Sri Lanka Brief
පුවත්විවරණලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු!

ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම: සංඝයා ‌‌ගේ sex කතා තහනම් නම් ත්‍රිපිටකය තහනම් කරනු!

by

ශක්තික සත්කුමාර විසින් ලියා මුහුණු පොතේ පළකළ කෙටිකතාවක් හේතුවෙන්, භික්ෂූන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කර ගෙන, අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ ඇති වෛරී ප්රකාශ සම්බන්ධයෙන් වරදක් සිදු කළැයි කියා ඔහු ලබන අප්රේල් 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ශක්තික යනු කවුද? –

2017 වසරේ ශක්තික සත්කුමාර ලියූ ‘වැලි’ කෙටි කතා සංග්රහය රාජ්ය සාහිත්ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ විය. එම කෙටිකතා සංග්රහයම එම වසරේ වයඹ පළාත් සාහිත්ය සම්මාන උළෙලේ සම්මානයට පාත්රවිය. ඔහු විසින් ලියූ ‘කූඩු’ (2018) ‘සිව් වෙනි පරපුර’ (2016), ‘මිනී කපන්නාගේ හෘද සාක්ෂිය’ (2015), ‘පතොක් කටු’ (2012) සහ ‘කළු මකරා’ (2010), යනුවෙන් තවත් කෙටිකතා සංග්රහ පහකි. මේවාට අමතරව ඔහු විකිරණ ගැහැණිය (2018) නම් කෙටිකතා සංග්රහයක් තවත් ලේඛකයකු හා සමකතෘත්වයෙන් එළි දක්වා ඇත. එසේම වෙඩි වැදුන පන්හිඳ (2010) ඔහු විසින් ලියන ලද කාව්ය සංග්රහයකි.

2010 සහ 2014 වසරවල දී විශිෂ්ටතම කෙටිකතාකරුවාට හිමි යෞවන සම්මාන දිනා ඇත. එසේම ඔහුගේ කෙටිකතා සංග්රහ තෙවරක්ම වයඹ සාහිත්ය සම්මානය හිමිකර ගෙන ඇත. ඔහු කැළණිය විශ්ව විද්යාලයේ සිංහල විශේෂවේදී (ගෞරව) උපාධිධාරියෙකි. කොළඹ විශ්ව විද්යාලයේ ජනමාධ්ය ඩිප්ලෝමාධාරියෙකි. ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවද හිමි ඔහු, බෞද්ධ හා පාලි විශ්ව විද්යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

කෙටිකතාවලට අමතරව ඔහු ශාස්ත්රීය සහ සාහිත්ය විචාර පොත් ගණනාවක් ද ලියා ඇත. ඒ අතර ‘පණ ගැහෙන අකුරු’ (ශාස්ත්රීය ලිපි සංග්රහය), ආරියරත්න විතානයන්ගේ තෝරාගත් පුවත්පත් ලිපි පිළිබඳ විමර්ශනයක් වන ‘ලුහු බඳින මිනිසා’, සහ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව පිළිබඳ විමර්ශන කෘතියක් ද ලියා ඇත. එසේම උසස්පෙළට අදාළ සාහිත්ය විමර්ශන ද,‘හිරු සොයා යන මිනිස්සු’, සහ ‘මතක පාලම’ යන නම්වලින් චරිත කතා සංග්රහ දෙකක් ද සිදු කර ඇත. එසේම ඔහු ජාතික පුවත්වල සාහිත්ය සංවාද මෙහෙය වූ, සාහිත්ය විමර්ශන ලිපි ලියූ පුද්ගලයෙකි.

