Sri Lanka Brief
පුවත්විවරණපශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් ‌සොයන අපේ කාලයේ පටාචාරාවෝ – සුලෝචනා රාජපක්ෂ

පශ්චාත් යුද පසුබිමෙහි දරුවන් සහ සැමියන් ‌සොයන අපේ කාලයේ පටාචාරාවෝ – සුලෝචනා රාජපක්ෂ

by

ඡායාරූපය: අතුරුදහන් කළ සිය දරුවන් ‌‌සොයා යන උතුරේ මවක් (c)s.dedhspriya.

අපි පොලිසියට ගියහම ඒගොල්ලෝ කියනවා පස්සේ තනියම ඇවිත් මාව හම්බුවෙන්න කියලා, ඔයාගේමහත්තයා ඉන්නවා කාටවත් නොකියා එන්නකියලා ඒගොල්ලෝ කියනවා. කියන්න, මට යන්න පුලුවන්ද?” – (CTF වාර්තාව, P 389)

මගේ සහෝදරයා අතුරුදහන් වුණා. ගැන සිත් තැවුලෙන් දුකෙන් ඉඳලා මගේ අම්මා මරණයට පත් වුණා. මගේ සහෝදරයා අතුරුදහන් වුනේ 89 දී” – (CTF වාර්තාව, P 415)

මේ ගැටුම් සහ යුධ තත්වය හේතුකොට ගෙන අසරණ වූ අපේම රටේ කාන්තාවන් දෙදෙනකුගේ අමිහිරි අත්දැකීම් වේ. ගැටුම් සහ යුධ තත්වයන්ගෙන් දීර්ඝ කාලීනව බලපෑම් තිබූ රටක් ලෙස අදටද අප රටතුළ නොයෙකුත් නොවිසඳුන ගැටළු රාශියක් පවතී. යුද්ධය කිසිවෙකුට අනුකම්පාවක් නොපෙන්වයි. වැන්දඹු නැතහොත් ස්වාමි පුරුෂයන් අතුරුදන් වූ හෝ ආගිය අතක් නැති කාන්තාවෝ ආර්ථික, සමාජීය, මනෝ සමාජීය ලෙස අසරණව ඇත. හානිපූරණය තුළ යම් දුරකට මේ සියල්ලන්ට සාධාරණයක් ඉටු කිරීම රජයේ වගකීමයි. අප සමාජ පරිසරය තුල, කාන්තාවන්ගෙන් බොහොමයක් තමාට සිදු වූ ගැටළු කතා කිරීමට ඉදිරියට නොපැනිනෙන සෙයක් දක්නට ඇත. එවන් තත්වයක් තුළ හානිපූරණය නිසි ආකාරව සැමට ලබා දීමද අභියෝගාත්මකය.

නිදහසෙන් පසු, මේ වන තෙක් ලංකාව තුළ ඇති වූ ගැටුම් සහ විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයේ අතුරු ඵල ලෙස බොහොමයක් කාන්තාවන් ගේ ජීවිත වලට සෘජුව සහ වක්‍රව බලපෑම් එල්ල වී ඇත. ගැටුම් වල ප්‍රධාන වශයෙන් අසරණ වන්නේ ළමුන්, මහල්ලන්, සහ කාන්තාවන්ය. කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු අතිශයින් ඛේද ජනක වේ, ඉන් කිහිපයක් නම්:

යුද්ධයෙහි දී මියගිය සහ අතුරුදහන් වූ ‌යුද හමුදා සෙබළුන් ‌වෙනුවෙන් මුලතිව්හි ඉදිකර ඇති ස්මාරකය (c)s.deshapriya.

01. හමුදා වැන්දඹුවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වූ කාන්තාවෝ – කාන්තා ගෘහ මූලිකවරියන් ද මෙම පිරිසට ඇතුළත් වේ. හමුදා වැන්දඹුවන් යන පිරිස අතරට ශී‍්‍ර ලංකා යුද, නාවික, ගුවන් සහ පොලිස් සේවාවන්හි සේවය කර මියගිය හෝ කි‍්‍රයාන්විතයේදී අතුරුදන්වූ බවට නම් කරන ලද පුද්ගලයන්ගේ බිරින්ඳෑවරුන්.

