Sri Lanka Brief
පුවත්විවරණමෙවර අයවැය තිරසාර සංවර්ධනයක මඟ පෙන්වයිද? -ප්‍රෙමිලා ධර්මසිරි

මෙවර අයවැය තිරසාර සංවර්ධනයක මඟ පෙන්වයිද? -ප්‍රෙමිලා ධර්මසිරි

by

සෑම වසරක්ම අවසානයේ නොවැම්බර් මස එනතෙක් බොහෝ දෙන පුන පුනාබලා සිටින්නේ එළඹෙන වර්ෂයට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන තෙක්ය. නමුත් ශ්‍රී ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කරමින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස එක් රැයකින් සිදුවූ බල පෙරලියේ එක් ප්‍රතිඵලයක් ලෙස නියමිත කාල සීමාව තුළ අයවැය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීම මාස තුනක කාලයක් දක්වා පමාවිය. ධනය බලය හමුවේ රටක සමස්ත සමාජ ආර්ථක දේශපාලන ව්‍යුහය අවධානමකට ලක්කල මෙම අත්තනෝමතික දේශපලාන තීරණය නිසා සමස්ත ශ්‍රී ලංකාවට ඇති කළ බලපැම් වත්මන් රජය විසින් යථා තත්ත්වයට පත්කරමින් සිටී. එහි එක් පියවරක් ලෙස වඩා සංවර්ධනාභිමුඛ අයවැයක් ඉකුත් පස්වනදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත්කරන ලදී.

සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලිය

එදා මෙදා තුර සෑම වසරක් පාසා ඉදිරිපත් කරන ලද සෙසු අයවැය හා සැසදීමේදි මෙවර අයවැයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සාමය, සමගිය හා සංහිදියාව වෙනුවෙන් අයවැයෙන් පුමාණවත් ප්‍රතිපාදන වෙන්කර තිබිමයි. 2015 වසරේ බලයට පත්වූ දා සිට රටෙහි සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම මහත් දුෂ්කර කාර්යයක් විය. මන්දයත් වසර 30ක් තිස්සේ කුරිරු යුද්ධය විසින් ඇති කරන ලද බලපෑම් යථා තත්ත්වයට පත්කිරීම මහත් අභියෝගයක් වන බැවිනි. ජාත්‍යන්තරයේ අවධානයද මෙම මාතෘකාව කෙරෙහි නිතැතින් යොමු වන නිසා සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රීයාමාර්ග අධ්‍යයනය කරමින් අත්හදා බලමින් සෙසු රටවල උදාහරණ නිරීක්ෂණය කරමින් රජය විසින් ඒ සදහා මහත් ප්‍රයත්නයක් ගන්නා ලදි. එම ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙසට 2019 වසර වන විට වඩා සාධනීය මට්ටමක් දක්වා සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලිය පත්ව තිබේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම රජය විසින් තිස් වසරක් පුරා පැවති යුද්ධයේ බලපෑම් යථා තත්ත්වයට පත්කිරීම සදහා පමණක්ම නොව ජාතීන් අතර අනෞන්‍ය සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන්ද ප්‍රතිපාදන වෙන්කරන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, සමගිය හා සංහිඳියා කාර්යාංශය පිහිටුවීම ඉන් කිහිපයකි.

මෙතෙක් කල් ගන්නා ලද ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට වත්මන් රජය විසින් සංහිඳියා ක්‍රියාවලිය සාර්ථකත්වය කරා ගමන් කරමින් සිටී. ඉදිරියටත් එය සාර්ථකව පවත්වාගෙන යාම සදහා මෙවර අයවැයෙන් අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය, හානිපූරණ කාර්යාලය මෙන්ම සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය වෙනුවෙන් අයවැයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වෙන් කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව 2019 වසරේ සිට එළඹෙන වසර කිහිපය මෙරට සංහිඳියා මාවතේ ස්වර්ණමය වසර කිහිපය බවට පත්වනු නොඅනුමානය.

සංහිදියාව වෙනුවෙන් මෙතරම් ප්‍රතිපාදන කුමකටද?

