Sri Lanka Brief
පුවත්විවරණප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා

by

මෙම වසරේ අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ දිනවල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙන බැවින් 2015 ජනවාරි 08 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 වර්ෂයේ ජනවාරි 08 දා අවසන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.3 වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය. මෙම වගන්තියේ දැක්වෙන ආකාරයට ජනාධිපතිවරණය මෙම වර්ෂයේ නොවැම්බර් 08 දිනට පසුව සහ 2020 ජනවාරි 08 දිනට පෙර එළඹෙන ඕනෑම දිනක පැවැත් විය හැක. දිනය තීරණය කිරීම ජනාධිපතිවරයා කළ යුතු අතර එසේ දින නියම කිරීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීම වෙයි.

නොවැ 08න් පසු ජනපතිවරණය ස්ථිරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.3 (අ) වගන්තියට අනුව ධුරය දරන ජනාධිපතිවරයකු දෙවන වරට ද ධුරයට තේරී පත් වීමේ අභිලාෂයක් ඇත්නම් ප්‍රථම ධුර කාලයේ වසර 04 ක් සපිරූ විට ජනතාවට ආයාචනා කිරීමේ බලය හිමි වන අතර ජනාධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් නිකුත් කළහොත් එය ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කරන ලද නියමයක් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සැලකිය යුත්තේය. මෙම ප්‍රතිපාදනය මගින් පෙන්නුම් කරන්නේ අවශ්‍ය යැයි සිතන්නේ නම් ජනාධිපතිවරයාට 2019 ජනවාරි මාසයේ 08 දිනට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බවය. එහෙත් පවතින තත්ත්වය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවැනි තීන්දුවක් ගන්නා බවක් දැකිය නොහැකි බැවින් ජනාධිපතිවරණය නියමිත පරිදි මෙම වර්ෂයේ නොවැම්බර් මස 08 දිනට පසුව පැවැත්වීම ස්ථිර වශයෙන්ම සිදු වනු ඇත.

අපේක්ෂකයකු සැපිරිය යුතු කොන්දේසි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වන වගන්තියේ දැක්වෙන ආකාරයට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පුද්ගලයෙකු විසින් සපුරාලිය යුතු ව්‍යවස්ථාමය කොන්දේසි කිහිපයක් තිබේ. වයස අවුරුදු 35 සම්පූර්ණ කර තිබීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත් කර ගැනීම සඳහා තිබිය යුතු අවශ්‍යතා සපුරාලීම, දෙවරක් ජනාධිපති ධුරයට තේරී පත් වී නොසිටීම, දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීම මගින් ජනාධිපති ධුරයෙන් පහකර නොතිබීම මෙම කොන්දේසි වේ. දෝෂාභියෝග යෝජනාවක් මතු දැක්වෙන චෝදනා සහ වරදවල් පදනම් කොටගෙන ඉදිරිපත් කළ හැක. මානසික හෝ ශාරීරික දුබලතාවක් හේතුවෙන් ධුරයේ කාර්යයන් සහ වගකීම් ඉටු කිරීමට නොහැකි බව පෙනී යාම, චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද, අල්ලස සම්බන්ධ වරද, ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද හෝ යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් කර තිබීම එම වරදවල් හෝ චෝදනාවලට අයත් වේ.

මෙම අවශ්‍යතාවලට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ (ඇ) උප වගන්තියේ xiii වන අනු වගන්තියේ දැක්වෙන ආකාරයට වෙනත් රටක පුරවැසිභාවය ලබා තිබෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි අතර එම හේතුවෙන් එවැනි තැනැත්තකුට ජනාධිපතිවරණයට ද අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැක. මෙම කොන්දේසි සපුරාලමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තැනැත්තකු ජයග්‍රහණය කිරීමට නම් ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් භාගයක් සහ එක් ඡන්දයක් ලබා ගත යුතුය. එනම් 50% ක් සහ එයට වැඩි එක් ඡන්දයක් වශයෙනි.