02. යුද සමය තුළ සිදුවූ බලහත්කාර අතුරුදහන්කරවීම්හි ප‍්‍රතිඵලයක් වශයෙන් සිය පවුලේ සාමාජිකයන් හෝ සමීපතමයන් අහිමිවූ කාන්තාවෝ.

03. සටන්කාමී කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධව කටයුතු කරන ලදුව දැනට රජය විසින් පුනරුත්ථාපන කි‍්‍රයාවලීන්ට ලක්කර ඇති හෝ එවැනි පුනරුත්ථාපන කි‍්‍රයාවලියකට භාජනය නොවූ හිටපු සටන්කාරිණියන්.

04. යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ශාරීරික දුබලතාවයන්ට හෝ මානසික සංකූලතාවයන්ට මුහුණ දෙමින් සිටින කාන්තාවෝ සහ ඉතා අඩු වයසින් විවාහපත් වී තම සැමියන් අහිමිව ඇති කාන්තාවෝ.

05. යුද්ධයේ ප‍්‍රතිඵලයක් වශයෙන් සිය පාරම්පරික ඉඩම් හෝ මුල් පදිංචි ඉඩම් අහිමිව අවතැන්භාවයට ලක්වූ හෝ වෙනත් ප‍්‍රදේශවල තාවකාලිකව වාසස්ථාන ඇතිකරගන්නට සිදුව ඇති කාන්තාවෝ.

06. යුද්ධය හේතුවෙන් සිය ජීවන මාර්ග අහිමිව ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන කාන්තාවන් සහ යුද්ධයෙන් පසුව ඇතිවූ ආර්ථික අර්බුද හේතුවෙන් අවිධිමත් සේවාවන්හි නිරතවීමට සිදුව ඇති කාන්තාවෝ.

07. යුධ පරිසරය තුළ වූ අනාරක්ෂිත භාවය හේතුවෙන්, ලිංගික අපයෝජනයට ලක් වූ කාන්තාවෝ.

08. ළමා සොල්දාදුවන් ලෙස කුඩා කල බඳවා ගැනීම නිසාවෙන් හෝ අනෙකුත් හේතුන් නිසා යුධ වාතාවරණය තුළ අධ්‍යාපන වරම් අහිමි වූ කාන්තාවෝ.

1989 – 1990 සමයෙහි අතුරුදහන් කරවන ලද සිය දරුවන්ට යුක්තිය ඉල්ලා සිටින දකුණේ මව්වරු (c)s.dedhspriya

ජ. වි. පෙ. භීෂණ සමය තුල තම දරුවන් අහිමි වූ බේබි නෝනා මෙන්ම යුද්ධයට තම සැමියා සහෝදරයා යාම හේතුවෙන් වැන්දඹුවන් වූ හෝ සැමියන් අබාධිත දකුණේ කාන්තාවන් මෙන්ම, දරුවන් පැහැර යාමෙන්, තම ආදරණීයන් හට අත් වූ ඉරණම නොදැන කවදා හෝ නැවත ගෙදර එතැයි බලා සිටින වීණම්මලාද ලංකාව තුල කොතෙකුත් ඇත. ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සඳහන් වන ආකාරයට, ඒ හමුවට පැමිණි අයගෙන් බොහොමයක් කාන්තාවන් වන අතර ඔවුන් සමාජීය, ආර්ථික සහ මනෝ සමාජ ප්‍රතිවිපාක වලින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. ගැටුම් තත්වයන් තුල පිරිමින්ට වඩා කාන්තාවන් මනෝමය සහ ශාරීරික වශයෙන් පීඩාවට පත් වීමට ඇති ඉඩ කඩ ඉහළය.

එමෙන්ම, බොහොහොමයක් මියගිය හමුදා සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන් හට නැවත විවාපත් විය නොහැකිව ඇත්තේ ඔවුනට ලැබෙන මාසික වේතනය නොලැබී අස්ථාවර වන නිසාවෙනි. මෙම තත්වය තුළ ඔවුන් සමාජය තුළ නොයෙකුත් ලිංගික පීඩා වලට ගොදුරු වන්නේ නිතැතින්මය. මේ පිලිබඳ ප්‍රමාණවත් සමාජ කතිකාවතක් දැකිය නොහැකි වීමද විශාල ගැටළුවකි.

