Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංග71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය

71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය

by

ඡායාරූපය: 22,000 තර්ණ පිරිස් කැරැල්ල සම්බන්ධයෙන් සිර කඳවුරු ගත කෙරිණි.

පෙරදා රුයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර අඩිපාරක් හරහා රක්ෂිත ස්ථානයක් සොයා ගමන් කරමින් සිටියෙමු. උදෑසන හයට නිවෙසක රේඩියෝවෙන් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේ ය. අපට මෙන්ම කොළඹ ද ප්‍රහාරයන් අසාර්ථක වී ඇති බව විදුලි පහරක් මෙන් ඇඟට වැදුණේ ය. ඒ පිරිත් වෙනුවට උදෑසන ප්‍රචාරය විය යුතුව තිබූ විජේවීර සහෝදරයාගේ කතාව රේඩියෝවේ වාදනය නොවූ නිසා ය. විජේවීර ඒ වන විට යාපනය බන්ධනාගරයේ රඳවා තිබූ නමුත් ඔහුගේ් කඩහඩ අනුකරණය කරමින් වෙනත් සහෝදරයකු විසින් එම කතාව පටිගත කර තිබුණි. මා දැන සිටි පරිදි ඒ දේව බණ්ඩරගේ කට හඩිනි. 1989 භීෂන සමයෙහි දී එම විජේවිරගේ ම අණ පරිදි රටපුරා පුද්ගල ඝාතන දේශපාලනයක් මුදා හැර සිටි ජවිපෙ වෙඩි පහරකින් ඔහු මිය ගියේ ය.

71 කැරැල්ල වඩාත් නිවැරදිව කියන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ මෙරට නව දේශපාලනයක ආරම්භය විය. කැරැල්ල වනාහී එහි වර්ණවත් ප්‍රකාශණය යි. අඩ සියවසකට ආසන්න කාලයක් දැන් ජනතා විමුක්ති පෙරමුණ පැවත තිබේ. 1930 ගණන් මු ආරම්භ වූ මෙරට ප්‍රථම වමේ දේශපාලන පක්ෂ 1963 දී උච්චතම අවස්ථාවට පැමින ඉන් පසු බැස ගියේ ය. අද එම පක්ෂ නාමපුවරු සංවිධාන පමණි. ජවිපෙ 1989 දී ප්‍රඡන්ඩත්වයෙන් උච්චාවස්ථාව පැමිනිි අතර පාර්ලිමේන්තු දේශපාලනයේ උච්චාවස්ථාවට 2005 දී ළඟා විය. යළිත් එවැනි මුදුනක් කරා ළගා විමට ජවිපෙට හැකිවනු ඇතැයි සිතීම දුෂ්කර ය. එසේ වෙතත් ජවිපෙ තවමත් ජවාධික සහ තමන්ග්ම පැවැත්මක් ඇති දේශපාලන ව්‍යාපාරයකි. එය මෙරට දේශපාලනයෙහි තීීරණාත්මක භූමිකාවක් නියෝජනය කරයි. අවවර්ධිත ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ සාධාරණත්වය මූලික කරගත් වාම දේශපාලන ව්‍යාපාරයකට ඇති අවකාශය තේරුම් ගැනීම 71 කැරැල්ලෙන් උගත් ප්‍රධාන පාඩම විය හැකි ය.

අද යළිත් වතාවක් ජවිපෙ ගැන සමාජ උනන්දුවක් ඇතිව තිබේ. ඒ එහි දේශපාලන ගමන් මඟ නිසාම නොව රාජපක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන ජන පිරිස් අතර වික්‍රමසිංහගේ මෙන්ම සිරිසේනගේ දේශපාලනය ද පහළටම වැටී ඇති නිසා ය. එමෙන්ම ජවිපෙට ජන්දය දෙන බව කීම උන්නතිකාමී මධ්‍යම පංතික පිරිස් අතර නම්බුවක් බවට ද පත්ව ඇති නිසා ය. මෙලෙස අලුතින් ජවිපෙට අැලුම්කරන පිරිස් එය 2020 මහ මැතිවරණයෙන් බලයට එනු ඇතැයි හෝ විශාල ඉදිරි පිම්මක් පනිනු ඇතැයි සිතන්නේ ද නැත.

එදා 1971 ජවිපෙ සහ අද 2019 ජවිපෙ යනු එකක් ම වන අතර එකක් ම නොවේ. එදා මෙදා බොහෝ දේශපාලන වෙනස්කම් ලෝක දේශපාලනයෙහි ද දේශීය දේශපාලනයෙහි ද සිදුව තිබේ. නමුත් අප ඇත්ත දේශපාලන යථාර්ථයට මුහුණ දෙන්නේ නම් අද ජවිපෙ සිටින්නේ 71 දේශපාලන අභිප්‍රාය වූ බලය අල්ලා ගැනීමට බොහෝ පිටු පසිනි. 71 අරගලයට වඩා අතිශය ප්‍රචන්ඩ වූ අරගලයක් මගින් බලය අල්ලා ගැනීමට 1998- 89 දී දරන ලද දෙවන උත්සහාහයෙන්ද ජවිපෙ පරාජයට පත් විය.

