Sri Lanka Brief
පුවත්විවරණරටේ ආරක්ෂාව මුවාවෙන් සිදු කළ උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ලය – සල්පිටියේ ධම්මදස්සි හිමි

රටේ ආරක්ෂාව මුවාවෙන් සිදු කළ උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ලය – සල්පිටියේ ධම්මදස්සි හිමි

by

මගේ හිතවත් එක්තරා නීතිඥ මහතෙක් දිනක් මට කතාවක් කීවේය.

“අපේ හාමුදුරුවනේ…. අපේ රටේ ඉන්නේ වැඩි හරියක් බිංකුණ්ඩෝ”

මට ඔහුගේ කතාව මට තේරුණේ නැත. නමුත් අපි කුඩා කාලයේ ගෙදර පිලිකන්නේ වැලි අතර වළවල් හාරාගෙන සිටින කුඩා බිංකුණ්ඩන් නැටවු ආකාරය මට මතක් විය.

“බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ
තෝත් නටාපිය උඩරට නැටුමක්-
මාත් නටන්නම් උඩරට නැටුමක්
බිං කුන්ඩෝ බොළ බිංකුණ්ඩෝ” යැයි කියමින් බිංකුණ්ඩන් නැටවූ අපි, මම පැවිදි දිවියට එළඹුනායින් පසු කිසි දිනෙක බිංකුණ්ඩන් නටවා නැත. මක් නිසාද යත් එය සත්ව හිංසාවක් ලෙස සැළකෙන බැවිනි. කෙසේ වෙතත් අපේ ගමේ මිනිසුන් බිංකුන්ඩාට භාවිතා කළේ එම නම නොව “පාණිත්තා” යන නමයි.

ඒ නිසා “බිංකුණ්ඩෝ නටවන කවිය” “පානිත්තෝ” යැයි අපි වෙනස් කළෙමු..

“මොකක්ද….. මහත්තයා ඒ කතාවේ තේරුම?” මම ඇසීමි.

“ බලන්න හාමුදුරුවනේ.. අපේ රටේ උසාවිවල පිරිලා තියෙන නඩු වලින් වැඩි හරියක් ඉඩම් නඩු. මැරෙන කම් පර්චස් එකකට දෙකකට බෙදාගන්න බැරිව නඩු කියනවා.. අන්තිමට කිසිම තීන්දුවක් නැතිව දෙපාර්ශ්වයේම මුළිකයෝ මැරෙනවා…. ඒ ප්‍රශ්නය ඊලඟ පරම්පරාවට බාර දීලා.. මං ඒකයි කිව්වේ අපේ රටේ ඉන්න වැඩි හරියක් බිංකුණ්ඩෝ කියළා.. ඉඩම් මත්තේ මැරෙන්න හදන හන්දා…”

“ඒකනම් ඇත්ත තමයි” මම ඔහුට කීවෙමි..

යුද්ධය අවසන් වී දස වසරකට පසුවත් උතුරේ ජනයා අවතැන් කඳවුරු වල

බිංකුණ්ඩන් ගැන කතාව යළිත් මට සිහිපත් වුයේ පසුගිය සතියේය. ඒ ඉඩම් තිබෙන නිසා නොව තිබෙන කුඩා ඉඩම් කැබැල්ලත් යුද්ධයේ මුවාවෙන් අහිමි කළ පිරිසක් මට මගේ දෑහින් දැක ගන්නට ලැබුනු නිසාය. ඒ මම පසුගිය සතියේ යාපනයට ගියේ මගේ මිතුරෙක් සමගය. උතුරේ යුද්ධය අවසන් වී දැනට වසර 10ක් පමණ ගත වී ඇතත් තවමත් උතුරේ අවතැන් කඳවුරු අවසන් වී නැත. මම පසුගිය සතියේ එහි යනවිටත් පවුල් 528 ක ජනතාව අවතැන් කඳවුරු 23 ක ගාල් කර සිටින බව දැනගන්නට ලැබිණි.

