ්ටිවාදයක් පිළිබඳ ගැටුමකට ය. එය, ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපදාවන්ම දූෂ්‍ය කෙරෙන සහ උල්ලංඝණය කෙරෙන දෘෂ්ටිවාදයකි. වෙනත් වචනවලින් කිවහොත්, මෙය ශ්‍රී ලාංකීය චින්තන භූමි ප්‍රදේශය අළලා කෙරෙන සටනකි. තවත් නිවැරදිව කිවහොත්, අතිශය අධම දේශපාලනික ප්‍රචාරණයන් මගින් තලාපෙලා දැමීමෙන් පසු ශේෂව ඇති චින්තන භූමි ප්‍රදේශය නතු කර ගැනීම සඳහා කෙරෙන සටනකි. එබැවින්, වෛරයම හරය කර ගත් ජිහාඞ්වාදී න්‍යායට ප්‍රතිපක්ෂව අප ගොඩනගන ප්‍රතිකථනය, ස්වයං-විනාශකාරී වන ‘ත්‍රස්ත මානසික’ හබකට හසු නොවන තැනට වගබලා ගැනීම බෙහෙවින් වැදගත් ය. ඒ සන්දර්භය තුළ, ප්‍රති-ත්‍රස්ත පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන තිබිණි නම්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණු බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඉතා භයානක මෙන්ම සටකපට කතාවක් බව කිව යුතුය.

අගමැතිවරයාගේ එම ප්‍රකාශය පසුපස ඇත්තේ මුළුමණින්ම ජනතාව නොමග යවනසුළු හේතු දැක්වීමකි. දේශපාලනික සහ නිලධර තන්ත්‍ර නායකත්වයේ කමා කළ නොහැකි අසාර්ථකත්වයේ බර, ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ ජිහාඞ්වාදීන් ගැන කටයුතු කිරීමට පවතින ‘නීති ප්‍රමාණවත් නැතැ’ යි යන මතුපිටින් සැබැවක් සේ පෙනෙන කුතර්කය මත පැටවීමට යත්න දැරීම, මේ ආණ්ඩුව දැන් පුරුද්දක් කරගෙන ඇති ‘බෝලය පාස් කිරීමේ’ තවත් එක් අවස්ථාවකි. ශ්‍රී ලාංකිකයන්ව තදබල අපහසුවට පත්කරමින්, සිද්ධිය ඇති වු වහාම අගමැතිවරයා විදේශ මාධ්‍යවේදීන්ට කියා සිටියේත් මේ කතාවම ය. එම තර්කයේ වඩාත් හිනාවට කාරණය හමුවන්නේ කතාවේ දෙවැනි කොටසේ ය. අපරාධකරුවන් එම හිඩැස පාවිච්චියට ගෙන ඇතැයි පෙනෙන නිසා දැන්වත් ‘පොල් ගාන්නේ නැතිව’ ප්‍රති-ත්‍රස්ත පනත වහා සම්මත කර ගත යුතුව ඇතැයි ඔහු කීය.

මුලින්ම, ‘නීතිය ප්‍රමාණවත් නැතැ’ යි යන්න අමූලික බොරුවකි. පාවිච්චියට ගත හැකිව තිබූ නීති ගණනාවක්ම අපට තිබේ. ඒවා නම්, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (1979), ‘සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය’ (2007) සහ වඩාත් වාස්තවික මට්ටමකින් සැලකිය හැකි, ‘දණ්ඩනීති සංග්‍රහයයි.’

දෙවැනුව, මේ ප්‍රහාරය ඇති වු දා පටන් ආණ්ඩුව ගෙන ඇති පියවර මගින්ම අගමැතිවරයාගේ ප්‍රකාශය බොරුවක් බවට පත්කෙරේ. දැනට කෙරී ඇති පරීක්ෂණ අනුව, පාස්කු ප්‍රහාරය දියත් කළ ඉස්ලාම් ජිහාඞ්වාදීන් සහ මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කළ පිරිස සහ වව්වනතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ පිරිස අතර සම්බන්ධතාව සොයාගෙන ඇත. ඒ සම්බන්ධතාව මීට කලින් නිසියාකාරව සොයා නොබැලුවේ මන්ද? එසේ වුණේ, නැගෙනහිර ඡන්ද පදනමේ වාසිය සහ මුස්ලිම් දේශපාලඥයන්ගේ හොඳ හිත ගැන සිතා බැලීමට සිදු වු නිසා ද? විකාර කුමන්ත්‍රණ න්‍යායන්ට වඩා, පිළිගත හැකි හේතුව විය හැක්කේ එයයි.

මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වන එදිරිවාදී බව ප්‍රතික්ෂේප කිරීම

පුපුරන ද්‍රව්‍ය, කඩු, තුවක්කු සහ පිහි වැනි දේවල් කෙළවරක් නැතිව සොයා ගැනීම පිළිබඳවත් එම කාරණයම අදාළ වෙයි. දැනට දැන ගැනීමට ඇති පරිදි, හඳුනාගත් ත්‍රස්තවාදීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දේපළ සහ වත්කම් තහනම් කිරීමාදිය, දැනට පවතින නීති යටතේ කළ හැකි නම්, එය මීට කලින් කළ නොහැකි වුයේ මන්ද? එයින් පෙනී යන්නේ, නීතිවල අඩුවක් තිබී නැති බවයි. බිම් මට්ටමේ තත්වය පිළිබඳ වැටහීමක් බුද්ධි නිලධාරීන්ට තිබුණත්, දේශපාලන නායකයන් සහ නිලධාරීන් කටයුතු කොට ඇත්තේ ඒ පිළිබඳ කිසි ආතක්පාතක් නැතිව ය.

මේ ගැන දැන සිට ‘කිහිප දෙනා’ පවා තීරණයක් ගත නොහැකිව වැනි වැනී සිට ඇත. ඔවුන්, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මෙන් සිතා ඇත්තේ, යමක් සිදුවුවත්, එය ‘පුංචි පහේ’ දෙයක් වෙතැයි කියා ය. මේ තොරතුරු ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුව තිබුණු කාලයේ බලධාරීන් ‘පොල් නොගා’ සිටියේ නම්, ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ගේ ලේ මස් ඔවුන්ගේ දේවස්ථානවල බිත්තිවල ඇලී තිබෙනු දැකීමේ පිළිකුල ඔවුන් අත්නොවිඳ සිටින්නට තිබුණි. එසේම, මුස්ලිම් ජනතාව අද බියෙන් ජීවත් වන තත්වයට ඔවුන් පත්නොවී සිටින්නට තිබුණි.

මේ අතර, තමන්ගේ ආසනවල මුස්ලිම් අන්තවාදය උසිගැන්වීම සම්බන්ධයෙන් මුස්ලිම් දේශපාලඥයන්ගේ වගකීමත් මෙහිදී බැහැර කළ නොහැකි තරමට පැහැදිලි ය. ජිහාඞ්වාදය තමන්ගේ සෙවණේම ඇතිදැඩි වන තෙක් විශේෂයෙන් නැගෙනහිර මුස්ලිම් ඇමතිවරු නිහඬව සිට ඇත. ඒ විනාශකාරී බලවේගයට අනෙක් අය සක්‍රීය සහාය පළ කොට තිබීමත් මෙහිදී කැපී පෙනේ. මේ අන්තවාදී කොටස් ඔවුන්ගේම ප්‍රජාවන් විනාශ කරවන ක්‍රියාකාරීත්වයන් කෙරෙහි යොමුවෙමින් පැවතීම, දෙමළ සහ සිංහල දේශපාලඥයන්ටත් වාසියක් වී ඇති සැටියකි පෙනෙන්නේ. ඇත්ත වශයෙන්ම, මෙය දේශපාලනික සාපරාධීත්වයටත් එහා යන තත්වයකි.

වංක කතාවක් කරට ගැනීම

2015 න් පසු හිතාමතාම වංක කතාවක් ගොඩනැගුණි. ඊට අනුව, හුදෙක් යුද්ධයෙන් පසු රාජපක්ෂලාගේ විජයග්‍රාහී ක්‍රියාකාරකම් මගින් තීව්‍ර කෙරුණු සිංහල-බෞද්ධ බහුතරවාදයට ප්‍රතිචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය හිස එසැවූ බව කියැවෙයි. ශ්‍රී ලංකාවේ ‘සංහිඳියාවට’ සහ ‘සංක්‍රාන්ති යුක්තිය’ පිළිබඳ ක්‍රියාවලියට අවැඩක් සිදුවෙතැ යි සිතා, තමන්ගේ සමාජ කොටස් අතරේ ඇති වෙමින් පැවති ඒ අයහපත් වෙනස්කම් කෙරෙහි සැලකිලිමත් වීමට ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාව අදිමදි කළෝය. දැන් සංහිඳියාව ගැන අප තැබූ අපේක්ෂා පමණක් නොව, සාමාන්‍ය ජීවිතයේ පැවැත්ම පවා අනතුරට පත්ව ඇති මොහොතක, අපට මගහැරුණු ඇතැම් සත්‍යයන් අප අවබෝධ කර ගත යුතුව තිබේ. මුස්ලිම් ප්‍රජාව කොන් කරනු ලැබීම පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට දායක වී තිබිය හැකි වෙතත්, මුස්ලිම් විරෝධී රැඩිකල් භික්ෂූන්ගේ වාගාලාප නිසා මේ ප්‍රහාරය උත්සන්න වී යැයි අප සිතිය යුතු නැත. හේතුඵල සම්බන්ධතාව එසේ විණි නම්, ප්‍රහාරයට ලක්විය යුතුව තිබුණේ කතෝලික දේවස්ථාන නොව. අඩු වශයෙන් දැන්, මුස්ලිම් තරුණ ලේඛකයන් ස්වකීය ප්‍රජාවේ, ආගමේ, හිංසනයේ සහ රැඩිකල්වාදී වීමේ උභතෝකෝටික ගැන කතා කිරීමට පටන්ගෙන තිබේ.

