Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය

සීතලෙන් උපදින ගිනි: ජිනීවා සහ ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය

by

ජායාරුපය: පෙබරවාරි 28වන දින ජිනීවා පැලේ දි නැසියොන්හිදී පැවැති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ සමාන්තර රුස්වීමෙහි කථික පිරිස (ජායාරූපය: සුනන්ද දේශප්‍රිය)

ජිනීවා තවමත් සීතලය. එසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම් මානව හිමකම් කවුන්සිලය දිගටම රත්වෙයි. පසුගිය 25වන දින ඇරඹුණූ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරයේ මුල් සතිය අවසන් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි පැවැත්වෙන ප්‍රථම සමාන්තර රුස්වීම සමඟ ය. එය 28වන බ්‍රහස්පතින්දා පැවැත් වෙන අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවන්මුත්තු, සාමානාත්මතා සහ යුක්ති කේන්ද්‍රයේ ශ්‍යාමිලා ගොමස්, සිරකරු අයිතීන් සුරුකීමේ කමිටුවේ සේනක පෙරේරා, සන්ධ්‍යා ඒක්නැළිගොඩ සහ කසීපිල්ලේයි මනෝහරන් එහිදී අදහස් දැක්වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් සමාන්තර රැස්වීම් 26ක් සඳහා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම පැවැත්වෙන පැලේ දි නැසියෝන් ගොඩනැගිල්ලෙහි කාමර වෙන් කරවා ‍ගෙන තිබේ. මින් අති බහුතරයක් දෙමළ ඩයස්පෝරාව විසින් සංවිධානය කරනු ලබයි. ආන්තික අදහස් දරණ දෙමළ සහ සිංහල කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් ඒ් අතර වෙයි.

ජනාධිපති සිරිසේන 2015 සහ 2017 වසරයන්හිදී කවුන්සිලය විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනා ඉවත් කර ගැනීමට තමා අදහස් කරන බව පසුගිය 24 වන දින සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. එසේ නමුත් ඒ් වන විටත් ඒකී යෝජනා තවත් දෙවසරකට දීර්ඝ කිරිමට යෝජනා කරන බව බ්‍රිතාන්‍ය විසින් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී තිබුණි. ඒකි යෝජනාවේ ප්‍රථම කෙටුම්පත පිලිබඳ නොනිල සාකච්ජාව ලබන අඟහරුවාදා ඒනම් මාර්තු 05 දින පැලේ දි නැසියොන් හිදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාණ්ඩුව එම යෝජනාවෙහි සම දායකත්වය දරනු ඇත්දැයි නිල වශයෙන් දැන ගන්නට ලැබෙනු ඇත්තේ බොහෝ විට එදිනට ය‍.

සිරිසේන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට විරුද්ධ වන්නේ දැනටමත් ශ්‍රී ලංකාව ඇති තරම් යුද සමයේ මානව හිමිකම් ප්‍රශ්ණ විසඳීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර නැතැයි යන නිගමනය මතය. දැන් අමාත්‍ය චම්පික රණවක සිරිසේනගේ මතය අනුව යමින් 2015 දී සහ 2017 දී ශ්‍රී ලංකාණ්ඩුව එකී යෝජනාවන්ට සම දායකත්වය නොදිය යුතුව තිබු බවත් තවදුරටත් එම යෝජනා දීර්ඝ කිරිමට අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කරයි. ඔහු කියා සිටින්නේ එල්ටීටීඊයට සහ රජයේ හමුදාවන්ට පොදු සමාවක් දී මෙම ප්‍රශ්ණය අවසන් කල යුතු බවයි. නමුත් එම දෙපාර්ශවයටම සම්බන්ධ නැති එනමුත් අතුරුදහන් කරන ලද දහස් ගණනාවක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කරන්නේ කෙසේදැයි ඔහු කියා සිටින්නේ නැත. මෙම කාරණය එල්ටීටීඊයට සහ යුද හමුදාවන්ට ලඝු කළ නොහැකි ය. සිරීසේනගේ සහ රණවකගේ මතයම ප්‍රකාශ කරන සිංහල ඩයස්පොරා කණ්ඩායමි අප්‍රිකාන්‍ර හරිත පදනම නම් අක්‍රීය රාජ්‍ය නොවසංවිධානයක නමින් මෙම 40වන සැසි වාරයට ලිඛිත ඉදිරිපත් කිරිමක් මගින් කියන්නේ 30/1 සහ 34/1 යෝජනා අහෝසි කළ යුතු බවයි. සරත් වීරසේකර ඇතුළු පිරිස් දරණ මතවාදය ඊට සමාන ය.