එහි එක් කඳවුරකට මම ගියෙමි. මේ දිනවල රටේ අනිත් ප්‍රදේශවලට මෙන්ම යාපනයට ද නියඟය තදින් බලපෑම් එල්ලකර තිබේ. දවල් වනවිට ඉන්න හිටින්නට බැරි තරමට වාතය උණුසුම් වේ. තහඩු සෙවිළි කළ පැල්පත්වල සිටින කුඩා දරුවෝ මෙන් ම කාන්තාවෝ ද “නිමි ජාතකයේ එන කිහිරඟුරු නරකය” සිහිපත් කරමින් එම ගිනි ගෙන දැවෙන පෝරණු මෙන් ඇති නිවාසවලට වී බීමට ජල පොදක් හෝ නැතිව විඳින දුක මම දෑසින් දැක්කෙමි.

මේ සියලු දෙනා 2009 අවසන් කළ යුද්ධය නිසා අවතැන් වූවෝ වෙති. විශේෂයෙන් එවකට තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙමළ ජනතාව සතු ඉඩම් අධි ආරක්ෂක කලාපයට යැයි කියමින් රජයේ ආරක්ෂක හමුදා විසින් පවරා ගනු ලැබු අතර, මෙම දෙමළ ජනතාව අවතැන් කඳවුරුවලට ගාල් කරනු ලැබීය. එසේ පවරා ගත් ඉඩම් දැනට වසර 10 ක් ඉකුත් වී ඇතත් තවමත් එම ජනතාවට බාර දී නැත.

ධනිය ගොපාළලා

තෙලිප්ලෙයි මයිලඩ්ඩි හි මුහුද අද්දර ට වන්නට එසේ ජනතාවගෙන් පැහැර ගත් ඉඩම්වල ආරක්ෂක ඉහළ නිලධාරීන් සඳහා ඉදි කර ඇති තරු පහේ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් වැනි හමුදා නිවස්ණය තුළ සැඳෑ සුව විඳිමින් , නාන තටාකවල බැස දිය කෙළින හමුදා නිලධාරීන්ගේ දු පුතුන්ද මම දිටිමි. එමෙන්ම නියඟයට පිලිස්සී ගිය පිදුරු බිමක් ඇති යාපනයේ හරියට නුවරඑලිය සිහිපත් කරවන තද නිල්ලෙන් යුත් වවන ලද තණකොළ මත තබන ලද හාන්සි පුටුවල සිට ඈත මුහුදේ පිණුම් ගසන මසුන් දෙස ද, ඈතින් පායන රබානක් වැනි විශාල සුපිරි සඳ නරඹමින් ද මඳ අඳුරේ සිට බියර් බොමින් පරිසරය රස විඳින හමුදා නිලධාරීන් මම දැක්කෙමි.

ඊට ආසන්නයේ කඳවුරුවල රැඳී සිටිමින් මිනිසුන් ලෙස ඉපිද සුනඛයින්ටවත් නොදෙන අතිමහත් දුක් කන්දරාවක් විඳින දමිල ජනතාව ට තමන්ගේ ඉඩම් අහිමි කරවීම පිළිබඳව වේදනාවක් හෝ ඒ සමග වෛරයක් සිතට එන්නේ නැත්නම් සැබවින්ම ඔවුන් මිනිසුන්ද නොවේ. මට මෙම අවස්ථාවන් දෙකම සද්ධර්ම රත්නාවලියේ සඳහන් නාලාගිරි දමනය සිද්ධිය මෙන් ඈත මෑත ඡේදනය කරමින් දැක බලා ගැනීමට ලැබුනි.

එපමණක් නොව මෙම සංසිද්ධිය දකින විට මට සිහිපත් වුයේ ධනිය ගෝපාල කතාවස්තුවයි. “දොවාගත් කිරි ඇත්තෙමි.. උයාගත් බත් ඇත්තෙමි. මුදවා ගත් කිරි ද ඇත්තෙමි.. මේඝය.. තොප කැමැති නම් වසින්න”යැයි කියමින් තම ගෝපිකාව ද තුරුළට ගෙන වැස්සේ රටා මවන අහසේ විජ්ජුලතා නරඹන්නට කැස කැවු ධනිය ගොපාළලාද මම එදින හොද හැටි දැක ගත්තෙමි.

