Sri Lanka Brief
පුවත්විවරණනොනිසි ප්‍රමාදය යනු යුක්ති ධර්මය ප්‍රතික්ෂේප කිරීමකි – සුගීස්වර සේනාධීර

නොනිසි ප්‍රමාදය යනු යුක්ති ධර්මය ප්‍රතික්ෂේප කිරීමකි – සුගීස්වර සේනාධීර

by

කුඩා දඩ මුදල් ගෙවා ගැනීමට අසමත් වන සිරකරුවන් නිදහස් කිරීමට හෝ කොන්දේසි ප්‍රකාර ඇප මුදල් බැඳීමට හෝ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසා රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන් නිදහස් කිරීමට හෝ හැකි වන නීතිමය ප්‍රතිපාදන නොමැති කමින් ඇති වී තිබෙන බරපතල තත්වය මේ වන විට හෙළිදරව් වී තිබේ. සමහර නීති සම්පාදකයන් පෙන්වා දෙන පරිදි, ලංකාවේ සිරගෙවල්වල සිටින වර්තමාන සිරකරුවන්ගෙන් සහ රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් අද හිරේ තපින්නේ ඉහත කී හේතු දෙක නිසා ය.

මීට අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව, එක සිරකරුවෙකුගේ කෑමබීම සඳහා දවසකට රජයට රුපියල් 671 ක් වැය වෙයි. තවම වැරදිකරු වී නැති සැකකරුවෙකු වෙනුවෙන් රුපියල් 10,000 ක ඇපයක් බැඳ ගැනීමට නොහැකි වන අවස්ථාවක එම පුද්ගලයාව දින 15 කට රක්ෂිත බන්ධනාගාරගත කළ විට ඒ පුද්ගලයා වෙනුවෙන් ඊට වැඩි වියදමක් දැරීමට රජයට සිදුවෙයි. එසේ වෙතත්, දැනට පවතින නීතිය යටතේ ඔහුට ඇප ලබා දීමට පුළුවන් කමක් විනිසුරුවරයෙකුට නැත.

මෑතකදී පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණු තවත් සිද්ධියකට අනුව, ඇප ලබාගෙන යාම සඳහා සහතික වීමට තමාගේ ලේ නෑයෙකු ඉදිරිපත් කර ගැනීමට එක් සැකකාර බෞද්ධ භික්ෂුවකට නොහැකි වී තිබේ. මේ භික්ෂුවගේ දෙමාපියන් මියගොස් සිටි අතර පවුලේ වෙනත් සහෝදර සහෝදරියන් කිසිවෙකු ඔහුට සිට ඇත්තේ ද නැත. භික්ෂුවක් වශයෙන් බ්‍රහ්මචාරීව විසීමට සපථ කොට ඇති නිසා ඔහුට දරුවන් සිටියේ ද නැත. එවැනි පුද්ගලයෙකු කෙසේ නම් ලේ නෑයන් සොයා ගන්නදැ යි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කර සිටියේය.

ඉක්මණින් නීති ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අත්‍යාවශ්‍යතාව මේ සිද්ධිවලින් පෙන්නුම් කෙරේ. කුඩා ඇප මුදලක් හෝ ශරීර ඇපයක් සපයා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත වන මෙවැනි පුද්ගලයන්ගේ නඩු අසා ඉවරයක් කිරීමට අවුරුදු ගණන් ගත විය හැකිය. විටෙක, කරන ලද අපරාධය සහ දඬුවම ලැබෙන කාලය අතර දශක ගණනක කාල පරාසයක් තිබිය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරගෙවල් අතිශයින් ජනාකීර්ණ වී තිබේ. එසේ වෙතත්, යල්පැනගිය එකී පැරණි නීතිරීති වෙනස් කිරීමේ උත්සාහයක් ගැනෙන්නේ ද නැත. එවැනි සමහර නීති අපට ලැබී ඇත්තේ ශත වර්ෂයකටත් ඉහතදී පැනවුණු රෝම ලන්දේසි නීතිය යටතේ ය.

ශෝකජනක තත්වයක්

මේ ගැන පාර්ලිමේන්තුවේ කරන ලද විවාදයේදී සිරගෙවල්වල පවතින දුක්ඛිත තත්වය පිළිබඳ තවත් කරුණු හෙළිදරව් විය. සෞඛ්‍ය පහසුකම්වල අඩුව, සැකකරුවන් සහ හිරකරුවන් කෙරෙහි දක්වන අමානුෂික සැලකීම්, බන්ධනාගාර නියාමකවරුන්ගේ දූෂිත චර්යා සහ සමස්ත පද්ධතිය කුණු වී තිබෙන ආකාරය එහිදී පෙන්වා දෙනු ලැබුණි. පසුගිය දශක කිහිපය තිස්සේ බන්ධනාගාර අංශය භාරව සිටි ඇමතිවරුන්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තත්ව ප්‍රමිතීන්ට අනුගතව, බන්ධනාගාර පද්ධතිය වඩාත් මානුෂීය සහ ඵලදායී ස්ථානයක් කිරීමට පොරොන්දු වී ඇතත් ඒ අරභයා වන බරසාර ප්‍රතිසංස්කරණ කිසිවක් මේ දක්වා සිදුකොට නැත.

