Sri Lanka Brief
පුවත්විවරණප‍්‍රති ත‍්‍රස්ත පනතට සංශෝධන අවශ්‍යයයි – ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න

ප‍්‍රති ත‍්‍රස්ත පනතට සංශෝධන අවශ්‍යයයි – ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න

by

පනත ගැන ඇති වී තිබෙන පක්ෂ විපක්ෂ අදහස් පිළිබඳ ව හා එහි ඇති වැදගත්කම පිළිබඳ ව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ කළ තුළනාත්මක සාකච්ඡාවකි.

• නව ත්‍රස්තවාදී පනතක අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද‍?

මුලින් ම කියන්න ඕන කාරණය තමයි අද ලෝකයේ හැම තැනක ම ත්‍රස්තවාදය විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගෙන තිබෙනවා. එනිසා ත්‍රස්තවාදය වැළැක්වීමට නැතිනම් ඊට මුහුණ දීම සඳහා විශේෂ නීති ගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඒ නීති හඳුන්වා දීමේදී වැදගත් වන කාරණයක් තමයි මේ නීති සියල්ලක් ම නීතියේ මහිමයට ගැළපෙන ඒවා වෙන්න ඕන කියන කාරණය. අපේ රටේ මූලික අයිතිවාසිකම්වලට ගැළපෙන ඒවා වෙන්න ඕන. හොඳ ම තත්ත්වයේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් වෙන්න නම්, එමඟින් සියලු ම වර්ගයේ ත්‍රස්තවාදය පිටු දැකීමට හැකි විය යුතුයි. සිය අරමුණ සඳහා ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන සියලු ම දෙනා ආවරණය වන පරිදි ඒ පනත සකස් කළ යුතුයි. කිසිදු ත්‍රස්තවාදියකුට කිසිදු ලෙසකින් ඒ නීතියෙන් ගැලවී යෑමට නොහැකි වන පරිදි ඒ නීතිය සකස් කළ යුතුයි. ඒ සඳහා නව ත්‍රස්තවාදී පනතක් ගෙන ඒම ආණ්ඩුවක වගකීමක්.

• නමුත් මෙවැනි පනත් මඟින් අප මේතාක් දැක ඇත්තේ වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීමට කටයුතු කරන ආකාරයකුයි.

ඔව්, ත්‍රස්තවාදී නොවන ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා හැටියට නිර්වචනය කිරීමට මෙවැනි පනත් මඟින් තිබෙන ඉඩ ඇහිරීම මෙහිදී වැදගත් වෙනවා. උදාහරණයකින් කිව්වොත්, මා පාර්ලිමෙන්තු යන බොහෝ අවස්ථාවල පොල්දූව හන්දියේ උද්ඝෝෂණ දැක තිබෙනවා. ඇතැම් වෙලාවට මේ උද්ඝෝෂකයෝ තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් මන්ත්‍රීවරුන්ටත්, සාමාන්‍ය ජනයාටත් ගමන් කිරීමට නොහැකි වනසේ පාර හරස් කරනවා; මේ දේ කොටුවෙදිත් සිද්ද වෙනවා; ලිප්ටන් වටරවුමේදීත් සිද්ද වෙනවා; රෝහල් ළඟත් සිද්ද වෙනවා. එවැනි ක්‍රියා නීති විරෝධියි. ඒ වුණත් ඒවා ත්‍රස්තවාදී ක්‍රියා නෙවෙයි. ඒ නිසා මෙවැනි නීති විරෝධී ක්‍රියා අප ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉවසිය යුතු වෙනවා. ඇතැම් දිනවල උද්ඝෝෂණ පවතින වෙලාවල පැය බාගයක් විනාඩි හතළිස්පහක් පමණ වටරවුම් මාර්ගවලින් මට පාර්ලිමේන්තු යන්න සිදු වී තිබෙනවා. මේ අය නිසා මට මෙවැනි දෙයක් වුණා. මේ අය නීති විරෝධි වැඩක් මේ කරන්නේ කියලා මා කවදාවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා නැහැ. කිසියම් පිරිසක් එක්ව ඔවුන්ගේ අදහස මුදුන් පමුණුවා ගන්න පොදු මාර්ගය වහන එක නීති විරෝධී ක්‍රියාවක් තමයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයේ අපි ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕන. එනිසා එවැනි විරෝධතාවන් දැක්වීමට තිබෙන ඉඩ මෙවැනි පනත් මඟින් ඇහිරිම නොකළ යුතුයි කියන එකයි මගේ ස්ථාවරය.

• 1979 ගෙනැවිත් දැනට පවත්වාගෙන යනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ව ඔබේ අදහස කුමක්ද?