ජවිපෙත් ඉල්ලයි

නිල වශයෙන් මේ දක්වා තහවුරු නොවූව ද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්‍ෂයෙන් ගෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනා ඉදිරිපත් වන බවට මේ දිනවල ආරංචි පැතිර යමින් පවතී. මෙයට අමතරව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවිය නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ මේ වනවිට පැතිරී යමින් තිබෙන අදහස් උදහස් දෙස බලන විට පෙනී යන්නේ  ප්‍රතිපත්තිමය කරුණු පදනම් කරගෙන ජනාධිපති තනතුරට පුද්ගලයකු තෝරා පත්කර ගැනීම යන අවශ්‍යතාවට වඩා පුද්ගලානුබද්ධ කරුණු පදනම් කරගෙන ජනාධිපති තනතුරට පුද්ගලයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවට පමණක් ජනාධිපතිවරණය ලඝු කොට තිබෙන බවය.

වෙනත් ආකාරයකට කියනවා නම් ප්‍රතිපත්තිමය සාධකවලට වඩා පුද්ගලබද්ධ සාධක පෙරමුණට පැමිණ තිබෙන බවය. ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධයෙන් දියත් කර ඇති ජනාධිපතිවරණ ප්‍රචාරණයෙන් මෙම තත්ත්වය ඉතාම හොඳින් පෙන්නුම් කෙරේ. එහෙත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරණය හුදෙක් ජනාධිපති තනතුරට පුද්ගලයෙකු තෝරා පත්කර ගැනීමේ පටු අවශ්‍යතාවට පමණක් සීමාකළ යුතු ද යන්නය. කරුණු විමසීමේදී පෙනී යන්නේ එය එසේ නොවිය යුතු බවය. හේතුව ජනාධිපතිවරණය හුදෙක් ජනාධිපති තනතුර සඳහා පුද්ගලයකු තෝරා ගැනීමේ තත්ත්වය ඉක්මවා ගිය ජාතික මට්ටමේ කරුණු රාශියක් හා බැඳී පවතින අතිශයින්ම වැදගත් තීරණාත්මක හැරවුම් ලක්‍ෂයක් වීමය.

සිරිසේන රනිල්ට පහර දීමට ගොස් තමාටත් ඇන ගැනීම

ආණ්ඩුවේ ස්ථාවරභාවය යනු විධායකයේ ස්ථාවරභාවයයි

ආණ්ඩුවේ ස්ථාවරභාවය ගොඩනඟා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරණය සෘජුවම සම්බන්ධ වීම මෙයින් එක් කරුණක් වේ. ආණ්ඩුවේ ස්ථාවරභාවය යන්නෙන් අදහස් වන්නේ විධායකයේ ස්ථාවරභාවයයි. විධායකයේ ස්ථාවරභාවය රඳා පවතින්නේ කරුණු දෙකක් මතය. එයින් එකක් වන්නේ ව්‍යුහාත්මක වශයෙන් විධායකය ගොඩනඟා තිබෙන ආකාරයයි. දෙවැන්න වන්නේ ආණ්ඩුක්‍රමය තුළ විධායක – ව්‍යවස්ථාදායක සම්බන්ධතා පවත්වා ගෙන යාමේ රටාවය. එනම් විධායකය සහ ව්‍යවස්ථාදායකය සහයෝගයෙන් ක්‍රියා කිරීමේ තත්ත්වයක් පවත්වා ගෙනයාමය.

යම් ආණ්ඩුක්‍රමයක් තුළ මෙම කොන්දේසි දෙක නිසියාකාරව ස්ථාපිත කර නොමැත්තේ නම් සහ ස්ථාපිත කර තිබුණ ද නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් එහිදී සිදු වන්නේ විධායකයේ ක්‍රියාකාරිත්වය අර්බුදයකට ලක්වීමය. වෙනත් ආකාරයකට කියනවා නම් ආණ්ඩුකරණය අර්බුදකාරී තත්ත්වයකට පත්වීමය. මෙයින් පෙනීයන කරුණ වන්නේ ආණ්ඩුක්‍රමයක කාර්යක්‍ෂම ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම ස්ථාවරභාවය සඳහාද විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර මනා සහයෝගීතාවක් අත්‍යවශයෙන්ම තිබිය යුතු බවය. මෙම මිත්‍රශීලී සහයෝගීතාව ගොඩනඟා පවත්වා ගෙනයාමේ අත්‍යවශ්‍යම කොන්දේසිය වන්නේ විධායකය හා ව්‍යවස්ථාදයකය එකම දේශපාලන පක්‍ෂයකට අයත් පුද්ගලයන්ගෙන් සමන්විත වීමය. මෙම කොන්දේසිය ආණ්ඩුක්‍රමය කුමක් වූවද එනම් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් වූවද නැතිනම් කැබිනට් හෙවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් වූවද එකසේ අදාළ වේ.

