Sri Lanka Brief
පුවත්විවරණපාස්කුවේ කදුළු අන්තවාදයේ සැමරුමක් නොවීමට – ධනුෂ්ක සිල්වා

පාස්කුවේ කදුළු අන්තවාදයේ සැමරුමක් නොවීමට – ධනුෂ්ක සිල්වා

by

(ඡායාරූපය ජැපෑන් ටයිම්ස් ‌වෙතිනි.)

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ලංකාව මෙතෙක් මුහුණ දුන් ප්‍රහාරවල නොතිබූ රුදුරුබවක් ගැබ්ව තිබේ. පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාව විවිධ හේතු නිසා උත්ගට්ත වූ ගැටුම්, අරගල මෙන්ම ප්‍රහාර රැසකට සංවර්ධනයේ කතාන්දරයෙන් පරිචෙඡේද කිහිපයක් වෙන් කළ රාජ්‍යයකි. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ රාජ්‍ය කේන්ද්‍රයේ නිශ්චිතව අර්ථදැකිවිය හැකි හේතුවක් නිසා නොව ගෝලීය අන්තවාදයේ කුරිරු ප්‍රකාශනයක් හැටියටය. අනෙක් අතින් මීට පෙර ජනවර්ග අතර ගැටීමේ කතිකාව නිශ්චිතව කේන්ද්‍රගතව පැවතියේ මහජාතිය-සුළුජාතිකයන් (සිංහල-දමිළ හා සිංහල-මුස්ලිම්) අතර ගැටිම්කාරී තත්වයක් ලෙසය. මින් ඉදිරියට ජනවර්ග අතර ගැටුම් යටතට ගැනෙන කතිකාවේදී සුළු ජනවර්ග අතර මුස්ලිම් (අන්තවාදය) හා කතෝලික ආගමිකයන් අතර ඇති වී තිබෙන ගැටුමක් ලෙසද නව පැතිමානයකින් සාකච්ඡාවට ගැනීමට අපට සිදුවේ. ඒ අනුව රටක් හැටියට අපට අත්දැකීම් ඇති ප්‍රහාරයන්ට වඩා කුරිරුකම අතින්ද සමාජ දේහයට කරන බලපෑම අතින්ද පාස්කු ප්‍රහාරය තරමක් බැරෑරුම් ලෙස භාරගැනීමට අපට සිදුවේ

දෘෂ්ටිවාදී යුද්ධයක්

ඉස්ලාම් අන්තවාදය තවදුරටත් එක් රටකට එක් දේශසීමාවකට හෝ එක් කාලාපයකට අවේණික ගැටළුවක් නොවේ සමස්ත ධරණී තලය පුරා විහිදුනු උභතෝකෝටිකයකි. (Transnational Dilemma) ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පිළිතුරක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල කළේය යන ප්‍රවාදය ඇත්තක් නම් ලංකාව් පළිගැනීමක් දියත් කරන්නේ දෘෂ්ටිවාදී යුද්ධයක පෙනෙනෙන්ට ඇති දැඩි අවුල්කාරී ස්වභාවය නිසාය. එහි අරමුණු වියවුල්සහගතය. බලහත්හාරයෙන් ලබාගැනීම් මිස ඉල්ලීම් කිසිවක් නැත. අවසන් පරමාර්ථ ගැටලුසහගතය. ඒ නිසාම මෙවැනි ප්‍රහාරයකට පසුව ලියවෙන ලිපියකදී වුවත් න්‍යාගතකරගැනීම් වලදී වැඩි මානසික ශ්‍රමයක් දැරීමට කාලයක් ගැනීමට ලේඛකයෙකුට සිදුවේ.

