Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඅයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය

අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය

by

ඡායාරූපය: අයි සිස් නායක අල්-බග්දාදි.

අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS )සකස් කර ගන්නා ලද කෙටි නාමයයි. කලින් කලට වෙනස් වූ මෙම නාමය දැන් ඔවුන් විසින් සඳහන් ගන්නේ අයිඑස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යන නමිනි.

එසේ වෙතත් ලොාව බොහෝ රාජ්‍යන් එම නාමය සමඟ එකඟ නොවේ. මන්ද යත් එය පිළිගත් රාජ්‍යක් නොවන නිසා ය.

1970 ගණන් වන තුරු මුස්ලිම් සමාජයෙහි මෙැවැනි ආන්තික ප්‍රවණතා බලවත් වූ යේ නැත. මැද පෙරදිග බොහෝ මුස්ලිම් සමාජ පැවැතියේ ආගමික සමාජ වශයෙන් නොවේ. බොහෝ මුස්ලිම් රටවල සැළකිය යුතු බලයක සහිත කොමියුනිස්ට්සමාජවාදී ව්‍යාපාර පවා පැවතිණි.

අටවන සියවසෙහි සිට 15වන සිය වස තරම් දක්වා පැවැති ඉසලාමීය ස්වරණමය යුගයෙහි ලෝකයේ දැනුමෙහි කේන්ද්‍රස්ථානයක් ලෙස මැද පෙරදිග පැවතිණි. ලෝක සම්භාව්‍ය දැනුම අරාබි බසට පරිවර්ථනය කරන ‘ඥාන මන්දිරය’ ඉරාක අගනුවර වූ බැග්ගෑඩයෙහි පිහිටවන ලද්දේ 8වන සියවස තරම් ඈතදී ය.

මුසලිම් සමාජය තුලින් මෙවැනි අන්තවාදී ප්‍රවණතාවයක් බිහිවීමට ප්‍රධාන වශයෙන් සාධක තුනක් බලපැවේ ය. ඒවා මෙසේ ය: 1960 ගණන් මැද භාගයේ සිට මැද පෙරදිග, ඛනිජ තෙල් සම්පත් මගින් බලවත් වීම සහ පසුකාලීනව සවුදි අරාබියෙහි ආගමික දර්ශනය වූ වහාබිවාදය බලවත්වීම. 1979 වසරෙහි දී ඇප්ගනිස්ථානයෙහි රුසියානු ගැති සහ හමුදා ක්‍රමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් කොමියුනිස්ටි පාලනය ආරක්ෂා කිරීම පිනිස සෝවියට් රුසියිනු හමුදා ආක්‍රමණය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ව්‍යාජ හේතු දක්වා කරන ලද ඉරාක ආක්‍රමණය සහ දීර්ඝ කාලීනව බරහිර රටවල් විසින් පලස්තීන ජනයාගේ අයිතින් පාගා දමමින් යුදවාදී ඊශ්‍රාලයට දක්වන සහයෝගය. ඇමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස කරන කරන ලද ඇප්ගනිස්ථාන ආක්‍රමණය ද ඊට බලපෑ‌ෙවේ ය.

රුසියානු ආක්‍රමණය

1979 දී සිදු වූ රුසියානු ආක්‍රමණයට පෙර ඇප්ගනිස්තානය නිදහස් සංස්කෘතියක් සහිත සමාජයක් විය. රුසියානු ආක්‍රමණයට විරුද්ධව මුජහඩීන් නම් මුස්ලිම් මූලධර්මවාදින් බිහිකර ශක්තිමත් කරන ලද්දේ ඇමෙරිකාව විසිනි. කොමියුනිස්ට්වාදී ඇප්ගන් ආන්ඩුවට මහජන සහාය නැතිව ගිය අතර ආක්‍රමණික සොවියට් හමුදාව අවසානයේ දී පරාජයට පත් විය. ආයුධ සන්නද්ධ ඉස්ලාමීය මූලධර්මවාදය පැන නැගුණූ එක් ප්‍රධාන සාධකයක් බවට එය පත් විය.