විවාදයට තුඩු දුන් කෙටිකතාව –

විවාදයට තුඩු දුන් කෙටිකතාවේ සඳහන් වෙන්නේ සිවුරු හැර ගිය උපාධිධාරී (පෙර) භික්ෂුවකගේ කතාවකි. ඔහු සිවුරු හැරීමෙන් පසු, තම භික්ෂු නේවාසිකාගාරයෙන් නික්මී, වෙනත් යහළුවකුගේ (ලොයිඩ් අයියාගේ) බෝඩිමට පැමිණ එහි නතර වෙයි. එහිදී ලොයිඩ් අයියා විසින් ලියන ලද කෙටිකතාවක රාහුල යනු සිද්ධාර්ථගේ දරුවකු නොවේ යැයි කියවෙන ඡේදයක් කතානායකයාට කියවයි. කතා නායකයාගෙන් එම කතාව වෙත එල්ල වන්නේ විරෝධයක් වන අතර, ඔහු කියන්නේ එම ලිවීම ගිනි තැබිය යුතු බවයි. ඒ ගැන කෙටි සංවාදයක් අඩංගු වේ. ලොයිඩ් අයියාගේ නවාතැනේ සිටින අතර කතා නායකයා සිහිනයක් දකින අතර, එහි දකින්නේ ලොකු හාමුදුරුවන්ගේ ලිංගේන්ද්රිය කපා ඇති දර්ශනයකි. ඔහු බය වී අවදි වෙයි. ලොයිඩ් අයියා කතා නායකයාගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණ විදුලි බුබුල දල්වයි. විදුලි බුබුල නිවන ලොයිඩ් අයියා ගීතයක් මුමුණන හඬ කණ ළඟින් ඇසෙන්නට ගත් බවත්, ලොයිඩ් අයියා වෙතින් ලොකු හාමුදුරුවන් වෙතින් ආ සුවඳ දැනුනු බවත් කතාවේ සඳහන් වේ.

ඔහුට විරුද්ධව පැමිණිලි කළේ කවුද? –

මේ කෙටි කතාවෙන් සහ ඔහු විසින් ලියා ප්රකාශයට පත් කිරීමට නියමිත ‘ගජමුතු’ නම් කෙටිකතා සංග්රහයකින් බුද්ධාගමට අපහාස වෙන බව කියමින්, අඟුලුගල්ලේ ජිනානන්ද හිමි විසින් පසුගිය පෙබරවාරි 25 වැනිදා පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන ලදී. දණ්ඩ නීති සංග්රහයේ 291 ආ කොටස යටතේ හෝ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන ප්රඥප්තිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස එම ලිපියෙන් යෝජනා කර ඉල්ලා සිට ඇත.

මේ ලිපිය නිකුත් කරන අගුළුගල්ලේ ජිනානන්ද හිමි 2014 අගෝස්තු 4 වැනි අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ රැස්වීමකට බාධා කළ පිරිසට නායකත්වය දුන් පුද්ගලයාය. එසේම 2018 අගෝස්තු 03 වැනි දින බුදුන්ගේ රස්තියාදුව පොතට විරුද්ධව පැමිණිලි කරන්නේ ද, උන් වහන්සේ ඇතුළු පිරිසකි.

අගුළුගල්ලේ ජිනානන්ද හිමි පිරිසට අමතරව, මේ සම්බන්ධයෙන් දෙවැනි වරට ලිපියක් බුදු දහම රැක ගැනීමේ යොවුන් පෙරමුණ නම් පොල්ගහවෙල පිහිටි සංවිධානයක් විසින් 2019 මාර්තු 07 දින ජනමාධ්ය වෙත නිකුත් කරන ලදී. එම ලිපියේ සඳහන් වෙන ආකාරයට එම ලිපිය නිකුත් කිරීමට පෙර ශක්තික සත්කුමාර වැඩ කරන සේවා ස්ථානය වෙන පොල්ගහවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි භික්ෂූන් පිරිසක් විසින් ද (එම ස්ථානයේ කලබල සිදු කර) මේ ගැන ප්රාදේශීය ලේකම්තුමාට පැමිණිලි කර ඇත. මේ දෙවැනි ලිපියේ ශක්තික මහතාගේ දරුවන් එතුමාගේ නොවන බවත්, එතුමා සමලිංගිකයෙක් බවත් කියමින් පෞද්ගලික මඩ ප්රහාරයක් සිදු කිරීමට ද උත්සාහ දරා ඇත. එම ලිපියේ අත්සන් කළ පුද්ගලයාගේ නම සඳහන් නොවේ. බොහෝ විට මේ පිරිස ද පෙර පැමිණිල්ල සිදු කළ පිරිසටම සම්බන්ධ පිරිසක් යැයි අනුමාන කළ හැකිය.

අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යොදා ගැනීම –

අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය යනු මූලික වශයෙන් මානව හිමිකම් ලබා දීමට ඇති නීතියකි. එය අපරාධ නීතියක් ලෙස කිසිසේත්ම භාවිතා කළ යුතු නොවේ. මේ ප්රඥප්තියේ 19.1 යටතේ සියලුම දෙනාට බාධාවකින් තොරව මත දැරීමේ අයිතිය, 19 (2) යටතේ අදහස් ප්රකාශනයේ නිදහස ගැනත් සදහන් වේ. නමුත් මේ කොටස් ඇතුළුව වෙනත් බොහෝ අයිතිවාසිකම් ලංකාවේ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ නැත. ලංකාවේ මේ පනත බොහෝ දුරට සකසා ඇත්තේ වෛරී ප්රකාශ, සහ ත්රස්තවිරෝධී නීතියක් සහ ප්රධාන වශයෙන් ළමා අයිතිවාසිකම් පනතක් වශයෙනි. ප්රඥප්තියේ අඩංගු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ලංකාවේ පනත ඇතුළත නැත. මේ කරුණ ගැන නිසි සංවාදයක් ඇති කර නොගෙන, පසුගිය කාලයේ මේ පනත වෛරී ප්රකාශ සම්බන්ධ නීතියක් ලෙස යොදා ගැනීමට කටයුතු කිරීමේ අතුරු ප්රතිඵලයක් ලෙස පනතේ අභිමතාර්ථවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ ලෙස මේ පනත යොදා ගැනීම අද වන විට සිදු වී ඇත. අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය යොදා ගෙන ලේඛකයකු අත්අඩංගුවට ගත් ලොව ප්රථම රට ලංකාව වන්නට පුළුවන.

අනෙකුත් ලේඛකයන්ගේ ප්රතිචාර –

මේ සම්බන්ධයෙන් හෙළා දකිමින් ප්රවීන ලේඛක ජයතිලක කම්මැල්ලවීර, සහ තිඹිරියාගම බණ්ඩාර විසින් අදහස් දක්වා තිබුනි.
ප්රවීන ලේඛක ජයතිලක කම්මැල්ලවීර මාර්තු 12 වැනිදා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ වෙත ලිපියක් යොමු කරමින් මෙසේ පවසා තිබුනි.“මේ ප්රකාශයේ සදහන් වන ශක්තික සත්කුමාරගේ කෙටිකතාවෙන් බුද්ධ ධර්මයට කිසිදු නිගාවක් අපහාසයක් සිදු නොවේ. යසෝධරාව ගැන සදහන් දේ ද බුදුන්ගේ ධර්මයට සම්බන්ධ දෙයක් නොවේ. පන්සල්වල සිදුවන සමලිංගික පැවතුම් ගැන ලිවීම බුදු දහමට කෙසේ සම්බන්ධ වේ දැයි අපට නම් නොවැටහේ.”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පන්සල්වල සිදුවන සමලිංගික හැසිරීම් සමාජයට රහසක්ද නොවන බවත්, තමාද ඒ සම්බන්ධයෙන් නවකතාවක් මීට වසර 20කට පමණ පෙර ලියූවත්, විචාරක ඇගයීම්වලට මිස, බුදු දහමට අපහාස වේ යැයි කිසිදු සංඝයා වහන්සේ නමක් විසින් විවේචනය නොකළ බවත්ය.
තවදුරටත් ඔහු ප්රකාශ කර තිබුනේ “ඔබවහන්සේ සැබෑ බුදු දහම දන්නා විනය ගත භික්ෂුවක් වන්නේ නම් මෙවැනි පුද්ගල චරිත ඝාතන කරන්නේ නැති බවත් මේ ප්රකාශයෙන් පෙනෙන්නේ ඔබගේ සංවිධානය බුදු දහම රකින්නක් නොව සංඝයාවහන්සේලා යයි පෙනී සිටින සමහර අයගේ සියලු අවකල් ක්රියාවන් වසන් කර ගැනීම සදහා බුදුදහම යන යෙදුම යොදා ගන්නා සංගමයක් බව”ත්ය.