ඉල්ලීම් පැහැදිළි නොවීම අරමුණුවල අවුල්කාරීභාවය හා පරමාර්ථවල අපැහැදිළි ස්වරූපය මෙම ප්‍රහාරය හා මුලඇදුණු සමස්ත අන්තවාදී ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කරමින් සිටින්නේ දෘෂ්ටිමය යුද්ධයක් බවට සංඥා කරයි. වහබ්වාදය වැනි මූලධර්මවාදී ඉගැන්වීම්වලින් නොමග ගිය කල්ලි තමන්ගේ ආගමික භක්තිය වෙනුවෙන් ආයුධ අතට ගැනීමට තරම් ප්‍රබල වී තිබේ. එයින් තේරුම්ගතයුත්ත වන්නේ අධික භක්තිය ඉතා ඉක්මණින් අන්තවාදයේ හෝ මූලධර්මවාදයේ සැගවුනු අරමුණු කළමනාකරය කිරීම සදහා ඉතා ලෙහෙසියෙන් යෙදවිය හැකි බවයි. අනෙක් අතින් දැඩිවූ භක්තියේ අග්ගිස්ස අන්තවාදයේ උප්පත්තිය එකිනෙකට ගැටගැසෙන බවයි.

පළමු වින්දිතයා පළමු චූදිතයාය

පළමු වින්දිතයා පළමු චූදිත වේ ( The First Victim is the First Accused) න්‍යාය පැහැදිළි කරන්නේ යම් අරමුණක් සදහා වෙහෙසීමේදී ඉතා හොදින්ම වින්දිතභාවයේ ගොදුරුවන පුද්ගලයා ඉතා හොදම චූදිතයකු වන බවයි. මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනූව ප්‍රධාන ප්‍රහාර හය සදහා පැමිණි සියලු ප්‍රහාරකයන් මරාගෙන මැරෙන මුස්ලිම් තරුණයන්ය. එනම් අන්තවාදයෙන් පළමු වින්දිතයන් මෙම ප්‍රහාරකයන්ම මිස අන් කවරෙව්කුවත් නොවන බව ප්‍රහාරය ගැන තරමක් ගැඹුරින් විමසිලිමත් වනවිට ව්‍යුත්පන්නවන සත්‍යයයි. අවසනාවවන්නේ ඔවුන්ගේ වින්දිතභාවයේ බැරෑරුම්කම අන්තවාදයේ ඉගැනිවීම් විසින් සාධාරණීකරණයට ලක්වීමයි. (විශ්ව විද්‍යාල නවක වදයෙන් හොදම වින්දිතයන් වන අය පසුකලෙක හොදම ජ්‍යෂඨ උතුමන් වන්නේද මෙම න්‍යායට අනුවය.)

සාමාන්‍ය ජීවිතයේදී අශා අත්පත්කරගැනීමට නිරන්තර අරගලයක යෙදෙන තරුණයකු ආශාවන්ගෙන් මුලුමනින්ම බැහැරට ගොස් බෝම්බයක් අතට ගැනීම දක්වා පරිවර්තනය වීමට බරපතල මනස් ව්‍යපර්යාසයකට ලක්කළ යුතුය. එවැනි ව්‍යපර්‍යාසයන් ආකස්මිකව සිදුනොවන අතර කාලාන්තර පුහුණුවීම් මාලවක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නකි. එවැනි පුහුණුවීම් කිරීමට තරම් අන්තවාදී මූලාශ්‍රවලින් සන්නද්ධ න්‍යායාචාර්යවරුන් අවශ්‍යය. ඊට අමතරව දැවැන්ත මූල්‍ය සවියක් විදේශයන් දක්වා විසිරුණු තොරතුරු හුවමාරු ජාලයක්, දේශපාලන මෙන්ම ව්‍යාපාරික සමාජයේ තල්ලුවක් ද මේ සියලු දේ නියමාකාරව කරගෙන යාමට තරම් නොසැළකිලිමත් රාජ්‍ය තන්ත්‍රයක්ද :භැටකසටැබඑ ඨදඩැරබ්බජැ* තිබිය යුතුය.

රාජ්‍ය ප්‍රතිනිර්මාණය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බරපතල ස්වභාවය පිළිබදව සැළකිලිමත්වීමේදී මෙවැනි ප්‍රහාරයක ඉලක්කයක් බවට ලංකාව පත්වීමට ඉඩහැරීම රාජ්‍යයක් ලෙස මෙරට අසමත්කමේ තරම පෙනේ. දේශපාලන විද්‍යාවිදී රාජ්‍යය යැයි අප හදුනාගන්නේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා ලංකාව අසමත්කිරීමේ වගකීම ජානධිපතිවරය අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම භාරගැනීමට තරම් අවංක විය යුතු ව තිබිණි.

