Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගපාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

by

 

ඡියාරූපය: AP Photo/Eranga Jayawardena.

පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක් ඝාතනය කරනනේ කෙසේදැයි සිතා ගන්නේ කෙසේ ද? මේසා විපතක් මුදා හැරීමට අප සමාජයේ ම තවත් පිරිසක් කුරිරු වූයේ කෙසේ දැයි හිසේ දෑත් ගසා  අහස දෙස බලා  විමසමු.

අහසෙහි පිළිතුරක් නැත. හේතුවක් නැතිව ඵලයක් හට නොගනී.  පිළිතුර ඇත්තේ හමන සුළගෙහි ය. මන්ද යත් සුළග අතීතයේ පාඩම් කැටි කරගෙන ඇති නිසා ය. මිනිසකු වන්නට බොහෝ මං මාවත් හරහා යා යුතු ය. එනමුත් ත්‍රස්තවාදියකු වීමට යායුත්තේ අන්ධානුකරණයට සහ උම්මන්තක බවට පමණි.

අපි මේ උම්මන්තක බවත් ඊට ප්‍රතිචාරය වූ රාජ්‍ය වියරුවත් උතුරේදීත් දකුණේ දීත් දැක නැත්ද? ලාම්පු කණු වල ගැටගැසූ සිරුරු, පවුල් පිටින් කළ සමූළ ඝාතන, ගම්මාන පිටින් කළ සමූළ ඝාතන මෙන්ම සුලුතර ප්‍රජාවන්ට  එරෙහිව මුදා හරින ලද ප්‍රහාර ඇත්තේ අපට එතරම් පසුපසින් නොවේ. භීෂනය මෙරට දේශපාලනයේ අවියක් වූයේ අද ඊයේ නොවේ. පොලිස් නිලධාරීන් 600ක් නිරායුධ කර මරා දමන ලද්දේ ද මේ රටෙහිදී ම ය. ජීවිත බේරා ගනු පිනිස බංකර ගත වූ අසරණ දුගියන් මත බෝම්බ වස්සවන ලද්දේ ද මෙරටෙහිදී ම ය. කාතාන්කුඩි දේවස්ථානයක් තුලදී 160ක් ඝාතනය කරන ලද්දේ ද මෙරටෙහිදී ම ය.

එනමුත් අපි තවමත් කරන්නේ කතා ය. දෙමළ අරගලය ඇතිවූයේ ඇයි? සිංහල තරුණයින් අවි ගත්තේ ඇයි කියා අපි කතා කරමු. මුස්ලිම් විරෝධී කටකතා සහ වෛර ප්‍රචාර ඇති වූයේ ඇයිද කියා විමසමු. විසදුම් දෙන බවට ශපථ කරමු. දුන් විසදුමක් ගැන ඔබ අසා තිබේද? සිදු වූයේ කුමක්දැයි සොයා බැලූ  කවර හෝ ක්‍රියාදාමයක් ගැන ඔබ අසා තිබේ ද? සත්‍ය දැන ගන්නේ නැතිව සමාජීය සුවපත් කිරීමක් කළ හැකි ද?

මෙවැනි බිහිසුණු ප්‍රචන්ඩත්වයන්ට මුහුණ දී සාර්ථකව සමාජ සාමය ඇති කරගත් රටවල් ගත් මඟ වූයේ ඇත්ත කතා කිරීම ය. හේතු සෙවීම ය. පිළියම් යෙදීම ය.

උපතින් ත්‍රස්තවාදියකු බිහි නොවෙයි. ත්‍රස්තවාදය යනු ජානගත ව්‍යාධියක් නොවේ. එය සමාජ ව්‍යාධියකි. ඉස්ලාමීය ත්‍රස්තවාදය ඉතිහාසය පුරා තිබුණේ නැත. කොතරම් බිහිසුණූ වුව ද එය ද නූතන සමාජ දේශපාලන වර්ධනයන්හි ඵලයකි.

පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවෙහි සාමය ඇති වූ බව කියති. කුඩා ක්‍රිස්ත්‍රියානි සභාවලින් අහන්න. අලුත්ගම හෝ දිගන මුස්ලිම් ජනයාගෙන් අහන්න. මුලතිව්හි දෙමළ ජනයාගෙන් අහන්න. පානම සිංහලයින්ගෙන් අහන්න. පිළිතුරු එහි හමන සුළගෙන් අසා දැන ගත හැකි ය.