1979 ඇති කරගත් පනත දේශපාලන අරමුණු වෙනුවෙන් බොහෝ අවස්ථාවලදී පාවිච්චි කර තිබෙනවා. මෙමඟින් ඕනෑවට වඩා බලතල ආණ්ඩුවට ලබාදී තිබෙන නිසා එය එක් අතකින් අත්තනෝමතික පාලනයකට ඉඟි කරනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ආ යුතුයි කියන මතය සෑම දෙනා තුළ ම එදා සිට ම සාමාන්‍ය එකඟතාවක් පැවතුණා. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙන ආ ඒ පනතේ එවැනි අඩුපාඩුකම් තිබෙන නිසා ඒවා සකස් කර සිවිල් හා සාමාන්‍ය දේශපාලන අයිතිවාසිකම්වලට බලපෑමක් නොවන ආකාරයට අලුත් පනතක් සකස් කරන්න ඕන කියලා හැමෝම කල්පනා කළා; මගේ අදහසත් ඒකයි.

• පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳ ව බොහෝ දෙනා තුළ ඒ තරම් පැහැදීමක් නැහැ. ඔවුන් ඊට විරුද්ධ ව අදහස් දක්වන බව පේනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මේ පනතට විරුද්ධ වන බොහෝ දෙනා එසේ කරන්නේ 1979දි ගෙනා අතිශය භයානක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැළපෙන පනත පවත්වාගෙන යෑමට තිබෙන ඕනකම නිසයි. එනිසා ඔවුන් මෙහි වැරදි සොයමින් ඒ පැරණි පනත රැක ගැනීමට උත්සාහ කරනවා. මා ඉන්නේ ඒ අදහසේ නෙවෙයි. නව පනතේ දුර්වල කම් කිහිපයක් තියෙනවා, ඒ ටික සංශෝධනය කරල අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන, නවීන මානව හිමිකම් පිළිගන්න, අපේ මූලික අයිතිවාසිකම් පර්ච්ඡේදයට ගැළපෙන සහ සාමාන්‍ය දේශපාලන කටයුතුවලට බාධාවක් නොවෙන ආකාරයට අවශ්‍ය සංශෝධන සහිතව මේ පනත ගෙන ඒම සාධනීයයි කියන ස්ථාවරයේ මං ඉන්නේ.

• ඔබ මේ තුළ සංශෝධනය විය යුතුයි කියල අදහස් කරන්නේ මොනවද?

උදාහරණයක් ලෙස මේ නව පනතේ තුන්වන වගන්තියේ ත්‍රස්තවාදය කියන්නේ කුමක්ද කියා සඳහන් වනවා. ඒ අනුව;

“3. (1) (අ) ජනගහනයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව; (ආ) යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ අන්තර්ජාතික සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙලඹවීමේ අරමුණින් යුතුව; (ඇ) එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව; හෝ (ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවට හෝ ස්වෛරී බවට හානි සිදු කිරීමේ අරමුණින් යුතු ව, (2) වන උපවගන්තියේ සඳහන් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන යම් තැනැත්තකු ත්‍රස්තවාදී වරදට වරදකරු වන්නේ ය.” කියල සඳහන් වනවා. මට මෙහි (ඇ) යන්න යටතේ සඳහන් වන “එවැනි යම් ආණ්ඩුවක්, කටයුතු ඉටුකිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව” යන කරුණ පිළිබඳ ව ගැටලුවක් තිබෙනවා. මේක හරියට වඳුරට දැලිපිහිය දෙනව වගේ වැඩක්. මේ වගන්තිය අනුව සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට පටහැනි ආකාරයට ක්‍රියා කිරීමට ආණ්ඩුවකට අවස්ථාව සැලසෙනවා.

පාර්ලිමේන්තුවේ පැවති අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාරක සභාවෙදි මා එහි කාරක සභිකයකු නොවුණත් අවසර ගෙන ඊට සහභාගි වී මේ නිර්වචනය අනුව 1953 හර්තාලෙදි කළ බොහෝ දේවල් ත්‍රස්තවාදී ක්‍රියා යටතට වැටෙන බව මා පෙන්වා දුන්නා. එහෙම නම් එන්.එම් පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක වැනි උදවියත් මේ පනතට අනුව ත්‍රස්තවාදීන් බවට පත්වෙනවා. මෙහි සඳහන් “යම් ආණ්ඩුවක්, කටයුතු ඉටු කිරීම වැළැක්වීමේ අරමුණින්” කියන වගන්තිය අරන් බැලුවොත්; 53දී ඔවුන් හර්තාලය කළේ ඒ අරමුණින් තමයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වුණේ ආණ්ඩුව අකර්මන්‍ය කිරීම; ඔවුන් එහෙම කෙරුවා. කොටින්ම කිව්වොත් අවසානයේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණේ කොළඹ වරායේ නවතා තිබූ නැවක. මෙවැනි පනතක් එදා තිබුණ නම් ඒ අය ඔක්කොම හිරේ. නිකම්ම හිරේ යනවත් නෙවෙයි. ඔවුන් සිරගත වන්නේ ත්‍රස්තවාදීන් හැටියටයි. එනිසා මේ නිර්වචනය ඉතාම පුළුල් එකක්.