ආණ්ඩුවේ යටිභිම්ගත අසමත්භාවය ප්‍රහාරයට පෙරත් පසුවත් ප්‍රදර්ශනය කෙරිණි. ප්‍රහාරකයන්ට අවි එසවීමට තරම් රාජ්‍ය අසමත් වුයේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. මෙම ප්‍රහාරයට පෙර මාස 6කට පෙර සිදුවූ ඔක්තොබර් දේශපාලන කුමණ්ත්‍රණය රාජ්‍යයේ ප්‍රධාන නායකයන් දෙපළගේ දේශපාලන හිත නොහොදකම් ඔඩුදිවීමේ තරම ප්‍රකාශ කළේය. ඔක්තොබර් දේශපාලන කුමන්ත්‍රණය රටේ දේශපාලනය ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව රාජ්‍යක ප්‍රධාන කාර්ය වන ජාතික ආරක්ෂාව ද බිදෙනසුලු බෙලහීන තත්වයට පත්කළේය. රටේ ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් දේශපාලන ආරෝව විසින්ම රට අස්ථාවරය යන සංඥාව ජාත්‍යන්තරයට නිකුත් කළේය. ඉහතින්ද සදහන් කළ ලෙස ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට පළිගැනීමේ අරමුණෙන් මෙම ප්‍රහාරය දියත් කළේය යන ප්‍රවාදය සත්‍යයක් නම් නවසීලන්තයෙන් රටවල් ගණනාවක් කොලෝමීටර දහස් ගණනක් දුර ඇති අපේ රට ප්‍රහාරයේ ඉලක්ක කරගත්තේ ඇයිද? එහිදී පසුගිය වසරේ රාජ්‍ය ව්‍යුහයේ හොදින් දක්නට ලැබුණු දියාරු තත්වය ප්‍රහාරකයන්ගේ ඉලක්කය ලෙස ශ්‍රී ලංකාව වන්නට හේතු නොවූවා වන්නට නොහැක.

අපට නොපෙනෙන අනෙත් කරුණ වන්නේ ජාත්‍යන්තරයෙන් ණය කුට්ටි කඩා ගැනීමට සංහිදියාව නඩත්තු කරන වර්තමාන රජය, මුස්ලිම් අන්තවාදීන් මෙරට සංවිධානය වන විටින් විට ඉගි ලැබෙන විටත් ඒ තොරතුරු නොතකාහැරීම ආණ්ඩුක්‍රම ධර්මයක් (Governing Norm) කරගත්තේය. රාජ්‍ය යම් හේකින් අවිගත් අන්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්මට ප්‍රහාරයක් ලෙස රජය දකින්නට ඇත. සැබැවින්ම රජය ප්‍රජාතන්ත්‍රවාදය නඩත්තු කරන්නේ රටේ ජනතාවට අවශ්‍ය නිසාද? නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය යැයි රජය ජාත්‍යන්තරයට පෙන්වන දෙයින් ආර්ථික වාසි ජාත්‍යන්තර මූල‍ය අරමුදල වැනි ලබාගැනීමටද? යන කුකුස සිවිල් සමාජයට මුල් ඇද තිබේ. ඒ අනුව සංහිදියා කඩතුරාවෙන් වර්ධනය වූ අන්තවාදය සැගවීමට රජය දැරූ අති අසාර්ථක තැත මේ ආකාරයේ ප්‍රහාරයකට ජනජීවිතය මැදි කළ බව නිගමනය කළ හැකියි.

ප්‍රහාරයෙන් පසු ප්‍රධාන නායකයන් දෙපළ හැසිරුණු වගකීම් විරහිත ස්වභාවය සමස්තයක් ලෙස නිරූපනය කළේ ආණ්ඩුවක් වශයෙන් ඔවුන්ගේ අසමත්භාවයයි. ඒ වගේම ඔවුන්ට යටත් ඇතැම් ඇමතිවරුන්ගේ විහිලු කතා, නිළධාරීන්ගේ වෘත්තීයභාවය ප්‍රශ්න කළ ප්‍රකාශ සියල්ලම රාජ්‍ය අසමත්භාවයේ තරම ප්‍රකාශ කළේය. එමනිසා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගැනීම මේ මොහොතේ ඉතා වැදගත්ය මේ සදහා පක්ෂමය බෙදීම්වලින් ඔබ්බට විහිදී ඇති මහජන කතිකාව ඉතා හොද ප්‍රවේශයකි.