දෙමුහුන් විධායක ක්‍රමය

අද ලංකාව මුහුණ දී ඇති දේශපාලන අර්බුදයට බලපා තිබෙන මූලිකම හේතුව වන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ආණ්ඩුකරණය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අත්‍යවශයෙන්ම තිබිය යුතු ආයතනික සහයෝගීතාවය මුළුමනින්ම නැති වී යාමය. මේ සම්බන්ධයෙන් එක් අතකින් බලපා තිබෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායකය සංවිධානය කර ඇති අවුල් සහගත ස්වභාවයයි. එනම් දෙමුහුන් විධායක ක්‍රමයයි. අනික් අතින් බලපා තිබෙන්නේ විධායකය සංයුක්ත වන කොටස් දෙක එනම් ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂ දෙකකට අයත් වීම සහ අගමැතිවරයා අයත්වන දේශපාලන පක්‍ෂයට ව්‍යවස්ථාදායකය තුළ බහුතර බලය හිමි වීමත්ය.

ලෙහෙසි නැති අභියෝගය

මෙම දේශපාලන අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ එක්කෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ස්ථාපිත කිරීම මගින් අර්බුදකාරී දෙමුහුන් විධායක ක්‍රමය අහෝසි කර දැමීමෙන්ය. නැතිනම් මැතිවරණ ක්‍රියාදාමය හරහා විධායකයේ කොටස් දෙක එකම දේශපාලන පක්‍ෂයක නියෝජිතයන් අතට පත් කිරීමෙන්ය. ලංකාවේ අද පවතින තත්ත්වය දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නේ පවතින දේශපාලන පරිසරය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මගින් උද්ගතව තිබෙන විධායක – ව්‍යවස්ථාදායක ගැටුම නිරාකරණය කර ගැනීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවය. එසේ නම් අද රට ඉදිරියේ තිබෙන්නේ මැතිවරණ විකල්පය පමණි. මේ හේතුව නිසයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය දේශපාලන වශයෙන් අතිශයින්ම වැදගත් වන්නේ. එහෙත් මැතිවරණ හරහා විධායකය හා ව්‍යවස්ථාදායකය එක්තැන් කොට ආණ්ඩු ස්ථාවරභාවය ගොඩනැගීම ද වචනයෙන් ප්‍රකාශ කරන තරම් ලෙහෙසි හා පහසු කාර්යයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. හේතුව ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කිරීමේ මැතිවරණ එකම දිනක එකම අවස්ථාවකදී පැවැත්වීමට පවතින ව්‍යවස්ථා විධිවිධාන යටතේ නොහැකි වීමය. පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ මෙම වසරේ අග මාස දෙක තුළදීය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ වසර පහේ නිල කාලය අවසන් වන 2020 අගෝස්තු මාසයේදීය.

එසේ වූවද නිල කාලය අවුරුදු හතර හමාරක් ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි බැවින් 2020 වර්ෂයේ අප්‍රියෙල් මාසයෙන් පසුව එළඹෙන ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබේ. ප්‍රශ්නය වන්නේ මෙම මැතිවරණවල ප්‍රතිඵල කුමක් වේද යන්නය. නිදසුන් ලෙස ජනාධිපතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එක්සත් ජාතික පෙරමුණට අයත් පුද්ගලයකු පත් නොවුනහොත් එම ජනාධිපතිවරයාට සිදුවන්නේ තමන්ට ප්‍රතිවිරුද්ධ පක්‍ෂයක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් සමඟ වැඩ කිරීමටය. මෙයාකාරම ප්‍රතිඵලයක් කුමන හෝ අවස්ථාවක පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකදීද ඇතිවුව හොත් එනම් ජනාධිපතිවරයා අයත් නොවන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය අත්වුවව හොත් පවතින තත්ත්වයේ වෙනසක් නොවන අතර සිදුවිය හැකි එකම දෙය වන්නේ ආණ්ඩුක්‍රම අර්බුදය විසඳිය නොහැකි අර්බුදයක් දක්වා වර්ධනය වීමය. මේ හේතුව නිසා එළඹෙන ජනාධිපතිවරණය පවතින ආණ්ඩුක්‍රම අර්බුදය විසඳා ගැනීමේ තීරණාත්මක නිර්ණායකයක් බවට පත්ව තිබෙන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය 