බින් ලාඩන් විසින් නායකත්වය දෙන ලද අල් ක්වේඩා බිහිවුයේ ද මුජහිඩීන් කන්ඩායම් ඇසුරෙනි. බින් ලාඩන් සවුදි රජ පවුලේ සාමාජිකයකු වූ අතර ඇමෙරිකාවෙහි ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කළ බින් ලාඩන්ගේ කන්ඩායම සමන්විත වූයේ ද සවුදි ජාතිකයින්ගෙනි. එපමණක් නොව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ දෙවන නගරය වව මෞසල් පාලනය කළ සමයෙහි එහි ශරියා නිතිය අනුව නඩු විමසූ විනිසුරන් සියළු දෙනාම ද සවුදි ජාතිකයෝ වූහ. ඉස්ලාමීය රාජ්‍ය සංවිධනය පිළගන්නේ ද සවුදි රාජ්‍ය ආගම වන මුස්ලිම් වහාබිවාදයයි. සවුදි අරාබිය අද දේශපාලනික ඉස්ලාමිය අන්තවාදය ලෝකය පුරා ප්‍රචාරය කරන රාජ්‍ය වේ. ඉස්ලාමීය රාජ්‍ය ඉරාකයෙහි සහ සිරියාවෙහි පවත්වා ගෙන ගිය පාසල් සඳහා පාවිච්චි කරන ලද්දේ සවුදි අරාබියෙහි පාවිච්චි වන පෙළ පොත් ය‍.

සවුදි – අයි සිස් කක්ෂ්‍ය

එසේ නමුත් සවුදි රජය, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිලි නොගන්නා අතර එය විවේචනයට ද ලක් කරයි. අනෙක් අතට ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය, සවුදි අරාබියේ වහාබිවාදය පිළිගන්නා අතර එහි රජ පෙළපත දූෂිත ඉස්ලාම් විරෝධී කණ්ඩායමක් ලෙස සළකා බැහැර කරයි.

වර්ථමානයෙහි ඉස්ලාමීය රාජ්‍ය හෝ ඩෑෂ් යනුවෙන් හැදින්වෙන මෙම සංවිධාන ජාලය ආරම්භ වූයේ ජමාත් අල්තහීඩ් වල්ජිහාඩි යන නමින් 1999 දී ය. පසුව එය එකල ශක්තිමත් ඉස්ලාමීය අන්තවාදී ජාලය වූයේ බින් ලාඩන් විසින් නායකත්වය දෙන ලද අල්ක්වේඩා සමඟ එය එක් විය. 2003 වසරෙහි දී එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු ජමාත් අල්තහීඩ් වල්ජිහාඩි සංවිධානය ඉරාක ආක්‍රමණයට එරෙහිව යුද්ධයකට අවතීර්ණ විය.

අල්ක්වේඩාහි බලය බින් ලාඩන්ගේ මරණයෙන් පසු ක්‍රමයෙන් බැස ගිය අතර ඒ් තැන ගත්තේ ඉස්ලාමීය රාජ්‍ය නමින් ඔවුන් හදුන්වා ගන්නා ජාලය යි. මෙහි මුල් ආරම්කයා 1980 ගණන්හිදී ඇප්ගනිස්ථානයේ පැන නැගි මුජහඩීන් සන්නද්ධ ව්‍යාපාරය ඇසුරෙන් අන්තවාදී අදහස් කරා ඇදි ගිය අබු මුසාබ් අල්සර්කිවී නම් අයෙකි. ඔහු බින් ලාඩන්ගේ සගයකු ලෙස ද කටයුතු කළේ ය.

ඔහු 2006 වර්ශයේ දී ඉරාකයෙහි මරණයට පත් විය. ඉන් අනතුරුව අබු අයූබ් අල්මසාරී නායකත්වයට පත් වී සිය සංවිධානයට ඉරකයේ ඉස්ලාමීය රාජ්‍ය යන නම දුන්නේ ය. ඒනමුත් ඔහු යටතේ ද ඊට විශාල වර්ධනයක් ඇති කර ගත නොහැකි විය. ඇත්ත වශයෙන්ම නම් එතැන් පටන් ගතවූ පස් වසර තුළ එය නොනැසී පැවතුනා පමණි.

ඉස්ලාමීය රාජ්‍යක් කරා

2010 වසරෙහිදී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකත්වයට අල් බග්දාදි පත් විය. වෙනස පටන් ගැනුනේ එතැන් පටන් ය.

මැද පෙරදිග දේශපාලන තත්වය වඩා අස්ථාවර වී තිබුණි. 2010 වසරෙහි පැවැති ඉරාක මැතිවරණයෙන් පසු සුන්නි මුස්ලිම්වරැන් තවදුරටත් කොන් කර තිබුණි. ඉස්ලාමීය රාජ්‍ය පදනම් වන්නේ සුන්නි මුස්ලිම් ප්‍රජාව මතය. ඉරාකයෙහි බහුතරය වන්නේ මේ සුන්නි මුස්ලිම්වරැන් ය.