අරමුණු ඉටුනොකිරීම

අන්තවාදීන් විසින් ලෝක මට්ටමෙන් ත්‍රස්තවාදය යොදාගන්නේ අරමුණු කිහිපයක් සාක්ෂාත් කරගැනීමටය. තම ප්‍රතිමල්ලවයන් පරාජය කිරීම, පවතින දේශපාලන-ආර්ථික ස්ථාපිතයන් අකර්මන්‍ය කිරීම, සමාජය භියගැන්වීම, සමාජ ආකර්ෂණය පවත්වාගැනීම හා වඩාත් දිගුකාලීන පියවරක් ලෙස තමන්ගේම අනුගාමිකයන් පිරිසක් වින්දිත සමාජයෙන් බිහිකරගැනීම එම අරමුණු අතරින් ප්‍රධානය. ලංකාවේ පාස්කු ප්‍රහාරය හා දිගහැරුණු සිදුවීම් දාමය විග්‍රහ කරගැනීමේදී මෙහි මූලික අරමුණු සියල්ල කෙරෙහි ප්‍රහාරකයන්ගේ අඩු වැඩි වශයෙන් අවධානය යොමු වූ බවට සැක නැත.

මෙම ප්‍රහාරයෙන් තම මූලධර්මවාදයට එදිරිව ගොඩනැගී ඇති කතෝලික ලෝක ආධිපත්‍ය යටපත් කිරීමට ප්‍රහාරයන්ගේ අවධානය යොමු නොකළේය. මන්ද ලංකාව වැනි කතෝලිකයන් සුළුතරයක් වෙසෙන රටක ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සමස්තයක් ලෙස වැඩෙන කතෝලික ආධිපත්‍ය මුළුමනින්ම යටපත් කළ නොහැකි නිසාය. කෙසේවෙතත් ප්‍රහාරකයන් ප්‍රතිමල්ලවන් ලෙස ගණන් ගන්නා සමස්ත ගෝලීය කතෝලික ප්‍රජාව නියෝජනය කරන ලෙස මෙරට කතෝලික ප්‍රජාව වෙත තම අවධානය යොමුකළේය. මේ වන විට ප්‍රහාරය නිසා ලංකාවේ පමණක් නොව ගෝලීය සමාජයම භියගන්වාගැනීමට ප්‍රහාරකයන් සමත්ව සිටී. ඉකුත් ඉරිදා ස්ථාන අටකට එල්ල කළ ප්‍රහාරවලින් සමාජය භයගැන්වීම ආරම්භ කළ ප්‍රහාරකයන් ප්‍රහාරයෙන් පසුවත් තැන තැන දමායන බෝම්බ විටින් විට පුපුරුවාහරින බෝම්බ හා විටින් විට අතඩංගුවට ගන්නා ත්‍රස්ත සැකකරුවන් මගින් සමාජ ආතතිය තවදුරටත් නොනවත්වා රදවාගැනීමට සමත්ව සිටී. මෙම සමාජ ආතතිය තව කොපමණ කාලය අප සමාජයෙ සැරිසරනු ඇත්දැයි නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වුවත් වර්ධනය වූ සමාජ ආතතිය ත්‍රස්තයන්ට පමණක් නොව පාලකයන්ටද තමන්ගේ යටි අරමුණු සඵත කරගැනීමට අවස්ථාවක් බලා සිටි කූට දේශපාලකයන් ව්‍යාපාරිකයන් ඇතුළු අන්තීකරණය වූ ජන සමාජයටම තම තමන්ගේ පහත් අරමුණු ඉටුකරගැනීමට වර්ධනය වූ සමාජ ආතතියම රගමඩලක් සපයා දෙනු ඇත