ගිය සතියේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වූ සමහර මන්ත්‍රීවරුන් පෙන්වා දුන් පරිදි, වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාම මේ වන තෙක් අනවශ්‍ය අන්දමින් පමා වෙමින් තිබේ. බරපතල අපරාධකරුවන් කොළඹින් පිට ස්ථානවලට මාරු කර යැවීමට මේ මගින් අදහස් කෙරුණත්, එවැනි බරපතල අපරාධකරුවන්ට බන්ධනාගාර පද්ධතිය තුළ හිමිව තිබෙන අනිසි හයිය පාවිච්චි කරමින් එම ප්‍රයත්නය අඩාල කරවීමට ඔවුහූ සමත්ව සිටිති. මේ සිරකරුවන්ට, ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය, මත්පැන් සහ වෙනත් දේවල් දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආධාරයෙන් සපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන තත්වය තුළ, කොළඹින් පිට ප්‍රදේශයකට තමන්ව මාරු කර යැවීම ඔවුන්ගේ සතුටට හේතු වී නැත.

අනිත් පැත්තෙන්, අවශ්‍ය තරමින් බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමත් තවත් ප්‍රශ්නයකි. බන්ධනාගාර නියාමක ඇබෑර්තුවලින් සියයට පනහක් තවමත් පුරවා නැති බව පාර්ලිමේන්තුවේදී කියැවුණි. ඒ නිසා, සිටින සීමිත බන්ධනාගාර නිලධාරීන් කෙරෙහි ඇති කෙරෙන පීඩනය අති විශාල ය. මෑතකදී කීර්තිමත් මනෝවිද්‍යාඥ කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, බන්ධනාගාර නියාමකවරුන්ගෙන් සියයට 38 ක් ආතතියෙන් විඳවන අතර එය ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීම කෙරෙහි නරක අන්දමින් බලපාන බව පෙන්වා දී තිබේ.

‘බන්ධනාගාර ඇතුළේ ආරක්ෂක විධිවිධාන සඳහා නූතන තාක්ෂණය පාවිච්චි කිරීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය භාවය දියුණු කිරීම සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් දියත් කිරීම ආදිය, මේ රටේ බන්ධනාගාර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා අප විසින් මේ වන විට සැලකිල්ලට ගෙන ඇති කාරණා වන්නේ’ යැයි එක් ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

බන්ධනාගාරවල ඉඩකඩ සීමිත කම සහ සෞඛ්‍ය සහ වෙනත් පහසුකම් ප්‍රමාණවත් තරමින් නොතිබීම නිසා ඇතැම් විට සිරකරුවෝ ද කලහකාරී වෙති. එවැනි සිද්ධීන් ඉතා ප්‍රචණ්ඩකාරී අන්තයන් වෙත අවසානයේ තල්ලු වීම ද සිදුවිය හැකිය. වැලිකඩ බන්ධනාගාරය, විශේෂයෙන් ගැහැනු සිරකරුවන්ගේ කලහකාරී ස්ථානයක් බවට මේ වන විට පත්ව තිබේ. මෑතකදී, තමන්ගේ පහත් ජීවන තත්වයන් කෙරෙහි විරෝධය පාමින් සහ අධිකරණයේ පමාවන් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කැරැවීම අරමුණු කරගෙන එවැනි රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලට නැගී විරෝධතා දැක්වූහ. සිරකාරියන්ගේ මේ විරෝධතාව තුළ ඉදිරිපත් කළ එක ඉල්ලීමක් වුණේ, එක් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර පාලිකාවක් මාරු කර යැවීම අවලංගු කරන ලෙසයි. මේ සිරකාරියන්ට එකී පාලිකාවගේ මාරුව අවලංගු කර ගැනීමට අවශ්‍ය කෙළේ, ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට මනා සහායක් එකී නිලධාරිනියගෙන් සැපයෙමින් තිබුණු නිසා ය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකයන් පිරිසක් සිරකරුවන්ට අමානුෂික අන්දමින් පහර දෙන දර්ශනයක් පසුගිය දා සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධියට පත්විය. සිරගෙදරක තාප්ප ඇතුළේ තිබිය හැකි අමානුෂිකත්වය කොපමණද යන්න එයින් පෙන්නුම් කෙරුණි. මේ සිද්ධියෙන් පසු, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ තවදුරටත් පමා කිරීමට කොහෙත්ම හැකියාවක් නොමැති බව, ‘සිරකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ කමිටුවේ’ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේය.