අප්‍රේල් කැරැල්ල යුද්ද අභ්‍යාසයක් වශයෙන් හෝ දේශපාලන නැගිටීමක් වශයෙන් හෝ අසාර්ථකවීම සම්බන්ධයෙන් ජවිපෙට ඉන් වසර හතලිස් අටකට පසු පවා නිශ්චිත අදහසක් පෙනෙන්නට නැත. එමෙන්ම 1988-89 සන්නද්ධ වැඩපිළිවෙළ අසාර්ථක වූයේ ඇයිද කියා හෝ විස්තරාත්මක අදහසක් හෝ ජවිපෙට ඇති බවක් නොපෙනේ. සමහර විට ඒ සම්බන්ධ රහසිගත විග්‍රහයන් තිබෙනවා වන්නට පුළුවන. එනමුත් මෙරට සමාජය සමඟ බෙදා ගත් එවැනි දේශපාලන විග්‍රහයක් නම් නැත. නූගත් පාඩම් ඇතුළත් වන්නේ මෙන්න මේ හිඩැසට ය.

71 කැරැල්ල සමාජ විප්ලවයක් නොවේ. එය උන්නතිකාමී තරුණ ව්‍යාපාරයක රහසිගත ප්‍රහාරයකි. එම තරුණ ව්‍යාපාරයේ අරමුණ ‘සමාජවාදය’ පිහිටුවීම වූ බවත් එහි සාමාජික සාමාජිකාවන් මහත් කැපවිමක් ද අධිශ්ඨානයක් ද පෙන් වූ බව ඇත්ත ය. එසේ නමුත් එහි ප්‍රධානතම අවිය වූයේ සන්නද්ධ ප්‍රහාරය යි. මතුපිටින් නොපෙනුණු නමුත් 71 අරගලය තුළ ද මහත් දේශපාලන ප්‍රචන්ඩත්වයක විභවය පැවැතුණි. විප්ලවයෙන් පසු ඝාතනය කළ යුතු ප්‍රතිගාමීන්ගේ ලැයිස්තු සකස් කරන ලෙසත් අවශ්‍ය වුවහොත් සමූහ වශයෙන් වළ දැමිම පිනිස විශාල වළවල් කැපීමට සූදානම්ව සිටින ලෙසත් උපදෙස් ලැබී තිබුණි.

මතවාදී වාද විවාද වෙනුවට 71 සමයේදීත් ජවිපෙ යොදා ගත්තේ බලය අවිය වේ යන පිළිවෙත යි. විරුද්ධවාදින්ට පහර දීම පිළිගත් උපක්‍රමයක් විය. ධර්මසේකර කණ්ඩායම විසින් ජවිපෙ විවේචනක් ලෙස ලියා පොත් පිංචක් මුද්‍රණය කරමින් තිබුණි. එම මුද්‍රණාළයට රහස් පොලීසියෙන් යැයි කඩා පැන එම පොත් තොගයෙන් විශාල ප්‍රමාණයක් පැහැරගෙන විත් ගිනි තබා විනාශ කරන ලද්දේ ද එම න්‍යාය අනුව ය. අපි ‘විරෝධය’ කණ්ඩායමේ පුවත්පත් විකුණමින් සිටි කිහිප දෙනෙකුට දියතලාවෙහි දී අතින් පයින් පහර දුන්නෙමු. එම සිදුවීම් ව්‍යාපාරය තුල පැතිර ගියේ වීීරක්‍රියා ලෙස ය. අනෙක් සියළු වාම විප්ලවාදී කණ්ඩායම් අප විසින් සළකන ලදදේ ද්‍රෝහීන් ලෙස ය.

කපටිකම් මගින් ව්‍යාපාරයේම සිටි පිරිස් රැවටවීම ද තවත් ලක්ෂණයක් විය. ඒ සඳහා බොරු මධ්‍යම කාරක සභාවක් පවා ඇති කර තිබුණි. එකළ විජේවීර ළගට සිටි හොදම කථිකයා වූ මහින්ද විජේසේකර එළෙස රවටවන ලද එක් අයෙක් විය. එස්.ඩී. බණ්ඩාරනායක තවත් අයෙකි.