සිරිසේනට සහ රණවකට සම්පූර්ණයෙන්ම වෙනස් පදනමකින් හිටපු උතුරු මහ ඇමැති විග්නේශවරන් නව යෝජනාවක් මගින් තවත් දෙවසරකට කාලය දිගු කිරිමට විරුද්ධ ය. ඔහු සහ ඔහු නියෝජනාය කරන බලවේග ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසි වාරයේ ආරම්භක දිනය සනිටුහන් කරමින් විශාල විරෝධතාවයක් උතුරෙහි පැවැත්වූහ. එම පෙළපාලියේ ගෙන ගිය බැනර මගින් කියා සිටියේ ශ්‍රී ලංකාවට තවත් කල් නොදෙන ලෙසය. එමෙන්ම එදිනම උතුරු නැගෙනහිර පදනම් වූ සියළු දේශපාලන පක්ෂ සහභාගිත්වයෙන් ආණ්ඩුව යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් නොසළකා හරින්නේයැයි සාර්ථක හර්තාලයක් පැවැත්වූහ.

පොබරවාරි 25වන දින කිළිනොච්චියෙහි පැවැති උද්ඝෝෂනය යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් නිහඩතාවය මගින් වසා නොදැමිය හැකි බවට සාක්ෂියකි. ( ජායාරූපය ගරිකාලන් ටිවීටයකිනි)

මෙම බලමුලු ගැන්වීමෙහි ශක්තිය මගින් අප තේරුම්ගත යුතු එක් දෙයක් තිබේ. එනම් යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් නිහඩතාවය මගින් යටපත් කිරිමට කිසිසේත්ම නොහැකි බවයි. ශ්‍රී ලංකාවට සාමකාමි දේශයක් ලෙස ඉදිරියට යෑමට නම් පූර්ණ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයක් සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය . නැතහොත් මෙම මහජන උද්ඝෝෂණ එන්න එන්නම ඉහළ යනවා ඇත.

හිටපු උතුරු මහ ඇමැති විග්නේශවරන්ට අනුව නව ය‌ෝජනාවක් මගින් සිදු වන්නේ තවත් දෙවසරක් ශ්‍රී ලංකාවට කල් මැරීමට කල් දීමක් වන අතර එය ආණ්ඩුවට වාසියකි. සිරිසේනට අනුව නව යෝජනාවක් මගින් සිදුවන්නේ තවත් දෙවසරකට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්. වගවිම සහ සංහිදියාව පිීළිබඳ අධීක්ෂනයක් පවත්වා ගැනිමටත් ඒ් පිළිබඳ වාර්තා කිරිමටත් මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාව සළසා දීමකි; එය රටට අහිතකරය. එකම ක්‍රියාවළිය දෙපාර්ශවය අර්ථ කථනය කරන්නේ දෙවිදියකට .

විග්නේශ්වරන් සහ ඔහුගේ පිරිස ඉල්ලා සිටින්නේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරීක්ෂා කිරිමට නව යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු බවයි. එවැනි යාන්ත්‍රණයක් කවුන්සිලය විසින් කවරදාක කවර රටක් සම්බන්ධයෙන් හෝ පිහිටුවා නැත. ඒ් සඳහා අන්තර් ජාතික යුද අධිකරණය නමින් වෙනම ආයතනයක් පිහිටුවා තිබේ. කවර රටක හෝ සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික යුද අධිකරණයට පැමිණීළි කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සිලයට පමණි. එහි නිශේධ බලය දරන චීනය හෝ රුසියාව ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ අන්තර් ජාතික යුද අධිකරණයට බාර දීමට ඉඩ දෙන්නේ නැත. ඇමෙරිකාව වුව එවැනි පියවරකට සහාය දෙනු ඇතැයි සිතිය නොහැකි .

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන විග්නේශවරන් මෙම තත්වය නොදන්නවා නොවේ. ඔහු එවැනි ප්‍රකාශ කරන්නේ විපතට පත් දෙමළ ජනයා රවටා ජන්ද ගරා ගැනීම පිනිස ය. සිරිසේන යුද සමයේ සිදුවූ දේ නොදන්නවා නොවේ. ඒම සිදුවිම් පරික්ෂා කළ යුතු බවට ඔහු විසින් ප්‍රකාශ කළ අවස්ථා තිබේ. ඔහු ජිනීවා යෝජනාවන්ට දැන් විරුද්ධ වන්නේ හුදු දේශපාලන වාසි ගැනීමට පමණ .

දේශපාලනය යනු ලබා ගත හැකි දේ පිිලිබඳ කලාවකි, එනම් ඊලඟට ඇති හොඳම දේ පිිළිබඳ කලාවය’ යන ඔටෝ ෆොන් බිස්මාක්ගේ කියමන චිර ප්‍රසිද්ධය. එම කියමන සමඟ එකඟ වුවත් නැතත් ලබා ගැනීමට හැකි දේ අතහැර නොපෙනෙන දුරක් ගැන කතා කිරීම දේශපාලන විදග්ධබවක් නොවේ. පෙනෙන විදිහට විග්නේශ්වවරන්ගේ මතවාදය යාපනයේ සිවිල් සමාජ කණ්ඩයෙම් විසින් ඒකාබද්ධව මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ආමන්ත්‍රණය කරන ලද ලිපියට විරුද්ධ . මන්ද යත් එම ලිපිය ද එක්තරා අන්දමකට ශ්‍රී ලංකාවේ යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සඳහා යුක්තිය ලබා ගැනිම උදෙසා මානව හිමිකම් කවුන්සිලයේ අදාළත්වය පිළිගන්නා නිසා .