රටේ ආරක්ෂාව පතා යැයි කියමින් ජනතාවගේ ඉඩම් පවරාගෙන ඒවායෙහි සැප පහසුකම් සහිත හමුදා නිවස්න තනා තම සුඛ විහරණය සළසා ගන්නට හමුදා නිලධාරින් කටයුතු කරන්නේ නම් ඔවුන් කරන්නේ සාධාරණ ක්‍රියාවක්දැයි තමන්ම සිතා බැලිය යුතුය.

උතුරේ ජනතාව තම ඉඩම් යළි පවරා දෙන්නට යැයි කියමින් හඬා වැටෙද්දී රටේ ආරක්ෂාවට යැයි කියමින් එම ඉඩම් නිදහස් නොකිරීමට හමුදාව කටයුතු නොකරන්නේ මෙම සැපවලට ඔවුන් දැඩි ලෙස ඇලුම් කරන නිසාය.

මම සොයා බැලු ආකාරයට උතුරේ වර්තමානයේ ඉඩම් පවරා ගැනීම හා අවතැන් වුවන් පිළිබඳව ඇත්තේ යහපත් තත්ත්වයක් නොවන බව කිව යුතුය.

ඉන්දියාව ‌නොමිලේ නිවාස දුන්නත් ගත්තෙ නෑ…

උතුරු පළාතේ විශේෂයෙන් යුධ ගැටුම් අවසන් වීමෙන් පසුව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල අවතැන්ව සිටින ජනතාව මුහුණ පා සිටි ප්‍රධාන ගැටළුවක් වුයේ ඔවුන්ට පදිංචි වීම සඳහා සුදුසු නිවාස ඉදි නොකිරීමයි. එවකට ඉන්දීය රජය විසින් අවතැන් වු ජනතාවට නිවාස 50,000ක් ඉදි කරදීම සඳහා ආධාර ලබා දුන්න ද මහින්ද හා ආරක්ෂක ලේකම් ගෝඨාබය එක්ව ඒවා ඉදි කිරීමට පියවර ගත්තේ නැත.

උතුරේ අවතැන්ව සිටින ජනතාව ගත් කළ ඔවුන් කාණ්ඩ තුනකට අයත් වේ. විශේෂයෙන් 2009 පැවැති අති බිහිසුනු යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාවගෙන් කොටසක් මුල්ලිවයික්කාල් අවසන් සටනත් සමග වව්නියාව මැණික් ෆාම් කඳවුරෙහි තාවකාලිකව පදිංචි කරවනු ලැබීය. එමෙන්ම තව කොටසක් පිළිසරණ පතා තමිල්නාඩුව ඇතුළු ඉන්දියානු ප්‍රදේශවලට සංක්‍රමණය වී නැවත පැමිණීම, එමෙන්ම රජය විසින් තෙලිප්පලෙයි අධි ආරක්ෂක කලාපයට ඉඩම් පවරා ගැනීම නිසා එම ප්‍රදේශයේ පදිංචිව සිටි දමිල ජනයා යාපනයේ වෙනත් ප්‍රදේශවල අවතැන් කඳවුරුවල තාවකාලිකව පදිංචි කළේය.

එවකට පැවැති රජය විසින් ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා දෙමළ ජනතාව විසින් පදිංචිව සිටි නිවාසවලින් ඔවුන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගනු ලැබු අතර එම ජනතාව තාවකාලිකව වෙනත් ස්ථානවල පදිංචි කිරීමට පියවර ගත්තේය.

එමෙන්ම වත්මන් රජය යටතේ ආරක්ෂක අංශ යටතේ පාලනය වූ එම ඉඩම් විශාල ප්‍රමාණයක් දැන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම විශිෂ්ට ප්‍රවේශයක් බව කිවයුතුය. ඒ අනුව ඉදිරියේ දී යාපනය දිස්ත්‍රික්කයේ එසේ පවරා ගත් ඉඩම් අක්කර 689.02 ක් නිදහස් කිරීමට සැලසුම් කර තිබේ. ඉන් වාසවිලාන් නැගෙනහිර හි අක්කර 25ක පවුල් 299 ක්, වාසවිලාන් බටහිර අක්කර 79.08 ක පවුල් 301 ක්, පලාලි දකුණ අක්කර 133.86 ක පවුල් 335 ක්, පලාලි නැගෙනහිර අක්කර 211 ක පවුල් 548 ක් හා පලෙයි උතුර අක්කර 239.02 ක පවුල් 516 ක් වශයෙන් අක්කර 689.02 ක පවුල් 1999ක් නැවත පදිංචි කරවීමට රජය කටයුතු කර තිබේ.