නමුත් සදාම් හුසේන්ගේ කාලයේ සිට එරට බලය රඳා පවතින්නේ සුළුතර ෂියා මුස්ලිම්වරුන් අතය. මුස්ලිම් සමාජයන්හි පවත්නා ප්‍රධාන බෙදීමක් වන්නේ සුන්නිෂියා බෙදීමයි. සුන්නිවරු ලොව මුස්ලිම් ප්‍රජාව අතර අති බහුතරය වේ. ඉරානය ෂියා මුස්ලිම් රටක් වන අතර සවුදි අරාබිය සුන්නි මුස්ලිම් රටකි. ශ්‍රී ලංකාවේ වාසය කරන අති බහුතරය සුන්නි මුස්ලිම්වරැන් වේ.

අබු බකර් අල්බග්දාදි ඉරාකයෙහි පැන නැගුණු තත්වය ප්‍රයෝජනයට ගෙන සංවිධානය පුළුල් කලේ ය. ඉරාක හමුදාවෙහි සිටි සුන්නි මුස්ලිම් හමුදා ප්‍රධානීහු දහස් ගණනාවක් ද ඊට එක් විය. මේ වන විට මැද පෙරදිග වසන්ත නැගිටීම් ඇතිව තිබුණි. සිරියාවෙහි බසීර් අල්අසාද්ගේ පාලනයට එරෙහිව ඇති වූ මහජන නැගිටීම් මර්දනය කරන ලදී. ඉරාකයෙහි ද යම් තරමක නැගිටීම් ඇති විය. ඒ්වා ද මර්දනය කරන ලදී.

අල්-බග්දාදිගේ අවස්ථාව උදාවෙයි

මෙසේ මර්දනයට හසු වූ පිරිස් ද නැගී එමින් තිබු අල්බග්දාදිගේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට ඇදී ගියෝ ය. 2014 එහි තීරණාත්මක වසර විය. ළග ළග ඒල්ල කරන ලද ප්‍රහාර මාලාවක් මගින් එය ඉරාකයෙහි සහ සිරියාවෙහි විශාල ප්‍රදේශයක් සිය යටතට ගන්නා ලදී. මේ තාක් නමට පමණක් සීමා වී තිබූ ඉස්ලාමීය රාජ්‍ය දැන් යතාර්ථයක් බවට පත් විය. එම රාජ්‍යය කැලිපෙත් ලෙස එනම් පුරාණයෙහි මහා ඉස්ලාමීය රාජ්‍යන් හැදින්වූ පරිදි නම් කෙරෙුණි. එහි නායකයා වූ අල්=බග්දාදි කැලපර් විය. එම යෙදුම් දෙකම ආරබි ඉතිහාසයේ ස්වර්ණමය යුගයට අදාළය.

2015 වන විට එය බ්‍රිතාන්‍ය හා සමාන භූමි ප්‍රදේශයක් ද ලක්ෂ 120ක පමණ ජනගහණයක් ද පාලනය කළේ ය. ය සතුවූ තෙල් ලිං වලින් ද තුළුව වසරකට ඩොලර් බිලියන දෙකක ආදායමක් එය සතු විය.

ඉස්ලාමීය ආගම පිළිබද සිය නිර්වචනය පිළි නොගත් අන් සියළු මුස්ලිම්වරුන්ද ඇතුළුව අන් සියළු ආගම් විනාශ කළ යුතු බව අල්බග්දාදිගේ දර්ශනය විය. ඔහු තමා හදුන්වා ගන්නා ලද්දේ සමස්ත ලෝකයම වසා ගන්නා ඉස්ලාමීය රාජ්‍යයක නායකයා ලෙස ය. ලොව අන් සියළුම සුන්නි වහාබි මතවාදය උඩ අනාගත ඉස්ලාමීය රාජ්‍යක් උදෙසා කටයුතු කරන සියලු සංවිධාන සිය අණසක යටතට පැමිණිය යුතු බවට අල්=බග්දාදි නියෝග කළේ ය. සමහර විට සහරාන් හෂිම් ද ඒ් අනුව කටයුතු කරන්නට ඇත.

විරුද්ධවාදීන් ඝාතනය කරනු!