මීට වසර දෙකකට කලින්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවන් ඊ. මෙන්ඬේස් ලංකාවේ සංචාරයක නිරත විය. අපේ සිරගෙවල්වල අතිවාස භාවය, පහසුකම්වලින් තොරවීම සහ අවශ්‍ය අරමුදල් හිඟකම එහිදී ඔහු අවධාරණය කෙළේය. සිරකරුවන්ට නිදාගැනීමට පවා ප්‍රමාණවත් ඉඩකඩ නොතිබීම, අධික දාහය සහ වාතාශ්‍රය ප්‍රමාණවත් පරිදි නොතිබීම වැනි කරුණු එහිදී ඔහු පෙන්වා දුනි. එසේම විනෝද ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික අවස්ථා සිරකරුවන්ට නැති කමත් ඔහුගේ සැලකිල්ලට ලක්විය.

අතිවාස සිරගෙවල්

අතිවාස වීම හෙවත් සිරගෙවල්වල ඉඩකඩට නොසරිලන තරමට සිරකරුවන් සිටීම ගැන සඳහන් කරමින්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අපේ සිරගෙවල්වල දැනට පවතින සැබෑ ඉඩකඩට වඩා සියයට 200 ක් සහ සියයට 300 ක් දක්වා අතිරික්ත සිරකරුවන් සංඛ්‍යාවක් සිටින බව පෙන්වා දුන්නේය. වව්නියාවේ රක්ෂිත බන්ධනාගාරය ඊට මනා නිදසුනකි. මේ විශේෂ නියෝජිතයා එහි යන අවස්ථාවේ, සිරකරුවන් 170 දෙනෙකු එක ශාලාවක රඳවා සිටි අතර, එක පුද්ගලයෙකුට එහිදී හිමි වුණේ, මීටර් 0.6 ක් ඉඩක් පමණි. එම ගොඩනැගිල්ලේම තවත් සිරකරුවන් පිරිසක් නිදාගත්තේ පඩිපෙළේ ය. ඊට අමතරව, එක් සිරකරුවෙකු සඳහා තනවා තිබූ හිර කූඩුවක 4 දෙනෙකු හෝ 5 දෙනෙකු හිරකොට තිබුණි.

මේ තත්වය තුළ, ප්‍රචණ්ඩ නොවන වැරදි සඳහා ඇප දීමට හැකි නෛතික තත්වයක් ඇති කර ගැනීමත්, සිරගත කිරීම වෙනුවට විකල්ප විසඳුම් මාර්ග කෙරෙහි යොමු වීමත් අත්‍යාවශ්‍ය වන්නේය. ගෙවා ගත නොහැකි කුඩා දඩයක් වෙනුවට දින දෙක තුනක සිර දඬුවමක් ලබා දීමට හැකි වන ආකාරයේ සංශෝධන ඇති කර ගැනීම, ආරම්භයක් වශයෙන් අනුගමනය කළ හැකිය. යම් සැකකරුවෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත්නම්, ඔහු වෙනුවෙන් පැනවෙන කෙටි කාලීන සිරදඬුවමක් සඳහා එය හිලව් කිරීම හෝ අඩු වශයෙන් සුළු වැරදි සම්බන්ධයෙන්වත් පුද්ගල ඇපකර නොමැතිව ඇප දිය හැකි හැකි වන ආකාරයේ සංශෝධන ඇති කර ගැනීමත් සලකා බැලිය හැකිය.

ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක් වන්නේ, සෑම බන්ධනාගාරයකම මුදල් ගෙවා පරිහරණය කළ හැකි දුරකථන ස්ථාපනය කිරීමයි. එවිට, සිරකරුවන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් සමග, විශේෂයෙන් ඔවුන් දුර පළාත්වල වෙසෙන්නේ නම්, කතාබහ කළ හැකි වන්නේය. අවශ්‍ය නම් බලධාරීන්ට ඒ දුරකථන සංවාද පිළිබඳ සටහන් තබා ගත හැකිය. හිරගෙවල් තුළට හොරෙන් ගෙන එන ජංගම දුරකථන ප්‍රශ්නයත් ඒ මගින් යම් තාක් විසඳා ගැනීමට හැකි වනු ඇත. එහෙත් එය, මත්ද්‍රව්‍ය ජාවාරම කරන සිරකරුවන් තමන්ගේ නීති විරෝධී ජාලය පවත්වාගෙන යාම සඳහා ජංගම දුරකථන පාවිච්චි කිරීම මර්දනය කිරීමට හේතු වෙතැයි කිව නොහේ.

(2019 අප්‍රේල් 5 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Undue Delays, Denial of Justice නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

Back to Top