කිසිදු ජන කණ්ඩායමක් සදා කාලිකව යටපත්ව ඉන්නේ නැත. සමාජයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නැගිටීමට නොහැකි තැන සිදුවන්නේ පිපිරීම් ය. එවිට උගත් ක්‍රියාශීලී තරුණ පිරිස් උම්මන්තක මාවත්වලට පිවිසෙති. දකුණේත් උතුරේත් එවැනි වර්ධනයන්හි විපාක අප ඕනෑවටත් වඩා අත් නොවින්දෙමුද?

එවැනි ප්‍රචන්ඩ ප්‍රතික්‍රියා  සිංහල පිඩිත තරුණයා අතරින් ද දෙමළ සමාජයෙන් ද මතුවිය. දැන් මුස්ලිම් සමාජයෙන් මතු වී තිබේ. අනෙක් ප්‍රජාවන් කෙරෙන් ද යළි ප්‍රචන්ඩත්වය මතු නොවනු ඇතැයි සහතිකයක් දිය හැකි කෙනෙක් වෙත්ද? යකඩ සපත්තු යටින් මල් පුදීන්නේ නැත. එය පසාරු කළ හැක්කේ යකඩ උලකට පමණි.

සිය ප්‍රජාව වෙනස් කර සැළකීමට ලක්වන බව පෙනෙන කළ මුස්ලිම් සමාජය තුලින් සාමකාමී නොවන ප්‍රතිචාර පැන නැගීමට ඇති ඉඩ දේශපාලනයේ අයනු ආයනු දන්නා කවරකට වුව තේරුම් ගැනීමට හැකි විය යුතුව තිබුණි. අන්තර් ජාතික වශයෙන් පැතිර ඇති ඉස්ලාමීය අන්තවාදය සමඟ  එවැනි ප්‍රතිවාර ඒකාබද්ධ වීමට ඇති ඉඩ, එකයි එකයි දෙකකයි වනවා වැනි සරළම සරළ ගණිතයක් විය.

එය තේරුම් ගැනීමට විදෙස් රටක බුද්ධි අංශ විසින් ලබා දෙන තොරතුරු අවශ්‍යම නැත. ඊට අවශ්‍ය වන්නේ දේශපාලන තර්ක බුද්ධිය යි. මෙරට මුස්ලිම් ජනයාට  එරෙහි ප්‍රහාරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන විට, ඔවුන් වෙත සමාජීය පිඩනයක් එල්ල වන විට පිපිරීම් ඇති නොවනු ඇතැයි සිතිය හැක්කේ යකඩ සපත්තුව සියල්ලටම විසඳුම යැයි සිතන අදූරදර්හී පාලකයින්ට පමණි.

මුස්ලිම් සමාජය කෙරෙන් මෙවැනි බිහිසුණු ප්‍රචන්ඩත්වයක් මතුවීම පැවතියේ හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්ණයක් වශයෙන් පමණි.  අද උතුරෙහි සිදුවෙමින් ඇති රැඩිකල්කරණය දෙස බලන්න. යාපන සරසවියෙහි ප්‍රභාකරන්ගේ ජායාරූප වන්දනා කෙරෙති.  විග්නේශ්වරන් පවා ගමන් කරන්නේ හරහට ය. ජනවාර්ගික ප්‍රශ්ණය කියා එකක් නැතැයි කියා මර්දනයෙන්ම පිළිතුරු දීමට ගිය හොත් වසර දහයක් ගිය තැන කුමක් සිදුවිය හැකි ද?

ප්‍රචන්ඩත්වය අපේ සමාජ ව්‍යාධියකි. අප සමාජයෙහි කොතරම් ප්‍රචන්ඩත්වයක් වෙත්ද? සිය දිවි නසා ගැනීම අතින් අප ඉන්නේ පෙරමුණේ ය. ඒ වනාහී තමන්ටම විරුද්ධ ප්‍රචන්ඩත්වයකි. අප පාසැල් දරුවන්ට තලා පෙළීමට පක්ෂය. එල්ලුම් ගහ ඇති කිරීමට පක්ෂය. පොදු ප්‍රවහණයෙහි යෙදෙනෙ ස්ත්‍රීන් සියයට 90ක්ම පුරුෂයින්ගේ ලිංගික අපයෝජනයන්ට ලක්වෙති. බස් මාපියාවම බලහත්කාරයකි. ත්‍රීවීල් සමාජය ප්‍රචන්ඩත්වයයේ සංකේතයකි. පොලීසිය දන්නෙ සැකකරැවන් තලා පෙළීමට ය. දේශපාලනඥයෝ පාර්ලිමෙන්තුවෙහි කෙළගනිති. අනෙකා තලා පෙළිය හැකිනම් රාජ්‍ය ප්‍රචන්ඩත්වයට ද පක්ෂ වෙමු.

