Sri Lanka Brief
පුවත්විවරණමැතිවරණ සමයක අයවැය නොහොත් නොකෙරෙන වෙදකම්

මැතිවරණ සමයක අයවැය නොහොත් නොකෙරෙන වෙදකම්

by

ඡායාරූපය: ආර්තිකය කලු කුහර වලින් පිරී තිබේ. රාජ්‍ය වයවසායන් පාඩු පිට පාඩු ලබයි.

මාස ගණනක පමාවකින් පසු අවසානයේදී 2019 අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. මේ අයවැය පමා වී පැමිණි අයවැයකි. ඊට හේතු වුණේ, විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීමත්, අනතුරුව, තාවකාලික ගිණුම් යෝජනාවක් පිළිබඳ කෙටිකාලීන යෝජනා සම්මතයක් ඇති කර ගැනීමට සිදුවීමත් ය. වර්තමාන අයවැය වාර්තාව, මැතිවරණ පොරොන්දු ගණනාවක් සහ වැදගත් ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් අඩංගු මිශ්‍ර අයවැයක් වශයෙන් හැඳින්විය හැකිය. එහෙත් ඒවා ක්‍රියාවට නැගීම අභියෝගාත්මක කාරණයක් වන බවට සැකයක් නැත.

මුලින්ම, ඉදිරියට ඉතිරිව ඇති කාලය සීමිත වීම ප්‍රධාන බාධකයකි. සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කරන්නේ වසරක කාලයක් ඉලක්ක කරගෙන ය. එහෙත් මේ අයවැය සඳහා සැලකිල්ලට ගෙන ඇති කාලය වන්නේ මාස හතක් හෝ අටක් වැනි කෙටි කාලයකි. ඊට අමතරව, තමා මීට කලින් අයවැයෙන් ඉදිරිපත් කළ මූලික ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමටත් බලාපොරොත්තු වන බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කොට ඇති නිසා, ඉදිරියේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වීමට බොහෝ විට ඉඩ තිබේ.

නාවුක ව්‍යාපාරික කටයුතු නිදහස් වෙළදපොල යාන්ත්‍රණයට ලක්කිරීම එවැනි ප්‍රශ්න ඇති කිරීමට තුඩුදිය හැකි එක් මාතෘකාවකි. එසේම, ඉතා වැදගත් නෛතික වෙනස්කම් ඇති කිරීමටත්, ආර්ථික තරගකාරීත්වය වැඩි කිරීමටත් යෝජනා කෙරී ඇත. ඒ සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යවසායක ව්‍යාපෘතිවල සහාය අවශ්‍ය කරන්නේය. එහෙත් එහිදී එකී අංශවල වෘත්තිය සමිති විරෝධය ඒ සම්බන්ධයෙන් මතුවිය හැකිය.

එසේම, රටේ විදුලිබල අංශය වැනි ක්ෂේත්‍රවල කළමනාකරණයක් ද අත්‍යාවශ්‍ය කෙරේ. එය ඉතා සංකීර්ණ කලාපයකි. විවිධ ව්‍යාපෘති ඉදිරියේ ඇති නිලධර බාධක කොතෙක් ඉවත් කළත්, බලශක්ති අවශ්‍යතා පිරිමැසිය හැකි ප්‍රමාණයට ඒ අංශ වර්ධනය නොවන්නේ නම්, ආයෝජකයන් තමන්ගේ ධනය ලංකාවේ ආයෝජනය කිරීමට නොඑනු ඇත. විදුලි බලය, ආණ්ඩුවේ බොහෝ ව්‍යාපෘති සඳහාත් අත්‍යාවශ්‍ය වෙයි. අලුතෙන් ඇති කිරීමට නියමිත සැහැල්ලු දුම්රිය සේවාව සඳහා තව තවත් විදුලි බලය අවශ්‍ය කරනු ඇත.

නියඟ කාලයක් එළැඹෙන විට විදුලි පරිභෝජනය අඩු කරන්නැයි සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටීම හිනාවට කාරණයකි. බලශක්තිය අතින් ලංකාව දිළිඳු ය. එය අද ඊයේ හටගත් දෙයක් නොව. කාලාන්තරයක් තිස්සේ අප මුහුණදී සිටින ප්‍රශ්නයකි. කොළඹ පදිංචි සීමිත පිරිසක් සහ ඇතැම් ව්‍යාපාර සමාගම් හැරුණු කොට, සාමාන්‍ය ජනතාව කොහොමත් විදුලි බිල අඩු කර ගැනීමට බැලීම සිරිතයි. මන්ද යත්. ඒ වියදම ඔවුන්ට දැරිය නොහැකි බැවිනි. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටීම නිරර්ථක ය. මේ බලශක්ති ප්‍රශ්නය පමණක් විසඳා ගත්තත්, ඒ මගින් දේශීය ව්‍යාපාරික අංශයේ විශාල දියුණුවක් ඇති වන බවට සැකයක් නැත.

