Sri Lanka Brief
පුවත්විවරණදකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබවීමට බලන චීනය සහ ඉරානයට චන්ඩිකම් පාන ඇමරිකාව – ලින් ඔකේර්ස්

දකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබවීමට බලන චීනය සහ ඉරානයට චන්ඩිකම් පාන ඇමරිකාව – ලින් ඔකේර්ස්

by

 

චීනය තම මෘදු බලය දකුණු ආසියානු කලාපය තුළ පැතිරවීමේ මාර්ග සොයමින් සිටින අතරේ, ඇමරිකාව තවමත් තමන්ගේ සැර පරුෂ බලය මැද පෙරදිග වැනි කලාපවල පැතිරවීමට බැලීම උත්ප්‍රාසණීයයි. ජගත් බලවතුන් දෙන්නෙකු ආශ්‍රයෙන් දැකීමට ලැබෙන මෙකී සංවේදීතාව හෝ අසංවේදීතාව බොහෝ දෑ අපට කියාදෙයි.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විෂය පථයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ මතවාදී කොටස් අතරේ ද, පසුගිය විසි වසකට වැඩි කාලයක් තිස්සේ අපේ කලාපයේ ක්‍රියාත්මක වෙමින් පැවති චීන රාජ්‍යෝපාය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට අපට බොහෝ කාලයක් ගතවිය. සාමාන්‍යයෙන් ගත් විට චීනය දියත් කරමින් සිටින්නේ ආර්ථික රාජ්‍යෝපායකි. එහෙත් ගැඹුරින් සලකා බැලූ විට, චීනය කරමින් සිටින්නේ කර්කශ බලය වෙනුවට මෘදු බලය පාවිච්චි කිරීමක් බව අපට අවබෝධ වනු ඇත. වෙනත් විදිහකින් කිවහොත්, චීනය බලන්නේ හමුදාමය සහ වෙනත් බලහත්කාරී මාර්ගවලින් වෙනුවට සාපේක්ෂ වශයෙන් සාමකාමී හෝ ආර්ථික මාර්ගවලින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමටයි.

‘ඉරාන විප්ලවීය බලකාය’ ඇමරිකාව විසින් ‘ත්‍රස්තවාදී’ සංවිධානයක් වශයෙන් ලේබල් කරනු ලැබීමට මෑතකදී ගත් තීරණය, ඇමරිකාවේ කර්කශ බලය ප්‍රදර්ශනය කිරීමේ එක් අවස්ථාවකි. ඉතා ගොරතර වූත්, අත්තනෝමතික වූත්, අපරීක්ෂාකාරී වුත් එකී තීරණයට එළැඹීමෙන් ඇමරිකාව කෙළේ, ඉරානය සමග පවතින තමන්ගේ ගැටළු, සාමකාමී රාජ්‍යෝපායික ක්‍රමවලින් සමථයකට පත්කර ගැනීමට තිබූ අවස්ථාව තව තවත් දුරස්ථ කර ගැනීමයි. එය, ස්වකීය බලහත්කාරී බලය ඇමරිකාව විසින් අභ්‍යාස කරනු ලැබීමකි. මෙවැනි තීරණ නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක, මැද පෙරදිග හමුදාමය නොසන්සුන්තාවන් උග්‍ර කිරීමට තුඩුදෙනු ඇත.

ඇමරිකාවේ එකී දැඩි ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂව චීනය, දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික කලාපයේ ස්වකීය බලය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත කරමින් සිටින්නේ, තමන්ගේ ආර්ථිකමය රාජ්‍යෝපායික ජාලයට එකී කලාපයේ රටවල් අවශෝෂණය කර ගැනීම ඔස්සේ ය. ඒ බව හොඳින් දැක ගැනීමේ අවස්ථාවක් පසුගිය දා ශ්‍රී ලංකාවට උදා විය. ඒ, ‘සමකාලීන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ චීන ආයතනික පද්ධතියේ’ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලාංකීය බුද්ධි මණ්ඩලයක් වන ‘පාත්ෆයින්ඩර් පදනම’ අතර විවිධ විෂයයන් ගැන දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡා වටයකදී ය. ‘රටවල් දෙක අතරේ පවතින ආර්ථික, ආයෝජන සහ වෙළඳ සබඳතා ඊළඟ වටයට ගෙන යාම සඳහා ගත යුතු තීරණාත්මක සාධක කවරේද’ යන්න හඳුනා ගැනීම අරමුණු කර ගත්, ඒකාබද්ධ අධ්‍යයන කවයක් ස්ථාපිත කර ගැනීම ගැන එහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තාගතයි.