මේ වනවිට වත්මන් රජය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මග පෙන්වීම යටතේ උතුරේ ජනතාව වෙත නිදහස් කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 4000.85 කි. ඉන් තෙලිප්පලෙයි හි 2015 අක්කර 1118.07ක්, 2016 දී අක්කර 752.53 ක්, 2017 දී අක්කර 120.11 ක්, 2018 අක්කර 826.65 ක්, හා 2019 දී මේ වනවිට අක්කර 53.3 ක් වශයෙන් වේ.

එමෙන්ම කෝපායි හි 2016 අක්කර 621.8 ක්, 2018 අක්කර 1.5 ක් වශයෙන් අක්කර 623 ක්ද, සන්දිලිපායි හි අක්කර 1.19 ක් ද, මරදන්කර්නි හි 2017 අක්කර 500 ක් හා 2019 අක්කර 5.7 ක් වශයෙන් අක්කර 505.7 ක් නිදහස් කරනු ලැබ තිබේ.

ඉන්දියාවට ‌ගොස් යළි පැමිණි සරණාගතයන්

2009 යුද්ධය තීව්‍ර අවස්ථාවේ දී විශාල පිරිසක් සරනාගතයින් වශයෙන් ඉන්දියාවට පලාගොස් තමිල්නාඩුව වැනි ප්‍රදේශවල තම හිතවතුන් ගේ නිවාස වල හා කඳවුරු රැඳෙමින් දීර්ඝ කාලයක් වාසය කළේය. නමුත් නැවත වරක් යුද ගැටුම් අවසන්ව රට සාමකාමී තත්ත්වයට පත් වු පසු නැවතත් ඔවුන් තම උපන් ගම් බිම් වෙත සංක්‍රමණය වූහ.

එසේ සංක්‍රමණය වු බොහෝ දෙනෙකු තම ඉඩම් හා නිවාස තමන්ට නොලැබුනු හෙයින් ඔවුන් යාපනයේ තම හිතවතුන්ගේ නිවාස වල රැඳෙමින් දිවි ගෙවුහ. එසේ ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වු පවුල් ප්‍රමාණය 1538ක් වන අතර එම පවුල්වල සාමාජිකයින් ප්‍රමාණය 4407කි.

එමෙන්ම යුද ගැටුම් නිසා උතුරේ අවතැන් ව සිටි පිරිසෙන් මේ වනවිට නැවත පදිංචි කර ඇති පිරිස 10,7116කි. එම සමස්ත පිරිස පවුල් 33, 439කට අයත් වේ. ඒ යටතේ ඩෙල්ෆ්ට් හි පවුල් 367 ක්, වේලානි හි පවුල් 1888ක්, කයිට්ස් හි පවුල් 631ක්, කරෙයිනගර් හි පවුල් 709ක්, යාපනයේ පවුල් 4134ක්, නල්ලුර් හි පවුල් 2286ක්, සන්දිලිපායි හි පවුල් 2077ක්, චන්කනේ හි පවුල් 1356ක්, උඩුවිල් හි පවුල් 1157ක්, තෙලිප්පලෙයි හි පවුල් 5728ක්, කෝපායි හි පවුල් 2854ක්, චාවකච්චේරි හි පවුල් 3712ක්, කරවෙඩ්ඩි හි පවුල් 1048ක්, පේදුරු තුඩුව පවුල් 1661ක් හා මරුදන්කර්ණි හි පවුල් 3831 පදිංචි කරවනු ලැබ තිබේ.

ඒ අනුව ඉන්දියාවට පිළිසරණ පතා ගිය දමිල ජනතාව මෙන්ම අභ්‍යන්තර වශයෙන් අවතැන් පිරිස් යළි පදිංචි කිරීමට ගත් පියවර යටතේ පවුල් 34,977ක සාමාජිකයින් 1,11523ක් නැවත පදිංචි කරවීමට 2015 සිට මේ දක්වා වත්මන් රජයට හැකිවී තිබීම සැබවින්ම අගය කළ යුතු කාරණයකි.