වෙනත් රටවල මෙවැනි අමිනිස් ඝාතනයන්ට ක්ෂනික සාමකාමී ප්‍රතිචාරය මතුවන්නේ සමාජයෙනි. ඒවැනි අවස්ථාවල සිය ගණන් දහස් ගණන් දස දහස් ගණන් ජනයා ප්‍රචන්ඩත්වය හෙළා දකිමින් සාමය පතා විදී බසිති. මල් තබා මියගියවුන් සමරති.  එය බටහිර යුරෝපා රටවල පමණක් නොව අපේ අසල්වැසි රටවල පවා සිදු වෙයි.

නමුත් අපේ රටෙහි වන්නේ කුමක් ද? අනෙකාට පහර දීමය. දැනටමත් මුස්ලිම් ජනයා කෙරෙහි  දැක්වෙන්නේ විරුද්ධ ආක්ලපයන් ය. අප බෙදී ගිය රටක් වෙමු. අපේ දේශපාලනය තවමත් අධිනිශ්චය වන්නේ ජනවාර්ගික ගැටුම් මගිනි. අප නැගිටින්නේ යුක්තිය සහ සාධාරණය සදහා නොවේ. අනෙකාට එරෙහිව ය. එබැවින් මෙම ප්‍රහාරයන් පිළිබඳ ශෝඛය දැනටමත් ගමන් කරමින් තිබෙන්නේ සංහිදියාව කරා නොව වෛරය සහ ගැටුම කරා ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ දෙවන ඛේදවාචකය එයයි. අප මේතාක් කල් කර ඇත්තේ අවස්ථා අත හැරීමත් පාඩම් ඉගෙන නොගැනීමත් ය.

එහි විපාකයක් වශයෙන් අප දැන් මුහුණ දී සිටින්නේ වඩාම බියකරු ත්‍රස්තවාදයකට ය. මරාගෙන මැරෙන ඉස්ලාමීය අන්තවාදයට ජයග්‍රහණයක් අවශ්‍ය නැත. ඊට අවශ්‍ය වන්නේ විනාශ කිරීම පමණි. දැනටමත් පෙනී ගොස් ඇති පරිදි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ඇත්තේ උගත් මැද පංතික මුස්ලිම් තරුණ පිරිස් අතරිනි. එබැවින් මෙම අන්තවාදී ප්‍රවණතාවයන්ට හේතු වූ දේශීය කරුණු කාරනා විමසා බැලීමත් ඊට දිගු කාලීන පිළියම් යෙදීමත් අද අත්‍යවශ්‍ය ය.

අන්තවාදී සංවිධාන මැඩලීම රජයේ කාර්‍යකි. මුස්ලිම් සමාජය මත රාජ්‍ය හෝ සමාජීය මර්දනයක් මුදා හැරීමෙන් තොරව ත්‍රස්තවාදය පරාජය කිරීම ආණ්ඩුව මුහුණ දෙන අභියෝගයකි.

ත්‍රස්තවාදයට ජාතියක් ආගමක් නැත. එය දන්නේ එකම දෙයකි. එනම් මැරිල්ල යි. එය උපතින්ම තිරශ්චීනය. පිටු දැකිය යුතු ම ය.

ත්‍රස්තවාදය යනු, පුළුල් අර්ථයෙන් ආගමික හෝ දේශපාලන අරමුණක් උදෙසා බහු ජනයා  ත්‍රස්ත කිරීමේ හෝ භීතිය ඇති කිරීමේ හෝ ක්‍රමයක් ලෙස චේතනාන්විතව සහ නිර්විශේෂිතව ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම ය. එය රාජ්‍යයෙන්, දේශපාලන කණ්ඩායම් කෙරෙන් හෝ සමාජීය සංවිධාන කෙරෙන් පැන නැගිය හැකි ය.

ඉස්ලාමීය  ත්‍රස්තවාදය එකවරම දේශපාලන සහ ආගමික අරමුණු ඉලක්ක කර ගනී. පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවෙහි මතුපිටට පැමිණියේ අන්තර් ජාතික ඉස්ලාමීය ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකික මුහුණුවරකි. ‘ඉස්ලාමීය රාජ්‍ය’ යනුවෙන් හැදින්වෙන ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ජාලය මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව පුරා පැතිර පවතින අති භයානක සහ අති අමානුශික ව්‍යාපාරයකි. එහි දේශීය කන්ඩායම් ක්‍රියා කරන්නේ ස්වාධීනවය. එමෙන්ම විසින් තමන්ගේ අදහස් පිළිනොගන්නා අන්‍ය ආගමිකයින් පමණක් නොව දහස් ගණන් මුස්ලිම් ජාතිකයින් ද ඝාතනය කර තිබේ.

 

 

 

 

 

 

 

Back to Top