මෙය, රාජ්‍යෝපායික දෙවැනි මංතීරුව වශයෙන් හඳුනාගත හැකිය. චීනය සහ ශ්‍රී ලංකාව නැමැති රටවල් දෙකේ සුජාත අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම අරභයා සහයෝගයෙන් සහ සහසම්බන්ධතාවෙන් ආණ්ඩු දෙක අතරේ සිදු කෙරෙන පළමු මංතීරුවේ රාජ්‍යෝපායට සමගාමීව, රටවල් දෙකේ රාජ්‍ය නොවන කණ්ඩායම් සහ පුද්ගලයන් අතරේ කෙරෙන දෙවැනි මංතීරුවේ මෙකී ප්‍රයත්නයන් ක්‍රියාවට නැගෙමින් තිබේ. ඒ වූ කලී, පළමු මංතීරුවේ අවශ්‍යතා සාධනය සඳහා විවෘත කර ඇති දෙවැනි මංතීරුවකි.

මේ දෙවැනි මංතීරුවේ රාජ්‍යෝපාය දියත් කරන්නේ, චීනයේ මෘදු බලය ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ තවත් විවිධ සාධක අතරේ එක් අංගයක් වශයෙනි. එය, තමන්ගේ ආර්ථික, භෞතික සහ දේශපාලනික බල අදියර සඳහා අත්‍යාවශ්‍ය දෙයකැයි චීනය කල්පනා කරයි. තෝරා ගත් වෙනත් එවැනි රාජ්‍යයන් සහ තමන් අතරේ සංස්කෘතික මාර්ග හරහා සම්බන්ධතා ගොඩනගා ගැනීමත් චීනයේ එකී පිළිවෙතේම තවත් එක් අංගයකි. ඒ සඳහා චීනයේ මැදිහත්වීමෙන් පවත්වන, ‘චිත්‍රපටි සතිය’ වැනි කලා සංස්කෘතික උත්සව ද, අධ්‍යාපනික ක්ෂේත්‍රයේ තවත් බොහෝ කටයුතු ද සිද්ධ කෙරේ.

ඉන්දියාව වැනි වෙනත් කලාපීය බලවතුන් සම්බන්ධයෙන් පවතින තත්වයත් එයම බව නොකිවමනා ය. බොහෝ කාලයක් තිස්සේ ඔවුන් ද, මෙවැනි මෘදු බල අභ්‍යාසයක නිරතව සිටී. ඒ සියල්ලේ සමස්ත ඉලක්කය වන්නේ, ස්වකීය බලයේ වඩාත් වැදගත් අවශ්‍යතා ‘ජය-ජය’ පදනමක් ඔස්සේ සාක්ෂාත් කර ගැනීමයි. එහිදී ප්‍රධාන බලවතුන්ගෙන් පිටස්තර වෙනත් කුඩා රටවලටත් විවිධ ප්‍රතිලාභ සහ සාර්ථකත්වයන් හිමි වන ආකාරයෙන් සහ තනි පාර්ශ්වයකට පමණක් ජයග්‍රහණ නොලැබෙන ආකාරයෙන් කටයුතු කරනු ලැබේ. වෙනසකට ඇත්තේ, මේ කියන බලවතුන්, දැඩි බලය වෙනුවට ඒ සඳහා මෘදු බලය තෝරාගෙන තිබීමයි.

මෙවැනි ආසියාතික බලවතුන් ඉදිරියේ ඇමරිකාව කැපී පෙනෙන්නේ හමුදාමය වශයෙන් අවිචාරවත් සහ වගකීම් විරහිත රටක් වශයෙනි. මැද පෙරදිග කලාපයේ දැනට පවතින දේශපාලනික සහ හමුදාමය ගැටුම්කාරී තත්වය තුළ, ඉරානය කෙරෙහි වන තමන්ගේ වෛරය තව තවත් ඇවිලවීම ඇමරිකාව පැත්තෙන් මේ වන විට දකින්ට ලැබේ. ‘ඉරාන විප්ලවීය බලකාය’ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කිරීමට ඇමරිකාව ගත් තීරණය, ඒ අතින් ගත් විට, දෙරට අතරේ පවතින ගැටුම් තව තවත් උත්සන්න කිරීමට තුඩුදෙනු ඇතැයි සිතිය හැකිය. එය, සමස්ත කලාපයේ ස්ථාවරත්වයට ද ඉතා භයානක අන්දමින් හානිකර බලපෑම් කරනු ඇත.