මේ අතර නැවත පදිංචි කරවීම සඳහා යෝජිත පිරිසක්ද සිටිති. ඒ යටතේ පවුල් 528 ක් තවමත් යාපනයේ අවතැන් කදවුරු 23 ක ජීවත්වේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් රජය විසින් සැලසුවද ඔවුන් ඉල්ලා සිටින්නේ තෙලිප්පලෙයි අධි ආරක්ෂක කලාපයට පවරා ගත් ඔවුන්ගේ නිවාස හා ඉඩම් යළි ඔවුන්ට ලබා දෙන ලෙසයි. රජය විසින් මේ වනවිට තෙලිප්පලෙයි අධි ආරක්ෂක කලාපය සඳහා පවරා ගන්නා ලද ඉඩම් වලින් අක්කර 4000 ක් මයිලඩි ප්‍රදේශයෙන් නිදහස් කර තිබෙන බවත් ඒ වෙනුවෙන් රජයට විශේෂයෙන් අග්‍රාමාත්‍ය වරයාට තම ස්තුතිය පළ කරන බවත් එම ජනතාව මා සමග ප්‍රකාශ කළේය.

දැනටමත් එම ජනතාවට නිවාස ඉදිකර ගැනීම සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 08 ක මුදලක් ලබා දෙන අතර එම මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇති බවත් එම මුදල් ලැබුනහොත් තමන්ට ස්ථිර වාසස්ථාන ඉදි කළ හැකි යැයි ද එම ජනතාව මා සමග කීහ.

සංහිඳියාපුර හෙවත් නල්ලිනක්කපුරම්

මට එහිදී සිංහල ඉතා හොඳින් කතා කළ හැකි වයෝවෘද්ධ මවක් හමුවිය. ඇය කීවේ වත්මන් රජය විසින් තමන්ට නිවාසයක් ඉදි කර ගැනීම සඳහා සියලු සහයෝගය ලබා දුන් බවයි. මම ඇයගේ නිවස වෙත ගියෙමි. සැබවින්ම ඇයට හිමිව ඇත්තේ තරමක් පහසුකම් සහිත විශාල නිවසකි.

සංහිඳියාපුර හෙවත් නල්ලිනක්කපුරම් යනුවෙන් හඳුන්වන ගම්මානය හා කීරිමලෙයි ගම තුළ නැවත පදිංචි කළ දමිල ජනතාව විශාල පිරිසක් පදිංචිව සිටිති.

මේ අතරින් සංහිදියාපුර හෙවත් නල්ලිනක්කපුරම් හි නිවාස 158ක සාමාජිකයින් 520ක් නැවත පදිංචි ව සිටීන අතර ඔවුන්ට සියලු යටිතලපහසුකම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ජලය, විදුලිය, පාරවල් හා මහජනතාවට රැස්ව ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ප්‍රජා ශාලාද මෙම ගම තුළ ඉදි කර තිබීම විශේෂත්වයක්.

කීරිමලෙයිගම තුළ පවුල් 8000ක් පදිංචි කර සිටින අතර එම නිවාස ඉදි කර ගැනීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ පහ හමාරක මුදලක් ලබා දී ඇත.

කිලිනොච්චිය

යාපනයේ මෙන්ම කිළිනොච්චිය දිස්ත්‍රික්කයේද අවතැන් වු ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතු මෙම රජය විසින් ආරම්භ කර තිබේ. යුද ගැටුම්වල දී වැඩිම පිරිසකට ඉන් බලපෑම් එල්ල වුයේ කිලිනොච්චියේ දීය. එයට හේතුව කොටි සංවිධානය විසින් සිය මුලස්ථානය කර ගෙන සිටියේ කිලිනොච්චිය නගරය වීමයි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 04 ක් ‌වේ . ඒවා නම් කරාච්චි, කන්දාවලෙයි, පූනකරි, හා පච්චිලෙයිපලෙයි වශයෙනි.

2018 වසරේ දත්ත අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් ඉදි කර ඇති නව නිවාස ගණන නිවාස 38695 කි. මේ වනවිට අලුත්වැඩියා කර ඇති නිවාස සංඛ්‍යාව 6131 ක් වන අතර ඒ අනුව වැඩ අවසන් කර පදිංචි කර ඇති නිවාස ප්‍රමාණය නිවාස 44826 කි.

කිළනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස ඉදි කිරීමේ දී ශ්‍රී ලංකා රජය මෙන්ම ඉන්දීය රජය ද ඒ සඳහා පුර්ණ සහාය පළ කර ඇත. ඊට අමතරව නෙදර්ලන්ත රජය, UN Habitat, Habitat for Humanity, UN, SDC, SLRC, ZOA, Hudec Caritas, Indian Housing, NRC, OMI, DMC, Sarvodaya, Peoples need, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය , ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් කිලිනොච්චියේ නිවාස ඉදි කිරීමට පුර්ණ දායකත්වය පළ කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව පදිංචි කරවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගයෙන් ආදර්ශ ගම්මානයක් වශයෙන් ඉදි කර තිබෙන අරවියල්ගම නිවාසවල පවුල් 78 ක් පදිංචි කර තිබේ මෙම නිවාස ඉදි කර ගැනීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ පහමාරක් බැගින් ලබා දුන් බව එහි පදිංචි ජනතාව පවසන අතර ජලය, විදුලිය, පුස්තකාල පහසුකම්, ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන පහසුකම් ද මෙම ගමට ලබා දී ඇත. සතියකට දෙවරක් කිළිනොච්චි මහ රෝහලේ සිට පැමිණෙන වෛද්‍යවරුන් විසින් මෙම සායන මධ්‍යස්ථානය තුළ සායන පවත්වති.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම වල සුවිශේෂත්වය වන්නේ පදිංචි කරවන ලද ජනතාව වෙනමම ගම්මාන වශයෙන් නොව ඔවුන්ට සුදුසු හා ඔවුන්ට අයත් විවිධ ස්ථානවල පිහිටි ඉඩම්වල ඔවුන් පදිංචි කරවීම සඳහා කටයුතු යොදා තිබීමයි . ඒ යටතේ මේ වනවිට නිවාස 6000 ක් ඉදි කර අවසන්.

කිළිනොච්චි දිස්ත්‍රික්කය තුළ නැවත පදිංචි කර සිටින සියලුදෙනාම පාහේ යුධ ගැටුම්වලට මැදි ව උන්හිටි තැන් අහිමිව වව්නියාවේ මැණික්ෆාම් කඳවුරේ රැඳී සිට නැවත පදිංචි කළ අයයි. ඔවුන් සියලු දෙනාම නැවත පදිංචි කරවීමට රජය පියවර ගැනීම සැබවින්ම ප්‍රශංසාත්මක ය. මෙම සියලු දෙනාට පමණක් නොව එම දරුවන්ට හා පවුල් වල සියලු දෙනාටම ජීවත් වීම සඳහා අවශ්‍ය මුලික යටිතල පහසුකම් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

යුද්ධය කිරීම මෙන්ම ඉන් අවතැන්වන ජනතාව ගැනත් සොයා බැලීම ද රජයේ වගකීමකි. එහෙත් යුද්ධය මෙහෙය වු බොහෝ දෙනෙක් එම වගකීමෙන් බැහැර වුහ. එමනිසාම යුද්ධය අවසන්ව වසර ගණනාවක් ගත වෙන තෙක් නිවාස ඉඩම් අහිමි වු දෙමළ ජනතාව තාවකාලිකව ඉදි කළ මඩු තුළ හෝ කිසිදු පහසුකම් නැති කඳවුරු වල ජීවත්වීමට සිදුවිය. නමුත් 2015න් පසු බලයට පත්වත්මන් රජය විසින් එම ජනතාව නැවත පදිංචි කිරීම හා ඔවුන්ට අයත්ව තිබු ඉඩම්වල අයිතිය යළි ලබා දිමට පියවර ගැනීම ඇගයිමට ලක්ව තිබේ.