එළඹෙන ජනාධිපතිවරණය වැදගත් තීරණාත්මක කඩඉමක් බවට පත්වීම කෙරෙහි බලපා තිබෙන දෙවන හේතු සාධකය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය තීරණය වීම සම්බන්ධයෙන් එහි ඇති බලපෑම හේතු කොටගෙනය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජේ.ආර්. ජයවර්ධන විසින් ගොඩ නැගූ ආඥාදායකත්වය 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධි ආඥාදායකත්වයක් බවට පරිවර්තනය කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය පාලන ක්‍රමය වෙනස් කරමින් යම් ප්‍රමාණයකට හෝ රටේ පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට පරිවර්තනය කරනු ලැබූයේ 2015 වර්ෂයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එහෙත් කරන ලද පරිවර්තනය ප්‍රමාණවත් යැයි කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැක. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් ස්ථාපිත කර ගැනීම සඳහා තව බොහෝ දුර යාමට සිදුව ඇත.

සත්‍ය තත්ත්වය මෙය වූවද 19 වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පවා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දෙයක් ලෙස අර්ථකතනය කරමින් එයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන ආකාරය මේ වනවිට දැකිය හැකි වේ.

 

19 වන සංසෝධන විරෝධය භයානකය

රාජපක්ෂගේ අපේක්සකයා තවම රහසකි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ දෙදෙනා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනාවලින් පෙනී යන්නේ එම තත්ත්වයයි. පුදුමයට හේතුව එම දෙදෙනා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම නොවේ. එම සංශෝධනය ගෙන ඒමට මුල් වූ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා එම සංශෝධනය විවේචනය කිරීමය. මෙයින් ගෝඨාභය රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රශ්නය වන්නේ ඉදිරිපත් වීම නොව මේ දෙදෙනාගෙන් කවුරු ජයග්‍රහණය කළත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට එමගින් ඉතාම දැඩි හානියක් සිදු වීමට තිබෙන ඉඩකඩ ඉතාම ඉහළ මට්ටමක පැවතීමය. එම නිසයි එළඹෙන ජනාධිපතිවරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පැවැත්ම හෝ වියැකී යාම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන්නේ.

නූගත් මෝඩයන් රාජ්‍ය පාලනය මෙහෙයවන විට

අවසාන වශයෙන් එළඹෙන ජනාධිපතිවරණය වැදගත් වන්නේ රට පාලනය කිරීමට අවශ්‍ය සුදුසුකම්වලින් සපිරුන දාර්ශනික පාලකයකු තෝරා ගැනීම සම්බන්ධයෙන්ය. නූගත් මෝඩයන් රාජ්‍ය පාලනය මෙහෙයවන විට රට විනාශය කරා යාම වැළැක්විය නොහැකි බව මෙයට අවුරුදු තුන්දහසකට ප්‍රථමයෙන් ප්ලේටෝ නමැති ග්‍රීක දේශපාලන දාර්ශනිකයා ප්‍රකාශ කළ අදහස කොතරම් නිවැරැදි ද යන්න ශ්‍රී ලංකාව දෙස බලන ඕනෑම අයකුට නිරායාසයෙන්ම පැහැදිලි වේ. එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ ප්ලේටෝ දැක්වූ ආකාරයේ පරිපූර්ණ දාර්ශනිකයන් විය නොහැක. එහෙත් ඔවුන් අතුරින් දාර්ශනිකභාවයට වඩාත්ම කිට්ටු කවුරුන්ද යන්න සොයා බලා එම තැනැත්තා ජනාධිපති ධුරයට තෝරා ගැනීමට ඡන්දදායකයන් වගබලා ගන්නේ නම් මේ රට වැටී ඇති ප්‍රපාතයෙන් යම් තරමකට හෝ ගොඩගත හැකි බව අවසාන වශයෙන් කිව යුතුය.

(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා විසින් ලංකාදීප පුවත්පතෙහි ප්‍රථමයෙන් පළ කරන ලද ලිපියකි.)

Back to Top