මෙවැනි පියවර මගින් ඇමරිකාවට ස්වකීය කෙටිකාලීන දේශපාලනික අවශ්‍යතා සාධනය කර ගැනීමට හැකි වීමට ඉඩ තිබේ. එහෙත් කලාපීය යුද්ධයක බිජු වට රෝපණය වෙමින් පවතින මැද පෙරදිග ගැටුම්කාරී තත්වය ඒ මගින් සමනය වෙතැයි සිතිය නොහේ. ඇමරිකාවේ කලාපීය සගයන් වන ඊශ්‍රායලය සහ සෞදි අරාබිය වැනි රටවල ආරක්ෂාව එමගින් සුරක්ෂිත වේ ද නැද්ද යන්න කාලයාගේ ඇවෑමෙන් දැනගත හැකි වනු ඇත. එය කෙසේ වෙතත්, මේ මොහොතේ ‘පළමු සාධකය’ වන්නේ ඇමරිකාව ය. ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය කරන්නේ, ඇමරිකාව ලෝකයේ අවිවාදිත පළමු නායකයා වන බව තමන්ගේ ඡන්දදායකයන්ට ඒත්තු ගැන්වීමයි.

මේවා වනාහී, ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ශිෂ්‍යයන්ට අගනා අමුද්‍රව්‍ය සැපයෙන පර්යේෂණ ක්ෂේත්‍රයකි. මෘදු බලය අභ්‍යාස කරන චීනය සහ ඉන්දියාව එක පැත්තකින් ද, දෘඪ බලය තවමත් පාවිච්චියට ගන්නා ඇමරිකාව තවත් පැත්තකින් ද තිබේ. කලාපයේ සහ ලෝකයේ ස්ථාවරත්වය කෙරෙහි දෘඪ බලය බලපවත්වනු ඇත්තේ ඉතා විනාශකාරී අන්දමිනි. ඇමරිකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය තුළ ඇත්ත වශයෙන්ම පෙනෙන්ට ඇත්තේ දුර නොපෙනීමේ රෝගී ගතියකි. තවමත් ලෝකයේ ආර්ථික සහ හමුදාමය බලවතා ඇමරිකාව බව ඇත්ත. එහෙත් එය තව දශක දෙක තුනක කාලයකට පමණක් සීමා වීමට හොඳටම ඉඩ තිබේ. ඒ නිසා, වසර 2050 න් එහා බැලීමට, තමන්ගේම අභිවෘද්ධිය තකා, ඇමරිකාව කටයුතු කළ යුතුය. එහෙත් ට්‍රම්ප් පාලනයට එවැනි දීර්ඝ කාලීන දැක්මක් ඇති බවක් පෙනෙන්ට නැත.

ඊට ප්‍රතිපක්ෂව, චීනය සහ ඉන්දියාව ඇතුළු වෙනත් ආර්ථික බලවත්තු, ආසියා-ශාන්තිකර කලාපයේ ශක්‍යතා වටහා ගනිමින් කටයුතු කරති. ලෝකයේ විශාලතම පරිභෝජන වෙළදපොළ බවට පත්වන්නේ එම කලාපයයි. එය සමග ආර්ථික වශයෙන් පෑහීමකින් තොරව කිසි රටකට දීර්ඝ කාලීන වශයෙන් තබා කෙටිකාලීන වශයෙන්වත් සුගතියක් අත්කර ගැනීම උගහට ය. මෙවැනි ශක්‍යතාවන්ගෙන් අනූන ලෝකයක, භෞතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද සමෘද්ධිය ළඟා කර ගැනීමේ හොඳම මාර්ගය වන්නේ මෘදු බලය පාවිච්චියට ගැනීමයි. ලෝකය එකට බැඳ තබන බදාමය වනු ඇත්තේ එයයි.

(2019 අප්‍රේල් 10 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ China Tries Soft Power in SA as US Persists with Hard Line on Iran නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.)

 

Back to Top