ලංකාවේ අයවැය වාර්තා ඉතා පටලැවිලිකාරී ය. ඕනෑවට වඩා ප්‍රතිපත්ති අංශ ඒවායේ ගැබ් කෙරේ. එහෙත් එම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය කරන වෙනත් පහසුකම් එම ලියවිල්ලෙන් සැපයෙන බවක් දක්නට නොලැබේ. ක්‍රියාවේ යෙදවන අංශ වුවත්, එසේ වන්නේ අපිළිවෙලට ය. නොගැළපෙන ආකාරයට ය. අයවැය තුළින් ඉදිරිපත් කෙරෙන හිඟය පසුව බොහෝ විට වෙනස් වෙයි. අපේක්ෂිත ආදායම් ඒ ආකාරයෙන් උපයා ගැනීමට අසමත් වෙයි. එසේම, මහ භාණ්ඩාගාරයෙන් බෙදාහැරෙන ප්‍රතිපාදන ඇතැම් විට අයවැය ලේඛනයේ සඳහන් ආකාරයට සිදු නොවෙයි. මේ නිසා අයවැයෙන් පෙන්වා දෙන ලද වියදම් සහ ඇත්ත වශයෙන් සිදුවන වියදම් අතර පරතරයක් ඇති වෙයි. ඊට අදාළ සංඛ්‍යා ලේඛන යටපත් කෙරෙන අතර, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවට පවා ඒවා ඉදිරිපත් නොකෙරේ. එම කමිටුවේ සභාපති එම්. ඒ. සුමන්දිරන් පෙන්වා දී ඇති පරිදි, පාර්ලිමේන්තු කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මහ භාණ්ඩාගාර නිලධාරීන් මැළිවන අතර, කමිටුවට අවශ්‍ය කරන තොරතුරු දීමට අදිමදි කරන බව කියැවේ. ඔවුන් මෙම කමිටුවට ඉදිරිපත් කරන තොරතුරු බොහෝ විට සංසන්දනය කිරීම් සඳහා යොදාගත හැකි තොරතුරු නොවන බවත් ඔහු කියා තිබේ. එය වඩාත් ප්‍රශ්නකාරී වන්නේ, රාජ්‍ය ව්‍යවසාය ආයතනවල කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමේදී ය.

 2017 දී රාජ්‍ය ව්‍යවසාය  පාඩුවරුපියල් බිලියන 87 ක් 

2019 අයවැයට ටික දිනකට කලින්, ‘ඇඞ්වොකාටා’ නමින් හැඳින්වෙන බුද්ධි මණ්ඩල සභාවක්, රාජ්‍ය ව්‍යවසාය අංශය පවතින තත්වය පිළිබඳ තමන්ගේ අලුත්ම වාර්තාව ඉදිරිපත් කෙළේය. ඒ වාර්තාව පෙන්වා දෙන පරිදි, රජය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය සංඛ්‍යාව පිළිබඳ පූර්ණ ලැයිස්තුවක්වත් සොයා ගැනීමට නැත. ඒවායේ වගවීමේ යාන්ත්‍රණයන් ඇත්තේම නැත. ඒවා මගින් සැපයෙන සේවාවන් පවතින්නේ ඉතා බාල මට්ටමේ ය. රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, විශාලතම රාජ්‍ය ව්‍යවසාය 55 ක් විසින් 2017 වසර තුළදී තමන්ගේ වත්කම්වලට සමානුපාතික ප්‍රතිලාභ වශයෙන් පෙන්වා ඇත්තේ සියයට 0.64 ක් පමණි. 2016 දී රුපියල් බිලියන 42 ක පාඩුවක් ලබමින් සිටි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය 2017 දී රුපියල් බිලියන 87 ක් පාඩුවක් ලබා තිබේ.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ, රටේ ආර්ථික සහ දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් න්‍යාය පත්‍රවලට අයවැය තුළ ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බවත්, ඒවා අත්පත් කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ය. මන්ද යත්, අයවැයක් යනු, ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් සඳහා වන මූලික උත්ප්‍රේරකයක් වන බැවිනි. විශාල ණය බරක් සහ ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රශ්න රාශියකට මුහුණදී සිටින රටක් වශයෙන් ශ්‍රී ලංකාව, කියන හැටියට වැඩ කරන රටක් බවට පත්විය යුතුය. මූලික ප්‍රතිසංස්කරණවලට එහිදී මුල් තැන දිය යුතුව තිබේ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, අපනයන වර්ධනය කර ගැනීම, ආනයන ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම, ප්‍රායෝගික සමාජ ආරක්ෂණ ක්‍රමෝපායන් සකස් කර ගැනීම ආදිය ඒ අංශයෙන් වැදගත් වන්නේය. එසේ නොවුණහොත්, ඊළඟ මැතිවරණයකදී අයවැය කෙරෙහි ඡන්දදායකයන් දැඩි තීරණ ගැනීමට ඉඩ තිබේ.

(2019 අප්‍රේල් 8 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Budgets in the Times of Elections නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top