ජවිපටෙ අනුව තමන් පමණක් සුපිරිසිදු වන අතර අන් සියළු දෙනා පාචවිච්චිකර ඉවත දැමිය යුතු අත පිස්නා කඩදාසි වැනි ය. එය 1971 දී සිට අද දක්වාම පැවත එන න්‍යායකි. එබැවින් අන් බලවේග හෝ පුද්ගලයින් සමඟ එක් විය යුත්තේ ඔවුන් පාවිච්චි කිරීමට පමණ ය. 2015 මහ මැතිවරණයේ දී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ සැබෑ මහත්මයකුට සිදු වුයේ ද අත පිස්නාවක් විමට ය. ජවිපෙ විසින් ඔහු පිවිච්චි නොකලේ නම් අද ස්වාධීන කොමිෂන් සභාවක මුල් පුටුවක් හෙබවීමට ඔහුට අවස්ථාව තිබුණි.

එදා සිට අද දක්වාම ජවිපෙහි අන‍්න්‍යා ගැරහීමේ සහ මැඩළීමේ ඉහත කී ලක්ෂන පැවත එයි. පෙරටුගාමීන් ලෙස පක්ෂයේ පිරිසක් කැඩී ගිය විට රට පුරාම ඔවුන්ට අතින් පයින් පහර දීමට ජවිපෙ ක්‍රියා කළේ ඒ අනුව ය.

1960 ගණන් අවසාන භාගයේ දී ජවිපෙ පේරාදෙණි සරසවියේ ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය අල්ලා ගැනීමට පවා බලය පාවිච්චි කළේ ය. ඒ ශිෂ්‍ය ව්‍යාපාරයෙහි ආරම්භක බලය අල්ලා ගැනීම යි. එදා සිට අදවන තුරුම ජවිපෙ වේවා පෙරටුගාමින් වේවා සරසවි ශිෂ්‍ය සංගම් පාලනය කරන්නේ අනීතික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම වලනි. ඇත්ත වශයෙන්ම නම් සරසවි තුල නවක වදය භීෂණයක් බවට පත්විම ජවිපෙ දේශපාලනය මෙරට සරසවි තුල තහවුරුවිමට සමානුපාතික ය. නවක වධය වැළැක්වීමට මෙම දේශපාලනය කිසිදු උත්සාහයක් නොගන්නේ ප්‍රචන්ඩත්වය සහ බලය පිළිබඳව පෙකැනිවැළ කැපූ දා සිට එන උන්මාදය නිසා ය.

1971 දීත් අප සිතා සිටියේ අප සියල්ල දත් සුපිිරිසිදු ව්‍යාපාරයක් ලෙසයි. විවේචන නොඉවසීම යනු වෙනත් අර්ථයකින් නව දැනුම සොයා නොයාමය. ලෝකයෙහි සමාජ සාධාරණත්ව දේශපාලන ප්‍රවාහයන් අතර සිදුව ඇති සමාජ දේශපාලනික මතවාදී වර්ධනයන් ජවිපෙ සහ අනෙක් එවැනි කණ්ඩායම් තුළට කාන්දු නොවන්නේ එදා සිට අද දක්වාම පවතින ස්වකීය කුළකය තුළම ජිවත්වීමේ රෝගය නිසා ය.

ජවිපෙ සිය දේශපාලන ගමන්මඟ තුළ උච්චාවස්ථානයන්ට පැමිණී අවස්ථා දෙකෙහිම ගාමක බලය වූයේ යුදවාදය සහ සිංහල බෞද්ධ ජාතිකවාදයයි. ඒ පෙර කී පරිදි 1989 සන්නද්ධ ප්‍රහාර සහ 2005 මහ මැතිවරණය යි. 1971 දී ද එම මතවාද මහත් තල්ලුවක් වී තිබුණි.

එනමුත් අද ජවිපෙට ඒ මාවතෙහි යා නොහැක. දූෂන විරෝධය දැන් මළකඩ කා තිබේ. ජවිපෙ බලයට එනු ඇතැයි සිතා ජන්දය දෙන පිරිස් අල්ප ය. 71 හෝ 89 වෙනුවෙන් ජන්දය දෙන පිරිස් ද අල්ප ය. ජවිපෙට ආකර්ශනී්‍ය දිදුලන තාරකා ද නැත. එසේ නම් එය අද සොයා ගත යුතු ගාමක බලය කුමක් ද?

ඒ සඳහා කළයුතු කතා බහ ඇත්තේ 71 සහ 89 සන්නද්ධ අරගල කතිකාවෙන් සහමුලින්ම පිටත ය. එය අලුත් දේශපාලනයක් විය යුතුය. ඒ සදහා ලෝකය දෙස බැලිය යුතු ය. සාධනීය වෙනස්කම් වන්නේ කොහිද? කෙසේ ද? කුමන බලවේග සමඟ ද? යනාදී වශයෙනි. 71න් උගත යුතු වැදගත්ම පාඩම නම් දැන් නව පර්යායලෝකයක් සහිත දේශපාලනයක අවශ්‍යතාවය යි.

Back to Top