කෙසේ වෙතත්, දේශපාලනික වගවීම නැමැති වඩාත් පෘථුල ප්‍රශ්නය එයාකාරයෙන්ම තිබේ. මේ සමස්ත ක්‍රියාවලිය තුළ, වගවිය යුතු දේශපාලඥයන් නිදැල්ලේ සිටියදී ඔවුන්ගේ ඉත්තන් පමණක් අල්ලා ගැනෙන්නේ කෙසේද? අතන මෙතන නාගරික මන්ත්‍රීවරයෙකු, ඉහළ දේශපාලනඥයන්ගේ රියැදුරන්, ලේකම්වරුන් සහ වෙනත් අයවළුන් අත්අඩංගුවට ගැනීමේ වරදක් නැතත්, දේශපාලන හිණිමගේ මුදුනේ සිටින පුද්ගලයන් වගවීමට බැඳ ගත යුතුව තිබේ. එසේ නොකොට, ජනතාව අතරේ විශ්වාසය ගොඩනැගිය නොහේ. එබැවින්, මේ ආණ්ඩුවේ හුරතල් ප්‍රති-ත්‍රස්ත පනත් වගාදිගා කිරීම වෙනුවට, මේ සමස්ත සෙල්ලම ගැන සැක සිතින් පසුවන ජනතාවට, අගමැතිවරයා සහ මැති ඇමතිවරුන්, ස්වකීය අමන අවසර පසෙක තබා, තමන්ගේ ක්‍රියාකාරකම් ගැන රටට පැහැදිලි කළ යුතුව තිබේ.

සීමිත කාලයකට පමණක් පනවා ගන්නා, පාර්ලිමේන්තුවේ පාලනයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනය යටත් හදිසි අවස්ථා රෙගුලාසි, දැන් අප ඉදිරියේ ඇති අර්බුදයට මුහුණදීමට වඩාත් යෝග්‍ය ය. එසේ නොමැතිව, සදාකාලික ප්‍රති-ත්‍රස්ත පනතක් කතානායකවරයාගේ අත්සන සහිතව නීතියක් බවට පත්වූ පසු එය ප්‍රශ්න කිරීමට අධිකරණයට පවා නොහැකි වන්නේය. එවැනි පනතක් යටතේ සාධාරණ විවේචන පවා මර්දනයට ලක්කෙරේ.

ඉදිරි මැතිවරණයකින් තමන් ජයග්‍රහණය කරතියි යන එක්සත් ජාතික පක්ෂයේ විකාර සෙල්ලම යටතේ ඇති කර ගැනීමට නියමිත, සිවිල් නිදහස නැති කෙරෙන වර්තමාන වර්ගයේ ප්‍රති-ත්‍රස්ත කෙටුම්පතක්, සන්තෝසෙන් පුල පුලා බලා සිටින බාහු බලැති රාජපක්ෂ මහත්වරුන්ගේ අනාගත ‘ආරක්ෂක රාජ්‍යයට’ මාර්ගය සකසා දෙනු ඇත. එවිට, ජාත්‍යන්තර සහ කලාපීය ප්‍රති-ත්‍රස්ත චෙස් ක්‍රීඩාවේ මහා උපද්‍රවකාරී තත්වයකට අප ඇද වැටෙනු ඇත. ඒ මගින්, මෙතෙක් අප උපායශීලීව දිනාගෙන සිටින නීතියේ ආධිපත්‍යයේ ජයග්‍රහණයන් සියල්ල ආපසු හැරවෙනු ඇත. ඊළඟට ඇති විය හැකි විපත මොන වගේ ද? මූලධර්මවාදී කිතුණුවන්, නවසීලන්තයේදී සහ ඇමරිකාවේදී මෙන්, තුවක්කු අතින් ගෙන මුස්ලිම් පල්ලිවලට හෝ පන්සල්වලට කඩා වදින තත්වයක්?

ඉතා පමා වී ඇති මේ මොහොතේ පවා නිසි සැලකිල්ලෙන් කටයුතු නොකළොත්, 2015 යහපාලන ජයග්‍රහණයෙන් අවසානයේ ඉතිරි වන එකම සහ අඳුරු උරුමය වනු ඇත්තේ, රට පුරා බෝ වෙන ඒකාන්ත සහ අපාලිත භීෂණයයි.
– 2019 මැයි 05 වැනි දා ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ The Fiendish Terrorism of a “Few” over the “Many” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

Back to Top