 දකුණු අප්‍රිකාවේ ගැටුම් තත්වයන්ට මුහුණ පෑ කාන්තාවන් සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසම

අප්‍රිකාවේ ගැටුම් තත්වයන්ගෙන් අනතුරුව සත්‍ය සහ සංහිඳියා කොමිසම පිහිටෙව්වා. වින්දිතයන්හට ගැටුම් තත්වයන් තුල තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම මෙම කොමිසම ඉදිරිපිට ප්‍රකාශ කිරීමේ මහඟු අවස්ථාවක් මෙයින් උදා වුණා. නමුත් මෙම කොමිසමේත් හොඳ නරක පිළිවෙත් දකින්නට පුළුවන්. තිස් වසරක් පුරා ගැටුම් තත්වයන්ට සහ ඊට පසුවද ප්‍රචණ්ඩත්වයන් දක්නට ලැබෙන රටක් ලෙස ශ්‍රී ලංකාවටද මෙයින් ගත හැකි දේ මොනවාදැයි අපි හඳුනා ගමු. එමෙනම අප සැලකිලිමත් විය යුතු සහ වැළකිය යුතු අංශයන් මෙයින් හඳුනා ගත හැක.

ස්ත්‍රී පුරුෂ වශයෙන් සංවේදී ප්‍රවේශයක් දක්නට ලැබීම දකුණු අප්‍රිකානු සත්‍ය සහ සංහිඳියා කොමිසමේ විශේෂත්වයයි. වින්දිතයන් සඳහා හානිපූරණය නියම කිරීමේදීද ස්ත්‍රී පුරුෂ වශයෙන් සංවේදී ගමන් මගක් අනුගමනය කර ඇත. හානිපූරණය තුල දකුණු අප්‍රිකාව කාන්තාවන් වෙනුවෙන්:

  • සත්‍ය සහ සංහිඳියා කොමිසමට කාන්තාවන් තොරතුරු ලබාදීමේදී කාන්තාවන්ට පහසු සහ ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීම.

  • ගෘහස්ත හිංසනය සහ කාන්තා දුෂණය වැලැක්වීම සඳහා නීති සම්පාදනය.

  • පොලිසිය සහ හමුදාව සඳහා ස්ත්‍රීන් සම්බන්ධ ගැටළු වලදී සංවේදී වන අයුරු පිලිබඳ වැඩසටහන් පැවැත්වීම.

  • මෙම කාර්යන් ක්‍රියාවට නංවන රජයේ සහ පෞද්ගලික ආයතන වල ක්‍රියා පටිපාටීන් අධ්‍යනය

  • සමාජ සේවා සේවා ලබා ගැනීම සඳහා කාන්තාවන් අවශ්‍ය පහසුකම් සැලසීම, මෙහිදී ගැබිණි මාතාවන්ට අවශ්‍ය සෞක්‍ය සහ ගබ්සා කිරීමේ පහසු කම් සැලකීම.

  • කාන්තාවන්ගේ දරිද්‍රරතාවය, ඉඩම් අයිතීන් සහ ආර්ථික අවස්ථා යන දෑ සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම.

  • ඉතා ශක්තිමත් ව්‍යවස්ථාවක් සහ ඉතා ආරක්‍ෂිත පිළිවෙත් කාන්තාවන් වෙනුවෙන් ඇති කිරීම.

 

අප්‍රිකානු සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුල කාන්තාව සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බවට මෙතුළින් පැහැදිලිය. එය එක කොටසකින් නොව මුළු සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය තුලම විහිදිය යුතුය. නොයෙකුත් ගැටම් වලින් පීඩාවට පත් ලාංකීය කාන්තාව අවලංගු කාසියක් බවට පත් නොකර, ඇය තවත් පටචරාවක් බවට පත් නොකර ලංකික සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය ඇය ඔසවා තැබීම වෙනුවෙන් ශක්තිමත් කිරීම වෙනුවෙන් සකස් විය යුතුයි.

 

 

 

 

Back to Top