මේ ගැන අදහස් දක්වන තිඹිරියාගම බණ්ඩාර කියන්නේ ප්රවීන ලේඛක මාර්ටින් වික්රමසිංහ ඇතුළුව ලංකාවේ භික්ෂූන්ගේ ක්රියාකලාපය ගැන විවිධ ලේඛකයන් විවේචනාත්මක අදහස් දක්වා ඇති බවයි. ඔහු තවදුරටත් කියන්නේ “බුදුදහම යනු චින්තන නිදහස අගයන දහමක්” බවත්, “සමාජයට පිළලයක් වී ඇති ඇතැම් භික්ෂූ කල්ලි ලේඛකයන්ගේ නිදහසටද පහරදීමට මාන බලන” බවත්, මේ සම්බන්ධයෙන් මහජනයා පෙරට පැමිණිය යුතු බවත්ය.

මේ ගැන තවත් ලේඛකයෝ ගණනාවක් ද විරෝධය දක්වා තිබුනි. එසේම මාර්තු 9 වැනිදා ලංකා ලේඛක සංවිධානය වෙනුවෙන් ටෙනිසන් පෙරේරා සහ කමල් පෙරේරා විසින් ද මේ ගැන විරෝධය දක්වා ලිපියක් මාධ්ය වෙත නිකුත් කර තිබුනි.

භික්ෂූන්ගේ ලිංගික ක්රියා ගැන කතා කිරීම වරදක් නම්, ඒ ගැන පළමුව කතා කර ඇත්තේ මෑතකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා සියලු භික්ෂු නිකායන් හා එක්ව ලෝක උරුමයක් ලෙස අති ගෞරවනීයව ප්රකාශයට පත් කරන ලද ත්රිපිටකයේ පාරාජිකා පාලියම බවත් අපි මතක් කරමු.

 සමලිංගිකත්වය විකෘතියක්ද?

එසේම බුදු දහම රැක ගැනීමේ යොවුන් පෙරමුණ නම් පොල්ගහවෙල පිහිටි සංවිධානය නිකුත් කළ මාධ්ය නිවේදනයේ ශක්තික සත්කුමාර සමලිංගිකයෙකු බවත් එවැනි ‘විකෘති පුද්ගලයින්ගේ’ නිර්මාණ, විචාර ලිපි හෝ ලිපි පළ නොකරන ලෙසත් මාධ්යයෙන් ඉල්ලා තිබුනි. ශක්තික සත්කුමාර මහතාගේ ලිංගිකත්වය එතුමාගේ පුද්ගලික දෙයක් වන අතර ඒ පිලිබඳ කිසිවෙකු ප්රශ්නයක් කරගත යුතුව නැත. එහෙත් මෙම බුදු දහම රැක ගැනීමේ යොවුන් පෙරමුණ ඔහු සමලිංගිකයෙකු ලෙස හුවා දක්වා ඇත්තේ ඔහු ‘විකෘති පුද්ගලයෙක්’ බව ඔප්පු කිරීමටය. කණගාටුවට කරුණ වන්නේ මෙම බුදු දහම රැක ගැනීමේ යොවුන් පෙරමුණ නොදන්නා කරුණ නම් සමලිංගිකත්වය ‘විකෘතියක්’ නොවන බවයි. දැනුම යනු ඉබේ ලැබෙන්නක් නොවන අතර එය සොයා යා යුතුව ඇත. ලෝක සෞඛ්ය සංවිධායන ඇතුළු කිසිම මනෝවිද්යා සංගමයක් (ලංකාවේ ඇතුළුව) එය අනුමත කරන්නේ නැත. එබැවින් හුදෙක් පුද්ගලයින්ට අවමන් කිරීම සඳහා ඔවුන්ට ‘සමලිංගික ලේබලය’ ඇලවීම බුද්ධියට කරන අවමානයක් මෙන්ම මනුෂ්යත්වයටද කරන නිගාවකි. බුදු දහම රැක ගැනීමට යැයි පැමිණ ඇති මේ යොවුන් පෙරමුණේ ප්රකාශය බුදු දහමට නිගාවක් වන අතර අපි එය තරයේ හෙළා දකිමු.

දේදුනු සංවාද
2019 අප්රේල් 02

((c)  දේදුනු සංවාද – Dedunu Sanwada )

ශක්තික විසින් ඒළිදැක්වීමට නියමිත ‌ෙකෙටි කතා සංග්‍රහය තහනම් කරන ‌ලෙස ඉල්ලා ‌ෙ‌ෙබෞද්ධ සංවිධානයක් විසින් යවා ඇති ලිපිය පහත පළවේ

Back to Top