වමෙම මතවාදයට අනුව ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ ආගමික දර්ශණය පිළිනොගන්නා සියලු දෙනා විනාශ කළ යුතුය. ඊට බහුතර මුස්ලිම් ජනයා ද අයත් ය. අල්ලා ගන්නා ලද ඉරාක සහ සිරියා භූමි ප්‍රදේශයන්හි සිය පාලනය පවත්වා ගත් කාලයෙහි ඒය විසින් අනුගමනය කරන ලද්දේ අතිශය කුරිරු මර්දනකාරී පිළිවෙත් ය‍‍. සිය ආගම පිලි නොගන්නා මිත්‍යා දෘෂ්ඨිකයින් ලෙස සළකා අල්ලා ගන්නා ලද යෂීදි ප්‍රජාවෙහි සියළු පිරිමින්, දරුවන් සහ වැඩිහිටියන් සමූළ ඝාතනය කොට ඒම ස්ත්‍රීන් ලිංගික වහළියන් ලෙස යොදා ගැනිම ඒ් සඳහා ඒක් නිදසුනකි. මෙම ස්ත්‍රින්ට දඩුවම් වශයෙන් පමුණුවන ලදදේ සමූහික ස්ත්‍රී දූෂණයන්ට ලක් කිරිමයි. ඒ් වනාහී අයිසිස් ආගමයි.

කැලිපෙත් ඉස්ලාමීය රාජ්‍ය ඉරණම් සහගත ලෙසම යුද්මය වශයෙන් පරාජයට පත් විය. එම පරාජය එයට අත් කර දීමට පෙරමුණ ගත්තේ මුස්ලිම් රාජ්‍යයන් ම ය. 2019 මාර්තු මාසයේ දී කැල්පෙත්හි අවසාන බිම් කඩද ඇමෙරිකානු හමුදා සහාය ලද සිරියානු කුර්දි සටන්කරුවන් විසින් අල්ලා ගන්නා ලදි. එසේ නමුත් එය ලොව පුරා සිය සන්නද්ධ කණඩායම් ද යම් යම් භූමි ප්‍රදේශයන්ද එය තවමත් පවත්වා ගෙන යයි. සිරියාවෙහි, ඇප්ගනිස්ථානයෙහි, පකිස්ථානයෙහි, නයිජීරියාවෙහි, යේමනයෙහි, බංග්ලාදේශයෙහි යනාදී වශයෙන් එය විවිධ මුහුණුවරින් ක්‍රියාත්මකය. එය මේ වන විට රටවල් 21ක ප්‍රහාරයන් 90වක් සිදු කර තිබේ. පසුගිය මාර්තු මාසයෙහි පළවූ අන්තර් ජාතික වාර්තා කියා සිටියේ ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයෙහි තවමත් පුහුණු සොල්දුදුවන් 20,000ක් පමණ සිටිය හැකි බවත්, ඊට එරෙහි යුද ක්‍රියාන්විතයන් නතර වුවහොත් වසරක් තුළ යුප්‍රටීස් ගංගාව අසළ කලාපයෙහි ස්වාධීන කලාපයක් ලෙස එය මතුවිය හැකි බවය. අයි සිස් අනතුර ලෙහෙසියෙන් ඉවත්ව යන එකක් නොවේ.

දකුණු ආසියාවේ මුස්ලිම් බලය

දකුණු ආසියාවෙහි ඇප්ගනිස්ථානය, පකිස්ථානය, බංගලදේශය සහ මාලදිවයන මුස්ලිම් පාලනයන් සහිත රාජ්‍යන් ය. ඉන්දුනිසියවට පසු ලෝකයෙහි දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය එනම් මිලියන 180ක් (ජනගහණයෙන් 14%) සිටින්නේ ඉන්දියාවෙහි ය. ශ්‍රී ලංකාවෙහි දශ ලක්ෂයක් තරම් ය.

ශ්‍රී ලංකාව යනු ලෝකයෙන් වෙන්කර පාලනය කළ හැකි රටක් නොවේ. එසේ සිතිය හැක්කේ අන්තවාදි ලං මැඩියන්ට පමණි.ලෝක, කලාපීය සහ දේශීය යථාර්තයන් තේරුම් නොගෙන මෙරටට ඉදිරියට යා නොහැක.අයි සිස් සමඟ සටන අන්තර් ජාතික එකකි‍‍.

මෙරට මුස්ලිම් ජනයා අන්තවාදයට විරුද්ධය. එනමුත් සවුදි අරාබියෙන් ගලන මුදල් සමඟ වහාබිවාදය එක් අතෙකට ද අනෙක් අතට දැන් ඉදිරියට පැමිනෙමින් ඇති සිංහල බෞද්ධ අන්තවදී ව්‍යාපාරයන් ද මෙරට මුල් බැස ගත හොත් එවැනි සහජීවනයට ඉඩ අල්ප වනු ඇතිි බව තේරුම් ගැනිීම ද වැදගත් ය‍ .

එසේ වුවහොත් දැන් ඥාණසාරද වැඩ පෙන්වනු ඇති නිසා ශ්‍රී ලංකාවටම අබ සරණ යා හැකිය. එය සිදු නොවීමට ඉඩ දීම අප හැම මුහුණ දෙන අභියෝගය යි.

.

Back to Top