මගේ මිතුරු නීතිඥ මහතා මා සමග පැවසු පරිදි අපේ රටේ ඉන්න මිනිසුන් බිංකුණ්ඩන් විය හැකිය. එහෙත් තමන්ට ජීවත්වන්නට තිබෙන එකම බිම් අඟලත් අහිමි කරන්නේ නම් එම මිනිසුන් කුමක් කරන්නද? නඩු කීවාට වැඩක් නැත. ඉඩම් නඩුවලට කෙටිකාලීනව විසඳුම් ලැබෙන්නේ ද නැත. ඉන්න හිටින්නට තැනක් නැතිව, කන්න අඳින්න දෙයක් නැතිව, උපන් බිම් අඟලත් අහිමිව, තම දරුවන්ට අකුරු කරන්නට පාසැලක් නැතිව, ජීවිතයේ සරළ විනෝදය සඳහාවත් කිසිදු මාර්ගයක් නොමැතිව උපන්නාට මේ ලොව වැනෙනවා විනා වැනි මිනිසුන් පිරිසක් ලෙස ජීවත්වන්නට සැළසීම එම දමිල ජනතාවගේ කරුමයද?

ආවා ඒම වැළැක්වීමට නම්

සැබවින්ම ‘ආවා’ වැනි හෝ වෙනත් අවි ගත් තරුණ කොටස් යළි බිහිවීම වැළැක්වීමට නම් අනිවාර්‍යයෙන්ම මෙම ජනතාවට සහනයක් ලැබිය යුතුය. මා සමග සුහදශීලිව කතා බහ කළ ද අවතැන් කඳවුරු වල සිටින සමහර දමිල කාන්තාවන් තුළ පවතින්නේ දැඩි තරහක් බව කිව යුතුය.

ජාතියක් යනු රටක ජීවත්වන සියලු වැසියන් විනා ඔවුන් දෙමළ, සිංහල, මුස්ලිම් හෝ වෙනත් නමකින් වෙන් කිරිම වැරදිය. අපේ රටේ ජීවත් වන්නෝ ශ්‍රී ලාංකිකයෝ විනා දෙමළ , සිංහල හෝ මුස්ලිම් නොවේ. ඉන්දියාවේ සිටින්නේ ඉන්දියානුවෝය. ජපානයේ සිටින්නේ ජපනුන්ය. ඇමරිකාවේ සිටින්නේ ඇමරිකානුවෝය. එසේනම් අපේ රටේ පමණක් මෙසේ බෙදී වෙන් වී අනෙකාට හිංසා කරමින්, වෛර ගිනි අවුලවමින් ජීවත් වන්නේ අහවල් කෙංගෙඩියකටදැයි ඇසිය යුතුය. ජාතිය බෙදා වෙන් කිරීමේ පැහැදිළි සංන්ධිස්ථානය ඇරඹුනේ 1956 බණ්ඩාරනායකගේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරද නිසාය. එම වරද උග්‍ර කරන ලද්දේ මහින්ද රාජපක්ෂ විසින් ගෙන ගිය උග්‍ර ජාතිවාද ප්‍රතිපත්තිය හා ඔහු විසින් නිර්මාණය කරන ලද කල්ලි විසින් දෙමළ හා මුස්ලිම් ජනතාව මර්දනය කිරීමට ගෙන ගිය ක්‍රියාමාර්ග නිසාය.

අද යාපනයේ අවතැන් කඳවුරුවල අන්ත දුක් විඳින ද්‍රවිඩ ජනතාවට එම දුක් කන්දරාව විඳ දරා ගැනීමට සිදු ව ඇත්තේ මහින්ද කළ පවු ඔවුන්ට ගෙවන්නට සිදුවීම නිසා බව කිව යුතුය. කොටි සංවිධානය මෙල්ල කිරීම මුවාවෙන් සමස්ත ද්‍රවිඩ ජනතාවම කම්බස් කළ මහින්දලා හා ගෝඨලා මෙන්ම වීරවංශලා හා ගම්මන්පිළලා පසුපස යන දෙමළ, මුස්ලිම් නායකයින් සැබවින්ම තම ජනවර්ගයාගෙන් සමාව ගත යුතුය. “විළි ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු යැ”යි කියන්නාක් මෙන් දමිල හා මුස්ලිම් ජනතාවට ඒ සා විශාල හානියක් කළ ගෝඨලා, මහින්දලා නැවතත් ඔවුන්ගේ ඡන්ද හිඟාකන්නට ලක ලෑස්තිවීම තරම් විහිළුවක් තවත් ඇත්දැයි නොසිතේ.

සල්පිටියේ ධම්මදස්සි හිමි
(ලංකා ඊ නිව්ස්)

Back to Top