මගේ අදහස නම් එවැනි වගන්ති ඉවත් වෙන්න ඕන කියලයි. ඒ අවස්ථාවේදී මූලික අයිතවාසිකම් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමේදී කරන යම් කටයුත්තක් ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවෙයි කියල එහි සඳහන් ව ඇති බව මට කෙනෙක් කිව්වා. නමුත් එදා බලපිටියෙදි සමසමාජ කාන්තාවෝ රේල් පාරේ ආප්ප පුච්චල දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ම නැවැත්වීමට කටයුතු කළා. ඒවා තමන්ගේ මූලික අයිතිවාසිකම් යටතේ සිදු කරපු දේවල් නෙමෙයි; ඊට පිටින් ගිහිල්ලයි ඔවුන් ඒවා කළේ. මොකද කෝච්චි ධාවනය නතර කරන එක මූලික අයිතිවාසිකමක් නෙමෙයි. නමුත් එදා ඔවුන් ආණ්ඩුවේ ක්‍රියාවන්ට විරෝධය ප්‍රකාශ කරන්න එවැනි දේ කළා. ඒක නීති විරෝධීයි. එහෙම නම් ඒක දුම්රිය ආඥාපනත යටතේ හෝ වෙනත් ආඥාපනතක් යටතේ හෝ සමාන්‍ය නීතිය යටතේ හෝ ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි. නමුත් ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව එවැනි දේ කරන්න පෙලඹුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒවා ඉවසුවා. ඒ නිසා හැම දේම මූලික අයිතිවාසිකම් ඉවහල් කරගෙනම කරන්න බැහැ. ඒවගේ ම ඊට පිටින් ගිහින් ඔවුන් එසේ කළයි කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ නැහැ. එනිසා මෙවැනි දේ සංශෝධනය විය යුතු බව මා පැවසුවා.

• එහෙම නම් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මේ පනතට මොන වගේ සංශේධනද ඔබ යෝජනා කරන්නේ?

මෙහි හයවෙනි වගන්තියේ “6- ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට, ජාතික ආරක්ෂාවට සහ රාජ්‍ය ආරක්ෂාවට අහිතකර බලපෑමක් ඇති කිරීමේ අදහසින් හෝ ඒ පිළිබඳ දැනුවත්ව හෝ ඒ බව විශ්වාස කිරීමට හේතු ඇතිව, නැතහොත් සිවිල් ජනගහනයක් ත්‍රාසද්ග්‍රහණයට ලක් කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් අහිතකර බලපෑමක් ඇති කිරීමේ අදහසින් හෝ ඒ පිළිබඳ දැනුවත් ව හෝ ඒ බව විශ්වාස කිරීමට හේතු ඇතිව -(අ) 7 වන වගන්තියේ සඳහන් නිශ්චිත ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකරන; හෝ(ආ) 8 වන වගන්තියේ සඳහන් ත්‍රස්තවාදය ආශ්‍රිත බරපතල අපරාධ ක්‍රියාවක් සිදුකරන; හෝ(ඇ) 9 වන වගන්තියේ සඳහන් ත්‍රස්තවාදය ආශ්‍රිත ක්‍රියා සිදුකරන; හෝ(ඈ) 10 වන වගන්තියේ සඳහන් ත්‍රස්තවාදයට අනුබල දීමේ ක්‍රියා සිදු කරන යම් තැනැත්තකු හෝ පොදු අරමුණක් යටතේ එක්ව හෝ වෙන වෙනම හෝ ක්‍රියාකරන පුද්ගල කණ්ඩායමක සාමාජිකයකු හෝ තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකු, මේ පනත යටතේ වරදකට වරදකරු වන්නේ ය.” කියලා සඳහන් වෙනවා. මේ නිර්වචනය වඩා හොඳයි කියලයි මා හිතන්නේ.

මේ පනත තුළ සංවිධාන තහනම් කිරීමේ බලතල හා යුද හමුදාවට බලය පැවරීම ආදී බලතල පිළිබඳ ව සඳහන් වෙනවා. ඒ දේවල් නැවත විමර්ශනය කරල එකඟත්වයකට එනවා නම් එය ඉතාම වැදගත්. ඒ අනුව මෙහි එන තුන්වන වගන්තියේ (ඇ) කොටස ඉවත් කර එතැනට වෙනත් වචන පාවිච්චි කරල හයවන වගන්තියේ තියෙන කොටස් එකතු කරලා මෙයට සාධනීය සංශෝධනයක් ගෙන එන්න පුළුවන්. එහිදී වෘත්තීය සමිතිවලට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට තිබෙන අයිතිය මෙමඟින් ඇහිරීමක් සිද්ධ වෙනවා කියලා ඔවුන් තුළ ඇති වී තිබෙන බිය නැති කිරීමට කටයුතු කළ යුතුයි. ඒවගේම මේ කාරණයේදී ආණ්ඩුවත් නම්‍යශීලීව කටයුතු කළ යුතුයි.

(http://www.aithiya.lk)

Back to Top