කොළඹ කේන්ද්‍රීය මානව හිමිකම් සංවිධාන අතුරින් මේ තාක් අදහසක් ප්‍රකාශ කර ඇත්තේ ජාතික සාම සභාව පමණ . එය යෝජනවෙහි කාලය දීර්ඝ කළ යුතු බව කියා සිටී. සිරිසේන සහ රණවක හැරුණ විට අගමැති වික්‍රමසිංහ හෝ ඔහුගේ ආණ්ඩුව හෝ කිසිදු අදහසක් ප්‍රසිද්ධ කොට නැත. එසේ වුවත් ජිනීවාහි නොනිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවකට ආණ්ඩුව එකඟ බවයි.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඒමෙන්ම ජිනීවාහි බලපෑමක් සහිත ප්‍රමුඛ අන්තර් ජාතික සිවිල් සංවිධාන ගණනාවක් මහ කොමසාරිස් මිචෙල් බචලෙට් ආමන්ත්‍රණය කරන ප්‍රකාශයක් මගින් මෙසේ කියා සිටියේ :

මහ කොමසාරිස්වරිගේ ශ්‍රි ලංකාව පිළිබඳ වාර්තාව ළඟදීම එළිදැක්වෙනු ඇත.

මෙම සැසිවාරයේදී 30/1 දරණ කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මත කිරීමෙහිලා ශ්‍රී ලංකාණ්ඩුව දක්වා ඇති ප්‍රගතිය සහ ඉතිරිව ඇති බොහෝ අභියෝගයන් අරභයා සවිස්තරාත්මක වාර්තාවක් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනවා ඇත. 30/1 යෝජනාවට සම දායකත්වය සැපයීම මගින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයට එරට ජනතාවටද දෙන ලද පොරොන්දු සම්පූර්නයෙන්ම ඉටු කරන තුරු කවුන්සිලය එම ක්‍රියාදාමය සමඟ සමස්තයක් ලෙසම බැදී කටයුතු කිරීම අතයවශ්‍ය .

මෙම ක්‍රියාවලියෙහි විශ්වසනීයත්වය රැක ගැනීම පිනිස මහ කොමසාරිස්වරියගේ වාර්තාව අරභයා අර්ථවත් දායකත්වයක් සැපයිය යුතු අතර අවම වශයෙන් පහත සඳහන් කරුණු ඇතුළත් යෝජනාවක් සම්මත රගත යුතු ය‍්‍.

  • මහ කොමසාරිස්වරියගේ වාර්ථාව පිළිගනිමින් එහි නිර්දේශයන් ඉටු කරන සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීම‍.

  • 30/1 යෝජනාව යළි සහතික කරමින් එහි එන ගිවිසගැනීම් සම්පූර්නයෙන්ම ඉටු කිරීම.

  • එකී පොරොන්දු ඉටු කිරිමේ තත්වය සම්බන්ධයෙන් මහ කොමාසාරිස්වරිය විසින් වාර්තා කිරීම සහ වාචික තත්කාලීන කිරිම් මෙන්ම කවුන්සිලයෙහි දී කැරෙන පැවත්වෙන සංවාදයන්.

  • ලබා ඇති ප්‍රගතියෙහි මන්දගාමිත්වය පිළිබඳ සැළකිල්ල ප්‍රකාශ කිරීම සහ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය සමඟ එක්ව පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා කාල සටහනක් ඇති කරගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීම.”

මේ අන්දමට අපට පෙනී යන්නේ මෙරට සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් දේශීය මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවන් අතර මහත් බෙදීම් ඇති බවයි. එහෙත් දැනට පෙනෙන්නට ඇති පරිදි මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායම ඉදිරිපත් කරනු ඇත්තේ 2015 යෝජනාව තවත් දෙවසරක‌ෙ දීර්ඝ කිරිමේ සහ ඒකී කාලය තුළ ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් නිරික්ෂනය කොට කවුන්සිලියට වාර්තා කළ යුතුය යන සරළ යෝජනාවකි. මේ දැනට ඇති තත්වයයි.

මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් බල සමතුලිතතාවය සහ සම්ප්‍රදාය අනුව ඊට වැඩි යමක් සිදුවීමට ඇති ඉඩ විරලය. සිරිසේන සහ වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් දක්වනු ඇති ප්‍රතිචාර මත එය වෙනස් විමට බොහෝ දුරටම ඉඩ තිබේ. ඒවැනි යෝජනාවකට විරුද්ධ වීම මගින් විග්නේශ්වරන් සහ ඔහුගේ බලවේගයන්ට ලබා ගත හැකි දෙයක් නැත. එමෙන්ම සිරිසේන – චම්පික රාජපක්ෂ බලවේගයන්ට කවුන්සිලය තුල විරුද්ධ යෝජනාවක් සම්මත කර ගැනීමට හැකියාවක් ද නැත. දෙපාර්ශවයට ම ලබා ගත හැකි එකම දේ ලාබ ජනප්‍රියත්වය සහ සංහිදියා ක්‍රියාදාමය ආපස්සට තල්ලු කිරීම පමණය.

Back to Top