ලංකාවේ දැනටමත් අකර්මන්‍යව පවතින දේශපාලන ස්ථාපිතය අස්ථාවර කිරීම මෙම ප්‍රහාරයේ අරමුණු අතර නොතිබෙන්නට හැකි වුවත් ආරක්ෂාව අතින්ද ඉසුරුමත්භාවය අතින්ද තරු ලකුණු දිනූ ශැන්ග්‍රිලා කින්ග්ස්බරී හා සිනමන් ග්‍රන්ඞ් යන ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් තුනෙහිත් බෝම්බ පුපුරා යෑම ආර්ථික ස්ථාපිතයන් අකර්මන්‍ය කිරීමට හේතු වනු නියතය. චැනල් 4 නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ප්‍රහාරයෙන් සිදුවන ආර්ථික හානියේ ප්‍රමාණය තවමත් නිසිලෙස ගණනය කළ නොහැකි බවයි. මෙවැනි සුපිරිපන්නයේ හෝටල්වලත් නැති ආරක්ෂාව වෙන කුමන තැනකින් බලාපොරොත්තු විය හැකිද යන්න විදේශ සංචාරකයන් නගන ප්‍රශ්නය වනු ඇත. එම ප්‍රශ්නය විසින්ම රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනෙන සංචාරක කර්මාන්ත පැවැත්ම තර්ජනයට ලක්කරනු ඇත.

ජායාරූපය ඒ එෆ් පී වෙතිනි

මෙහිදී ඉහත කරුණු අතරින් වඩාත් දිගුකාලීන මෙන්ම අවධානම්සහගතම අරමුණ දෙස අපගේ අවධානය දැඩි ලෙස යොමුකරගත යුතුය. මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූයේ කිතුනු භක්තික ප්‍රජාව ය. වැඩිවශයෙන් වින්දිතභාවයට පත් වූයේ කතෝලික භක්තිකයන්ය. වින්දිතභාවයට පත් පාර්ශවය අන්තවාදීන්ට පමණක් නොව ඔවුන් අයත්වන මුස්ලිම් සමස්ත ජනසමාජයටත් එදිරිව ආවේගශීලීවීම පොදු මනුෂ්‍ය සවභාවය ය. එම මනුෂ්‍ය ස්වභාවයේ අනිවර්යතාවය සමස්ත මුස්ලිම් ප්‍රජාවට එරෙහිවම ප්‍රචන්ඩත්වය දිගු කළ හැකිය. එසේ වුවහොත් අන්තවාදීන් නොවන සාමකාමි මුස්ලිම් ජනයාගේ ජීවිතද අවධානයට ලක්විය හැකිය. ඔවුන් අතරින් කතෝලික සමස්තයට වෛරකරන අන්තවාදයේ අනුගාමිකයන් පිරිසක් නිර්මාණය කරගත හැකිය. ඒ අනුව මෙම ප්‍රහාරයේ වින්දිත සමාජය තුළ වර්ධනය විය යුතු ප්‍රචන්ඩත්වයේ අනුහසින් තවත් අන්තවාදියෙකු බිහිකරගැනීමට ප්‍රහාරකයන් බලාපොරොත්තු නොවූවා යැයි නිගමනය නොකර සිටීමට නොහැක. එහෙත් මේ වනවිට අති අමානුෂික ප්‍රහාරයකට මුහුණදීමෙන් පසු වුවද කාදිනල් හිමිපාණන් ප්‍රධාන කතෝලික පූජක සමාජය මෙන්ම කතෝලික සිවිල් සමාජයද ප්‍රදර්ශනය කරමින් සිටින පරිණතකම ප්‍රහාරයෙන් අන්තවාදීන් බලාපොරොත්තු වූ කූඨ අරමුණු වෙත ළගාවීම අසීරු කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුවීමට ඉඩනොදෙමින් කතෝලික සමාජය මෙන්ම කතෝලික සමාජය හා එකට බැදෙමින් සිටින සිංහල-මුස්ලිම් හා දමිළ සමාජයන් විශිෂ්ට නිදර්ශනයක් සපයමින් සිටී. සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇදී ඇති සේ මෙම එකමුතුව පාස්කුවේ කදුළු අන්තවාදීන්ගේ සැමරුමක් දක්වා වර්ධනය වීම කල්පමා කරනු ඇත.

 

Back to Top