සංවර්ධනය වන රටකට සංහිදියාව වෙනුවෙන් මෙතරම් ප්‍රතිපාදන කුමකටදැයි යමෙක් ප්‍රශ්න කළ හැකිය. බොහෝ ශ්‍රී ලාංකිකයන් සංහිදියාව, සමගිය යන වචනය යන්න වචනාර්ථයෙන්ම පමණක් අවබෝධ කර ගිනිති. හුදු වචනාර්ථයෙන් ඔබ්බට ගිය සුවිශාල ක්‍රියාවලියක් එතුළ ඇත්තේය. පශ්චාත් යුධ වාතාවරණයක් තුළ සංහිදියාව ඇති කිරීමේදි රජය විසින් ගත යුතු ප්‍රමුඛතම පියවරක් වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ භාවයට පත් ජනතාව යළි නගා සිටීම වෙනුවෙන් රජයක් වශයෙන් කටයුතු කිරීමයි. මෙහිදි යුද්ධයෙන් කායික, මානසික වශයෙන් ගොදුරු වු වින්දතයන් වෙනුවෙන් සහන සැළසීම යුද්ධයෙන් අතුරුදන් වූ හෝ මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් යම් සහනයක් ලබාදිය යුතුය. මෙම කර්තව්‍යයන් ඉටු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශංසනීයය.

තවමත් උතුරු නැගෙනහිර පානීය ජලය, විදුලිය සහ අධ්‍යාපනය, නිවාස වැනි මූලික අවශ්‍යතා ඉටු නොවුණ විශාල පිරිසක් වෙසෙති. ඔවුන්ගේ අවශ්‍යතා ඉටු නොකොට සංහිදියාව සම්බන්ධයෙන් ඔවුන් හා කතා බස්කිරීම නිශ්ඵල කාර්යයකි. මේ හේතුවෙන් ඔවුන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි කටයුතු වෙනුවෙන්ද ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙහි එක් පියවරක් ලෙස තල් සංවර්ධන අරමුදලක් පිහිටුවීම සදහා රජය විසින් ප්‍රතිපාදන වෙන්කිරීමට ගත් තීරණයද මෙවර අයවැයෙහි වඩා කැපී පෙනෙන යෝජනාවකි. එමගින් උතුරු නැගෙනහිර රැකියා විරහිත ජනතාවට ස්වයංරැකියා අවස්ථා විවර වනවා මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් කිරීමට මෙම යෝජනාව හේතුවේ. මෙම අරමුදල සදහා දායක වන ලෙසටත් මුදල් අමාත්‍යවරයා විදෙස් ගතව සිටින ලාංකිකයන්ගෙන්ද ඉල්ලා සිටියේය. එමගින් යුද්ධය හේතුවෙන් මෙරට හැර ගිය ලාංකිකයන්ට මෙරට ආයෝජනය කිරීමටද අවස්ථාව උදා වසනු ඇත.

සංහිදියාව යන්න එක් රැයකින් ඇති කළ හැක්කක් නොවේ. එය දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහි වඩාත් අසීරුතම කාර්යය වන්නේ තැලුණු, බිදුණු, රිදුණු සිත් සුවපත් කරමින් වින්දිතයන්ද සංහිදියාව ඇති කිරීම සදහා වන ක්‍රියාවලියට දායක කරගැනීමයි.

එමෙන්ම වින්දිතයන් නොවූ පුද්ගලයන්ද මෙම ක්‍රියාවලිය සදහා දායක කරගැනීම අතිශය වැදගත් කාර්යයකි. ඒ සදහා සෙසු ජාතීන් කෙරෙහි ඇති අනෞන්‍ය පුළුල් කළ යුතුය. සියලු ජාතීන් සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් අනුයුක්ත කිරීම සදහා වැඩසටහන් සම්පාදනය කළ යුතුය. ඒ සදහා රජයක් ලෙස ගතහැකි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන හමාරය. ඒ සදහා අවශ්‍ය පසුබිම මෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර හමාරය. එකම රටක් එකම ජාතියක් ලෙස නැගී සිටිමින් තිරසර සංවර්ධයක් කරා ළගා වීමට අවශ්‍ය වන්නේ සෑම ආගමක්ම ජාතියක්ම නියෝජනය කරන සියලු දෙනාගේ සහයෝගය පමණි.

Back to Top